චාතුර්තක අවධියේ අවසන් ග්ලැසියර සමයේ භූමි දර්ශනයක්. ඈතින් තෘණ අනුභව කරමින් සිටින වූලි රයිනෝසිරස් සත්වයකු දෙස හෝමෝ සේපියන්වරු බලා සිටිනවා..
මේ අවසන් ග්ලැසියර සමය තමයි පෘථිවිය මත ඇතිවු අවසන් හිම යුගය. පෘථිවියේ භ්‍රමණය වන අංශක 23.5 ඇලයේ යම් ගැස්සීමක් ඇතිවනවා. මේක සමාන කරන්න පුළුවන් බමරයක් කරකවා මුදා හැරිය විට එහි වේගය ක්‍රමයෙන් අඩුවන විට භ්‍රමණ අක්ෂයේ සිදුවන ගැස්සීමට. පෘථිවියේ මේ භ්‍රමණ අක්ෂයේ හටගන්නා ගැස්ම තුලින් පෘථිවි දේශගුණික තත්වයන්ට අති විශාල බලපෑම් ඇතිවනවා. ග්ලැසියර් යුගයන් සහ අන්තර් ග්ලැසියර යුගයන් ඇතිවන්නෙ ප්‍රධාන වශයෙන් මේ හේතුව මත. චක්‍රයක් ලෙස මේ ග්ලැසියර් අන්තර් ග්ලැසියර් සමයන් පෘථිවි ඉතිහාසය පුරාවටම දකින්න පුළුවන්.
මේ ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් නමුත් අතිශයින්ම සරලව පැහැදිලි කලොත් ග්ලැසියර් සමයෙදි සිදුවන්නෙ ධ්‍රැවාසන්න කලාප කේන්ද්‍රකොට ගනිමින් හිම වැස්ම පැතිරීම. අන්තර් ග්ලැසියර සමයේදි සිදුවන්නෙ මෙලෙස එක්වු හිම වැස්ම ක්‍රමයෙන් දියව යෑම. සරල කතාවක් වගේ පෙනුනට සමස්ථ ජෛව භූගෝලිය ව්‍යප්තියට මෙහි බලපෑම ඉමහත්.
පෘථිවිය නම් වු අප ජීවත්වන ග්‍රහලොව තිබෙන සාගර ජලය තමයි මෙලෙස ධ්‍රැවාසන්න කලාප තුල අයිස් බවට පත්වන්නේ. ජලය අයිස් බවට පරිවර්තනය වනවානම් ද්‍රව ජලය අඩු විය යුතුයි. ග්ලැසියර් සමයන් තුලදි සිදුවන්නෙ ධ්‍රැවාසන්න අයිස් වැඩි වීම. එසේනම් සාගර ජලය ක්‍රමයෙන් අඩුවීම ඇරඹෙනවා. අන්තර් ග්ලැසියර් සමයන් තුලදි සිදුවන්නෙ ධ්‍රැවාසන්න හිම දිය වීම. එසේනම් සාගර ජල මට්ටම ඉහල යනවා. ඔබට දැන් යම් රටාවක් තේරුම්ගන්න පුළුවන්. වසර 25000 - 30000 අතර කලකට වරක් මේ චක්‍රය ක්‍රියාත්මක වනවා. චාතුර්තක අවධියේ අවසන් ග්ලැසියර් සමයේ ඇතිවු හිම තමයි අදටත් ධ්‍රැවාසන්න කලාප තුල පවතින්නේ.මේ ග්ලැසියර සමය අවසන් වුනේ මීට වසර 15000 පමණ පෙර. අප දැන් ගමන් කරමින් තිබෙන්නේ අන්තර් ග්ලැසියර් සමයකට. ක්‍රමයෙන් ධ්‍රැවාසන්න හිම දියව යමින් මුහුදු මට්ටම් ඉහල යනවා.
ග්ලැසියර් සමයන් තුලදි මුහුදු මට්ටම පහත බැසීම නිසා විවිධ ගොඩබිම් යා කරමින් නව ගොඩබිම් මතුවෙනවා. උදාහරණයකට ආසියාව සහ උතුරු ඇමරිකාව යා කරන බෙරින්ජියානු සමුද්‍ර සංධිය, ලංකාව සහ ඉන්දියාව යා කරන ගොඩබිම. මෙලෙස මතුවන නව ගොඩබිම් හරහා ප්‍රධාන මහද්වීප තුල සිට දුපත් සහ වෙනත් ගොඩබිම් තුලට ජීවී කාණ්ඩ සංක්‍රමණය සිදුවනවා. ආසියානු ඇතුන්, මිනිසුන්, සිංහයන් ආදිය ලංකාවට පැමිණියෙ එලෙසින්.
දැන් ගැටලුවක් එන්න පුළුවන් ග්ලැසියර් සහ අන්තර් ග්ලැසියර සමයන් හුදෙක් ස්වාභාවික ක්‍රියාවලියක් නම්, චක්‍රයක් නම් මිනිසා විසින් ඇතිකල ගෝලීය උණුසුම මේ ක්‍රියාවලියකට අදාල නෑ නේද කියලා. ස්වාභාවික ක්‍රියාවලියට යම් කාල රාමුවක් තිබෙනවා. එය ක්‍රමයෙන් සිදුවන දෙයක්. නමුත් හෝමෝ සේපියානුවන් විසින් පෘථෘවිය කාර්මීක විප්ලව වකවානුවෙ සිට ඉතා සීඝ්‍රයෙන් වෙනස් කිරීම හේතුවෙන් මේ ස්වාභාවික චක්‍රයේ ක්‍රමික බව බිඳ වැටී ගෝලීය උණුසුම කඩිනම් වී තිබෙනවා. හරිතාගාර වායුන් විමෝචනය, හරිත ආවරණ බිඳ දැමීම වැනි ක්‍රියාවන් උදාහරණ. මේ හේතුවෙන් සිදුවන කඩිනම් දේශගුණික විපර්යාස හමුවේ විශාල ජෛව හායනයක් සිදුවෙමින් පවතින්නේ. අප දේශගුණික විපර්යාස වලට උත්ප්‍රේරකයක් බවට පත්ව තිබෙනවා..
(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment