Friday, November 1, 2019

බෑන්ඩඩ් බ්‍රෝඩ්බිල් (Banded broadbill)


චිත්‍ර ශිල්පියෙකුගෙ පින්සල් පහරවල් මෙන් දිස්වෙන වර්ණ සංකලනයක් ඇති මේ පක්ශියාගෙ නම බෑන්ඩඩ් බ්‍රෝඩ්බිල් (Banded broadbill). විද්‍යාත්මක නාමය Eurylaimus javanicus. ඉතාමත් අලංකාර පක්ශියෙක් වෙන මේ බ්‍රෝඩ්බිල් ඉන්නෙ කාම්බෝජය, ලාඕස්, බෲනායි, ඉන්දුනීසියා කලාපයේ.



(Image credit - Kajornyot wildlife photography via getty images)



#DOE


Link to Facebook post --->


හිම යුගයේ අවසන් නියෝජිතයන් (Last representatives of Ice age)




අදින් වසර මිලියන 2.58 කට පෙර ආරම්භවී අදින් වසර 11650 පෙර අවසන් වන කාල පරාසය අපි හඳුන්වන්නේ ප්ලයස්ටොසීනය අවධිය ලෙස. ප්ලයස්ටොසීන අවධිය තුල මිහිමත ඉතාමත් විශාල මෙන්ම විවිධත්වයෙන් අධික ක්ශිරපායින් ගනනාවක් ජීවත් වුනා. මේ ප්ලයස්ටොසීන අවධිය තුලම තමයි අවසන් හිම යුගය එහෙම නැත්තන් අවසන් ග්ලැසියර සමය ක්‍රියාත්මක වෙන්නෙ. ඒ නිසා ප්ලයස්ටොසීනය තුල ජීවත් වු සතුන් අධික ශිතලට ඔරොත්තු දීමේ හැකියාවන් සහ අනුවර්තනයන් දක්වන සතුන්.

ප්ලයස්ටොසීනය ක්‍රමයෙන් අහවර වෙද්දි පෘථිවිය නැවත උණුසුම් වීම ඇරඹෙනවා. ඒ එක්කම සිදුවන වන වැස්මෙ වෙනස් වීම්, දේශගුණික වෙනස් වීම් ආදී කරුණු විශාල සංඛ්‍යාවක් හේතුවෙන් පෙරැකී ප්ලයස්ටොසීන සත්ව සන්තතිය වඳව යනවා. වූලී මැමත්, වූලී රයිනෝ ආදී විශාල ක්ශිරපායින් මේ නශ්ඨවීමේ ක්‍රියාවලියට බඳුන් වෙනවා. 

නමුත් ඔබ වර්තමානය තුල දකින ඇතැම් සත්ව විශේෂ මේ ප්ලයස්ටොසීනය තුල අවසන් හිම යුගය සමඟ බිහිවී නශ්ඨවීමට ලක් නොවු සතුන්. පිනි මුවන් කියන්නෙ එවැනි එක් විශේෂයක්. යුරෝපයේදී පිනි මුවන් හඳුන්වන්නේ Reindeer (රේන්ඩියර්) ලෙස නමුත් උතුරු ඇමරිකාවේදි ඔවුන්ව හඳුන්වන්නේ Caribou (කැරිබු) ලෙස නමුත් මේ එකම විශේෂය.

පිනි මුවන් උතුරු අර්ධගෝලයේ ධ්‍රැවීය කලාපය පුරාම පැතිරි සිටිනවා. අදින් වසර 1500 පමණ පෙර පිනිමුවන් අර්ධ ගෘහස්තකරණය කිරීමට මිනිසුන් සමත්ව තිබෙනවා. ඉනුයිට්, ලැප්ලන්ඩ්, හන් වගේ උතුරු කලාප තුල පැතිරි සිටින විවිධ ජාතීන් මේ පිනිමුවන් මත තමයි සම්පූර්ණයෙන්ම යැපෙන්නෙ. ශ්‍රී ලංකාවේ ජීවත්වන අප පොල්ගස කප්රුකක් සේ සලකන අයුරින් ඔවුන් පිනිමුවන් කප්රුකක් සේ සලකනවා. පිනිමුවන්ගේ ලේ , සම, මාංශ, කුර, අංතට්ටුව ආදියෙන් ඔවුන් සමස්ථ ජීවන රටාවම හැඩකරගෙන තිබෙන අයුරු දකින්න පුළුවන්. - 40 °C පමණ අගයන් දක්වා දිවෙන ශිතල පරිසරයන් වල පිනිමුව හම ඉතාමත් හොඳ හිම කබායක්. පිනිමුවන්ගේ ලොම් ආවරණය ස්ථර දෙකකින් යුක්තයි. යටි ස්ථරය කෙටි ඝනකම් ලොම් වලින් යුක්ත ස්ථරයක්. ඒ ස්ථරය ආවරණය කරමින් දිග ලොම් සහිත ආවරණයක් දිවෙනවා. මේ නිසා ඉතාමත් අධික ශිතල දරාගන්න පුළුවන් මේ පිනිමුවන්ට.

හිම මතින් තණකොල වැස්ම යටවු විට පිනිමුවන්ට හැකියාව තිබෙනවා පා කුර මඟින් හාරා ඒවා පාදාගන්න. හිම ස්ථරය යටින් වැවෙන පෙඳ පාසි ආදිය ඔවුන් සිය කුර මඟින් පාදාගන්නවා. පිනිමුව කුර පිහිටන්නේ අඬ සඳ ආකාරයෙන් නිර්මාණය වු පැතලි කුර ද්විත්වයකින්. ශරීරයේ සම්පූර්ණ බර හිම මත දැරීමට සහ සවලක් මෙන් බිම හැරීමට යෝග්‍ය පරිදි තමයි මේ කුර නිර්මාණය වී තිබෙන්නේ.

පිනිමුවන් උප විශේෂ ගනනාවක් උතුරු අර්ධගෝලය තුල පැතිරී තිබෙනවා. මේ අතරින් උතුරු අර්ධගෝලය ආක්ටික් කවයට ඇතුලතින් පිහිටන කුඩා දූපතක කුරු පිනිමුව කණ්ඩායමක් ජීවත් වෙනවා. මේ කුඩා පිනිමුවන් මා අධ්‍යනය කර තිබෙනවා ඔවුන් දූපත් කුරු භාවයට ලක්වු කාණ්ඩයක්. මහද්වීපික විශේෂයෙන් කාලයක් තිස්සේ වෙන්ව සිටීම නිසා දුපතට අනුවර්තිත ලක්ෂණ දරන මේ කුඩා පිනිමුවන් ඉතාමත් සුවිශේෂී සිත්ගන්නාසුළු සත්වයන් කොටසක්.

ලෝකයේ දැනට සිටින විශලෙතම සංක්‍රමණික පිනිමුව කාණ්ඩය සිටින්නේ යුරෝපයේ. ඒ කාණ්ඩයක් සාමාජිකයන් ලක්ෂ 6- 10 දක්වා දිවෙනවා. දෙවනුවට විශාලතම කාණ්ඩය සිටින්නේ උතුරු ඇමරිකාවේ. මේ කාණ්ඩය ලක්ෂ 4 පමණ. සෘතු මාරු වීමත් සමඟ මේ සතුන් කලාපයෙන් කලාපයට මාරු වෙනවා ආහාර සොයාගෙන. ඒත් සමඟම පිනිමුවන් මත යැපෙන මිනිසුන්ද පිනිමුව රංචු සමඟ ගමන් කරනවා. මේ සීසනල් වේරියේශන්ස් / සෘතු සමඟ වෙනස්වීම වසර දහස් ගනනක සිට සිදුවන ක්‍රියාවලියක්. මීට සති කිහිපයකට පෙර පිහිනන පිනිමුන්ගෙ මැමත් දල කැටයමක් ඔබට ඉදිරිපත් කලා මතක ඇති. මැඩලීනියන් සංස්කෘතියට අයත් එය වසර 15000 පමණ පැරණි. ඒකෙන් ඔබට සිතාගන්න පුළුවන් පිනිමුවන් සහ මානවයන් අතර සබඳතාව කොතරම් දුර දිවෙන්නක්ද කියා.

දේශගුණය උණුසුම් වීමත් සමඟම ක්‍රමයෙන් මේ සත්වයන්ගෙ වාසස්ථාන අහිමි වෙමින් යන්නෙ. ඔවුන්ගෙ කලාපයන් ක්‍රම ක්‍රමයෙන් උතුරු අර්ධගෝලයේ ඉහලම අක්ෂාංශ වලට පසු බසිමින් පවතින යුගයක් තමයි මේ වර්තමානය. ප්ලයස්ටොසීන තුල අහවර නොවු පිනිමුව පරිඡ්ඡේදය වර්තමාන හොලෝසීනය තුල අහවර වීමට තිබෙන්නේ වැඩි ඉඩක්. හිම යුගයේ මිහිමත පහල වු ඒ අපූරු සත්ව සන්තතියේ අවසන් නියෝජිතයන් අපත් සමඟම අද ජීවත් වන විට ඔවුන් ගැන සෙවීම ඇගයීම අප සිදුකල යුතු දෙයක්.


(Image credit - Ville Sinkkonen)



#DOE




බෑග්වර්ම් දළඹුවන් (Bagworm moth)


බෑග්වර්ම් නැමැති සලබයාගෙ දළඹු අවස්ථාව සේද වලින් කෝෂයක් නිර්මාණය කරගන්නවා. නමුත් මෙහි වඩාත් සිත්ගන්නාසුළු ක්‍රියාව තමයි කෝෂය නිර්මාණය කරගත් පසු එය සතුරන්ගෙන් වඩාත් ආරක්ෂා කරගැනීම සඳහා මේ කෝෂය වටා කෝටු කැබලි වැනි ද්‍රව්‍ය වලින් කුඩා ආවරණයක් අටවා ගැනීම. මේ ආවරණය ඇතැම් විට කුඩා නිවසක් මෙන් දිස්වන අවස්ථා තිබෙනවා.



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




සයිගා (Saiga antelope)


අවසන් හිම යුගය දක්වා අතීත සම්භවයක් ඇති මුල් ප්ලයස්ටොසීනය දක්වා ෆොසිල සාධක දිවෙන සයිගාවන් ගැන අසා තිබෙනවද? සයිගාවන් කියන්නෙ එතරම්ම පැරණි ජීවි විශේෂයක්.

සයිගා

යුරේසියානු ස්ටෙප් තෘණ භූමි , කාර්පැතියන්, කොකෙැසස් කඳු පන්ති හරහා මොංගෝලියාව, චීනය තෙක් පැතිරුනු විශාල අඩවියක ජීවත් වුන සයිගාවන් වර්තමානය වන විට ඉතාමත් දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති ජීවි විශේෂයක්. මේ සත්වයින් නුදුරු අනාගතයේදිම මිහිමතින් තුරන්ව යෑමට ආසන්නයි. සයිගාවන්ට දඩයම, වාසභූමි අහිමි වීම වගෙ මානව තර්ජනවලට අමතරව ස්වාභාවික තර්ජනත් ඒමටයි. විටින් විට ඇතිවන ස්වාභාවික වසංගත තත්වයන් නිසා සයිගා ගහනය කෙමෙන් කෙමෙන් අඩු වෙමින් පවතිනවා. 2015 වර්ශයෙදි පමණක් සති දෙකක් වැනි සුළු කාල රාමුවක් තුල සයිගාවන් හඳුනා නොගත් හේතුවකින් 134000 පමණ මිය ගියා. 

සයිගාවන් ඇන්ටිලෝප් සත්වයිනට ඤාතීත්වයක් දක්වන සත්ව විශේෂයක්.මොවුන්ගෙ විශේෂිතම ලක්ෂණය තමයි කෙටි හොඬවැලක් මෙන් පිහිටන නාසය. සංක්‍රමණ සමයේදි විශාල සයිගා රැලවල් ගමන් කිරීමෙන් ඉහල නගින දුහුවිලි තුලින් වාතය පෙරහන් කර ආශ්‍වාස කිරීමටත් ශීත සෘතුවලදි සිසිල් වාතය ආශ්වාස කිරීමේදි එය උණුසුම් කිරීමටත් උපකාරී වෙනවා. සයිගාවන් කියන්නෙ අවසන් හිම යුගයෙන් පසු ශේෂ වූ අපූරු සත්ව විශේෂයක්. 

මේ සත්වයින් මිහිමතින් තුරන් කිරීමට පරිණාමය තීරණය කර ඇත්ද ? වෙනස්වන දේශගුණික රටා වැනි කරුණු සමඟ ඉදිරියට යාමට ඔවුන් දැන් නුසුදුසුද ? එහෙමත් නැත්නම් ඔවුන්ගෙ අවසානයට අපි සෘජුවම වගකිව යුතුද ? යන්නට තවමත් නිසි පිලිතුරු නැති ප්‍රශ්න.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Monday, October 28, 2019

හෙලීකොප්රයන් (Helicoprions)


ප්‍රාග්ඓතිහාසික මෝරුන් විශේෂ අතරින් ඉතාමත් ප්‍රචලිත විශේෂය තමයි මෙගලොඩොන් මෝරුන්. මෙගලොඩොන් ගැන මීට පෙර පරිණාමික දිනපොත තුලින් දීර්ඝ වශයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මෙගලොඩොන් හැරෙන්නට මේ ප්‍රාග්ඓතිහාසික යුග තුල සාගර වල ඉතාමත් අපූරු මෝරුන් විශේෂ දහස් ගනනක් ජීවත්ව තිබෙනවා. අද පරිණාමික දිනපොත තුල පරිඡ්ඡේදය වෙන් වෙන්නෙ එවැනි ඉතාමත් ගුප්ත විශ්මය දනවන සුළු මෝර විශේෂයකට.

මීට පෙර මා සඳහන් කර තිබෙනවා මෝරුන් පෘථිවිය මත පහල වන්නෙ මීට වසර මිලියන 450 ක් තරම් ඈත ඕර්ඩෝවීසියානු අවධිය තුල. ඩයිනෝසරයන්ගෙ කාල රාමුව ඇරඹීටත් ඉතාමත් ඈත යුගයක් තමයි ඕර්ඩෝවීසියානු අවධිය කියන්නෙ. මෝරුන් කියන්නෙ මත්ස්‍ය විශේෂයක්. ඉතාමත් සරලව මත්ස්‍යන් බෙදීමකට ලක් කරොත් කාණ්ඩ දෙකක් හඳුනාගන්න පුළුවන්. ඒ තමයි අස්ථික මසුන් (ඇටකටු තිබෙන) සහ කාටිලේජමය මසුන් (කාටිලේජමය සැකිල්ලක් පවතින). කාටිලේජ් කියන්නෙ ඔබේ කන් පෙත්ත නාසය ආදී ස්ථාන සෑදී තිබෙන ද්‍රව්‍යට. මෝරුන් කියන්නෙ මෙවැනි කාටිලේජමය මසුන් කාණ්ඩයක්.

මේ කතාවට කාටිලේජ් කතාව ඈඳා ගැනීමට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් ෆොසිලකරණයට ලක්වන්නෙ අස්ථිමය ද්‍රව්‍ය. කාටිලේජමය ද්‍රව්‍ය අදාල සත්වයා මිය ගිය පසු ඉතාමත් ඉක්මනින් හායනයට ලක්වෙනවා. පරිසරය තුල වැඩිකල් පවතින්නේ නෑ. මෝරුන් , මඩුවන් වැනි කාටිලේජමය මසුන් ගැන කතා කරද්දි ෆොසිල විද්‍යාඥයන් දැඩි අපහසුතාවකට පත්වෙනවා ඔවුන්ගෙ ෆොසිලකරණය වු සැකිලි හමු නොවීම නිසා. කාරණය සරලයි සම්පුර්ණ සැකිල්ලම මරණයෙන් පසු ඉක්මන් හායනයකට ලක්වෙනවා.

එහෙමනම් කොහොමද වසර මිලියන 450 කට එපිටින් මෝරුන් සිටි බව ප්‍රකාශ කරන්නෙ ? මෝරුන් මිය ගිය පසු ඉතාමත් වැදගත් සාක්ශියක් ඉතුරු කරනවා.ඒ තමයි දත්. මෝර දත් ඉතාමත් හොඳින් ෆොසිලභවනය වන කොටසක්. ඊටත් අමතරව මෝරුන් සිය ජීවිත කාලය පුරාම දත් සිය ගනනක් නිපදවනවා. වලලු කිහිපයක් ආකාරයෙන් එකිනෙකට පසුපසින් නිපදවන මේ දත් එකක් ගැලවුන විට එය ප්‍රතිශ්ඨාපනය වන ලෙස තමයි සකස් වෙන්නෙ. මේවාට අමතරව ඉතාමත් දුර්ලභ ලෙස සංරක්ෂණ වුන මෝරුන්ගෙ වෙනත් කොටස් හමුවෙනවා.

ෆොසිල විද්‍යාවේ මුල් කාලයේදි පටන් ක්ශේත්‍රයේ නියුතු පුද්ගලයන්ට ඉතාමත් ගැටලු සහගත ෆොසිල ආකාරයක් හමුවෙනවා. සුලියක් ආකාරයෙන් රවුමට පිහිටන දත් කට්ටලයක් තමයි මේ ෆොසිල තුල අන්තර්ගත වෙන්නෙ.

හෙලීකොප්රියන් ⁣දන්ත සැකැස්මෙ ෆොසිලයක්

ක්‍රමයෙන් මේ දත් අයිති මෝර විශේෂකට බව සොයාගත්තත් මේ දත් පිහිටන ආකාරය, ඒවා පිහිටන්නෙ උඩු හනුවේද යටි හනුවේද යන්නට ගැටලුකාරී තත්වයක් පැන නගිනවා. මේ උභතෝකෝටිකය විසඳීමට විවිධ විද්‍යාඥයන් ප්‍රතිනිර්මාණ දුසිම් ගනනක් ඉදිරිපත් කරනවා. ඇතැමුන් ඒවා උඩු හනුවේ පිහිටන ආකාරය සටහන් කරනවා. කෙසේ නමුත් මේ සටහන් තුලින් මතුවෙන්නෙ විකාරරූපී සත්වයෙක්. මේ මෝර ගනයට ලබාදෙන නම තමයි 'හෙලීකෝප්රයන්'.

හෙලීකොප්රයන් විවිධ ප්‍රතිනිර්මාණ


සියවසකට වඩා කාලපරිච්ඡේදයක් තුල විවිධ විද්‍යාඥයන් හෙලීකොප්රයන් නිර්මාණය කල අයුරු. මේ ඡායාරූපයේ යටම සිටින්නේ අයිඩහෝ විශ්වවිද්‍යාලය සිදුකල වර්තමානයේදි පිලිගත් ප්‍රතිනිර්මාණය

 හෙලීකොප්රයන් විශේෂවල මේ සුවිශේෂී දන්ත පිහිටීම ගැන නිසි අධ්‍යනකින් පසු ගිය වසරේ අයිඩහෝ විශ්වවිද්‍යාලය විසින් CT scan ක්‍රම යොදාගනිමින් ප්‍රතිනිර්මාණයක් ඉදිරිපත් කරනවා. පහල ඡායාරූපවල එය දකින්න පුළුවන්. ඒ අනුව හෙලීකොප්රියන් මෝරුන් ගොදුරු ඩැහැගෙන එය උගුර තුලට රුවා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස තමයි මේ දන්ත පිහිටීම සකස්ව තිබෙන්නෙ.

පිලිගත් ප්‍රතිනිර්මාණයේ සම්පූර්ණ රූපය

හෙලීකොප්රයන්ලා ජීවත් වන්නෙ අදින් වසර මිලියන 290 පෙර තිබු පර්මියන් අවධියේදි. හෙලීකොප්රයන්ලට ලඟම ඤාතීත්වයක් දක්වන්නෙ වර්තමානයේදි ජීවත්වන මෝරුන් අතරින් කිමෙරාවන්. 

වර්තමානයේදි ජීවත්වන ලඟම ඤාතියා කිමෙරා

හෙලීකොප්රයන් විශේෂ ගනනාවක් හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් 2011 වර්ශයේදි සොයාගනු ලබන ෆොසිලයක් මඟීන් නීර්ණය කරන්නෙ ඒ අයත් විශේෂය අඩි 30 පමණ විශේෂයක් බවයි. විශාලතම හෙලිකොප්රියන් විශේෂ අඩි 35 ඉක්මවු බව සඳහන් වෙනවා. H. bessonowi, H. davisii, H. ergassaminon එවැනි හෙලීකොප්රයන් විශේෂ කිහිපයක්.

කෙසේ නමුත් මේ අපුරු මෝර විශේෂ ඩයිනෝසරයන් මිහිමත ප්‍රචලිතවු ට්‍රයැසික් යුගයේ මුල් අවධිය තුල වඳව යනවා. එතනින් පසුව මොවුන්ගෙ සාධක ෆොසිල වාර්තා තුලින් හමුවන්නේ නැහැ. පර්මියන් ට්‍රයැසික් යුග තුල සාගරය තුල විසු මේ විලෝපිකයාගෙ පරිණාමික පරිඡ්ඡේදය අහවර වන්නෙ එලෙසින්.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




යෝධ ජෙලි ෆිෂ් (Giant Jellyfish)


ජෙලි ෆිෂ් (Jelly fish), සිංහලෙන් කිව්වොත් "ලොඩියන්" කියන්නෙ සාමාන්‍යයෙන් කුඩා ප්‍රමණයන්ගෙ සත්ව විශේෂ විදිහට තමයි බොහෝ දෙනා දන්නෙ.

මේ ඉන්නෙ Giant barrel jellyfish විශේෂය. කිමිදුම්කරු එක්ක ප්‍රමාණය ඔබට වටහාගන්න පුළුවන්.



(Image credit - Dan Abbott)



#DOE




ගැට කිඹුලන් (Saltwater Crocodiles)


මේ ඡායාරූපයේ සිටින්නේ ප්‍රමාණයෙන් විශාලත්වය කියන නිර්ණායකයේ පළමු තැන ගන්න කිඹුල් විශේෂයට අයත් සාමාජිකයෙක්. සංසන්දනාත්මක ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන් අසල සිටින මනුශ්‍යාගෙන්. මේ විශේෂය අපි විද්‍යාත්මකව හඳුන්වනවා Crocodylus porosus ලෙස. සෝල්ටීස් කියා කෙටියෙන් හඳුන්වනවා ඉංග්‍රීසී භාෂාවෙන්. සිංහල භාෂාවෙන් ගැට කිඹුලා ලෙස හඳුන්වන්නේ මොවුන්ව. ලංකාව ඉන්දියාව ඇතළු ඉන්දු පැසිපික් සහ ඔස්ට්‍රේලියානු මහද්වීපය පුරාම මොවුන්ගෙ පැතිරීම තියෙනවා.

ගැට කිඹුලන් (Saltwater Crocodiles)

අතිශයින්ම දරුණු වගේම ඉතාමත් නිවැරදි ඉලක්ක ලබාගන්න විලෝපිකයෙක් තමයි ගැට කිඹුලා. ඔවුන් නිරන්තරයෙන්ම සතුන් ගැවසෙන දිය බොන ස්ථානයන් නිරීක්ෂණය කරමින් සතුන්ගෙ හැසිරීම අධ්‍යනය කිරීමෙන් පසු තමයි පහර දෙන්නෙ. 
ලංකාවෙ ඉන්න අනෙක් විශේෂය නම් මෙතරම් විශාල වන්නෙ නෑ. ඔවුන්ව හඳුන්වන්නේ හැල කිඹුලන් ලෙස (Crocodylus palustris) / Mugger crocodiles

මිලියන ගනනාවකට දිවෙන ප්‍රාග්ඓතිහාසික යුගයන්වල සිටම මේ විශේෂයන්ගෙ ආදිතමයන් දැරූ දඩයම් උපක්‍රම එතරම් දුරකට වෙනස් වෙලා නැහැ ඊට හේතුව වන්නෙ ඔවුන් එතරම්ම සාර්ථක දඩයම්කරුවන්. ජීවත්වන පාරිසරික නිකේතන සඳහා විශේෂඥයන්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE