Thursday, August 22, 2019

කාචරෝක්ලස් මෙගලොඩොන් (Carcharocles megalodon) - 02




පෙර ලිපියෙන් මෙගලොඩොන් විශේෂයේ ප්රමාණය සහ සංසන්දනාත්මක ප්රමාණයන් ගැන ඉදිරිපත් කරා. ඔවුන්ගෙ පැතිරීම ගැන සලකා බැලුවම ලෝකයේ බොහෝ කලාප වලින් ෆොසිලභවනය වු මෙගලොඩොන් දත් ලැබෙනවා. ඒ කියන්නෙ ලෝකයේ සාගර කලාප බොහෝමයකම මේ සත්වයන් ජීවත්ව තිබෙනවා.

මෙගලොඩොන්ට සමකාලීනව ජීවත් වූ විශාල තල්මසුන් , ඩොල්ෆින් සතුන්, කැස්බෑවුන් ආදිය මෙගලොඩොන්ගෙ දඩයම් බවට පත්වු බවට සාධක ලැබෙනවා. තල්මස් අස්ථි ෆොසිල වල කැපුම් දාර මේ සඳහා නිදසුන්. වර්තමානයේදි ජීවත් වන මිනී මෝරුන්ගෙ දඩයම් උපක්රමය සලකා බැලූ විට ඔවුන් පහර දෙන්නෙ ගොදුරේ යටි ප්රදේශයට. සිරුරේ අනෙක් ප්රදේශ වලට වඩා මෘදු බවින් හෙබි යටි පෙදෙසට ප්රහාර එල්ල කිරීම මඟින් මිනී මෝරන් ගොදුර තම ග්රහණයට නතු කරගන්නවා, නමුත් මෙගලොඩොන් විශේෂය මීට වඩා වෙනස් උපක්රම භාවිතා කර තිබෙන්නෙ. ශක්තිමත් හනු පැවතීමෙන් සෘජුවම ගොදුරේ පපු ප්රදේශයට එල්ල කරන ප්රහාරය මඟින් පපු කුහරයට කිඳා බසින දත් ප්රහාරය ගොදුරේ පෙනහලු සහ හෘදය ආදී අභ්යන්තර ඉන්ද්රීන්ට දැඩි හානියක් සිදු කර ආහාරයට ගැනීම සිදු කර තිබෙනවා.

මෙගලොඩොන් දඩයම්

මෙගලොඩොන් ජීවත් වු කාලය තුලදීම තමයි සුවිසල් විලෝපික තෙල්මන්ද තල්මසුන් (විද්යාත්මකව මොවුන්ව හඳුන්වන්නෙ මැක්රොරැප්ටෝරීයල් ස්පර්ම් වේල්ස්) සාගර පුරා පැතීරිම සිදුවන්නෙ. පෙර ලිපියක සටහන් කල ලිව්යටන් මෙල්විලී, ඇක්රොෆිසිටර් ගනය, බ්රිග්මොෆිස්ටර් ශිගෙන්සිස්, සිග්මෝෆිස්ටර් වැරොලායි ආදී සුපිරි විලේාපික තල්මසුන් මයෝසීන සාගර තුල සැරසැරීම නිසා මෙගලොඩොන් සත්වයින්ට ආහාර සඳහා තරඟයක් පවතින්නට ඇති බවට විද්‍යාඥයන් මත පලකරනවා. මයෝසීන සාගර තුලදි මේ දැවැන්තයන් අනිවාර්යෙන්ම මුණ ගැසෙන්නට ඇති.

මෝරුන් කියන්නෙ චලතාපී සත්වයන් (ඇතැම් විශේෂ අර්ධ අචලතාපී) ඒ හේතුවෙන් ඔවුන් වඩාත් ප්රිය කරන්නෙ උණුසුම් ජලය රැඳි සාගර කලාප වලට. මේ සත්වයන් ආහාර දාම වල ඉහලම පුරුක, එමනිසා පහල දාම තුල පුරුක් වල යැපීම මේ සත්වයින්ගෙ යැපීමට සෘජු බලපෑම් සිදුකරන සාධකයක්. උණුසුම් දේශගුණය කියන්නෙ ප්රභාසංස්ලේෂණය වැඩියෙන් සිදුවන තත්වයක්. ප්රභාසංස්ලේෂණය වැඩිවෙනවා කියන්නෙ ප්රාථමික නිශ්පාදකයන් වැඩියෙන් ආහාර නිපදවීම. සාගර තුල ඇල්ගාවන්, ෆයිටොප්ලෑන්ක්ටන් වර්ග ආදිය ප්රභාසංස්ලේෂණය තුලින් වැඩියෙව් ආහාර නිපදවීම කියන්නෙ ආහාර දාමයේ ඊලග පුරුක්වල ස්ථාවරත්වය ඉහල යෑම. මේ තමයි මයෝසීන සාගරයේ තත්වය. මයෝසීනය අවසන්ව ප්ලයෝසීනය ඇරඹීමත් සමඟ නැවත පෘථෘවිය ශීත දේශගුණයකට ඇතුල් වෙනවා. ප්රභාසංස්ලේෂණ සිඝ්රතාවන් අඩාල වී ප්රාථමික නිශ්පාදනය අවම වෙනවා. ශීත සාගර මෙගලොඩොන් විශේෂයේ පසුබැසීමට හේතුවු එක් කරුණක්.

මීට පෙර සිටසියා පරිණාමය (තල්මසුන් සහ ඩොල්ෆින් අයත් කාණ්ඩය) දීර්ඝ ලෙස ලිපි කිහිපයකින් මම මේ පිටුවෙන් ඉදිරිපත් කරා. එය කියවා නැති අයට පහල ලින්ක් එක තිබෙනවා. කියවා ඇති අයට මතක ඇති තල්මසුන් පරිණාමයේ අවසන් බාගයට වන්නට ඔවුන් උණුසුම් සාගර කලාප තුලින් ශීත සාගර කලාප තුලට සංක්රමණය වු බව. ඒ මෙගලොඩොන් වැනි විපෝපිකයන්ගෙ ප්රහාර වලින් වැලකීමට. ඒකට හේතුව තමයි තල්මසුන් යනු අචලතාපී සත්වයන්, ඔවුන්ට පුළුවන් ශීත සාගර කලාප තුලදි තමන්ගෙ ශරීර උශ්ණත්වය යාමනය කර ගැනීමට. නමුත් මෝර විශේෂයන්ට බැහැ ශීත සාගර කලාපයන් තුල තමන්ගෙ ශරීර උශ්ණත්වය යාමනය කර ගැනීමට. මේකෙ අවසන් ඵලය තමයි මෙගලොඩොන් වැන්නවුන්ගෙ ප්රධාන දඩයමක් වු බැලීන් තල්මසුන් ධ්රැවාසන්න පෙදෙස් වලට තල්ලු වීම. ⁣මෙගලඩොන් විශේෂය නැවතත් සීග්ර පසු බැසීමකට ලක් වෙනවා මේ ආහාර ගැටලුවෙන්. 

ඒ වගේම මෙගලොඩොන් වඳ වීමට තවත් හේතුවක් තමයි නැවත ශීත කාලයකට නතුවෙන පෘථෘවියේ ධ්රැවාසන්න හිම වැස්මවල් මඟින් විශාල ජල ප්රමාණයක් අයිස් බවට පත්වීමෙන් රඳවා ගැනීම නිසා ලෝකයේ සාගර මට්ටම සීග්ර ලෙස පහත බසිනවා. (අඩියක් දෙකක් නෙවෙයි, අවසන් ග්ලැසියර් සමයේදි මෙය අඩි 360 පමණ පහත බැස තිබෙනවා) මේ හේතුවෙන් මෙගලඩොන් විශේෂය පැටවුන් බිහිකල ප්රදේශ අහිමි වීම මොවුන්ගෙ වඳ වීමට තවත් එක් හේතුවක් බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නෙ. ඒ වගේම සඳහන් කල යුතු දෙයක් තමයි මෙගලොඩොන් ජීවත් වු මයෝසීන යුගය තුල කුඩා ප්රමාණයන්ට වැඩුනු බැලීන් තල්මසුන් , මෙගලොඩොන් නශ්ඨව යෑමත් සමඟ සුවිසල් ප්රමාණයන්ට වැඩීම ඇරඹී බව. වර්තමානයේදි ජීවත් වන නිල්තල්මසුන් පවා බැලීන් තල්මසුන් විශේෂයක්.

මෙගලොඩොන් අදින් වසර මිලියන 2.6 කට පෙර ෆොසිල වාර්තා තුලින් ඉවත් වෙනවා. ඒ කියන්නෙ මේ සත්වයන් මීට වසර මිලියන 2.6 කට පෙරදි සම්පුර්ණයෙන්ම නශ්ඨ වු බව. නමුත් ඔවුන් නශ්ඨවී නොමැති බවට විවිධ වාර්තා වැඩ සටහන්, යුටුබ් නාලිකා, ආදිය පවතිනවා නමුත් මේ කිසිවක් විද්යාත්මක අවකාශය තුල කිසිසේත්ම පිලි නොගත් කරුනු බව අවධාරණය කල යුතුයි. 2013 වර්ශයේදි සහ 2014 වර්ශයේදි ඩිස්කවරි නාලිකාව විසින් වැඩසටහන් දෙකක් ඉදිරිපත් කරනවා මෙගලොඩොන් විශේෂය ගැන, ඔවුන් සඳහන් කරනවා මේ සත්වයින් තවමත් ජීවත් වුන බව, ඒ වගේම විවිධ විද්‍යාඥයන් මේ වැඩ සටහන් තුලදි කරුණු ඉදිරිපත් කරනවා මෙගලොඩොන් ජීවත් වන බවට, නමුත් අවසානයේදි හෙලි වුනේ මේ විද්‍යාඥයන් යැයි පැවසු පිරිස ගෙවීමක් සිදුකොට ලබාගත් නළුවන් බවයි. මේ වැඩසටහන් දෙකම ප්රබන්ධ බව අවධාරණය කල යුතුයි. ඒ වගේම මේ වැඩසටහන් ද්විත්වය පිළිබඳව විද්‍යාඥයන් දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබෙනවා. නමුත් වෙලඳ උපක්රම පවතින ලෝකය තුල ඇතැම් අවස්ථාවලදි ප්රබන්ධ හොඳ මිලක් ඇති භාණ්ඩයක්, මිථ්යාව වැලඳ ගැනීමට කැමති හෝමෝ සේපියානුවන්ට වැලඳ ගැනීමට තවත් මිථ්යාවක්. ඒ නිසා විද්යාව තුලදි මෙගලොඩොන් වඳව ගිය සත්වයෙකු පමණක් බව සටහන් කරනවා.

කාචරෝක්ලස් මෙගලොඩොන් වසර මිලියන 20 පමණ කාලයක් පෘථෘවි සාගර සිය අණසකට නතුකරගෙන සිටි අපූරු සත්වයෙක් නමුත් වසර මිලියන 2.6 කට පෙර මෙගලොඩොන් පරිඡ්ඡේදය පරිණාමික දිනපොත තුල සටහන් වී අහවර වෙනවා. 

මෙගලොඩොන්ගෙ ඤාතී පරපුර අද වනතෙක් සාගර තුල සැරිසරමින් සිය පැවැත්ම තහවුරු කරගෙන ඇතිමුත් වර්තමානයේදි මානවයන් විසින් ඔවුන්ට බරපතල තර්ජන එල්ල කරමින් පවතින්නේ. විවිධ ආහාර, සුප් වර්ග සඳහා වරල් පමණක් කපා පණ පිටින් සාගරට අතහරින මෝරුන් ප්රමාණය අධිකයි. පිහිනීමට නොහැකිව මුහුදු පලත්ලට ඇද වැටෙන මේ සත්වයන් ඉතාමත් ඛේදජනක අවසානයක් ලබන්නේ. සංඛ්යා ලෙඛන ගත්තොත් වසරකට ලෝකය පුරා මෝර ප්රහාර ගනන 150 - 200 අතර , නමුත් මිනිසුන් අතින් වසරකට මිය යන මෝරුන් ප්රමාණය මිලියන 100කට අධිකයි. වඩාත් භායානක මෝරාද මිනිසාද යන ගැටලුව සිතන්නට ඉඩ හරිමින් පරිණාමික දිනපොතේ මෙගලොඩොන් සටහන නිමා කරනවා.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment