Sunday, August 18, 2019

ස්ටොගොටෙට්රාබෙලෝඩන් (Stegotetrabelodon)


පරිණාමික දිනපොත තුල පිටු තුලින් වසර මිලියන 23.03 පමණ ආපස්සට ගිය විට අපට හමුවන්නේ මයෝසීන යුගයේ ආරම්භය

මයෝසීන යුගය අප ජීවත් වන කලාපය (ඉන්දියාව සහ ලංකාව අයත් භූ තැටිය) ඉතාමත් වැදගත් අවධියක්. පැන්ජියා සුපිරි මහද්වීපයේ ඇන්ටාක්ටිකාව සහ මැඩගස්කරයට මැදිව තනි භූ කලාපයක් ලෙස පැවති ඉන්දියානු භූ තැටිය ක්රම ක්රමයෙන් වසර මිලියන ගනනක් යුරෝපා මහද්වීපය දෙසට තල්ලු වෙමින් පැමිණ යුරේසියානු භූ තැටිය හා ගැටෙන්නේ මේ මයෝසීන අවධියේදි. මේ ඝට්ටනය හේතුවෙන් ඉහලට එසවෙන එවරස්ට් ඇතුළු ටිබේටියානු සානුව තුල මුහුදු බෙල්ලන් ඔබට අදටත් දකින්න පුළුවන් වන්නෙ මයෝසීන අවධියේ මුහුදු මට්ටමින් පැවති භූ කලාපයක යටගියාවක ගැන සාධක ලෙස.

මයෝසීන යුගය තුල මේ අපූරු භු විද්යාත්මක වෙනස්කම් සිදුවන විට ජීවය සුපුරුදු පරිදි තමන්ගෙ පරිණාමික ගමන්මග තුල විවිධ හැඩරුව ගනිමින් පැවැත්ම තහවුරු කරගන්නවා. මයෝසීන අවධියේ අවසන් භාගය තුල අප්රිකාව සහ යුරේසියානු කලාපය තුල තවත් දැවැන්තයන් සැරිසරනවා. මොවුන්ව විද්යාත්මකව හඳුන්වන්නේ "ස්ටෙගොටෙට්රාබෙලොඩෝන්" ලෙස. ග්රීක භාෂාවෙන් 'ස්ටෙගෝ' යනු පියස්ස, මේ සත්වයන්ගෙ චාර්වක දන්ත සැකැස්ම උඩ කොටස පියස්සක් ආකාරයෙන් සැකසී තිබීම නිසා, 'ටෙට්රාබෙලොඩොන්' යනු සිව් දළ.

ස්ටොගොටෙට්රාබෙලෝඩන්

වර්තමාන දෙදළ හස්තීන්ට වඩා රූපමය වෙනස්කම් කිහිපයක් දැරූ මේ සිව්දළ හස්ථීන් අප්රිකාව, අරාබිය, ඉරානය සිට පාකිස්තානු කලාපය දක්වා පැතිරී සිටි හස්ථි ආකාරයක්. ස්ටෙගොටෙට්රාබෙලොඩෝන් ගනය යටතේ විශේෂ ත්රිත්වයක් හඳුනාගෙන තිබෙනවා.
  1. ස්ටෙගොටෙට්රාබෙලොඩෝන් සිර්ටිකස්
  2. ස්ටෙගොටෙට්රාබෙලොඩෝන් ඕර්බස්
  3. ස්ටෙගොටෙට්රාබෙලොඩෝන් ලිබිකස්

අඩි 13 පමණ උසකිනුත්, ටොන් 12 -13 අතර බරකිනුත් සමන්විත වැඩුණු සත්වයන් සැබැවින්ම දැවැන්තයන්.

මයෝසීන අවසාන භාගයේ සිට ප්ලයෝසීනය දක්වා ජීවත්වන මේ හස්ථීන් ඉන්පසුව ෆොසිල වාර්තා වලින් අතුරුදහන් වෙනවා. ඒ කියන්නෙ ඔවුන් වඳවීමට ලක්වෙලා. ෆොසිල වාර්තා අනුව ගත්තම පරිණාමික දිනපොත තුල ඔවුන්ට අයත්ව තිබු කාලය වන්නෙ වසර මිලිය 11.1 ත් 5.3 ත් අතර කාල සීමාව. 

මානව පරිණාමය තුල හැරවුම් ලක්ෂයක් සටහන් කරන ඔස්ට්රලෝපිතෙකස් හොමිනිඩ් වර්ගයා මිහිමත පහල වන්නෙ වසර මිලියන 4 කට පමණ පෙර. ඒ අනුව සලකා බැලුවම ඔස්ට්රලෝපිතෙසීනයන් පෘථෘවිය තුල සැරිසැරීමට වසර මිලියනයකට ප්රථම තමයි අවසාන ස්ටෙගොටෙට්රාබෙලොඩෝන් හස්ථීයා සිය අවසාන ආහාර වේල ලබා ගන්නෙ.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment