Friday, November 1, 2019

හිම යුගයේ අවසන් නියෝජිතයන් (Last representatives of Ice age)




අදින් වසර මිලියන 2.58 කට පෙර ආරම්භවී අදින් වසර 11650 පෙර අවසන් වන කාල පරාසය අපි හඳුන්වන්නේ ප්ලයස්ටොසීනය අවධිය ලෙස. ප්ලයස්ටොසීන අවධිය තුල මිහිමත ඉතාමත් විශාල මෙන්ම විවිධත්වයෙන් අධික ක්ශිරපායින් ගනනාවක් ජීවත් වුනා. මේ ප්ලයස්ටොසීන අවධිය තුලම තමයි අවසන් හිම යුගය එහෙම නැත්තන් අවසන් ග්ලැසියර සමය ක්‍රියාත්මක වෙන්නෙ. ඒ නිසා ප්ලයස්ටොසීනය තුල ජීවත් වු සතුන් අධික ශිතලට ඔරොත්තු දීමේ හැකියාවන් සහ අනුවර්තනයන් දක්වන සතුන්.

ප්ලයස්ටොසීනය ක්‍රමයෙන් අහවර වෙද්දි පෘථිවිය නැවත උණුසුම් වීම ඇරඹෙනවා. ඒ එක්කම සිදුවන වන වැස්මෙ වෙනස් වීම්, දේශගුණික වෙනස් වීම් ආදී කරුණු විශාල සංඛ්‍යාවක් හේතුවෙන් පෙරැකී ප්ලයස්ටොසීන සත්ව සන්තතිය වඳව යනවා. වූලී මැමත්, වූලී රයිනෝ ආදී විශාල ක්ශිරපායින් මේ නශ්ඨවීමේ ක්‍රියාවලියට බඳුන් වෙනවා. 

නමුත් ඔබ වර්තමානය තුල දකින ඇතැම් සත්ව විශේෂ මේ ප්ලයස්ටොසීනය තුල අවසන් හිම යුගය සමඟ බිහිවී නශ්ඨවීමට ලක් නොවු සතුන්. පිනි මුවන් කියන්නෙ එවැනි එක් විශේෂයක්. යුරෝපයේදී පිනි මුවන් හඳුන්වන්නේ Reindeer (රේන්ඩියර්) ලෙස නමුත් උතුරු ඇමරිකාවේදි ඔවුන්ව හඳුන්වන්නේ Caribou (කැරිබු) ලෙස නමුත් මේ එකම විශේෂය.

පිනි මුවන් උතුරු අර්ධගෝලයේ ධ්‍රැවීය කලාපය පුරාම පැතිරි සිටිනවා. අදින් වසර 1500 පමණ පෙර පිනිමුවන් අර්ධ ගෘහස්තකරණය කිරීමට මිනිසුන් සමත්ව තිබෙනවා. ඉනුයිට්, ලැප්ලන්ඩ්, හන් වගේ උතුරු කලාප තුල පැතිරි සිටින විවිධ ජාතීන් මේ පිනිමුවන් මත තමයි සම්පූර්ණයෙන්ම යැපෙන්නෙ. ශ්‍රී ලංකාවේ ජීවත්වන අප පොල්ගස කප්රුකක් සේ සලකන අයුරින් ඔවුන් පිනිමුවන් කප්රුකක් සේ සලකනවා. පිනිමුවන්ගේ ලේ , සම, මාංශ, කුර, අංතට්ටුව ආදියෙන් ඔවුන් සමස්ථ ජීවන රටාවම හැඩකරගෙන තිබෙන අයුරු දකින්න පුළුවන්. - 40 °C පමණ අගයන් දක්වා දිවෙන ශිතල පරිසරයන් වල පිනිමුව හම ඉතාමත් හොඳ හිම කබායක්. පිනිමුවන්ගේ ලොම් ආවරණය ස්ථර දෙකකින් යුක්තයි. යටි ස්ථරය කෙටි ඝනකම් ලොම් වලින් යුක්ත ස්ථරයක්. ඒ ස්ථරය ආවරණය කරමින් දිග ලොම් සහිත ආවරණයක් දිවෙනවා. මේ නිසා ඉතාමත් අධික ශිතල දරාගන්න පුළුවන් මේ පිනිමුවන්ට.

හිම මතින් තණකොල වැස්ම යටවු විට පිනිමුවන්ට හැකියාව තිබෙනවා පා කුර මඟින් හාරා ඒවා පාදාගන්න. හිම ස්ථරය යටින් වැවෙන පෙඳ පාසි ආදිය ඔවුන් සිය කුර මඟින් පාදාගන්නවා. පිනිමුව කුර පිහිටන්නේ අඬ සඳ ආකාරයෙන් නිර්මාණය වු පැතලි කුර ද්විත්වයකින්. ශරීරයේ සම්පූර්ණ බර හිම මත දැරීමට සහ සවලක් මෙන් බිම හැරීමට යෝග්‍ය පරිදි තමයි මේ කුර නිර්මාණය වී තිබෙන්නේ.

පිනිමුවන් උප විශේෂ ගනනාවක් උතුරු අර්ධගෝලය තුල පැතිරී තිබෙනවා. මේ අතරින් උතුරු අර්ධගෝලය ආක්ටික් කවයට ඇතුලතින් පිහිටන කුඩා දූපතක කුරු පිනිමුව කණ්ඩායමක් ජීවත් වෙනවා. මේ කුඩා පිනිමුවන් මා අධ්‍යනය කර තිබෙනවා ඔවුන් දූපත් කුරු භාවයට ලක්වු කාණ්ඩයක්. මහද්වීපික විශේෂයෙන් කාලයක් තිස්සේ වෙන්ව සිටීම නිසා දුපතට අනුවර්තිත ලක්ෂණ දරන මේ කුඩා පිනිමුවන් ඉතාමත් සුවිශේෂී සිත්ගන්නාසුළු සත්වයන් කොටසක්.

ලෝකයේ දැනට සිටින විශලෙතම සංක්‍රමණික පිනිමුව කාණ්ඩය සිටින්නේ යුරෝපයේ. ඒ කාණ්ඩයක් සාමාජිකයන් ලක්ෂ 6- 10 දක්වා දිවෙනවා. දෙවනුවට විශාලතම කාණ්ඩය සිටින්නේ උතුරු ඇමරිකාවේ. මේ කාණ්ඩය ලක්ෂ 4 පමණ. සෘතු මාරු වීමත් සමඟ මේ සතුන් කලාපයෙන් කලාපයට මාරු වෙනවා ආහාර සොයාගෙන. ඒත් සමඟම පිනිමුවන් මත යැපෙන මිනිසුන්ද පිනිමුව රංචු සමඟ ගමන් කරනවා. මේ සීසනල් වේරියේශන්ස් / සෘතු සමඟ වෙනස්වීම වසර දහස් ගනනක සිට සිදුවන ක්‍රියාවලියක්. මීට සති කිහිපයකට පෙර පිහිනන පිනිමුන්ගෙ මැමත් දල කැටයමක් ඔබට ඉදිරිපත් කලා මතක ඇති. මැඩලීනියන් සංස්කෘතියට අයත් එය වසර 15000 පමණ පැරණි. ඒකෙන් ඔබට සිතාගන්න පුළුවන් පිනිමුවන් සහ මානවයන් අතර සබඳතාව කොතරම් දුර දිවෙන්නක්ද කියා.

දේශගුණය උණුසුම් වීමත් සමඟම ක්‍රමයෙන් මේ සත්වයන්ගෙ වාසස්ථාන අහිමි වෙමින් යන්නෙ. ඔවුන්ගෙ කලාපයන් ක්‍රම ක්‍රමයෙන් උතුරු අර්ධගෝලයේ ඉහලම අක්ෂාංශ වලට පසු බසිමින් පවතින යුගයක් තමයි මේ වර්තමානය. ප්ලයස්ටොසීන තුල අහවර නොවු පිනිමුව පරිඡ්ඡේදය වර්තමාන හොලෝසීනය තුල අහවර වීමට තිබෙන්නේ වැඩි ඉඩක්. හිම යුගයේ මිහිමත පහල වු ඒ අපූරු සත්ව සන්තතියේ අවසන් නියෝජිතයන් අපත් සමඟම අද ජීවත් වන විට ඔවුන් ගැන සෙවීම ඇගයීම අප සිදුකල යුතු දෙයක්.


(Image credit - Ville Sinkkonen)



#DOE




No comments:

Post a Comment