Sunday, August 4, 2019

ඩයිනෝසරයන් වර්ගීකරණය (Dinosaur Classification)


ඩයිනෝසර විශේෂ ගැන මේ පිටුව තුල තබන සටහන් වලදී බොහෝ දෙනෙකුට භාවිතාවන නම්, වර්ගීකරණ පිළිබඳව ගැටලු ඇතිවන බව වැටහුන නිසා ඩයිනෝසරයන් වර්ගීකරණය සිදුවෙන අති සරලම ආකාරය ගැන සටහනක් තැබීමට සිතුනා.

ඩයිනෝසරයන් වර්ගීකරණය

මේ විෂයෙදි වර්ගීකරණ සිදුකිරීමේ ප්‍රයත්න ආරම්භ වෙන්නෙ සියවස් දෙකකට ආසන්න කාලයකට පෙර සිට. වර්තමානයේදි පවතින වර්ගීකරණය පදනම් වෙන්නෙ ඩයිනෝසර සත්වයන්ගෙ ශ්‍රෝණිය (උකුල) පිහිටන ආකාරය අනුව. උකුල් පෙදෙසෙ අස්ථි සැකැස්ම ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරණය සිදු කෙරෙනවා. උරගයන්ගෙ උකුල් ආකාරයට සමාන උකුල් පෙදෙසක් පිහිටන කාණ්ඩය 'සොරිස්කියන්' ලෙසත්, පක්ශි උකුලකට සමාන උකුල් පෙදෙසක් සහිත කාණ්ඩය 'ඕර්නිතිස්කියන්ස්' ලෙසත් ප්‍රධාන කොටස් ද්විත්වයකට බෙදෙනවා.

ඕර්නිතිස්කියන් ගෝත්‍රය නැවත ප්‍රධාන කොටස් ද්විත්වයකට බෙදෙනවා. සෙරපෝඩා සහ තයරියාෆොරා ලෙස.

සෙරපෝඩාවන් නැවත බෙදෙනවා සෙරටොප්සියා (ට්‍රයිසරැටොපස් වැනි විශේෂ අයත් කාණ්ඩය), ඕර්නිතෝපොඩා සහ පැකිසෙෆලෝසෝරියා ලෙස.
තයරියාෆොරා උපරි ගෝත්‍රය කොටස් ද්විත්වයකට බෙදෙනවා ස්ටෙගොසෝරියා සහ ඇන්කයිලෝසෝරියා ලෙස.

'සොරිස්කියන්' කොටස් ද්විත්වයකට බෙදෙනවා සෝරෝපෝඩා සහ තෙරොපෝඩ් ලෙස. ටිරොනෝසෝරස් වැනි ද්වීපාදිකයන් (අනෙක් කාණ්ඩ වලත් ද්වීපාදිකයන් සිටිනවා නමුත් තේරෝපොඩාවන් සියල්ල ද්වීපාදිකයන්) තෙරෝපෝඩා කාණ්ඩයට අයත් වන විට බ්‍රැකියෝසෝර්, ඩිප්ලෝඩොක්ස් වැනි අති විශාල යෝධ ඩයිනෝසරයන් 'සෝරොපොඩ්' කාණ්ඩයයට අයත් වෙනවා.

මේ සරලම වර්ගීකරණ ආකාරය. විවිධ විද්‍යා‍යතන විසින් මේ වර්ගීකරණ නාමාවලිය විවිධ අයුරින් සිදුකිරීම කලත් සාමාන්‍යයෙන් පිලිගත් වර්ගීකරණ බොහෝමයක් දිවෙන්නෙ මේ වර්ගීකරණය තව දුරටත් සංකීර්ණ කරමින්.

ඩයිනෝසරයන් වර්ගීකරණය පිළිබඳව ඔබට සරල අදහසක් ඇති බව උපකල්පනය කරමින් ඉදිරි සටහන් වලදි වර්ගීකරණ නාම යොදාගන්න බලාපොරොත්තු වෙනවා.



පහත දැක්වෙන ඡායාරූපවල සෙරටොප්සියා, ඔර්නිතොපෝඩා, පැකිසෙෆලෝසෝරියා, ස්ටෙගොසෝරියා, ඇන්කයිලෝසෝරියා, සෝරොපොඩ් සහ තේරොපොඩ් දර්ශක විශේෂ දැක්වෙනවා.

සෙරටොප්සියා විශේෂය


ඔර්නිතොපෝඩා විශේෂය


පැකිසෙෆලෝසෝරියා විශේෂය


ස්ටෙගොසෝරියා විශේෂය


ඇන්කයිලෝසෝරියා විශේෂය


සෝරොපොඩ් විශේෂය


තේරොපොඩ් විශේෂය

(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment