Monday, August 19, 2019

මිනිසා තවමත් පරිණාමය වනවාද? (Does theory of evolution still apply to modern humans?)


පරිණාමය කියන ක්රියාවලිය ෆේස්බුක් එකේ පෝස්ට් වලින් කියලා දෙන්න සෑහෙන්න අපහසු වැඩක්. වචන 400 - 500 කට විතර සීමා කරන පෝස්ට් කිහිපයක් තුල මේ අපුරු ක්රියාවලිය ගොනු කරන්නෙ කොහොමද කියන එක නිරන්තරයෙන්ම කල්පනා කරන දෙයක්. ඉදිරියේදි ඒ ගැන ක්රමානුකූලව ලියනවා කියන පොරොන්දුව පිට ලැබෙන ගැටලු වලින් පෝස්ටුවකට ගන්න පුළුවන් පිලිතුරු මේ ආකාරයෙන් ලියනවා. අගක් මුලක් නොමැති වුනත් අඳුරු තැන් ස්වල්පයකට හෝ එලිය වැටෙයි කියලා හිතලා තමයි මේක කරන්නෙ. ඒ නිසා ලියන්නාට අනුකම්පා කර ඉවසීමෙන් කියවන්න කියලා ඉල්ලීමක්.

රයිට් අද කතාවට එමු. දැන් කිහිප අවස්ථාවකදීම යොමුවුන ගැටලුවක් සහ සයිබර් අවකාශය තුල මා දුටු ගැටලුවක් තමයි පරිණාමය සත්ය නම් මිනිසා තවමත් පරිණාමය වෙනවාද ? එහෙම වෙනවා අපට පෙනෙන්නෙ නැත්තෙ ඇයි ? වැනි ගැටලු. ඒ ප්රශ්නෙ මෙතනදි අහලා වෙනම කතාවකට හැරෙමු.

සති කිහිපයකට පෙරදී ඔබට මතක ඇති සෙන්ටිනල් නැමැති දුපතට අනවසරෙන් ඇතුළු වුන පුද්ගලයෙකු සෙන්ටිනලීස් ස්වදේශික ජනයාගෙ (ගෝත්රික ජනයා, ප්රාථමික ජනයා වැනි වචන නුතන ලෝකයේදි ව්යවහාරයෙන් පිටුවහල් කරලා තිබෙන්නේ. පෘථෘවියේ ජීවත්වන කිසිම ජනතාවක් ගෝත්රික නැහැ, ප්රාථමික නැහැ. ඒ නිසා ඒ වචන ශබ්දකෝශයේ කොනකට දාන්න) ප්රහාරයෙන් මරණයට පත්වුනා. අන්දමන් නිකෝබාර් දුපත් සමුහයේ දූපතක් තමයි මේ සෙන්ටිනල් දූපත. එතකොට කවුද මේ සෙන්ටිනලීස්ලා ? ඇයි ඒ දූපතට යන්න තහනම් කරලා තියෙන්නෙ ?

සෙන්ටිනල් දූපතේ පාලනාධිකාරිය යටත් වන්නෙ ඉන්දියාවට. 1956 දි රක්ශිතයක් බවට ඉන්දියානු රජය විසින් මේ දුපත නම් කරනවා. පසුව නියෝග නිකුත් කරනවා සෙන්ටිනල් දූපතට කුමන පුද්ගලයෙකුට හෝ කුමන හේතුවක් මත ඇතුළු වීම තහනම් බව සහ සෙන්ටිනලීස් ජනවර්ගය සමඟ කුමන හේතුවක් මතවත් සන්නිවේදනය හෝ සම්බන්දතා අනවසර බවත්.

වර්තමානයේදි සෙන්ටිනලීස්ලා තමයි ලෝකයේ වෙන කිසිඳු පුද්ගලයෙකුට සන්නිවේදනය කරලා නැති හුදෙකලාම ජනවර්ග කිහිපය අතරින් එකක් බවට පත්වන්නෙ. සෙන්ටිනලීස්ලා ජානමය වශයෙන් සමාන වෙන්නෙ නෙග්රිටෝ ජනවර්ගයට. නෙග්රිටෝ කියන්නෙ මානව පරිණාමයේදි අප්රිකාවෙන් පිටත් වෙලා පිටත ලෝකයට සංක්රමණය වූ අතීත ජනවර්ගයක්. මේ ජනවර්ගය අතරින් වසර හැටදාහකට පමණ පෙරදි අන්දමන් නිකොබාර් කලාපයට පැමිණෙන සංක්රමණිකයන්ගෙන් දූපතක හුදෙකලා වන ජන කොටසක් තමයි සෙන්ටිනලීස්ලා. (දැන් ප්රශ්නයක් එන්න පුළුවන් සෙන්ටිනලීස්ලාව කවුරුත් මුණගැහිලා නැත්තන් ජානමය සබඳතා ගැන දන්නෙ කොහොමද කියලා. ඒක වෙන්නෙ මෙහෙමයි... සෙන්ටිනලීස්ලා වගේම අවට දූපත් සහ කලාපය පුරාම නෙග්රිටෝවරු සංක්රමණය වෙනවා. ඒ අතරින් අදටත් සෙන්ටිනලීස්ලා වගේම ඉතුරු වෙලා තියෙන ජන වර්ග දෙකක් තමයි 'ජරවා' සහ 'ඔන්ගෙ' ස්වදේශිකයන්. ඔවුන් සමඟ පිටත ලෝකය සබඳතා පවතින නිසා ඒ තුලින් සෙන්ටිනලීස් ජාන කිටුව ගැන අදහස ගන්න පුළුවන්)

දැන් තත්වය මේකයි, නැවත සරල කරොත් සෙන්ටිනලීස්ලා වසර හැටදාහකට පෙර සංක්රමණය වෙලා දූපතකට කොටු වුනා, එදා ඉඳන් අද දක්වාම එලෙසමයි. එසේනම් ඔබට දැන් වැටහිය යුතුයි මේ ජනවර්ගය වසර 60000 මෙපිට පිටස්තර ලෝකයක් දැක නැති බව. ඔවුන් දන්නෙ ඔවුන්ගෙ දූපත විතරයි. තවත් විදිහකින් කිව්වොත් මේ ජනතාව ජීවත් වන්නෙ වසර හැටදාහකට පෙර යුගයේ. (මෙතන්ට වෙනකන් තේරෙන්න ඇතිය කියලා මම විශ්වාස කරනවා)

සෙන්ටිනල් දූපත් වාසීන්

ඉතුරු පැහැදිලි කිරීමට යමු. දැන් සෙන්ටිනලීස්ලා දූපතේ වසර හැටදාහක් හිරවෙලා ඉන්දැද්දි 'අපි' ... ඒ කියන්නෙ ඔබ මම සහ ගෝලීයකරණ සංසිද්ධියට අසුවුන සියළු දෙනා ලෝක යුද්ධ දෙකක් පහුකරමින් ඇවිත් තාක්ෂණික දියුණුව, වෛද්ය විද්යාත්මක දියුණුව ආදී එකී මෙකී නොකී සියලු දේම අත්විඳිමින් දැන් ජීවත් වෙනවා. තවත් විදිහකින් කිව්වොත් සෙන්ටිනලීස්ලාව පහුකරලා අපි වසර 60000 ඉදිරියට ඇවිත්.

මම ඔබට ඊයේ නැවත පලකරපු වීඩියෝ පටය ඔබ නරඹන්න ඇතැයි යන පූර්ව නිගමනය මත මෙහෙම කියන්නන්. ව්යාධිජනකයන්, ඒ කියන්නෙ අපිට රෝග ඇතිකරන බැක්ටීරියා, වෛරස ආදිය ක්රමයෙන් පරිණාමය වෙන ආකාරය ඔබ ඒ වීඩියො පටය තුල දකින්න ඇති. සෙන්ටිනලීස්ලා පසුකරගෙන වසර හැටදාහක් ඉදිරියට ආපු අපත් සමඟ මේ ව්යාධිජනකයනුත් වසර හැටදාහක් ඉදිරියට ඇවිත්. ව්යාධිජනකයන්ගෙ ප්රචණ්ඩත්වය (Virulence) ක්රමයෙන් වැඩිවන බව ඔබ දකින්න ඇති. මේ ගෙවුණු වසර හැටදාහා තුල ව්යාධිජනකයන් ප්රචන්ඩත්වයෙන් ප්රචණ්ඩත්වයට පත්වන විට අපේ ශරීරයේ තිබෙන ප්රතිශක්තිකරණ හැකියාවත් ක්රම ක්රමයෙන් ඒ ව්යාධිජනක ප්රචණ්ඩත්වයට එරෙහිව සන්නද්ධ වුනා. අපි වසර හැටදාහකට ප්රථම හිටපු ව්යාධිජනකයන්ට නෙමෙයි අද මුහුණ දෙන්නෙ. ඊට මුහුණ දීමට ස්වාභාවික ප්රතිශක්තිකරණ හැකියාව ක්රමයෙන් පරිණාමය වී තිබෙනවා. අපි ඉන්න පරිසරය තුල පරිණාමය වු ව්යාධිජනකයන්ට මුහුණ දිමට අපේ ස්වාභාවික ප්රතිශක්තිකරණ පද්ධතිය සමත් වෙන්නෙ ඒ නිසයි.

නැවතත් යමු නෙග්රිටෝ ජනවර්ග වෙතට. ජරවා, ඔන්ගෙ, සෙන්ටිනලීස් යනු අප මුහුණ දුන් ව්යාධිජනකයන්ට මුහුණ නොදීපු හුදෙකලා ජන කොටස්. ඔවුන්ගෙ තවමත් පවතින්නෙ වසර හැටදාහකට පෙර අප සතුව තිබු ප්රතිශක්තිකරණ හැකියාව. එහෙමනම් උපකල්පනය කර බලන්න ඔවුන්ට වඩා වසර හැටදාහක් දියුණු ව්යාධිජනකයන් නෙග්රිටෝ ජන වර්ගයනට පහර දුන්නොත් කුමක් සිදුවෙයිද ? ඒ ආනිසංසය පිටස්තර ලෝකයට විවෘත වුන ඔන්ගෙ සහ ජරවා ස්වදේශිකයන් මේ වන විට අත්විඳිමින් සිටින්නේ. සරම්ප වැනි රෝග වලින් ඔවුන් බොහෝ දෙනෙක් මිය ගියා. ඒ අපේ ලෝකයෙන් ඔවුන්ට සංසරණය වු විශබීජ නිසා. සෙන්ටිනලීස්ලා කෙදිනක හෝ පිටස්තර ලෝකයට මුහුණ දුන්නොත් ඒ සිද්දිය ඔවුන්ටත් සිදුවෙන බව එක් හේතුවක් ඔවුන්ව පිටස්තර ලෝකයෙන් සබඳතා නොපැවැත්වීමට. ඉන්දියානු රජය සෙන්ටිනලීස්ලාට තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න ඉඩදීලා තිබෙන්නේ ඒ නිසා. මේ සිද්ධියම තමයි 15 වන සියවසේ සිට යුරෝපයෙන් විවිධ ස්වදේශිකයන් සොයා ගිය ගමන්වලත් අවසානය වුනේ. රතු ඉන්දියානුවන් ලක්ෂ ගනනින් මිය යෑමටත්, ඇස්ටෙක් වරුන්ගෙ අවසානයටත් මේ හේතු මෙලෙසම බලපෑවා.

එතකොට මේ කතාවෙන් ගතයුතු දේ කුමක්ද ? පරිණාමික කාල රාමුව සාමාන්යයෙන් වසර මිලියන ගනනනක් ගතවන්නක් වුනත් ඒ අර්ථයෙන් සාපෙක්ෂව කුඩා කාල රාමුවක් වන වසර 60000 තුලදීත් ප්රචණ්ඩ ව්යාධිජනකයන් හා සටන් වදිමින් අපේ අභ්යන්තර ස්වාභාවික ප්රතිශක්තිකරණ පද්ධතිය පරිණාමය වෙලා. සාපේක්ෂව අප මුහුණ දුන් පාරිසරික තත්වයන්ට මුහුන නොදුන් සෙන්ටිනලීස්, ජරවා, ඔන්ගෙ, රතු ඉන්දියානුවන්, ඇස්ටෙක්වරු, නිව්ගිනියානු වාසීන්, ඇබොරොජින් , කැරිබියන් දූපත් වාසීන්ගෙ ප්රතිශක්තිකරණ පද්ධති අප තරම් ශක්තිමත්ව පරිණාමය වී නැහැ. මේ එක් සාධකයක් අප තවමත් පරිණාමය වන බවට. දහස් ගනනක් සාධක අතරින් එක් සාධකයක්.

ඇන්ඩ්රොයිඩ්, IOS ඩිවයිසයකින් ඔබ මේ ලිපිය කියවන අතරේ නැගෙනහිර ඉන්දීය සාගරයේ හුදකලා දූපතක වසර හැටදාහකට එහා ලෝකය තුල ජීවත් වෙන තවත් හෝමෝ සේපියානුවෙක් ගිනි මැලයක් අසලට වී ⁣පසුදා අහාර වේල සොයාගන්නා ආකාරය ගැන හෝ මහා ශබ්යක් නගමින් අහසේ ඉගිලෙන අමුතු වස්තූන් ගැන කතා කරනවා ඇති. 😊



#DOE




No comments:

Post a Comment