Wednesday, August 21, 2019

සනජේ ඉන්ඩිකස් (Sanajeh indicus)


බොහෝ අවස්ථාවලදි ජුරාසික්, ක්රිටැසියස් අවධි ගැන කතා කරද්දි යුරෝපා සහ උතුරු ඇමරිකානු කලාපය ගැන සටහන් වුනාට අදාල යුග වලදි වෙනත් කලාපවල ජීවත් වුන සතුන් ගැන සටහන් වෙන්නෙ සුළු ප්රමාණයක්. ඒ නිසා ඒ අඩුව පුරවන්න අසල්වාසි ඉන්දියාවෙ පුරා ජෛව විවිධත්වයෙ කොටසක් ගැන තමයි මේ සටහන.

ක්රිටැසියස් අවධියේ අවසාන භාගය වෙද්දි ඉන්දියානු භූ තැටිය (ලංකාව සහ ඉන්දියාව මේ කාලෙදි එකම භූමියක්) ඇන්ටාර්ක්ටික් සහ අප්රිකානු භූ තැටි වලින් වෙන්වී උතුරු දෙසට තල්ලු වීම ඇරඹී යම් කාලයක් ගත වෙලා. ලේට් ක්රිටැසියස් එහෙම නැත්තන් ක්රිටැසියස් අවසන් භාගය විහිදෙන්නෙ මීට වසර මිලියන 94 පමණ පෙර සිට.

ලේට් ක්රිටැසියස් යුගයෙදි ඉන්දියාවෙ බටහිර කොටසෙ ජීවත් වුන සර්ප විශේෂයක් තමයි "සනජේ ඉන්ඩිකස්" විශේෂය. 2010 දී ඉන්දියාවෙ ලැමෙටා භූ සංකීර්ණයෙන් ලැබෙන ප්රථම ෆොසිලය ඉතාමත් විශේෂිත ෆොසිලයක්. ෆොසිල සාධක අනුව සලකා බැලු විට ෆොසිලය අයත් සර්පයා අඩි 11 පමණ දිගුවට වැඩුනු සත්වයෙක් බවට අනුමාන කෙරෙනවා. 

මේ සර්ප විශේෂය මැඩ්ට්සොයිඩේ කුලයට අයත් විශේෂයක්. මැඩ්ට්සොයිඩේ කුලය ගොන්ඩ්වාන සම්භවයක් සහිත සර්ප කුලයක්. තවත් සරල කරලා කිව්වොත් සියළු භූ ප්රදේශ එකට හා වී ගොන්ඩ්වානා මහද්වීපය ලෙස පැවති අවධියේදි ගොන්ඩ්වානාව තුල සම්භවය වූ සත්ව හා ශාඛ ෆොසිල විද්යාව තුල සලකන්නෙ ගොන්ඩ්වානා සම්භවයක් සහිත සතුන් සහ ශාඛ ලෙස. පෙර සඳහන් කල මැඩ්ට්සොයිඩේ සර්ප කුලයත් එලෙස ගොන්ඩ්වානාවෙ සම්භවය වූ සර්ප කුලයක්. වර්තමානයේදි මේ කුලයේ සාමාජිකයන් දකින්න නැහැ. මැඩ්ට්සොයිඩේ කුලය සමස්ථ වශයෙන් වඳව ගිය කුලයක් විදිහට තමයි සලකන්නෙ. සනජේ ඉන්ඩිකස් කියන්නෙ මැඩ්ට්සොයිඩේ කුලයට අයත් ක්රිටැසියස් යුගයෙදි ජීවත් වුන සර්ප විශේෂයක්.

සනජේ ඉන්ඩිකස් පලමු ෆොසිලයේ විශේෂත්වය තමයි මේ ෆොසිලය හමුවන්නේ සොරෝපොඩ් ඩයිනෝසර විශේෂයකට අයත් බිත්තර කැදැල්ලක් සමඟ. (නොදන්න අයට නැවත කෙටියෙන් කිව්වොත් සොරොපොඩ්ස් කියන්නෙ ලෝකෙ ජීවත් වුන විශාලතම ඩයිනෝසරයන්). බිත්තර අනුව සොරෝපොඩ් විශේෂය කුමක්ද යන්න පැහැදිලිවම කිව නොහැකි වුනත් ටයිටැනොසෝර් ක්ලේඩ් එකට අයත් විශේෂකගෙ බව විද්‍යාඥයන් අදහස් පලකරනවා. ඉන්දියාවෙ ටයිටැනොසෝර් විශේෂ කිහිපයක් ජීවත් වුනා. අයිසෝසෝර්, ජයිනසෝර් වැනි ඉන්දියානු ටයිටැනොසෝර් විශේෂයකගෙ කැදැල්ලක් බව තමයි ආසන්න ලෙස හඳුනාගන්න පුළුවන්. 

මේ අනුව ගත්තම සනජේ ඉන්ඩිකස්ගෙ හැසිරීම් රටාව හඳුනාගන්න පුළුවන්. ඔවුන් ඩයිනෝසර කැදලි වලට වැදී බිත්තර හෝ පැටවුන් ආහාරයට ගෙන තිබෙනවා. බොහෝ විට බිත්තර විය හැකි බව තමයි අදහස් පවතින්නේ. අයිසෝසෝර් , ජයිනෝසෝර් වැනි විශේෂ ඉතාමත් ඉක්මනින් අති දැවැන්තයන් බවය පත්වන නිසා සනජේ වැනි විලෝපිකයන්ගෙ ගොදුරු බවට පත්වීම වැලකෙනවා. සත්ය වශයෙන්ම ටයිටැනොසෝර් වැනි දැවැන්ත සෝරපොඩ් ඩයිනෝසරයන් එවැනි දැවැන්තයන් බවට පරිණාමය වු එක් හේතුවක් තමයි විලෝපිකයන්ගෙ ගොදුරු වීමෙන් වැලකීම. ඔවුන්ව ගොදුරු කරගන්න එන විලෝපිකයන් මෙන් පස් හය ගුණයක් විශාල වීමෙන් ගොදුරු බවට පත්වීමෙන් වැලකෙන්න පුළුවන්.

කෙසේ නමුත් සනජේ ඉන්ඩිකස් සෝරොපොඩ් කැදැල්ලක් සමඟම ෆොසිලභවනය වී තිබීමෙන් මේ සත්වයන්ගෙ ආහාර රටාව ගැන සාධක ලැබී තිබෙනවා.


සනජේ ඉන්ඩිකස් සහ සෝරෝපෝඩ් කැදැල්ලෙ ෆොසිලය ප්‍රතිනිර්මාණයක් 


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment