Thursday, August 22, 2019

කාචරෝක්ලස් මෙගලොඩොන් (Carcharocles megalodon) - 01


පෘථෘවි සාගර තුල ප්රථම මත්ස්ය විශේෂ ඇතිවෙන්නෙ මීට වසර මිලියන 510 කට පමණ පෙරදි. හනු රහිත මේ මත්ස්යන්ව අපි හඳුන්වනවා 'ඔස්ට්රැකෝඩර්මාවුන්' ලෙස. එතැන් පටන් තවත් වසර මිලියන 85 ක් පමණ ගතවුනු තැන , තවත් විදිහකින් කිව්වොත් අදින් වසර මිලියන 425 කට පෙර තමයි ප්රථම මෝරුන් විශේෂ පරිණාමය සිදුවන්නෙ. 

මෝරුන් කියන්නෙ කාටිලේජමය මසුන්. මනුශ්යන් වන අපේ කන් පෙති වැනි දෑ නිර්මාණය වී ඇති කාටිලේජ වලින් තමයි මෝර සැකිල්ල නිර්මාණය වන්නෙ. මේ හේතුවෙන් මොරුන් මිය ගිය පසු අස්ථික මසුන් හෝ වෙනත් අස්ථි දරන සත්වයන්ගෙ මෙන් සමස්ථ සිරුර ෆොසිලභවනය වීම සිදුවන්නෙ නැහැ (ඉතාමත් දුර්ලභ විශේෂිත අවස්ථා තියෙනවා එසේ සංරක්ෂණ වු). නමුත් මෝර විශේෂයන්ගෙ දත්, කොරල, සමේ හැඩයන් ආදීය ෆොසිලභවනය වීම සිදුවෙනවා.

පෙර සඳහන් කල පරිදි මෝරුන් විශේෂ පෘථෘවි සාගර තුල ඇතිවන්නේ අදින් වසර මිලියන 425 කට පමණ පෙර. මේ සත්වයින් ස්වභාවධර්මය විසින් නිර්මාණය කල අග්රගන්ය ආකෘතියක්. එහෙම කියන්න හේතුව තමයි වසර මිලියන 425 දිගු ඉතිහාසය තුල මෝරුන්ගෙ හැඩය (ඩිසයින් එක) වෙනස් වී නැති තරම්. ඒ වගේම මේ කාලය ඇතුලත සිදුවු මහා නශ්ඨවීම් 5 තුලදි ස්වාභාවධර්මය විසින් නිපැයු මේ ආකෘතිය නශ්ඨවීමකට ලක්ව නැහැ (විශේෂ වශයෙන් නෙවෙයි ආකෘතියක් ලෙස සැලකු විට). එසේ වීමට හේතුව තමයි මේ සත්ව කාණ්ඩය තමන් ජීවත්වන පරිසරයට අතිශයින්ම අනුගත වීමේ හැකියාව. මේ හෙතුවෙන් මෝරුන් ලෙස අද අපි දකින සත්වයා කාණ්ඩයේ ආකෘතිය කාලයේ වැලි තලාවෙන් යට නොවී අඛණ්ඩව වර්තමානය දක්වා පැමිණ තිබෙනවා.

සමස්ථ මෝරුන්ගෙම පරිණාමික කතාන්දරය ඉදිරිපත් කිරීමට උවමනාව තිබුනත් කාලය සීමිත බැවින් මේ දීර්ඝ කතාවේ ප්රධානතම චරිත කිහිපයක් ගැන හැකි පමණින් ඉදිරිපත් කිරීමට උත්සහා කරනවා, නමුත් එයින් මේ අපූරු සත්වයින්ගෙ පරිණාමික කතාන්දරයට සාධාරණයක් නොවන බව කිව යුතයි.මේ දීර්ඝ ප්රවිශ්ඨයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නෙ "මෙගලඩොන්" මෝර විශේෂය ගැන. මෙගලොඩොන් නම මීට පෙර කිහිප වතාවකදිම පරිණාමික දිනපොත තුලින් මම සඳහන් කර තිබෙනවා. ලිව්යටන් මෙල්විලී ගැන ලිපියෙත්, සිටසිය පරිණාමික කතාන්දරය තුලත් මා මීට පෙර මෙගලොඩොන් ගැන සඳහන් කර තිබෙනවා.

මෙගලොඩොන් විශේෂයේ සම්පුර්ණ විද්යාත්මක නාමය 'කාචරෝක්ලස් මෙගලඩොන්'. කලකට ඉහතදි කාචරෝක්ලස් ගනයට නොව 'කාචරඩොන්' ගනයට තමයි මෙගලොඩොන් විශේෂය බැර කර තිබුනෙ. කාචරඩොන් යනු වර්තමානයේදි ජීවත්වන මිනී මෝරා (Great white shark) අයත් ගනය. මිනීමෝරාගෙ විද්යාත්මක නාමය සැලකුවොත් එය 'කාචරඩොන් කාචේරියස්'. නමුත් ඉතාමත් මෑතකදි විද්‍යාඥයන් වැඩිදුර පර්යේෂණ මඟින් එකඟතාවකට පැමිණෙනවා මෙගලොඩොන් අයිති ගනය කාචරඩොන් නොව කාචරෝක්ලස් බවට. කාචරෝක්ලස් ගනය වර්තමානය වෙද්දි සම්පූර්ණයෙන්ම වඳවී ඇති ගනයක්.

මෙගලොඩොන් නාමයේ අර්ථය තමයි 'විශාල දත' යන අර්ථය. අදින් වසර මිලියන 23 කට පමණ පෙර මයෝසීන යුගයෙදි මෙගලොඩොන් විශේෂය පෘථෘවි සාගර තුල සැරිසැරීම ඇරඹෙනවා. එතෙක් මෙතෙක් සාගර තුල සැරිසැරූ බිහිසුණුම සුපිරි විලෝපිකයා ලෙස ඇතැම් විද්‍යාඥයන් මෙගලොඩොන් විශේෂය හඳුන්වනු ලබනවා. ෆොසිල සාධක අනුව අඩි 60 පමණ විශාලත්වකට වැඩුණු අවස්ථා පිලිබඳව වාර්තා ලැබෙනවා නමුත් මධ්යන අගයක් ලෙස ගත් විට මෙගලොඩොන් මෝරුන් අඩි 36 පමණ ප්රමාණයකට වැඩීම සිදුව තිබෙනවා. මේ සත්වයන්ගෙ හනු තෙරපුම (සපා කෑම) නිව්ටන් 110000 - 180000 අතර ප්රමාණයක්. සංසන්දනය සඳහා මනුශ්ය හනු තෙරපුමක් ගත්තොත් නිව්ටන් 1100 පමණ, සිංහයෙකුගෙ නිව්ටන් 4450 පමණ, විශාල ප්රමාණයේ ගැට කිඹුලෙකුගෙ හනු තෙරපුම නිව්ටන් 16460 පමණ සහ අවසාන වශයෙන් වර්තමානයේදි ජීවත්වන මිනී මෝරෙකුගෙ හනු තෙරපුම නිව්ටන් 17790 පමණ. මේ සංසන්දනාත්මක ප්රමාණ වලින් ඔබට සිතා ගන්නට පුළුවන් මෙගලොඩොන් හනු තෙරපුම කොතරම් බිහිසුණු සහ මරාන්තිකද යන්නට.

මෙගලොඩොන් ප්‍රතිනිර්මාණයක් 

මීනී මෝරකු සමඟ ප්‍රමාණාත්මක සංසන්දනය 

ප්රාග්ඓතිහාසික කාර්චරෝඩොන් මෙගලොඩොන් විශේෂයට අයත් මෝර දතක් සහ වර්තමානයේ ජීවත් වන ග්රේට් වයිට් ටිප් (මිනී මෝරා) ⁣විශේෂයට අයත් දත්.(කළු පාටින් තියෙන්නෙ මෙගලොඩොන් දත)

මෙගලොඩොන් දතක් සහ මිනී මෝරකුගෙ දත්


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE






No comments:

Post a Comment