Thursday, August 22, 2019

"මා දන්නා එකම දෙය නොදන්නාකම පමණයි !" - සොක්‍රටීස් ("The only true wisdom is in knowing you know nothing" - Socrates)


ප්ලේටො ලියන ඇපොලොජි හී සොක්‍රටීස් ගැන සටහනෙදි සඳහන් වෙනවා ඩෙල්ෆි වල අනාගතවක්තෘවරිය වරක් සොක්‍රටීස් අන් සියල්ලටම වැඩිය ඤාණවන්ත බව පැවසීම ගැන. එයට පිලිතුරු දෙන සොක්‍රටීස් සඳහන් කරන්නෙ තමන් දන්නා එකම දෙය නොදන්නාකම බව...

මේ කතාව ගන්න හේතුව තමයි අද බොහෝ දෙනා විවිධ විශයන් ගැන වාද කිරීම අරඹන්නෙ ඒ කිසිඳු දෙයක් හැදෑරීමකින් තොරව. ඔබ යම් කිසි විශයක් හදාරන විටදි ඔබට නිසඟයෙන් වැටහිය යුතු කරුණක් තමයි ඔබ සතුව පවතින්නේ කොතරම් අල්ප දැනුමක්ද යන බව. ඔනෑම විශයක් ගැඹුරට හැදෑරීම තුලදි ඒ කරුණ වටහාගන්නා ප්‍රතිශතය ඉහලයි. මේ පිටුවෙ නිරන්තරයෙන් ලිපි පලවන ස්වභාව විද්‍යා ක්ශේත්‍රයටත් එය අදාලයි. අංශු මාත්‍රයක දැනුමක් පමණයි අප සතුව ඇත්තෙ. දැනුම නිමක් නොමැති සාගරයක් වගේ. දැනුම නොමැති තැන මිථ්‍යාවන් මුල් බැහැ ගන්නවා. ප්‍රශ්න නොකරන, නව දැනුම ලබා ගැනීමට අකමැති සමාජයන් නිර්මාණය වෙනවා. නිරන්තරයෙන්ම නව දැනුම සඳහා විවෘත විය යුත්තෙ ඒ නිසයි.  ප්‍රශ්න කිරීම අතිශයින්ම වැදගත්, වාද කිරීම වැදගත් නමුත් ඒ කාරණා වලට ප්‍රථම හැදෑරීම අතිශයින්ම වැදගත්... හදෑරීම තුල පෙර සඳහන් කල සොක්‍රටීස් ප්‍රකාශය ප්‍රත්‍යක්ෂවනු ඇති.

"මා දන්නා එකම දෙය නොදන්නාකම පමණයි !"





(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




කාචරෝක්ලස් මෙගලොඩොන් (Carcharocles megalodon) - 02




පෙර ලිපියෙන් මෙගලොඩොන් විශේෂයේ ප්රමාණය සහ සංසන්දනාත්මක ප්රමාණයන් ගැන ඉදිරිපත් කරා. ඔවුන්ගෙ පැතිරීම ගැන සලකා බැලුවම ලෝකයේ බොහෝ කලාප වලින් ෆොසිලභවනය වු මෙගලොඩොන් දත් ලැබෙනවා. ඒ කියන්නෙ ලෝකයේ සාගර කලාප බොහෝමයකම මේ සත්වයන් ජීවත්ව තිබෙනවා.

මෙගලොඩොන්ට සමකාලීනව ජීවත් වූ විශාල තල්මසුන් , ඩොල්ෆින් සතුන්, කැස්බෑවුන් ආදිය මෙගලොඩොන්ගෙ දඩයම් බවට පත්වු බවට සාධක ලැබෙනවා. තල්මස් අස්ථි ෆොසිල වල කැපුම් දාර මේ සඳහා නිදසුන්. වර්තමානයේදි ජීවත් වන මිනී මෝරුන්ගෙ දඩයම් උපක්රමය සලකා බැලූ විට ඔවුන් පහර දෙන්නෙ ගොදුරේ යටි ප්රදේශයට. සිරුරේ අනෙක් ප්රදේශ වලට වඩා මෘදු බවින් හෙබි යටි පෙදෙසට ප්රහාර එල්ල කිරීම මඟින් මිනී මෝරන් ගොදුර තම ග්රහණයට නතු කරගන්නවා, නමුත් මෙගලොඩොන් විශේෂය මීට වඩා වෙනස් උපක්රම භාවිතා කර තිබෙන්නෙ. ශක්තිමත් හනු පැවතීමෙන් සෘජුවම ගොදුරේ පපු ප්රදේශයට එල්ල කරන ප්රහාරය මඟින් පපු කුහරයට කිඳා බසින දත් ප්රහාරය ගොදුරේ පෙනහලු සහ හෘදය ආදී අභ්යන්තර ඉන්ද්රීන්ට දැඩි හානියක් සිදු කර ආහාරයට ගැනීම සිදු කර තිබෙනවා.

මෙගලොඩොන් දඩයම්

මෙගලොඩොන් ජීවත් වු කාලය තුලදීම තමයි සුවිසල් විලෝපික තෙල්මන්ද තල්මසුන් (විද්යාත්මකව මොවුන්ව හඳුන්වන්නෙ මැක්රොරැප්ටෝරීයල් ස්පර්ම් වේල්ස්) සාගර පුරා පැතීරිම සිදුවන්නෙ. පෙර ලිපියක සටහන් කල ලිව්යටන් මෙල්විලී, ඇක්රොෆිසිටර් ගනය, බ්රිග්මොෆිස්ටර් ශිගෙන්සිස්, සිග්මෝෆිස්ටර් වැරොලායි ආදී සුපිරි විලේාපික තල්මසුන් මයෝසීන සාගර තුල සැරසැරීම නිසා මෙගලොඩොන් සත්වයින්ට ආහාර සඳහා තරඟයක් පවතින්නට ඇති බවට විද්‍යාඥයන් මත පලකරනවා. මයෝසීන සාගර තුලදි මේ දැවැන්තයන් අනිවාර්යෙන්ම මුණ ගැසෙන්නට ඇති.

මෝරුන් කියන්නෙ චලතාපී සත්වයන් (ඇතැම් විශේෂ අර්ධ අචලතාපී) ඒ හේතුවෙන් ඔවුන් වඩාත් ප්රිය කරන්නෙ උණුසුම් ජලය රැඳි සාගර කලාප වලට. මේ සත්වයන් ආහාර දාම වල ඉහලම පුරුක, එමනිසා පහල දාම තුල පුරුක් වල යැපීම මේ සත්වයින්ගෙ යැපීමට සෘජු බලපෑම් සිදුකරන සාධකයක්. උණුසුම් දේශගුණය කියන්නෙ ප්රභාසංස්ලේෂණය වැඩියෙන් සිදුවන තත්වයක්. ප්රභාසංස්ලේෂණය වැඩිවෙනවා කියන්නෙ ප්රාථමික නිශ්පාදකයන් වැඩියෙන් ආහාර නිපදවීම. සාගර තුල ඇල්ගාවන්, ෆයිටොප්ලෑන්ක්ටන් වර්ග ආදිය ප්රභාසංස්ලේෂණය තුලින් වැඩියෙව් ආහාර නිපදවීම කියන්නෙ ආහාර දාමයේ ඊලග පුරුක්වල ස්ථාවරත්වය ඉහල යෑම. මේ තමයි මයෝසීන සාගරයේ තත්වය. මයෝසීනය අවසන්ව ප්ලයෝසීනය ඇරඹීමත් සමඟ නැවත පෘථෘවිය ශීත දේශගුණයකට ඇතුල් වෙනවා. ප්රභාසංස්ලේෂණ සිඝ්රතාවන් අඩාල වී ප්රාථමික නිශ්පාදනය අවම වෙනවා. ශීත සාගර මෙගලොඩොන් විශේෂයේ පසුබැසීමට හේතුවු එක් කරුණක්.

මීට පෙර සිටසියා පරිණාමය (තල්මසුන් සහ ඩොල්ෆින් අයත් කාණ්ඩය) දීර්ඝ ලෙස ලිපි කිහිපයකින් මම මේ පිටුවෙන් ඉදිරිපත් කරා. එය කියවා නැති අයට පහල ලින්ක් එක තිබෙනවා. කියවා ඇති අයට මතක ඇති තල්මසුන් පරිණාමයේ අවසන් බාගයට වන්නට ඔවුන් උණුසුම් සාගර කලාප තුලින් ශීත සාගර කලාප තුලට සංක්රමණය වු බව. ඒ මෙගලොඩොන් වැනි විපෝපිකයන්ගෙ ප්රහාර වලින් වැලකීමට. ඒකට හේතුව තමයි තල්මසුන් යනු අචලතාපී සත්වයන්, ඔවුන්ට පුළුවන් ශීත සාගර කලාප තුලදි තමන්ගෙ ශරීර උශ්ණත්වය යාමනය කර ගැනීමට. නමුත් මෝර විශේෂයන්ට බැහැ ශීත සාගර කලාපයන් තුල තමන්ගෙ ශරීර උශ්ණත්වය යාමනය කර ගැනීමට. මේකෙ අවසන් ඵලය තමයි මෙගලොඩොන් වැන්නවුන්ගෙ ප්රධාන දඩයමක් වු බැලීන් තල්මසුන් ධ්රැවාසන්න පෙදෙස් වලට තල්ලු වීම. ⁣මෙගලඩොන් විශේෂය නැවතත් සීග්ර පසු බැසීමකට ලක් වෙනවා මේ ආහාර ගැටලුවෙන්. 

ඒ වගේම මෙගලොඩොන් වඳ වීමට තවත් හේතුවක් තමයි නැවත ශීත කාලයකට නතුවෙන පෘථෘවියේ ධ්රැවාසන්න හිම වැස්මවල් මඟින් විශාල ජල ප්රමාණයක් අයිස් බවට පත්වීමෙන් රඳවා ගැනීම නිසා ලෝකයේ සාගර මට්ටම සීග්ර ලෙස පහත බසිනවා. (අඩියක් දෙකක් නෙවෙයි, අවසන් ග්ලැසියර් සමයේදි මෙය අඩි 360 පමණ පහත බැස තිබෙනවා) මේ හේතුවෙන් මෙගලඩොන් විශේෂය පැටවුන් බිහිකල ප්රදේශ අහිමි වීම මොවුන්ගෙ වඳ වීමට තවත් එක් හේතුවක් බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නෙ. ඒ වගේම සඳහන් කල යුතු දෙයක් තමයි මෙගලොඩොන් ජීවත් වු මයෝසීන යුගය තුල කුඩා ප්රමාණයන්ට වැඩුනු බැලීන් තල්මසුන් , මෙගලොඩොන් නශ්ඨව යෑමත් සමඟ සුවිසල් ප්රමාණයන්ට වැඩීම ඇරඹී බව. වර්තමානයේදි ජීවත් වන නිල්තල්මසුන් පවා බැලීන් තල්මසුන් විශේෂයක්.

මෙගලොඩොන් අදින් වසර මිලියන 2.6 කට පෙර ෆොසිල වාර්තා තුලින් ඉවත් වෙනවා. ඒ කියන්නෙ මේ සත්වයන් මීට වසර මිලියන 2.6 කට පෙරදි සම්පුර්ණයෙන්ම නශ්ඨ වු බව. නමුත් ඔවුන් නශ්ඨවී නොමැති බවට විවිධ වාර්තා වැඩ සටහන්, යුටුබ් නාලිකා, ආදිය පවතිනවා නමුත් මේ කිසිවක් විද්යාත්මක අවකාශය තුල කිසිසේත්ම පිලි නොගත් කරුනු බව අවධාරණය කල යුතුයි. 2013 වර්ශයේදි සහ 2014 වර්ශයේදි ඩිස්කවරි නාලිකාව විසින් වැඩසටහන් දෙකක් ඉදිරිපත් කරනවා මෙගලොඩොන් විශේෂය ගැන, ඔවුන් සඳහන් කරනවා මේ සත්වයින් තවමත් ජීවත් වුන බව, ඒ වගේම විවිධ විද්‍යාඥයන් මේ වැඩ සටහන් තුලදි කරුණු ඉදිරිපත් කරනවා මෙගලොඩොන් ජීවත් වන බවට, නමුත් අවසානයේදි හෙලි වුනේ මේ විද්‍යාඥයන් යැයි පැවසු පිරිස ගෙවීමක් සිදුකොට ලබාගත් නළුවන් බවයි. මේ වැඩසටහන් දෙකම ප්රබන්ධ බව අවධාරණය කල යුතුයි. ඒ වගේම මේ වැඩසටහන් ද්විත්වය පිළිබඳව විද්‍යාඥයන් දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා. නමුත් වෙලඳ උපක්රම පවතින ලෝකය තුල ඇතැම් අවස්ථාවලදි ප්රබන්ධ හොඳ මිලක් ඇති භාණ්ඩයක්, මිථ්යාව වැලඳ ගැනීමට කැමති හෝමෝ සේපියානුවන්ට වැලඳ ගැනීමට තවත් මිථ්යාවක්. ඒ නිසා විද්යාව තුලදි මෙගලොඩොන් වඳව ගිය සත්වයෙකු පමණක් බව සටහන් කරනවා.

කාචරෝක්ලස් මෙගලොඩොන් වසර මිලියන 20 පමණ කාලයක් පෘථෘවි සාගර සිය අණසකට නතුකරගෙන සිටි අපූරු සත්වයෙක් නමුත් වසර මිලියන 2.6 කට පෙර මෙගලොඩොන් පරිඡ්ඡේදය පරිණාමික දිනපොත තුල සටහන් වී අහවර වෙනවා. 

මෙගලොඩොන්ගෙ ඤාතී පරපුර අද වනතෙක් සාගර තුල සැරිසරමින් සිය පැවැත්ම තහවුරු කරගෙන ඇතිමුත් වර්තමානයේදි මානවයන් විසින් ඔවුන්ට බරපතල තර්ජන එල්ල කරමින් පවතින්නේ. විවිධ ආහාර, සුප් වර්ග සඳහා වරල් පමණක් කපා පණ පිටින් සාගරට අතහරින මෝරුන් ප්රමාණය අධිකයි. පිහිනීමට නොහැකිව මුහුදු පලත්ලට ඇද වැටෙන මේ සත්වයන් ඉතාමත් ඛේදජනක අවසානයක් ලබන්නේ. සංඛ්යා ලෙඛන ගත්තොත් වසරකට ලෝකය පුරා මෝර ප්රහාර ගනන 150 - 200 අතර , නමුත් මිනිසුන් අතින් වසරකට මිය යන මෝරුන් ප්රමාණය මිලියන 100කට අධිකයි. වඩාත් භායානක මෝරාද මිනිසාද යන ගැටලුව සිතන්නට ඉඩ හරිමින් පරිණාමික දිනපොතේ මෙගලොඩොන් සටහන නිමා කරනවා.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




කාචරෝක්ලස් මෙගලොඩොන් (Carcharocles megalodon) - 01


පෘථෘවි සාගර තුල ප්රථම මත්ස්ය විශේෂ ඇතිවෙන්නෙ මීට වසර මිලියන 510 කට පමණ පෙරදි. හනු රහිත මේ මත්ස්යන්ව අපි හඳුන්වනවා 'ඔස්ට්රැකෝඩර්මාවුන්' ලෙස. එතැන් පටන් තවත් වසර මිලියන 85 ක් පමණ ගතවුනු තැන , තවත් විදිහකින් කිව්වොත් අදින් වසර මිලියන 425 කට පෙර තමයි ප්රථම මෝරුන් විශේෂ පරිණාමය සිදුවන්නෙ. 

මෝරුන් කියන්නෙ කාටිලේජමය මසුන්. මනුශ්යන් වන අපේ කන් පෙති වැනි දෑ නිර්මාණය වී ඇති කාටිලේජ වලින් තමයි මෝර සැකිල්ල නිර්මාණය වන්නෙ. මේ හේතුවෙන් මොරුන් මිය ගිය පසු අස්ථික මසුන් හෝ වෙනත් අස්ථි දරන සත්වයන්ගෙ මෙන් සමස්ථ සිරුර ෆොසිලභවනය වීම සිදුවන්නෙ නැහැ (ඉතාමත් දුර්ලභ විශේෂිත අවස්ථා තියෙනවා එසේ සංරක්ෂණ වු). නමුත් මෝර විශේෂයන්ගෙ දත්, කොරල, සමේ හැඩයන් ආදීය ෆොසිලභවනය වීම සිදුවෙනවා.

පෙර සඳහන් කල පරිදි මෝරුන් විශේෂ පෘථෘවි සාගර තුල ඇතිවන්නේ අදින් වසර මිලියන 425 කට පමණ පෙර. මේ සත්වයින් ස්වභාවධර්මය විසින් නිර්මාණය කල අග්රගන්ය ආකෘතියක්. එහෙම කියන්න හේතුව තමයි වසර මිලියන 425 දිගු ඉතිහාසය තුල මෝරුන්ගෙ හැඩය (ඩිසයින් එක) වෙනස් වී නැති තරම්. ඒ වගේම මේ කාලය ඇතුලත සිදුවු මහා නශ්ඨවීම් 5 තුලදි ස්වාභාවධර්මය විසින් නිපැයු මේ ආකෘතිය නශ්ඨවීමකට ලක්ව නැහැ (විශේෂ වශයෙන් නෙවෙයි ආකෘතියක් ලෙස සැලකු විට). එසේ වීමට හේතුව තමයි මේ සත්ව කාණ්ඩය තමන් ජීවත්වන පරිසරයට අතිශයින්ම අනුගත වීමේ හැකියාව. මේ හෙතුවෙන් මෝරුන් ලෙස අද අපි දකින සත්වයා කාණ්ඩයේ ආකෘතිය කාලයේ වැලි තලාවෙන් යට නොවී අඛණ්ඩව වර්තමානය දක්වා පැමිණ තිබෙනවා.

සමස්ථ මෝරුන්ගෙම පරිණාමික කතාන්දරය ඉදිරිපත් කිරීමට උවමනාව තිබුනත් කාලය සීමිත බැවින් මේ දීර්ඝ කතාවේ ප්රධානතම චරිත කිහිපයක් ගැන හැකි පමණින් ඉදිරිපත් කිරීමට උත්සහා කරනවා, නමුත් එයින් මේ අපූරු සත්වයින්ගෙ පරිණාමික කතාන්දරයට සාධාරණයක් නොවන බව කිව යුතයි.මේ දීර්ඝ ප්රවිශ්ඨයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නෙ "මෙගලඩොන්" මෝර විශේෂය ගැන. මෙගලොඩොන් නම මීට පෙර කිහිප වතාවකදිම පරිණාමික දිනපොත තුලින් මම සඳහන් කර තිබෙනවා. ලිව්යටන් මෙල්විලී ගැන ලිපියෙත්, සිටසිය පරිණාමික කතාන්දරය තුලත් මා මීට පෙර මෙගලොඩොන් ගැන සඳහන් කර තිබෙනවා.

මෙගලොඩොන් විශේෂයේ සම්පුර්ණ විද්යාත්මක නාමය 'කාචරෝක්ලස් මෙගලඩොන්'. කලකට ඉහතදි කාචරෝක්ලස් ගනයට නොව 'කාචරඩොන්' ගනයට තමයි මෙගලොඩොන් විශේෂය බැර කර තිබුනෙ. කාචරඩොන් යනු වර්තමානයේදි ජීවත්වන මිනී මෝරා (Great white shark) අයත් ගනය. මිනීමෝරාගෙ විද්යාත්මක නාමය සැලකුවොත් එය 'කාචරඩොන් කාචේරියස්'. නමුත් ඉතාමත් මෑතකදි විද්‍යාඥයන් වැඩිදුර පර්යේෂණ මඟින් එකඟතාවකට පැමිණෙනවා මෙගලොඩොන් අයිති ගනය කාචරඩොන් නොව කාචරෝක්ලස් බවට. කාචරෝක්ලස් ගනය වර්තමානය වෙද්දි සම්පූර්ණයෙන්ම වඳවී ඇති ගනයක්.

මෙගලොඩොන් නාමයේ අර්ථය තමයි 'විශාල දත' යන අර්ථය. අදින් වසර මිලියන 23 කට පමණ පෙර මයෝසීන යුගයෙදි මෙගලොඩොන් විශේෂය පෘථෘවි සාගර තුල සැරිසැරීම ඇරඹෙනවා. එතෙක් මෙතෙක් සාගර තුල සැරිසැරූ බිහිසුණුම සුපිරි විලෝපිකයා ලෙස ඇතැම් විද්‍යාඥයන් මෙගලොඩොන් විශේෂය හඳුන්වනු ලබනවා. ෆොසිල සාධක අනුව අඩි 60 පමණ විශාලත්වකට වැඩුණු අවස්ථා පිලිබඳව වාර්තා ලැබෙනවා නමුත් මධ්යන අගයක් ලෙස ගත් විට මෙගලොඩොන් මෝරුන් අඩි 36 පමණ ප්රමාණයකට වැඩීම සිදුව තිබෙනවා. මේ සත්වයන්ගෙ හනු තෙරපුම (සපා කෑම) නිව්ටන් 110000 - 180000 අතර ප්රමාණයක්. සංසන්දනය සඳහා මනුශ්ය හනු තෙරපුමක් ගත්තොත් නිව්ටන් 1100 පමණ, සිංහයෙකුගෙ නිව්ටන් 4450 පමණ, විශාල ප්රමාණයේ ගැට කිඹුලෙකුගෙ හනු තෙරපුම නිව්ටන් 16460 පමණ සහ අවසාන වශයෙන් වර්තමානයේදි ජීවත්වන මිනී මෝරෙකුගෙ හනු තෙරපුම නිව්ටන් 17790 පමණ. මේ සංසන්දනාත්මක ප්රමාණ වලින් ඔබට සිතා ගන්නට පුළුවන් මෙගලොඩොන් හනු තෙරපුම කොතරම් බිහිසුණු සහ මරාන්තිකද යන්නට.

මෙගලොඩොන් ප්‍රතිනිර්මාණයක් 

මීනී මෝරකු සමඟ ප්‍රමාණාත්මක සංසන්දනය 

ප්රාග්ඓතිහාසික කාර්චරෝඩොන් මෙගලොඩොන් විශේෂයට අයත් මෝර දතක් සහ වර්තමානයේ ජීවත් වන ග්රේට් වයිට් ටිප් (මිනී මෝරා) ⁣විශේෂයට අයත් දත්.(කළු පාටින් තියෙන්නෙ මෙගලොඩොන් දත)

මෙගලොඩොන් දතක් සහ මිනී මෝරකුගෙ දත්


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE






ක්‍රිටැසියස් ඇස්ටරොයිඩය ඝට්ටනය (Impact of Cretaceous Asteroid)


ක්‍රිටැසියස් ඇස්ටරොයිඩය ඝට්ටනය වීම ගැන හදපු ඉතාමත් අනර්ඝ කෙටි චිත්‍රපටයක්. විනාඩි 5 ක් අරන් බැලුවට පාඩු වෙන්නෙ නෑ. ඔවිරැප්ටර් සත්වයෙකුගෙ අවසන් විනාඩි කිහිපය තමයි මෙහි  නැවත සජීවිකරනය කර තිබෙන්නේ.



(අධ්‍යක්ෂනය - Andreas Feix
නිශ්පාදනය - Francesco Faranna

Via - Filmakademie Baden - Wurttemberg GmbH)


ක්‍රිටැසියස් නශ්ඨවීම ගැන ලිපි කලින් මෙම පිටුවෙ පලකල ලිපි කිහිපයට ලින්ක් එක පහතින් තිබෙනවා.

ලොව ප්‍රථම සුපිරි විලෝපිකයා (First apex predator of the world)


පරිණාමික දිනපොත සමඟ දිගටම රැඳී සිටියානම් පෘථෘවි ජීවී ඉතිහාසය තුල විවිධ කාල රාමු තුල අණසක පැතිරවු නොයෙකුත් විලෝපිකයන් ගැන අදහසක් ඔබට මේ වන විට ඇති. එන්ටීලඩොන්ට්, කෘපාන දන්තී ව්යාඝ්රයන් , ප්රාග්ඓතිහාසික කිඹුලන් විශේෂ, විලෝපික තල්මසුන්, විවිධ රැප්ටර් විශේෂ පිලිබඳව ලිපි මේ වෙද්දි මෙහි ඉදිරිපත් කර තිබෙන්නෙ. ඩයිනෝසරයන් මිහිමත පහල වීමට වසර මිලියන ගනනාවකට එපිටින් කේම්බ්රියානු සාගරයේ ආහාර දාම තුල සුපිරි විලෝපික තත්වයට පරිණාමය වු සත්ව කාණ්ඩයක් පිලිබඳව තමයි මේ ලිපිය.

වසර බිලියන බාගයක්, එනම් වසර මිලියන 500 කට පමණ ඉහතින් කේම්බ්රියානු අවධිය තුල ජීවත් වූ මේ සත්වයන්ව විද්‍යාඥයන් හඳුන්වන්නේ ලොව ප්රථම සුපිරි විලෝපිකයා ලෙස. කේම්බ්රියානු අවධිය සමයෙදි ගොඩබිම් ජීවය ඇරඹී නැහැ. එය ආරම්භ වන්නෙ තවත් වසර මිලියන දෙසිය ගනනකින් පසු ඇරඹෙන ඩෙවෝනියන් අවධියේදි. කේම්බ්රියානු අවධිය තුල පැවතියේ සාගර ජීවය පමණයි. මේ අවධිය තුල සිටි ජීවීන් එතරම් විශාලව නොවැඩෙන කුඩා ජීවී විශේෂ. උදාහරණයක් ලෙස එකල පැතිරී සිටි ට්රයිලෝබයිටාවන් සැලකුවොත් සාමාන්ය ප්රමාණය 15 cm සහ උපරිමය 30 cm දක්වා වැඩෙන ජීවීන්. නමුත් ඇනෝමලෝකැරිස් (Anomalocaris) නමින් හඳුන්වන මේ සත්ව ගනය මීටරයක් පමණ විශාලව වැඩුනු ජීවීන් කොටසක්.

ඇනෝමලෝකැරිස් ප්‍රමාණාත්මක සංසන්දනය 

ඇනෝමලෝකැරිස් සත්වයන් සංයුක්ත ඇස් හිමි වු සත්ව කාණ්ඩයක්. පරිණාමිකව ආත්රෝපෝඩාවන්ට (කෘමීන්, ඉස්සන්, මකුළුවන්, කකුළුවන් අයත් කාණ්ඩය) ලඟ ඤාතීත්වයක් දක්වන ඇනෝමලෝකැරිස් සත්වයන්ගෙ ෆොසිල මුල් කාලවලදි කුමන සත්වයෙකුට අයත්දැයි හඳුනා ගැනීමට නොහැකි තත්වයක පැවතුනේ. පසුකාලීනව ෆොසිල විද්යාවේ දියුණුවත් සමඟ මේ සත්ව කාණ්ඩය නිවැරදිව හඳුනා ගැනීමට හැකියාව ලැබුනා.

ඇනෝමලෝකැරිස් ප්‍රතිනිර්මාණයක්

ශරීරයේ ඛණ්ඩක චලනය කරමින් මේ සත්වයන් පිහිනීම සිදුකර තිබෙන්නේ. රවුම් හැඩැති මුඛය කටු ආකාර උපාංග පිහිටිමෙන් දැඩි තෙරපුමක් ලබාදිමේ හැකියාව මේ සත්වයන්ට තිබෙනවා. මුඛය දෙපසින් විශාලව වැඩෙන අත් ද්විත්වයක් පැවතීමෙන් ගොදුරු දැඩිව ග්රහණය කර මුඛය තුලට රුවා ගැනීමට හැකියාව තිබි ඇත.

මුඛය දෙපසින් විශාලව වැඩෙන අත් ද්විත්වය

ෆොසිලගත මලද්රව්ය සමඟ ලැබෙන ට්රයිලොබයිටා කොටස් සහ ඇතැම් ට්රයිලෝබයිටා ෆොසිල වල ඇති කැපුම් කැලැල් ඇනෝමලෝකැරිස් සත්වයන්ගෙ උපාංග මඟින් සිදු කර ඇති බව තහවුරු වෙනවා. කේම්බ්රියානු යුගය තුල තිබුනු දියුණුම අක්ශි සහිත සත්වයන් ඇනෝමලෝකැරිස් සත්වයන් බවයි සැලකෙන්නේ. කාච 16000 කින් පමණ සමන්විත මේ සංයුක්ත ඇස් ගොදුරු දෘශ්ඨියට නිවැරදිව හසුකර දීමට සමත්ව තිබෙනවා.

කේම්බ්රියානු අවධියෙන් පසුව මේ සත්වයන් වාර්තා වෙන්නෙ නෑ. ලොව ප්රථම සුපිරි විලෝපිකයා ලෙස විරුදාවලිය ලත් මේ සත්වාගෙ නමින් ඇස්ටරොයිඩයක් නම් කර තිබෙනවා "8564 ඇනෝමලෝකැරිස්" ලෙස.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Wednesday, August 21, 2019

පැරාසෙරතීරියම් (Paraceratherium)


පෘථෘවිය මත එතෙක් මෙතක් සැරිසැරූ විශාලතම ගොඩබිම් ක්ශිරපායීයා යන විරුදාවලියට තරඟ කරන සත්ව විශේෂ දෙකක් තිබෙනවා. මේ එක් සත්ව විශේෂයක් තමයි පැලියොලොක්සොඩොන් නැමැති සෘජු දල හස්ති විශේෂය. 

පැලියොලොක්සොඩොන්ලා ගැන මීට පෙර පරිණාමික දිනපොත තුලින් සඳහන් කිරීමක් මම සිදු කලා. පැලියොලොක්සොඩොන් හස්ථීන්ගෙ ලංකාවෙ සිට වඳව ගිය බවට සැලකෙරෙන ලංකාවට ආවේණික උප විශේෂයක් වෙන පැලියොලොක්සොඩොන් නැමැඩිකස් ගැනත් එහිදී සඳහන් කලා මතක ඇති පරිණාමික දිනපොත පිටුව ආරම්භ කල දින සිට මෙහි පලවන ලිපි කියවන්නන්ට. අලුතෙන් එකතු වුන අයට බලාගන්න එහි ලින්ක් එක මේ තියෙන්නෙ.



පැලියොලොක්සොඩොන් හස්ථීන් සමඟ කරට කර සිටින (ඇත්තටම හැබැයි පැලියොලොක්සොඩොන්ලට වඩා සෑහෙන උසයි) ඇතැම් ෆොසිල විද්යා ගුරුකුල වලට අනුව පැලියොලොක්සොඩොන්ටත් වඩා විශාලව සහ බරින් වැඩුනු පැරාසෙරතීරියම් සත්වයන් ගැන තමයි මේ කෙටි ලිපිය.

පැරාසෙරතීරියම්

පැරාසෙරතීරියම් ප්රතිනිර්මාණයක් ඔබ නිරීක්ෂණය කලොත් දක්නට ලැබෙන්නේ අශ්වයකු සහ ජිරාෆ් සතෙකුට අයත් ලක්ෂණ. නමුත් සැබෑ ලෙසම පැරාසෙරතීරියම් සත්ව ගනය ඤාතීත්වයක් දක්වන්නෙ වත්මන් රයිනෝසිරස් සතුන්ට. මීට වසර මිලියන 34 -23 අතර පැවති ඔලිගෝසීනය නම් වු භු කාල පරිඡ්ඡේදයේදි යුරේසියාව තුල, තවත් නිශ්චිත ලෙසම පැවසුවොත් චීනය සහ බෝල්කන් අර්ධද්වීපය අතර ප්රදේශය තුල තමයි මේ අති දැවැන්තයන් ජීවත් වුනේ.

ටොන් 15 -20 අතර බරකින් (රාත්තල් 33000 -45000) හෙබි. උරහිසට උස අඩි පහලවකින් පමණ සහ දිගින් අඩි 25 කින පමණ යුත් මේ ක්ශීරපායී සත්වයා වචනයේ පරිසමාප්තියෙන්ම අති දැවැන්තයෙක්. ඔවුන්ගෙ ප්රමාණය නිසාම විලෝපිකයන් අවම වන්නට ඇති බවට විද්‍යාඥයන් අදහස් පල කරනවා. ප්රමාණයෙන් විශාල වීමේදි සිදුවන අනෙක් වෙනස තමයි මන්දගාමී ප්රජනන රටාව. උදාහරණයකට වර්තමානයෙදි ජීවත්වන හස්ථියකු සලකා බැලුවොත් මාස 22 ක පමණ ගැබ් සමයක් ගත කරනවා, ඉන් පසු තවත් වසර කිහිපයක් යන තෙක් පැටවාට කිරි දීමට ගත කරන නිසා ඔවුන්ගෙ පැටවුන් බිහි කිරීම අතර කාල පරතරය අධිකය. මේ සිද්ධාන්තයම පැරාසෙරතීරියම් සත්වයිනටත් අදාල වන්නට ඇති බවට තමයි අදහස් පල වෙන්නෙ.

පැරාසෙරතීරියම් සත්වයින් පූර්ණ ශාඛ භක්ෂකයන්. මේ හේතුව නිසා ඔවුන් සංක්රමණික රටාවන් දක්වන්නට ඇති බවටයි දැනට පිලිගත් මතය. මේකට හේතුව තමයි පැරාසෙරතීරියම් වැනි විශාල සත්වයින්ගේ ජෛව ස්කන්ධයට පාරිසරික නිකේතනය තුලින් ලබාදෙන ආහාර ප්රමාණය සීමිත නිසා ඔවුන් ආහාර සොයමින් විශාල ප්රදේශ හරහා සංක්රමණය වීමට පෙළඹීම. මේ සිද්ධියත් වර්තමාන හස්ථින් සමඟ සන්සන්දනය කරන්න පුළුවන්.

වසර මිලියන 11 පමණ දීර්ඝ කාලයක් මේ සතුන් ජීවත් වෙනවා. නමුත් ඔලිගෝසීන යුගයේ අවසාන භාගයට පැමිණෙන විට මේ සතුන් ෆොසිල වාර්තා වලින් ඉවත් වෙනවා. ඒ කියන්නෙ ඔලිගෝසීනය අවසානයේදි මේ සතුන් නශ්ඨවීම සිදුවෙලා. එසේ වීමට හේතුව කුමක්ද ?

නශ්ඨවීම සම්බන්දයෙන් මත කිහිපයක් පවතිනවා. නමුත් මතක තබාගත යුතු කාරණය තමයි නශ්ඨවීම් සිද්ධි සඳහා එක් හේතුවක් පමණක් බල නොපාන බව. දාමාකාර ප්රතික්රියාවක් මෙන් හේතු කිහිපයක් සංගත වීමෙන් මේ සිද්ධි ඇති වෙනවා. ප්රධානම චූදිතයා තමයි දේශගුණික විපර්යාස. දේශගුණික විපර්යාස සමඟ ඇතිවන වන වැස්මෙ විචලනයන් සමඟ මේ සත්වයින්ට ආහාර නොමැති වීම.

ඒ වගේම ඔලිගෝසීනය අවසානයේදි යුරේසියාව ආක්රමණය කරනවා ගොම්ෆොතීර් හස්ථීන්. ගොම්ෆොතීරියම් කියන්නෙ ප්රාග්ඓතිහාසික හස්ථීන් කුලයක්. ගොම්පෝතීරියම්ස්ලා ඔලිගෝසීනය අවසානයේදි අප්රිකානු නිජබිම් තුලින් යුරේසියාවට ක්රමිකව සංක්රමණය වෙනවා. මේකෙ අතුරුඵලය තමයි යුරේසියානු පාරිසරික නිකේතන සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට මේ සතුන් දායක වීම. ඒ කොහොමද ? ගොම්පෝතීරියම් සතුන්ගෙ හැසිරීම වර්තමාන අප්රිකානු සැවානා හස්ථීන්ට සම කරන්න පුළුවන්. ඔවුන් විශාල ගස් බිම පෙරලා දමමින්, කඳන් වලට හානි කරමින් වන වැස්ම සැවානා තෘණ භූමී තත්වයේ පවත්වා ගැනීමට දායක වෙනවා. ගොම්පෝතීරියම් සතුන් මෙයම සිදුකරන්නට ඇති බවට තමයි සාධක ලැබෙන්නෙ. මෙහි ප්රතිඵලය වෙන්නෙ පැරාසෙරතීරියම් ප්රිය කරන වන වැස්ම අහවර වීම සහ ඔවුන් උඝ්ර ආහාර ප්රශ්නයකට මුහුණ පෑම.

තවත් එක් කාරණයක් විදිහට සලකන්න පුළුවන් ඔලිගෝසීනය අවසානයත් සමඟම අප්රිකානු නිජබිම් තුලින් යුරේසියාවට ඇතුල් වන විශාල විලෝපිකයන්. හයිනේයිලියුරුස් (විශාල හයීනා ගනයක්), ඇම්ෆිසියොන් ( සුනඛයෙකු සහ වලසෙකු අතර පෙනුමක් ඇති විශාල ක්ශිරපායි විලෝපිකයෙක්) වැනි සත්ව විශේෂ පැරාසෙරතීරියම් පැටවුන් ආහාරයට ගත් බවට සාධක පවතිනවා. දීර්ඝ ප්රජනන රටාවක් පෙන්වන පැරාසෙරතීරියම් ගහනයට මෙය දරාගත නොහැකි පාඩුවක්. ආහාර අඩුවීම, නව ජනිතයින් අවම වීම වගේ කාරණා එක්ව ගත්තම නැවතත් හිස එසවිය නොහැකි ලෙස අවම වුන පැරාසෙරතීරියම් ගහනයක් ඔලිගෝසීනය අවසානයත් සමඟ ක්රමිකව නශ්ඨවීම සිදුව තිබෙනවා.

පරිණාමික දිනපොත තුල පැරාසෙරතීරියම් පරිඡ්ඡේදය වසර මිලියන 11 ක්, වසර ලක්ෂ එකසිය දහයක්. අප, එසේත් නැත්නන් හෝමෝ සේපියන්වරු තවමත් ගත කර තිබෙන්නෙ විශේෂයක් ලෙස ගත්තම ආසන්න ලෙස වසර ලක්ෂ තුනක් පමණයි. භු කාල රාමුව කොතරම් දීර්ඝද.. ස්වභාවධර්මය තුල ජීවී විශේෂයක රඳා පැවැත්ම කොතරම් අවිනිශ්චිතද යන කාරණා සේපියන්වරු තවමත් අවබෝධ කරගෙන නැහැ. ඒ ගැන සිතීමට ඉඩ තබා පරිණාමික දිනපොත තුල පැරාසෙරතීරියම් පරිඡ්ඡේදය අවසන් කරනවා.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ජීවී නශ්ඨවීම් (Extinct species in the 21st century)


ජීවී ලෝකය තුල අඛණ්ඩව නශ්ඨවීම්, එසේත් නැත්තනම් වඳ වීමේ ක්රියාවලින් හටගෙන තිබෙනවා. මේ සියළු නශ්ඨවීම් සංසිද්ධි ස්වාභාවික හේතුන් මත ඇති වු ක්රියාවලි. 

නමුත් පසුගිය සියවස තුල මානව ක්රියාකාරකම් නිසා අහිමි වූ සත්ව විශේෂ ගනන නොගිනිය හැකි තරම් විශාලයි. වඳ වීම ආපසු හැරවිය නොහැකි ක්රියාවලියක්. සමස්ථ ජීවී විශේෂයම නශ්ඨවීම යනු ඔවුන් නැවත කිසිදිනක පෘථෘවිය මත සැරිසරනු දැකිය නොහැකි වීමයි.

මේ පසුගිය සියවස තුල නශ්ඨ වූ අපූරූ ජීවී විශේෂ කිහිපයක්.





(Via - ScienceNaturePage)



#DOE





ප්ලයස්ටොසීන උතුරු ඇමරිකානු දර්ශනය ( A scene from North America in Pleistocene)


උතුරු අමරිකානු මහද්වීපයට සංක්රමණය වුන මුල් හෝමෝ සේපියන්වරුන්ට දඩබිම් වලින් අඩුපාඩුවක් නොතිබුනා. වසර මිලියන ගනනකට කිසිම හොමිනිඩ් විශේෂයක් පා නොතැබූ අමරිකානු භූමිය ප්ලයස්ටොසීන යුග⁣යේ විශාල ක්ශීරපායින්ගෙන් පිරුණු භූමියක්. දඩයම් තිබු පමණින් සේපියන්වරු එකම දඩයක්කාරුවා නොවන බව ඔවුන්ට තහවුරු වීමට වැඩි කල් නොයන්නට ඇති.




මේ ප්ලයස්ටොසීන උතුරු ඇමරිකානු දර්ශනයෙන් ප්රතිනිර්මාණය කෙරෙන්නේ එවැනි කතාවක්. තුවාල කල 'බයිසන් ලැටිෆ්රන්ස්' (Bison latifrons) යෝධ බයිසන් ගවයකු (වර්තමානයේදි වඳ වී ඇති) හඹායන ⁣සේපියන්වරුනට දක්නට ලැබෙන්නේ තමන්ගෙ දඩයම අත්පත් කරගෙන සිටින භූමිය උරුම සුපිරි විලෝපිකයා 'ස්මයිලඩොන් ෆෙටෑලිස්' (Smilodon fatalis) එහෙම නැත්තනම් 'කෘපාන දන්තී ව්යාඝ්රයන්' දෙදෙනෙකුයි.

ශක්තිමත් ස්මයිලොඩෝන් සත්වයකුගෙ අසිපත් වැනි දත් ගල්ආයුධ වලින් තැනූ හෙලි වලට පාලනය කල නොහැකි බැවින් මනුශ්ය දඩයක්කරුවන් දඩයම වීමට පෙර පසු බැසිය යුතුයි...


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ඩයිනෝසර පාදයක් (A Dinosaur foot)


ෆොසිලභවනය නොවී, සම, මස්, DNA සහිතව, ජීවත්ව සිටි ආකාරයටම හිම මත තිබී හමුවු වසර මිලියන ගනනක් පැරණි ජුරාසික යුගයට අයත් ඩයිනෝසර පාදයක් කියලා ලේසියෙන්ම කියන්න පුළුවන් විදියේ ඡායාරූපයක්...



ඇත්තටම මේ තියෙන්නෙ ඩයිනෝසර පාදයක් නෙවෙයි වර්තමානයේදි ජීවත්වන කැසොවරි පක්ශියෙකුගෙ පාදයක්. කැසොවරිස්ලා ජීවත් වන්නෙ නිව්ගිනියා සහ ඔස්ට්රේලියානු කලාපයේ. වර්තමානයේදි කැසොවරි විශේෂ තුනක් දකින්න පුළුවන්, ඒ අතරින් සදර්න් කැසොවරි (Casuarius casuarius) සත්වයෙකුට අයත් පාදයක් තමයි මේ. ආර්කෝසෝරියා නැමැති පුර්වජ කාණ්ඩයෙන් පක්ශීන් අයත් ආවේස් කාණ්ඩය පරිණාමය වන්නෙ ඩයිනෝසරයන්ගේ එක් පුරුකකින්. සරලවම කිව්වොත් පක්ශීන් කියන්නෙ ඩයිනෝසරයන්ගෙ වර්තමාන ඤාතීන් කොටසක්. මේ කැසොවරි පාදය රූප විද්යාත්මකව එය සනාථ කරන්න පුළුවන් හොඳම නිදසුනක්.

කැසොවරි පක්ශීන් ලොකේ තෙවනියට උසම පක්ශින් වන අතරේ දෙවනියට බරින් වැඩිම පක්ශියා. පැස්බරා සහ එමූ පක්ශීන් තමයි ඔවුන් සමඟ කරට කර සිටින අනෙක් විශේෂ. මේ පක්ශි වර්ග තුනම මරාන්තික පා පහරවල් ලබා දීමට ප්රසිද්ධියක් උසුලන විශේෂ. කැසොවරි කුරුල්ලන් එක් පා පහරකින් උදරය විවර වන ලෙ පහර දීමට හැකියාවක් තිබෙන බවට ඔස්ට්රේලියානු ඇබොරොජින් ආදීවාසීන් අතර ප්රසිද්ධ කතාවක් තිබෙනවා.

පරිණාමයේ ජීවමාන සාක්ෂි ඔබ මේ දකින්නෙ. කැසොවරි සත්වයන් බලන්න කැමතිනන් දෙහිවල සත්වෝද්යානයේදි ඔවුන්ව බලන්න පුළුවන්. සත්වොද්යානයට යනවා නම් මේ කරුණත් මතක තබාගන්න. සත්වෝද්යානයන්ගෙ සතුන් සිර කර තබා තිබෙන්නේ ඔවුන්ගෙ නිදහස පූර්ණ ලෙසම අහිමි කර. එම නිසා ඔබ ඔවුන් නරඹන විට සත්වෝද්යාන රීති වලට අවනත වෙන්න. ආහාර ලබා දීම, ගල් ගැසීම වගේ ප්රාථමික දේවල් නොකරන්න. සෑම ජීවියෙකුටම යම් ගරුත්වයක් සතුයි.

පහල තිබෙනවා  කැසොවරි සත්වයෙකුගෙ සම්පූර්ණ ඡායාරූපයක්.

කැසොවරි


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




අනක් ක්‍රැකටෝවා (Anak Krakatoa)


ජෛව ඉතිහාසය පුරාවටම ස්වභාවධර්මයේ විනාශකාරී බලයන් යම් යම් අවස්ථා තුලදී ක්රියාත්මක වීමෙන් පරිණාමික ගමන් මඟ ⁣වෙනස් වීම වගේම ජීවී කාණ්ඩයන් සහමුලින්ම පෘථෘවිය තුලින් අතුගා දැමීමට ලක්ව තිබෙනවා. ගිනිකඳු ක්රියාකාරීත්වය කියන්නෙ එවන් එක් අති විශාල විනාශකාරී බලයක්.

මිනිස් හැඟීම් දැනීම් වලට ග්රහනය නොවුනට ⁣අපි ජීවත් වෙන භූ තැටි නිරන්තරයෙන්ම විවිධ දිශාවන්ට තල්ලු වෙමින් පවතිනවා. පැන්ජියාව, ගොන්ඩ්වානාව ආදි විශාල මහද්වීප ඛන්ඩනය වී වර්තමානයේදි අප දකින භූ සිතියම නිර්මාණය වෙන්නෙ එලෙස. මේ ක්රියාවලිය අඛණ්ඩ ක්රියාවලියක්. එමනිසා නිරන්තරයෙන්ම පෘථෘවිය මත පවතින භූ සිතියම වෙනස් වීම් වලට ලක්වනවා. මේ විවිධ භූ තැටි ඝට්ටනය වන, එක මත එක ඇතිල්ලෙන, තල්ලුවෙන කලාප වලින් හටගන්නා එක් අතුරුඵලයක් තමයි ගිනිකඳු.

ඉහත ප්රවිශ්ඨය මම ලබාගත්තෙ පසුගිය දෙසැම්බර් 22 දා ඉන්දුනිසියාවට බලපාපු සුනාමියට හේතු වුන ගිනිකන්ද ගැන කුඩා විග්රහයකට. 2018 දෙසැම්බර් 22 හටගත් සුනාමියට මූලය වන්නෙ අනක් ක්රැකටෝවා නම් වු ගිනිකන්ද. අනක් ක්රැකටෝවා කියන නමේ අර්ථය තමයි 'ක්රැකටෝවාගෙ දරුවා' යන අර්ථය. 

මේකෙ ඉතිහාසය ගැන කතා කලොත් අනක් ක්රැකටෝවා බිහිවීමට පෙර තිබුනෙ ක්රැකටෝවා නැමැති විශාල ගිනිකඳු දුපත. 1883 වර්ශයේදි එය විදාරණය වීමත් සමඟම ඇතිවන ආවාටය තුලින් තමයි අනක් ක්රැකටෝවා බිහිවන්නේ. අනක් ක්රැකටෝවා කියන්නෙ ක්රැකටෝවා කැල්ඩෙරාවෙ හතරවෙනි දූපත. මීට පෙර විටින් විට විදාරණය වුන කැල්ඩෙරා දුපත් තව තුනක් මේ දුපත් සමුහයේ පැවතෙනවා. ලෑන්ග්, වර්ලැටන්, රකාටා මේ දුපත් ත්රිත්වය. අනක් ක්රැකටෝවා හටගන්නෙ 1927 වර්ශයේදි.

දැන් මේ ක්රැකටෝවා සමුහය අයත් ප්රදේශයේ ගිනිකඳු ක්රියාකාරීත්වය හටගන්න හේතු පාදක වෙන්නෙ භූ තැටි ක්රියාකාරීත්වය.ඉන්දුනීසියාව තිබෙන භූ තැටිය ගිනිකඳු බහුල කලාපයක්. මේකට හේතුව ඉන්දුනිසියා භූමිය පවතින්නෙ මහද්වීප භූ තැටි ද්විත්වයක් සහ සාගර භූ තැටි ද්විත්වයක් ඝට්ටනය වන ස්ථානයක් අතරමැද. යුරේසියානු සහ ඔස්ට්රේලියානු භූ තැටිත්, පිලිපීන සහ පැසිෆික් සාගර භූ තැටිත් මේ කලාපයේදි ගැටෙනවා. එහි ප්රතිඵල තමයි ගිනිකඳු සහ භූ කම්පන.

2018 දෙසැම්බර් 22 විදාරණය වන අනක් ක්රැකටෝවා හේතුවෙන් විශාල කලාපයක් මුහුදු පතුලට නාය යෑමක් සිදුවෙනවා. ප්රතිඵලය වන්නෙ සුනාමි රළ තරංග. විශාල පාංශු ස්ථර පතුලට කඩා වැටීමේදි විස්ථාපනය වන ජල ප්රමාණය අධිකයි. ඒ නිසා මේවයින් ඇතිවෙන සුනාමි රළ ඉතාමත් විනෘශකාරී ස්වරූපයක් උසුලනවා.

පහත ඡායාරූපයෙන් බලන්න පුළුවන් අනක් ක්රැකටෝවා විදාරණයේ පෙර සහ පසු ස්වරූපය.

අනක් ක්‍රැකටෝවා

ප්රාග් ⁣ඓතිහාසික යුගයන්වල වගේම මේ වගේ වර්තමාන සිද්ධීන් නිසාත් ජීවීන් වඳවීමේ තර්ජනයට ලක්වෙනවා. අනක් ක්රැකටෝවා සුනාමි නිසා මේ වෙද්දි තර්ජනට ලක්ව සිටින්නේ ජාවා දූපතේ ජීවත් වන ලොව අවසන් ජාවන් රයිනෝසිරස් සතුන් 67 දෙනා. වාසනාවකට දෙසැම්බර් 22 සුනාමිය ඔවුන්ට බලපෑම් නොකලත් මේ සමස්ථ ජීවී විශේෂයම ජීවත් වන්නෙ කාලය සමඟ සටනක. තවත් එක් විදාරණයකින් ඔවුන්ගෙ පරිඡ්ඡේදය අහවර වෙන්න පුළුවන්.

අතීතයෙන් තවත් එක් උදාහරණයක් ගත්තොත් සුමාත්රාවලම පිහිටන ටෝබා ගිනිකන්ද මීට වසර 75000 කට පමණ පෙර විදාරණය වුනා. එය නම් කරන්නෙ සුපර් ඉරප්ශන් එකක් ලෙස. ටෝබා විදාරණය කොතරම් බලවත්ද යත් සුමාත්රාවේ ටෝබා විදාරණය වන ශබ්දය එකල ලංකාවේ සිටි අයෙකුට ඇසිය හැකිව තිබුනා. ටෝබා ගිනිකන්දෙන් පිටවු අළු ඉන්දියාවෙ පාංශු ස්ථරායනයෙන් ලැබෙනවා. උදාහරණයකට ඉන්දියාවේ ජ්වාලපුරම් වගේ ප්රාග්ඓතිහාසික මානව ක්රියාකාරකම් තිබු ප්රදේශවල මේ ටෝබා අළු තට්ටුවට යටින් ගල් ආයුධ ලැබෙනවා. අළු තට්ටුව අවසන් වූ පසුත් නැවතත් ගල් ආයුධ ලැබෙනවා. ටෝබා විදාරණය අළු තට්ටුවට යටින් ලැබෙන සංස්කෘතියට බලපෑම් කලාද ? ඔවුන් නශ්ඨව ගියාද ? අළු තට්ටුවලට පසුව ලැබෙන සංස්කෘතිය පෙර පැවති සංස්කෘතියමද නැත්නම් වෙනත් සංක්රමණික කණ්ඩායමක්ද ? ආදී ගැටළු අදටත් ඉන්දීය පුරාවිද්යාඤයන් අතර දැඩි වාද විවාද වලට ලක්වන ගැටලු.

කෙසේ නමුත් ඔබට වැටහෙන්නට ඇති ගිනිකඳුවල විනාශකාරී බලය සහ ඒවා ජීව පරිණාමයේ හැරවුම් ලක්ශ බවට පත්වන ආකාරය. එය වැටහුනානම් මේ ලිපිය සාර්ථකයි.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




මයිසීලියම් (Mycelium)




මේ තියෙන්නෙ වීදුරු ටැංකියක වර්ධනය වෙන්නට ඉඩහැර තිබු කුඩා පයින් ශාඛයක්. මෙහි මූල පද්ධතිය වටා සුදු පාටට විහිදෙන්නෙ දිලීර මයීසීලියම. දිලීර සහ ශාඛය අතර තිබෙන්නෙ සහජීවී සම්බන්ධතාවක්. ශාඛයට අවශ්ය ජලය, ඛණිජ ද්රව්ය ආදිය අවශෝෂණය කරගැනීමට මේ මයිසීලියම් වැදගත් මෙහෙයක් ඉටු කරනවා. පෘථෘවියේ පවතින ශාඛ වලින් 95% කම මේ මයිාකා්රයිසල් දිලීර ජීවත් වෙනවා.

මේ පයින් ගස ස්වාභාවිකව නැරඹුවොත් දකින්න හැකිවෙන්නෙ සෙන්ටිමීටර කිහිපයක් පොලොවෙන් ඉහලට මතුවු කුඩා පැලෑටියක් ලෙස පමණයි. නමුත් පසට යටින් සිදුවන සමස්ථ ක්රියාවලිය අතිමහත්. ශාඛයක් යනු සමස්ථ පරිසර පද්ධතියක්. ⁣පාංශ ක්රියාවලිය, ශාඛ කඳේ සිදුවන ක්රියාවලියන්, අතුපතර අතර වාසය කරන සත්ව විශේෂ සහ මේ සියළු ක්රියාවලියන් අතර අන්තර් සබඳාතාවන් ඉතාමත් වැදගත්. 

ඇතැම් ශාඛ විශේෂ තිබෙනවා කුහුඹුවන් විශේෂ සමඟ සහජීවි සබඳතාවන් ගොඩනගා ගත්. .කුහුඹුවන් ශාඛයට ආරක්ෂාව ලබා දෙන විට ශාඛය විසින් ඔවුනට වාසස්ථාන සපයනවා කඳ සහ අතු තුල කුහුඹුවන්ට වාසය කල හැකි කුහර ලබා දීමෙන්. මෙවැනි පරිණාමික ක්රියාවලින අධ්යනය ඉතාමත් සිත්ගන්නාසුළු විෂයක්. කුහුඹුවා සහ ශාඛය අතර සබඳාතාව හටගත්තේ කොයි කාලයේද ? එසේ සිදුවුනේ ඇයි ? කොහොමද ? වැනි ගැටළු රාශියකට එමඟින් පිලිතුරු සෙවීම අරමුණ. 

මේ ඡායාරූපයේ දැක්වෙන දිලීර සහ ශාඛ අතර සම්බන්දයත් එසේමයි. ඇතැම් විට ඔබට සිතෙන්න පුළුවන් එවැනි ප්රශ්න වලට පිලිතුරු සෙවීමෙන් ඇති ඵලය කුමක්ද ? මිනිසාට ඇති ප්රයෝජනය කුමක්ද කියා. අපි මේ ගත්ත උදාහරණයම සලකා බැලුවොත් දිලීර සහ ශාඛ අතර සහසම්බන්ධය වගා කටයුතු වලදි ඉතාමත් ප්රයෝජනවත් ලෙස යොදාගන්න පුළුවන් සංකල්පයක්. දිලීර නොවැඩෙන නිසරු පසකට වඩා දිලීර සඳහා යෝග්ය සරු පසක් තුලක් ශාඛ වල කාර්යක්ෂමතාව ඉහලයි. එවැනි දෑ තුලින් පරිණාමික ජීව විද්යාව ඉතාමත් ඵලදායි ලෙස මනුශ්ය අවශ්යතාවන් සඳහා භාවිතා කරන්න පුළුවන්.

කෙසේ නමුත් ශාඛයක් කියන්නෙ පෙර පැවසු පරිදි සමස්ථ පද්ධතියක්. ඒ නිසා ශාඛයක් පරිසරයෙන් ඉවත් කරද්දි එය හුදෙක් ගසක් කැපීමෙන් හමාර වෙන්නෙ ⁣නෑ. දාමාකාර ප්රතික්රියාවක් වගේ අන්තර් සබැඳී පද්ධති රාශියකට ඒ හේතුවෙන් අනිටු ඵල හටගන්නවා. සබුද්ධික මිනිසුන් ලෙස වන විනාශයන්, හරිත ආවරණයන් ඉවත් කිරීම වැනි කටයුතු ගැන විමසිලිමත් විය යුත්තෙ, ප්රශ්න කල යුත්තේ මේ නිසයි.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී) 



#DOE




ආත්‍රෝප්ලියුරා (Arthropleura)


ආත්රෝප්ලියුරා යනු මීට වසර මිලියන 315 - 299 ත් අතර කාබොනිෆරස් යුගයේ අවසන් කොටසේ ජීවත් වුන වර්තමාන හකරැල්ලන්⁣ට ඤාතීත්වයක් දක්වන සත්ව ගනයක්. 

අපෘෂ්ඨවංශික සත්ව කාණ්ඩ අතරින් එතෙක් මෙතෙක් ජීවත් වූ විශාලතම සත්වයන් අයත් වන්නෙ ආත්රෝප්ලියුරාවන්ට. කාබොනිෆරස් යුගය අවසාන වන විට තෙත් වනාන්තරවල නැති වී යාමත් සමඟම ආත්රෝප්ලියුරාවන් වැනි විශාල ආත්රෝපෝඩාවන් වඳව යෑමට ලක් වනවා. 

මීටර් දෙකක් පමණ දිගින් සහ 50 cm පමණ පලලින් යුත් ආත්රෝප්ලියුරා ආර්මටා වැනි විශාල විශේෂයක ප්රතිනිර්මාණයක් තමයි පහත දැක්වෙන්නේ.


ආත්රෝප්ලියුරා

(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ඔස්ට්‍රේලියානු දඩබිම් තුල භීතිය (The terror of prehistoric Australia)


මහද්වීප ප්ලාවිත සිද්ධාන්ත අනුව ගොන්ඩ්වානා මහද්වීපයෙන් ඔස්ට්රේලියානු භූ තැටිය වෙන් වන්නෙ මීට වසර මිලියන 180 කට පමණ පෙර. එවක් පටන් මහද්වීපය තුල ඉතිරිවන සත්ව වර්ගයා පරිණාමයට ලක්වන්නෙ හුදෙකලා කලාපයක. වර්තමානයේදි පවා ඔස්ට්රේලියානු මහද්වීපය තුල දකින්නට ලැබෙන සත්ව විශේෂ වෙන කිසිඳු කලාපයක් තුලින් දකින්න අපහසුයි. උදාහරණයකට පැසිපොව්වන් (පැටවුන් පැසක් තුල රඳවා ඇතිදැඩි කරන) 99% පමණ දකින්න පුළුවන් ඔස්ට්රේලියානු කලාපය තුල පමණයි.

ලොව ඕනෑම කලාපයක් තුල ජීවී පරිණාමය සිදුවීමට බලපාන එක් කරුණක් තමයි පාරිසරික නිකේතන වල අවශ්යතාවන්. මේ කතාව මෙහෙම සරල කරන්න පුළුවන්. හරිත ආවරණ වැඩිවශයෙන් පවතින විට ශාඛ භක්ෂකයන්ට නිකේතනයක් ඇතිවනවා. එමඟින් ශාඛ භක්ෂක සතුන් අදාල නිකේතනය තුල තහවුරු වෙනවා. ශාඛ භක්ෂකයන්ගෙ වැඩි වීම තුල මාංශ භක්ෂක විලෝපිකයන්ට පාරිසරික නිකේතනයක් විවෘත වෙනවා. ඒ හෙතුවෙන් මාංශ භක්ෂක විලෝපික ප්රජාවක් අදාල පාරිසරික නිකේතනය සඳහා විශේෂනය වෙනවා. මේ සත්වයින් මේ එක් එක් නිකේතන තුල උපරිම ලෙස යැපීම තහවුරු කරගත් නිපුනයින්, එක්ස්පර්ට්ස්ලා.

ඔස්ට්රේලියානු කලාපය තුල පැසිපොව්වන් විශේෂ ගනනාවක් ප්ලයෝසීන යුගයේ සිට වර්තමානය දක්වා පරිණාමය වෙමින් පැවතෙනවා. මේ අතරින් ප්ලයෝසීන යුගයේ සිට ප්ලයස්ටොසීනය දක්වා ප්රොකොප්ටොඩොන් ගනයේ යෝධ ශාඛ භක්ෂක කැන්ගරු විශේෂ ගනනාවක්, ඩයිප්රොටොඩොන් ගනයේ යෝධ වොම්බැට් සතුන් ගනනාවක් පැතිරුනා. මේ සත්වයන් පූර්ණ ශාඛ භක්ෂකයන් වගේම යෝධ සත්වයන්. උදාහරණයකට පෙර සඳහන් කල ප්රොකොප්ටොඩොන් කැන්ගරුවෙක් සලකා බැලුවොත් වර්තමානයේදි ජීවත්වන විශාලතම කැන්ගරු සත්වයා මෙන් තුන් ගුණයක්. වර්තමානයේදි ජීවත් වන වොම්බැට් සතුන් කුඩා සුනඛයෙකුගෙ ප්රමාණය වුවත් ඩයිප්රොටෝඩෝන් ගනයේ වොම්බැට් සතුන් මධ්යම ප්රමාණයේ හස්ථියෙකුගෙ ප්රමාණය.

ඔස්ට්රේලියානු බිම් තුල මෙවැනි යෝධ ශාඛභක්ෂකයන් පැතිරෙන විට වෙනත් භූමි තුලින් කොටි, සිංහයන්, ව්යාඝ්රයන් වැනි මාංශභක්ෂකයන් ඔස්ට්රේලියානු භූමියට ඇතුල් වීමට ඉඩ ඇහිරිලා. හේතුව ගොඩබිම් සබඳතාවක් නොමැති ඔස්ට්රේලියාව හුදෙකලා මහද්වීපයක්. මේ පාරිසරික නිකේතනයේ අැබෑර්තුව පිරවීමට භූමිය තුලින්ම නව සුපිරි විලෝපිකයකු පරිණාමය වෙනවා. 'තයිලකලියෝ කාර්නිෆැක්ස්' නැමැති මේ සත්වයාත් පැසිපොව්වෙක්.. කැන්ගරුවන් මෙන් පැස තුල පැටවුන් තබාගත් සත්වයෙක්. නමුත් තයිලකලීයෝ කාර්නිෆැක්ස් විලෝපිකයෙක්. වෙනත් මහද්වීප තුල සිංහයන් ව්යාඝ්රයන් කල කාර්ය සිදුකරන්නෙ මේ සත්ව විශේෂය. තයිලකලීයෝ නාමයේ අර්ථය පැසක් සහිත සිංහයා.

තයිලකලීයෝ කාර්නිෆැක්ස් මධ්යම ප්රමාණයේ සිංහයකු තරම් වැඩුනු සත්වයෙක්, නමුත් හනු බලය සිංහයන් අභිබවා යන්නක්. එක් හනු තෙරපුමකින් යෝධ කැන්ගරුවකු හෝ වොම්බැට් සත්වයෙකු දඩයම් කල හැකි වූ මේ සත්වයා සමාන්තර පරිණාමය (convergent evolution) සඳහා කදිම උදාහරණයක්. පරිණාමිකව සිංහයන් ව්යාඝ්රයන් වැනි බිළාලයන් සමඟ කිසිඳු සමීප බවක් නොදැක්වුවත් තයිලකලීයෝ පරිණාමය වී තිබෙන්නේ බිළාල විලෝපික ආකාරයට. ශරීර පිහිටීමත් බැලු බැල්මට බිළාලයෙකු ලෙස පෙනීමට තිබීමෙන් ස්වභාවධර්මයේ සැලසුම් හැකියාව මනාව පිලිඹිඹු වෙනවා. නමුත් තයිලකලීයෝ කාර්නිෆැක්ස් සත්වයෙකුගෙ අභ්යන්තර අස්ථි සැකැස්ම සහමුලින්ම වෙනස්. එමෙන්ම දන්ත සැකැස්ම දිහා බැලුවොත් බිළාලයන්ට කිසිඳු සමානකමක් නොදක්වන බව දැකගත හැකයි. සාමාන්යයෙන් පිහිටව කෘන්තක රදනක සැකැස්ම තයිලකලීයෝටම ආවේණික දන්ත සැකැස්මක් බවට පත්ව තිබෙනවා.

තයිලකලීයෝ කාර්නිෆැක්ස්

කෙසේ නමුත් මේ සත්වයන් ප්ලයෝසීන යුගයේ සිට ප්ලයස්ටොසීනය තෙක් කාල වකවානුව තුල ඔස්ට්රේලියානු දඩබිම් බියෙන් සලිත කරන්නට ඇති බවට කිසිඳු සැකයක් නෑ. දරුණු දත් පහරවල් සහිත ඩයිප්රොටොඩොන් , ප්රොකොප්ටොඩොන් අස්ථි ෆොසිල සහ අර්ධ ෆොසිල මේ පිළිබඳව තහවුරු කරනවා. තයිලකලීයෝ ප්ලයස්ටොසීනය අහවර වනවාත් සමඟම වගේ පරිණාමික දිනපොතේ පිටු අතරින් සදහටම සමුගන්නවා.. 

ප්රොකොප්ටොඩොන්ස්, ඩයිප්රොටොඩොන්ස්, ජෙනිඕර්නීස් වැනි ඔස්ට්රේලියානු සත්ව සන්තතියක්ම ප්ලයස්ටොසීනය තුලදි සදහටම වඳව යනවා. ඒකට හේතුව කාළගුණ විපර්යාසද ? නොමැතිනන් ප්ලයස්ටොසීනය අවසන් භාගයේදි ඔස්ට්රේලියානු දඩබිම් ආක්රමණය කරන හෝමෝ සේපියානුවන්ද ? ඒ පරිඡ්ඡේදය වෙනම දවසකට.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




සනජේ ඉන්ඩිකස් (Sanajeh indicus)


බොහෝ අවස්ථාවලදි ජුරාසික්, ක්රිටැසියස් අවධි ගැන කතා කරද්දි යුරෝපා සහ උතුරු ඇමරිකානු කලාපය ගැන සටහන් වුනාට අදාල යුග වලදි වෙනත් කලාපවල ජීවත් වුන සතුන් ගැන සටහන් වෙන්නෙ සුළු ප්රමාණයක්. ඒ නිසා ඒ අඩුව පුරවන්න අසල්වාසි ඉන්දියාවෙ පුරා ජෛව විවිධත්වයෙ කොටසක් ගැන තමයි මේ සටහන.

ක්රිටැසියස් අවධියේ අවසාන භාගය වෙද්දි ඉන්දියානු භූ තැටිය (ලංකාව සහ ඉන්දියාව මේ කාලෙදි එකම භූමියක්) ඇන්ටාර්ක්ටික් සහ අප්රිකානු භූ තැටි වලින් වෙන්වී උතුරු දෙසට තල්ලු වීම ඇරඹී යම් කාලයක් ගත වෙලා. ලේට් ක්රිටැසියස් එහෙම නැත්තන් ක්රිටැසියස් අවසන් භාගය විහිදෙන්නෙ මීට වසර මිලියන 94 පමණ පෙර සිට.

ලේට් ක්රිටැසියස් යුගයෙදි ඉන්දියාවෙ බටහිර කොටසෙ ජීවත් වුන සර්ප විශේෂයක් තමයි "සනජේ ඉන්ඩිකස්" විශේෂය. 2010 දී ඉන්දියාවෙ ලැමෙටා භූ සංකීර්ණයෙන් ලැබෙන ප්රථම ෆොසිලය ඉතාමත් විශේෂිත ෆොසිලයක්. ෆොසිල සාධක අනුව සලකා බැලු විට ෆොසිලය අයත් සර්පයා අඩි 11 පමණ දිගුවට වැඩුනු සත්වයෙක් බවට අනුමාන කෙරෙනවා. 

මේ සර්ප විශේෂය මැඩ්ට්සොයිඩේ කුලයට අයත් විශේෂයක්. මැඩ්ට්සොයිඩේ කුලය ගොන්ඩ්වාන සම්භවයක් සහිත සර්ප කුලයක්. තවත් සරල කරලා කිව්වොත් සියළු භූ ප්රදේශ එකට හා වී ගොන්ඩ්වානා මහද්වීපය ලෙස පැවති අවධියේදි ගොන්ඩ්වානාව තුල සම්භවය වූ සත්ව හා ශාඛ ෆොසිල විද්යාව තුල සලකන්නෙ ගොන්ඩ්වානා සම්භවයක් සහිත සතුන් සහ ශාඛ ලෙස. පෙර සඳහන් කල මැඩ්ට්සොයිඩේ සර්ප කුලයත් එලෙස ගොන්ඩ්වානාවෙ සම්භවය වූ සර්ප කුලයක්. වර්තමානයේදි මේ කුලයේ සාමාජිකයන් දකින්න නැහැ. මැඩ්ට්සොයිඩේ කුලය සමස්ථ වශයෙන් වඳව ගිය කුලයක් විදිහට තමයි සලකන්නෙ. සනජේ ඉන්ඩිකස් කියන්නෙ මැඩ්ට්සොයිඩේ කුලයට අයත් ක්රිටැසියස් යුගයෙදි ජීවත් වුන සර්ප විශේෂයක්.

සනජේ ඉන්ඩිකස් පලමු ෆොසිලයේ විශේෂත්වය තමයි මේ ෆොසිලය හමුවන්නේ සොරෝපොඩ් ඩයිනෝසර විශේෂයකට අයත් බිත්තර කැදැල්ලක් සමඟ. (නොදන්න අයට නැවත කෙටියෙන් කිව්වොත් සොරොපොඩ්ස් කියන්නෙ ලෝකෙ ජීවත් වුන විශාලතම ඩයිනෝසරයන්). බිත්තර අනුව සොරෝපොඩ් විශේෂය කුමක්ද යන්න පැහැදිලිවම කිව නොහැකි වුනත් ටයිටැනොසෝර් ක්ලේඩ් එකට අයත් විශේෂකගෙ බව විද්‍යාඥයන් අදහස් පලකරනවා. ඉන්දියාවෙ ටයිටැනොසෝර් විශේෂ කිහිපයක් ජීවත් වුනා. අයිසෝසෝර්, ජයිනසෝර් වැනි ඉන්දියානු ටයිටැනොසෝර් විශේෂයකගෙ කැදැල්ලක් බව තමයි ආසන්න ලෙස හඳුනාගන්න පුළුවන්. 

මේ අනුව ගත්තම සනජේ ඉන්ඩිකස්ගෙ හැසිරීම් රටාව හඳුනාගන්න පුළුවන්. ඔවුන් ඩයිනෝසර කැදලි වලට වැදී බිත්තර හෝ පැටවුන් ආහාරයට ගෙන තිබෙනවා. බොහෝ විට බිත්තර විය හැකි බව තමයි අදහස් පවතින්නේ. අයිසෝසෝර් , ජයිනෝසෝර් වැනි විශේෂ ඉතාමත් ඉක්මනින් අති දැවැන්තයන් බවය පත්වන නිසා සනජේ වැනි විලෝපිකයන්ගෙ ගොදුරු බවට පත්වීම වැලකෙනවා. සත්ය වශයෙන්ම ටයිටැනොසෝර් වැනි දැවැන්ත සෝරපොඩ් ඩයිනෝසරයන් එවැනි දැවැන්තයන් බවට පරිණාමය වු එක් හේතුවක් තමයි විලෝපිකයන්ගෙ ගොදුරු වීමෙන් වැලකීම. ඔවුන්ව ගොදුරු කරගන්න එන විලෝපිකයන් මෙන් පස් හය ගුණයක් විශාල වීමෙන් ගොදුරු බවට පත්වීමෙන් වැලකෙන්න පුළුවන්.

කෙසේ නමුත් සනජේ ඉන්ඩිකස් සෝරොපොඩ් කැදැල්ලක් සමඟම ෆොසිලභවනය වී තිබීමෙන් මේ සත්වයන්ගෙ ආහාර රටාව ගැන සාධක ලැබී තිබෙනවා.


සනජේ ඉන්ඩිකස් සහ සෝරෝපෝඩ් කැදැල්ලෙ ෆොසිලය ප්‍රතිනිර්මාණයක් 


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Tuesday, August 20, 2019

නිල් තල්මස් හදවත (Heart of a Blue whale)




රාත්තල් 440 පමණ බරැති මේ හදවත අයිති වෙන්නෙ නිල් තල්මසෙක්ට. 

මෙහි කුටීර තුල මිනිසෙකුට සිටිය හැකි තරම් විශාලයි. 

විශාල සෝරොපොඩ් ඩයිනෝසරයන් වන ආර්ජන්ටිනෝසෝරස්, ටැයිටැනෝසෝරස් වැනි කාණ්ඩයන් සතුවත් මෙතරම්ම විශාල හදවත් පැවති බවට විද්‍යාඥයන් විශ්වාස කරනවා.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




කයිහොන්ග් ජූජී (Caihong juji)


ආර්කිඔප්ටරික්ස් ලිතොග්රැෆිකා නැමැති ඩයිනෝසර සහ පක්ශි පරිණාමයේ සංක්රාන්තික අවස්ථාවක් දක්වන විශේෂය ගැන පරිණාමික දිනපොත තුලින් මීට පෙර ලිපි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ජුරාසික අවධියේ අවසන් භාගය වෙද්දි ඩයිනෝසර කණ්ඩායම් කිහිපයක් පක්ශි විශේෂ බවට පරිණාමය දක්වනවා. ෆොසිල විද්යාව සහ සත්ව විද්යා විශයන් තුලදී ජුරාසික අවධිය සලකන්නෙ පක්ශීන්ගෙ ආරම්භක අවධියක් ලෙස. 

පෙර සටහන් කල පරිදි එලෙස සංක්රාන්තිය දක්වන ඉතාමත් ප්රසිද්ධම විශේෂය තමයි ආර්කිඔප්ටරික්ස් ගනය. ආර්කිඔප්ටරික්ස් ෆොසිල ලැබෙන්නෙ ජර්මනියෙන්. පරිණාමික ජීව විද්යාව තුල මුල් කාලයේදි විද්‍යාඥයන් සතුව තිබුනේ මේ ඉතාමත් දුර්ලභ ආර්කිඔප්ටරික්ස් ෆොසිල පමණයි. නමුත් පසු කාලයේදි ෆොසිල විද්යා විනය යූරෝපීය රටවලට පමණක් සීමා නොවී ඊසාන දිග රටවලට ගලනය වෙද්දි චීනය ෆොසිල විද්යා විනය දැඩි ලෙස ග්රහණය කරගන්නවා.

චීනය සතුව දැනුමත් මානව සම්පතත් පවතිද්දි විශාල භූ දේශපාලනික වපසරියක පැතිරෙන චීනය ෆොසිල සම්පත් වලින් අනූන කලාපයක් වීම ඔවුන් ලැබූ භාග්යයක්. මේ දියුණුවත් සමඟම චීන ෆොසිල විද්‍යාඥයන් චීන මොංගෝලියානු කලාපයෙන් ෆොසිල විද්ය විනය තුලට ප්රාග්ඓතිහාසික සත්ව විශේෂ ගනනාවක් හඳුන්වා දෙනවා. මේ අතරින් වැදගත්ම දේ තමයි ආර්කිඔප්ටරික්ස්ට සීමා වුන පක්ශි පරිණාමික වෘක්ෂයේ හිස් තැන් විශාල ප්රමාණයක් පිරවීමට සමත් සංක්රාන්තික පක්ශි අකාර ගනනාවක් චීනය තුලින් සොයාගැනීමට හැකිවීම.

මේ කතා කරන්නෙත් එවන් විශේෂක් ගැන. කයිහොන්ග් ජූජී නමින් විද්යාත්මකව හඳුන්වන මේ විශේෂය කයිහොන්ග් නැමැති ගනයට අයත් වෙන විශේෂයක්. කයිහොන්ග් ගනය අයත් වන්නෙ පැරාවේස් නැමැති කාණ්ඩයට (clade). පැරාවේස් කාණ්ඩයට තමයි වෙලෝසිරැප්ටර් , ඩයිනොනිකස් වැනි ඩ්රොමොසෝරිඩේ ඩයිනෝසරයන්, ටෘෘඩොන්ට්ස් නැමැති බුද්ධිමත්ම ඩයිනෝසරයන් අයත් වන ටෲඩෝන්ටිඩේ , පක්ශීන් අයත් වන ආවේස් වැනි උප කණ්ඩායම් අයත් වෙන්නෙ. පැරාවේස් ප්රභේදනය වීම ඇරඹෙන්නෙ ජුරාසික අවධියේ අවසන් කාලයේදි. ඉතින් මේ පැරාවේස් කාණ්ඩයේ කයිහොන්ග් නැමැති ගනයට අයත් වන විශේෂයක් ගැන තමයි මේ කතාව.

'කයිහොන්ග්' නැමැති නමේ තේරුම දේදුන්න. 'ජූජී' කියන්නෙ පෙඳය. සන්ධි කරාම ලැබෙන අර්ථය 'දේදුනු පෙඳය'. පහත තිබෙන ප්රතිනිර්මාණය බැලුවොත් ඔබට පේනවා මේ සත්වයා ඉතාමත් වර්ණවත් දේදුනු පැහැති පෙඳයක් සහිතව නිර්මාණය කර ඇති බව. දැන් ඔබට ප්රශ්නයක් ඇති වෙන්න ඕන වසර මිලියන ගනනක ෆොසිලයකින් ජීවත්ව සිටි සත්වයාගෙ වර්ණය තීරණය කරන්නෙ කෙසේද කියා. ඇතැම් ෆොසිල වල ජිවත්ව සිටි කාලය තුල තිබුන මෙලනෝසෝමයන් සෛල සටහන් තුලින් ෆොසිල භවනය වී පවතිනවා. මේ මෙලනෝසෝමයන් වල හැඩය එක් එක් වර්ණාකාරයන්ට විශේෂිතයි. එමඟින් පුළුවන් මෙලනෝසෝම හැඩය අනුව පැවති වර්ණය තීරණය කරන්න. වාසනාවකට වගේ කයිහෝන්ග් ජූජී ෆොසිල තුල මේ හැඩයන් පවතිනවා. එමඟින් තමයි ප්රතිනිර්මාණයට වර්ණ සංකලනය දී තිබෙන්නේ. සරලව කිව්වොත් මේ ඔබ දකින්නෙ වසර මිලියන 161 කට පමණ එපිටින් ජීවත් වුන මේ සත්වයාගෙ සැබෑ වර්ණය.

කයිහොන්ග් ජූජී

සෙන්ටිමීටර 40 පමණ ප්රමාණයෙන් යුත් මේ සත්වයා පිහාටු පැවතියාට ඩයිනෝසරයෙක්. නමුත් බැලු බැල්මට පක්ශියෙකු ලෙස දිස් වන්නෙ.

මෙලනෝසෝමයන් සෑම ෆොසිලයකම සුරැකිව පවතින්නේ නෑ, ඒ නිසා අනෙක් බොහෝ ඩයිනෝසරයන් වර්ණ ගන්වද්දි එය බොහෝ විට උපකල්පන සහ ඔවුන් ජීවත් වු පරිසර සාධක අනුව තමයි තීරණය කරන්නෙ. බොහෝ විට නිර්මාණ කරුවාගෙ සිතැඟී පරිදි සිදුවන්නෙ. ඒ නිසා මේ සැබෑ වර්ණ කතාව සියළු ඩයිනෝසර ප්රතිනිර්මාණයන්ට පොදු නැහැ.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




සාර්කෝසුකස් (Sarcosuchus)


ඩයිනෝසරයන් මිහිමත අණසක පතුරවපු කාලෙදිම ඊට නොදෙවෙනි වෙනත් ජීවි විශේෂයන් විවිධ පාරිසරික නිකේතන තමන්ගෙ අණසකට නතු කරගත්තා. ටෙරෝසෝරයන් ගුවනත්, ප්ලෙසියොසෝරයන්, මොසැසෝරයන් සහ ඉක්තියෝසෝරයන් සාගරයටත් විවිධාකාර වලින් හැඩගැසෙද්දි තවත් ඉතාමත් පැරණි රෙප්ටීලියාවන් කොටසක් ජලාශ්රිත පාරිසරික නිකේතන තුල සුපිරි විලෝපික තත්වයට පරිණාමය වෙනවා.

සාර්කෝසුකස් (Sarcosuchus) නැමැති උරග ගනය ගැන තමයි මේ කතා කරන්නෙ. ඔවුන් වර්තමානයේදි ජීවත් වෙන කිඹුල් විශේෂ වලට දුර නෑකමක් තිබුන උරග ගනයක් නමුත් පෙනුමෙන් බොහෝ සමාන ලක්ෂණ දැරුවට ඔවුන් කිඹුල් (Crocodiliform) ආකාරයක් නෙවෙයි.


   වර්තමානයේදි ජීවත් වුන කිඹුල් හිස් කබලක් සමඟ සාර්කෝසුකස් හිස්කබලක ප්‍රමාණාත්මක සංසන්දනය


සාර්කෝසුකස් ෆොසිල ලැබෙන්නේ ඉහල ක්රිටැසියස් යුගයට අයත් පාංශු ස්ථර වලින්. මීටර් 11 -12 අතර සාමාන්ය දිගකින් හෙබි ( අඩි 35 -40) පමණ මේ සත්වයන්ගෙ ෆොසිල වැඩි හමුවන්නෙ අප්රිකා සහ දකුණු ඇමරිකා කලාපයන්ගෙන්. මේ සත්වයන් ටොන් 8 පමණ බරට වැඩෙන්නට ඇති බවට අනුමාන කෙරෙනවා. වර්තමානයේදි ජීවත්වන ගේරියල් කිඹුල් ආකාරයට සමාන දිගටි හනු පිහිටීම විශේෂ ලක්ෂණයක්. දැනට සාර්කෝසුකස් ගනයේ විශේෂ ද්විත්වයක් හඳුනාගෙන තිබෙනවා.
  1. සාර්කෝසුකස් ඉම්පරේටර්
  2. සාර්කෝසුකස් හාර්ටී


ඉහල ක්රිටැසියස් අවධියේදි ජීවත් වුන විශාල ඩයිනෝසරයන් සාර්කෝසුකස් සත්වයන් විසින් දඩයම් කර ඇති බවට සාධක තිබෙනවා.



සාර්කෝසුකස් ප්‍රතිනිර්මාණ කිහිපයක්


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




2018 වර්ශය තුලදී මිහිමතින් සදහටම වඳව ගිය ජීවීන් (Extinct species in 2018)


ජීවී ඉතිහාසයේ නශ්ඨවීම් පිලිබඳව නිරන්තරයෙන්ම මේ පිටුව තුල මා ලිපි පලකරනවා. අතීත යුගවල සිදුවු මේ වඳවීම් කොතරම් දරුනු වුවත් වර්තමානයේදි සතුන් වඳවන වේගයට ඒ කිසි අවස්ථාවක් සමාන කරන්න බෑ, එතරම් වේගයකින් වර්තමානයේදි ජීවීන් වඳවී යාම සිදුවෙනවා. පහතින් තියෙන්නෙ 2018 වර්ශය තුලදී මිහිමතින් සදහටම වඳව ගිය ජීවීන් කිහිප දෙනෙක්.
  • උතුරු සුදු රයිනෝ
  • ස්පික්ස් මැකෝ
  • පොඋලි
  • නෙවාඩා ඩෙල් ටොලුකා වල ගිනිකඳු හාවා
  • ක්රිප්ටික් ට්රී හන්ටර්
  • ඇලගෝස් ෆෝලියේජ් ග්ලීනර්

උතුරු සුදු රයිනෝ

ස්පික්ස් මැකෝ

පොඋලි

නෙවාඩා ඩෙල් ටොලුකා වල ගිනිකඳු හාවා

ක්රිප්ටික් ට්රී හන්ටර්

ඇලගෝස් ෆෝලියේජ් ග්ලීනර්

මෙ 2018 දි අපට අහිමි වුන විශේෂ කිහිපයක් පමණයි. තවත් දහස් ගනනක් මේ ලැයිස්තුවෙ සිටිනවා. වඳව යෑමේ බරපතලකම වන්නෙ මොවුන් නැවත කිසිදිනක දැකගත නොහැකි වීම.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ලිව්යටන් මෙල්විලි (Livyatan melvillei)


හීබෲ බයිබලයේ ඉසයියාහ් සහ ආමෝස් නැමැති චරිත ගැන කියැවෙන කොටස් සමඟ සාගරයේ ජීවත් වන සුවිශාල මෙන්ම භයානක සත්වයෙකු ගැන සඳහනක් තිබෙනවා. 

හීබෲ බයිබලයේ මේ සුවිශාල සතුන් ගැන තිබෙන කියැවීම හුදෙකලා කියැවීමක් නෙවෙයි. ලෝකයෙ දැනුම සහ සංස්කෘතිය ගලනයට භාෂාව වාහකයෙකු ලෙස ක්රියා කිරීමට පටන්ගත් දා සිට සෑම සංස්කෘතියකම සමාන කතාන්දර වල මූල බීජයන් දැක ගන්න පුළුවන්. මේ සාගරවාසී මෘගයන්ව විවිධාකාරයෙන් විවිධ සංස්කෘතින් තුල සාමාන්ය ජනතාවට ඉදිරිපත් කර ඇති ආකාරය අපුරුයි. කානයිට් වෘතාන්තවල එන ලෝටන් නැමැති මෘගයා, මෙසොපොතේමීයානු වෘතාන්ත වල ටියැමට්, හින්දු ප්රභවයක් සහිත ව්රත්ර, නෝර්ස් සම්භවයක් සහිත ජොර්මුන්ගැන්ඩර් ඉන් කිහිපයක් පමණයි. මේ සැමට වගේම බුදු දහම තුල අට්ඨක නිපාතයේ පහාරද සූත්රයේ කියැවෙනවා යොදුන් ගනනක තිමිර තිමිංගලයන් ගැන. (ප්රාග් ඉතිහාසයට කිසිඳු සම්බන්ධයක් නොමැති වුනත් විෂයක් තිබෙනවා comparative mythology කියලා, ලෝකයේ විවිධ සංස්කෘතීන් තුල වෘතාන්ත වල සමානත්වතාවයන් විශ්ලේෂණය කරන)

දැන් මේ බණත් එක්ක හීබෲ බයිබලයක් ඇදලා ගත්තෙ ඇයි මම ? හීබෲ බයිබලයේ මේ මුලින් කිව්වා වගේම ඉසයියාහ් සහ ආමෝස් ගැන කියවෙද්දි එන විශාල මෘගයට දෙන නම තමයි 'ලෙවායතන්'.

'ලෙවායතන්' පැත්තකින් තියලා ලෝක සාහිත්ය තුල 18 වෙනි සියවසේ මැද භාගයට ගියාම අපිට හමුවෙනවා පොතක් "මොබි ඩික්" කියලා. මොබි ඩික් පොතේ කියවෙන්නේ තෙල් සඳහා තල්මසුන් හඹා යන රුවල් යාත්රාවක සහ සුදු පැහැති තෙල් මන්ද තල්මසෙකු ගැන කතාවක්. මොබි ඩික් පොත ලියන්නෙ හර්මන් මෙල්විල් කියන රචකයා.

දැන් මේ දිගට ප්රවේශයක් ගත්තෙ ප්රාග්ඓතිහාසික සත්වයෙක් ගැන ලියන්න. 2008 වර්ශයෙදි පේරූ රාජ්යයේ පිස්කො සංකීර්ණයයෙන් සොයා ගන්නවා ප්රාග්ඓතිහාසික සත්වයෙකුගෙ කපාලයක ෆොසිලයක්. මේ විශේෂයට නම දේන්නෙ "ලිව්යටන් මෙල්විලි" කියලා. ලිව්යටන් යනු හීබෲ බයිබලයෙන් ගත්ත ලෙවායතන්, මෙල්විලි කියන්නෙ 'හර්මන් මෙල්විල්' නැමැති මොබි ඩික්හී රචකයාගෙ නමෙන් ගත්ත කොටස. ලිව්යටන් මෙල්විලි කියන්නෙ ප්රාග්ඓතිහාසික තල්මස් විශේෂයක්. මීට වසර මිලියන 9.9 - 8.9 අතර මයෝසීන යුගයෙදි ජීවත් වුන මේ විශේෂය තෙල් මන්ද තල්මසුන් විශේෂක්. මොවුන් 44- 57 අතර ප්රමාණයට වැඩෙන අතරේ මොවුන්ගෙ තිබෙන විශේෂත්වය තමයි සුපිරි විලෝපිකයන් කොටසක් වීම.

සුපිරි විලෝපිකයන් කියන්නෙ ආහාර දාම වල උඩම පුරුක් වල ආධිපත්ය රඳවගෙන ඉන්න සත්වයන්. මෙල්විලිගෙ තිබෙන අනෙක් විශේෂත්වය තමයි ලොව එතෙක් මෙතෙක් බිහිවු විශාලතම හනු තෙරපුම සහිත සත්වයාට හිමි ස්ථානයට සිටින එක් තරඟකරුවෙක් වීම (අනෙක් සත්වාත් ප්රාග්ඓතිහාසික මෝර විශේෂයක් වන කාචරඩොන් මෙගලඩොන්, මෙගලොඩොන් ගැන පසුව ලිපියක් එක් කරන්නම්). 

මෙල්විලි විශාල මොරුන් වගේම තල්මසුන්ව තමන්ගෙ ආහාරයට එකතු කරගෙන තිබෙනවා. මෙල්විලි දතක් 36 cm පමණ දිගුයි. ඒ කියන්නෙ අඩි කෝදුවටත් වඩා තවත් සෙන්ටිමීටර හයක දිගුවක්. මයෝසීන යුගයේ සාගර තුල අණසක පැතිර වුයේ මෙල්විලිද නැතිනම් මෙගලොඩොන්ද යන විවාදය වර්තමානයේදි ෆොසිල විද්යාව තුල පවතින තවත් එක් උණුසුම් විවාදයක්. මේ විශේෂ දෙකම මයොසීන යුගයෙදි ජීවත්ව තිබෙනවා. පරිකල්පන හැකියාව තවත් එක් පියවරක් ඉදිරියට ගෙනගොස් මෙල්විලී සහ මෙගලොඩොන් සාගරය තුල මුණ ගැසීම් සිදුවුනාද ? සිදු වුනානනම් ජයග්රහාකයා කවුද ? මේවාට නිශ්චිත පිලිතුරු ලැබීමට තිබෙන හැකියාව අවමයි.


මිනී තල්මසුන් (killer whale/orca) සමඟ මෙල්විලි ප්‍රමාණාත්මක සංසන්දනය


ඩොල්ෆිනයන් සමඟ මෙල්විලි ප්‍රමාණාත්මක සංසන්දනය

වසර මිලියන 8.9 පෙරදී මෙල්විලි ෆොසිල වාර්තා වලින් ඉවත් වෙනවා. ඔස්ට්රේලියානු ප්රදේශයෙන් වසර මිලියන 5 පැරණි මෙල්විලිට සමීප ඤාතියෙකුගෙ ෆොසිල ලැබුනත් වසර මිලියන 8.9 පෙර කාලය සටහන් වෙද්දි මෙල්විලී පරිණාමික දිනපොත තුල තම පරිච්ඡේදය ලියා අවසන්. වසර මිලියන 8.9 පෙර මයෝසීනයේදි පෘථෘවිය නැවත ශීත දෙශගුණික තත්වකට වෙනස් වෙනවා. උණුසුම් පෘථෘවිය තුල ප්රභාසංස්ලේෂණය ඉහල යෑම නිසා සාගර ජීවයෙන් පිරී පැවතුනත් ශීත දේශගුණයෙදි ප්රභාසංස්ලේෂණ සීග්රතාව පහතයි. මේ නිසා ආහාර දාමයන් හරහා අවසානයෙදි බලපෑම සිදුවන්නෙ සුපිරි විලෝපිකයන්ට. සරලව පැවසුවොත් මෙල්විලි වඳ වීමට හේතුව ආහාර රටාවන් වල සිදුවු වෙනස.

මානවයන් සමඟ මෙල්විලි ප්‍රමාණාත්මක සංසන්දනය

මෙල්විලි ෆොසිල වාර්තා වලින් ඉවත් වුනාට මෙගලොඩොන් තවත් වසර මිලියන හයක් පමණ ඉදිරියට පැමිණෙනවා. ඒ කතාව පසුවට. විවිධ සංස්කෘතීන් තුල මිථ්යාවන් තුලින් බිහිවු වෘතාන්ත තුල අරක්ගත් ලෙවායතන් නැමැති මෘගයන්ට 'ලිව්යටන් මෙල්විලි' නම දුන් සත්ව විශේෂය සර්ව සාධාරණයක් සිදු කරන බවයි රචකයාගෙ අදහස.

මෙල්විලි ෆොසිලය ප්‍රතිනිර්මාණයක් 

(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Monday, August 19, 2019

මිනිසා තවමත් පරිණාමය වනවාද? (Does theory of evolution still apply to modern humans?)


පරිණාමය කියන ක්රියාවලිය ෆේස්බුක් එකේ පෝස්ට් වලින් කියලා දෙන්න සෑහෙන්න අපහසු වැඩක්. වචන 400 - 500 කට විතර සීමා කරන පෝස්ට් කිහිපයක් තුල මේ අපුරු ක්රියාවලිය ගොනු කරන්නෙ කොහොමද කියන එක නිරන්තරයෙන්ම කල්පනා කරන දෙයක්. ඉදිරියේදි ඒ ගැන ක්රමානුකූලව ලියනවා කියන පොරොන්දුව පිට ලැබෙන ගැටලු වලින් පෝස්ටුවකට ගන්න පුළුවන් පිලිතුරු මේ ආකාරයෙන් ලියනවා. අගක් මුලක් නොමැති වුනත් අඳුරු තැන් ස්වල්පයකට හෝ එලිය වැටෙයි කියලා හිතලා තමයි මේක කරන්නෙ. ඒ නිසා ලියන්නාට අනුකම්පා කර ඉවසීමෙන් කියවන්න කියලා ඉල්ලීමක්.

රයිට් අද කතාවට එමු. දැන් කිහිප අවස්ථාවකදීම යොමුවුන ගැටලුවක් සහ සයිබර් අවකාශය තුල මා දුටු ගැටලුවක් තමයි පරිණාමය සත්ය නම් මිනිසා තවමත් පරිණාමය වෙනවාද ? එහෙම වෙනවා අපට පෙනෙන්නෙ නැත්තෙ ඇයි ? වැනි ගැටලු. ඒ ප්රශ්නෙ මෙතනදි අහලා වෙනම කතාවකට හැරෙමු.

සති කිහිපයකට පෙරදී ඔබට මතක ඇති සෙන්ටිනල් නැමැති දුපතට අනවසරෙන් ඇතුළු වුන පුද්ගලයෙකු සෙන්ටිනලීස් ස්වදේශික ජනයාගෙ (ගෝත්රික ජනයා, ප්රාථමික ජනයා වැනි වචන නුතන ලෝකයේදි ව්යවහාරයෙන් පිටුවහල් කරලා තිබෙන්නේ. පෘථෘවියේ ජීවත්වන කිසිම ජනතාවක් ගෝත්රික නැහැ, ප්රාථමික නැහැ. ඒ නිසා ඒ වචන ශබ්දකෝශයේ කොනකට දාන්න) ප්රහාරයෙන් මරණයට පත්වුනා. අන්දමන් නිකෝබාර් දුපත් සමුහයේ දූපතක් තමයි මේ සෙන්ටිනල් දූපත. එතකොට කවුද මේ සෙන්ටිනලීස්ලා ? ඇයි ඒ දූපතට යන්න තහනම් කරලා තියෙන්නෙ ?

සෙන්ටිනල් දූපතේ පාලනාධිකාරිය යටත් වන්නෙ ඉන්දියාවට. 1956 දි රක්ශිතයක් බවට ඉන්දියානු රජය විසින් මේ දුපත නම් කරනවා. පසුව නියෝග නිකුත් කරනවා සෙන්ටිනල් දූපතට කුමන පුද්ගලයෙකුට හෝ කුමන හේතුවක් මත ඇතුළු වීම තහනම් බව සහ සෙන්ටිනලීස් ජනවර්ගය සමඟ කුමන හේතුවක් මතවත් සන්නිවේදනය හෝ සම්බන්දතා අනවසර බවත්.

වර්තමානයේදි සෙන්ටිනලීස්ලා තමයි ලෝකයේ වෙන කිසිඳු පුද්ගලයෙකුට සන්නිවේදනය කරලා නැති හුදෙකලාම ජනවර්ග කිහිපය අතරින් එකක් බවට පත්වන්නෙ. සෙන්ටිනලීස්ලා ජානමය වශයෙන් සමාන වෙන්නෙ නෙග්රිටෝ ජනවර්ගයට. නෙග්රිටෝ කියන්නෙ මානව පරිණාමයේදි අප්රිකාවෙන් පිටත් වෙලා පිටත ලෝකයට සංක්රමණය වූ අතීත ජනවර්ගයක්. මේ ජනවර්ගය අතරින් වසර හැටදාහකට පමණ පෙරදි අන්දමන් නිකොබාර් කලාපයට පැමිණෙන සංක්රමණිකයන්ගෙන් දූපතක හුදෙකලා වන ජන කොටසක් තමයි සෙන්ටිනලීස්ලා. (දැන් ප්රශ්නයක් එන්න පුළුවන් සෙන්ටිනලීස්ලාව කවුරුත් මුණගැහිලා නැත්තන් ජානමය සබඳතා ගැන දන්නෙ කොහොමද කියලා. ඒක වෙන්නෙ මෙහෙමයි... සෙන්ටිනලීස්ලා වගේම අවට දූපත් සහ කලාපය පුරාම නෙග්රිටෝවරු සංක්රමණය වෙනවා. ඒ අතරින් අදටත් සෙන්ටිනලීස්ලා වගේම ඉතුරු වෙලා තියෙන ජන වර්ග දෙකක් තමයි 'ජරවා' සහ 'ඔන්ගෙ' ස්වදේශිකයන්. ඔවුන් සමඟ පිටත ලෝකය සබඳතා පවතින නිසා ඒ තුලින් සෙන්ටිනලීස් ජාන කිටුව ගැන අදහස ගන්න පුළුවන්)

දැන් තත්වය මේකයි, නැවත සරල කරොත් සෙන්ටිනලීස්ලා වසර හැටදාහකට පෙර සංක්රමණය වෙලා දූපතකට කොටු වුනා, එදා ඉඳන් අද දක්වාම එලෙසමයි. එසේනම් ඔබට දැන් වැටහිය යුතුයි මේ ජනවර්ගය වසර 60000 මෙපිට පිටස්තර ලෝකයක් දැක නැති බව. ඔවුන් දන්නෙ ඔවුන්ගෙ දූපත විතරයි. තවත් විදිහකින් කිව්වොත් මේ ජනතාව ජීවත් වන්නෙ වසර හැටදාහකට පෙර යුගයේ. (මෙතන්ට වෙනකන් තේරෙන්න ඇතිය කියලා මම විශ්වාස කරනවා)

සෙන්ටිනල් දූපත් වාසීන්

ඉතුරු පැහැදිලි කිරීමට යමු. දැන් සෙන්ටිනලීස්ලා දූපතේ වසර හැටදාහක් හිරවෙලා ඉන්දැද්දි 'අපි' ... ඒ කියන්නෙ ඔබ මම සහ ගෝලීයකරණ සංසිද්ධියට අසුවුන සියළු දෙනා ලෝක යුද්ධ දෙකක් පහුකරමින් ඇවිත් තාක්ෂණික දියුණුව, වෛද්ය විද්යාත්මක දියුණුව ආදී එකී මෙකී නොකී සියලු දේම අත්විඳිමින් දැන් ජීවත් වෙනවා. තවත් විදිහකින් කිව්වොත් සෙන්ටිනලීස්ලාව පහුකරලා අපි වසර 60000 ඉදිරියට ඇවිත්.

මම ඔබට ඊයේ නැවත පලකරපු වීඩියෝ පටය ඔබ නරඹන්න ඇතැයි යන පූර්ව නිගමනය මත මෙහෙම කියන්නන්. ව්යාධිජනකයන්, ඒ කියන්නෙ අපිට රෝග ඇතිකරන බැක්ටීරියා, වෛරස ආදිය ක්රමයෙන් පරිණාමය වෙන ආකාරය ඔබ ඒ වීඩියො පටය තුල දකින්න ඇති. සෙන්ටිනලීස්ලා පසුකරගෙන වසර හැටදාහක් ඉදිරියට ආපු අපත් සමඟ මේ ව්යාධිජනකයනුත් වසර හැටදාහක් ඉදිරියට ඇවිත්. ව්යාධිජනකයන්ගෙ ප්රචණ්ඩත්වය (Virulence) ක්රමයෙන් වැඩිවන බව ඔබ දකින්න ඇති. මේ ගෙවුණු වසර හැටදාහා තුල ව්යාධිජනකයන් ප්රචන්ඩත්වයෙන් ප්රචණ්ඩත්වයට පත්වන විට අපේ ශරීරයේ තිබෙන ප්රතිශක්තිකරණ හැකියාවත් ක්රම ක්රමයෙන් ඒ ව්යාධිජනක ප්රචණ්ඩත්වයට එරෙහිව සන්නද්ධ වුනා. අපි වසර හැටදාහකට ප්රථම හිටපු ව්යාධිජනකයන්ට නෙමෙයි අද මුහුණ දෙන්නෙ. ඊට මුහුණ දීමට ස්වාභාවික ප්රතිශක්තිකරණ හැකියාව ක්රමයෙන් පරිණාමය වී තිබෙනවා. අපි ඉන්න පරිසරය තුල පරිණාමය වු ව්යාධිජනකයන්ට මුහුණ දිමට අපේ ස්වාභාවික ප්රතිශක්තිකරණ පද්ධතිය සමත් වෙන්නෙ ඒ නිසයි.

නැවතත් යමු නෙග්රිටෝ ජනවර්ග වෙතට. ජරවා, ඔන්ගෙ, සෙන්ටිනලීස් යනු අප මුහුණ දුන් ව්යාධිජනකයන්ට මුහුණ නොදීපු හුදෙකලා ජන කොටස්. ඔවුන්ගෙ තවමත් පවතින්නෙ වසර හැටදාහකට පෙර අප සතුව තිබු ප්රතිශක්තිකරණ හැකියාව. එහෙමනම් උපකල්පනය කර බලන්න ඔවුන්ට වඩා වසර හැටදාහක් දියුණු ව්යාධිජනකයන් නෙග්රිටෝ ජන වර්ගයනට පහර දුන්නොත් කුමක් සිදුවෙයිද ? ඒ ආනිසංසය පිටස්තර ලෝකයට විවෘත වුන ඔන්ගෙ සහ ජරවා ස්වදේශිකයන් මේ වන විට අත්විඳිමින් සිටින්නේ. සරම්ප වැනි රෝග වලින් ඔවුන් බොහෝ දෙනෙක් මිය ගියා. ඒ අපේ ලෝකයෙන් ඔවුන්ට සංසරණය වු විශබීජ නිසා. සෙන්ටිනලීස්ලා කෙදිනක හෝ පිටස්තර ලෝකයට මුහුණ දුන්නොත් ඒ සිද්දිය ඔවුන්ටත් සිදුවෙන බව එක් හේතුවක් ඔවුන්ව පිටස්තර ලෝකයෙන් සබඳතා නොපැවැත්වීමට. ඉන්දියානු රජය සෙන්ටිනලීස්ලාට තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න ඉඩදීලා තිබෙන්නේ ඒ නිසා. මේ සිද්ධියම තමයි 15 වන සියවසේ සිට යුරෝපයෙන් විවිධ ස්වදේශිකයන් සොයා ගිය ගමන්වලත් අවසානය වුනේ. රතු ඉන්දියානුවන් ලක්ෂ ගනනින් මිය යෑමටත්, ඇස්ටෙක් වරුන්ගෙ අවසානයටත් මේ හේතු මෙලෙසම බලපෑවා.

එතකොට මේ කතාවෙන් ගතයුතු දේ කුමක්ද ? පරිණාමික කාල රාමුව සාමාන්යයෙන් වසර මිලියන ගනනනක් ගතවන්නක් වුනත් ඒ අර්ථයෙන් සාපෙක්ෂව කුඩා කාල රාමුවක් වන වසර 60000 තුලදීත් ප්රචණ්ඩ ව්යාධිජනකයන් හා සටන් වදිමින් අපේ අභ්යන්තර ස්වාභාවික ප්රතිශක්තිකරණ පද්ධතිය පරිණාමය වෙලා. සාපේක්ෂව අප මුහුණ දුන් පාරිසරික තත්වයන්ට මුහුන නොදුන් සෙන්ටිනලීස්, ජරවා, ඔන්ගෙ, රතු ඉන්දියානුවන්, ඇස්ටෙක්වරු, නිව්ගිනියානු වාසීන්, ඇබොරොජින් , කැරිබියන් දූපත් වාසීන්ගෙ ප්රතිශක්තිකරණ පද්ධති අප තරම් ශක්තිමත්ව පරිණාමය වී නැහැ. මේ එක් සාධකයක් අප තවමත් පරිණාමය වන බවට. දහස් ගනනක් සාධක අතරින් එක් සාධකයක්.

ඇන්ඩ්රොයිඩ්, IOS ඩිවයිසයකින් ඔබ මේ ලිපිය කියවන අතරේ නැගෙනහිර ඉන්දීය සාගරයේ හුදකලා දූපතක වසර හැටදාහකට එහා ලෝකය තුල ජීවත් වෙන තවත් හෝමෝ සේපියානුවෙක් ගිනි මැලයක් අසලට වී ⁣පසුදා අහාර වේල සොයාගන්නා ආකාරය ගැන හෝ මහා ශබ්යක් නගමින් අහසේ ඉගිලෙන අමුතු වස්තූන් ගැන කතා කරනවා ඇති. 😊



#DOE