Thursday, October 24, 2019

සමේ වර්ණයට බලපාන්නේ පින් පවු ද ? වාසනාව අවාසනාවද ? (How skin complexion changes with altitude)


1955 වර්ෂයේදි සූර්යග්‍රහණයක් පෘථෘවි වාසීන්ට දිස්වෙනවා. මේ 1955 සූර්යග්‍රහණය ලෝකයේ අනෙක් රටවලට අමතකව ගිය තවත් එක් ස්වාභාවික සංසිද්ධියක් වුනත් ලංකාව කියන පුංච් දූපතට මේ සිද්ධිය අමතක නොවෙන්න සිද්ධිදාමයක් අැති වෙනවා. සූර්යග්‍රහණය ඇතිවීමට පෙර ලංකාවේ එක් ප්‍රධාන පුවත්පතක පලවෙනවා සූර්යග්‍රහණය ඇතිවෙන අවස්ථාවේදි කාටවත් නොපෙනෙන්න වදකහ යුෂ පානය කරොත් කළු පැහැති සමක් ඇති කාන්තාවන්ට පැහැපත් සමක් ලැබෙන බව. මේ පුවතට රැවටෙන බොහෝ කාන්තාවන් සුදු වෙන්න හිතාගෙන වදකහ පානය කර දැඩි ලෙස රෝගාතුර වෙනවා. මිථ්‍යාවන්ට අසුව ලංකාවේ ජනයා අමාරුවෙ වැටෙන පලමු අවස්ථාව හෝ අවසන් අවස්ථාව මෙය නෙවෙයි. නමුත් එවක සුප්‍රසිද්ධ ගායක වොලී බැස්ටියන් මේ සිද්ධිය අරබයා ගායනා කරන 'බිව්වා නේද වදකහ සුදිය' ගීතය අදටත් ඉතාමත් ජනප්‍රිය ගීතයක්.

පසුකාලීනව වාණිජකරණයට ලක්වු අප වැනි ආසියාතික රටවල විලාසිතා නිර්ණායක වලට පවා පැහැපත් සම කියන නිර්ණායකය ප්‍රචලිත කරමින් පැමිණ අද වන විට වදකහ පානයටත් වඩා අතිශයින්ම හානිකර ආලේපන භාවිතා කරමින් පැහැපත් වීමට වෙර දරන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නෙ. ඒ අතින් ගත්තම වසර 70 කට එපිටින් සිටි ශ්‍රී ලාංකීකයා සහ වර්තමාන ශ්‍රී ලාංකීකයා අතර වෙනසක් නැහැ. මේ තත්වය තවත් උඝ්‍ර කරමින් සමේ පැහැයට හේතුව පින් පවු බව ප්‍රචලිත වී ආගමික සංදර්භටත් මෙය ඈඳා ගැනීම තුල තත්වය වඩාත් දරුණු වෙලා තියෙනවා. 

ඇත්තටම අපේ සමේ පැහැයට හේතුව මොකක්ද ? අවාසනාවද ? පින් පවු ද ? 

මේ පිටුව ආරම්භයේ සිටම පරිණාමය නැමැති අපූරු ක්‍රියාවලිය ගැන විස්තර කර තිබෙනවා. පරිණාමය නැමැති ක්‍රියාවලිය තුලින් වරණය නැමැති සංසිද්ධිය තුලින් ජීවීන් ජීවත්වන පරිසර තත්වයනට වඩාත් උචිත ලක්ෂණ සහිත නව පරම්පරා දීර්ඝකාලීන ක්‍රියාවලියක් ඔස්සේ ඇතිවන හැටි ගැන විස්තර කර තිබෙනවා. සමේ පැහැය කියන්නෙත් මේ අපූරු පරිණාමික ක්‍රියාවලියේ එක් අතුරුඵලයක්.

හෝමෝ සේපියානුවන් අප්‍රිකානු මහද්වීපය තුල සම්භවය වී අදින් වසර 150,000 ඇතුලත කාලය තුල ඉන් පිටතට සංක්‍රමණය වෙමින් විවිධ පාරිසරික නිකේතන තමන්ගෙ අණසකට නතු කරගන්නවා. මධ්‍යම අප්‍රිකාව කියන්නෙ ලංකාව වගේම සමකාසන්න කලාපයක්. මකර නිවර්තනය සහ කර්කටක නිවර්තනය අතර පෘථෘවිය පුරා පටියක් මෙන් දිවෙන මේ සමකාසන්න කලාපයට තමයි සූර්යාලෝකය දැඩිලෙස පහර දෙන්නෙ. ආනතියකින් තොරව ලැබෙන මේ සූර්යාලෝකය නිසා සමකාසන්න පෙදෙස් ඉතාමත් සශ්‍රීක ජෛව විවිධත්වයෙන් අධික පෙදෙස්. මෙහෙම කලාපයක බිහිවෙන හෝමෝ සේපියානුවන්ගෙ සම අධෝරක්ත කිරණ වලින් ආරක්ෂා වීමට සැකසුන සමක්. Pigmented skin එහෙම නැත්තන් වර්ණය අධික සමක් තමයි මේ කලාපය තුල පිහිටන්නෙ. එලෙස වර්ණය අධික සමක් තිබුනෙ නැත්තන් දීර්ඝකාලීන සූර්යාලෝකයේ බලපෑම් නිසා සමේ පිළිකා තත්වයන් ඇතිවෙන්න පුළුවන්. අධික හිරු එලියට නිරාවරණය වීමේ එක් ප්‍රතිඵලයක් තමයි ශරීරයේ ෆොලේට් ප්‍රමාණය බිඳ වැටීම. නමුත් වර්ණය අධික සමකින් මේ ෆෝලික් අම්ල නිපදවීමේ ක්‍රියාවලිය අධෝරක්ත කිරණ වලින් ආරක්ෂා කරදෙනවා.

ක්‍රමයෙන් හෝමෝ සේපියානුවන් ඉහළ අක්ෂාංශ ප්‍රදේශවලට සංක්‍රමණය වන විට තත්වය වෙනස්. ඉහළ අක්ෂාංශ වලට හිරු එළිය ලැබෙන්නෙ යම් ආනතියක් සහිතව. එය සමකාසන්න කලාප තරම් ප්‍රබල නැහැ. නමුත් ඉහළ අක්ෂාංශ වලදි හෝමෝ සේපියානුවන්ගෙ සම වෙනත් ගැටලුවකට මුහුණ දෙනවා. ඒ තමයි විටමින් D ඌණතාව. විටමින් D සෑදීමට හිරු එලිය අවශ්‍යයි. නමුත් ඉහළ අක්ෂාංශ වලදී හිරු එලිය ලැබෙන්නෙ අවමයක්. ඒ ලැබෙන හිරු එලියත් වර්ණය අධික සමකින් ආරක්ෂා වුනොත් සිදු වෙන්නෙ සමේ විටමින් D සංස්ලේෂණය ඇණහිටීම. විකල්පය තමයි පරිණාමිකව ඉහළ අක්ෂාංශ වල හෝමෝ සේපියානුවන්ගෙ සමේ වර්ණය අධික බව ක්‍රමයෙන් අඩු කිරීමකට ලක් කිරීම. එවිට ඉහල අක්ෂාංශ වල විටමින් D සංස්ලේෂණය සඳහා සමට අවශ්‍ය ප්‍රශස්ත තත්වයන් පවතිනවා.

මේ ක්‍රියාවලිය වසර දහස් ගනනක් තිස්සේ විවිධ කලාපවලට අනුගතවුන හෝමෝ සේපියානුවන්ට පරිණාමය විසින් දායාද කල උපක්‍රමයක්. දැන් අපි හිතමු වර්තමානයේදි සමකාසන්න රටක වෙසෙන ඔබ ඉහළ අක්ෂාංශ රටකට සංක්‍රමණය වුනාය කියා. එහෙනම් ඔබේ ශරීරයේ ෆෝලික් ඌණතාවක් ඇතිවීමට තිබෙන හැකියාව වැඩී. ඒ කාලාන්තරයක් තිස්සේ ඔබේ පූර්වජයන් අනුගත පරිසරයෙක් එකවර බැහැර වීම නිසා ඔබ අඩු සූර්යාලෝකය තිබෙන ප්‍රදේශයකට යන්නෙ වර්ණය අධික සමක් එක්ක. ඉන් ඉහළ අක්ෂාංශ වලදි ලැබෙන කුඩා සූර්යාලෝකයත් ඔබේ ශරීරයෙන් ඉවතලනවා. ඉහල අක්ෂාංශ වල කෙනෙක් සමකාසන්න කලාපයකට පැමිණියාම සමේ පිළිකා වගේම විටමින් D ඌණතාව ඇතිවීමේ අවදානමෙන් පෙලෙනවා. ඒ පෙර කී සංසිද්ධියේම විලෝමය.

ප්‍රදේශය අනුව ලෝක ජනගහනයේ සමේ වර්ණය වෙනස් වන ආකාරය

සමකාසන්න කලාපවල සිට ක්‍රමයෙන් ඉහල අක්ෂාංශ වලට යද්දි සමේ පාට ක්‍රමයෙන් අපගමනය වෙන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම ඉතාමත් සිත්ගන්නාසුළු වැඩක්. වර්ණය අධික සම සහිත අප වැනි කලාපයන්ගෙ සිට ක්‍රමයෙන් පාට පෙට්ටිටක වර්ණය අඩුවෙන අනුක්‍රමික රටාවට මෙය වෙනස් වෙනවා. ඉහලම අක්ෂාංශ වල ස්කැන්ඩිනේවියානුවන් ඉතාමත් පැහැපත් සමක් දරන්නෙ ඔවුන්ට තමයි අවම සුර්යාලෝකය ලැබෙන්නෙ. ඊට පහලින් මධ්‍යම යුරෝපීයයන්ගෙ සම ඊට වඩා වරුණය මඳක් වැඩී. ඊටත් පහලින් මධ්‍යධරණීය, මැදපෙරදිග කලාප ඊටත් වඩා වැඩි වර්ණයක්, ඊට පහලින් උතුරු ඉන්දීය පටිය තවත් වර්ණය වැඩී. ඊට පසු ක්‍රමිකව වර්ණය අධික මිනිසුන් අයත් කලාප. 

ඔබට දැන් වැටහෙන්න ඕන සමේ වර්ණය කියන දෙය වදකහ මඟින්වත්, ආලේපන මඟින්වත් වෙනස් වෙන දෙයක් නොව ඔබ ජීවත්වන කලාපයට අනුලෝමව සූර්යාලෝකයේ පතිත වීම සහ පතිත වීමේ ආනතිය මඟින් තීරණය වූ ස්වාභාවික ආරක්ෂක ක්‍රමවේදයක් බව. වඩාත් උචිත පැවැත්මක් සඳහා වසර ගනනාවක් තිස්සේ ඔබේ පූර්වජයන් අනුගතවු සංසිද්ධියක් එය. පින් පවු හෝ, වාසනාව අවාසනාව මත තීරණය වන දෙයක් හෝ ලැජ්ජාවට පත් වීමට, වෙනස් කරගැනීමට අවශ්‍ය දෙයක් නෙවෙයි ඔබේ සමේ පැහැය. 

දැන් මේක කියවන් යද්දි ගැටලුවක් ඇතිවිය යුතුයි එහෙනම් ලංකාවේ කොහොමද වර්ණය අධික සමක් සහ පැහැපත් යන අය දෙකොට්ඨාසයම සිටින්නේ කියා. මේකට හේතුව තමයි අවසන් වසර 5000 අතරතුර සිදුවු ජානමය සංකලනය. විවිධ ප්‍රදේශ වලින්, උතුරු ඉන්දියානු, දකුණු ඉන්දියානු, පර්ශියානු ආදී විවිධ ජාන සංකලනය වීම නිසා ඒවා ප්‍රමුඛ වීමෙන් තමයි මේ සංකලනය ඇතිවන්නෙ. අපි උපකල්පනය කරොත් තවත් වසර දස දහස් ගනනක් අද තියෙන තත්වයෙන්ම නැවත සංකලනය විමක් සිදු නොවී තිබුනොත් කියා, නැවත සිදුවන්නෙ වර්ණය අධික තත්වයට ක්‍රමයෙන් අනුගත වීම. 

සමේ වර්ණය ගැන ඔබට පැහැදිලිය කියා සිතනවා. පහත ඡායාරූපයේ තිබෙන්නෙ ප්‍රදේශය අනුව ලෝක ජනගහනයේ සමේ වර්ණය වෙනස් වන ආකාරය. 


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




කියවමු (Keep Reading)




දැන් මේ ලියන දේ මේ පිටුවේ විෂය පථයට පරිභාහිර යමක්. නමුත් ලියා තැබිය යුතුයි කියලා සිතුන වේලාවෙ ඊට ඉඩහසර ලැබුන නිසා ⁣ලියලා ඉවර කරනවා යම් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා.

ඕනෑම විෂයක් ගත්තම අවම තරමින් දිනකට පැය බාගයක්වත් කියවීම සඳහා වෙන්කල යුතුයි. සමාජ මාධ්‍යජාල එක්ක ගතකරන කාලය වැඩි වෙද්දි පොත්පත් පරිහරණය ක්‍රමයෙන් අපෙන් ඈත් වෙනවා.නමුත් ඉලක්කගත විෂයක් සඳහා සිත යොමු කිරීමට අභ්‍යාසයක් විදිහට කියවීම කියන දෙය අතිශයින්ම වැදගත්. විනාඩි 30 කින් ආරම්භ කරන්න.ඒ විනාඩි 30 අනිවාර්යයෙන්ම හැමදාම ඒ සඳහා වෙන්කරන්න. මීට පෙරත් කිහිප වරක්ම මා සඳහන් කරා මොළය කියන්නෙ අපේ සම්පූර්ණ ශරීරයේ ශක්ති අය වැයෙන් 20% පමණ ප්‍රතිශතයක් භාවිතා කරන අවයවයක් කියලා. ඒක නිසියාකාරව ක්‍රියාත්මක වෙන්න ඊට අභ්‍යාස අවශ්‍යයි. කියවීම ඔස්සේ දැනුම වැඩි කරගැනීමත්, ඒ හරහා නව මානයන් පිලිබඳව සිත යොමු කිරීමත් මේ අභ්‍යාසයන්ගෙ කොටසක්.

සමහර වෙලාවට කියවීමේදි අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නෙ ප්‍රෙහෙලිකාවක විසිරුනු කොටස් වගේ සම්බන්ධයක් නැති තොරතුරු ගොන්නක් වෙන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව මේ ව්‍යායාමයේ අඛණ්ඩව යෙදෙද්දි ඔබට හැකියාව ලැබෙයි සම්පූර්ණ චිත්‍රය ගොඩනගාගන්න. 

භාෂාමය හැකියාවන් දියුණු කරගැනීම සඳහා අවශ්‍ය කරන සියළු දේම ඔබ සතුව පවතිනවා අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව තියෙනවානන්. මේ ලියමන කියවනවා කියන්නෙ ඔබට ඒ අන්තර්ජාල පහසුකම් තිබෙනවා කියන එක. අවශ්‍ය වන්නෙ උනන්දුව සහ උත්සහය පමණයි. 

වරක් මහාචාර්ය විනී විතාරණ ගුරුතුමා සමඟ පිළිසඳරක යෙදෙද්දි එතුමා කියපු දෙයක් තමයි 'භාෂාව යනු සංස්කෘතිමය වාහ⁣කයෙක්' යන කාරණාව. සංස්කෘතියක් කියන්නෙ නව දැනුම් ගොන්නක්. භාෂාව කියන යතුර තිබෙනවානම් ඉතාමත් පහසුවෙන් ඔබට පුළුවන් මේ දැනුමෙන් පිරුණු අවකාශ සඳහා නිරන්තරයෙන් නිරාවරණය වෙන්න.


අපිට තිබෙන්නෙ ඉතාමත් සීමීත දැනුමක්. අන්තර්ජාලය භාවිතා කරන ආකාරය අනුව ඔබේ පවතින සීමිත දැනුම එක්කො ප්‍රසාරණය වෙයි නැත්තන් නැත්තටම නැති වෙලා යයි. මේ දෙකෙන් කොයි එකද තෝරගන්නෙ කියන එක ඔබට බාරයි.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Wednesday, October 23, 2019

ලක්දිව ප්ලයස්ටොසීන සත්ව සන්තතිය (Pleistocene fauna in Sri Lanka) - 04


ලක්දිව ප්ලයස්ටොසීන සත්ව සන්තතිය (Pleistocene fauna in Sri Lanka) - 03


ලංකාවේ ප්‍රාග්ඓතිහාසික සිංහයන්


ප්ලයස්ටොසීන යුගය කියන්නෙ අදින් වසර මිලියන 2.58 කට පෙර ආරම්භ වෙලා අදින වසර 11650 දි පමණ අවසන් වෙන භූ යුගය. මේ භු යුගය තුල පෘථෘවිය මත පාරිසරික, දේශගුණික විචලනය වීම් අතිමහත් ප්‍රමාණයක් සිදුවුනා. ඔබ හොඳින් අහලා තියෙන අවසන් හිම යුගය ඇති වුනෙත් මේ කාලයේදිම තමයි. මේ යුගය තුල ලෝකයේ විවිධ පාරිසරික නිකේතන තුලට අනුවර්තනය වු විලෝපික බිළාලයෙක් තමයි සිංහයා. සිංහ විශේෂ ගනනාවක් මේ යුගය තුල ලෝකයේ විවිධ ප්‍රදේශවල ජීවත් වුනා.

මේ පැතිරීම ගැන අවබෝධයක් එන්න ඔබට කුඩා උදාහරණයක් දෙන්නම්. අද ඇමරිකාව හෝ යුරෝපය තුල සිංහයන් ස්වාභාවිකව ජිවත් වෙනවා කියලා ඇහුවම එය ඇතැම්විට විහිළුවට කාරණයක් වෙන්න පුළුවන්. සිංහයන් කිව්වම එකපාරම මතක් වෙන්නෙ අප්‍රිකා මහද්වීපය. නමුත් ප්ලයස්ටොසීන යුගයෙදි ඇමරිකානු තෘන භූමි තුලත්, යුරෝපා තෘන භූමි තුලත් දඩයම් කල විශාල සිංහ විශේෂ ජීවත් වුනා. ඒ විතරක් නෙමෙයි වර්තමානයේදි සිංහයන් ජීවත් වෙන්නෙ සැවනා තෘණ භූමි ආශ්‍රිතව නමුත් ප්ලයස්ටොසීන යුගයේදි ඇතැම් සිංහ විශේෂ හිම බිම් තුල පවා ජීවත් වුනා. Cave lions, ගුහා සිංහයන් කියන්නෙ එවැනි විශේෂයක්. මීට අමතරව ස්ටෙප් තෘණ භූමි, වනාන්තර ආදියේ මේ අපූරු සත්ව කාණ්ඩය අඛණ්ඩ පැතිරීමක් පෙන්වුවා ප්ලයස්ටොසීන අවධියේදි.

ප්ලයස්ටොසීන සිංහ විශේෂයක ප්‍රතිනිර්මාණයක් 

ප්ලයස්ටොසීන යුගයේදි අප්‍රිකානු සැවනා බිම් ලෝකයේ මධ්‍ය අක්ෂාංශ පුරාම පැතිරෙන්න හේතුවක් තියෙනවා. ග්ලැසියර් අවධියක්, එහෙහ නැත්තන් හිම යුගයක් ඇතිවෙන විට සාමාන්‍යයෙන් උතුරු අර්ධගෝලයේ හිම වැස්ම අද දකින සීමාවන්ට වඩා පහතට ඇදෙනවා. ග්ලැසියර වැස්ම මෙහෙම පහතට දිග හැරෙද්දි ඉතාමත් දරුණු ශීත දේශගුණයකින් උතුරු අර්ධගෝලය වෙලාගන්නවා. මේකෙ අතුරු ප්‍රතිඵලය වෙන්නේ මධ්‍ය අක්ෂාංශ තිබෙන පෘථෘවිය වටා පටිය (ආසන්න වශයෙන් කිව්වොත් මකර සහ කර්කටක නිවර්තන පටිය) ආසන්නයේ තිබෙන ආර්ද්‍රතාව, තෙත ගතිය ඉහළ අක්ෂාංශ වලට ඇදලා ගන්නවා. ප්‍රතිඵලය තමයි මධ්‍ය අක්ෂාංශ වල වියලි කාළගුණය. බොහෝ වෙලාවට මේ පැතිවල ශුෂ්ක, අර්ධ ශුෂ්ක , කාන්තාර රටා පැතිරෙනවා. තෘණ භූමි, සැවනා පැතිරෙන්න සාධනීය තත්වයන් පෘථෘවිය පුරා පැතිරෙන්නෙ එහෙම. (මේක මීට වඩා සංකීර්ණ කතාවක් නමුත් සාරාංශය මෙහෙමයි)

දැන් උතුරු අර්ධගෝලයේ හිම වැස්ම වැඩි වෙද්දි තවත් එක් ප්‍රධාන අතුරු ඵලයක් දකින්න පුළුවන්. ඒ තමයි පෘථෘවියේ සාගර මට්ටම් සීඝ්‍ර ලෙස පහත බැසීම. ලෝකයේ සාගර ජල පරිමාවෙන්ම කොටසක්නෙ උතුරු දකුණු අර්ධගෝල තුල හිම බවට පත්වෙන්නෙ. එහෙමනම් සාගර ජලය වැඩි වශයෙන් හිම බවට පත්වෙද්දි සාගර ජලය ප්‍රමාණය පහත බසිනවා. ග්ලැසියර් සමයන් තුලදි මේ පහත බැසිම වර්තමාන සාගර මට්ටම් වලට වඩා අඩි 300 එපිටින් යන බැස්මක්. 

දැන් හිතන්න අද තිබෙන සාගර මට්ටමට වඩා අඩි තුන්සීයක් පමණ ජල මට්ටම බැස ගියොත් කුමක්ද සිදුවන්නෙ? විශලෙ ගොඩබිම් ප්‍රමාණයයක් නිරාවරණය වෙන්න පටන් ගන්නවා. ලංකාව ගත්තොත් ඉන්දියාව සමඟ කිලෝමීටර 100 පමණ භූ කලාපයකින් සම්බන්ධ වීම සිදුවෙනවා. ඉන්දියාවේ ඉඳන් ලංකාවට පයින් ඇවිදගෙන එන්න පුළුවන්. දැනට සිදුකර ඇති පර්යේෂණ තුලින් පෙන්වන්නේ ලංකාව සහ ඉන්දියාව අතර ප්ලයස්ටොසීන යුගයේදි පමණක් 17 වතාවක් පමණ වරින් වර මේ ගොඩබිම් සම්බන්ධය ඇතිවී නැතිවී තිබෙනවා. අවසන් වතාවට සම්බන්ධ වෙන්නෙ වසර 7000 පමණ පෙරදි.

මේ සම්බන්ධය හේතුවෙන් තමයි ලංකාවට මහද්වීපික සත්ව සන්තතිය වරින් වර සංක්‍රමණය වෙන්නෙ (මිනිසුන් ඇතුළුව). මෙහෙම ලංකාවට ඇතුළු වුන සත්වයින් අතරේ සිංහ විශේෂයක් සිටි බවට තහවුරු වෙන සාධක දෙකක් ලැබෙනවා රත්නපුර , කුරුවිට ප්‍රදේශයෙන්. ඒ තමයි සිංහ රදනක දතක් සහ චාර්වක දතක්. මේ ෆොසිල සොයාගනු ලබන්නේ P.E.P දැරණියගල මහත්මයා විසින්. එතුමා ලංකාවේ පුරාජෛව විවිධත්වය අධ්‍යනය තුල පුරෝගාමියා විදිහට හඳුන්වන බව පසුගිය ලිපි වලදි සඳහන් කරා.

දැරණියගල මහත්මයා විසින් සොයාගත් සිංහ චාර්වක දත

දැන් මේ ලැබෙන සිංහ දත් සාපෙක්ෂ වශයෙන් කාලනීර්ණය කරන්නෙ වසර 120,000 පෙර යුගයකට අයත් ලෙස. මේ සිංහ විශේෂයට Leo sinhaleyus විද්‍යාත්මක නාමය දැරණියගල මහත්මයා විසින් ලබා දෙනවා. නමුත් මේ විශේෂයේ රූපවිද්‍යාත්මක ආකාරය ගැන සඳහනක් කරන්න තරම් ෆොසිල සාධක අපට තවමත් හමුව නැහැ. ලංකාවේ සිංහයන් යම් කිසි කාලයකදි සිටියා කියන්නට පමණක් මේ සාක්ශි අනුව හැකියාව තිබෙනවා. 

මෙතනදි වටහාගත යුතු අනෙක් කාරණය තමයි මේ සාපේක්ෂ කාලනීර්නයනට අනුව සිංහයන් ජීවත්ව තිබෙන්නේ නූතන මානවයන් ගැන ලංකාවේ හමුවන පැහැදිලි සාක්ශි හමුවීමට බොහෝ කාලයකට කලින්. 

වර්තමානයේදි ආසියානු සිංහයන් ජීවත්වන එකම ප්‍රදේශය වන්නෙ ඉන්දියාවෙ ගීර් රක්ශිතය. ගීර් වල අවසාන වතාවට මම හොයලා බලද්දි සිංහයන් 600 වගෙ ප්‍රමාණයක් සිටියා. මේ ආසියාතික සිංහයන් යම් කාලයකට පෙර ආසියාව පුරාම ව්‍යප්තව සිටියා. ඉන්දියාව, ඉරානය, පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය, ඉරාකය, මැද පෙරදිග කලාපය ආදියේ ජීවත් වු මේ ආසියාතික සිංහයන් අප්‍රිකානු සිංහයන්ට වඩා රූපීයව වෙනස්. මොවුන්ගේ කේශර අඩුවෙන් පිහිටන්නෙ. වැලමිට ප්‍රදේශයේ ලොම් වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ ආසියානු සිංහයන්ගේම කොටසක් භූගෝලීයව තිබෙන ආසන්නතාව නිසා ලංකාවට පැමිණියි කියලා අනුමාන කරන්න පුළුවන්.

කොහොම නමුත් ලංකාවේ සිංහ ඉතිහාසය මෙහෙමයි. ප්ලයස්ටොසීන යුගයේ යම් කිසි කාලයකදි මේ කුඩා දූපතත් වියළි සමයකට මුහුණ දෙනවා. ඒත් එක්කම මේ සුපිරි විලෝපිකයන් මේ දූපතටත් සංක්‍රමණය වෙනවා. නමුත් විශේෂයක් විදිහට ඔවුන් මේ දූපත තුල පැතිරී, වර්ධනය වී නැහැ.

ආසියානු සිංහයන්

(සිංහ චාර්වක දතෙහි ⁣ඡායාරූප අයිතිය - කැලුම් මනමේන්ද්‍රාරච්චි මහත්මා
අනෙක් ඡයාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

Sunday, October 20, 2019

සෞරග්‍රහ මණ්ඩලයේ අපේ තැන (How insignificant we are)


අප ජීවත්වන ස්ථානය සහ එය කොතරම් නොගිනිය හැකි තරම් කුඩාද කියන එක ගැන මතක්කර දීමක්.



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




පැන්තර්ස් (Panthers)


'පැන්තර්' කියන නම බොහෝ දෙනෙක් අසා ඇති. නමුත් මේ පැන්තර් කියන නමත් එක්ක පැටලිලි තිබෙන නිසා සහ විශේෂයෙන්ම ලංකාවේ ජනමාධ්‍ය පසුගිය කාලය පුරාවට වැරදි පුවත් පල කරපු නිසා 'පැන්තර්' සංසිද්ධිය පැහැදිලි කරන්න මේ සටහන ලියන්නෙ.

සාමාන්‍යයෙන් පැන්තර් කියන්නෙ කළු පැහැති විශාල බිළාලයෙක්. නමුත් පැන්තර් යෙදීම අනන්‍ය වෙන්නෙ පැන්තෙරා (Panthera) ගනයට අයත් සත්වයන්ගෙ කළු පැහැති රූපානුදර්ශයට.

අපි එතනින් එහාට යන්න කලින් පැහැදිලි කරගමු පැන්තෙරා ගනය කියන්නෙ කුමක්ද කියලා. පැන්තෙරා ගනයට අයත් සත්ව විශේෂ පහක් සිටිනවා.
  1. ව්‍යාඝ්‍රයා (Panthera tigris)
  2. හිම කොටියා (Panthera uncia)
  3. ජගුවාර් (Panthera onca)
  4. සිංහයා (Panthera leo)
  5. කොටියා (Panthera pardus)

මේ ඉහත සඳහන් විශේෂ පහ තමයි පැන්තෙරා ගනයට අයත් විශේෂ. මේ අයවම අපි තවත් විදිහකින් හඳුන්වනවා Big cats කියලා. වසර කිහිපයකට කලින් මේ බිග් කැට්ස් කියලා හඳුන්වන්න නිර්ණායකය ලෙස භාවිතා කරේ ඝර්ජනා කිරීමේ හැකියාව. ඝර්ජන හැකියාව ලැබෙන්නෙ කණ්ඨිකා අස්ථියේ (Hyoid bone) විශේෂිත පිහිටීමක් නිසා. නමුත් පෙරකී සත්වයින් අතරින් හිම කොටි විශේෂයට මේ ඝර්ජනා කිරීමේ හැකියාව නෑ. හැබැයි ජානමය ලක්ෂණ වලින් හිම කොටියන් වඩාත් ලඟ පැන්තෙරාවුන්ට නිසා ඔවුන්වත් පැන්තෙරා විශේෂයක් ලෙස තමයි හඳුන්වන්නේ. මේ වෙද්දි නව පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ඝර්ජන හැකියාව පදනම් වෙන්නෙ කණ්ඨිකා අස්ථිය අනුව නෙවෙයි ස්වරාල(larynx) පිහිටීම මත කියලා. දැන් එතකොට මෙහෙම මතක තියාගත්තම හරි. පැන්තෙරා කියන්නෙ මේ විශේෂ පහට, බිග් කැට්ස් කියන්නෙත් මේ පහට, නමුත් ඝර්ජන හැකියාව තියෙන්නෙ හිම කොටියා ඇරෙන්න ඉතුරු විශේෂ හතරට. පැහැදිලි ඇති කියලා හිතනවා.

දැන් පැන්තෙරාලා ගැන එහෙම තියෙද්දි එමු ආයේ 'පැන්තර්' පදයට. මුලින් සඳහන් කලා වගේ පැන්තර් කියන්නෙ මේ බිග් කැට්ස්ලා පහේ කළු රූපානුදර්ශය වලට. ඔබ දන්නවා සිංහයගෙ, කොටියගෙ, ව්‍යාඝ්‍රයගෙ , ජගුවරයන්ගෙ පාට. හිම කොටින්වත් දැකලා ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් මේ සත්ව විශේෂ වලට අනන්‍ය පාටවල් තියෙනවා. නමුත් ඉතාමත් දුර්ලභ ජානමය හේතුවක් නිසා මේ සත්වයින් අතරින් උපදිනවා තනි කළු නිදර්ශක. මේ සංසිද්ධියට කියන්නෙ මෙලනිස්ටික් රූපානුදර්ශ කියලා. මේකට හේතු වෙන්නෙ මෙලනින් අධික වීම. 

පාට කළු වුනාට මේ සත්වයන් වෙනම විශේෂයක් වෙන්නෙ නෑ. කළු ජගුවරයෙක් කියන්නෙ ජගුවරයෙක්ම තමයි. කළු කොටියෙක් කියන්නෙ කොටියෙක්ම තමයි. එකම වෙනස ඔවුන් සම්පූර්ණයෙන් කළු වීම. වසර කිහිපයකට කලින් වරක් සිංහරාජයේ මද්දකට අසුව කළු කොටියෙක් මිය ගිහින් තිබුනා. මේක ජනමාධ්‍යවල එහෙම ගියේ නව විශේෂයක් කියලා. නමුත් ඒක වැරදී. ඒ හිටියෙත් කොටියම තමයි. නමුත් අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක්. ආර්. එල්. ස්පිට්ල් මහත්මයා ලියපු සුදු ගෝනා නව කථාව ඔබට මතකනන් හාන්ස්ගෙ වන මිතුරෙකු වන දීයා නැමැති කොටි දෙන කළු රූපානුදර්ශයක් බවට මේ සටහන කියවද්දි ඔබට මතක් වෙයි. ස්පිට්ල් තමන්ගෙ කතා පදනම් කරගන්නේ නිල්ගල වැනි දඩබිම් පදනම් කරගෙන. නිල්ගල අවට පර්යේෂණ කිහිපයකටම සහභාගි වු මට ඒ අවට ආදිවාසී ප්‍රවාද වල එන කළු කොටින් ගැන අහන්නට ලැබුනා. ඒ අනුව යම් කාලයකදි නිල්ගල වනයන් තුල කොටින්ගෙ කළු රූපානුදර්ශය සහිත ජාන ප්‍රමුඛව පැවති බවට අනුමාන කරන්න පුළුවන්. අවාසනාවකට නිල්ගල වනබිම් අද සීඝ්‍රලෙස අපට අහිමි වෙමින් යනවා.

ආයෙත් ආවොත් පැන්තර් කතාවට දැන් මේ කළු රූපානුදර්ශ දුරින් බැලුවම පේන්නෙ තද කළු පැහැයට. මේ සත්වයින්ගෙ කළු ජගුවාර් සත්වයෙක් දෙහිවල ජාතික වනෝද්‍යානය තුලත් ඉන්නවා. මේ සත්වයින්ගෙ ලඟටම ගියොත් නිරීක්ෂණය කරන්න පුළුවන් කළු පැහැති වුනාට සාමාන්‍ය සත්වයෙකුගෙ තියෙන රොසේට් (පුල්ලි රටාවන්) කළු පැහැට යටින් දකින්න පුළුවන් බව. 

දැන් මේ පහත පලමු ඡායාරූපයේ තියෙන්නෙ මම ප්‍රාග් හී නරෝද්නි කෞතුකාගාරය තුල නිරීක්ෂණය කරපු කොටියෙකුගෙ මෙලනිස්ටික් නිදර්ශකයක්. ලඟට බැලුවම රොසේට් පැටර්න් එක ඉතාමත් පැහැදිලියි.

කොටියෙකුගෙ මෙලනිස්ටික් නිදර්ශකයක්

දෙවන සහ තෙවන ඡායාරූප වල තියෙන්නෙ මම බර්ලින් ස්වභාව විද්‍යා කෞතුකාගාර වලදි නිරීක්ෂණය කරපු ජගුවාර් නිදර්ශක දෙකක්. පලමු එකේ සාමාන්‍ය පුල්ලි රටාව, දෙවන ජගුවාර් මෙලනිස්ටික් නිදර්ශකයක්. නමුත එහිත් රොසේට් රටාවන් දකින්න පුළුවන් කළු වුනාට.

ජගුවාර් සාමාන්‍ය පුල්ලි රටාවෙහි නිදර්ශකයක්
ජගුවාර් මෙලනිස්ටික් නිදර්ශකයක්

දැන් ඔබට පැහැදිලි ඇති 'පැන්තර්', 'බ්ලැක් පැන්තර්' වගේ නම් වලින් හඳුන්වන වෙනම විශේෂ නැති බව. ඒ සිටින්නෙත් බිග් කැට්ස් පවුලෙ යම් විශේෂයක කළු නිදර්ශකය. ඉදිරියේදි මාධ්‍ය වලින් එහෙම බොරු තොරතුරු ඉදිරිපත් වුනොත් ඔබ දන්නවා ඒ ඉන්නෙ කුමන සත්වයෙක්ද කියලා.


(නිදර්ශකයන්හි ඡායාරූප අයිතිය #DOE සතු වේ)



#DOE




තල්මසුන්ගේ නින්ද (How whales sleep)


මේ පහත ඡායාරූපයේ තිබෙන්නෙ නිදා සිටින තෙල්මන්ද තල්මසුන් කණ්ඩායමක්. ඉතාමත් මෑතක් වෙනකන් විද්‍යාඥයන් නිරීක්ෂණය කල තල්මස් විශේෂ දැක්වු හැසිරීම් රටාව තමයි අඩක් නිද්‍රාශීලි චර්යාව. නමුත් 2017 වර්ශයේදි තමයි තෙල්මන්ද තල්මසුන්ගෙ නිදා ගැනීමේ රටාවන් ගැන නිරීක්ෂණය වෙන්නෙ.

නිදා සිටින තෙල්මන්ද තල්මසුන්

අපි දන්නවා ⁣තල්මසුන් කියන්නෙ ක්ෂීරපායි සත්ව කොට්ඨාසයක් බව. ඒ නිසා වරින් වර ඔවුන් මුහුද මතුපිටට මතු විය යුතුයි හුස්ම ගැනීම සඳහා. වෙනත් ඩොල්ෆින් සහ තල්මස් විශේෂ වල නිදා ගැනීමේ ක්‍රමෝපාය සකස් වෙන්නෙ පිහිනා යන අතරතුර ලබාගන්න අඩ නින්දක් ආකාරයට. ⁣මේ විශේෂ වල මොළයේ අර්ධයක් ක්‍රියාත්මක වන අතරතුර ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙ ඇස විවරව පවතිනවා මේ පිහනා යෑමේදි. ඒක එහෙම වෙන්නෙ හුස්ම ගැනීම සඳහා වරින් වර මතුපිටට පැමිණිමත්, නින්ද ලබාගන්නා අවස්ථාවේදි සතුරු උවදුරක් පැමිණියොත් එය වටහා ගැනීමටත්.

ඩොල්ෆින් විශේෂයන්, බෙලූගාස්, බොහෝ තල්මස් විශේෂ පෙරකී ආකාරයේ නින්දක් ලබාගන්නා විට තෙල්මන්ද තල්මසුන් මීට හාත්පස වෙනස් ක්‍රමයක් තමයි භාවිතා කරන්නෙ. ඒ තමයි මීටර් 10 - 15 ගැඹුරෙ කෙලින් අතට නිදා ගැනීම. අනෙක් විශේෂ අඩ නින්දක් ලැබුවත් තෙල්මන්ද තල්මසුන් නම් සම්පූර්ණ නින්දක් ලබන්නෙ. අවට පරිසරය ගැන අවධානයකින් තොරව ලබන මේ සම්පූර්ණ නින්ද පවතින්නේ විනාඩි 10 - 15 පමණ. මේ කාලයේදි හුස්ම ගන්න මතුපිටට පැමිණීමක් සිදුවෙන්නෙ නෑ. තෙල්මන්ද තලමසුන් ගැඹුරු මුහුදේ විශාල කාලයක් එක් හුස්මකින් රැඳී සිිටීමේ හැකියාව තිබෙන නිසා විනාඩි 10 -15 කියන්නෙ ඔවුන්ට එතරම් කාලයක් නෙමෙයි. මේ වගේ දිනකට සය වතාවක් පමණ මොවුන් නිදාගන්නවා. 

නිරීක්ෂකයන්ට අනුව දිනක කාලයෙන් 7% පමණ නින්දක් තමයි තෙල්මන්ද තල්මසුන් ලබාගන්නෙ. මේ නින්ද තමයි සත්වයෙකු ලබන අවම නින්ද. මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ ජිරාෆ් සත්වයන්. එය 8% පමණ.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ට්‍රේසස් (Traces)


Ichnofossils එහෙම නැත්තන් Trace fossils ගැන දින කිහිපයකට පෙර ලියපු සටහන මන් හිතන්නෙ ගොඩක් දෙනෙක්ට අලුත් දැනුමක් වුනා. Ichnology විෂයේ නියැලෙනකොට අතීත සටහන් අර්ථනිරූපනය කිරීම වගේම එදිනෙදා පරිසරය තුල හමුවෙන ට්‍රේසස් එහෙම නැත්තන් සලකුණු රීඩ් කරන එක අභ්‍යාසයක් විදිහට සිදුකරනවා. ඒ වගේම වර්තමානයේදි ජීවත්වන සත්ව හැසිරීම් මඟින් ඇතිවන සලකුණු පදනම් කරගෙන ඇතැම් අවස්ථාවල අතීත සලකුණු අර්ථනිරූපනය කරගන්නත් පුළුවන්. 

ට්‍රේසස් සඳහා හොඳ ආර්කයිව් එකක් තමයි හිම සහ වැලි, ලංකාව වගේ සමකාසන්න පටියේ නිවර්තන දේශගුණික කලාප වලට මේ දෙකම අල්පයි. නමුත් තෙත්බිම්, මඩවගුරුවල මේ දේවල් තියෙනවා.

මේ පැහැදිලි කිරීමට අන්තර්ජාලයේ විවිධ තැන් වලින් එකතු කරගත්ත ඡායාරූප හතරක් ගත්තා. කාන්තාර කලාප වලට වඩා මේ දේ ගැන මම අධ්‍යනය කරේ ආර්ක්ටික් කලාපවල නිසා හිම මත සටහන් වලට වැඩියෙන් ප්‍රිය කරනවා. 

පලමු ඡායාරූපයේ තියෙන්නෙ ට්‍රේස් එක සමාකාරව දිවෙන කුඩා සටහන් පෙලක් එකවර අතුරුදහන් වෙනවා. මේ සලකුණු අතර තිබෙන දුර ප්‍රමාණයත්, ගැඹුරත්, අදාාල ප්‍රදේශයේ සත්ව විශේෂත් සලකා බැලුවම මේ සටහන ඇති කරන්නෙ හිම යට ගුහා හාරාගෙන ජීවත්වන මීයන් විශේෂයක්. හිම මතට ඇවිත් ඇවිදිද්දි මේ සත්වයන් පනිමින් ගමන් කරන්නෙ. මේ සටහන් එකවර නැතිවෙන්න හේතුව ඉහලින් ආපු ප්‍රහාරයක්. රැප්ටර් පක්ශි විශේෂයක් මේ සත්වයාව ඩැහැගෙන තිබෙනවා.

(1)

දෙවන ඡායාරූපයේ ඉහලින් තිබෙන සටහන ඇති කරන්නෙ හිම මත ජීවත්වන හාවුන් විශේෂයක්. ඒ ට්‍රේස් එක අර්ථනිරූපනය කරන එක පහසුයි අසල තිබෙන පක්ශි සටහනත් සමඟ. ප්‍රහාරය එල්ල කරලා තියෙන්නෙ හිම බස්සෙක්. රාජාලියෙක් තරමටම වැඩෙන මේ හිම බස්සන් හාවුන් ඩැහැ ගැනීමට සමත්. හාවාගෙ ඉරණම එතනදි පැහැදිලියි.

(2)

තුන සහ හතර ඡායාරූප සලකා බැලුවොත් ඔබට නිගමනය කරන්න පුළුවන් කුමක්ද? මේ අර්ථනිරූපනය වරදින්න පුළුවන්. බැලු බැල්මට හිතෙන්නෙ යම් කුඩා සත්වයෙකුව ඉහලින් පැමිණි පක්ශියෙකු ඩැහැගෙන ගොස් ඇති බවට. නමුත් ඒ අර්ථනිරූපනය වැරදි.  ඒ දෙකේම වෙලා තියෙන්නෙ ⁣වැඩිය පියාඹන්න අකමැති, වැඩිදුර පියාඹන්න නොහැකි පෙසන්ට් පක්ශියකු හා ඊට වඩා කුඩා එවැන් භෞමික පක්ශි විශේෂයක් එකවර අනතුරක සේයාවක් හෝ යම් හේතුවක් නිසා පියඹා යෑම. එකවර තටු විදහා තටු සැලීමට ගන්නා උත්සහයේ ප්‍රතිඵලය තමයි පාද සහ ශරීරයේ බර පෙර සටහන් වලට වඩා මඳක් ගැඹුරට කිඳා බැසීම.

(3)
(4)

පරිසරය කියන්නෙ අපූරු පුස්ථකාලයක්. එය කියවන්න උත්සහා කිරීම තුලින් බොහෝ දේ දැන හඳුනාගත හැකියි.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


#DOE




ඩයිනෝසූකස් (Deinosuchus)


වසර මිලියන 80 - 75 ටත් පෙර ක්‍රිටැසියස් අවධියේ අවසන් භාගයට වන්නට  ජීවත් වූ ඩයිනෝසූකස් කිඹුල් විශේෂයේ ෆොසිල සාධක ඇසුරින් ප්‍රතිනිර්මිත කපාලයක් සහ මිනිසෙකුගෙ ප්‍රමාණය.



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE