Tuesday, August 20, 2019

කයිහොන්ග් ජූජී (Caihong juji)


ආර්කිඔප්ටරික්ස් ලිතොග්රැෆිකා නැමැති ඩයිනෝසර සහ පක්ශි පරිණාමයේ සංක්රාන්තික අවස්ථාවක් දක්වන විශේෂය ගැන පරිණාමික දිනපොත තුලින් මීට පෙර ලිපි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ජුරාසික අවධියේ අවසන් භාගය වෙද්දි ඩයිනෝසර කණ්ඩායම් කිහිපයක් පක්ශි විශේෂ බවට පරිණාමය දක්වනවා. ෆොසිල විද්යාව සහ සත්ව විද්යා විශයන් තුලදී ජුරාසික අවධිය සලකන්නෙ පක්ශීන්ගෙ ආරම්භක අවධියක් ලෙස. 

පෙර සටහන් කල පරිදි එලෙස සංක්රාන්තිය දක්වන ඉතාමත් ප්රසිද්ධම විශේෂය තමයි ආර්කිඔප්ටරික්ස් ගනය. ආර්කිඔප්ටරික්ස් ෆොසිල ලැබෙන්නෙ ජර්මනියෙන්. පරිණාමික ජීව විද්යාව තුල මුල් කාලයේදි විද්‍යාඥයන් සතුව තිබුනේ මේ ඉතාමත් දුර්ලභ ආර්කිඔප්ටරික්ස් ෆොසිල පමණයි. නමුත් පසු කාලයේදි ෆොසිල විද්යා විනය යූරෝපීය රටවලට පමණක් සීමා නොවී ඊසාන දිග රටවලට ගලනය වෙද්දි චීනය ෆොසිල විද්යා විනය දැඩි ලෙස ග්රහණය කරගන්නවා.

චීනය සතුව දැනුමත් මානව සම්පතත් පවතිද්දි විශාල භූ දේශපාලනික වපසරියක පැතිරෙන චීනය ෆොසිල සම්පත් වලින් අනූන කලාපයක් වීම ඔවුන් ලැබූ භාග්යයක්. මේ දියුණුවත් සමඟම චීන ෆොසිල විද්‍යාඥයන් චීන මොංගෝලියානු කලාපයෙන් ෆොසිල විද්ය විනය තුලට ප්රාග්ඓතිහාසික සත්ව විශේෂ ගනනාවක් හඳුන්වා දෙනවා. මේ අතරින් වැදගත්ම දේ තමයි ආර්කිඔප්ටරික්ස්ට සීමා වුන පක්ශි පරිණාමික වෘක්ෂයේ හිස් තැන් විශාල ප්රමාණයක් පිරවීමට සමත් සංක්රාන්තික පක්ශි අකාර ගනනාවක් චීනය තුලින් සොයාගැනීමට හැකිවීම.

මේ කතා කරන්නෙත් එවන් විශේෂක් ගැන. කයිහොන්ග් ජූජී නමින් විද්යාත්මකව හඳුන්වන මේ විශේෂය කයිහොන්ග් නැමැති ගනයට අයත් වෙන විශේෂයක්. කයිහොන්ග් ගනය අයත් වන්නෙ පැරාවේස් නැමැති කාණ්ඩයට (clade). පැරාවේස් කාණ්ඩයට තමයි වෙලෝසිරැප්ටර් , ඩයිනොනිකස් වැනි ඩ්රොමොසෝරිඩේ ඩයිනෝසරයන්, ටෘෘඩොන්ට්ස් නැමැති බුද්ධිමත්ම ඩයිනෝසරයන් අයත් වන ටෲඩෝන්ටිඩේ , පක්ශීන් අයත් වන ආවේස් වැනි උප කණ්ඩායම් අයත් වෙන්නෙ. පැරාවේස් ප්රභේදනය වීම ඇරඹෙන්නෙ ජුරාසික අවධියේ අවසන් කාලයේදි. ඉතින් මේ පැරාවේස් කාණ්ඩයේ කයිහොන්ග් නැමැති ගනයට අයත් වන විශේෂයක් ගැන තමයි මේ කතාව.

'කයිහොන්ග්' නැමැති නමේ තේරුම දේදුන්න. 'ජූජී' කියන්නෙ පෙඳය. සන්ධි කරාම ලැබෙන අර්ථය 'දේදුනු පෙඳය'. පහත තිබෙන ප්රතිනිර්මාණය බැලුවොත් ඔබට පේනවා මේ සත්වයා ඉතාමත් වර්ණවත් දේදුනු පැහැති පෙඳයක් සහිතව නිර්මාණය කර ඇති බව. දැන් ඔබට ප්රශ්නයක් ඇති වෙන්න ඕන වසර මිලියන ගනනක ෆොසිලයකින් ජීවත්ව සිටි සත්වයාගෙ වර්ණය තීරණය කරන්නෙ කෙසේද කියා. ඇතැම් ෆොසිල වල ජිවත්ව සිටි කාලය තුල තිබුන මෙලනෝසෝමයන් සෛල සටහන් තුලින් ෆොසිල භවනය වී පවතිනවා. මේ මෙලනෝසෝමයන් වල හැඩය එක් එක් වර්ණාකාරයන්ට විශේෂිතයි. එමඟින් පුළුවන් මෙලනෝසෝම හැඩය අනුව පැවති වර්ණය තීරණය කරන්න. වාසනාවකට වගේ කයිහෝන්ග් ජූජී ෆොසිල තුල මේ හැඩයන් පවතිනවා. එමඟින් තමයි ප්රතිනිර්මාණයට වර්ණ සංකලනය දී තිබෙන්නේ. සරලව කිව්වොත් මේ ඔබ දකින්නෙ වසර මිලියන 161 කට පමණ එපිටින් ජීවත් වුන මේ සත්වයාගෙ සැබෑ වර්ණය.

කයිහොන්ග් ජූජී

සෙන්ටිමීටර 40 පමණ ප්රමාණයෙන් යුත් මේ සත්වයා පිහාටු පැවතියාට ඩයිනෝසරයෙක්. නමුත් බැලු බැල්මට පක්ශියෙකු ලෙස දිස් වන්නෙ.

මෙලනෝසෝමයන් සෑම ෆොසිලයකම සුරැකිව පවතින්නේ නෑ, ඒ නිසා අනෙක් බොහෝ ඩයිනෝසරයන් වර්ණ ගන්වද්දි එය බොහෝ විට උපකල්පන සහ ඔවුන් ජීවත් වු පරිසර සාධක අනුව තමයි තීරණය කරන්නෙ. බොහෝ විට නිර්මාණ කරුවාගෙ සිතැඟී පරිදි සිදුවන්නෙ. ඒ නිසා මේ සැබෑ වර්ණ කතාව සියළු ඩයිනෝසර ප්රතිනිර්මාණයන්ට පොදු නැහැ.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment