Wednesday, September 11, 2019

අයික්නොෆාසිල්ස් (Ichnofossils)


අන්තර්ජාලය තුල එහෙ මෙහෙ යද්දි මේ ඡායාරූපය ඇස ගැටුන නිසා පොඩි පැහැදිලි කිරීමකට මේක සුදුසුයැයි සිතුනා.

බොහෝ අයට තියෙන ගැටලුවක් තමයි අඩි සටහන් වගේ දේවල් වලින් කොහොමද සම්පූර්ණ චිත්‍රයක් ගොඩනගන්නෙ කියන එක. ප්‍රාග්ඓතිහාසික යුගවල ජීවත් වු සත්වයන්ගෙ අඩි සටහනකින් පමණක් සම්පූර්ණ පර්යේෂණයක්ම මෙහෙයවිය හැකි බය බොහෝ අය නොදන්නා කරුණක්. ඒක ගැන පැහැදිලි කරන්න තමයි මේ ඡායාරූපය උපුටාගත්තෙ.



ෆොසිල විද්‍යාව එහෙම නැත්තන් Paleontology කියන විෂය තුල තිබෙනවා උප විෂයන් ගනනාවක්. ඒ අතරින් ප්‍රාග්ඓතිහාසික සත්වයන් මඟින් ඇති කරනු ලැබු ශරීර සටහන්, පිය සටහන් ආදියට දෙන නාමය තමයි Trace fossils. ඒවටම කියන තවත් නමක් තමයි Ichnofossils (අයික්නොෆාසිල්ස්). Ichnofossils හදාරන ෆොසිල විද්‍යාවෙ උප විෂය හැඳින්වෙන්නෙ Ichnology ලෙස.

දැන් එමු මේ ඡායාරූපයට. මෙ ඡායාරූපයේ තිබෙන්නේ වර්තමානයේදි උතුරු ඇමරිකාව තුල ජීවත්වන වලස් විශේෂයක පිය සටහනක්. මඩ සහිත ප්‍රදේශයක තබා ගිය මේ සලකුණ ප්‍රශස්ත සාධක හමුවේ සංරක්ෂණ වෙන්න පුළුවන්. වියලි පාරිසරික තත්වයන් හමුවේ මේ පිය සටහන මේ විදිහටම වියළි සංරක්ෂණ වුනොත් වසර මිලියන ගනනක් යන තෙක්ම මේ විදිහටම පවතිනවා.

දැන් මඳකට උපකල්පනය කරමු වසර මිලියන ගනනකට පස්සෙ මේ පිය සටහන අප වෙත ලැබුනා කියලා. එහෙනම් මේකෙන් රීඩ් කරන්න පුළුවන් කාරණා මොනවද ?

මූලීක වශයෙන්ම පියසටහනෙ හැඩය සහ පිහිටීම අනුව අපට සත්ව විශේෂය හඳුනාගන්න පුළුවන්. හොඳින් බැලුවොත් පේනවා මේ පියසටහන තුල තවත් කුඩා පිය සටහනක් තිබෙනවා. ඒක අයිති වෙන්නෙ වලස් පැටවකුට. ඒ අනුව මේ ගමන් කරලා තියෙන්නෙ වැඩුණු වලස් ගැහැණු සතෙක් සහ පැටවා. ඒ නිගමනය එන්නෙ වලස් පැටවුන් කිසිම විටෙක පිරිමි සතුන් සමඟ නොසිටින නිසා. පැටවා අයත් වන්නෙ ගැහැණු සත්වයාට නිසා තමයි ඇය අසලින්ම ගමන් කර තිබෙන්නේ. එසේනම් පැටවකු සිටින සත්වයා වැඩුණු සත්වයෙකු විය යුතුයි.

ඊලඟට කියන්න පුළුවන් පැටවා ගමන්කර තිබෙන්නේ මවගෙ පිටුපසින් කියලා. එහෙම නොවන්නට මවගේ පා සටහන මත පැටවකුගෙ පා සලකුණ සටහන් වෙන්නෙ නෑ.

ද්වීතිකව තීරණය කරන්න පුළුවන් මේ සටහන හමුවන විට වියලී ගිය තත්වයක තිබුනත් සටහන ඇතිවන අවධියෙ අධික තෙත් ස්වාභාවයකින් පැවති මඩ සහිත ප්‍රදේශයක් කියලා. ඊලඟට මේ පා සටහන සමඟ එරී තදවී ඇති ප්‍රදේශය තුල විවිධ ශාඛ කොටස්, පරාග දත්ත, කාබනික කොටස් එක් රැස්ව තිබෙනවා. කාබනික කොටස් අනුව පුළුවන් කාලනීර්ණය කරන්න. පරාග කොටස් අනුව පුළුවන් අදාල අවධිය තුල සමස්ථ වන වැස්ම පිළිබඳවව අවබෝධයක් ලබාගන්න.

අඩි සටහන්වල ප්‍රමාණය අනුව පුළුවන් සත්ව⁣යාගෙ ප්‍රමාණය තීරණය කරන්න. ගැඹුරට කිඳා බැස ඇති ප්‍රමාණය අනුව පුළුවන් ඒකක වර්ගඵලයකට යෙදුන තෙරපුම් බලය අනුව බර තීරණය කරන්න. ඒ හා සාපේක්ෂව කුඩා සත්වාගෙ සටහන සංසදනය කරමින් අදහසක් ගන්න පුළුවන් පැටවාගෙ වයස පිළිබඳව.

ඉහතින් සඳහන් කලේ ඉතාමත් සරල කාරණා පමණයි. නමුත් මීට වඩා ඉතාමත් දියුණු ක්‍රම උපයෝගී කරගෙන වඩාත් නිරවද්‍ය සහ තොර⁣තුරු සහිත කියවීමක් ලබාගන්න පුළුවන්. මෙයින් ඔබට වැටහෙනවා ඇති ichnofossils අර්ථනිරූපනය තුලින් සමස්ථ පර්යේෂණයක්ම ගොඩනැගිය හැකි ආකාරය. ඉතාමත් කුඩා පිය සටහනකින් වූවත් සම්පූර්ණ කථාන්තරයක් ගොඩනැගිය හැකි වන්නෙ එලෙසින්. බැලූ බැල්මට නොගිනිය හැකි යමකින් වූවත් ඉතිහාසය කියවන්න පුළුවන්.


(Pic credit - Caela Nielsen Via The Alaska life)



#DOE




නග්න මූසිකයා (Naked Mole rat)


ඊයේ සහ අද නව ඩයිනෝසර විශේෂ දෙකක් ගැන පරිණාමික දිනපොත තුලින් කතා කරපු නිසා වර්තමානයේ ජීවත්වන අපූරු සත්ව විශේෂයක් ගැන සටහනක් තැබිය යුතු යැයි සිතුනා.

ඉංග්‍රීසී භාෂාවෙන් ව්‍යවහාරිකව මේ සත්වයාව හඳුන්වන්නෙ Naked mole rat ලෙස. ආසන්නතම අර්ථය එන විදිහට සිංහලට භාෂාවට පරිවර්තනය කරොත් ඉන් හැඟවෙන අර්ථය 'නග්න මූසිකයා'. මෙහෙම කියන්න හේතුව මේ සත්වයන්ගෙ ශරීරයේ ලොම්, රෝම ආවරණයක් නොපිහිටීම.



මේ සත්වයාට කියන තවත් නමක් තමයි 'සෑන්ඩ් පපී'. මේ අපූරු ක්ශිරපායි සත්වයා අයත් වන්නෙ මීයන්, ලේනුන් අයත් වන රොඩෙන්ශියා ගෝත්‍රයට. රොඩෙන්ශියාවන් සිංහලෙන් හඳුන්වන්නෙ 'කෘන්තකයන්' ලෙස. කෘන්තකයන්ගෙ කැපී පෙනෙන ප්‍රධානම ලක්ෂණය තමයි දිගු පිහි තල මෙන් වැඩෙන කෘන්තක දන්ත සැකැස්ම.



අපි මේ කතා කරන සත්ව විශේෂය ජීවත් වන්නෙ නැගෙනහිර අප්‍රිකානු කලාපයේ. මේ සත්වයා ක්ශිරපායි සත්වයෙක්, ඒ කියන්නෙ අප මෙන් කිරි බී වැඩෙන සත්වයෙක්. නමුත් මේ ක්ශිරපායි සත්වයා දරන අනෙක් බොහෝ ලක්ෂණ ක්ශිරපායි සත්ව කාණ්ඩයන් දරන ලක්ෂණ වලට වඩා හාත්පසින්ම වෙනස් ලක්ෂණ.

උදාහරණයකට ඔබ දන්නවා ක්ශිරපායින් කියන්නෙ අචලතාපීතා සත්වයන්. ඒ කියන්නෙ පරිසරයේ උශ්ණත්වය අනුව අපේ ශරීර උශ්ණත්වයන් වෙනස් වෙන්නෙ නෑ. එය නියත අගයක පවත්වා ගැනීම සඳහා යාන්ත්‍රණයක් අප සතුව තිබෙනවා. ඒ හේතුවෙන් පරිසර උශ්ණත්වය සමඟ අපගෙ ශරීර උශ්ණත්වය සමපාත වෙන්න යන්නෙ නෑ නමුත් මේ සෑන්ඩ් පපීස්ලා වෙනස්. මේ සත්වන් චලතාපීන්. මොවුන්ගෙ ශරීර උශ්ණත්වය පරිසර උශ්ණත්වය සමඟ විචලනය වෙනවා.

එච්චර විශේෂත්වයක් නෑ වගේ නේද ? එහෙනන් මේ ටිකත් කියවන්න.

සෑන්ඩ් පපීස්ලගෙ සමට වේදනාව දැනෙන්නෙ නැති තරම්. මේකට හේතුව ඔවුන්ගෙ සම තුල ස්නායු සන්වේදක නොපිහිටීම. සාමාන්‍යයෙන් මීයෙකුගෙ ආයු කාලය වසර පහක් පමණ, ඔබ දන්නවා සුනඛයෙකුගෙ ආයු කාලය වසර 14 පමණ බව. බොහෝ ක්ශිරපායි සතුන් ජීවත් වන්නෙ වසර 20 කට අඩු කාලයක්. හැබැයි සෑන්ඩ් පපීස්ලාගෙ ආයු කාලය වසර 30 ක්. මේ සත්වන් ජීවත් වන්නෙ අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙන පොළව තුල ගුල් හාරා ගනිමින්. මොවුන් ජීවත්වන පරිසරයේ තිබෙන්නෙ ඔක්සිජන් 5% යි. මේ හේතුවෙන් මොවුන්ගෙ හිමොග්ලොබින් ඉතාමත් කාර්යක්ෂම ලෙස සකස්ව තිබෙනවා ඔක්සිජන් ගෙන යෑමට. ඔක්සිජන් 0% ඇති පරිසර තුල විනාඩි 18 පමණ දිවි රැක ගැනීමට මොවුන් සමත්.



සෑන්ඩ් පපීස්ලා පිළිකා වලට ප්‍රතිරෝධි. මේ අපුරු සත්ව විශේෂය සතුව පිලිකා ප්‍රතිරෝධි ජාන පිහිටනවා.

මේ කාරණා අතිශයින්ම සුවිසේශි හැකියාවන්. නමුත් මේ සියල්ලටම වඩා සිත්ගන්නාසුළු කාරණය තමයි සෑන්ඩ් පපීස්ලා කියන්නෙ ජනපද සකස් කරන්නන්. ඔබ දන්නවා මීමැසි ජනපදයක සමාජ ක්‍රමය. රැජින සහ කම්කරුවන් ගැන. මේ ක්‍රමයම තමයි සෑන්ඩ් පපීස්ලට තිබෙන්නෙත්. සෑන්ඩ් පපී කොලනියක රැජිනක් සිටිනවා. මේ තනි රැජිණ අනෙක් සතුනට වඩා ප්‍රමාණයෙන් විශාලයි. රැජින සමඟ ලිංගිකව එක් වීම සඳහා පිරිමි සතුන් කිහිප දෙනෙකු සිටිනවා. ඒ හැරෙන්නට අනෙක් සියළු කොලනි වාසීන් කම්කරුවන්. ඔවුන් ප්‍රජනනයෙ යෙදෙන්නෙ නෑ. ප්‍රජනන කාර්යයේ නිරත වීම සඳහා ඔවුනට හැකියාවක් නෑ. යම් හෙයකින් රැජිනට අභියෝගයක් වන ගැහැණු සත්වයෙක් සිටියොත් හෝ ලිංගිකව ක්‍රියාශිලි වීම සඳහා අවශ්‍ය හෝර්මෝන ශ්‍රාවය කරන ගැහැණු සත්වයෙක් සිටියොත් රැජිණ විසින් ඔවුන්ව මරා දමනවා.

කම්කරුවන්ගේත් ආකාර කිහිපයක් සිටිනවා. කුඩා ප්‍රමාණයේ කම්කරුවන් පොළව හෑරීම, ගුල් ජාලය නිසියාකාරව පවත්වා ගැනීම ආදියේ නිරත වන විට විශාල ප්‍රමාණයේ කම්කරුවන් ආරක්ෂාව තර කිරීම සඳහා කටයුතු කරනවා.

දැන් ගැටලුවත් එනවා තනි රැජිනක් ප්‍රජනනයේ නිරත වෙනවානන් කාලයත් එක්ක කොලනි එක ඉන්බ්‍රීඩ් වීම නිසා ජානමය ගැටලු පැන නැගීම ගැන. (මේ කියන්නෙ ලඟම ඤාාතීන් අතර විවාහයෙන් ලැබෙන පරම්පරාවල දුර්වල ස්වාභාවය ගැන). ඒක එහෙම නොවෙන්න පරිණාමය වග බලන් තියෙනවා. මේ කොලනි වලින් ඇතැම් විට අවස්ථාව ලැබුනු සැනින් ඇතැම් ලිංගිකව පරිණත සතුන් පැන යනවා. මේ පැන යන සතුන් වෙනත් කොලනිවල ලිංගිකව පරිණත ගැහැණු සතුන් සමඟ එක්වී නව කොලනි බිහි කිරීම සිදු කරනවා. මේ ආකාරයට අඛණ්ඩව ජාන මුහුම් වීම සිදුවන නිසා පෙරකී ගැටලුව ඇති වන්නෙ නෑ.



බැලූ බැල්මට විපරීත සත්වයෙක් ලෙස දිස් වූවත් මේ නේකිඩ් මෝල් රැට්ස්/සෑන්ඩ් පපීස් එහෙම නැත්තන් නග්න මූසිකයන් පරිණාමිකව ඉතාමත් සුහුරු සත්ව විශේෂයක්. ක්ශිරපායි ලෝකය තුල සාමාන්‍යයෙන් තිබෙන හැකියාවනට එහා ගිය සුපිරි හැකියාවන් පවතින සත්වයෙක්. තමන් ජීවත්වන කටුක පරිසර පද්ධති තුල නොනැසී ජීවත් වීම සඳහා උපරිම ලෙස සකස්වු සත්ව විශේෂයක්. සෑම ජීවයකටම යම් ගරුත්වයක් හිමිවිය යුත්තෙ මේ හේතුවෙන්. ඔවුන් සියල්ලම වර්තමානය දක්වා පැමිණ ඇති ගමන් මඟ තුල විවිධවු අනේක බාධක ජය ගැනීමට ක්‍රම ක්‍රමයෙන් පැමිණ ඇති ගමන සැබැවින්ම අපූරු නිසා.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




හෙස්පරෝනිතොයිඩෙස් මීයෙස්ලෙරි (Hesperornithoides miessleri)


2019 ජුලි 09 දිනය තුල ලෝකයට හඳුන්වා දී තිබු 'නොටටෙසෙරේරැප්ටර් ෆ්‍රීකෙන්සිස්' නැමැති ඩයිනෝසර විශේෂය ගැන පරිණාමික දිනපොත තුලින් ඔබ කියවන්න ඇති. එම දිනය අවසන් වීමට ප්‍රථම තවත් නව ඩයිනෝසර විශේෂයක් ඇමරිකානු ෆොසිල විද්‍යාඥයන් විසින් ලෝකය හමුවේ තැබුවා.

ඇමරිකා එක්සත් ජනපදය තුල පිහිටන මොරිසන් සංකීර්ණය තුලින් සොයාගනු ලැබූ මේ නව විශේෂය හඳුන්වන්නේ 'හෙස්පරෝනිතොයිඩෙස් මීයෙස්ලෙරි' (Hesperornithoides miessleri) විද්‍යාත්මක නාමයෙන්.

වසර මිලියන 150 පමණ කාලනීර්නය වන හෙස්පරෝනිතොයිඩෙස් ඉතාමත් කුඩා රැප්ටර් විශේෂයක්. ඔබ කවුරුත් හඳුනන වෙලෝසිරැප්ටර් විශේෂයට ඤාතීත්වයක් දක්වන ඩ්‍රොමොසෝරිඩේ කාණ්ඩයට තමයි මේ නව විශේෂයත් අයත් වන්නෙ. රැප්ටර් විශේෂවල පොදු ලක්ෂණයක් වන දෑකැත්තක් මෙන් පිහිටන මුවහත් පා නිය හෙස්පරෝනිතොයිඩෙස්ලටත් පිහිටනවා. වෙලෝසිරැප්ටර් වැනි රැප්ටර් විශේෂ ජීවත් වන්නෙ වසර මිලියන 75 කට පමණ පෙර ක්‍රිටැසියස් අවධිය තුල නමුත් හෙස්පරෝනිතොයිඩෙස් ජීවත් වන්නෙ වසර මිලිය 150 පමණ පෙර ජුරැසික් අවධිය තුල.

හෙස්පරෝනිතොයිඩෙස් මීයෙස්ලෙරි ප්‍රතිනිර්මාණයක්

හෙස්පරෝනිතොයිඩෙස් පිළිබඳව පර්යේෂණවල නියැලෙන ෆොසිල විද්‍යාඥයින් සඳහන් කරන්නෙ පක්ශි පරිණාමික ක්‍රියාවලිය තුල මුල් පුරුකක් ලෙස හෙස්පරෝනිතොයිඩෙස් දැක්විය හැකි බවයි. මෙහෙම කියන්න හේතු වෙන්නෙ ඇතැම් පක්ශි ලක්ෂණ හෙස්පරෝනිතොයිඩෙස් ෆොසිල තුල දැකගන්න පුළුවන් නිසා. සෙන්ටිමීර 30 පමණ ප්‍රමාණයෙන් යුත් මේ කුඩා රැප්ටර් විශේෂය පිහාටු ආවරණයක් සහිත විශේෂයක් බවයි පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නෙ. එකල ජීවත්වු කුඩා ක්ශිරපායින් සහ උරගයන් හෙස්පරෝනිතොයිඩෙස් ආහාරයට ගන්නට ඇති බව සඳහන් වෙනවා.

හෙස්පරෝනිතොයිඩෙස් මීයෙස්ලෙරි අස්ථි සැකැස්ම



හෙස්පරෝනිතොයිඩෙස් මීයෙස්ලෙරි ෆොසිල

දිනපතාම පාහේ මෙවැනි නව ප්‍රාග්ඓතිහාසික ජීවී විශේෂ හඳුනා ගැනීම තුල පෘථෘවියේ ජෛව ඉතිහාසය පිලිබඳව අපගේ දැනුම සීඝ්‍ර ලෙස ඉහල යන පුරෝගාමී අවධියක තමයි අපි වර්තමානයේදි ජීවත් වෙන්නෙ. ෆොසිල විද්‍යාව පැත්තෙන් ගත්තොත් මේ ගෙවෙන්නෙ ෆොසිල විද්‍යාවේ ස්වර්ණමය අවධිය. ඒ ගැන ඔබට අදහසක් ගන්න පුළුවන් මේ සොයාගැනීම් වාර්තා වෙන වේගය අනුව.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Tuesday, September 10, 2019

නොටටෙසෙරේරැප්ටර් ෆ්‍රීකෙන්සිස් (Notatesseraeraptor frickensis)


මේ සටහන ලියන විට, 2019 ජුලි 09 වනදා ලෝකයට මේ නව විශේෂය හඳුන්වා දී තවමත් පැය 24 ක් ගතව නැහැ. ඒ නිසාම මේ ඩයිනෝසර විශේෂයේ වර්ණ ගැන්වු විද්‍යාත්මක ප්‍රතිනිර්මාණයක් ගෙන ඒමට නොහැකියි.

වසර මිලියන 209 කට පෙර ට්‍රියැසික් අවධියේ නෝරියන් උප අවධිය තුල තමයි මේ ඩයිනෝසර විශේෂය ජීවත් වෙන්නෙ. වර්තමාන යුරෝපයේ ස්විට්සර්ලන්තයෙන් හමුවන මේ ඩයිනෝසර විශේෂය තේරොපොඩ් කාණ්ඩයට අයත් මුල් කාලීන විශේෂයක්. මේ ආදීකාලීන තේරෝපොඩ්ස්ලව හඳුන්වන්නේ නියෝතේරොපොඩ්ස් කියලා.

කාලය හා සසඳා බැලු විට වසර මිලියන 209 කට පෙර යනු ඔබ කවුරුත් දන්න T-rex විශේෂය මිහිමත පහල වීමට වසර මිලියන 144 කට පමණ කලින් ජීවත් වූ විශේෂක් (T-rex ජීවත් වෙන්නෙ වසර මිලියන 65 කට පමණ පෙර ලේට් ක්‍රිටැසියස් අවධියේදි) . මේ කාල රාමුව වෙනත් විදිහකින් විස්තර කරොත් T-rex සහ අප (Homo sapiens) අතර කාලය අඩුයි T-rex සහ මේ ෆ්‍රීකෙන්සිස් විශේෂය අතර ගතව තිබෙන කාලයට වඩා.

මේ ඩයිනෝසරයාට අයත් හොලොටයිප් නිදර්ශකය සම්පූර්ණවු කපාලයක්,ඉදිරි ගාත්‍රා සහ උදර ප්‍රදේශය තමයි හමුවෙලා තිබෙන්නෙ. පසුකාලීන ක්‍රිටැසියස් යුගය තුල හමුවන ඇවරොස්ට්‍රා කාණ්ඩයට සහ ඩිලැෆසෝරස් ගනයට රූපීයව සමානකම් දක්වන ඩයිනෝසර විශේෂයක් තමයි මේ ෆ්‍රීකෙන්සිස්. පර්යේෂණ පත්‍රිකාවට අනුව ෆ්‍රීකෙන්සිස් කියන්නෙ ඉහත සඳහන් කල පසුකාලීන ඇවරොස්ට්‍රා සහ ඩිලැෆසෝරස් වැනි ඩයිනෝසරයන්ගෙ පූර්වජ අවස්ථාවක්.

මේ මස මුල් සතිය තුල 'වෙස්පසෝරස් පැරනෙන්සිස්' නම් තෙරෝපොඩ් විශේෂය ලෝකයට හඳුන්වා දී තිබුනු අයුරු ගැන සඳහන් කරා ඔබට මතක ඇති. සතියක් ගතවීමට මත්තෙන් මේ ලෝකයට හඳුන්වාදෙන දෙවන තේරොපොඩ් විශේෂය. ෆොසිල විද්‍යාව අති දියුණු තාක්ෂණික ක්‍රම ඔස්සේ ඉදිරියට ඇදෙන වේගය ගැන ඉන් ඔබට අදහසක් ගන්න පුළුවන්. ෆ්‍රීකෙන්සිස් විශේෂයේ විද්‍යාත්මක ප්‍රතිනිර්මාණයක් ඉතාමත් ඉක්මනින්ම ඔබට බලාගන්න පුළුවන් වෙයි.

පහත තිබෙන්නේ ෆ්‍රීකෙන්සිස් ෆොසිලයේ ඡායාරූප. පලමු සටහනෙ මධ්‍යයේ ඇති ප්‍රතිනිර්මාණය තුල සකස් කර ඇති අස්ථි කොටස් පමණයි මෙතෙක් සොයාගෙන තිබෙන්නෙ.



මේ දෙවන ඡායාරූපයේ තිබෙන්නෙ ෆ්‍රීකෙන්සිස් කපාලය. එය ඉතාමත් පූර්ණ ලෙස සංරක්ෂිත තත්වයෙන් ලැබී තිබෙනවා.



(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




කුහුඹුවන්ගෙ වහල් සමාජ ක්‍රමය (Ant slavery)


කුහුඹු විශේෂ අධ්‍යනය කියන්නෙ ඉතාමත් සිත්ගන්නාසුළු විෂයක්. ලෝකය පුරා පැතිරි ඇතී දස දහස් ගනනක් වූ කුහුඹු විශේෂ තම තමන්ට ආවේණික විවිධ හැසිරීම් රටා පෙන්වනවා. වගා කරන කුහුඹුවන්, විවිධ ශාඛ සමඟ සහජීවී සබඳතා ඇති කරගනිමින් කුහුඹුවන් වෙනුවෙන්ම ශාඛ විසින් නිපදවන කොටස් තුල ජීවත්වන කුහුඹුවන්, සමස්ථ වැසි වනාන්තර පද්ධතිවලම බර කරටගෙන ජීවත්වන කුහුඹුවන්, විවිධ කොලනි අතර යුධ වදින කුහුඹුවන්, මිනිසුන් ගව පාලනයේ යෙදෙනවා මෙන් කූඩිත්තන් පාලනය කර සිය පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නා කුහුඹුවන්, තමන් ගමන් කරනා මාර්ගයේ ඇති සියළු ජීවය විනාශ කරන කුහුඹුවන් ආදී වු දහසක් කුහුඹු වග තුග ඔබ මේ විෂයට අවතීර්ණ වුනොත් දැනගන්න පුළුවන්. වෙලාව ලැබුනොත් ඔවුන් ගැනත් යමක් ඉදිරියේදි සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දහසක් විශේෂ අතරින් වහල් සේවය ක්‍රියාත්මක කරන කුහුඹුවන් ගැන තමයි මේ සටහන.

මේ සිද්ධියේදි ඇත්තටම වෙන්නෙ ඇතැම් කුහුඹු විශේෂ වෙනත් කුහුඹු විශේෂ වල කැදලි ආක්‍රමණය කර ආක්‍රමණයට ලක් වූ කුහුඹුවන්ගෙ පිලවුන් පැහැරගෙන යෑම. මේ ආකාරයෙන් පැහැරගෙන වන පිලවුන් ආක්‍රමණිකයාගෙ කැදැලි තුල කුහුඹු අවස්ථාවට පරිවර්තනය වෙනවා. නමුත් එසේ පරිවර්තනය වුනාට ඔවුන් දැන් ආක්‍රමණික කුහුඹුවන්ගෙ වහළුන්.

මේ ආක්‍රමණ සඳහා පිටත් වෙන්න කලින් ආක්‍රමණිකයන් විසින් තොරතුරු සෙවීම සඳහා පිටත්කර යවන කුහුඹුවන් ආක්‍රමණය කල හැකි කැදලි පිලිබඳව තොරතුරු රැගෙන එනවා. එසේ එන තොරතුරු රැස් කරන්නන් තමන් යන එන මාර්ගයේ පෙරමෝන (ශරීරයේ නිපදවන රසායනික සංයෝගයක්) තැවරීම සිදුකරනවා. මේ පෙරමෝන ඔස්සෙ ආක්‍රමණික හමුදාවන්ට පුළුවන් ආක්‍රමණය කලයුතු කැදලි සොයා ගැනීමට. මේ සටන් තුල සාමාන්‍යයෙන් සිදුවන්නෙ ආක්‍රමණයට ලක්වු විශේෂ පලා යෑම. එසේ පලා නොගොස් සටන් කරොත් සාමාන්‍යයෙන් සටන කෙලවර වන්නෙ දෙපිලේම සටන් වදින්නන්නට විශාල හානි ගෙන දෙමින්. ආක්‍රමණයට ලක් වන්නන්ගෙ කොලනි වල පිරිස් බලය වැඩිනම් මේ සටන් දිගු වෙනවා. නමුත් බොහෝවිට සිදුවන්නෙ ආක්‍රමණිකයා ජය ගැනීම. සාමාන්‍යයෙන් ගනන් බලා ඇති අන්දමට එක් ප්‍රහාරයකින් වහළුන් 14000 ක් පමණ නැවත තමන්ගෙ කැදැල්ල වෙත ගෙන යෑම සිදුකරනවා.

ආක්‍රමණිකයන්ගෙ සියළු බර වැඩ ඉන්පස්සේ කරන්නෙ වහළුන් විසින්. ආක්‍රමණිකයන්ගෙ පිලවුන් බලා ගැනීම, ආක්‍රමණිකයන්ගෙ කැදලි වෙනත් සතුරන්ගෙන් ආරක්ෂා කිරීම ආදිය මොවුන් සිදුකරනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල ආක්‍රමණ සඳහාත් ඔවුන් සහභාගි වෙනවා.

වහල් සේවය ක්‍රියාත්මක වෙන හැම තැනකදිම වගේම මේ කුහුඹු ලෝකය තුලත් වහලුන් විසින් කැරලි දියත් කරනවා. සමහර වහල් විශේෂ මේ කැරලි දියත් කර ආක්‍රමණිකයාගෙ පිලා අවස්ථා විනාශ කර දමනවා. මේ හේතුවෙන් ආක්‍රමණිකයන්ගෙ පිරිස් බලය අවම වීම නිසා වහලුන්ගෙ සත්‍ය වශයෙන්ම අයත් කැදලි ආක්‍රමණිකයන්ගෙ පීඩනයෙන් ආරක්ෂා වෙනවා. ඒ වහල් විශේෂ තමන්ගෙ පැවැත්ම සඳහා පරිණාමිකව ඇතිකරගෙන තිබෙන හැසිරීම් රටාවක්.

පහතින් සඳහන් කරන්නෙ ආක්‍රමණික සහ අාක්‍රමණයට ලක්වන විශේෂ කිහිපයක්. වැඩිදුර හොයන්න කැමති අයට මේ නම් භාවිතා කරන්න පුළුවන්.
  • Rossomyrmex–Proformica
  • Polyergus–Formica
  • Formica–Formica
  • Leptothorax–Chalepoxenus
  • Leptothorax–Epimyrma
  • Leptothorax–Harpagoxenus 
  • Leptothorax–Leptothorax
  • Leptothorax–Protomognathus
  • Myrmoxenus–Temnothorax
  • Strongylognathus–Tetramorium

1859 ඔන් ද ඔරිජින් ඔෆ් ස්පීශිස් ග්‍රන්ථයේ චාර්ල්ස් ඩාවින් විසින් මේ කුහුඹුවන් ගැන සඳහන් කරනවා. ඔහුට අනුව මේ වහල් සේවය පරිණාමය වීම ඇරඹෙන්නෙ ආක්‍රමණික විශේෂයේ ආහාර රටාව නිසා. ඒ කියන්නෙ මුල් කාලයේදි ආක්‍රමණියන් කැදලි ආක්‍රමණය කර පිලවුන් ආහාරයට ගත්තත් පසු අවස්ථාවල ක්‍රමයෙන් පිලවුන් ඔවුන්ගෙ කැදලි තුලට රැගෙන යෑමත් සමඟම වහල් සේවය ඇරඹි ඇති බවයි ඒ මතයෙ සඳහන් වන්නෙ.

කොහොම නමුත් කුහුඹු ලෝකය කියන්නෙ ඔබ හිතනවාට වඩා අපූරු සංකීර්ණ සමාජ ක්‍රම සහිත ලෝකයක්. මිටර් ගනනාවක් උස ඩයිනෝසරයන් වගේම මිලිමීටරයක කුහුඹුවකුගෙ ලෝකය තුලත් ජීවයේ අපූර්වත්වය සටහන්ව තිබෙනවා.

පහත ඡායාරූපයේ සිටින්නෙ Polyergus lucidus වහල් හිමියෙක් Formica archibaldi වහලුන් සමඟ...





(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ෆොසිල ප්‍රතිනිර්මාණය (Fossil Reconstruction)


බොහෝ දෙනාට තිබෙන ගැටලුවක් තමයි වසර මිලියන ගනනක් පැරණි ජීවීන්ගෙ ෆොසිල අනුසාරයෙන් කොහොමද ඔවුන්ව ප්‍රතිනිර්මාණය කරන්නෙ කියන එක. මේ සතුන් මේ වගේමද ? නැත්තන් මේ ප්‍රතිනිර්මාණ හුදෙක් උපකල්පන මත ගොඩනඟා ඇති හිතළු පමණක්ද ?

දැන් මේ උදාහරණයට මම අරන් තියෙන්නෙ ටී⁣ රෙක්ස් (T rex), ඩයලැෆසෝරස් වෙදරිලි (Dilophosaurus wetherilli), ස්මයිලඩොන් පොපියුලේටර් (Smilodon populator) සහ මෙගලසෙරෝස් ජයිගැන්ටුස් (Megaloceros giganteus) නැමැති සත්ව විශේෂ හතර. පහත ඡායාරූප දිහා බැලුවොත් ඔබට බලාගන්න පුළුවන් ඔවුන්ගෙ අස්ථි පිහිටන ආකාරය. සම්පූර්ණ ෆොසිලයම ඇතැම්විට නොලැබුණත් අස්ථි විද්‍යාව (Osteology) අනුව මේ අස්ථි පිහිටන ආකාරය ගැන ඉතාමත් නිවැරදි අවබෝධයක් ෆොසිල විද්‍යාවෙ නියැලෙන අයට තිබෙනවා. ඒ වගේම මේ ෆොසිල තුල අස්ථි සටහන් අනුව මාංශපේශින් සවිව තිබු ආකාරය ගැන අදහසක් ලබාගන්න පුළුවන්.

ටී⁣ රෙක්ස් අස්ථි සැකැස්ම 

මේ ෆොසිල CT scan, X ray ආදියට යොමු කරාට පසුව අස්ථි හා සම්බන්ධව තිබු මාංශපේශින්වල ප්‍රමාණය ගැන නිවැරදි අදහසක් ලබා ගන්න පුළුවන්. සෑම අස්ථියකම ඊට සවිව තිබු මාංශපේශිය ගැන සටහනක් තිබෙනවා. දියුණු ක්‍රම මඟින් මේවා විශ්ලේෂණය කර ලැබෙන තොරතුරු ඉතාමත් නිරවද්‍යතාවක් සහිත තොරතුරු බවට පත්වෙනවා. උදාහරණයකට මනුශ්‍ය හෝ හොමිනිඩ් කපාලයක් ගත්තොත් මස්තිශ්කයේ ප්‍රමාණය, එහි නැමුම් දාරවල් ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන්.

මාංශපේශීන් ගැන නිවැරදි අදහසක් ලබාගත් පසු සත්වයා බොහෝ දුරට ප්‍රතිනිර්මාණය වී අවසන්. පහත උදාහරණ වල ටීරෙක්ස් ඡායාරූපය බැලුවොත් ඔබට දකින්න පුළුවන් අස්ථි අනුව ප්‍රතිනිර්මාණය කල මාංශපේශි පද්ධතිය. මාංශපේශි පද්ධතිය නිර්මාණය වු පසු සම පිහිටන ආකාරය පමණයි ප්‍රතිනිර්මාණය කරන්න ඉතිරි වන්නෙ.


ටී⁣ රෙක්ස් අස්ථි අනුව ප්‍රතිනිර්මාණය කල මාංශපේශි පද්ධතිය

ඇතැම් ෆොසිලවල සම පිහිටා තිබු ආකාරය සටහන් වෙලා පවතිනවා. ඉගුවානොඩොන්ටිඩේ, හැඩ්රොසෝර් වගේ ගනයන් කාණ්ඩ ගත්තම ඉතාමත් ඝණකම් සම පිහිටා තිබූ සත්වයන්. හැඩ්‍රොසෝර් සම් සටහන් ගනනාවක් පෞද්ගලික මා නිරීක්ෂණය කර තිබෙනවා. ඒවා බහුලව ලැබෙන්නෙ ඒවායෙ තිබෙන ඝනකම නිසා ඉතා හොඳින් සංරක්ෂණ වීමෙන්. එවැනි සාධක මත සම ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන්. ඒ අවස්ථාවෙදි අදාල සත්වයා 99% ප්‍රතිනිර්මාණය වී අවසන්.

වර්ණ රටා ඇතැම් ෆොසිල තුල සටහන්ව තිබෙනවා, එසේ පැවතුනොත් ඒ අනුව පුළුවන් සත්වයාට වර්ණය ලබා දෙන්න. නමුත් එවැනි අවස්ථා විරලයි. බොහෝ විට ලැබෙන වර්ණය අදාල පරිසරයන් අනුව උපකල්පනය වූවක්. වර්තමානයේදි ජීවත්ව සත්වයින්ගෙ හැසිරීම් රටා, ඔවුන් අයත් පරිසර අනුව වෙනස්වන ආකාරය ආදිය සලකා බලා තමයි ඒ උපකල්පන ගොඩනැගෙන්නෙ.

ප්‍රතිනිර්මාණය සිදුවන සංකීර්ණ ආකාරය ගැන සරල සටහනක් තමයි මේ. නමුත් මෙයින් ඔබට අදහසක් ලබාගන්න පුළුවන්.


ඩයලැෆසෝරස් වෙදරිලි අස්ථි සැකැස්ම
ඩයලැෆසෝරස් වෙදරිලි ප්‍රතිනිර්මාණය 


ස්මයිලඩොන් පොපියුලේටර් අස්ථි සැකැස්ම
ස්මයිලඩොන් පොපියුලේටර් ප්‍රතිනිර්මාණය


මෙගලසෙරෝස් ජයිගැන්ටුස් අස්ථි සැකැස්ම 
මෙගලසෙරෝස් ජයිගැන්ටුස් ප්‍රතිනිර්මාණය



(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




අපේක්ෂා නොකළ පරිණාමය (Unexpected Evolution)





(නිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




ප්‍රභාසංස්ලේෂණය සිදුකරන හම්බෙල්ලන් (Sea slugs with photosynthetic ability)


ඔබ දන්නවා ප්‍රභාසංස්ලේෂණය මඟින් ආහාර නිපදවීම සිදුකරන්නේ ශාඛ සහ හරිත ඇල්ගී වැනි ජීවී කාණ්ඩ කියලා. නමුත් සත්ව ලෝකය තුලත් තිබෙනවා ඉතාමත් විරල අවස්ථා කිහිපයක් සත්වයින් විසින් ප්‍රභාසංස්ලේෂණය සිදුකරන.

Elysia chlorotica විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන 'ග්‍රීන් සී ස්ලග් (Green sea slug)' නැමැති මොලුස්කාවන් විශේෂය තමන් ආහාරයට ගන්න ඇල්ගී විශේවල ක්ලෝරොප්ලාස්ට් අවශෝෂණය කරගනිමින් තමන්ම ප්‍රභාසංස්ලේෂණය සිදුකරගනු ලබනවා. මේ සඳහා අවශ්‍ය ජානමය හැකියාව මේ වර්ගයේ මුහුදු හංබෙල්ලන්ට උපතින්ම ලැබෙන දෙයක්. ප්‍රභාසංස්ලේෂණ හැකියාය කියන්නෙ තමන්ටම සුර්යාලෝකය උපයෝගී කරගෙන ආහාර නිපදවීමේ හැකියාව. වෙනත් ශාඛ, ඇල්ගී වැනි ප්‍රාථමික නිශ්පාදකයන්ගෙන් යැපීමේ අවශ්‍යතාවක් නෑ මේ හැකියාව තිබෙනවානම්. එවිට ක්‍රියාත්මක වන්නෙ සූර්ය බලයෙන්. Elysia chlorotica අයත් සැකොග්ලොසා ක්ලේඩයෙ තවත් විශේෂ වලට මේ හැකියාව පවතිනවා.



ග්‍රීන් සී ස්ලග්


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




ක්ෂීරපායින්ගේ අවධිය (Epoch of Mammals)


ට්‍රියැසික්, ජුරැසික්, ක්‍රිටැසියස් යුග අයත් වන්නෙ මීසෝසොයික මහා අවධියට. මීසෝසොයික මහා අවධිය කියන්නෙ උරගයන් පෘථිවිය තුල සිය අණසක පැතිරවු කාලපරිච්ඡේදය. ක්‍රිටැසියස් යුගය තමයි මීසෝසොයික මහා අවධියේ අවසන් යුගය. අදින් වසර මිලියන 65 කට පමණ පෙර ඇස්ටරොයිඩ ඝට්ටනය සමඟින් සිදුවන මහා නශ්ඨවීමත් සමඟ ක්‍රිටැසියස් යුගය අවසන් වෙනවා. ඒ සමඟම මීසෝසොයික මහා අවධියත් අවසන් වෙනවා. ඒ වගේම උරගයන්ගෙ කාලපරිච්ඡේදය අවසන් වෙනවා. ඉන්පසු එළඹෙන්නෙ සෙනොසොයික මහා අවධිය. සෙනොසොයිකය කියන්නෙ ක්ශිරපායින්ගෙ නැගී සිටීම.

ඩයිනෝසරයන් මිහිමත විසු අවධිය තුල ඉතාමත් කුඩා ශරීර දැරූ ක්ශිරපායින් නිශාචර ජීවිතවලට හුරුවු කුඩා සත්වයින් ලෙස ජීවත් වෙන්නෙ. ඔවුන් පොළව තුල ගුල් හාරා ගනිමින් අඳුරු අහුමුලු තුල ජීවත් වීමට පරිණාමය වෙනවා. ක්‍රිටැසියස් යුගයෙන් පසු ඩයිනෝසරයන් වඳව ගිය පෘථෘවිය තුල නව පාරිසරික නිකේතන තුල රික්තයන් හටගන්නවා ජීවී විශේෂ වලට පරිණාමය වෙන්න. මේ පරිණාමික අවකාශය ඉතා ඉක්මනින්ම ග්‍රහණය කරගන්නවා එතෙක් කල් කුඩාවට සිටි ක්ශීරපායින්. ඉන්පසු සෙනෝසොයික මහා අවධිය තුල ඔවුන් ප්‍රමාණයෙන් විශාල වෙමින් විවිධත්වයෙන් අධික වී පෘථෘවිය සිය අණසකට නතුකරගන්නවා. අදින් වසර මිලියන 65 කට පමණ පෙර ඇරැඹි ක්ශිරපායින්ගෙ ආධිපත්‍ය තමයි වර්තමානය වෙනකම්ම ක්‍රියාත්මක වෙමින් යන්නෙ.

මේ කෙටි සටහන ඉදිරපත් කරන්න හිතුනෙ සයිබර් අවකාශයේ සැරිසරමින් ඉඳිද්දි මුණගැසුන මේ ඡායාරූපය නිසා. මේ ගෙවෙන්නෙ පෘථාවිය තුල ක්ශිරපායින්ගෙ අවධිය කියන්න මේ ප්‍රකාශනය ප්‍රමාණවත්.





(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ෂෞවේ ගුහා චිත්‍ර (Paintings of Chauvet cave)


ඊයේ දිනයෙදි ප්‍රංශයේ ෂෞවේ ගුහා සංකීර්ණය තුල ඇඳ ඇති ගුහා සිංහයන් පිළිබඳව සටහනක් ඉදිරිපත් කරා. ෂෞවේ ගුහා චිත්‍ර සම්බන්දයෙන් තවත් සටහනක් තැබිය යුතු යැයි සිතුනෙ මේ ප්‍රාග්ඓතිහාසික සිත්තරුන්ගෙ හැකියාවන් තවත් උත්කර්ෂයට නැගිය යුතුයැයි හැඟුනු බැවින්.

පුනරුද චිත්‍ර ශිල්පය තුල මුදුන් මල්කඩ මයිකල් ඈන්ජලො විසින් සිතුවම් ඇඳී සිස්ටීන් දේවස්ථානය නම් ප්‍රාග්ඓතිහාසික චිත්‍ර ශිල්පියාගෙ හැකියාවන් උපරිම ලෙස විදහා දක්වන ප්‍රාග් ඉතිහාසයේ සිස්ටීන් දේවස්ථානය වන්නෙ ෂෞවේ ගුහා සංකීර්ණයයි. දැනට වඳව ගිය නමුත් එකල ජීවත් වූ සත්ව විශේෂ 13 ක පමණ විවිධ චිත්‍ර, ප්‍රාග්ඓතිහාසික මානවයන්ගෙ අත් සටහන්, ප්‍රාග්ඓතිහාසික මානවයන් මේ ගුහා සංකීර්ණය තුලට පිවිසෙන විට රැගෙන ගිය පන්දම් වල දැලි පහරවල්, අඩි සටහන් පවා මෙහි සුරක්ෂිතව සංරක්ෂණය වී පවතිනවා.



ඉහත ඡායාරූපයේ වම් පස තිබෙන්නේ මීට වසර 30000 පමණ පෙර මතකයෙන් ඇඳී චිත්‍රයක්. එහි දැක්වෙන්නෙ ප්ලයස්ටොසීන යුගයේ අවසාන භාගයට වන්නට ජීවත් වූ ප්‍රංශ තැනිතලාවල සැරි සැරූ අශ්ව විශේෂක්. දකුණු පසින් දැක්වෙන්නෙ එලෙස වඳව ගිය අශ්ව විශේෂට ලඟම නෑකම් කියන වර්තමානයේ ජීවත්වන ප්‍රෙස්වල්ස්කීස් අශ්වයෙකුගෙ ඩිජිටල් ඡායාරූපයක්. මේ දෙස සංසන්දනාත්මකව බලා ඔබම තීරණය කරන්න ෂෞවේ ලෙන් චිත්‍ර වල වටිනාකම...


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




පුරාතන මානව චිත්‍ර (Ancient human paintings)


ඔබ දන්නවා වර්තමානයේදි යුරොපා කලාපය තුල සිංහයන් ස්වාභාවිකව වාසය කරන්නෙ නැති බව. නමුත් මීට වසර 30000 පමණ පෙර වර්තමාන සිංහයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල මෙන්ම රෞද්‍ර, ගුහා සිංහයන් යුරොපා කලාපය තුල ජීවත් වූනා.

ගුහා සිංහයන්ගෙ ෆොසිල වලටත් වඩා ආකර්ශනීයම මතකයන් පවතින්නේ පුරාතන මානවයන් (හෝමො සේපියානු ආදිතමයන්) මේ ගුහා සිංහයන්ව චිත්‍රයට නගා ඇති ආකාරය තුල. වර්තමාන ප්‍රංශය තුල තිබෙන ෂෞවේ ගුහාව තුල වසර 30000 පමණ පෙර ජීවත්වූ මානවයන් ඇසින් දු⁣ටු ගුහා සිංහයන්ව චිත්‍රයට නගා තිබෙන්නෙ මෙලෙස. අධික ශිතල පැවති හිම යුගය තුල ශිතලත් සමඟ ගැටෙමින් බියකරු මෘගයන් අතර දිවි රැකගත් ආදිතමයන් සිය මතකයන් ඉතාමත් අපූරුවට චිත්‍රයට නගා තිබෙනවා.



මේ චිත්‍ර ගැන සඳහන් කරද්දි තවත් එක් විශේෂ කරුණක් සඳහන් කල යුතුයි.ඔබට පේනවා ඇති එක පිට එක සිංහයන් ඇඳ ඇති ආකාරය. මේ චිත්‍රාකාරය තුලින් සිත්තරුවා පෙන්වීමට උත්සහ කරන්නෙ සිංහයාගෙ චලනය බව ඇතැම් විශේෂඥයන් සඳහන් කරනවා.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




වෙස්පසෝරස් පැරනෙන්සිස් (Vespersaurus paranaensis)


මීට පෙර ෆොස්ටෝරියා නැමැති නව ඔස්ට්‍රේලියානු ඩයිනෝසර විශේෂය ගැන පරිණාමික දිනපොතේ සටහන් කරද්දි මා සඳහන් කරා එම සටහන ලියන අවස්ථාවෙත් තවත් නව මාංශභක්ෂක නව ඩයිනෝසර විශේෂයක් ලොවට හඳුන්වා දී ඇති බව. පොරොන්දු වු ලෙස ඒ විශේෂය ගැනයි මේ ලිපිය.

වසර මිලියන 90 කට පමණ ප්‍රථම ක්‍රිටැසියස් යුගයේ වර්තමාන බ්‍රසීල ප්‍රදේශයන් වසාගෙන පැවතියේ කාන්තාර භුමී. මේ කාන්තාර භූමි තුල වසු පැටියෙකුගෙ ප්‍රමාණයට සමාන මාංශභක්ෂක ඩයිනෝසර විශේෂයක් ජීවත්ව සිටියා. වසර පනහකට පමණ ප්‍රථම ෆොසිල විද්‍යාඥයන් විසින් හඳුනා නොගත් විශේෂයකට අයත් ඩයිනෝසර පා සටහනක් මේ ප්‍රදේශය තුලින් සොයාගෙන තිබුනත් මේ සටහන අයත් විශේෂය කුමක්ද යන්නට ඔවුන් හඳුනා ගැනීමට අසමත් වුනා. දින කිහිපයකට පෙර අනාවරණය කල 'වෙස්පසෝරස් පැරනේන්සිස්' යනු එම පා සටහන අයත් කුඩා ප්‍රමාණයේ විලෝපික ඩයිනෝසර විශේෂයයි.


වෙස්පසෝරස් ප්‍රතිනිර්මාණයක්

වෙස්පසෝරස් විශේෂය අයත් වන්නෙ 'නෝසෝරිනේ' නැමැති ඩයිනෝසර කාණ්ඩයට. අඩි 5.2 දිගින් සහ අඩි 2.6 උසින් යුත් මේ විශේෂය තේරොපොඩ් ඩයිනෝසර විශේෂයක් (තෙරොපොඩ්ස් බෙදීම ගැන මීට පෙර මේ පිටුව තුලින් සටහන් කර තිබෙනවා). වෙස්පසෝරස්ගෙ තිබෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි පාදයේ මැදැඟිල්ල පමණක් බිම සම්පූර්ණයෙන් පතිත වන ලෙස සංචාරණයේ යෙදීම.

වෙස්පසෝරස් ෆොසිලය 

 වෙස්පසෝරස් විශේෂයේ සොයාගත් ෆොසිලය 40% පමණ සම්පූර්ණ ෆොසිලයක්. මේ ෆොසිලය සම්බන්දයෙන් හැසිරීම් රටා, ආහාර රටා ආදිය ගැන ඉදිරි පරීක්ෂණ වලින් හෙලි වනු ඇති. මේ වන විට බ්‍රසීලයෙන් සොයාගත් ඩයිනෝසර විශේෂ සංඛ්‍යාව 40 දක්වා ඉහල ගොස් තිබෙනවා මේ විශේෂයේ සොයාගැනීමත් සමඟම.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




වේගයෙන් දිවිය හැකි ප්‍රාග්ඓතිහාසික කිඹුලන් (Swift prehistoric crocodile ancestors)


කිඹුලන් කියන්නෙ ජලජ පරිසරය තුල අති බිහිසුණු විලෝපිකයන් කණ්ඩායමක්. වසර මිලියන ගනනක කිඹුල් වර්ගවල පරිණාමය තුල එක්තරා අවධියක ජීවත්ව තිබෙනවා ඉතාමත් වේගයෙන් ගොඩබිම පවා දිවිය හැකි කිඹුල් විශේෂ. මේ සටහන එවන් විශේෂයක් ගැන.

වසර මිලියන 95 කට පමණ පෙර ක්‍රිටැසියස් යුගෙයේ වර්තමාන නයිජර් රාජ්‍ය පවතින ප්‍රදේශය තුල ජීවත් වු මේ විලෝපික විශේෂයේ නම "කැප්රෝසූකස් සහරිකුස් (Kaprosuchus saharicus)".

කැප්රෝසූකස් හකු අතර දිගු පිහිතල මෙන් පිහිටන දත් යුගල් තුනක් දකින්න පුළුවන්. වෙනත් කිසිඳු කිඹුල් ආකාරයකට නොපිහිටන මේ දන්ත සැකැස්ම ඉතාමත් විශේෂිතයි. එමෙන්ම කිඹුල් ආකාරවල අක්ශි කුහර සාමාන්‍යයෙන් පිහිටන්නෙ ඉහලට ඉස්සී ඇති අකාරයට. ඒ ජලයේ සිටියදි ඇස් පමණක් ජල මට්ටමෙන් ඉහලට එසවිය හැකි ආකාරයට. නමුත් කැප්රෝසූකස් කපාලයේ අක්ශි කුහර පිහිටන්නෙ පාර්ශ්වීක ලෙස. මේ කාරණය ගොඩබිම විලෝපීකතාව සඳහා සැකසුනු අනුවර්තනයක් ලෙස තමයි ෆොසිල විද්‍යාඥයන් පෙන්වා දෙන්නෙ.

කැප්රෝසූකස් ෆොසිල හිසක්

කැප්රොසූකස් මධ්‍ය ක්‍රිටැසියස් යුගය තුල අප්‍රිකානු තැනි බිම්වල වර්තමාන බිළාලයන් මෙන් දඩයම් කරන්නට ඇති බව විශ්වාස කරනවා. වර්තමානයේ විශාලතම කිඹුල් විශේෂවල මධ්‍යන විශාලත්වය සලකා බැලුවොත් එය අඩි 17 පමණ. නමුත් ක්‍රිටැසියස් යුගය තුල අප්‍රිකාව දඩබම් කරගත් කැපුරෝසූකයන් අඩි 20 පමණ දිගින් යුත් සත්වයන්.

කැප්රෝසූකස් සහරිකුස් ප්‍රතිනිර්මාණයක්

අඩි 20 පමණ විශාලත්වකින් යුත්, රාත්තල් 2000 පමණ බරැති, වේගයෙන් ගමන් කල හැකි, සන්නාහයක් පැළඳි ශරීරයක් මෙන් වු, දිගු පිහිතල මෙන් දත් පිහිටන කැප්රෝසූකයන් ඩයිනෝසරයන් පවා ආහාරයට ගන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. වෙනත් ඩයිනෝසර ෆොසිල වල පවතින දත් පහරවල සලකුණු කැප්රෝසූකස් දත් සමඟ ගැලපීම මේ බවට සාක්ශියක්.

කැප්රෝසූකස් හිසක ප්‍රතිනිර්මාණයක්

මෙවන් කිඹුල් ආකාර (crocodiliforms) විශේෂ ගනනාවක් ලෝකය පුරාම හමුවනවා. මොවුන් වර්තමාන කිඹුල් පරපුරට දුරින් නෑකම් කියු සත්වයන්. කිඹුල් ආකාරවල ගන නාමයන්ට 'සූකස්' ප්‍රථ්‍ය එක්වන ආකාරය ගැන මීට කලකට පෙර ලිපියකදි පිටුව තුලින් විස්තර කර තිබෙනවා. ඉදිරියේදි මේ ආකාරයේ තවත් සත්වයින් ගැන සටහන් කිරීමට බලාපොරොත්තු වෙනවා.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




පරාග (Pollen)


සුළඟ මඟින් පරාගනය වීම කියන්නෙ අතිශයින්ම ආකාර්යක්ශමික පරාගන ක්‍රියාවලියක්. පරාගධානි තුල නිපදවෙන (පුරුශ කොටස) කලංකය මත (ස්ත්‍රී කොටස) තැන්පත් වීම තමයි පරාගනය ලෙස හඳුන්වන්නේ. නමුත් සුළඟ මඟින් පරාගනය වීමේදි මෙය සිදුවීමේ සම්භාවිතාව අනෙක් ක්‍රම හා සසඳද්දි අතිශයින්ම අවමයි. උදාහරණයකට ගමු කෘමින් මඟින් පරාගනය.මේකෙදි කෘමින්ගෙ පාදවල දැවටෙන පරාග එම කෘමියා නැවත පුශ්පයක් මත ගැටෙද්දි කලංකය මතට යෑමේ සම්භාවිතාව ඉහලයි. නමුත් සුලඟ මඟින් පරාගනය සිදුවෙන ශාඛ වලට පරිණාමිකව ලැබී තිබෙනවා මේ අඩුවෙන් පරගෙනය වීමේ සම්භාවිතාව ඉහල දැමීම සඳහා අවශ්‍ය උපාය මාර්ග. ඉන් ප්‍රධානම එක තමයි පරාග අති විශාල ප්‍රමාණයක් නිපදවීම.



මේ ශාඛය තුලින නික්මෙන්නෙ එවැනි පරාග. ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල වසරේ එක් කාලයකට මෙලෙස පරාග බිලියන ගනනක් වායගෝලයට එකතුවී ඇතැම් ප්‍රාන්ත තුල හුස්ම ගැනීමේ අපහසුතා පවා නිර්මාණය වෙනවා. මේ ඇතැම් පරාග මිනිස්සුන්ට ආසාත්මීකතා ඇතිකරනවා. පයිනස්, සීඩර්, සයිප්‍රස් වගේ ගන වල ශාඛ මේ දේ සිදුකරනවා.

පරාග වල තිබෙන එක් වාසියක් තමයි මේවා හැම තැනම පැතිරීම. ඕනෑම බිම් කඩක් ගෙන කැණීමක් සිදු කරොත් එක් එක් යුගය තුල පතිත වු පරාග කොටස් ඒ ඒ ස්ථරයන් තුල සංරක්ෂණ වී පවතිනවා. ඒ අනුව අපට ඒ ඒ කාලය තුල පැවති පාරිසරික තත්වයන්, දේශගුණික ස්වාභාවයන්, හරිත ආවරණය වැනි කරුණු ගැන ඉතාමත් නිරවද්‍ය අදහසක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.


(වීඩියෝව අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ෆොස්ටෝරියා ඩිම්බාන්ගුන්මල් (Fostoria dhimbangunmal)


ජුනි මස (ජුනි/2019) මුල් සතිය තුල ඔස්ට්‍රේලියාවෙන් සොයාගත් නවතම ඩයිනෝසර විශේෂය තමයි "ෆොස්ටෝරියා ඩිම්බාන්ගුන්මල්". 'ෆොස්ටෝරියා කියන ගන නාමය ලැබෙන්නේ අදාල ඩයිනෝසර ෆොසිල ලැබුන පතල සොයාගත් ෆොස්ටර් නැමැති පතල්කරුවාට ගෞරවයක් ලෙස. "ඩිම්බාන්ගුන්මල්" නමින් හඳුන්වන්නෙ අදාල ෆොසිල සොයාගත් ස්ථානයට ඔස්ට්‍රේලියානු ඇබොරොජින්වරු භාවිතා කල ස්වදේශික නාමය.

ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ ග්‍රිමන් ක්‍රීක් සංකීර්ණයෙන් තමයි මේ සොයාගැනීම සිදුකරන්නෙ. ඉගුවානොඩොන්ටිඩේ (Iguanodontidae) වර්ගයට අයත් වන මේ විශේෂයේ සමාජිකයන් සිව් දෙනෙකුගෙ ෆොසිල මේ ස්ථානයෙන් හමුවෙනවා. මෙහි විශේෂත්වය තමයි ඔස්ට්‍රේලියානු මහද්වීපය තුල රංචුවක් ලෙස ෆොසිල වාර්තා වු ප්‍රථම ඩයිනෝසර විශේෂය වීම.

ෆොස්ටෝරියා ඩිම්බාන්ගුන්මල් 

ෆොස්ටෝරියා විශේෂය ශාඛභක්ෂකයන්. ඉගුවානොඩොන්ටිඩේ කාණ්ඩයටම පොදු ලක්ෂණ ෆොස්ටෝරියා විශේෂය තුලත් දකින්න පුළුවන්. මීට වසර මිලියන 100 කට පමණ පෙර මධ්‍ය ක්‍රිටැසියස් යුගයේ තමයි ෆොස්ටෝරියා ජීවත් වෙන්නෙ. වර්තමානයේ මෙන් නොව එක හරිත වැස්මක් මේ ප්‍රදේශය තුල පැවති බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නෙ. ෆොස්ටෝරියා විශේෂය සොයාගැනීමත් සමඟම ඔස්ට්‍රේලියානු කලාපයෙන් සොයාගෙන ඇති ඩයිනෝසර විශේෂ සංඛ්‍යාව 24 දක්වා ඉහල යනවා. ඉදිරියේදි සිදු කිරීමට නියමිත පර්යේෂණ මඟින් ෆොස්ටෝරියා පිලිබඳව වඩාත් සවිස්තරාත්මක තොරතුරු ලෝකයට අනාවරණය වෙනු ඇති.

විද්‍යාවෙ දියුණුවත් සමඟම නව ඩයිනෝසර විශේෂ සොයාගැනීම් සීග්‍ර ලෙස ඉහල යනවා. සතියකට එක් විශේෂයක් පමණ නිරාවරණය කර ගැනීමට තරම් වේගයකින් ෆොසිල විද්‍යාවේ ගමන් මඟ වේගවත්. පරිණාමික දිනපොත යාවත්කාලීන කිරීමට නොහැකි වු කාලය තුල සිදුවු මේ සොයාගැනීම ගැන ලියන මොහොතෙත් දකුණු ඇමරිකානු කලාපය තුලින් කුඩා ප්‍රමාණයේ මාංශ භක්ෂක වි⁣ශේෂක් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ පිලිබඳව තොරතුරු ඉදිරි ලිපියකින්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE