Monday, August 19, 2019

සැබෑ පෙන්ග්වින් (True Penguin) - 01


මේ ලිපි කිහිපය මගේ පෞද්ගලික වෝලය තුල තබපු කෙටි සටහන් කිහිපයක්. ප්රාග් ⁣ඉතිහාසයට අයත් නොවුනත් මෑත ඉතිහාසය තුල ජීවී පරිණාමයට සිදුවු මානව කේන්ද්රීය බලපෑම් ලෙස මේ කාරණා ගනන් ගැනෙනවා. ඒ නිසා මෙතනත් කියවීමට සිතැත්තන්ට කියවීම සඳහා මුදා හරිනවා. ඒ ඉදිරියේදි ලිවීමට බලාපොරොත්තුවන යම් සංදර්භයන් සඳහා මේ කාරණාද උපයෝගි වන නිසා.


පෙන්ග්වින්ස්, එහෙම නැත්තන් පෙන්ග්වින් කුරුල්ලො ගැන හැමෝම වගේ අහලා තියෙනවා. ඇන්ටාර්ක්ටික් ඇතුළු පෘථෘවියෙ දකුණු අර්ධගෝලයේ පැතිරීම තිබෙන පෙන්ග්වින් විශේෂ 18 ක් පමණ ජීවත් වෙනවා. නමුත් පෙන්ග්වින් කියන නම අපි අද දකින කියන පෙන්ග්වින්ස්ලට ලැබුනෙ වැරදීමකින්. තවත් විදිහකින් කිව්වොත් පෙන්ග්වින්ස්ලා පෙන්ග්වින්ස්ලා නෙවෙයි.

පෙන්ග්වින්

කැනේඩියානු සීමාවට අයත් නිව්ෆවුන්ඩ්ලන්ඩ් දූපත් සමූහයේ ෆොගෝ දුපතේ වෙරලාසන්න පර්වතයක සිට ඈතට දිවෙන උතුරු අත්ලාන්තික සාගරය දෙස බලා සිටින පක්ශියකුගේ මූර්තියක් තිබෙනවා. කාලයේ වැලි තලාවෙන් යටපත්වු අතීතයක තැනින් තැන ඉතිරී වී පවතින නශ්ඨාවශේශ ගොන්නක එක් කතාවක් මේ පක්ශි මූර්තිය දරාගෙන සිටිනවා.

ෆෝගෝ දූපතේ පක්ෂි මූර්තිය

මා ෆෝගෝ දිවයිනට ගමන් කර නැතත් ෆෝගෝවේ මූර්තිය ගැන ඩැනිශ් මිතුරෙකු කල සඳහනක් නිසා ඒ ගැන තවත් සෙවීමට ඉටා ගත්තෙ කලකට ඉහතින්. උතුරු අර්ධගෝලයේ ආර්ක්ටික් කෞතුකාගාර කිහිපයකින් ෆෝගෝවෙ මූර්තිය හා සබැඳි අතීතයට අයත් කතාන්දරයේ ඉතිරි පරිඡ්ඡේදයන් එකලස් කර ගැනීමට හැකියාව ලැබුනා. අධික හිමපතනය නිසා ජන ශුන්යව හිස්ව ගිය කෞතුකාගාර තුල රිසිසේ කාලය ගත කිරීමට හැකියාව ලද නිසා සත්ව විද්යා අධ්යනාංශ වලට අයත් ප්රදර්ශන කුටි තුල බිම වාඩිවී එරමිණියා ගොතාගෙන කියවු පොත් තුලින් සහ නිදර්ශක සන්සන්දනය තුලින් සම්පූර්ණ චිත්රය පාදා ගැනීම මගේ එක අරමුණක්ව තිබුනා.

ඔස්ලෝ සහ ස්ටොක්හෝම් කෞතුකාගාර තුල ෆෝගෝ මූර්තියේ සැබෑ සත්වයාගේ පුළුන් පිරවු ශරීරයන් දැකිය හැකි. මේ පක්ශියාව ඉංග්රීසි භාෂාවෙන් හඳුන්වන්නේ "ග්රේට් ඕක්" (Great Auk) නාමයෙන්. සියවස් කිහිපයකට ඉහතින් උතුරු අත්ලාන්තිකය කේන්ද්ර කරගනිමින් කැනඩාව, ග්රීන්ලන්තය, ෆැරෝ දූපත්, සහ බ්රිතාන්ය දක්වා වපසරියක පැතිරී සිටි මේ පක්ශි විශේෂය තමයි පෙන්ග්වින් නාමයේ සැබෑ අයිතිකරු. 

අතීතියේ පටන් මේ ග්රේට් ඕකයන්ව මිනිසුන් දැන සිටියා. වර්තමාන පෙන්ග්වින් කුරුල්ලන් වෙසෙන දකුණු අර්ධගෝලයට 17,18 සියවස්වල ගමන් ඇරඹි සේලරුවන් ග්රේට් ඕකයන් (සැබෑ පෙන්ග්වින්) දැන සිටියා, නමුත් දකුණු අර්ධගෝලයේ ග්රේට් ඕකයන්ට රුවින් සමාන පක්ශීන් දුටු විට ඔවුන් ඒ පක්ශින්ටත් පෙන්ග්වින් යන නාමය භාවිතා කරා. නමුත් ග්රේට් ඕකයන් සහ වර්තමාන පෙන්ග්වින් පක්ශින් අතර සමානතාවයක් නැහැ. මේ වැරදී භාවිතය හේතුවෙන් තමයි වර්තමානයේදි අපි දන්න පෙන්ග්වින් පක්ශින්ට 'පෙන්ග්වින්' යන නාමය ලැබුනේ.

එසේනම් නියමාකාර පෙන්ග්වින් (ග්රේට් ඕකයන්ට) කුමක්ද සිදුවුනේ ?
ඒ කොටස දෙවන ලිපියෙන්.


To be continued...


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE






No comments:

Post a Comment