Monday, August 12, 2019

ස්මයිලොඩෝන් (Smilodon)


වසර මිලියන 2.5 කට පමණ පෙර ඇරඹි ප්ලයස්ටොසීන යුගයෙ මුල් කාලය තුල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් තමයි උණුසුම් දේශගුණික කලාපවල ප්රසාරණයත් සමඟම තණබිම් පැතිර යාම. උතුරු දකුණු අමරිකා මහද්වීප තුල මේ ලක්ෂණය ඉතාමත් හොඳින් ව්යාප්ත වෙනවා. තණබිම් ප්රසාරණය වී පැතිරී යාමේදි ඒ සමඟම විශාල ශාඛ භක්ෂකයන් පහල වෙනවා. මේ විශාල ශාඛ භක්ෂක සතුන් දඩයම් කිරීම සඳහා දිග, උල් නිය සහ දත් පිහිටන විලෝපිකයන පහල වීම සිදුවෙනවා. 

ප්ලයස්ටොසීන යුගය තුල එලෙස පහල වු සුපිරි විලෝපිකයක සත්ව කාන්ඩයක් තමයි ස්මයිලඩොන් ගනය. 'ස්මයිලඩොන්' නාමය ඔබට එතරම් හුරු පුරුදු නැතිවුනත් මේ කියන සත්ව විශේෂය ඔබ දැනටමත් දැක තිබෙනවා. අයිස් ඒජ් කතා මාලාව තුලින් දක්නට ලැබෙන දිගු දත් සහිත 'ඩියේගෝ' චරිතයට පදනම් වෙන්නෙ ස්මයිලඩොන් සතුන්.

ස්මයිලඩොන් ගනය ඇතුලුව උඩු හනුවෙන් නැගෙන රදනක දත් යටි හනුව දෙපසින් පහලට විහිදෙන සතුන්ව අපි පොදුවෙ හඳුන්වනවා "සේබර් ටූත්" සතුන් ලෙස. සේබර් ටූත් සත්ව වර්ගයන් අවස්ථා හතක් තුලදි පෘථෘවි ඉතිහාසය තුල පහල වෙනවා. ජීවයෙ ඉතිහාසය තුල අපිට මුණ ගැසෙන පලමු සේබර්ටුත් සත්ව වරගයා තමයි ඩයිනෝසරයන් ලොව පහල වීමටත් ප්රථම පෘථෘවිය පුරා පැතිරි සිටි 'ගෝර්ගෝනොප්සියන්' සතුන්. ඒ වගේම මෙතෙක් ජීවි ඉතිහාසය තුල අවසාන වරට දක්නට ලැබුනු 'සේබර් ටූත්' සතුන් වන්නෙ 'ස්මයිලඩොන්' ගනය.

ස්මයිලඩොන්

මේ ස්මයිලඩොන් සත්වයින්ට ඉංග්රීසී භාෂාවෙන් 'saber tooth tiger' කියලත් භාවිතා වෙනවා. අපි එය සිංහලට පරිවර්තනය කලොත් 'සේබර් දත් සහිත ව්යාඝ්රයන්'. නමුත් මේ ස්මයිලඩොන් ගනය වර්තමානයේදි ජීවත් වෙන බිළාල කුලයට (කොට, සිංහ, ව්යාඝ්රය අයත් කුලය) සමීප සම්බන්ධයක් දක්වන සතුන් නෙවෙයි. තව විදිහකින් කිව්වොත් සිංහයන් කොටින් ආදීන්ගෙ පූර්වජයා ස්මයිලඩොන් කියන එක වැරදි භාවිතයක්.

ස්මයිලඩොන් ගනයට අයත් විශේෂ තුනක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
  1. Smilodon gracilis
  2. Smilodon fatalis
  3. Smilodon populator 

මේ විශේෂ ත්රිත්වය. ග්රැසිලිස් කියන මුල් විශේෂයෙන් පසුව ෆේටැලිස් හා පොපියුලේටර් විශේෂ බිහිවු බවයි සැලකෙන්නේ. අඟල් 11 පමණ දගු රදනක සහිත පොපියුලේටර් විශේෂය මේ අතරින් වඩාත්ම විශාල විශේෂය ලෙස සැලකෙනවා.

සේබර් දත් යුගලක පොසිලයක්

වසර මිලියන 2.5 පමණ පෙර ඇරඹි ප්ලයස්ටොසීනය තුල දක්නට ලැබෙන උණුසුම් පාරිසරික ලක්ෂණ ප්ලයස්ටොසීනය අවසාන කාලයේදි පහල වෙන හිම යුගයත් සමඟ කඩිනම් වෙනස් වීමකට ලක්වෙනවා. ප්රසාරිත තණබිම් උතුරු අර්ධගෝලය තුල ඝන හිම තට්ටුවකින් වෙලා ගනිමින් පෘථෘවිය නැවත ශීත දේශගුණයකට පරිවර්තනය වෙනවා. තෘණ භූමි අවසන් වීමෙදි තාර්කික ඊලඟ පියවර වන්නෙ තෘණ භූමි තුල පැතිරුනු ශාඛ භක්ෂකයන්ගෙ අවසානය. ශාඛ භක්ෂකයන් වඳව යෑමත් සමඟ ආහාර දාමයේ ඉහල පුරුක්වල සිටින විලෝපිකයන් ක්රමයෙන් වඳව යෑමට ලක්වෙනවා. 

ඇමරිකානු මහද්වීපය තුල සිය අණසක පැතිරවු අවසන් සේබර් ටූත් ව්යාඝ්රය පරපුරේ අවසාන සාමාජිකයන් මීට වසර 10000 කට පමණ පෙර හිමෙන් වැසුණු සිය පාරම්පරික දඩබිම් තුලින් නශ්ඨවන්නේ අනුවර්තනය වීමේ නොහැකියාව මත. වෙනස්වන සාධක හමුවේ වෙනස් වීමට නොහැක්කවුන් පරිණාමික ඉතිහාසය තුලින් අතුගා දමන්නට ස්වභාවධර්මය පසුබට වෙන්නෙ නෑ.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment