Tuesday, August 6, 2019

අපායේ ඌරා..., එන්ටීලඩොන්ට් (Hell Pig..., Entelodont)


සිටසියා පරිණාමය පිළිබඳව පෙර ලිපි පෙලෙදි මම සඳහන් කරා ඉයෝසීන අවධිය ගැන. ඉයෝසීන ග්රීක අර්ථය කියන්නෙ නව සත්ව සන්තතියක උදාව. මේ භු යුගය තුල බිහිවු අපූරු සත්ව විශේෂ අතරින් තවත් එක් විශේෂ සත්ව කොටසක් ගැන තමයි මේ කෙටි ලිපිය.

වසර මිලියන 37 කට පමණ පෙර යුරෝපය, අමරිකාව සහ ආසියාකරය තුල ඔබ සැරිසැරුවානම් ඔබට මුණ ගැහෙන අති දරුණු සුපිරි විලෝපිකයා ඌරෙක්ට සමාන සත්වයෙක්. අති වේගයෙන් දඩයම් හඹා ගොස් පහරදී අස්ථි සුනු විසුනුකර දැමීමට තරම් සවිමත් හකුපාඩා සහිත එන්ටීලඩොන්ට් සත්වයන් ගැන තමයි මේ කතාව. එන්ටීලඩොන්ට් හඳුන්වන අනෙක් නම තමයි අපායේ ඌරා.

අපායේ ඌරා

ඉයෝසීන අවධියේදි පරිණාමය වෙන එන්ටීලඩොන්ටයන් ඉතාමත් විවිධත්වයක් සහිතව විශේෂනය වෙනවා. මුල් ඉයෝසීන අවධියේදි කුඩා ප්රමාණයන්ගෙන් යුක්ත වුනත් පසු කාලවලදී ඔවුන් අඩි අටක් පමණ උසින් යුත් විශාල සත්වයන් බවට ක්රමයෙන් පරිණාමය වෙනවා. එන්ටීලඩොන්ටයන්ගෙ ආර්කියෝතිරියම් ගනය සලකා බැලුවොත් මේ විශාල ප්රමාණයේ සත්වයන් දකින්න පුළුවන්. ඇත්තටම මොවුන් රූපියව සහ ජානමය වශයෙන් ඉතාමත් ලඟ ඤාතීත්වයක් දක්වන්නෙ වර්තමානයේ ඉන්න ඌරන්ට.

එන්ටීලඩොන්ට් ප්‍රතිනිර්මාණයක් 

එන්ටීලඩොන්ට් ප්‍රමාණාත්මක සංසන්දනයක්


දැන් හිතලා බලන්න, මීට වසර මිලියන 35 කට පමණ එපිටින් යුරේසියානු බිම් තුල සුපිරි විලෝපිකයා වෙලා ඉඳලා තියෙන්නෙ ඌරෙක්. ඉයෝසීන යුගයෙන් ලැබෙන ෆොසිල සාධක බොහෝමයක මේ එන්ටීලඩොන්ටයන්ගෙ දත් පහරවල් දකින්න පුළුවන්. මේ සත්වා විලෝපිකයෙක් වුනාට සර්වභක්ෂකයෙක්. තණකොල පවා ආහාරයට ගත් එන්ටීලඩොන්ටයන් දඩයමක් දුටුවිටදි හඹා ගොස් ආහාරයට ගෙන තිබෙනවා. මේ සර්වභක්ෂකබාවය මේ සත්වයන්ට වසර මිලියන ගනනක් පරිණාමිකව නොනැසී සිටීමට උපකාරී වෙනවා.


එන්ටීලඩොන්ට් හිස්කබලක් 

තවමත් පරිණාමික ජීව විද්යාව තුල එන්ටීලඩොන්ටයන් ඇතුලත් කලයුතු තක්සෝනය ගැන වාද විවාද පවතිනවා. ඇතැම් විද්‍යාඥයන්ට අනුව ඔවුන් වඩාත් සමීප ඌරන්ට වඩා හිපොපොටේමස් සත්වයන්ට. කෙසේ නමුත් එන්ටීලඩොන්ටයන් ගැන පවතින සාධක අනුවනම් ඔවුන් අති දරුණු ඝාතකයන්. ජුරාසික් අවධියට ටිරොනෝසෝරස් රෙක්ස් නම් ඉයෝසීන අවධියට එන්ටීලඩොන්ටයන්.

පෘථෘවිය කියන ග්රහලෝකයේ දැනට ජීවය බිහිවෙලා වසර බිලයන 3.5 පමණ (ආසන්න). මේ කාලය තුල මිහිමත සැරිසැරූ සත්ව විශේෂ අපමණයි. එන්ටීලඩොන්ටයන් එහි එක්තරා කාලපරිච්ඡේදයක තමන්ගෙ අණසක යුරේසියාව තුල පවත්වාගත් සත්ව කාණ්ඩයක්. පරිණාමික දිනපොතේ තවත් පිටුවක් පමණයි.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

No comments:

Post a Comment