Wednesday, November 13, 2019

ට්‍රයිසරැටොපස් (Triceratops)


ලෝකයේ සුප්‍රසිද්ධ ඩයිනෝසර විශේෂ සිටින්නේ ඉතාමත් අතලොස්සක්. ඒ අතලොස්ස අතරිනුත් ඉහලින් සිටින බොහෝ දෙනාගෙ ආදරයට පාත්‍ර වු විශේෂයක් තමයි ට්‍රයිසැරටොප්ස් ගනය. ට්‍රයිසැරටොප්ස් නාමය සම්භවය වන්නෙ ආදි ග්‍රීක භාෂාවෙන්. ට්‍රයි = ත්‍රිත්ව, සෙරාස් = අඟ, ඔප්ස් = මුහුණ. එනයින් ට්‍රයිසරැටොපස් යන්න අර්ථය 'අං ත්‍රිත්වයේ මුහුණත'

ට්‍රයිසැරටොප්ස් ප්‍රතිනිර්මාණයක්

ට්‍රයිසැරටොප්සයන් ජීවත් වන්නෙ ක්‍රිටැසියස් යුගයේ අවසාන භාගයට වන්නට අදින් වසර මිලිය 68 පමණ පෙර. පෘථිවිය මත සැරිසැරූ අවසන් ඩයිනෝසරයන් කිහිපය අතරින් එක් ගනයක් තමයි ට්‍රයිසරැටොපසයන්. මේ ගනය මුලින්ම නම් කරන්නෙ සුප්‍රසිද්ධ ෆොසිල විද්‍යාඥයකු වන ඔත්නීල් චාර්ල්ස් මාර්ශ් විසින් 1889.

මේ විශේෂයේ කැපී පෙනෙන ලක්ෂණ තමයි ගෙල වටා අවානක් ලෙස පිහිටන අස්ථිමය වැස්ම. ඒ වගේම මුහුණේ පිහිටන අං තුන. ට්‍රයිසරැටොපස් ගනය අයත් වන්නෙ සෙරටොප්සිඩේ කුලයට. සෙරටොප්සියාවන් කියන්නෙ ඉතාමත් අධි විවිධත්වයක් පෙන්නුම් කරන ඩයිනෝසර කුලයක්. සෙරටොප්සියාවන් ගැන මීට පෙරත් කිහිප වතාවක්ම මේ පිටුව තුලින් මම විස්තර කරලා තියෙනවා. 

සෙරටොප්සිඩේ කුලය ශාඛභක්ෂක කුලයක්. ඒ වගේම නිරන්තර විලෝපික පහරදීම් වලට ලක්වුන කුලයක්. මේකෙ ප්‍රතිඵලයක් විදිහට වසර මිලියන ගනනක සෙරටොප්සියා පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිටැසියස් යුගයේ අවසාන භාගයේදි පරිණාමය වන ට්‍රයිසරැටොපස්යන් විශාල ප්‍රමාණයේ සතුන් බවට පත් වෙනවා. මේක විලෝපිකයන්ගෙන් ගැලවීම සඳහා සිදුවෙන පරිණාමික ක්‍රියාවලියක්. මීට සති කිහිපයකට ඉහතදි මම විස්තර කරා මේ ඩයිනෝසරයන් අතර තිබුන අවි ගැටුම. විලෝපිකයාගෙන් ගැලවීමට ගොදුරු වෙන සතුන් ක්‍රමිකව විශාල වෙද්දි ඊට සමපාතිකවම විලෝපිකයනුත් ශරීර ප්‍රමාණයෙන් විශාල වෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි භෞමික පරිසර තුල විසු දැවැන්තම විලෝපිකයන් ක්‍රිටැසියස් අවසාන භාගයට වන්නට දකින්න පුළුවන් වෙන්නෙ. ටිරනොසෝරිඩේ, ඇබෙලොසෝරිඩේ, කාචරෝඩොන්ටෝසෝරිඩේ වගේ කුලයන් තුලින් අති දැවැන්ත ඝාතකයන් ක්‍රිටැසියස් යුගය අවසාන භාගයේදි එලි බහින්නෙ ශරීර ප්‍රමාණයෙන් දැවැන්ත වුන ගොදුරු හඹායන්න. මේ කුලයන් වල ක්‍රිටැසියස් මුල අවධිය සහ ඊට පෙර පැවති යුග තුල සිටි සාමාජිකයන් සලකා බලද්දි එතරම් විශාල සතුන් දකින්නට නැහැ. 

ට්‍රයිසරැටොපසයන් අඩි දහයක් පමණ උසකිනුත්, අඩි 30 පමණ දිගිනුත්, ටොන් 10 -12 අතර බරිකිනුත් යුත් දැවැන්තයින්. විශාලතම හිස්කබල හිමි ඩයිනෝසර විශේෂ අතරින් එකක් තමයි ට්‍රයිසරැටොපස්. හිස්කබලේ ශක්තිමත්බව නිසාම මේ සත්වයින්ගෙ වඩාත් හොඳින් සංරක්ෂණ වී තිබෙන කොටස තමයි හිස. මේ හේතුවෙන් පහුගිය සියවස තුල ට්‍රයිසරැටොපස් ඇතුලු සෙරටොප්සියන් හිස් කබල් ෆොසිල සඳහා විවිධ ෆොසිල රැස් කරන්නන්, කෞතුකාගාර ආදියෙන් දැඩි ඉල්ලුමක් පැවතුනා. එක්සත් ජනපදයේ හෙල් ක්‍රීක් සංකීර්ණයෙන් තමයි ට්‍රයිසරැටොපස් ෆොසිල වාර්තා වෙන්නෙ. සුලභ ලෙස ට්‍රයිසැරටොප්ස් අස්ථි මත සටහන් වු ටිරොනෝසෝරස් රෙක්ස් දත් පහරවල් දැක ගන්න පුළුවන්. මේ හේතුව නිසා ටිරොනෝසෝරස් සහ ට්‍රයිසරැටොපස් අතර ගැටුමේ ප්‍රතිනිර්මාණ ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. 

ට්‍රයිසැරටොප්ස් ගනය සහ සෙරටොප්සිඩේ කුලය කියන්නෙ මේ වගේ කෙටි ලිපියකින් කතා කරලා ඉවර කරන්න බැරි අති දීර්ඝ මාතෘකාවක්. ඉදිරියේදි මොවුන් ගැන මේ පිටුව තුලින් තවත් ලිපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ජෛව අවි යොදාගන්න කකුළුවන් (Crabs who use biological weapons)


Xanthidae කුලයේ Lybia නැමැති ගනයට අයත් කකුළුවන්ව හඳුන්වනවා බොක්සර් කකුළුවන් ලෙස. මේ කකුළුවන්ට තවත් අන්වර්ථ නාමයක් තිබෙනවා පොම් පොම් කකුළුවන් ලෙස. නූල්, කඩදාසි ආදී ද්‍රව්‍ය යොදාගෙන හදාගන්න සැරසිල්ලට තමයි පොම් පොම් එකක් කියන්නෙ. විවිධ ක්‍රිඩාවලදි එහෙම දිරිමත් කිරීම සඳහා යොදාගන්න නර්ථන අංගවල මේ පොම් පොම්ස් දෙකක් අතැතිව නර්ථනයේ යෙදෙන යුවතියන් දකින්න පුළුවන්.

එතකොට ඇයි මේ ලිබියා ගනයේ කකුළුවන්ට පොම් පොම් කකුළුවන් කියන්නෙ ? හේතුව තමයි මේ ගනයේ කකුලුවන් නර්තනයේ යෙදෙන්නන් පොම් පොම් අතැතිව සිටිනවා මෙන් මුහුදු ඇනමනී දෙකක් අඬු දෙකේ තබාගෙන සිටීම. මුහුදු ඇනමනී කියන්නෙත් නිඩාරියා වංශයට අයත් සත්ව කාණ්ඩයක්. ජෙලිෆිශ් , හයිඩ්‍රාස්, කොරල් පොලිප්ස් ආදීන්ට පරිණාමික ඤාතී සබඳතා දක්වන සත්ව විශේෂයක්. මුහුදු ඇනමනී වල තිබෙන ලක්ෂණය තමයි ඔවුන් බොහෝ විට උපස්ථරයකට සවි වී ජීවත් වීම. නමුත් බොක්සර් කකුළුවන් මේ ඇනමනී දෙකක් අඬු දෙකේ තබාගෙන සිටිනවා.

බොක්සර් කකුළුවකු සහා කකුළුවා සතු ඇනමනී

මුහුදු ඇනමනී විශේෂ බොහෝමයක් විෂ සහිතයි. මෙයින් ඇතැම් විශේෂ මනුශ්‍යන්ට පවා අධික විෂ සහිත විශේෂ. බොක්සර් කකුළුවන් අත තාබගෙන සිටින ඇනමනී විශේෂයත් එලෙස විෂ සහිත විශේෂයක්. කකුළුවන් විෂ සහිත මුහුදු ඇනමනී යොදාගනිමින් සතුරන්ට පහරදීම සිදු කරනවා. තමන්ව ඩැහැ ගැනීමට එන විලෝපීක විශේෂවලට බොක්සර් කකුළුවන් පහර දෙන්නෙ මුහුදු ඇනමනී වලින්. ඒ වගේම ඇනමනී මඟින් නිපදවන රසායනික ද්‍රව්‍ය වලින් බොහෝ සතුරන් ඈත් වීම සිදුවෙනවා.

මේ කතාවේ සිත්ගන්නා සුළු කාරණය තමයි මේ බොක්සර් කකුළුවන් ඉතා සූක්ෂම ගෙවතු වගාවේ යෙදෙන්නන් වගේ තමන් සතු ඇනමනී දෙක රැක බලා ගන්නවා. දෙකකට වැඩිය හෝ අඩුව ඔවුන් තියාගන්නෙ නෑ. මේ ඇනමනී දෙකේ වැඩීම පවා ක්‍රමානුකූලව පවත්වාගන්න කකුළුවො වග බලාගන්නවා (වැඩියෙන් ලොකු වුනොත් අතේ තියාගන්න බෑනෙ).

ඊටත් වඩා අපූරු කාරණය තමයි එකක් නැති වුනොත් එහෙම බොක්සර් කකුළුවන් කරන්නෙ තමන් අතේ ඉතුරු වෙලා තියෙන එකම එක ඇනිමනිය ඉතාමත් සූක්ෂම ලෙස දෙකට බෙදීම. දින කිහිපයකින් කකුළුවා සතුව නැවත වැඩෙන නිරෝගී ඇනමනී දෙකක් තියෙනවා දැන්. 

පර්යේෂණ කණ්ඩායම් මේ කකුළුවන් යොදාගෙන පර්යේෂණ කිහිපයක්ම කර තිබෙනවා. ප්‍රථමයෙන්ම එක් ටැංකියක සිටින කකුළුවකුගෙ ඇනිමනියක් ඉවත් කිරීම. (ඒක ඉවත් කරන්නත් ලෙසියෙන් ඉඩදීලා නෑ හයියෙන් අල්ලන් ඉන්න නිසා පැය දෙකක් පමණ මහන්සී වී තමයි එක් ඇනිමනියක් ඉවත් කරගෙන තිබෙන්නේ). එවිට පෙර පැවසු පරිදි කකුළුවා ඉතිරි ඇනිමනිය දෙකට කඩා නැවත ඇනමනී දෙකක් සකසා ගෙන තිබෙනවා.

දෙවන පර්යේෂණය තමයි ඇනමනී දෙකක් සතු කකුළුවකු සිටින ටැංකියකට කිසිඳු ඇනමනියක් නැති කකුළුවකු දැමීම. ප්‍රතිඵලය තමයි ඇනමනී නැති කකුළුවා ඇනමනී ඇති කකුළුවාගෙන් එකක් හෝ කොටසක් උදුරා ගැනීම. ටික දිනකින් කකුළුවන් දෙන්නටම ඇනමනී දෙක බැගින්.

මුහුදු ඇනමනී මෙලෙස බෙදා වැඩෙන්නට හැරීම එක් විශේෂයක් තවත් විශේෂයක අලිංගික ප්‍රජනනය සඳහා සෘජු දායකත්වයක් සැපයු අවස්ථාවක් ලෙස සටහන් වෙනවා. මේක සම්බන්ධය සහජීවි සම්බන්ධයක්. බොක්සර් කකුළුවාගෙ අත්වල රැඳී සිටිමින් ඇනමනී කකුළුවන් ඉවත දමන කෑම ලාබාගන්නවා වගේම උපස්ථරයක කොටුව සිටිනවාට වඩා තැනින් තැන ගමන් කරමින් ආහාර ලබා ගැනීමටත් හැකියාව ලබනවා.

බොක්සර් කකුළුවා සහ ඇනමනී සටහන පරිණාමික දිනපොත තුල හමාර කරන්න කලින් තවත් එක් කාරණයක් තිබෙනවා එකතු කරන්න. මේ බොක්සර් කකුළුවන් උපයෝගී කරගන්න ඇනමනී විශේෂයේ වන නිදර්ශක , එහෙම නැත්තන් කොහේ හෝ උපස්ථරයක වැඩෙන කිසිම නිදර්ශකයක් සොයාගැනීමට නොහැකිවී තිබෙනවා පර්යේෂණ කණ්ඩායමේ වසර හතරක කාලය තුල.

කල්පිත දෙකක් ඒ ගැන තිබෙනවා. එක්කො තමන්ට දකින්න නොලැබුන, ඉතාමත් හුදෙකලා තැනක සැඟවී මේ ඇනමනී විශේෂය සාගරයේ තිබෙනවා. එසේත් නැත්තන් මේ වන නිදර්ශක සම්පූර්ණයෙන් මේවන විට වඳව ගොස් නමුත් බොක්සර් කකුළුවන් මේවා ඉතාමත් දීර්ඝකාලීනව ගෘහස්තකරණ ක්‍රියාවලියකට යොමු කර තිබෙන නිසා බොක්සර් කකුළුවාගෙන් ස්වායක්තව මේ මුහුදු ඇනමනී කොහේවත් නොමැති බව. ඒක සමාන කරන්න පුළුවන් මිනිස්සු සහ සුනඛයන් අතර ඇති සම්බන්ධයට.


(Image credit - Lee Goldman)



#DOE




මජුන්ගාසෝරස් ක්‍රිනැටිසිමුස් (Majungasaurus crenatissimus)


වරක් මම පරිණාමික දිනපොත ෆේස්බුක් පිටුවෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඒ පේජ් එකේ සහ මේ බ්ලොග් එකේ කවර් ෆොටෝ එකේ ඉන්න ඩයිනෝසර විශේෂය කුමක්ද කියා. බොහෝ අය පිලිතුරු දීලා තිබ්බෙ T-rex, රැප්ටර්, ඇලෝසෝරස් වගේ පිලිතුරු. කාර්නෝටෝරස්වත් සඳහන් වෙලා තිබුනා. නමුත් නිවැරදි පිලිතුර තමයි Majungasaurus crenatissimus. මේ නම උච්චාරනය කරන්නෙ 'මජුන්ගාසෝරස් ක්‍රිනැටිසිමුස්' ලෙස.

මජුන්ගාසෝරස් ක්‍රිනැටිසිමුස් සැකිල්ලක් 

මජුන්ගාසෝරස් ජීවත් වන්නෙ මීට වසර මිලියන 70 - 66 ත් අතර කාලය තුලදි මැඩගස්කරයෙ. මේ ඩයිනෝසර විශේෂය තේරොපොඩ් වර්ගයේ ඇබෙලිසොරිඩේ කුලයට අයත් ඩයිනෝසරයෙක්. දකුණු අර්ධගෝලය තුල වැඩියෙන්ම අධ්‍යනයට ලක්වු ඩයිනෝසර විශේෂයක් තමයි මේ මජුන්ගාසෝරස් විශේෂය. අඩි 23 ක් පමණ දිගට වැඩෙන මේ විශේෂය ටොන් එකක් පමණ බරින් යුක්ත බවයි සඳහන් වෙන්නෙ. මේ විශේෂයේ පූර්ව ගාත්‍රා ඉතාමත් කුඩා ලෙස ක්ශීනව ගොස් තිබෙනවා. තේරොපොඩ් පරිණාමික වෘක්යෙන් මුල් කාලීනව වෙන්ව ගොස් හුදෙකලා වු විශේෂයක් ලෙස මේ විශේෂය සලකනවා.

මජුන්ගාසෝරස් ක්‍රිනැටිසිමුස් ප්‍රතිනිර්මාණයක් 
මජුන්ගාසෝරස් ෆොසිල සමඟ අධ්‍යනය කරන්න පුළුවන් තව දෙයක් තමයි මේ විශේෂය ස්වභක්ෂනයේ යෙදී ඇති බව. මජුන්ගාසෝරස් අස්ථි මතම මජුන්ගාසෝරස් දත් පහරවල් සටහන් වී තිබෙන සාධක සොයාගෙන තිබෙනවා. ඩයිනෝසරයන් අතර ස්වභක්ෂනයේ ප්‍රථම සාධක ලැබෙන්නෙ මජුන්ගාසෝරස් ෆොසිල වලින්. ඒ වගේම සාමාන්‍යය ගොදුරු ලෙස විශාල ප්‍රමාණයේ සෝරොපොඩ් සත්වයන් දඩයම් කර ඇති බවට සාධක ලැබෙනවා. මේ කරුණු අනුව මජුන්ගාසෝරස් දරුණු ගනයේ විලෝපිකයෙක් බවට විශ්වාස කිරීමට ප්‍රමාණවත් සාධක තිබෙනවා. මේ අවධිය තුලදි මැඩගැස්කර් ප්‍රදේශය තුල ජීවත්වුන විශාලතම විලෝපිකයා මජුන්ගාසෝරස්. 

මජුන්ගාසෝරස් ක්‍රිනැටිසිමුස් හිස් කබලක්

ජුරැසික්, ක්‍රිටැසියස් අවධීන් තුල ටිරොනෝසෝරස්, රැප්ටර්ස් සතුනට අමතරව ලෝකය පුරාම විශාල ප්‍රමාණයේ විලෝපික තේරෝපොඩ් ඩයිනෝසරයන් විශේෂ ගනනාවක් පැතිරී සිටියා. සාමාන්‍යයෙන් කපාල ප්‍රමාණය, හැඩය, කපාලය තුල දැකිය හැකි ලක්ෂණ, අස්ථි සැකැස්ම ආදියෙන් මේ විශේෂ හඳුනාගන්න පුළුවන්. නිවැරදි පිලිතුර කිහිප දෙනෙක්ම ලබා දී තිබුනා. කානෝටෝරස් පිලිතුරත් මේ සැකිල්ල ලඟින්ම යන පිලිතුරක්. පිලිතුරු දුන්න සියල්ලටම ස්තුති !


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



ඔස්ට්‍රලෝපිතෙකස් සහ ඩයිනොෆෙලිස් (Australopithecus and Dinofelis)


"අඳුරු මහද්වීපයේ දකුණට වන්නට පිහිටි ඝන වනාන්තරක් තුල සැරිසරන ආදී හොමිනිඩ් වානරයෙක්. උල් දත් සහ නිය සහිත අනෙකුත් වනාන්තර වාසීන් මෙන් නොව මේ හොමිනිඩ් වානරයාට අනතුරකින්, විලෝපිකයෙකුගෙන් දිවි රැක ගැනීමට කිසිඳු ස්වාභාවික අවියක් පිහිටා නැහැ. වනාන්තර තුල ගමන් කිරීමම මරණයට අතවැනීමක් වුනත් බිය මැඬගෙන මතුවන්නෙ කුසගින්න. 

ඇට බිඳෙන හඬක් සමඟ හොමිනිඩ් වානරයාට දකින්න ලැබෙන්නෙ කාළ වර්ණ ඩයිනොෆෙලිස් බිළාලයෙකු කූඩූ මුවෙක් අනුභව කරන දර්ශනයක්. ඩයිනොෆෙලිස් බිළාලයා ගොදුර හැර ගිය පසු කෑමට යමක් ඉතිරි වෙයිද ? උඩු සුළං සමඟ හොමිනිඩ් වානරයාගෙ ඉව ඩයිනොෆෙලිස්ගෙ නාස් කුහර තුලට දැනටමත් ලඟා වී ඇත්ද ? "



මොරීසියො ඇන්ටන් නැමැති ප්‍රාග්ඓතිහාසික දර්ශන ප්‍රතිනිර්මාණය කරන චිත්‍ර ශිල්පියාගෙ චිත්‍රයකට තමයි මම ඉහත කෙටි කථාව ලිව්වෙ. කාරණා කිහිපයක් ගැනම මේ චිත්‍රය අලලා කථා කරන්න පුළුවන් නිසාම මේක තෝරා ගත්තා. ප්‍රාග්ඓතිහාසික ප්‍රතිනිර්මාණ සිදු කිරීමේදි බොහෝ අයට තිබෙන ගැටලු තමයි මේවා මෙහෙම වුනාය කියන්නෙ කොහොමද ? කුමන කාරණා මත පදනම් වෙලාද මේ චිත්‍ර අඳින්නෙ ? වසර මිලියන ගනනකට පෙර සිදු වු ඇසින් දකින්නට නොහැකි දේවල් ගැන මෙහෙම කොහොමද අඳින්නෙ ? මේවා හුදෙක් කතා පමණයි... ආදී ගැටලු රැසක්.

හුදෙක් චිත්‍ර ශිල්පියෙක් වූ පමණින් මේ ප්‍රතිනිර්මාණ සිදු කරන්න බැහැ. (ඕනම කෙනෙක්ට අඳින්න පුළුවන් නමුත් විද්‍යාත්මක නිරවද්‍යතාව ගැන මේ කියන්නෙ). මේ සඳහා පුරාණ පරිසර පද්ධති, ජෛව විද්‍යාත්මක තොරතුරු සහ වර්තමානයේදි තිබෙන පරිසර පද්ධති, ජීවී විශේෂ ගැන පෘථුල දැනුමක් තිබිය යුතුයි. මේ කාරණා වලට අමතරව ව්‍යුහ විද්‍යාව සම්බන්දයෙන් ගැඹුරු දැනුමක් තිබිය යුතුයි. ඒ ඒ කාරණා සංතෘප්ත වෙනවානම් තමයි යම්කිසි විද්‍යාත්මක සොයා ගැනීමක් ප්‍රතිනිර්මාණය සඳහා 'පත් කරන ලද' (commissioned paleoartist) බවට පත් වෙන්නෙ. ඒ අනුව තමයි එකී නිර්මාණය, අදාල සොයාගැනීම සම්බන්දව පලවෙන පිලිගත් ප්‍රකාශන වලටත් ගනු ලබන්නෙ.

අපි උදාහරණයකට ගමු මේ පෝස්ට් එකේ තිබෙන චිත්‍රය. මේ ප්‍රතිනිර්මාණයේ ඉන්න හොමිනිඩ් තමයි 'ඔස්ට්‍රලෝපිතෙකස් ඇෆ්රිකානස්' විශේෂය. මීට වසර මිලියන 3.3 - 2.1 ත් අතර කාලයේදි තමයි ඇෆ්රිකානස් අප්‍රිකානු මහද්වීපය තුල පැතිරෙන්නෙ. මේ පෝස්ට් එකේ ඉන්න බිළාලයා තමයි 'ඩයිනොෆෙලිස් බාර්ලෝවි' නැමැති ඩයිනෝෆෙලිස් විශේෂය. මේ ඩයිනෝෆෙලිස් විශේෂය ජීවත් වෙන්නෙත් ඇෆ්රිකානස් ජීවත් වු සමයේම, ඇෆ්රිකානස් ජීවත් වූ වටපිටාවෙම තමයි.

ඩයිනොෆෙලිස් බිළාල කුලයේ වුනාට සිංහයන්, කොටින් ආදියට වඩා ඉතාමත් ආදිකල්පික සත්වයෙක්. මේ ඡායාරූපයේ නොපෙනුනාට මොවුන්ට ඉතාමත් දිගු රදනක දත් පිහිටනවා ස්මයිලඩොන්/සේබර්ටුත් කැට් (කෘපාන දන්තී ව්‍යාඝ්‍රයන්) මෙන්. හැබැයි ස්මයිලඩොන්ලාගෙ තරම් දීර්ඝව මේවා වැඩෙන්නෙ නැහැ. ඒ නිසා තමයි ඩයිනොෆෙලිස් කියන නම ලැබෙන්නෙ, එහි අර්ථය ව්‍යාජ කෘපාන දන්තී ව්‍යාඝ්‍රයා (false saber tooth). ඩයිනොෆෙලිස් ඉතාමත් ශක්තිමත් මාංශපේෂි සහිත බිළාලයෙකු ලෙස තමයි ෆොසිල සාධක මත තීරණය වෙන්නෙ. බරැති දේහයත්, දිවීමට වඩා පැනීමට සකස්වූ ව්‍යුහයත් නිසා තෘණබිම් වලට වඩා ඩයිනොෆෙලිස් ප්‍රිය කරන්නට ඇත්තෙ ඝන වනාන්තර. සැඟව සිට ගොදුරු බිම හෙලන (ambush predator) වර්ගයේ විලෝපිකයෙක්. ඒ නිසාම වර්ණ රටාව ගැන පවතින විද්‍යාත්මක කල්පිතය තමයි තිත් රටා හෝ රොසේට් රටා වලට වඩා ඉරි සහිත වර්ණ රටාවක් තිබෙන්නට ඇති බව.

ඇෆ්රිකානස් ගැන කතා කරද්දි ඇතැම් ඇෆ්රිකානස් සහ පැරන්ත්‍රෝපස් (සමකාලීන තවත් වානර රූපී මානවාකාරයක්) මානව ෆොසිල වල තිබෙනවා විලෝපික රදනක දත් පහරවල්. මේ රදනක දත් පහරවල් බොහෝ විට ගැලපෙන්නෙ ඩයිනොෆෙලිස් සහ මෙගන්ටෙරියොන් වැනි විශේෂවල දන්ත සැකැස්මට. ඒ නිසා ඇෆ්රිකානස් සහ ඩයිනොෆෙලිස් හමුවීම් මේ ආදිකල්පික යුගය තුල නිරන්තරයෙන්ම සිදුවන්නට ඇති බව විශ්වාස කරනවා.

නැවත ඡායාරූපයේ දැක්වෙන ප්‍රතිනිර්මාණයට ආවොත් ඇෆ්රිකානස් සහ ඩයිනොෆෙලිස් හමුවක් මොරීසියො සිතුවම් කර තිබෙනවා. විද්‍යාත්මක වාර්තා අනුව ගන වනාන්තරයන්, ඩයිනොෆෙලිස් ඉතාමත් ශක්තිමත් ලෙස නිරූපනය වෙනවා, කූඩු මුවන් කියන්නෙ ඩයිනොෆෙලිස්ගෙ ප්‍රියතම ආහාරයක්. මේ කාරණා ගොන්න අතරට මොරීසියො ඩීටේල් එකක් එකතු කරනවා ඩයිනොෆෙලිස්ව තනි කළු වර්ණයෙන් සටහන් කරලා. මෝරිසියො මෙහි අර්ථ දක්වන්න උත්සහ කරන්නෙ ඩයිනොෆෙලිස් මෙලනිස්ටික් නිදර්ශකයක්. මෙලනිස්ටික් නිදර්ශක ගැන මම මීට පෙර පරිණාමික දිනපොතේ විස්තර කරා. 

මොරීසියො ලෝකය පුරාම ජීවත්වන බිළාලයන් නිරීක්ෂණය කරමින් ඔවුන්ගෙ ව්‍යුහ විද්‍යාව, බයොමෙකැනික්ස් විෂය පථය, චර්යා රටා නිරීක්ෂණය කරමින් ලෝකය පුරා ඇවිදින ගමන් තමයි මේ කමිශන්ඩ් ආර්ට්වර්ක්ස් සිදු කරන්නෙ. ඔහුගෙ ප්‍රතිනිර්මාණවල ජීව ගුණය සහ ඉහල තත්වයට හේතු වෙන්නෙ ඔහු සතු මේ නිරීක්ෂණ හැකියාව සහ දැඩි අධ්‍යනයයන්. ඒ අනුව ඔබට පේනවා ඇති මේ ප්‍රතිනිර්මාණ හුදෙක් චිත්‍ර නොව දැඩි වෙහෙසක්, අධ්‍යනයක් සහ ශාස්ත්‍රීය අවබෝධයක් සහිතව සිදු කෙරෙන ඒවා බව. මේ දක්වපු ප්‍රතිනිර්මාණය සිදුකිරීමට පමණක් විද්‍යාත්මක ප්‍රකාශන හා පත්‍රිකා සිය ගනනක තොරතුරු සිතුවම් ශිල්පියා විසින් අවබෝධ කරගත යුතුයි. Paleoart පුරාණ තත්ව සිතුවම්කරණය කියන්නෙ කලාවකටත් වඩා විද්‍යාවක්. දැන් ඔබ දැනගත්ත ඔස්ට්‍රලෝපිතෙකස් ඇෆ්රිකානස් සහ ඩයිනොෆෙලිස් බාර්ලෝවි වැනි විශේෂ පිළිබඳව යම්කිසි ජීව ගුණයක් සහිතව ගෙන හැර දැක්වීමට මේ ප්‍රතිනිර්මාණකරණය ඉතාමත් ඉවහල් වෙනවා. වඳව ගිය නව සත්ව විශේෂයක් ප්‍රකාශනයට පත්වු වහාම එහි පත් කරන ලද චිත්‍රශිල්පියාගෙ ප්‍රතිනිර්මාණය සමඟ තමයි මම පරිණාමික දිනපොත තුලින් ඔබට ඒ පිළිබඳව සටහන ගෙන එන්නෙ, ඒ එමඟින් ඔබට වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා.


(The image is a scientific reconstruction by Mauricio Anton Ortuzar - Paleoartist and Illustrator)



#DOE




යෝධ දැල්ලන් (Giant Squid)


සමුදුරු තරණයේදි නාවික යාත්‍රා විනාශ කරන යෝධ දැල්ලන් සහ බූවල්ලන් ගැන කතා නොඅඩුව අසන්නට ලැබෙනවා ලෝකයේ සෑම ප්‍රදේශයකින්ම. නාවිකයන්ගෙ කතාවල සත්‍යතාව කෙසේ වෙතත් වර්තමාන සාගර තුලත් මේ යෝධ දැල්ලන් විශේෂ ජීවත් වනවා. මේ පහත ඡායාරූපය තුල දැක්වෙන්නෙ එවන් යෝධ දැල්ලන් විශේෂයක ඡායාරූපයක්.

Architeuthis dux (Giant squid)

අපෘෂ්ඨවංශික සත්වයන් (කොඳු ඇට පෙලක් නොමැති සත්ව කාණ්ඩ) අතරින් ලොව ජීවත්වන විශාලතම සත්වයන් තමයි යෝධ දැල්ලන්. ඡායාරූපයේ දැක්වෙන විශේෂය තමයි Architeuthis dux (Giant squid) විශේෂය. නමුත් මේ විශේෂයටත් වඩා විශාලව වැඩෙන දැල්ලන් විශේෂයක් තමයි Mesonychoteuthis hamiltoni (Collosal squid)

ප්‍රමාණයන්ගෙන් කිව්වොත් Giant squid අඩි 33 ක් පමණ දිගටත් බරින් 275 kg පමණත් විශාලව වැඩෙනවා. Collosal squid විශේෂය දිගින් අඩි 46 කුත් බරින් 750 kg පමණත් වැඩෙනවා. මේ විශේෂ ද්විත්වය ගැනම තවමත් අධ්‍යනය කර තිබෙන ප්‍රමාණය ඉතාමත් අල්පයි. ඉතාමත් ගැඹුරු සාගර තුල ජීවත්වන මේ විශේෂයේ මිය ගිය නිදර්ශක තුලින් තමයි අධ්‍යන කටයුතු සිදුවී තිබෙන්නෙ.

යෝධ දැල්ලන් කියන්නෙ තෙල්මන්ද තල්මසුන්ගෙ ආහාර ප්‍රමාණයෙන් 70% පමණ සපයන ගොදුරක්. ගැඹුරු සාගර තුල කිමිදෙන තෙල්මන්ද තල්මසුන් මේ යෝධ දැල්ලන්ව දඩයම් කරනවා. බොහෝ තෙල්මන්ද තල්මසුන්ගෙ ආහාර ජීර්ණ පද්ධතිය තුලින් යෝධ දැල්ලන්ට අයත් කොටස් දකින්න ලැබෙනවා. ඒ වගේම මේ දැල්ලන් තෙල්මන්ද තල්මසුන්ට පහරදීම හේතුවෙන් තෙල්මන්ද තල්මසුන්ගෙ මුඛය අවට සිරීම් ලකුණු දකින්න පුළුවන්. ගැඹුරු සාගර තුල දියත් වෙන මේ යෝධයින්ගෙ සටන් සෑම විටම තෙල්මන්ද තල්මසුන්ගෙ ජයග්‍රහණයකින් අහවර නොවන බවත් ඇතැම් වාර්තාවල සටහන් වෙනවා. නමුත් මේ ගොදුරු රටාව තවමත් මිනිස් ඇසකින් නිසි ආකාරයෙන් අධ්‍යනය වී නැහැ. ගැඹුරු මුහුදු තුලට යැවු නියමුවන් රහිත සබ්මැරීන තුලින් ඉතාමත් අපැහැදිලි ඡායාමාත්‍ර වීඩියො දර්ශන කිහිපයක් දකින්න පුළුවන් තෙල්මන්ද තල්මසුන්ගෙ දැල්ලන් දඩයම පටිගත වුන.

කෙසේ නමුත් මේ යෝධ දැල්ලන් ඉතාමත් අභිරහස් ජීවීන්. සාගර ගැඹුරු තුල ආගාධ අතර මොවුන්ගෙ විශාල ප්‍රමාණයේ නිදර්ශක ජීවත් වෙන බව විශ්වාස කරන්න පුළුවන්. Collosal squid විශේෂ පැතිරීම තියෙන්නෙ දකුණු අර්ධගෝලයේ ඇන්ටාක්ටික් කවය වටා. නවසීලන්තය, දකුණු ඇමරිකාව, දකුණු අප්‍රිකා ආදී මුහුදු සීමා තුලින් මේ සත්වයන්ගෙ නිදර්ශක සහ දර්ශනය වීම් වාර්තා වෙනවා. Giant Squid ලෝකයේ විවිධ ප්‍රදේශ තුලින් වාර්තා වෙනවා. 

මේ යෝධ දැල්ලන් ගැන කතා කරද්දි තවත් එක් සිත්ගන්නාසුළු කාරණයක් තමයි ඇතැම් වාර්තා තුල සඳහන් වෙන මොවුන්ගෙ දඩයම් උපක්‍රම. ජෛව සංද්වීප්තතාව (Bioluminescence) ආධාරයෙන් මොවුන් ගොදුරු ආකර්ශනය කරගන්නා බව සඳහන් වෙනවා. සරලව කිව්වොත් කණාමැදිරියන් වගේ ආලෝකය නිපදවීමේ හැකියාව.

මීලඟ අවස්ථාවේදි මාළු වෙළඳසැලකින් කුඩා දැල්ලන් මිලදී ගන්නා අවස්ථාවක මතක් වෙයි ඔවුන්ගෙ ඤාතීන් වන ගැඹුරු සාගරයේ වෙසෙන යෝධ දැල්ලන්ව. පරිණාමික ක්‍රියාවලිය ඉතාමත් අපූරු ක්‍රියාවලියක්. නොගැඹුරු මුහුදේ කුඩා විශේෂ ජීවත්වන විට ඔවුන්ගෙ ලඟම ඤාතීන් ගැඹුරු මුහුදට අනුවර්තනය වෙලා තිබෙනවා යෝධයන් ලෙස ජීවත් වීමට. ප්‍රමාණය කොතරම් විශාල වුනත් ඔවුන්වත් හඹා යන විලෝපික තෙල්මන්ද තල්මසුන් සිටින්නේ 'There's always a bigger fish' කියමන සනාථ කරමින්. වෙනසකට තිබෙන්නෙ මේ දඩයමේ සිටින තල්මසුන් මත්ස්‍යන් නෙමෙයි, ක්ශිරපායින්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ආනවිලුන්දාවේ අත්භූත පක්ශියා කවුද? (Mystery bird of Anawilundawa)


මේ පහත ඡායාරූප උපුටා ගත්තෙ ලංකාවේ ප්‍රවෘත්ති පලකරන පිටු කිහිපයකින්. පසුගිය අගෝස්තු මාසයේදී මේ ප්‍රවෘත්තිය පලකරලා තිබ්බෙ "ආනවිලුන්දාවට අත්භූත පක්ශියෙක් පැමිණෙයි, ලංකාවේදි මින් පෙර නොදුටු පක්ශියා" වගේ මාතෘකා යටතේ. ඇත්තටම මේ පක්ශියා අත්භූත නැහැ. මේ පක්ශි විශේෂය හඳුන්වන්නේ ෆ්‍රිගෙට් බර්ඩ් (Frigatebird) කියලා. ෆ්‍රෙගටිඩේ නැමැති කුලයට අයත්වන ෆ්‍රිගෙට් බර්ඩ් විශේෂ පහක් ලෝකේ ජීවත් වෙනවා. මේ පහෙන් පහත ඡායාරූප වල ඉන්නෙ 'ක්‍රිස්මස් ෆ්‍රිගෙට් බර්ඩ්' (Christmas frigate bird)  විද්‍යාත්මකව Fregata andrewsi විශේෂය.

ක්‍රිස්මස් ෆ්‍රිගෙට් බර්ඩ් (Christmas frigate bird)

දැන් මෙහිදී පලවුන පුවත් වල තිබ්බෙ වනජීවි නිළධාරීන් පවා සඳහන් කරලා තියෙන්නෙ ලංකාවෙන් මින්පෙර වාර්තා නොවුන පක්ශි විශේෂයක් කියලා. මේ කතාව මෙහෙම්මම වනජීවී නිළධාරීන් කියලා තියෙනවනම් (ලංකාවේ කිසිම පුවත්පතක පලවන තොරතුරු මූලාශ්‍ර කිහිපයකින් තහවුරු කරගන්නා තෙක් අසත්‍ය තොරතුරු ලෙස මම උපකල්පනය කරනවා) ඒක සම්පූර්ණයෙන් වැරදි කතාවක්. ක්‍රිස්මස් ⁣ෆ්‍රිගේට්ස්ලා ⁣ලංකාවෙන් ඕන තරම් වාර්තා වෙනවා. ලංකාවේ පක්ශී අධ්‍යනය කරන්නන්ගෙන් ඇහුවොත් මේ පිළිබඳව සාක්ශි වාර්තා සටහන් ලබා ගන්න පුළුවන්.



මේ පින්තූරේ ඉන්න ෆ්‍රිගෙට් නොමේරූ පක්ශියෙක්. සාමාන්‍යයෙන් මේ පක්ශි විශේෂයේ ද්වීලිංගිකත්වය (පිරිමි ගැහැණු වෙනස) අධ්‍යනයෙන් සොයා ගැනීමට පුළුවන් වෙන්නෙ වසර තුනක් පමණ වැඩුණු පසු. එතකම් කුමන ලිංගයට අයත්ද කියන්න ටිකක් අපහසුයි. සම්පූර්ණයෙන් වැඩුණු පසු පිරිමි සත්වයා කළු පැහැයෙනුත් රතු පැහැති ගෙල පවතින වායව මල්ලත් (gular sac) සමඟ දකින්න පුළුවන්. ගැහැණු සත්වයා සුදු සහ කළු වර්ණයෙන් තමයි දකින්න පුළුවන් වෙන්නෙ.

වැඩුනු ගැහැණු සහ පිරිමි සත්වයෙකුගෙ ඡායාරූපයක්

ෆ්‍රිගෙට්ස්ලා කියන්නෙ පක්ශින් අතරින් ඉතාමත් ශූර පියාසරන්නන්. ෆ්‍රිගේට්ස්ලා පියාසරන විටදි ඔවුන්ටම ආවේණික හැඩයක් පවතිනවා. gliding, soaring, manoeuvring, hovering ආදී පියාසැරි උපක්‍රම සියල්ලේම ඉතාමත් දැකුම්කළු ලෙස හැසිරීමට ⁣ෆ්‍රිගෙට්ස්ලට හැකියාව තියෙනවා. සම්පූර්ණයෙන් වැඩුණු ක්‍රිස්මස් ෆ්‍රිගේට් කෙනෙකුගෙ පියාපත් දෙකෙලවර අතර දුර( wingspan) අඩි 7 ඉක්මවනවා. 

ක්‍රිස්මස් ෆ්‍රිගේට්ලට නම ලැබෙන්නෙ ඔවුන් ඉන්දියානු සාගරයේ ඈතින් පිහටන ක්‍රිස්මස් දූපත් වාසීන් නිසා. IUCN වර්ගීකරණය යටතේ අතිශය අන්තරායකාරී (Critically endanhgred) තත්වයට නම් කර තිබෙන ෆ්‍රිගේට්ස්ලා ඉක්මනින්ම වඳව යන්න පුළුවන් විශේෂයක්.



අත්භූත පක්ශියාගෙ තොරතුරු තමයි මේ. ක්‍රිස්මස් දූපත්වාසීන් ලංකාවට එනවා. ඉතින් ඔවුන්ව අපිට දැකගන්න දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මෙහෙම අමුතු පක්ශියෙක් දැක්ක ගමන් අල්ලන්න යන්න එපා දරුණුම තුවාල නැත්තන්. ඔවුන් මෙරටට ලඟාවන්නෙ දීර්ඝ පියාසැරියකින් පසුව. මේ පියැසැරිය නිමා කරන විට ඉතාමත් දුර්වල තත්වයෙන් ඔවුන් හිටියත් ඉක්මනින්ම නැවත යථා තත්වයට පත්වෙන්න ස්වාභාවික හැකියාව තියෙනවා. ඇල්ලුවම වෙන්නෙ stress response එකක් ඇතිවෙලා මරණයට පත්වෙන්න පවා හැකිවීම.  (මේ අවස්ථාවේ ඇල්ලුවේ සාධාරණ හේතුවකටද නැද්ද කියන්න මම දන්නෙ නෑ, සමහරවිට පක්ශියා තුවාල වෙලා ඉන්න ඇති.


(වැඩුනු ගැහැණු සහ පිරිමි සත්වයෙකුගෙ ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද අතර ඉතිරි ඡායාරූප උපුටා ගැනීම ප්‍රවෘත්ති මූලාශ්‍ර වලින්)



#DOE




Thursday, November 7, 2019

යෝධ පෙන්ග්වින් (Giant Penguin)


ඔබට මතක ඇති දින කිහිපයකට පෙර 'හෙරක්ලීස් ඉන්එක්ස්පෙක්ටාටුස්' නමැති වඳව ගිය යෝධ භෞමිකවාසී ගිරවුන් විශේෂයක් නවසීලන්තය තුලින් වාර්තා වුනා. 14/08/2019 දින තවත් වඳව ගිය යෝධ පක්ශි විශේෂයක් නිරාවරණය කරනවා නවසීලන්තයෙන්. ඒ තමයි මිනිසකු තරම් විශාලව වැඩුනු වඳව ගිය යෝධ පෙන්ග්වින් විශේෂයක්.

යෝධ පෙන්ග්වින් ප්‍රතිනිර්මාණයක ප්‍රමාණාත්මක සංසන්දනය 

අදින් වසර මිලියන 66 - 56 ත් අතර පැලියෝසීන යුගය තුල ජීවත් වුන මේ පෙන්ග්වින් විශේෂය අඩි 5 අඟල් 3 පමණ උසකිනුත්, 80 kg පමණ බරකිනුත් යුක්ත බව තමයි සඳහන් වෙන්නෙ.වසර මිලියන 66- 56 අතර කාලය රාමුව කියන්නෙ ක්‍රිටැසියස් නශ්ඨවීමෙන් පසු ඩයිනෝසර විශේෂ මිහිමතින් වඳව ගොස් නව පාරිසරික නිකේතන තුල රික්තයන් හටගත් අවධිය. යෝධයන් විසු පෘථෘවිය මත ඇතිවන හිස්තැන් පිරවීමට විවිධ සත්ව කාණ්ඩ යෝධ ප්‍රමාණයන්ට වැඩීම සිදුවුන යුගයක් මේ යුගය.. එලෙස ඇතිවු පාරිසරික නිකේතන තුලට ඉක්මනින්ම අනුවර්තනය වු සත්ව කාණ්ඩයක් ලෙස මේ පෙන්ග්වින් විශේෂ හඳුන්වන්න පුළුවන්. මේ කාලයේදි වර්තමාන නවසීලන්තය ඔස්ට්‍රේලියානු මහද්වීපයට සම්බන්දවී, ඔස්ට්‍රේලියානු මහද්වීපයත් සමඟම ඇන්ටාර්ක්ටික් මහද්වීපයට සම්බන්දව තිබු යුගයක්. එබැවින් පෙන්ග්වින් විශේෂ සඳහා ප්‍රශ්ස්ථ පාරිසරික තත්වයන් ප්‍රමුඛව පැවති අවධියක් විදිහට හඳුනාගන්න පුළුවන්.

මේ නම් කර ඇති නව විශේෂය හඳුන්වන්නෙ 'ක්‍රොසවෙලියා වයිපරෙන්සිස්' ලෙස. මීට කලකය ඉහත ඇන්ටාර්ක්ටික් ප්‍රදේශය තුලින් හඳුනාගත් වඳව ගිය යෝධ පෙන්ග්වින් විශේෂයක් වන ක්‍රොසවෙලියා යුනියෙන්වීලියා විශේෂයට සමීප පරිණාමික සබඳකමක් තිබු විශේෂයක් ලෙස නව වයිපරෙන්සිස් විශේෂය හඳුනාගෙන තිබෙනවා.

යෝධ පෙන්ග්විනයන් වඳවීම සම්බන්දව ඉදිරිපත්ව තිබෙන මතයත් ඉතාමත් සිත්ගන්නාසුළුයි. ක්‍රිටැසියස් අවධිය තුල සාගර තුල අණසක පැතිරවූ උරග කාණ්ඩයන් (ඉක්තියෝසෝර්, මොසැසෝරයන්, ප්ලෙසියොසෝරියාවන්) ක්‍රිටැසියස් නශ්ඨවීමත් සමඟම අවසන් වන නිසා එළඹෙන යුග තුල තරඟකාරීත්වයක් නොමැතිව සාගර පාරිසරික නිකේතන ජයගත් පෙන්ග්වින් සතුන්ට වැඩි කලක් යෑමට මත්තෙන් අභියෝග කරන්නෙ නව පරිණාමික මංපෙත් ඔස්සේ සාගරය ජය ගන්න ක්ශිරපායින්. නව තල්මසුන් විශේෂ දකුණු අර්ධගෝලයේ ඉහල අක්ෂාංශ කරා ක්‍රමයෙන් ඇදෙද්දි නැවතත් පාරිසරික නිකේතන තුල ආධිපත්‍ය සඳහා ජීවී විශේෂ ගැටීම සිදුවෙනවා. ඉන් තීරණාත්මක ජයග්‍රහණ ලබන්නේ ක්ශිරපායින්. එනයින් පරිණාමික කතාව තුප යෝධ පෙන්ග්වින් විශේෂවල පරිඡ්ඡේදය හමාර වෙනවා. නැවතත් පෘථෘවිය තුල වයිපරෙන්සිස් වැනි යෝධ පෙන්ග්වින් විශේෂ දක්නට ලැබෙන්නේ නෑ. (වර්තමානයේදි සිටින විශාලම විශේෂය මීටර් 1.2 පමණ වැඩෙන එම්පරර් පෙන්ග්වින්). ෆොසිල වාර්තාව තුල යෝධ පෙන්ග්විනයන්ගෙ අවසානයත්, මුහුදු ක්ශිරපායින්ගෙ ආගමනයත් එකම කාලයකදි සිදුවන්නෙ.


(Image - via BBC)



#DOE




Wednesday, November 6, 2019

මඩු සැකිල්ල (Cartilagenous skeleton of Skate)




මේ තියෙන්නෙ මඩුවෙකුගෙ සැකිලි පද්ධතිය. මඩුවන් කියන්නෙ කාටිලේජමය මත්ස්‍යයන්. ඔවුන්ට අනෙක් මත්ස්‍යන්ට තිබෙනවා වගේ අස්ථිමය සැකිලි පද්ධතියක් නෙමෙයි පිහිටන්නේ. ඒ වෙනුවට කාටිලේජමය පද්ධතියක් තමයි මඩුවන්ට පිහටන්නෙ. කාටිලේජ් කියන්නෙ ඔබේ කන් පෙත්ත, නාසය ආදි අවයව සෑදී තිබෙන ද්‍රව්‍ය. මඩුවෙක් මරණයට පත්වුනාම මේ හේතුන් නිසා ඔබට අස්ථිමය සැකිල්ලක අවශේෂ බලාගන්නට හැකියාවක් නෑ. ඒ කාටිලේජ් ඉතා ඉක්මනින්ම පරිසරයේදි වියෝජනය වීම. නමුත් මේ තියෙන්නෙ සංරක්ෂණයට ලක් කරපු කාටිලේජමය සැකිල්ලක්.

මේ මඩු සැකිල්ලෙ වල්ගය මැදට වෙන්නට කටුවක් වැනි කොටසක් ඔබට දකින්න පුළුවන්. මේ කටුව තමයි විෂ රැඳි තිබෙන කොටස. මෙයින් පහර කෑමට ලක්වුනොත් මරණය පවා ඇතිවිය හැකි අවස්ථා තිබෙනවා. Crocodile hunters වැනි ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ඉදරිපත් කල ස්ටීව් අර්වින් මරණයට පත්වන්නෙ ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය තුලදි මඩු ප්‍රහාරයකට ලක්වීමෙන්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ඉත්තෑවුන් (Porcupines)


ක්‍රිකට් මැචස් තියන දවසට අපට අනිවාර්යයෙන් මතක්වෙන සතෙක් හින්දා අද ඉත්තෑවා ගැන ලියන්න හිතුනා.....

ඉත්තෑවො ගැන කාරණා ගොඩක් තියෙනවා , නමුත් ඊට කලින් තියෙන පැටලැවිල්ලක් ලිහලා ඉන්න ඕන. ලංකාවේ ඔය බොහෝ දෙනා ඉත්තෑවා කියලා සයිබරයේ හුවමාරු කරගන්න ඡායාරූපය ඇත්තටම ඉත්තෑවෙක් නෙමෙයි. බොහෝ අය එලෙස ඉත්තෑවෙක් වෙනුවට පටලවාගන්න සත්වයාට කියන්නෙ හෙජ්හොග්. ඉත්තෑවා සහ හෙජ්හොග් අතර සමීප ඤාතීත්වයක් නැහැ. ඉත්තෑවුන් අයත් වන්නෙ Rodentia (රොඩෙන්ටියා / රොඩෙන්ශියා) ගෝත්‍රයට. නමුත් හෙජ්හොග්ලා අයත් වන්නෙ යුලිපොටිප්ලා ගෝත්‍රයට. හෙජ්හොග්ලාටත් ආරක්ෂක උපක්‍රමයක් ලෙස කටු පිහිටන්නේ සමාන්තර පරිණාමික ක්‍රියාවක් ලෙස (සමාන්තර පරිණාමය මීට කලින් කතා කරලා තියෙනවා). ඒ අනුව ගත්තම හෙජ්හොග් නැමැති සත්වයන්ට සිංහලෙන් නමක් නැහැ. ඒ නිසා හෙජ්හොග් කියන නමම භාවිතා කරන එක වඩාත් සුදුසුයි.

හෙජ්හොග්

ඉත්තෑවාන් අයත් වන රොඩෙන්ටියා ගෝත්‍රය හඳුන්වන්නේ කෘන්තකයන් ලෙස. මීයන්, ලේනුන් ආදිය අයත් ගෝත්‍රය තමයි රොඩෙන්ටියා. මේ ගෝත්‍රයේ විශේෂ ලක්ෂණය තමයි අඛණ්ඩව වැඩෙන කෘන්තක දත් පිහිටීම. ඒවා නිරන්තරයෙන්ම භාවිතා නොකලොත් කෘන්තකයන් අමාරුවෙ වැටෙනවා. හැම තිස්සෙම දේවල් හපන්න පෙළඹෙන හේතුව තමයි මේ දත්.

ඉත්තෑවො විශේෂ ගනනාවක් ලෝකෙ විවිධ ප්‍රදේශවල ජීවත් වෙනවා. මේ විශේෂ කාණ්ඩ දෙකකට බෙදනවා. New world porcupines and old world porcupines ලෙස. ඒ කියන්නෙ පැරණි ලෝකයේ ඉත්තෑවුන් සහ නව ලොව ඉත්තෑවුන්. පැරණි ලෝකය කියලා හඳුන්වන්නෙ ආසියාව අප්‍රිකාව යුරෝපය ඇතුලත් කලාපය. නව ලෝකය කියලා හඳුන්වන්නෙ උතුරු සහ දකුණු ඇමරිකානු කලාප. අපේ රටේ ජීවත්වන Hystrix indica විශේෂයත් මේ පැරණි ලෝකයට අයත් ඉත්තෑවෙක්. මේ පැරණි ලෝක් විශේෂ භෞමික වාසි විශේෂ. පොළව මත කෑම සොයා යන එක තමයි ඔවුන් කරන්නෙ. නව ලොව ඉත්තෑවුන්ගෙ ලක්ෂණ තමයි ඔවුන් රුක්වාසී විශේෂ. ඔවුන්ට හොඳ ගස් නගින්නන්.

පැරණි ලොකයේ ඉත්තෑවුන් (ලංකාවෙ ඉන්න අයත් මේ වගේ)

ඉත්තෑවන් කූරු විදිනවා කියන කතාව අහලා නැති කෙනෙක් නෑ මන් හිතන්නෙ. නමුත් මේ කතාව බොරුවක්. ඉත්තෑවන්ට කූරු විදීමේ හැකියාවක් නැහැ. ඉත්තෑවන්ගෙ කූරු ඉක්මනින්ම ගැලවෙනවා. සතුරෙක් ලංවු විට කුරු වලට වැදුන ගමන් මේ කූරු ගැලවිලා සතුරාගෙ ඇඟේ තැන්පත් වෙනවා. මේ නිසා තමයි ඉත්තෑවන් කූරු විදිනවා කියන කතාව හැදෙන්නෙ.

ඉත්තෑ කූරු ඉතාමත් කාර්යක්ෂම ලෙස සතුරන්ගෙ ඇඟේ ඇනුනට ඒවා ගලවන්න අමාරුයි. බිලි කොකුවල තියෙන බාර්බ් එක වගේ බාර්බ්ස් පිහිටන නිසා නැවත අදිද්දි ඇතුලට ගියාට වඩා තුවාලයක් සහ වේදනාවක් ඇතිවෙනවා. ඉත්තෑ කූරු කියන්නෙ ඇත්තටම කූරු බවට විකරණය වු ලොම්. අතීතයේ එක් කාලයකදි ඉත්තෑ පූර්වජයනට තිබුනෙ කූරු නෙමෙයි සාමාන්‍යය ක්ශිරපායින්ට පිහිටන ලොම්. නමුත් ආරක්ෂාව සඳහා කාලයත් එක්ක මේ සත්වයින්ට කූරු ලැබිලා තියෙනවා.

විවිධ ඉත්තෑ කටු අග පිහිටන බාර්බ්ස් ආකාර

කූරු එක්ක ගනුදෙනු කරද්දි නව ලොව ඉත්තෑවුන්ට අමුතු ගැටලුවක් පැන නගිනවා. ඒ තමයි රුක්වාසී විශේෂ ලෙස පරිණාමය වුනාට වැරදිලාවත් බිමට වැටුනොත් තමන්ගෙ කූරු තමන්ටම ඇනිලා තුවාල වීමේ, මරණයට පත්වීමේ හැකියාව. ඒ සඳහා විකල්පයක් ඔවුන්ට ලැබෙන්නෙ දිගට වැඩෙන පරිග්‍රාහී වල්ගයක් (prehensile tail). පරිග්‍රාහී වල්ගයක් කියන්නෙ තවත් අතක් වගේ. වල්ගයෙන් පුළුවන් අතු රිකිලි ඉතාමත් තදින් අල්ල ගන්න. අත් පා සතර භාවිතා කරද්දි අමතර ආරක්ෂාවට ඔවුන් වල්ගයත් භාවිතා කරනවා. 

පරිග්‍රාහී වල්ගය සහිත විශේෂයක්

මේකෙ ඉතාමත් සිත්ගන්නාසුළු කාරණය තමයි නව ලොව ඉත්තෑ විශේෂ 16 ක් අතරින් 15 කට තිබෙනවා පරිග්‍රාහී වල්ගයන්. නමුත් එක් විශේෂයකට පරිග්‍රාහී වල්ගයක් පිහිටන්නේ නැහැ. පරිණාමයේ අවුලක්ද එතකොට ? මේ විශේෂය තමයි Erethizon dorsatum විශේෂය. දැන් මේ විශේෂය වැරදිලාවත් බිම වැටුනොත් කටු ඇනිලා තුවාල වෙන්න පුළුවන් නෙ ? විකල්පය තමයි මේ විශේෂය පරිණාමය වෙලා තිබෙනවා කටු තුල ප්‍රතීජීවක ඖෂධයක් සමඟ. වැටිලා ඇනුනට ගැටලුවක් නෑ එහිම ඖෂධ තිබෙන නිසා.

ප්‍රතිජීවක සහිත ඉත්තෑවා

ආයෙත් ආවොත් ලංකාවේ සහ ඉන්දියාවේ ජීවත්වන විශේෂ වලට , මේ ඉත්තෑ විශේෂය තමයි ඉන්දියාව තුල මිනීකන ව්‍යාඝ්‍රයන්, කොටින් ආදිය බිහි කිරීමට වැඩිම දායකත්වය සපයන්නෙ. අත්දැකීම් නැති ව්‍යාඝ්‍රයන් සහ කොටින් ඉත්තෑවන් දඩයම් කිරීමට ගොස් අත්පා වල ඉත්තෑ කටු අමුනා ගෙන තුවාල පැසවු විට මේ සත්වයන්ට හුරුපුරුදු වන දඩයම් කිරීමට නොහැකි වෙනවා. විකල්පය වන්නෙ පහසු දඩයම් සෙවීම. පහසුම දඩයම තමයි මිනිසුන්. කෝබර්ට්, කෙනත් ඇන්ඩර්සන් ආදීන්ගෙ දඩයම් වල පසු විපරමේදි මිනී කන්නන්ගෙ සිරුරු තුල තිබු ඉත්තෑ කටු දැකගත හැකි වුන අවස්ථා ඒමට.

ඉත්තෑවා කවුද, හෙජ්හොග් කවුද , පරිණාමික ක්‍රියාවලිය ඉත්තෑවන්ට බලපෑ ආකාර වගේ ඉතාමත් සුළු ප්‍රශ්න කිහිපයකට ඔබට පිලිතුරු ලැබෙන්නට ඇති කියලා හිතනවා.  දැන් මොකද හිතන්නෙ ඉත්තෑවො ගැන ?


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




සයිගොලොෆොඩොන් (Zygolophodon)


අගෝස්තු 12 වන දිනය පාරිසරික දින දර්ශකය තුල වෙන් කරලා තියෙන්නෙ අලින් වෙනුවෙන්. ජාත්‍යන්තර හස්ථි දිනය. විවිධ ප්‍රාග්ඓතිහාසික යුග තුල ජීවත් වුන මේ අපූරු සත්ව කොට්ඨාසයට අයත් හස්ථි විශේෂ ගනනාවක් ගැනම පරිණාමික දිනපොත තුල පරිච්ඡේද වෙන් කරලා තියෙනවා. අද දිනයෙත් ඔවුන්ගෙ එක් විශේෂයක් ගැන කෙටි සටහනක් ඔබ වෙනුවෙන්.

අදින් වසර මිලියන 17 කට පමණ පෙර මයෝසීන යුගය තුල අප්‍රිකාව,ආසියාව, උතුරු ඇමරිකාව සහ යුරෝපය යන මහද්වීප සියල්ල තුලම පැතිරී සිටි සයිගොලොෆොඩොන් ගනය එතෙක් මෙතෙක් ජීවත් වු භෞමික වාසී ක්ශිරපායින් අතර විශාලතමයෙක්. උසින් මීටර හතරක් පමණ සහ බරින් ටොන් 15 ක් පමණ විශාල මේ හස්ථීන් ඉතාමත් දිගු දල යුගල වලට හිමිකම් කියුවන්. මේ ගනය තුල විශේෂ ගනනාවක් හඳුනාගෙන තිබෙනවා.

Zygolophodon gobiensis
Zygolophodon lufengensis
Zygolophodon chinjiensis
Zygolophodon borsoni

ඒ අතරින් විශේෂ කිහිපයක්.

සයිගොලොෆොඩොන් ප්‍රමාණාත්මක සංසන්දනයක් 

සයිගොලොෆොඩොන් දල යුගලක ෆොසිලයක්

සයිගොලොෆොඩොන් අයත් වන්නෙ මැමුටිඩේ කියන කුලයට. මැමුටිඩේ කුලය ගැනත් යමක් මේ එක්කම සඳහන් කරන්න ඕන. මැමුටිඩේ කියන නම හැදෙන්නෙ මැමත් කියන නමෙන්. නමුත් ඇත්තටම ෆොසිල විද්‍යාවේ මුල් කාලයේදි මැමත් කියලා හඳුනාගන්නෙ අපි කවුරුත් දන්න වූලී මැමත් නෙමෙයි මැස්ටඩොන් හස්ථින්ව. සිත්ගන්නාසුළු කාරණය තමයි වූලී මැමත්ලා ඇත්තටම අයත් වන්නෙ මැමුටිඩේ කුලයට නෙමෙයි. ඔවුන් අයත් වන්නෙ වර්තමානයේදි ජීවත්වන හස්ථි විශේෂ ත්‍රිත්වය (L.cyclotis, L.africana සහ E.maximus ) අයත්වන එලිෆන්ටිඩේ කුලයට.

සයිගොලොෆොඩොන් ගනය ප්ලයෝසීන යුගය අවසානයේදි මිහිමතින් නශ්ඨව යනවා. මේ කාලය තුල පෘථෘවිය විශාල දේශගුණික විපර්යාස වලට බඳුන් වෙමින් ශීතල දේශගුණයකට අපගමනය වෙද්දි වන වැස්ම වෙනස් වීම ඇරඹෙනවා. වන වැස්මේ වෙනස කියන්නෙ මේ යෝධ සතුන් පුරුදුව සිටි ආහාර වෙනස් වීම. ඒත් එක්කම මේ කාලයේදි තමයි අප්‍රිකානු මහද්වීපයෙන් එලිෆන්ටිඩේ කුලය විකරණය වීම ඇරඹෙන්නෙ. එළඹෙන නව පරිඡ්ඡේදය සයිගොලොෆොඩොන් වැනි හස්ථි විශේෂ වලට එතරම් සුබදායි වන්නෙ නෑ. වන වැස්මේ වෙනසත් සමඟ අවම වන ආහාර හා නව තරඟකරුවන් පැමිණීම නිසා. මේ නව තරඟකරුවන අලුත් දේශගුණික රටාවන් වලට හුරුවු විශේෂ. ඔවුන් නව වන වැස්ම තමන්ගෙ ප්‍රයෝජනයට ගන්නවා. ඒත් සමඟම පරිණාමිය නැමැති දීර්ඝ කතාන්දරයේ සයිගොලොෆොඩොන් පරිඡ්ඡේදය අවසන් වෙනවා.

සයිගොලොෆොඩොන්ලා නොමැති වුනාට වර්තමානයේදි ඔවුන්ගෙ ඤාතීන් අපත් සමඟ ජීවත් වෙනවා. මේ කතාව ඇත්තටම බරක් සහිත කතාවක් වුනාට කොපමණ දුරකට මේ ගැන ශ්‍රී ලාංකියන් විදිහට අවබෝධය පවතිනවාද කියන එක සැකයක්. පරිණාමික දිනපොත පර්සනල් බ්ලොග් එකක් විදිහට කරගෙන යන නිසා මේ ලිපි වලට මගේ අත්දැකීම්, පෞද්ගලික මතයන් මම විටින් විට එකතු කරනවා. පාරිසරික ක්‍රියාකාරීත්වය සඳහා මගේ කාලයෙන් වැඩි කොටසක් වැය කරලා තියෙන්නෙ , ලියලා තියෙන්නෙ ලංකාවේ හස්ථීන් වෙනුවෙන්. මේ වටිනා සතුන් අප වැනි කුඩා දූපතකට ලැබී තිබීම වාසනාවක් නමුත් අදූරදර්ශි දේශපාලනය, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ තිබෙන දුර්වලතා සහ සාමාන්‍ය ජනතාව ලෙස මේ ගැටලු කෙරෙහි දක්වන උදාසීන ආකල්ප වැනි හේතු ගනනාවක් නිසා පෙර පැවසු වාසනාව ඉතාමත් අවාසනාවක් බවට පරිවර්තනය කරගෙන තිබෙනවා. ගහනයක පැවැත්ම රඳා පවතින්න උපත් හා මරණ අනුපාතියක අතර තුලිතතාව ඉතාමත් වැදගත්. නමුත් දැන් ලංකාව තුල පවතින මේ හස්ථි උපත් මරණ අනුපාතිකය අනුව ගනන් බැලුවාම 2050 පමණ වන විටදි මේ සත්වයන් වඳව යෑම අවදානම ඉතාමත් අදිකයි. ප්‍රාග්ඓතිහාසික යුග තුල ජීවත් වු සතුන් ගැන කතා කරන විට, ඒ සත්ව විශේෂ වල ප්‍රතිනිර්මාණ ඉදිරිපත් කරන විට අප මනසේ නිරායාසයෙන්ම ඇතිවන්නෙ විශ්මයක්. ඒත් සමඟ මේ සතුන් ඇත්තටම කොයි වගේ වෙන්නට ඇත්ද ? ජීවත්ව සිටියදි මොන වගේ හැසිරීම් පෙන්නන්න ඇතිද ? වැනි ගැටලු රාශියක් ඔබට මතුවෙනවා ඇති. උදාවන සියවස අගභාගයේදි ඔබ අද දකින මේ අපූරු සත්වයින් මතු පරම්පරාවන්ට දකින්න ලැබෙන්නෙ ප්‍රතිනිර්මාණ සහ වීඩියෝ දර්ශන තුලින් පමණයි. 

මේ ගැටලු ගැන අධ්‍යනය කිරීම, දක්වන සැලකිල්ලට වඩා දශමයක හෝ උනන්දුවකින් තොරතුරු සොයා බලා දැනුවත් වීම, අවශ්‍ය විටදි හඬ නැගීම තුලින් යම් ආකාරයකට පෙරකී ප්‍රතිඵල වෙනස් කිරීමට ඔබට පුළුවන්. Elephas maximus maximus නැමැති උප විශේෂයේ අනාගතය තියෙන්නෙ අප ඉදිරි දස වසර තුල ගන්නා ක්‍රියාමාර්ග අනුව. Elephas maximus නැමැති විශේෂ නාමය සියළු ආසියානු අලින්ට ලැබුනට 1758 වර්ශයේදි ද්වීපද නාමකරණයේ පියා ලෙස හඳුන්වන කාර්ල් ලිනේයස් Elphas maximus නාමය මුලින්ම ලබා දෙන්නෙ ලංකාවේ නිදර්ශකයකට. ඒ නිසා තමයි E.m.indicus, E.m. borneensis, E.m sumatranus ආදී උප විශේෂ අතර Elephas maximux maximus යන ද්විත්ව maximus නාමය මේ රටේ ජීවත්වන විශේෂ වලට ලැබෙන්නෙ.

අලි ගැන දින ගනනාවක් කතා කරන්න දේවල් තියෙනවා නමුත් අනවශ්‍ය ලෙස මේ සටහන තවත් දීර්ඝ කල යුතු නැති නිසා අවසන් කරනවා. ඉතින් සයිගොලොෆොඩොන් වගේම අපේ රටේ ජීවත්වන මේ අපූරු, ඉතාමත් බුද්ධිමත් ජීවීන් ගැනත් කියවන්න. දැනුවත් කරන්න, දැනුවත් වෙන්න. 


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

ස්නැපර් සහ ශිශිරතරණය (Snapping turtle and Brumation)




ඡායාරූපයේ සිටින්නෙ ස්නැපින් ටර්ට්ල් විශේෂයකට අයත් කැස්බෑවෙක්. මේ ඡායාරූපය අන්තර්ජාලය පුරාම සංසරණය වෙනවා snapping turtle after hibernation කියන කැප්ශන් එකත් එක්ක. ඒ නිසා පොඩි පැහැදිලි කිරීමක් කල යුතුයි කියලා හිතුනා. Hibernation කියන වචනෙට සිංහල වචනයක් ලෙස දීලා තියෙන්නෙ ශීශිරතරණය/ ශිශිර නිද්‍රාව, වචනාර්ථයෙන් ගත්තම සිසිරය තරණය කිරීම. නමුත් ඇත්තටම hibernation කියන ඉංග්‍රීසී වචනය ඊට වඩා නිශ්චිත අර්ථයක් තියෙන වචනයක්. අචලතාපීන්ගෙ ශිශිරතරණයට තමයි hibernation කියන වචනය යෙදෙන්නෙ. චලතාපීන් hibernation වල යෙදෙන්නෙ නෑ. ඒ වෙනුවට චලතාපීන් ශිශිරතරණය වෙනත් විදිහකින් සිදු කරනවා. ඒකට කියන්නෙ Brumation. එනයින් Brumation = චලතාපීන්ගේ ශිශිරතරණය. Hibernation සහ Brumation අතර පැහැදිලි වෙනස්කම් තිබෙනවා.උදාහරණයකට brumate කරන චලතාපියෙක් ශිශිරයේ සාපේක්ෂව උණුසුම් දිනවලදි ගමන් කරන්න පුළුවන් ආහාර ජලය සොයාගෙන. ඒ නිසා ස්නැපර්ගෙ පින්තූරේ හයිබර්නේශන් කතාව ටෙක්නිකලි වැරදි.

ස්නැපර්ස්ලා ඇතුලු කැස්බෑවන්, ඉබි විශේෂවල මේ ශීශිරතරණයෙන් පසු භූමිය මතුපිටට පැමිණීමේදි කටුව මත එක් රැස්ව තිබෙන පාංශු ස්ථර ඇමරිකානු ස්වදේශිකයන්ගෙ ජනප්‍රවාද වලට පදනම වන්නට ඇති බව සලකනවා. ස්වදේශීක ඉන්දියානුවන් විශ්වාස කරන්නෙ පෘථිවිය පවතින්නේ කැස්බෑවෙකුගෙ පිට මත යන්න. ඉරක්වායි, ඔජිබ්වේ වගේ ස්වදේශික ඉන්දියානු කතාවල මේ හරය පවතිනවා. ඇමරිකා එක්සත් ජනපද නාමය එන්න කලින් උතුරු ඇමරිකානු කලාපය ඇතැම් ස්වදේශීක සංස්කෘතීන් විසින් හඳුන්වනු ලැබුවෙ කැස්බෑ දූපත ලෙස (Turtle island) එයට හේතු වන්නෙ පෙර කී ජනප්‍රවාදය.

ස්වදේශික ඉන්දියානුවන්ට අමතරව ලෝකයේ තවත් සංස්කෘතීන් තුල මේ ජනප්‍රවාදය පවතිනවා.වෛදික සාහිත්‍ය තුල විශ්ණුගෙ එක් අවතාරයක් තමයි කුර්මා අවතාරය. කුර්මා කියන්නෙ කැස්බෑවෙක්. හින්දු විශ්වාසයනට අනුව කැස්බෑවෙකුගෙ පිටමත සිටින ඇතුන් සතර දෙනෙකු තමයි පෘථෘවිය දරා සිටින්නෙ. මේ වගේ ලෝකය පුරාම විවිධ සංස්කෘතීන් තුල පෘථෘවියේ පිහිටීම හා කැස්බෑවා සම්බන්ධ වීම සිදුවෙනවා. (21 වන සියවසේදි මේ ජනප්‍රවාද හුදෙක් ජනප්‍රවාද ලෙස සැලකීමට තරම් මේ අති බහුතර ජනයා ඉදිරිගාමී , ලංකාවේ වගේ නෙමෙයි)

මේ විවිධ සංස්කෘතීන්ගෙ ජනප්‍රවාද වලට අමතරව ඇස්පිඩෝකීලොන් කියන නැවියන්ගෙ ජනප්‍රවාදය බිහි වෙන්නත් මෙය මුලීක වන්නට ඇති බවට සිතන්න පුළුවන්. ඇස්පිඩෝකීලොන් කියන්නෙ ගැඹුරු සාගරයේ ජීවත් වන යෝධ කැස්බෑවෙක් (ඇතැම්විට තල්මසෙක්/මත්ස්‍යයෙක්). මේ සත්වයා මුහුදු මතුපිටට පැමිණ පිටමත තිබෙන පස් දූපතක් ආකාරයට දිස්වන සේ රැඳී සිටිනවා. දූපතක් කියා රැවටෙන නැවියන් ඇස්පිඩෝකීලොන්ගෙ පිටමතට පැමිණි පසු නැවත ගැඹුර මුහුදු කරා ඇස්පර්ඩෝකීලොන් කිමිදෙන්නෙ නැවියන් විනාශයට ඇද දමමින්. සින්බෑඩ්ගෙ පලමු කතාව තුල ඇස්පිඩෝකීලොනයෙක් සිටිනවා.

තමන් ජීවත්වන පරිසරය තුල දැකගන්න පුළුවන් වනසත්ව සන්තතිය මඟින් විවිධ පුරාවෘත්ත බිහි කිරීම ලොව පුරාම සංස්කෘතීන් තුල දැකගන්න පුළුවන්. ඇතැම් පුරාවෘත්තයන්ගෙ මූලය සොයා යන්න පුළුවන් වනජීවී හැසිරීම් නිරීක්ෂණය තුල. ස්නැපර්ගෙ ශිශිරතරණයත් එහෙම සංසිද්ධියක්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Monday, November 4, 2019

වයස්ගතම පෘශ්ඨවංශිකයා (The oldest vertebrate)



ග්‍රීන්ලන්ත මෝරුන් කියන්නෙ උතුරු අර්ධගෝලයේ ඉහලම අක්ෂාංශ වලට වන්නට ආර්ක්ටික් කලාප තුල ජීවත්වන මෝරුන් විශේෂයක්. වර්තමානයේදී ජීවත්වන මෝරුන් විශේෂ අතරින් විශාලතම මෝර විශේෂයක් වන ග්‍රීන්ලන්ත මෝරුන් අඩි 21 පමණ ප්‍රමාණ වලින් නිදර්ශක ලැබී තිබුනත් විද්‍යාඥයන් විශ්වාස කරනවා ඔවුන් ඊට වඩා ප්‍රමාණයකට වැඩෙන බව. මේ මෝරුන් ඉතාමත් අධික ශිතල සාගර කලාප තුල ගැඹුරු මුහුදේ ජීවත්වන නිසා අධ්‍යනය කිරීම ඉතාමත් අපහසු විශේෂයක්. 

ග්‍රීන්ලන්ත මෝරුන්න්ගෙ තිබෙන සුවිශේෂීම ලක්ෂණය තමයි ඔවුන්ගෙ ආයු කාලය. එය වසර 300 අභිබවා යන්නක් බවයි විද්‍යඥයන්ගෙ මතය. සාමාන්‍යයෙන් මෝරුන්ගෙ ආයු කාලය මනින්න බාවිතා කරන්නෙ ඔවුන් මිය ගියාට පසු ඉතිරිවන කැල්සිභවනය වන කශේරුකා ආධාරයෙන්. නමුත් ග්‍රීන්ලන්ත මෝරුන්ගෙ කශේරුකා එසේ කැල්සිභවනය නොවී හායනය වන නිසා ඔවුන්ගෙ ආයු කාලය මනින්න යොදාගන්නෙ වෙනත් ක්‍රමයක්. මේ සඳහා භාවිතා කරන ක්‍රමවේදය වන්නෙ ග්‍රීන්ලන්ත මෝරුන්ගෙ අක්ශි කාචයේ පටක අවශෝෂණය කරගත් කාබන් සමස්ථානික රේඩියෝකාබන් කාළනීර්ණයකට යොමු කිරීම. මේ පර්යේෂණය සඳහා ග්‍රීන්ලන්ත මෝරුන් 28 දෙනෙකුගෙ පටක ලබාගෙන තිබෙනවා. පර්යේෂණයේ ප්‍රතිඵල අනුව ඔවුන් අවම වශයෙන් වසර 272 ජීවත්ව තිබෙනවා. ඒ අතරින් වයස්ගතම මෝරා වසර 335 -392 පමණ වයස්ගත බවයි සඳහන් වන්නෙ. වසර 500 කට වඩා ඔවුන් ජීවත් වන්නට පුළුවන් බව මේ පර්යේෂණ පත්‍රිකාව සඳහන් කරනවා.


ග්‍රීන්ලන්ත මෝරුන්ගෙ පරිවෘත්තිය වේගය ඉතාමත් මන්දගාමී,ඔවුන් ඉතාමත් සෙමින් පිහිනන මත්ස්‍ය කොට්ඨාසයක්. ගැඹුරු දියේ ජීවත්වන නිසා මේ මෝරුන්ගෙ පටක තුල විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් වන ට්‍රයිමෙතිල්ඇමයින් ඔක්සයිඩ් නිපදවෙනවා. ඒ නිසා ඔවුන් සෘජුවම ආහාරයට ගැනීම විෂ සහිතයි. නමුත් මේ විෂ ගතිය ඉවත් කර සාදාගන්නා විශේෂ කෑම වට්ටෝරු ඉනුයිට්වරුන් භාවිතා කරනවා. 

ග්‍රීන්ලන්ත මෝරුන් මාංශභක්ෂක විශේෂයක්. ඔවුන් වෙනත් මත්ස්‍ය වර්ග, කුඩා මෝරුන් ආහාරයට ගන්නවා. කුණප බුදින්නන් ලෙස ඇතැම් අවස්ථාවල පිනිමුව මාංශ අනුභව කරන ආකාරය වාර්තා වෙලා තියෙනවා. නමුත් මිනිස්සුන්ට පහරදීම් ගැන නිශ්චිත වාර්තාවීම් නැහැ.

ග්‍රීන්ලන්ත මෝරුන් ලිංගිකව විකසනය වන්නෙ වසර 150 දි පමණ. ගැහැණු සතුන් වෙනත් මෝරුන් විශේෂ මෙන් බිත්තර දමන්නෙ නැහැ, කලලය ශරීරය තුලම විකසනය වී පැටවුන් ලෙස පිටතට පැමිණේන්නෙ. අණ්ඩ ජලාබුජතාව දක්වන විශේෂයක්. නමුත් මේ සඳහා කොපමණ කල් ගතකරනවාද යන්නට නිරීක්ෂණය කර නැහැ.

1960 දශකයේ එක් පර්යේෂණ වාර්තාවක සඳහන් කරනවා ග්‍රීන්ලන්ත මෝරුන්ගෙ අක්ශි තුල 'ඔමැටොකොයිටා එලොන්ගාටා' නැමැති පරපෝශි කොපේපෝඩා විශේෂය ජිවත්වන බවත් අඳුරු පරිසරයන් තුලදී මේ කොපේපෝඩාවා ජෛවසන්දීප්තතාව (කණාමැදිරියන් වගේ එලිය විහිද වීම) දක්වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රීන්ලන්ත මෝරුන්ට අඳුරු පරිසර තුල ආහාර සොයාගැනීමට හැකි බවත්. නමුත් මෙය නිශ්චිතව පර්යේෂණයට බඳුන්කල කල්පිතයක් නොවෙයි.


කෙසේ නමුත් වර්තමාන සාගර තුල පිහිනා යන විශාල ග්‍රීන්ලන්ත මෝරුන් ඇමරිකා එක්සත් ජනපදයට වඩා වයසයි, ප්‍රංශ විප්ලවය සිදුවන විටත් ඔවුන් ජීවත්ව සිටිනවා. ඇතැම්විට ලියනාඩෝ ඩ වින්චි මෝනාලීසා චිත්‍රය අඳින විට මේ සමහරක් මෝරුන් කුඩා පැටවුන් වන්නට ඇති. මිනිස් ශිෂ්ඨාචාරය ගොඩබිම මත විවිධ කාල පරාසයන් කාර්මීක දේශපාලනික විප්ලවයන් පසුකර යද්දි ඔවුන් තවමත් උතුරු අර්ධගෝලයේ අධික ශිතලෙන් යුතු ගැඹුරු මුහුදු තුල ගොදුරු සොයා යනවා. ග්‍රීන්ලන්ත මෝරුන් කියන්නෙ ඒ අතින් ගත්තම පෘශ්ඨවංශිකයන් අතර ඉන්න ජේශ්ඨ පුරවැසියන්.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ප්‍රොටොරොහිපස් ෆොසිලය (Protorohippus fossil)




මේ තියෙන්නෙ වසර මිලියන 35 කට පමණ පෙර ඉයෝසීන අවධියේදි ජීවත්ව සිටි නූතන අශ්වයන්ගෙ පූර්වජයෙකු වන ප්‍රොටොරෝහිපස් විශේෂයට අයත් ෆොසිලයක්. විශේෂය ගැන කතා කරනවට වඩා මේ ඡායාරූපය ගත්තෙ මේ ෆොසිලයේ තිබෙන අපූර්වත්වය නිසා.

ජීවත්ව සිටියදි මේ සත්වයා ජලයට වැටී මිය ගොස් ජලාශය පතුලට ගි⁣ලී තැන්පත් වෙනවා. ක්‍රමයෙන් අවසාධිත ඒ මත තැන්පත්ව ෆොසිලභවනය වීම සිදුව තිබෙනවා. ඒත් සමඟම ෆොසිලභවනය වු මත්ස්‍යන් කිහිපයක් ඔබට දකින්න පුළුවන්. එක්සත් ජනපදයේ වයෝමින්ග් ප්‍රාන්තයෙන් තමයි මේ ෆොසිලය ලැබෙන්නෙ. එකල ජලාශ්‍රිත ප්‍රදේශයක් වු මෙය වර්තමානයේදි ගොඩබිමක්. භූ ස්ථරායනය කියන්නෙ දිනපොතක් මෙන් දත්ත රැස්ව තිබෙන එකතුවක්. ෆොසිල විද්‍යාවෙදි මේ දත්ත කියවීම තමයි සිදුවන්නෙ.


(Pic via - smithsonian NHNM)



#DOE


පීකා (Pika)


මේ පහත ඡායාරූපයේ සිටින සුරතල් පෙනුමක් ඇති සත්ව විශේෂය තමයි පීකා.

ලී පීකා

පීකා විශේෂ අතරිනුත් ලී පීකා නැමැති අති දුර්ලභ විශේෂය තමයි මෙහි දක්වා තිබෙන්නෙ. පරිණාමිකව හාවුන්ට සමීපතාවක් දක්වන මොවුන් හාවුන්ගෙ රූපාකාරයට වඩා වෙනස් රූපාකාරයක් දක්වන සත්ව කොට්ඨාසයක්.

ලී පීකාලා ජීවත් වන්නෙ චීනයේ. ලී පීකාලා අවසන් වරට සංඛ්‍යාත්මක අගයක් ලෙස දැක්වෙන්නෙ 1000 කට අඩු ප්‍රමාණයක්. දේශගුණික විපර්යාස නිසා ලී පීකාවන් වඳ වෙමින් යන්නෙ. චීනයේ සිටින පැන්ඩාවුන්ටත් වඩා නශ්ඨවීමේ තර්ජනයට ලක්ව සිටින මොවුන් දැක බලා ගැනීමත් අසීරු කටයුත්තක්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




යෝධ ගිරවා (Giant Parrot)


දූපත් ප්‍රදේශයන් තුල පරිණාමය සිදුවන ඇතැම් විශේෂ ඉතාමත් අපූරු පරිණාමික රටාවන් පෙන්නුම් කරනවා. ඒ අතරිනුත් පක්ෂී විශේෂ පෙන්නුම් කරන එක් රටාවක් තමයි පියාසැරිය අත්හැරීම. ඇතැම් දූපත්වල ස්වාභාවික විලෝපිකයන් නොමැති වීම නිසා භූමිය මතුපිටට පැමිණ ආහාර සොයාගැනීමට හුරුවන එවන් විශේෂ කාලයත් සමඟ පියාසැරිය රහිත විශාල පක්ශීන් බවට පත්වෙනවා. නවසීලන්ත දූපත මෙයට එක් උදාහරණයක්. වඳව ගිය යෝධ මෝආ පක්ශීන්, කිවී විශේෂ, වර්තමානයේදි ජීවත්වන විශාලතම ගිරා විශේෂය වන කැකපෝ ගිරවුන් නවසීලන්තය තුල පෙර පැවසු පරිදි භෞමික වාසී තත්වයනට ක්‍රමිකව පරිණාමය වූ විශේෂ. මුරුසි දිවයින තුල ජීවත්ව වඳව ගිය ඩෝඩෝ මෙවන් දූපත් වාසී පියාසැරිය රහිත පක්ශීයකුට තවත් උදාහරණයක්.

2019 අගෝස්තු 07 වන දින ප්‍රකාශයට පත්වන පර්යේෂණ පත්‍රිකාවකින් හඳුන්වා දෙනවා මීට වසර මිලියන 19 පමණ පෙර නවසීලන්තය තුල ජීවත්ව වඳව ගිය යෝධ ගිරා විශේෂයක්. මේ විශේෂයට නම දීලා තියෙන්නෙ Heracles inexpectatus ලෙස. මීටර් 1 පමණ උසකින් සහ ආසන්න වශයෙන් 7 Kg පමණ බරින් යුත් මෙම භෞමික වාසී ගිරා විශේෂය මාංශභක්ෂක වන්නට ඇතැයි සඳහන් වෙනවා.

හෙරක්ලීස් ප්‍රතිනිර්මාණයක්

හෙරක්ලීස් ප්‍රමාණාත්මක සංසන්දනයක් 

(Heracles inexpectatus) 'හෙරක්ලීස් ඉන්එක්ස්පෙක්ටාටුස්' විද්‍යාත්මක නාමය දීම පිලිබඳවත් පොඩි පසුබිම් කතාවක් තියෙනවා. ග්‍රීක රෝම වෘතාන්ත ගැන සහ ඒවායින් සම්භවය වෙන විද්‍යාත්මක නාමකරණයේ අපූර්වත්ය පිලිබඳව මම වැඩි අවධානයක් දක්වන නිසා මේ ගැනත් සඳහන් කරන්න හිතුනා. හෙරක්ලීස් නාමය ග්‍රීක නාමයක්. හෙරක්ලීස් කියන්නෙ ඔබ කවුරුත් අසා ඇති හර්කියුලීස්ට. ග්‍රීක හෙරක්ලීස් නාමය තමයි පසුව රෝම ශිෂ්ඨාචාරය තුලදි හර්කියුලීස් බවට පත්වන්නෙ. හර්කියුලීස් අතින් නීලීයුස් සහ ඔහුගෙ පුත්‍රයන් ඝාතනය වෙනවා. නමුත් නීලියුස්ගෙ එක් පුත්‍රයෙක් වන නෙස්ටර් පමණක් හර්කියුලීස් ඉතිරි කරනවා. වර්තමානයේදි නවසීලන්තය තුල දැකගන්න පුළුවන් කියා, කාකා වැනි ගිරවුන් විශේෂ අයත් ගනය වන්නෙ නෙස්ටර්. මේ අලුතින්ම සොයාගත් යෝධ ගිරවා ජීවත් වු කාලයේම නෙස්ටර් ගනයට ඉතාමත් ලඟ තවත් කුඩා ගිරවුන් ගනයක් ජීවත්ව තිබෙනවා. මේ ගනය හඳුන්වන්නේ නීලිප්සිටකස් ලෙස. නීලීප්සිටකස් නාමය හැදෙන්නෙ නීලීයුස්ගෙන්. ඒ අනුව ගත්තම හෙරක්ලීස්, නීලියුස්, නෙස්ටර් වෘතාන්තය ඉතාමත් අපූරුවට මේ ගිරා ගනයන් වලට ගැලපෙනවා. විශේෂ නාමය වන 'ඉන්එක්ස්පෙක්ටාටුස්' යනු unexpected ඉංග්‍රීසී වචනයේ ලතින් යෙදීම. එහි අර්ථය 'අනපේක්ෂිත'. එනයින් අනපේක්ෂිත ලෙස සොයාගනු ලැබු යෝධයා = හෙරක්ලීස් ඉන්එක්ස්පෙක්ටාටුස්. බැලු බැල්මට කිසිම සම්බන්ධයක් නොමැති ශුද්ධ විද්‍යාවක් සහ සාහිත්‍ය බද්ධ වන්නෙ එලෙසින්. 

කෙසේ වෙතත් හෙරක්ලීස් ගැන ඉදිරියේදි තවත් කරුණු අනාවරණය කරගනු ඇති. ඔවුන් වඳව යෑමට සැබෑ හේතුන් මොනවාද, ආහාර රටාවන් මොනවාද, පුර්වජයන් කුමන කාණ්ඩයන්ද ආදි ගැටලු වලට විද්‍යාවේ දියුණුවත්, කැණීම් සිදුවන වේගයත් අනුව පිලිතුරු ලැබෙනු ඇති.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




පර්මියන් අවධිය සහ එස්ටෙම්මෙනෝසුකස් (Permian Period and Estemmenosuchus)


ඩයිනෝසරයන්ගෙ අවධීන් ලෙස හඳුන්වන්නේ ට්‍රියැසික් , ජුරැසික් සහ ක්‍රිටැසියස් අවධීන්. මේ අවධීන් ආරම්භ වීමට ප්‍රථම පෘථිවිය තුල ගෙවී යන්නෙ පර්මියානු අවධිය. පර්මීයානු අවධිය තුලදි ලෝකයේ සියළු ගොඩබිම් පැවතුනේ තනි මහද්වීපයක් ලෙස. මේ තනි මහද්වීපය අප හඳුන්වනවා පැන්ජියා මහද්වීපය ලෙස. පැන්ජියා මහද්වීපය කැබලි වලට කැඩීම ඇරඹෙන්නෙ මීට වසර මිලියන 175 කට පමණ පෙර ජුරැසික් අවධියේ මධ්‍ය කොටසෙදි.

ට්‍රිැයසික් යුගයෙදි තමයි ඩයිනෝසරයන් බිහිවී පැතිරීම සිදුවන්නෙ. නමුත් ට්‍රියැසිකයට ප්‍රථම තිබු පර්මියානු අවධිය කියන්නෙ ඉතාමත් වෙනස් පාථෘවියක්. පර්මියානු පෘථෘවිය තුල විසු ගහකොල, සත්ව විශේෂ ඉතාමත් වෙනස් සත්ව කාණ්ඩයන්. මේ පර්මියානු අවධිය තුල සිටි සත්ව කාණ්ඩ පර්මියානු නශ්ඨවීමත් සමඟ මිහිතලයෙන් සදාකාලිකවම නික්ම යනවා. මේ නශ්ඨවීමේ සංසිද්ධිය ෆොසිල විද්‍යාව තුල හඳුන්වන්නේ පර්මියන්-ට්‍රියැසික් මහා නශ්ඨවීම ලෙස.

දැන් මේ ඉහත කිව්ව ටික හොඳින් තේරුම්ගන්න කාල රාමුව පිලිබඳව අදහසක් ඔබට ලබා දෙන්නම්. ඔබ මුල සිටම පරිණාමික දිනපොත සමඟ රැඳී සිටියානම් මේ වන විට අවබෝධයක් තිබෙනවා ක්‍රිටැසියස් මහා නශ්ඨවීම ගැන. ඇස්ටරොයිඩයක් පැමිණ ඩයිනෝසරයන් ඇතුළු ජීවී විශේෂ මිහිතලය මතින් අතුගා දමන සිද්ධි දාමය තමයි අපි හඳුන්වන්නේ ක්‍රිටැසියස් නශ්ඨවීම ලෙස. ක්‍රිටැසියස් නශ්ඨවීම සිදුවන්නෙ අදින වසර මිලියන 65 කට පමණ පෙරදි. (වසර මිලියන කියන සංඛ්‍යාත්මක අගය ධාරණය කරගන්න, නැත්තන් මේක හුදෙක් සංඛ්‍යාවක් විදිහට කියවන් ගියාට තේරුම්ගන්න අමාරුයි. වසර 100, 1000, 10000, 100000 ආදි ගොස් වසර මිලියනයක් කියන්නෙ කොපමණ ඈත කාල වකවානුවක්ද යන්න සිතන්න)

ක්‍රිටැසියස් නශ්ඨවීම් සිදුවන්නෙ පෙර පැවසු පරිදි වසර මිලියන 65 කට ප්‍රථම. නමුත් මා මේ සඳහන් කරන පර්මියන්-ට්‍රියැසික් මහා නශ්ඨ වීම සිදුවන්නෙ 'වසර මිලියන 250 කට පෙර'. ක්‍රිටැසියස් නශ්ඨවීමේදි (ඒ කියන්නෙ ඩයිනෝසරයන් විනාශ වුන නශ්ඨවීමේදි) පෘථිවියේ සමස්ථ ජීවයෙන් 70% පමණ සහමුලින්ම විනාශව ගියා. නමුත් එතරම් විනාශයක් සිදුවුන ක්‍රිටැසියස් නශ්ඨවීම නෙවෙයි පාථිවි ජීවය මුහුණ දුන් අඳුරුතම කාලපරිච්ඡේදය ලෙස සටහන් වෙන්නෙ. එසේ පෘථෘවි ජීවය මුහුණ දුන් අඳුරුතම කාලපරිච්ඡේදය වන්නෙ පර්මියන්-ට්‍රියැසික් මහා නශ්ඨවීම් දාමය. මේ සිද්ධිය කොතරම් බරපතලද කිව්වොත් සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පවතින එකම ග්‍රහලෝකය වන පෘථිවිය ජීවයෙන් තොර වීමට ඉතාමත් ආසන්න වෙනවා. ප්‍රතිශතයක් වශයෙන් ගත්තම පෘථිවි ජීවයෙන් 90% සහමුලින්ම විනාශව යනවා මේ නශ්ඨවීම් සිද්ධි දාමයෙන්. විශේෂ ලක්ෂ ගනනක්, ගනයන් ලක්ෂ ගනනක් පෘථිවිය තුලින් සදහටම නික්ම යනවා පර්මියන් අවධිය අවසාන වෙත්ම. ජීවයෙන් පිරී පැවති නිල් ග්‍රහයා පර්මියන් අවධිය අවසාන වන විට අහුමුලු වලට පමණක් තල්ලු වු ජීවී කාණ්ඩ අතලොස්සකින් තමයි නැවතත් සිය ජීවයේ ගමන ආරම්භ කරන්නෙ. 

පර්මියන් මහා නශ්ඨවීම සිදුවුනෙ කොහොමද, එපමණක් ජීවය වැනසී යන්න හේතු මොනවාද කියන විග්‍රහ ටිකක් සංකීර්ණ කතාවක්. පැන්ජියාවේ දේශගුණික විපර්යාස, පැන්ජියානු භු විෂමතාවන්, මහද්වීප ප්ලාවිතයේ සිද්ධාන්ත, සාගර ජීවයේ නශ්ඨවීම ආදි කරුණු ගොන්නක් වෙන වෙනම විස්තර කරන්න වෙන නිසයි මේ කතාව සංකීර්ණයි කිව්වේ. ඒ ගැන ඉදිරියේදි ලිපි මාලාවකින් හෝ පොතකින් ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. 

මීට මාස කිහිපයකට පෙර පොරොන්දු වුන පරිදි මේ කතාවේ ප්‍රවිශ්ඨය ලබා ගත්තෙ පර්මියානු ජීවය පිළිබඳව ආරම්භයක් ලබා ගන්න. පර්මියානු ජීවයේ ඉතාමත් විශේෂිත සත්ව කොට්ඨාසයක් තමයි තෙරැප්සිඩාවන්. තෙරැප්සිඩාවන් අපට විශේෂ වන්නෙ පර්මියානු නශ්ඨවීමෙන් දිවි ගලවාගන්න තෙරැප්සිඩාවන් කොටසක් තමයි පසුව මම, ඔබ, ඔබේ නිවසේ සිටින සුනඛයන්, බළලුන් ආදී සියළු ක්ශිරපායින්ගේ පූර්වජයන් වෙන්නෙ. මේ පර්මියන් නශ්ඨවීමේන් තවත් සත්වයන් කොටසක් දිවි රැකගන්නවා. ඔවුන්ව අප හඳුන්වනවා ඩයැප්සිඩාවන් ලෙස. ඩයැප්සිඩාවන් තමයි පසුව ඩයිනෝසරයන්, උරගයන්, සර්පයන්, පක්ශීන් බවට පරිණාමය වන්නෙ.

මේ ලිපියෙදි කතා කරන්නෙ තෙරැප්සිඩාවන් ගනයක් ගැන. ඔවුන් තමයි එස්ටෙම්මෙනොසූකස් ගනය. එස්ටෙම්මෙනෝසුකස්ලා ජීවත් වන්නෙ මධ්‍ය පර්මියානු අවධියේදි. වසර මිලියන 267 පමණ පෙර තමයි මේ සත්වයන් ජීවත් වන්නෙ. දැනට හඳුනාගෙන තිබෙනවා විශේෂ ද්විත්වයක්;
  1. Estemmenosuchus uralensis
  2. Estemmenosuchus mirabilis
මේ විශේෂ ද්විත්වයේම ෆොසිල ලැබෙන්නෙ වැඩි වශයෙන් රුසියානු ප්‍රදේශයෙන්. අඩි දහයක පමණ විශාලත්වයකින් වැඩෙන මේ සත්වයන්ගෙ හිස්කබල ඉතාමත් සුවිශේෂී හැඩයක් ගන්නවා. මූස් මුවන්ගෙ අංතට්ටුවේ කොටස් වැනි කපාල නෙරීම් මේ කපාලය මත දැකගන්න පුළුවන්. මේ සුවිශේෂී පිහිටීම ප්‍රදර්ශනාත්මක පණිවිඩ හුවමාරු මාධ්‍යක් ලෙස භාවිතා කරන්නට ඇති බවයි ෆොසිල විද්‍යාඤයන් විශ්වාස කරන්නෙ. මොණරුන් පිල් විදහන්නාක් මෙන්, දික්ව වැඩුනු අං ප්‍රදර්ශනාත්මක ලෙස මුවන් දක්වන්නාක් මෙන් එස්ටෙම්මෙනෝසුකස්ලාත් සිය අං වැනි කපාල නෙරීම් භාවිතා කල බවයි සඳහන් වෙන්නෙ.


එස්ටෙම්මෙනෝසුකස් ප්‍රතිනිර්මාණ

1968 දි ලැබෙන එස්ටෙම්මෙනෝසුකස් චර්ම ෆොසිල කොටසක් අධ්‍යනය කිරීමේන් පසු විද්‍යාඤයන් ප්‍රකාශ කරන්නෙ ඔවුන්ගෙ හම ක්ශීරපායින්ට සමාන හමක් වන්නට ඇති බවයි. එස්ටෙම්මෙනෝසුකස්ලා සර්වභක්ෂකද නැත්නම් මාංශභක්ෂකද යන්නට දැඩි විවාද පවතිනවා.

එස්ටෙම්මෙනෝසුකස් ෆොසිලයක්

කෙසේ නමුත් පර්මියන් නශ්ඨවීමෙන් දිවි ගලවාගන්න ක්ශිරපායින්ගෙ පූර්වජයාට නෑ සබඳකම් තිබු මේ සත්වයන් පර්මියන් නශ්ඨවීමත් සමඟම මිහිමතින් පහව යනවා.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


Sunday, November 3, 2019

සර්පකුස්සා/සර්ප රාජාලියා (Crested serpent eagle)


මේ ඡායාරූපය අරන් තිබෙන්නෙ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ වනෝද්‍යානයයක. Ashish Inamdar නැමැති ඡායාරූප ශිල්පියා විසින් ගෙන ඇති මේ ඡායාරූපයේ සිටින පක්ශියාව හඳුන්වන්නේ සර්පකුස්සා/සර්ප රාජාලියා ලෙස (Spilornis cheela) Crested serpent eagle. ඡායාරූපයේ සිටින සර්පයා Ptyas mucosa ලෙස තමයි දැක්වෙන්නේ.

සර්පකුස්සා / සර්ප රාජාලියා

මේ ඡායාරූපය ඉන්දියාවෙ එකක් වුනත් මේ පක්ශීන් ලංකාවෙ වාසය කරනවා. ලංකාවේ ජාතික වනෝද්‍යානයකට ගියොත් නොවරදින සුළු පක්ශියෙක් තමයි මේ සර්ප රාජාලියා. ගුවනේදි හඳුනගන්න ඔබට අපහසු වුනත් වියලී ගිය ගස්වල මුදුනේ වසා සිටිනු දැකගත හැකි පක්ශියෙක්. ඉතාමත් උස් ස්ථානවල සිට අවට පරිසරය සිසාරා නිරීක්ෂණය කරන්නෙ තමන්ගෙ ප්‍රියතම ගොදුරු වන සර්පයන් සහ කුඩා උරගයන්. පක්ශියාගෙ නමේම තිබෙන විදිහට ඔවුන්ගෙ නිරන්තර ප්‍රහාරයට ලක්වෙන්නෙ සර්පයින්.මීට අමතරව කුඩා ක්ශිරපායින්, මත්ස්‍යන් , උභය ජීවීන් මොවුන්ගෙ ප්‍රහාරයට ලක්වෙනවා.

පෙර දිනයක සඳහන් කල බඹරකුස්සා සහ සර්පකුස්සා දෙදෙනාම රැප්ටර් පක්ශි විශේෂ, නමුත් ඔබට පේනවා ඇති මේ සත්වයින් චර්යාමය ලක්ෂණ අතින්, පෙනුමෙන්, ආහාර රටාවෙන් එකිනෙකට අතිශයින්ම වෙනස් විශේෂ බව. එකම පරිසරයේ විවිධ නිකේතන තුල වෙනස් ආහාර සඳහා ඔවුන් අනුවර්තනය වී තිබෙනවා. ඒ නිසා තරඟකාරීත්වයෙන් මිදීමක් දකින්න පුළුවන්. විශේෂ විවිධත්වය අධික වීම සඳහා බලපාන්නේ මේ සාධක. විවිධ විශේෂ නිර්මාණය කිරීමේ පරිණාමික මෙවලම් ලෙස පාරිසරික නිකේතන ක්‍රියාත්මක වන ආකාරය මේ ආකාරයෙන් දකින්න පුළුවන්


(Photo credit - Ashish Inamdar)



බඹරකුස්සා (Honey buzzard)


මේ තියෙන්නෙ Wangling tang නැමැති ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද ඡායාරූපයක්. National geographic ඡායාරූප එකතුවට කලකට පෙර එක්වු මේ ඡායාරූපයේ සිටින්නේ European honey buzzard (Pernis apivorus) නැමැති පක්ශි විශේෂය.

European honey buzzard (Pernis apivorus)

මොවුන්ගෙ තිබෙන විශේෂත්වය තමයි බඹර වද, දෙබර වද, මී මැසි වද වලට පහරදී ඒවායින් කොටස් පැහැර ගැනීම. මේ ඡායාරූපයේ තිබෙන්නෙත් ඒ වගේ අවස්ථාවක්. වදයේ අයිතිකාර මැස්සන් මේ පක්ශියාව හඹාගෙන ගියත් ඔවුන් මඟ හැර තාමාගෙ රාජකාරිය කරගන්න මේ පක්ශියා වදයේ සිටින පිලවුන් සුහුඹුලන් ආහාරයට ගන්නවා. 

European honey buzzard ගේ ලඟම ඤාතියෙක් අපේ රටෙත් ජීවත් වෙනවා. ඒ තමයි Oriental honey buzzard (Pernis ptilorhynchus). සිංහලෙන් මේ පක්ශියාව හඳුන්වන්නෙ 'සිළු බඹරකුස්සා' ලෙස. ඒ පක්ශියාත් තමන්ගෙ යුරෝපිය සහෝදරයන්ගෙ ජීවන රටාවම තමයි අනුගමනය කරන්නෙ. බඹර වද දෙබර වද වලට ප්‍රහාර එල්ල කරමින් වදයේ කොටස් සොරාගෙන යනවා. පර්වත ආශ්‍රිතව ආනතියකින් පිහිටන බෑවුම් තුල ඉදිවෙන බඹර වද ඉලක්ක කරමින් සම්පූර්ණ ගුවන් සංදර්ශනයක් ඉදිරිපත් කරන සිළු බඹරකුස්සන් නිරීක්ෂණය ඉතාමත් සිත්ගන්නාසුළු වැඩක්. සිළු බඹරකුස්සන්ව නිරීක්ෂණය කරන තවත් අය ඉන්නවා. ඒ තමයි වලසුන්, වඳුරු විශේෂ ආදිය. තමන්ට ලංවෙන්න බැරි මැසි වද වලට සිළුකුස්සන් පහර දෙන විට ඒවායින් කඩා වැටෙන ප්‍රණීත කොටස් ආහාරයට ගන්න ඒ සත්ව විශේෂ පුරුදු වෙලා තියෙනවා.

ගුවන්ගතව සිටින රැප්ටර් පක්ශියෙක් දුටු විගස උකුස්සෙකු බවට අප බොහෝ දෙනා නීර්ණය කරාට මේ රැප්ටර් විශේෂ එකින් එකට සහමුලින්ම වෙනස්. ඔවුන්ගෙ චර්යාවන්, ආහාර පුරුදු, පියාසර රටාවන් ඔවුන් එකින් එකට විශේෂිතයි.


(Image Credit - Wangling tang via Natgeo)



#DOE

අලිපේර සහ යෝධ මන්දයන් (Avocado and giant Sloths)


ඇතැම් සත්ව හා ශාඛ විශේෂ තිබෙනවා වර්තමානයේදි සජීවීව දැක ගැනීමට පුළුවන් වුනත් ඔවුන් සැබැවින්ම අයත් වන්නෙ ඉතිහාසයට. යම්කිසි දුර්ලභ සංසිද්ධියක් හේතුවෙන් නශ්ඨවීමට ආසන්නව තිබියදි ඔවුන්ගෙ පැවැත්ම තහවුරු වී වර්තමානය දක්වා ඔවුන් පැමිණ තිබෙනවා. අලිපේර/අලිගැටපේර නමින් සිංහලෙන් හඳුන්වන ශාඛයත් එවැනි විශේෂයක්.

අලිපේර/අලිගැටපේර

ඔබ දන්නවා ඇති බොහෝ ශාඛ විශේෂ පරාගන කෘත්‍ය, බීජ ප්‍රරෝහනය ආදී ක්‍රියාවලි සඳහා ඇතැම් සත්ව විශේෂ මත යැපෙන බව. අලිගැටපේර ශාඛයත් මීට වසර මිලියන ගනනකට පෙර පරිණාමය වන්නෙ බීජ ප්‍රරෝහනය සඳහා සත්වයන් මත යැපෙන ශාඛයක් ලෙස. අලිගැටපේර ශාඛයක බීජ මව් ශාඛය යට වැටීමෙන් හටගන්නා පැල වැඩ කාලයක් පවතින්නේ නෑ. ඒ මව් ශාඛය සමඟ සූර්යාලෝකය හා වෙනත් අවශ්‍යතාවන් සඳහා තරඟ කිරීමට සිදුවෙන නිසා. මේ ගැටලුව මඟහරවා ගැනීමට අලිගැටපේර ශාඛ පරිණාමිකව අනුවර්තනය වෙන්නෙ ඉතාමත් රසවත්, සතුන් ආහාරයට ගැනීමට කැමති, මාංසල ආවරණයක් සහිත බීජයක් ලෙස. සත්වයෙක් ආහාරයට ගැනීමෙන් පසු ආහාර ජීර්ණ පද්ධතිය තුලින් ගමන්කර වසුරු සමඟ පිටතට පැමිණීමෙන් පසු තමයි මව් ශාඛයට ඈතින් ප්‍රරෝහනය වීම සඳහා මඟ සලසා ගන්නෙ. නමුත් මෙතනදි පවතින ගැටලුව තමයි අලිපේර බීජය ඉතාමත් විශාල වීම. ඒ නිසාම මේ අලිපේර ශාඛය ආහාරයට අරන් දිරවීමට කුඩා ප්‍රමාණයේ සත්වයින්ට හැකියාවක් නෑ. නමුත් ප්‍ලයෝසීනයේ සිට ප්ලයස්ටොසීනය දක්වා ජීවත් වු සත්ව සන්තතිය ප්‍රමාණයෙන් විශාලයි. අලිපේර ශාඛය සිය පැවැත්ම සඳහා යැපෙන්නෙ මේ යෝධ සත්වයන්ගෙන්.

යෝධ මන්දයන් (Giant sloths) ගැන මීට පෙර පරිණාමික දිනපොත තුලින් සටහන් ඉදිරිපත් කර තිබෙනවා. වර්තමානයේදි ජීවත්වන මන්දයන් (sloth) (විශේෂ 6 වර්තමානයේදි ජීවත් වෙනවා) කුඩා ප්‍රමාණයේ සත්වයන්. ඔවුන් ඉතාමත් මන්දගාමී මෙන්ම රුක්වාසී විශේෂ.

වර්තමානයේදි ජීවත්වන මන්ද විශේෂයක් 

නමුත් ප්ලයෝසීනයේ සිට ප්ලයස්ටොසීනය දක්වා ජීවත් වූ මේ වර්තමාන රුක්වාසී මන්දයන්ගෙ පූර්වජයන් වචනයේ පරිසමාප්තියෙන්ම යෝධයන්. ටොන් 4 පමණ බරින් සහ දිගින් අඩි පහලවක් පමණ වැඩෙන ලෙස්ටඩොන්, මෙගාතීරියම්, එරීමෝතීරියම් වැනි මන්ද ගනයන් එකල උතුරු සහ දකුණු අමරිකානු කලාපය පුරාම පැතිරී සිටියා. ඒ වගේම ඔවුන් බිම්වාසී විශේෂ.

ලෙස්ටඩෝන් සැකිල්ලක් 
මෙගාතිරීයම් ප්‍රතිනිර්මාණයක් 
එරිමෝතිරියම් ප්‍රමාණාත්මක සංසන්දනයක් 

මීට අමතරව මේ මන්ද විශේෂ විශාල විවිධත්වයක් පෙන්නුම් කරමින් ජලචර විශේෂ, පොළව තුල ගුල් හාරා ජීවත්වන විශේෂ ලෙස පැතිරී සිටියා. මේ අතරින් ලෙස්ටඩොන් ගනය මත තමයි අලිපේර ශාඛය වැඩිවශයෙන් යැපී තිබෙන්නෙ. මේ යෝධ සත්වයන් අලිපේර වලට දක්වන ලොල් බව නිසාම උතුරු දකුණු ඇමරිකානු කලාප තුල අලිපේර පැතිරීම සිදුවෙනවා. වරක් ආහාර ගැනීමෙන් පසු කිලෝමීටර ගනනාවක් ඇවිද යන මේ සත්වයන්ගෙ ආහාර ජීරණ පද්ධති තුල ගමන නිම කරන අලිපේර බීජ මව් ශාඛයට ඉතාමත් ඈතින් ප්‍රරෝහනය සිදුවෙනවා. මේ නිසා අලිපේර ශාඛයේ පැවැත්ම ,පැතිරීම සමස්ථ වශයෙන්ම යැපෙන්නෙ මේ යෝධ ප්‍රාග්ඓතිහාසික සත්ව සන්තතිය මත.

වසර 16000 කට පමණ පෙර උතුරු ඇමරිකානු බෙරින්ගියන් ගොඩබිම මඟින් ඇමරිකානු කලාප තුලට ආසියාවෙන් පැමිණෙන හෝමෝ සේපියන්වරු පෙර පැවසු යෝධ සත්ව සන්තතියේ අභාවයට එක් ප්‍රධාන හේතුවක් ලෙස ක්‍රියාත්මක වෙනවා. අදින් වසර 12000 පමණ පෙරදි ප්ලයස්ටොසීන සත්ව සන්තතිය නශ්ඨවීම සිදවෙනවා. ඒත් සමඟම අලිපේර ශාඛය මුහුණ දෙන්නෙ පැවැත්ම සම්බන්ද ගැටලුවකට. තමන්ගෙ පැවැත්ම සඳහා සෘජු දායකත්වයක් සැපයු සත්ව ප්‍රජාව දැන් නශ්ඨව ගොස්. පරිණාමක අර්ථයෙන් ගත්තම මේ ලියවිලා තියෙන්නෙ අලිගැටපේර ශාඛයේ පෘථිවියේ අවසන් පරිඡ්ඡේදය. නමුත් මේ අපූරු ශාඛයට හෝමෝ සේපියන්වරු ආකර්ශනය වෙනවා. රසවත් මෙන්ම ගුණවත් මේ ශාඛයේ වන නිදර්ශක සේපියන්වරු විසින් ගෘහස්තකරණය කරනවා.

මීසෝඅමරිකානු සංස්කෘතියට අයත් කොක්සකැට්ලන් ගුහාවෙන් තමයි ආදීතම අලිපේර භාවිතය පිළිබඳව සාධක හමුවන්නෙ. ඒ අදින් වසර 10000 පෙර. 15 වන සියවසේදි තමයි අලිපේර ගැන පළමු ලිඛිත වාර්තාව යුරෝපයෙන් ලැබෙන්නෙ. ඒ මාර්ටින් ෆර්නෑන්දේස් දි එන්සිස්කොගෙ වාර්තාවක. ප්‍රථම විග්‍රහය ලැබෙන්නෙ 1526 දි ගොන්සාලෝ ෆර්නෑන්දෙස් දි ඔවියේදෝ යී වැල්දේස් ගේ ප්‍රකාශනයක. 1601 දි ස්පාඤ්ඤටත්, 1750 දි ඉන්දුනිසියාව අවටත්, 1780 දි මුරුසියටත් ආදී වශයෙන් අලිපේර හඳුන්වාදීම සිදුවෙනවා.

ප්ලයස්ටොසීන සත්ව සන්තතියේ අභාවයෙන් පසු ක්‍රමයෙන් පැතිරීමෙන් පසුබසින මේ අපූරු ශාඛය දකුණු අමරිකානු නිම්න කිහිපයකට සීමාවී සිය අවසන් පරිඡ්ඡේදය ගත කරන විට සේපියානුවන් එය නොදුටුවා නම් අද අලිගැටපේර රහ ගැන අපට දැනගැනීමට විදිහක් නෑ. මීලඟ වතාවේදි අලිගැටපේර ගෙඩියක් සුද්ද කරද්දි මැද තිබෙන විශාල බීජය පරිණාමය වී ඇත්තෙ යෝධ මන්දයන්ගෙ ආහාර ජීර්ණ පද්ධතිය තුල දීර්ඝ ගමනක් යෑමට බව මතක් වෙයි.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE