Monday, August 19, 2019

සයික්ලොප්ස් සහ ක්‍රීට මැමත් (Cyclops and Cretan dwarf mammoth)


ග්‍රීක වෘතාන්ත වලදි අපට හමුවන එක් චරිතයක් තමයි 'සයික්ලොප්ස්', සයික්ලොප්ස් නමින් පොදුවේ හඳුන්වන්නේ එකැස් යෝධයන්ට. හෝමර්ගෙ ඔඩිසි කාව්ය තුල කතා නායක ඔඩිසියස්ට සයික්ලොප්ස් දූපතේදි මුණගැසෙන පොලිෆීමස් එවැනි සයික්ලොප්සයෙක්. පොලිෆීමස්ගෙ එකම ඇසත් අන්ධකර ඔඩිසියුස් පලා යනවා. යුරිපිඩීස්, තියොක්රීටස්, හෙසියොඩ් වැනි ග්රීක රචකයන් වගේම පසුව පැමිණෙන රෝම ශිෂ්ඨාචාරය තුල වර්ජිල් වැනි සුප්රකට කවියන් පවා සයික්ලොප්සයන් ගැන තමන්ගෙ රචනා තුලට ඇතුලත් කරනවා. 'සයික්ලොප්ස්' යන නාමය බොහෝ දෙනෙකුට වර්තමානයේදි සුපුරුදු නමක් වෙන්නෙ X-men චිත්ර කතා මාලාවේ (පසුව කාටුන, චිත්රපටි බවට පත්වන) සයික්ලොප්ස් චරිතය නිසා.

සයික්ලොප්ස්

මේ කතා කරන්නෙ පුරාණ ග්රීකයන් සයික්ලොප්සයන් ජීවත්ව සිටි බවට පෙන්වීමට යොදාගත් අස්ථී අයත් සත්වයන් ගැන. අදින් වසර ලක්ෂ 400,000 - 800,000 අතර කාලය තුල (ප්ලයස්ටොසීන යුගය තුල) ග්රීසියට අයත් ක්රීට දූපතේ ජීවත් වෙනවා අපුරු හස්ථීන් විශේෂයක්. වර්තමානයේදි විද්යාත්මක නාමය ලබාදෙන්නෙ මැමතුස් ක්රීටස් (Mammuthus creticus) ලෙස. එනම් ක්රීට දූපතේ මැමත් හස්ථියා ලෙස.

දැන් බොහෝ දෙනා 'මැමත්' කිව්වාම දන්නෙ විශාල ලොම් පිරුණ අලියෙක්. නමුත් අවබෝධ කරගත යුතු දේ තමයි 'මැමත්' යනු විශේෂයක් නොව ගනයක් බව. ඔබ දන්නා වූලී මැමත්ට අමතරව මැමත් ගනය තුල විශේෂ දුසිම් ගනනක් ප්ලයස්ටොසීන යුගය තුලදි උතුරු අර්ධගෝලය තුල සැරිසැරුවා. කොළොම්බියන් මැමත්, ස්ටෙප් මැමත්, ක්රීට මැමත්, වූලී මැමත් උදාහරණ කිහිපයක් පමණයි.

මැමත් සත්වයෙක්

නැවත කතාවට පැමිණියොත් මැමත් විශේෂ යනු යෝධ හස්ථි විශේෂයක් ලෙස තමයි බොහෝ දෙනා හඳුනා ගන්නෙ. මේ කතා කරන ක්රීට මැමත්ගෙ විශේෂත්වය තමයි මොවුන් ඉතාමත් කුඩා විශේෂයක් වීම.

ඉතාමත් කුඩා කිව්වම කොපමණ කුඩාද ? වැඩුණු සතෙකුගෙ උපරිම උස මීටරයයි. ඒ කියන්නෙ මේ වැඩුණු මැමත් සතෙකු විශාල ප්රමාණයේ සුනඛයෙකුට වඩා විශාල නැහැ. බරින් 180 Kg පමණ. එහෙම කොහොමද වෙන්නෙ ?

ක්‍රීට මැමත් ප්‍රමාණාත්මක සංසන්දනය

සත්ව විද්යාව තුල තිබෙනවා න්යායාත්මක කරුණක් දුපතකට යම්කිසි ජීවීන් කොටසක් සිරවීම තුල ඔවුන් යෝධ බව හෝ කුරු බවට පරිවර්තනය වීම සිදුවෙන බව. ටෙක්නිකල් ටර්ම් එකෙන් කතා කලොත් Insular dwarfism ,insular gigantism. මේ ද්විත්වයට උදාහරණ සිය ගනනක් ලියන්න පුළුවන් වුනත් ලිපිය දීර්ඝ වැඩිවන නිසා ඒක පස්සෙ දවසකට ඉතුරු කරනවා.

ක්රීට මැමත් ක්රීට දූපතට පමණක් සීමා වුන විශේෂිත සත්වයෙක්. දූපත් පාරිසරික තත්වයන් නිසා ඇතිවන සීමිත සම්පත්, දූපතේ භූ පිහිටීම ආදී කරුණු මෙවැනි පරිණාමික සංසිද්ධි සිදුවීමට බලපානවා. මන් ඒක තව ටිකක් සරල කරන්නම් උදාහරණයක් සහිතව. දැන් මහද්වීපය තුල ජීවත් වු මැමත් සතුන් යෝධ සත්වයන්. යම් කිසි කාලයකදි (ග්ලැසියර අවධියකදි) මුහුදු මට්ටම් පහත් වීම නිසා මැමත් සංහතියක් ක්රීට දූපතට සංක්රමණය වෙනවා. කාලයත් සමඟ නැවත අන්තර් ග්ලැසියර අවධියක් ඇතිවෙලා ගොඩබිම සහ දූපත අතර සම්බන්ධය මුහුදෙන් යට වෙනවා. දුපතට සංක්රමණය වූ සත්වයන් දැන් දුපත තුල හුදෙකලා වීමක් සිදුවෙලා. අපි හිතමු මේ දූපත අධික බෑවුම් සහිත කඳු වලින් ගහන දූපතක් කියලා. මේ කඳු තුල තමයි වනාන්තර පිහිටන්නෙ. සංක්රමණික මැමතයන් මුල් කාලයේදි මහද්වීපික සතුන් මෙන්ම විශාල සතුන්. නමුත් ක්රමයෙන් තැනතලා භූමි තුල ආහාර හිඟ වීමත් සමඟම කඳුකර කලාප තුලට ඔවුන් සංක්රමණය විය යුතුයි. ගැටලුව පවතින්නේ මහද්වීපය තුල තැනිතලා බිම් තුල කෑම සොයාගිය මේ යෝධ සත්වයන්ගෙ ගුරුත්ව කේන්ද්රය පිහිටන්නෙ තැනිතලා භූමි තුල කෑම සොයා යෑමට. කඳුකර පද්ධතියකට මේ ගුරුත්ව කේන්ද්රය හැසිරවීම අපහසුයි. පරිණාමය ක්රියාත්මක වන්නෙ මේ අවස්ථාවෙදි. ඔවුන් ක්රමයෙන් ස්වාභාවික වරණයකට ලක්වෙනවා කඳුකර පද්ධතියකට අනුවර්තනය වීමට. ප්රතිඵලය වසර දස දහස් ගනනකින් පසු ඉතිරිවෙන කුරු මැමත් සතෙක්. ගුරුත්ව කේන්ද්රය පමණක් නොව ආහාර අවම වීම එක ලෙස බලපානවා මේ ක්රියාවලියට. භූවිෂමතාව පරිණාමයට බද්ධ වන්නෙ එලෙසින්.

ක්‍රීට මැමත් සැකිල්ලක්

ක්රීට මැමත්ලා ගැන හදාරපු මුල් කාලයේදි මට හිතුනෙ එච්චර පොඩි අලි හිටියනන් හුරතලේට හදන්නත් තිබ්බා කියලා. පසුව කල්පනා වුනා මීටරයක් උස දල ඇති පොඩි ඇතෙක් මඳ කිපී පැමිණ ඇන්නොත් වෙන ආනිසංසය.

දැන් ආයේ කතාවේ මුලටම එමු. එතකොට ග්රීකයො ඇයි සයික්ලොප්ස් අස්ථි ලෙස මේ කුරු මැමත්ව පෙන්නුවෙ ? හස්ථි කපාලයක් ඔබ නිරීක්ෂණය කරොත් බලන්න පුළුවන් කපාලය මැද නාස් කුහරය පිහිටන ආකාරය. මේ කුහරය පුරාණ ග්රීකයන් හඳුනාගත්තෙ අක්ශි කුහරයක් ලෙස. තනි අක්ශි කුහරයක් ලෙස. තනි අක්ශි කුහරයේ යෝධ කපාලය අයිති 'සයික්ලොප්සයන්ට'. මිථ්යාව පිටුපස සැම විටම විදෘව ගැබ්ව තිබෙනවා. එය සොයාගන්නා තෙක් මිථ්යාව පවතිනවා.

ක්‍රීට මැමත් හස්ථි කපාලයක්


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment