Friday, April 9, 2021

The New Era


පරිණාමික දිනපොත / Diary Of Evolution පැරණි ෆේස්බුක් පිටුව යථා තත්වයට පත් කිරීමට දරණ උත්සාහය අතරතුර, එතෙක් එය නව පිටුවකින් ඔබ හමුවට පැමිණෙයි... ❤

Link for new facebook page --->



ඊට අමතරව ටෙලිග්‍රම් චැනලයක් ඔස්සේද DOE නවතම ලිපි දැන් කියවිය හැකියි. ඒ සඳහා පහත සබැඳිය මගින් සම්බන්ධ වන්නට පුළුවන් ❤

Link for new telegram channel --->



#DOE



Wednesday, November 4, 2020

ලස්කෝ (Lascaux, complex of caves)


1940 වර්ශයේ සැප්තැම්බර් 12 වෙනදාවක ප්‍රංශයේ ලස්කෝ ගුහා සංකීර්ණය සොයාගනු ලබනවා තරණයන් සිව්දෙනෙකු විසින්. ඉතාමත් කුඩා ගුහා විවරයක් තුලට ඔවුන්ගෙ සුරතල් සුනඛයා පසුපස යමින් තමයි මේ සොයාගැනීම සිදු වෙන්නෙ.
 
ඉහල පැලියොලිතික අවධියට අයත් වසර 17000 පමණ පැරණි ගුහා චිත්‍ර 600 පමණ ලස්කෝ අභ්‍යන්තර ගුහා බිත්ති පුරා දැකගන්න පුළුවන්. ප්ලයස්ටොසීන යුගය අවසාන භාගයට වන්නට පුරාණ මානවයන් දඩයම්කල, ඔවුනට මුණගැසෙන සතුන් ආදීය විචිත්‍රවත් ලෙස මේ ගුහා බිත්ති තුල සටහන්ව පවතිනවා. ගුහා බිත්ති තුල ඇති නැමුම් දාර ආදිය චිත්‍රවල ජීවමාන බව සහ විවිධ හැඩතල ඉස්මතු කිරීමට යොදාගෙන තිබෙනවා.
 
පුරාවාද්‍යඥයන් විශ්වාස කරන්නෙ ආදී මානවයන්ගෙ පරම්පරා ගනනාවක් මේ ගුහාව මේ ආකාරයෙන් යොදාගත් බවයි. ඇතැම් මත වලට අනුව ලස්කො යනු පුරාණ මානවයන්ගෙ දෙවොලකට සමාන තැනක්. පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් මේ ස්ථානයේ සිතුවම් නිර්මාණය කර භාවිතා කර ඇති ආකාරය ගැන සාක්ශි මේ ගුහා සංකීර්ණ පුරාම දැකගන්න පුළුවන්. එකල ආලෝකය ලබාගැනීමට භාවිතා කල මූලාශ්‍ර වල දැලි සටහන් පවා මේ ගුහාව තුල සංරක්ෂණය වී පවතිනවා.
 
ලස්කො ගුහා සංකීර්ණය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ස්ථානයක්. සැබවින්ම ඉතාමත් අලංකාර මෙන්ම විශ්මය උපදවන ස්ථානයක්. ලෝකය පුරා 'ශිෂ්ඨාචාර' ලෙස හඳුන්වන සංස්කෘතීන්හී කාල පරාසයන් දිවෙන්නෙ වසර 6000 පමණ අතීතයට. නමුත් ලස්කො සිතුවම් වසර 17000 පැරණියි. අනුරාධපුර යුගයට වඩා වසර 14500 පැරණි නිර්මාණ තමයි මෙහි පවතින්නේ. ප්ලයස්ටොසීනයේ අවසන් භාගයට වන්නට අධික ශිතලත් සමඟ පැතිර ගිය තෘණ භූමි තුල සැරි සැරූ මුවන්, ප්‍රාග්ඓතිහාසික අශ්ව විශේෂ, නූතන ගෘහාශ්‍රිත ගවයන්ගෙ පූර්වජයන් ලෙස සලකන අවුරොක්, අයිබෙක්ස්, බයිසන්, සිංහයන්, වලසුන් මේ චිත්‍ර තුල දකින්න පුළුවන්. වර්තමාන යූරෝපය තුල මේ සත්ව විශේෂ නොමැති වුනත් එකල සිටි බවට ජීවමාන සාක්ශි තමයි ලස්කෝ චිත්‍ර.
 
ලස්කෝහි සිතුවමක්

අවාසනාවකට අද සංචාරකයන් සඳහා ලස්කෝ විවෘත නැහැ. අධික සංචාරකයන් ප්‍රමාණයක් නිසා පිටවන CO2 ප්‍රමාණය ඇතුළු තවත් හේතු ගනනාවක් නිසා මේ චිත්‍රවලට හානි වෙන්න පටන් ගැනීමෙන් මේ ස්ථානය වර්තමානයේදි සංචාරකයන්ට තහනම්. ලස්කො ගුහාවේ ප්‍රතිනිර්මාණයක් තමයි දැකගන්න පුළුවන් වෙන්නෙ. ප්‍රංශ බළධාරීන් මේ ලෝක උරුමයට හානි වෙනවා යැයි වටහාගත් විට "ලංකාවේ බළධාරීන් වගේම" ඉතාමත් ඉක්මන් ක්‍රියාමාර්ග අරන් තියෙනවා ඒක රැකගන්න.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
#DOE


 
 

ඔටු පරිණාමය (Evolution of Camel)

 
ඔටුවා කියන වචනෙත් එක්ක සාමාන්‍යයෙන් අවලස්සන පෙනුම, මුග්ධ බව ආදී කරුණු ගෙනහැර දැක්වීමට ව්‍යවහාරය නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඔටුවා සහ කාන්තාරය එකකට එකක් වෙන් කල නොහැකි සේ බැඳී තිබෙන පද දෙකක්.නමුත් ඔබ දන්නවාද ඔටුවන්ගෙ පරිණාමික කතාව ආරම්භ වන්නෙ අධික ශිත පෙදෙස් වලින් බව ? ස්වාභාවධර්මයේ ඇතැම් උදාහරණය තිබෙනවා මුල් අවස්ථාවේ යම් යම් ව්‍යුහයන් පරිණාමය වන්නෙ ඉතාමත් සුවිසේශි කෘත්‍යන් සඳහා නමුත් පසුව මේ සත්වයන් ඊට හාත්පසින්ම වෙනස් පාරිසරික නිකේතනයක් ජය ගන්නවා පෙරකී ව්‍යුහයන්ම භාවිතා කරමින්. එක් උදාහරණයක් තමයි ටෙට්රොපෝඩා පරිණාමයේ අස්ථික මත්ස්‍ය කාණ්ඩ සාගර පතුල තුල ගමන් කිරීම සඳහා යොදාගන්න වරල්. මේ වරල් ක්‍රමයෙන් ගොඩ බිම ඇවිදීමට ඉතාමත් යෝග්‍ය ව්‍යුහයන් බවට පත්වෙනවා. එතනදිත් මූලීක අවස්ථාවේදි ඒවා ඇතිවන්නේ එක් හේතුවකට නමුත් ක්‍රමික පරිණාමයේදි හේතුව සහා නිකේතය වෙනස් වීමකට ලක්වෙනවා.
 
 
ඔටුවන් මීට වසර මිලියන 45 පමණ පෙර පරිණාමය වන්නෙ උතුරු ඇමරිකාවෙන්. ඒ වෙද්දි ලෝකයේ මහද්වීප සැකැස්ම වර්තමානයට වඩා ඉතාමත් වෙනස්. උතුරු ඇමරිකාව තුල සම්භවය වන මොවුන්ගෙන් එක් කොටසක් දකුණු ඇමරිකානු ප්‍රදේශ වෙත ගමන් කරනවා. තවත් කොටසක් මීට වසර මිලියන 3 -5 කාලයේදි (ඒ වෙද්දි මානව පරිණාමය ගත කරන්නෙ ඔස්ට්‍රලෝපිතසීනයන්ගෙ අවධිය තුල) බෙරින්ගියානු පාලම (ඇලස්කාව හරහා ආසියාව උතුරු ඇමරිකාවට සම්බන්ධ කරන ගොඩබිම් පාලම) හරහා යුරේදසියාවට ගමන් කරනවා.
 
මේ කතාවේදි දකුණු ඇමරිකානු කලාප වලට ගිය ඔටු පූර්වජයන් තමයි ඇල්පාකාස්, ලාමාස් , විකූන්‍යා ආදී විශේෂ බවට පත්වන්නෙ. බෙරින්ගියාව හරහා යුරේසියාවට පැමිණි පුරුක් තමයි වර්තමානයේදි දකින්න පුළුවන් ඩ්‍රොමෙඩරි, බැක්ට්‍රියන් ආදී ඔටු විශේෂ බවට පත්වන්නෙ.
 
ඔබට පේනවා ඇති මේ සත්වයින්ගෙ පරිණාමයේ විශාල කාලයක් ගතවන්නෙ උතුරු අර්ධගෝලයේ උතුරු කෙලවරට සමීපව බව. අධික ශිත දේශගුණික තත්වයනට ඔරොත්තු දෙන ලක්ෂණ කිහිපයක් තමයි මේද ස්ථර ගබඩාකර ගත හැක ව්‍යුහ, හිම වල නොගිලී පා තැබිය හැකි පලල් පාද, හිම කුණාට ආදියෙන් ආරක්ෂාවී දැකිය හැකි අනුවර්තිත ඇස් ආදී ලක්ෂණ. මේ ටික කියාගෙන යද්දි ඔබට වැටහෙන්න ඕන මේ ලක්ෂණ ටිකම තමයි වර්තමානයේදි කාන්තාරයට සරිලන ලෙස සකස්ව ඇති ඔටුවන්ගේත කැපී පෙනෙන ලක්ෂණ බව.
 
පෙර සඳහන් කලාක් මෙන් මේ ඇතැම් සතුන් දක්වන මූලීක අනුවර්තන පසු අවධියකදි පෙර සිටි පාරිසරික නිකේතනයට වඩා හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දරන පාරිසරික නිකේතනයක ජීවිතය ජය ගැනීමට උපකාරී වන බව. ඔටුවො කියන්නෙ වර්තමානයේදි දකින්න පුළුවන් ක්ශීරපායින් අතරින් අතිශයින්ම දුශ්කර පාරිසරික නිකේතන දික්විජය කරපු සත්ව කාණ්ඩයක්. මානව පරිණාමයෙ සමස්ථ කාලය වසර මිලියන 8 පමණ බවට සලකන්නෙ. ඔටුවන් බිහිවන්නෙ ඊට වසර මිලියන 37 පෙරදි. ඔවුන්ගෙ සමස්ථ කාලය වසර මිලියන 45 ක්. වසර මිලියන 45 අති දීර්ඝ කාල පරාසයක් අතිශයින්ම දුශ්කර පාරිසරික නිකේතන ජය ගනිමින් වර්තමානයට පැමිණ තිබෙනවා කියන්නෙ පරිණාමිකව සුපිරි ජීවී කාණ්ඩයක් බව.



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
 
 
 

#DOE


සර්ප අනුකරණය (Disguised Caterpillar)

 
Elephant hawk moth විද්‍යාත්මකව Deilephila elpenor කියන සලබයාගෙ දළඹු අවස්ථාව තමයි ඔබ මේ පහත ඡායාරූප වලින් දකින්නෙ. 
 
දළඹු අවස්ථාව
 
මේ දළඹුවා විෂ රහිත සත්වයෙක් වුනත් තර්ජනයට ලක්වු අවස්ථාවක අනුකරණය කරන්නෙ සර්පයෙකුව. එකවරම සර්පයෙකු ලෙස වරදවා වටහාගන්න පුළුවන් මේ දළඹුවාව.

පහතින් තියෙන්නෙ සලබ අවස්ථාව. කොතරම් විශාල වෙනසක්ද යන්න ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. 

සලබ අවස්ථාව

විෂ නැති සතුන් විෂ සහිත සතුන්ව අනුකරණය කිරීමෙන් පැවැත්ම රැගකන්න උදාහරණ අතරින් ඉතාමත් අපූරු අවස්ථාවක් තමයි elephant hawk සලබයාගෙ දළඹු අවස්ථාව.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

  

 #DOE

  

රෙඩ් ශැන්ක්ඩ් ඩූක්ස් (Red-shanked Douc)

 
අහලා තියෙනවද 'රෙඩ් ශෑන්ක්ඩ් ඩූක්ස්ලා' ගැන ? ලෝකයේ ජීවත්වෙන ක්ශීරපායීන් වර්ණවත් බවින් අනෙක් සත්ව කොට්ඨාසයන්ට වඩා අඩු වර්ණවත් ස්වාභාවයක් පෙන්නුම් කරන්නෙ. මීට කලින් මේ පිටුවෙන්ම කතා කරපු මලබාර් ලේනා වැනි විශේෂ කිහිපයක් තමයි වර්ණවත් බවින් යම්තාක් දුරකට කැපී පෙනෙන සංකලනයන් පෙන්නුම් කරන්නෙ නමුත් ප්රිමාටාවන්/ප්රයිමේටාවන් ගත්තම මේ වර්ණවත් බව තවත් අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නෙ. වර්ණ රටා වැඩී ප්රයිමේටාවන් බොහෝමයක් අපිට දකින්න ලැබෙන්නෙ නව ලෝකයේ වානරයන් තුලින් (නව ලෝක වානරයන්, පැරණි ලෝකයේ වානරයන් බෙදීම ගැන මීට කලින් පිටුව තුලින් කතා කරලා තියෙනවා)
 
මේ කතා මෙහෙම තියෙද්දි ප්රයිමේටාවන් අතරින් වර්ණවත්ම ප්රයිමේටා විශේෂය අයත් වන්නෙ නව ලෝක විශේෂයකට නෙමෙයි. මේ සත්වයා පැරණි ලෝකයේ විශේෂයක්. රෙඩ් ශෑන්ක්ඩ් ඩූක් එහෙම නැත්තන් විද්යත්මකව Pygathrix nemaeus ලෙසන් හඳුන්වන මේ අපූරු වානරයන්ව බොහෝ දෙනා හඳුන්වන්නේ ලෝකයේ වර්ණවත්ම ප්රයිමේටාවා ලෙස.
 
රෙඩ් ශැන්ක්ඩ් ඩූක්ස්
 
ඩූක්සා කොලොබිනේ නැමැති උපකුලයට අයත් විශේෂයක්. ලංකාවේ දකින්න ලැබෙන සෙම්නොපිතෙකස් වැනි වානර ගනයන්ට සමීප සබඳතාවක් දක්වනවා මේ ඩූක්ස්ලා. ඉන්දු-චීන සීමාව, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය ආදී ප්රදේශ කිහිපයකට තමයි ඩූක්ස්ලා සීමා වෙන්නෙ.
 
සම්පූර්ණයෙන්ම රුක්වාසී විශේෂයක්වන රෙඩ් ශැන්ක්ඩ් ඩූක්ස්ලා ඉතාමත් සාමකාමී වානර විශේෂයක්. සාමාන්යයෙන් පැරණි ලෝකයේ වානරයන් ඉතාමත් ආක්රමණශිලී, රෞද්ර විශේෂ. අහාර සඳහා අරගල කරන මේ පැරණි ලෝකයේ අනෙක් ඥාතීන් මෙන් නොව ඩූක්ස්ලා තමන්ට ලැබෙන දේත් අනෙක් සාමාජිකයන් සමඟ බෙදාගෙන කෑමට ගන්න සාපේක්ෂව ඉතාමත් සාමකාමී විශේෂයක්.
 
ඩූක්ස්ලා මේ වෙද්දි වඳවීමේ තර්ජනයට දැඩිව මුහුණපාන විශේෂයක්. ගිණිකොණදිග ආසියාව අවට ලැන්ගර් වානරයන් බොහෝමයක් මේ තර්ජනයට මුහුණ දෙනවා. වාසස්ථාන අහිමි වීම, දඩයම, සුරතල් සතුන් ලෙස ගෙන යාම ආදි හේතු නිසා. 
 
 
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
 #DOE
 
 

Monday, November 2, 2020

කැසොවරි බිත්තර (Cassowary Eggs)


කැසොවරි පක්ශීන්ට ඉතාමත් තද නිල් පැහැයක් තිබුනට මේ පක්ශින්ගෙ බිත්තර කොල පැහැයක් තියෙන්නෙ. නොදන්න කෙනෙක්ට එකවරම මේවා පළතුරක් විදිහට පේන්නත් පුළුවන්.
 

 

කැසොවරිලා අයත් වන්නෙ Struthioniformes ගෝත්‍රයට. ව්‍යවහාරිකව මේ අයට ratites කියලත් භාවිතා කරනවා. Ratites කණ්ඩායමට අයත් අනෙක් සාමාජිකයන් තමයි පැස්බරුන්, කිවි, රියා, එමූ වැනි පක්ශි විශේෂ. Ratites ලට පියාසැරිය සඳහා ආධාරවන මාංශපේෂින් සවිවන keel bone අස්ථිය පිහිටන්නෙ නැහැ.
 
 
ඇන්ටාක්ටිකාව හැරුනු විට දකුණු අර්ධගෝලයේ සියළු මහද්වීප තුල ratites ලා දකින්න පුළුවන්. මේ දකුණු අර්ධගෝලීය ව්‍යප්තියෙන් පෙන්නුම් කරන්නෙ මේ කාණ්ඩයේ ගොන්ඩ්වානා සම්භවය. සරලවම කිව්වොත් ඩයිනෝසරයන් මිහිමතින් නශ්ඨව ගිය වහාම ඇතිවන පාරිසරික නිකේතන රික්තය පිරවීමට ඇතිවු ප්‍රාග්ඓතිහාසික සම්භවයක් සහිත කාණ්ඩයක් තමයි ratites ලා. කාල රාමුව සැලකුවොත් වසර මිලියන 60 පමණ ආදී සම්භවයක් ඇති පක්ශි පරම්පරාවකට තමයි කැසොවරි අයත් වන්නෙ..


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
#DOE
 
 

මුහුදු මකරුන් (Seadragons)

 
මුහුදු අශ්වයන් කියන සත්ව කාණ්ඩය බොහෝ දෙනාට හුරුපුරුදු සත්වයින් කොටසක්. මේ මුහුදු අශ්වයින්ට ඉතාම සමීප ඥාති සබඳතාවක් දක්වන තවත් අංලකාර සත්ව කොට්ඨාසයක් තමයි සී ඩ්‍රැගන්ස් එහෙම නැත්තන් මුහුදු මකරුන් කියන්නෙ.
 

සී ඩ්‍රැගන්ස්ලා ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියානු මහද්වීපයේ දකුණු සහ බටහිර වෙරළ තීරයට ආසන්න සාගරයේ. මුහුදු අශ්වයන්ට වඩා මඳක් විශාලත්වයෙන් වැඩෙන මේ සත්වයින් සෙන්ටිමීටර 20 -24 පමණ ප්‍රමාණයකට වැඩෙනවා. කුඩා ප්ලවාංග, ක්‍රස්ටේසියාවන් ආදිය ආහාරයට ගන්න මේ සත්වයින්ගෙ ශරීරයේ විවිධ හැඩතල වලින් යුත් පත්‍ර වැනි උපාංග පිහිටනවා. මේ උපාංග වේශාන්තරණය සඳහා උපකාරී වෙනවා. ජලයේ පාවී යන විට මේ සත්වයාව මුහුදු පැලෑටි කොටසක් මෙන් දිස්වෙන ලෙස මේ වේශාන්තරණය ක්‍රියාකරනවා.

සී ඩ්‍රැගන්ස්ලා කියන්නෙ ඉතාමත් වර්ණවත් අලංකාර මත්ස්‍යන්. විවිධ වර්ණ සංකලන සහිත විශේෂ ගනනාවක් දකින්න පුළුවන්.

පහත ඡායාරූපවල ඉන්නෙ විශේෂ කිහිපයක්.






 (ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 


#DOE


Link to Facebook post --->

ලෝකයේ විශාලතම දූපත් 100 (The World’s 100 Largest Islands)

 
ලෝකයේ විශාලතම දූපත් 100.

දන්න අඳුරන ඒවා කීයක් තියෙනවාද බලන්න.
 

 
 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 


#DOE
 
 

ස්පයිඩර් ක්‍රෑබ් (Spider Crab)

 
ලෝකයේ විශාලතම කකුළු විශේෂයක් ලෙස හඳුන්වන ජැපනීස් ස්පයිඩර් ක්රෑබ් ( Macrocheira kaempferi ) නිදර්ශකයක්. මේ සත්වයන්ගෙ අඬු ඇතැම් අවස්ථාවල අඩි 18 පමණ දිගට වැඩෙන බව වාර්තා වෙනවා. ජපාන මුහුද අවටින් මීටර් 300 පමණ යන තෙක් ගැඹුරු සාගර පත්ල තුල මේ සතුන් ජීවත් වෙනවා.
 

 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
 
#DOE
 
 

කුණු පැන්ඩා (Trash Panda)


රැකූන්ලා කියන්නෙ උතුරු ඇමරිකාවෙ ඉන්න සම්පූර්ණ සත්ව ප්‍රජාවෙන්ම විහිළුකාරයා කියන්න පුළුවන් සත්ව විශේෂයක්. මේ රැකූන්ලා අතිශයින්ම නාගරීකරණය වෙන ඇමරිකා එක්සත් ජනපදය තුල ඉතාමත් සුහුරු ලෙස නාගරීක ජීවිතයට පරිණාමය වෙමින් යන සත්ව විශේෂයක්. බොහෝ සතුන්ගෙ ඉරණම නාගරීකරණය නිසා ඉතාමත් අවදානම් අඩියකට තල්ලු වෙමින් යද්දි රැකූන්ලා මේ නගර, කානු, පාලම්, බෝක්කු, කුණු බාල්දි එක්ක ඉතාමත් අපූරුවට අනුවර්තනය වෙලා තිබෙනවා. ඇතැම් නගරවල පාර මාරුවීමට පදික මාරුව භාවිතා කරන්න තරම් මේ සතුන් දියුණු වෙලා තියෙනවා.

මේ විහිළුකාරයන් සොරකම්, මංකොල්ලකෑම්, පැහැරගැනීම් ආදී දාමරික මගෝඩි ක්‍රියාවන් වලට චෝදනා ලබන වාර අනන්තයි. ඒ අතිරින් විවිධ අසාමාන්‍ය වැඩත් කරනවා. පහුගිය කාලේ එක් වාර්තාවක් තිබ්බා ඇලිගේටර් කිඹුලෙකුගෙ පිට උඩ නැගලා ගඟක් තරණය කරපු අවස්ථාවක්. මේ පහත ඡායාරූපවල තියෙන්නෙ ටෙක්සාස් වලින් වාර්තා වෙන සිද්ධියක්. රාත්‍රියේදි කැමරා ට්‍රැප් එහෙකට හසුව තිබෙන්නෙ හැවලීනා සත්වයෙකුගෙ පිටේ නැග ගමන් කරන රැකූන් සතෙකුගෙ රූප රාමු. හැවලීනා කියන්නෙ වල් ඌරන්ට සමාන ඇමරිකානු මහද්වීපය තුල සිටින විශේෂයක්. කෙසේ හෝ හැවලීනා සත්වයෙකුගෙ පිට උඩට නැගගෙන සිටින මේ රැකූන් ඉතාමත් සුවපහසු විදිහට වාඩිවෙලත් ගමන් කරනවා.
 


සත්වයන් සමඟ කටයුතු කරන, මේ විෂය ක්ශේත්‍රයේ ඉන්න ඇ.එ.ජ වෙසෙන මිතුරන් කිහිප දෙනෙක් ට්‍රෑශ් පැන්ඩා යන යෙදුම සත්වයෙකුට භාවිතා කරනු ඇසීමෙන් ඒ මොන ජාතියේ සත්වයෙක්ද යන්න සොයා බැලුවිට දැනගන්න ලැබුනෙ රෑකූන්ලාට ඔවුන් මේ නම භාවිතා කරන බවයි. Trash panda කියන්නෙ කුණු පැන්ඩා. කුණු බාල්දිවලම රිංගන නිසා මේ නමින් ඔවුන්ව දැන් ආමන්ත්‍රණය කරන්නෙ.


(Images via all things Texas)
 
 
 
#DOE
 
 

Sunday, November 1, 2020

හිතවත්කම (Old Friends)

 
මානව පරිණාමික වෘක්ෂය තුල චිම්පන්සීන් සහ හෝමෝ සේපියානුවන්ගෙ පොදු පූර්වජයා ජීවත්වු කාලය ලෙස සලකන්නෙ මීට වසර මිලියන 7 පමණ පෙරදි. මොලිකියුලර් ක්ලොකින් (molecular clocking) කාල නීර්ණ ක්‍රමවේදයත්, ෆොසිල වාර්තාවෙන් ලැබෙන ව්‍යුහ විද්‍යාත්මක සාධකත් අනුව මේ කාල නීර්ණය ලැබෙනවා.

බාහිර ව්‍යුහාත්මකව ගත්තම එකවර ඉතාමත් දැඩි වෙනස්කම්සේ දිස්වන ලක්ෂණත්, භාෂාවක් භාවිතයත් නිසා මානව සහ චිම්ප් සංසන්දනය විෂය ක්ශේත්‍රයෙන් පිටත කෙනෙකුට ඉතාමත් විශාල වෙනස්කම්සේ දිස්වුනාට මේ සත්වයින්ව සමීපව අධ්‍යනය කරන්නෙකුට හෝ මොවුන්ව රැක බලා ගන්න පුද්ගලයෙකුට මේ වෙනස්කම් කොතරම්නම් නොගිනිය හැකි තරම්ද යන්න වැටහෙනවා. ඔවුන්ගෙ සිතීමේ රටාවන්, දේශපාලනය, දරුවන් රැකබලා ගැනීම, ආයුධ භාවිතය, සංස්කෘතික ලක්ෂණ (මේවා කණ්ඩායමෙන් කණ්ඩායමට අනන්‍යයයි)

පහත රූප රාමුවල තිබෙන්නේ වයස අවුරුදු 59 පමණ මහළු චිම්ප් ගැහැණු සත්වයෙක් ඇයගේ ජීවිතයේ අවසන් මොහොතට ලඟා වෙමින් සිටින විට වසර ගනනාවක් ඇයව රැක බලාගත් පශු වෛද්‍ය මහාචාර්යවරයා ඇයව බලන්නට පැමිණි විට ප්‍රතිචාර දක්වන ආකාරය. ටික වේලාවක් ගතවන තෙක් ඔහුව හඳුනා ගැනීමට ඇයට නොහැකි වෙන්නෙ ඇයගෙ මහළු වයසත් සමඟ ඇතිව තිබෙන සංවේදන අපහසුතා නිසා. නමුත් හඳුනාගත් සැනින් කොතරම් අපහසුවෙන් සිටියත් ඇයගේ ප්‍රීතියත්, ඇය අපහසුවෙන් හෝ මඳක් නැගිට ඔහුගේ හිස පිරිමදින ආකාරයත් බලන්න. ඔස්ටියොආතරයිටීස් රෝගයකින් පීඩා විඳින ඇයට ඇඟිලි දිග හැරීමට නැවීමට එතරම් නොහැකි වුනත් පිට අල්ලෙන් සිය හිතවතාගෙ හිස පිරිමදිමින් ප්‍රතිචාර දක්වනවා. පෙනුම මඳක් අමතක කොට මහළු ඥාතියෙකු තමන්ට සමීප හිතවතෙක් හඳුනාගත් විට දක්වන ප්‍රතිචාරයට කොතරම් සමානද යන්න ඔබට දිස්වනු ඇත.


 
මේ සත්වයන්ට මනුෂ්‍යන්ට වැලඳෙන රෝගාබාධ එලෙසින්ම වැලඳෙනවා. සත්වොද්‍යානවල ඔවුනට කෑම දමන්න එපා කියන්න එක් හේතුවක් තමයි පිටතින් පැමිණෙන මනුෂ්‍යන්ගෙන් ඔවුනට කෑම හරහා ඒ රෝගාබාධ සම්ප්‍රෙෂණය වීමට ඇති අවකාශය වැලැක්වීමට.

ඔබ පරිණාමය පිලිගන්නා හෝ නොපිලිගන්නා අයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ යම් හෙයකින් සත්වොද්‍යානවලට යනවානම් මේ සතුනට හිමි ගරුත්වය ඔවුන්ට ලබා දෙන්න, අදාල නීති අනුව හැසිරෙන්න. ඒවා ගැන අන් අයවත් දැනුවත් කරන්න.
 
 
 
(Video via #viralhog
 
 
 
 
 #DOE