Wednesday, November 4, 2020

ලස්කෝ (Lascaux, complex of caves)


1940 වර්ශයේ සැප්තැම්බර් 12 වෙනදාවක ප්‍රංශයේ ලස්කෝ ගුහා සංකීර්ණය සොයාගනු ලබනවා තරණයන් සිව්දෙනෙකු විසින්. ඉතාමත් කුඩා ගුහා විවරයක් තුලට ඔවුන්ගෙ සුරතල් සුනඛයා පසුපස යමින් තමයි මේ සොයාගැනීම සිදු වෙන්නෙ.
 
ඉහල පැලියොලිතික අවධියට අයත් වසර 17000 පමණ පැරණි ගුහා චිත්‍ර 600 පමණ ලස්කෝ අභ්‍යන්තර ගුහා බිත්ති පුරා දැකගන්න පුළුවන්. ප්ලයස්ටොසීන යුගය අවසාන භාගයට වන්නට පුරාණ මානවයන් දඩයම්කල, ඔවුනට මුණගැසෙන සතුන් ආදීය විචිත්‍රවත් ලෙස මේ ගුහා බිත්ති තුල සටහන්ව පවතිනවා. ගුහා බිත්ති තුල ඇති නැමුම් දාර ආදිය චිත්‍රවල ජීවමාන බව සහ විවිධ හැඩතල ඉස්මතු කිරීමට යොදාගෙන තිබෙනවා.
 
පුරාවාද්‍යඥයන් විශ්වාස කරන්නෙ ආදී මානවයන්ගෙ පරම්පරා ගනනාවක් මේ ගුහාව මේ ආකාරයෙන් යොදාගත් බවයි. ඇතැම් මත වලට අනුව ලස්කො යනු පුරාණ මානවයන්ගෙ දෙවොලකට සමාන තැනක්. පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් මේ ස්ථානයේ සිතුවම් නිර්මාණය කර භාවිතා කර ඇති ආකාරය ගැන සාක්ශි මේ ගුහා සංකීර්ණ පුරාම දැකගන්න පුළුවන්. එකල ආලෝකය ලබාගැනීමට භාවිතා කල මූලාශ්‍ර වල දැලි සටහන් පවා මේ ගුහාව තුල සංරක්ෂණය වී පවතිනවා.
 
ලස්කො ගුහා සංකීර්ණය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ස්ථානයක්. සැබවින්ම ඉතාමත් අලංකාර මෙන්ම විශ්මය උපදවන ස්ථානයක්. ලෝකය පුරා 'ශිෂ්ඨාචාර' ලෙස හඳුන්වන සංස්කෘතීන්හී කාල පරාසයන් දිවෙන්නෙ වසර 6000 පමණ අතීතයට. නමුත් ලස්කො සිතුවම් වසර 17000 පැරණියි. අනුරාධපුර යුගයට වඩා වසර 14500 පැරණි නිර්මාණ තමයි මෙහි පවතින්නේ. ප්ලයස්ටොසීනයේ අවසන් භාගයට වන්නට අධික ශිතලත් සමඟ පැතිර ගිය තෘණ භූමි තුල සැරි සැරූ මුවන්, ප්‍රාග්ඓතිහාසික අශ්ව විශේෂ, නූතන ගෘහාශ්‍රිත ගවයන්ගෙ පූර්වජයන් ලෙස සලකන අවුරොක්, අයිබෙක්ස්, බයිසන්, සිංහයන්, වලසුන් මේ චිත්‍ර තුල දකින්න පුළුවන්. වර්තමාන යූරෝපය තුල මේ සත්ව විශේෂ නොමැති වුනත් එකල සිටි බවට ජීවමාන සාක්ශි තමයි ලස්කෝ චිත්‍ර.
 
ලස්කෝහි සිතුවමක්

අවාසනාවකට අද සංචාරකයන් සඳහා ලස්කෝ විවෘත නැහැ. අධික සංචාරකයන් ප්‍රමාණයක් නිසා පිටවන CO2 ප්‍රමාණය ඇතුළු තවත් හේතු ගනනාවක් නිසා මේ චිත්‍රවලට හානි වෙන්න පටන් ගැනීමෙන් මේ ස්ථානය වර්තමානයේදි සංචාරකයන්ට තහනම්. ලස්කො ගුහාවේ ප්‍රතිනිර්මාණයක් තමයි දැකගන්න පුළුවන් වෙන්නෙ. ප්‍රංශ බළධාරීන් මේ ලෝක උරුමයට හානි වෙනවා යැයි වටහාගත් විට "ලංකාවේ බළධාරීන් වගේම" ඉතාමත් ඉක්මන් ක්‍රියාමාර්ග අරන් තියෙනවා ඒක රැකගන්න.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
#DOE


 
 

ඔටු පරිණාමය (Evolution of Camel)

 
ඔටුවා කියන වචනෙත් එක්ක සාමාන්‍යයෙන් අවලස්සන පෙනුම, මුග්ධ බව ආදී කරුණු ගෙනහැර දැක්වීමට ව්‍යවහාරය නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඔටුවා සහ කාන්තාරය එකකට එකක් වෙන් කල නොහැකි සේ බැඳී තිබෙන පද දෙකක්.නමුත් ඔබ දන්නවාද ඔටුවන්ගෙ පරිණාමික කතාව ආරම්භ වන්නෙ අධික ශිත පෙදෙස් වලින් බව ? ස්වාභාවධර්මයේ ඇතැම් උදාහරණය තිබෙනවා මුල් අවස්ථාවේ යම් යම් ව්‍යුහයන් පරිණාමය වන්නෙ ඉතාමත් සුවිසේශි කෘත්‍යන් සඳහා නමුත් පසුව මේ සත්වයන් ඊට හාත්පසින්ම වෙනස් පාරිසරික නිකේතනයක් ජය ගන්නවා පෙරකී ව්‍යුහයන්ම භාවිතා කරමින්. එක් උදාහරණයක් තමයි ටෙට්රොපෝඩා පරිණාමයේ අස්ථික මත්ස්‍ය කාණ්ඩ සාගර පතුල තුල ගමන් කිරීම සඳහා යොදාගන්න වරල්. මේ වරල් ක්‍රමයෙන් ගොඩ බිම ඇවිදීමට ඉතාමත් යෝග්‍ය ව්‍යුහයන් බවට පත්වෙනවා. එතනදිත් මූලීක අවස්ථාවේදි ඒවා ඇතිවන්නේ එක් හේතුවකට නමුත් ක්‍රමික පරිණාමයේදි හේතුව සහා නිකේතය වෙනස් වීමකට ලක්වෙනවා.
 
 
ඔටුවන් මීට වසර මිලියන 45 පමණ පෙර පරිණාමය වන්නෙ උතුරු ඇමරිකාවෙන්. ඒ වෙද්දි ලෝකයේ මහද්වීප සැකැස්ම වර්තමානයට වඩා ඉතාමත් වෙනස්. උතුරු ඇමරිකාව තුල සම්භවය වන මොවුන්ගෙන් එක් කොටසක් දකුණු ඇමරිකානු ප්‍රදේශ වෙත ගමන් කරනවා. තවත් කොටසක් මීට වසර මිලියන 3 -5 කාලයේදි (ඒ වෙද්දි මානව පරිණාමය ගත කරන්නෙ ඔස්ට්‍රලෝපිතසීනයන්ගෙ අවධිය තුල) බෙරින්ගියානු පාලම (ඇලස්කාව හරහා ආසියාව උතුරු ඇමරිකාවට සම්බන්ධ කරන ගොඩබිම් පාලම) හරහා යුරේදසියාවට ගමන් කරනවා.
 
මේ කතාවේදි දකුණු ඇමරිකානු කලාප වලට ගිය ඔටු පූර්වජයන් තමයි ඇල්පාකාස්, ලාමාස් , විකූන්‍යා ආදී විශේෂ බවට පත්වන්නෙ. බෙරින්ගියාව හරහා යුරේසියාවට පැමිණි පුරුක් තමයි වර්තමානයේදි දකින්න පුළුවන් ඩ්‍රොමෙඩරි, බැක්ට්‍රියන් ආදී ඔටු විශේෂ බවට පත්වන්නෙ.
 
ඔබට පේනවා ඇති මේ සත්වයින්ගෙ පරිණාමයේ විශාල කාලයක් ගතවන්නෙ උතුරු අර්ධගෝලයේ උතුරු කෙලවරට සමීපව බව. අධික ශිත දේශගුණික තත්වයනට ඔරොත්තු දෙන ලක්ෂණ කිහිපයක් තමයි මේද ස්ථර ගබඩාකර ගත හැක ව්‍යුහ, හිම වල නොගිලී පා තැබිය හැකි පලල් පාද, හිම කුණාට ආදියෙන් ආරක්ෂාවී දැකිය හැකි අනුවර්තිත ඇස් ආදී ලක්ෂණ. මේ ටික කියාගෙන යද්දි ඔබට වැටහෙන්න ඕන මේ ලක්ෂණ ටිකම තමයි වර්තමානයේදි කාන්තාරයට සරිලන ලෙස සකස්ව ඇති ඔටුවන්ගේත කැපී පෙනෙන ලක්ෂණ බව.
 
පෙර සඳහන් කලාක් මෙන් මේ ඇතැම් සතුන් දක්වන මූලීක අනුවර්තන පසු අවධියකදි පෙර සිටි පාරිසරික නිකේතනයට වඩා හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දරන පාරිසරික නිකේතනයක ජීවිතය ජය ගැනීමට උපකාරී වන බව. ඔටුවො කියන්නෙ වර්තමානයේදි දකින්න පුළුවන් ක්ශීරපායින් අතරින් අතිශයින්ම දුශ්කර පාරිසරික නිකේතන දික්විජය කරපු සත්ව කාණ්ඩයක්. මානව පරිණාමයෙ සමස්ථ කාලය වසර මිලියන 8 පමණ බවට සලකන්නෙ. ඔටුවන් බිහිවන්නෙ ඊට වසර මිලියන 37 පෙරදි. ඔවුන්ගෙ සමස්ථ කාලය වසර මිලියන 45 ක්. වසර මිලියන 45 අති දීර්ඝ කාල පරාසයක් අතිශයින්ම දුශ්කර පාරිසරික නිකේතන ජය ගනිමින් වර්තමානයට පැමිණ තිබෙනවා කියන්නෙ පරිණාමිකව සුපිරි ජීවී කාණ්ඩයක් බව.



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
 
 
 

#DOE


සර්ප අනුකරණය (Disguised Caterpillar)

 
Elephant hawk moth විද්‍යාත්මකව Deilephila elpenor කියන සලබයාගෙ දළඹු අවස්ථාව තමයි ඔබ මේ පහත ඡායාරූප වලින් දකින්නෙ. 
 
දළඹු අවස්ථාව
 
මේ දළඹුවා විෂ රහිත සත්වයෙක් වුනත් තර්ජනයට ලක්වු අවස්ථාවක අනුකරණය කරන්නෙ සර්පයෙකුව. එකවරම සර්පයෙකු ලෙස වරදවා වටහාගන්න පුළුවන් මේ දළඹුවාව.

පහතින් තියෙන්නෙ සලබ අවස්ථාව. කොතරම් විශාල වෙනසක්ද යන්න ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. 

සලබ අවස්ථාව

විෂ නැති සතුන් විෂ සහිත සතුන්ව අනුකරණය කිරීමෙන් පැවැත්ම රැගකන්න උදාහරණ අතරින් ඉතාමත් අපූරු අවස්ථාවක් තමයි elephant hawk සලබයාගෙ දළඹු අවස්ථාව.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

  

 #DOE

  

රෙඩ් ශැන්ක්ඩ් ඩූක්ස් (Red-shanked Douc)

 
අහලා තියෙනවද 'රෙඩ් ශෑන්ක්ඩ් ඩූක්ස්ලා' ගැන ? ලෝකයේ ජීවත්වෙන ක්ශීරපායීන් වර්ණවත් බවින් අනෙක් සත්ව කොට්ඨාසයන්ට වඩා අඩු වර්ණවත් ස්වාභාවයක් පෙන්නුම් කරන්නෙ. මීට කලින් මේ පිටුවෙන්ම කතා කරපු මලබාර් ලේනා වැනි විශේෂ කිහිපයක් තමයි වර්ණවත් බවින් යම්තාක් දුරකට කැපී පෙනෙන සංකලනයන් පෙන්නුම් කරන්නෙ නමුත් ප්රිමාටාවන්/ප්රයිමේටාවන් ගත්තම මේ වර්ණවත් බව තවත් අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නෙ. වර්ණ රටා වැඩී ප්රයිමේටාවන් බොහෝමයක් අපිට දකින්න ලැබෙන්නෙ නව ලෝකයේ වානරයන් තුලින් (නව ලෝක වානරයන්, පැරණි ලෝකයේ වානරයන් බෙදීම ගැන මීට කලින් පිටුව තුලින් කතා කරලා තියෙනවා)
 
මේ කතා මෙහෙම තියෙද්දි ප්රයිමේටාවන් අතරින් වර්ණවත්ම ප්රයිමේටා විශේෂය අයත් වන්නෙ නව ලෝක විශේෂයකට නෙමෙයි. මේ සත්වයා පැරණි ලෝකයේ විශේෂයක්. රෙඩ් ශෑන්ක්ඩ් ඩූක් එහෙම නැත්තන් විද්යත්මකව Pygathrix nemaeus ලෙසන් හඳුන්වන මේ අපූරු වානරයන්ව බොහෝ දෙනා හඳුන්වන්නේ ලෝකයේ වර්ණවත්ම ප්රයිමේටාවා ලෙස.
 
රෙඩ් ශැන්ක්ඩ් ඩූක්ස්
 
ඩූක්සා කොලොබිනේ නැමැති උපකුලයට අයත් විශේෂයක්. ලංකාවේ දකින්න ලැබෙන සෙම්නොපිතෙකස් වැනි වානර ගනයන්ට සමීප සබඳතාවක් දක්වනවා මේ ඩූක්ස්ලා. ඉන්දු-චීන සීමාව, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය ආදී ප්රදේශ කිහිපයකට තමයි ඩූක්ස්ලා සීමා වෙන්නෙ.
 
සම්පූර්ණයෙන්ම රුක්වාසී විශේෂයක්වන රෙඩ් ශැන්ක්ඩ් ඩූක්ස්ලා ඉතාමත් සාමකාමී වානර විශේෂයක්. සාමාන්යයෙන් පැරණි ලෝකයේ වානරයන් ඉතාමත් ආක්රමණශිලී, රෞද්ර විශේෂ. අහාර සඳහා අරගල කරන මේ පැරණි ලෝකයේ අනෙක් ඥාතීන් මෙන් නොව ඩූක්ස්ලා තමන්ට ලැබෙන දේත් අනෙක් සාමාජිකයන් සමඟ බෙදාගෙන කෑමට ගන්න සාපේක්ෂව ඉතාමත් සාමකාමී විශේෂයක්.
 
ඩූක්ස්ලා මේ වෙද්දි වඳවීමේ තර්ජනයට දැඩිව මුහුණපාන විශේෂයක්. ගිණිකොණදිග ආසියාව අවට ලැන්ගර් වානරයන් බොහෝමයක් මේ තර්ජනයට මුහුණ දෙනවා. වාසස්ථාන අහිමි වීම, දඩයම, සුරතල් සතුන් ලෙස ගෙන යාම ආදි හේතු නිසා. 
 
 
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
 #DOE
 
 

Monday, November 2, 2020

කැසොවරි බිත්තර (Cassowary Eggs)


කැසොවරි පක්ශීන්ට ඉතාමත් තද නිල් පැහැයක් තිබුනට මේ පක්ශින්ගෙ බිත්තර කොල පැහැයක් තියෙන්නෙ. නොදන්න කෙනෙක්ට එකවරම මේවා පළතුරක් විදිහට පේන්නත් පුළුවන්.
 

 

කැසොවරිලා අයත් වන්නෙ Struthioniformes ගෝත්‍රයට. ව්‍යවහාරිකව මේ අයට ratites කියලත් භාවිතා කරනවා. Ratites කණ්ඩායමට අයත් අනෙක් සාමාජිකයන් තමයි පැස්බරුන්, කිවි, රියා, එමූ වැනි පක්ශි විශේෂ. Ratites ලට පියාසැරිය සඳහා ආධාරවන මාංශපේෂින් සවිවන keel bone අස්ථිය පිහිටන්නෙ නැහැ.
 
 
ඇන්ටාක්ටිකාව හැරුනු විට දකුණු අර්ධගෝලයේ සියළු මහද්වීප තුල ratites ලා දකින්න පුළුවන්. මේ දකුණු අර්ධගෝලීය ව්‍යප්තියෙන් පෙන්නුම් කරන්නෙ මේ කාණ්ඩයේ ගොන්ඩ්වානා සම්භවය. සරලවම කිව්වොත් ඩයිනෝසරයන් මිහිමතින් නශ්ඨව ගිය වහාම ඇතිවන පාරිසරික නිකේතන රික්තය පිරවීමට ඇතිවු ප්‍රාග්ඓතිහාසික සම්භවයක් සහිත කාණ්ඩයක් තමයි ratites ලා. කාල රාමුව සැලකුවොත් වසර මිලියන 60 පමණ ආදී සම්භවයක් ඇති පක්ශි පරම්පරාවකට තමයි කැසොවරි අයත් වන්නෙ..


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
#DOE
 
 

මුහුදු මකරුන් (Seadragons)

 
මුහුදු අශ්වයන් කියන සත්ව කාණ්ඩය බොහෝ දෙනාට හුරුපුරුදු සත්වයින් කොටසක්. මේ මුහුදු අශ්වයින්ට ඉතාම සමීප ඥාති සබඳතාවක් දක්වන තවත් අංලකාර සත්ව කොට්ඨාසයක් තමයි සී ඩ්‍රැගන්ස් එහෙම නැත්තන් මුහුදු මකරුන් කියන්නෙ.
 

සී ඩ්‍රැගන්ස්ලා ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියානු මහද්වීපයේ දකුණු සහ බටහිර වෙරළ තීරයට ආසන්න සාගරයේ. මුහුදු අශ්වයන්ට වඩා මඳක් විශාලත්වයෙන් වැඩෙන මේ සත්වයින් සෙන්ටිමීටර 20 -24 පමණ ප්‍රමාණයකට වැඩෙනවා. කුඩා ප්ලවාංග, ක්‍රස්ටේසියාවන් ආදිය ආහාරයට ගන්න මේ සත්වයින්ගෙ ශරීරයේ විවිධ හැඩතල වලින් යුත් පත්‍ර වැනි උපාංග පිහිටනවා. මේ උපාංග වේශාන්තරණය සඳහා උපකාරී වෙනවා. ජලයේ පාවී යන විට මේ සත්වයාව මුහුදු පැලෑටි කොටසක් මෙන් දිස්වෙන ලෙස මේ වේශාන්තරණය ක්‍රියාකරනවා.

සී ඩ්‍රැගන්ස්ලා කියන්නෙ ඉතාමත් වර්ණවත් අලංකාර මත්ස්‍යන්. විවිධ වර්ණ සංකලන සහිත විශේෂ ගනනාවක් දකින්න පුළුවන්.

පහත ඡායාරූපවල ඉන්නෙ විශේෂ කිහිපයක්.






 (ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 


#DOE


Link to Facebook post --->

ලෝකයේ විශාලතම දූපත් 100 (The World’s 100 Largest Islands)

 
ලෝකයේ විශාලතම දූපත් 100.

දන්න අඳුරන ඒවා කීයක් තියෙනවාද බලන්න.
 

 
 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 


#DOE
 
 

ස්පයිඩර් ක්‍රෑබ් (Spider Crab)

 
ලෝකයේ විශාලතම කකුළු විශේෂයක් ලෙස හඳුන්වන ජැපනීස් ස්පයිඩර් ක්රෑබ් ( Macrocheira kaempferi ) නිදර්ශකයක්. මේ සත්වයන්ගෙ අඬු ඇතැම් අවස්ථාවල අඩි 18 පමණ දිගට වැඩෙන බව වාර්තා වෙනවා. ජපාන මුහුද අවටින් මීටර් 300 පමණ යන තෙක් ගැඹුරු සාගර පත්ල තුල මේ සතුන් ජීවත් වෙනවා.
 

 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
 
#DOE
 
 

කුණු පැන්ඩා (Trash Panda)


රැකූන්ලා කියන්නෙ උතුරු ඇමරිකාවෙ ඉන්න සම්පූර්ණ සත්ව ප්‍රජාවෙන්ම විහිළුකාරයා කියන්න පුළුවන් සත්ව විශේෂයක්. මේ රැකූන්ලා අතිශයින්ම නාගරීකරණය වෙන ඇමරිකා එක්සත් ජනපදය තුල ඉතාමත් සුහුරු ලෙස නාගරීක ජීවිතයට පරිණාමය වෙමින් යන සත්ව විශේෂයක්. බොහෝ සතුන්ගෙ ඉරණම නාගරීකරණය නිසා ඉතාමත් අවදානම් අඩියකට තල්ලු වෙමින් යද්දි රැකූන්ලා මේ නගර, කානු, පාලම්, බෝක්කු, කුණු බාල්දි එක්ක ඉතාමත් අපූරුවට අනුවර්තනය වෙලා තිබෙනවා. ඇතැම් නගරවල පාර මාරුවීමට පදික මාරුව භාවිතා කරන්න තරම් මේ සතුන් දියුණු වෙලා තියෙනවා.

මේ විහිළුකාරයන් සොරකම්, මංකොල්ලකෑම්, පැහැරගැනීම් ආදී දාමරික මගෝඩි ක්‍රියාවන් වලට චෝදනා ලබන වාර අනන්තයි. ඒ අතිරින් විවිධ අසාමාන්‍ය වැඩත් කරනවා. පහුගිය කාලේ එක් වාර්තාවක් තිබ්බා ඇලිගේටර් කිඹුලෙකුගෙ පිට උඩ නැගලා ගඟක් තරණය කරපු අවස්ථාවක්. මේ පහත ඡායාරූපවල තියෙන්නෙ ටෙක්සාස් වලින් වාර්තා වෙන සිද්ධියක්. රාත්‍රියේදි කැමරා ට්‍රැප් එහෙකට හසුව තිබෙන්නෙ හැවලීනා සත්වයෙකුගෙ පිටේ නැග ගමන් කරන රැකූන් සතෙකුගෙ රූප රාමු. හැවලීනා කියන්නෙ වල් ඌරන්ට සමාන ඇමරිකානු මහද්වීපය තුල සිටින විශේෂයක්. කෙසේ හෝ හැවලීනා සත්වයෙකුගෙ පිට උඩට නැගගෙන සිටින මේ රැකූන් ඉතාමත් සුවපහසු විදිහට වාඩිවෙලත් ගමන් කරනවා.
 


සත්වයන් සමඟ කටයුතු කරන, මේ විෂය ක්ශේත්‍රයේ ඉන්න ඇ.එ.ජ වෙසෙන මිතුරන් කිහිප දෙනෙක් ට්‍රෑශ් පැන්ඩා යන යෙදුම සත්වයෙකුට භාවිතා කරනු ඇසීමෙන් ඒ මොන ජාතියේ සත්වයෙක්ද යන්න සොයා බැලුවිට දැනගන්න ලැබුනෙ රෑකූන්ලාට ඔවුන් මේ නම භාවිතා කරන බවයි. Trash panda කියන්නෙ කුණු පැන්ඩා. කුණු බාල්දිවලම රිංගන නිසා මේ නමින් ඔවුන්ව දැන් ආමන්ත්‍රණය කරන්නෙ.


(Images via all things Texas)
 
 
 
#DOE
 
 

Sunday, November 1, 2020

හිතවත්කම (Old Friends)

 
මානව පරිණාමික වෘක්ෂය තුල චිම්පන්සීන් සහ හෝමෝ සේපියානුවන්ගෙ පොදු පූර්වජයා ජීවත්වු කාලය ලෙස සලකන්නෙ මීට වසර මිලියන 7 පමණ පෙරදි. මොලිකියුලර් ක්ලොකින් (molecular clocking) කාල නීර්ණ ක්‍රමවේදයත්, ෆොසිල වාර්තාවෙන් ලැබෙන ව්‍යුහ විද්‍යාත්මක සාධකත් අනුව මේ කාල නීර්ණය ලැබෙනවා.

බාහිර ව්‍යුහාත්මකව ගත්තම එකවර ඉතාමත් දැඩි වෙනස්කම්සේ දිස්වන ලක්ෂණත්, භාෂාවක් භාවිතයත් නිසා මානව සහ චිම්ප් සංසන්දනය විෂය ක්ශේත්‍රයෙන් පිටත කෙනෙකුට ඉතාමත් විශාල වෙනස්කම්සේ දිස්වුනාට මේ සත්වයින්ව සමීපව අධ්‍යනය කරන්නෙකුට හෝ මොවුන්ව රැක බලා ගන්න පුද්ගලයෙකුට මේ වෙනස්කම් කොතරම්නම් නොගිනිය හැකි තරම්ද යන්න වැටහෙනවා. ඔවුන්ගෙ සිතීමේ රටාවන්, දේශපාලනය, දරුවන් රැකබලා ගැනීම, ආයුධ භාවිතය, සංස්කෘතික ලක්ෂණ (මේවා කණ්ඩායමෙන් කණ්ඩායමට අනන්‍යයයි)

පහත රූප රාමුවල තිබෙන්නේ වයස අවුරුදු 59 පමණ මහළු චිම්ප් ගැහැණු සත්වයෙක් ඇයගේ ජීවිතයේ අවසන් මොහොතට ලඟා වෙමින් සිටින විට වසර ගනනාවක් ඇයව රැක බලාගත් පශු වෛද්‍ය මහාචාර්යවරයා ඇයව බලන්නට පැමිණි විට ප්‍රතිචාර දක්වන ආකාරය. ටික වේලාවක් ගතවන තෙක් ඔහුව හඳුනා ගැනීමට ඇයට නොහැකි වෙන්නෙ ඇයගෙ මහළු වයසත් සමඟ ඇතිව තිබෙන සංවේදන අපහසුතා නිසා. නමුත් හඳුනාගත් සැනින් කොතරම් අපහසුවෙන් සිටියත් ඇයගේ ප්‍රීතියත්, ඇය අපහසුවෙන් හෝ මඳක් නැගිට ඔහුගේ හිස පිරිමදින ආකාරයත් බලන්න. ඔස්ටියොආතරයිටීස් රෝගයකින් පීඩා විඳින ඇයට ඇඟිලි දිග හැරීමට නැවීමට එතරම් නොහැකි වුනත් පිට අල්ලෙන් සිය හිතවතාගෙ හිස පිරිමදිමින් ප්‍රතිචාර දක්වනවා. පෙනුම මඳක් අමතක කොට මහළු ඥාතියෙකු තමන්ට සමීප හිතවතෙක් හඳුනාගත් විට දක්වන ප්‍රතිචාරයට කොතරම් සමානද යන්න ඔබට දිස්වනු ඇත.


 
මේ සත්වයන්ට මනුෂ්‍යන්ට වැලඳෙන රෝගාබාධ එලෙසින්ම වැලඳෙනවා. සත්වොද්‍යානවල ඔවුනට කෑම දමන්න එපා කියන්න එක් හේතුවක් තමයි පිටතින් පැමිණෙන මනුෂ්‍යන්ගෙන් ඔවුනට කෑම හරහා ඒ රෝගාබාධ සම්ප්‍රෙෂණය වීමට ඇති අවකාශය වැලැක්වීමට.

ඔබ පරිණාමය පිලිගන්නා හෝ නොපිලිගන්නා අයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ යම් හෙයකින් සත්වොද්‍යානවලට යනවානම් මේ සතුනට හිමි ගරුත්වය ඔවුන්ට ලබා දෙන්න, අදාල නීති අනුව හැසිරෙන්න. ඒවා ගැන අන් අයවත් දැනුවත් කරන්න.
 
 
 
(Video via #viralhog
 
 
 
 
 #DOE
 
 




අන්තර් විශේෂ සහයෝගීතාව (Unusual Friendship)


සත්ව ලෝකය තුල අන්තර් විශේෂ අතර මිත්‍රත්වයන් ඇතිවීම අපි දකින්නෙ වනයෙන් පිටතදි. බොහෝ වෙලාවට සත්වොද්‍යාන සහ ගෘහාශ්‍රිතව මේ වගේ එකිනෙකට වෙනස් විශේෂ දෙකක් අතර සහයෝගීතාවන් දකින්න පුළුවන්. වනයේදි පරම සතුරන් වන ඇතැම් විශේෂ සත්වොද්‍යාන තුල කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කර ඇති නිසාම හෝ වෙනත් හේතුන් නිසා මෙවන් සබඳතා ගොඩනගා ගන්නවා. ඇතැම් සත්වොද්‍යාන තුල විවිධ විශේෂ වල සතුන්ගෙ තනිය මැකීමට වෙනත් විශේෂ යොදාගන්න අවස්ථාත් තියෙනවා.

උතුරු අර්ධගෝලයේ පැතිරී තිබෙන සෞම්‍ය කලාපික වනාන්තරත් ඊටත් ඉහල අක්ෂාංශ කරා දිවෙන තුන්ද්‍රා භූමි තුලත් ආහාර දාමයන්ගෙ ඉහල පුරුක් වල සිටින සුපිරි විලෝපිකයක් දෙදෙනෙක් වර්තමානයේදි දකින්න පුළුවන්. ඒ තමයි වලසුන් සහ අළු වෘකයන්. මේ සත්ව විශේෂ වල හැසිරීම එකිනෙකට සම්පූර්ණ වෙනස්. වලසුන් තනිව ජීවත්වන අතරේ (solitary species) වෘකයන් රංචු වශයෙන් සංකීර්ණ සමාජ ක්‍රමයක් තිබෙන සතුන්. ඒ වගේම මේ සත්ව විශේෂ දෙක ස්වාභාවික සතුරන්. වලසුන් වෘකයන්ගෙ ගොදුරුත්, වලසුන්ගෙ ගොදුරු වෘකයන් විසිනුත් පැහැරැ ගැනීම සිදුවෙනවා. එකම පාරිසරික නිකේතනයක එහෙම නැත්තන් නිච් එහෙක එකම ගොදුරු සඳහා තරඟයේ යෙදෙන විශේෂ දෙකක් නිසා මේ ස්වාභාවික එදිරිවාදිකම ටිකක් බරපතල ආකාරයෙන් තිබෙන විශේෂ දෙකක්.

2013 වර්ශයේදි ෆින්ලන්ත ඡායාරූප ශිල්පියෙකුට අපුරු දසුනක් දක්නට ලැබෙනවා මේ වනාන්තර තුල. ඒ තමයි අළු වෘක ධේනුවක් සහ දුඹුරු වලසකු අතර ගොඩනැගී තිබෙන මිත්‍රත්වය. සතුරු විශේෂ දෙකක් අතර මේ අන්තර් විශේෂ සබඳතාව අතිශයින්ම දුර්ලභ මෙන්ම ඉතාමත් සිත්ගන්නාසුළු සිදුවීමක්. මොවුන් දෙදෙනා එක්ව දඩයම් කිරීම, දඩයම් බෙදා ගැනීම, සෙල්ලම් කිරීම ආදී කටයුතු වල යෙදෙන ආකාරය මේ ඡායාරූප ශිල්පියා විසින් සිය කාචයට හසුකරගෙන ලෝකයා හමුවේ තැබුවා.

පහත තිබෙන්නේ ඒ ඡායාරූප කිහිපයක්.මේ සහයෝගීතාව තුලින් මොවුන් දෙදෙනාම වාසිදායක තත්වයකය පත්වුන බව සත්ව විද්‍යඥයන්ගෙ අදහස. වනය තුල අතිශයින්ම සතුරු විශේෂ දෙකක් මෙලෙස කටයුතු කිරීම අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක්.
 

 




(Image credit - Finnish photographer Lassi Rautiainen)
 
 
 
 
#DOE 

Thursday, October 29, 2020

කුඩාම වඳුරන් (Smallest Monkey in the world)

 
ලෝකයේ සිය ගනනක් වානර විශේෂ ජීවත් වෙනවා. මේ අතරින් කුඩාම විශේෂය මොකක්ද ? මොන වගේ ඇතිද කියලා හිතිලා තියෙනවද ? මේ පහත ඡායාරූපවල ඉන්න හාදයා තමයි ලෝකයේ ජීවත්වන කුඩාම වඳුරන් විශේෂය.

පිග්මි මාර්මොසෙට් (Cebuella pygmaea) නමින් හඳුන්වන මේ විශේෂයේ සම්පූර්ණයෙන් වැඩුනු සත්වයෙකුගෙ බර ග්‍රෑම් 100 ක් පමණ, ශරීර ප්‍රමාණය උපරිම අඟල් 6 පමණ. ඇමසන්වාසී මේ විශේෂය ආහාරයට ගන්නෙ විවිධ ශාඛවල ලාටු, පරාග, රොන් සහ කෘමීන් ආදිය.



පිග්මි මාර්මොසෙට්

පිග්මි මාර්මොසෙට්ලාට තිබෙන විශාලතම තර්ජනය තමයි සුරතල් සතුන් ලෙස විකිණිම. ඒකට හේතුව හිතාගන්න පුළුවන් ඉහත ඡායාරූප වලින්.

වානරයන් අයත් ප්‍රයිමේටා නැත්තන් ප්‍රිමාටා ගෝත්‍රයේ විවිධත්වය ඔබට හිතාගන්න පුළුවන් ඇඟිල්ලක් තරම් පිග්මි මාර්මොසෙට්ගෙ සිට අඩි 6 පමණ මිනිසුන් සහා ඊටත් වඩා ප්‍රමාණයෙන් විශාල ගෝරිල්ලන් ඊට අයත් වන විට.



(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


Link to Facebook post --->

කුහුඹුවකුගෙ හිස (Ant head through a microscope)

 

කුහුඹුවකුගෙ හිසේ සමීප ඡායාරූපයක්

 




(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

 

Link to Facebook post --->

සමනලුන්,කුහුඹුවන් සහ බැටලුවන් (Butterflies, Ants and Sheeps)

 
පරිසර පද්ධති තුල ජීවත්වන සත්වයන් සියල්ලේම හැසිරීම් රටා, ක්‍රියාකාරකම් සහ පැවැත්ම කියන කාරණා එකිනෙකට බද්ධව පවතින්නේ ඉතාමත් සංකීර්ණ ආකාරයට. ඇතැම් පද්ධති බිඳ වැටෙන්නෙ කුමන කාරණා නිසාද යන්නට තේරුම් ගැනීමට පවා අපහසු වන්නෙ, කල් ගතවන්නෙ මේ සංකීර්ණ අන්තර් සබඳතා නිසා.

ලාර්ජ් බ්ලු (large blue) විද්‍යාත්මකව (Phengaris arion) නමින් හඳුන්වන සමනල් විශේෂය කියන්නෙ බ්‍රිතාන්‍ය තුල අතිශයින්ම දුර්ලභ සමනල් විශේෂයක්. ලාර්ජ් බ්ලු සමනලුන්ව මුල් වරට හඳුනාගන්නෙ 1758 වර්ශයේදි. වර්තමානයේදි යුරෝපයේ කොකැසස් කලාපය දක්වා මොවුන්ගෙ විහිදීම දකින්න පුළුවන් වුනාට බ්‍රිතාන්‍ය තුල 1979 දී පමණ වඳව ගිය විශේෂයක් ලෙස නම් කරන්නෙ. නැවත බ්‍රිතාන්‍යට හඳුන්වා දුන් පසුව යම් සාර්ථකත්වයක් සහිතව මේ සමනලුන් පැතිර තිබුනත් තවමත් IUCN රතු දත්ත වාර්තාවල මොවුන්ව ගොනු කරන්නෙ වඳව යෑමට ආසන්න විශේෂයක් ලෙස.

ලාරජ් බ්ලු සමනලයා
 
ලාර්ජ් බ්ලුලා අයත් වන Phengaris නැමැති සමනල් ගනයේ තිබෙන විශේෂත්වය තමයි ජීවන චක්‍රයේ අවස්ථාවක් තුල පරපෝශිතතාව පෙන්නුම් කිරීම. ලාර්ජ් බ්ලු සමනලුන් Myrmica කුහුඹුවන් ජීවත්වන ප්‍රදේශයක් සොයාගෙන ගොස් ඒ අසල ශාඛයක බිත්තර දමනවා. බිත්තරයෙන් පිටතට පැමිණෙන දළඹුවා කෙටි කාලයක් ශාඛය මත වාසය කර Myrmica කුහුඹුවන් ගැවසෙන බිම මත පතිත වෙනවා.

එතැන් පටන් එළඹෙන්නෙ ඔස්කාර් සම්මානයක් ලැබිය හැකි රඟපෑමක්. මේ ලාර්ජ් බ්ලු දළඹුවන් Myrmica කුහූඹුවන්ගෙ පිලා අවස්ථාව අනුකරණය කරමින් රඟපෑමක යෙදෙනවා. පෙනුමෙන් වගේම සුවඳින් පවා ලාර්ජ් බ්ලු දළඹුවන් හැසිරෙන්නෙ Myrmica කුහුඹු පිලවුන් ලෙස. ඒ වගේම ශබ්ද නැගීමකුත් සිදුකරනවා. මේ රඟපෑමට අවට සිටින Myrmica කුහුඹු කම්කරුවන් රැවටීමට ලක්වෙනවා. ප්‍රතිඵලය තමයි කුහුඹු කැදැල්ල වෙත දළඹුවාව ඔසවාගෙන යෑම.

දළඹුවා සහ myrmica කුහුඹුවන්

කුහුඹු කැදැල්ල තුලදි දළඹුවා ගත කරන්නෙ ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක්. Myrmica කුහුඹු පිලවුන් ආහාරයට ගැනීම වගේම Myrmica කුහුඹුවන් ලෙස රඟපාමින් කුහුඹුවන්ගෙන් පෝශණය ලැබීම ආදිය සිදුකරගෙන වැඩෙන ලාර්ජ් බ්ලු පසුව සමනලයෙකු ලෙස පිටව යනවා.

ලාර්ජ් බ්ලුලාගෙ සාර්ථකත්වය තවත් එක් සාධකයක් මත රඳා පවතිනවා. ඒ තමයි බැටලුවන් සහ ගවයන්. බ්‍රිතාන්‍ය තෘණ බිම් තුල තමයි ලාර්ජ් බ්ලුලා යැපෙන Myrmica කුහුඹුවන් ජීවත් වන්නේ. මේ කුහුඹුවන්ට ජීවත් වීම සඳහා තෘණ ඉතාමත් කෙටිව පැවතීම අනිවාර්ය සාධකයක්. එහෙම නැතිවුනොත් ඔවුන් එතනින් වෙනත් ස්ථාන කරා ඇදෙනවා. ස්වාභාවධර්මය තුල මේ තණකොල කෙටිව තබා ගැනීමේ යාන්ත්‍රණය තමයි බැටලුවන් සහ ගවයන්.

ඔබට පේනවා ඇති එකිනෙකට කිසිම සබඳතාවක් නොමැති සත්ව විශේෂ ත්‍රිත්වයක අන්තර් සබඳතාව. එක් සාධකයක් මේ රාමුව තුලින් ඉවත් කරොත් දාමය බිඳ වැටීම සිදුවෙනවා. මේ සංකීර්ණ සබඳතා ජාලයක් මත තමයි පරිසර පද්ධතියක පැවැත්ම රඳා පවතින්නෙ.

'පරිසරය සුරකිමු' යන වචනවලට එහා ගිය පරිසරය පිළිබඳව හැඟීමක් සහ ඒවා රැකගත යුතු ආකාරය ගැන සබුද්ධික ලෙස සිතීමට හැකියාව ලැබීමට මේ සියුම් සබඳතා ගැන වැටහීමක් තිබිය යුතුයි. එසේත් නැතහොත් සිදුවන්නෙ save..... , protect.... , ආදි හිස්තැන් පිරවීමට නිරන්තරයෙන් වචන සොයාගැනීමේ අරගලයක යෙදීම විනා සැබෑ පරිසරය සුරකීමක් අහලකටවත් යෑමට නොහැකි වීමයි.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


Link to Facebook post --->

ඉක්තියෝසෝරයන් (Ichthyosaurus)

 
2019 සැප්තැම්බරයේදී ෆොසිල විද්‍යාවෙන් වාර්තා වු නව විශේෂයක් තමයි චාඔහුසෝරස් බ්‍රෙවිෆෙමොරැලිස් (Chaohusaurus brevifemoralis) නැමැති ඉක්තියෝසෝර් විශේෂය. ඉක්තියෝසෝර්ලා ගැන #DOE තුලින් කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ ඉතාම අඩුවෙන් නිසා බ්‍රෙවිෆෙමොරැලිස්ව ප්‍රස්තූතය කරගන්නවා ඉක්තියෝසෝර්ලා ගැන පොඩි හැඳින්වීමක් සඳහා.

ඉක්තියෝසෝර් ලෙස හඳුන්වන්නෙ ඉක්තායෝසෝරියා/ඉක්තියොප්ටෙරිජියා ගෝත්‍රයට අයත් ජලජ උරගයන් විශේෂයකට. ශ්‍රීමත් රිචඩ් ඕවන් විසින් 1840 දි පමණ මේ ගෝත්‍ර නාමය හඳුන්වා දෙන්නෙ 'මත්ස්‍ය වරල් සහිත' යන අර්ථයෙන්. ට්‍රියැසික් මුල් යුගයේ සිය ක්‍රිටැසියස් අවධිය තෙක්ම සාගර තුල අණසක පැතිරවු ජීවි කාණ්ඩයක් තමයි මේ ඉක්තියෝසෝරියාවන්. ඒ කියන්නෙ ඩයිනෝසරයන් භෞමික පරිසර තුල ප්‍රචලිත වනවිට ජලජ පරිසර තුලට හැඩගැසුනු උරග කාණ්ඩයක් තමයි ඉක්තියෝසෝරයන්. ට්‍ර්යැසිකයේ සිට ක්‍රිටැසියස් දක්වා වසර මිලියන 160 කාල පරාසයක් මේ සත්වයන් මිහිමත වාසය කරනවා. මේ කාල පරාසය කොතරම් විශාලද යන්න හිතාගන්න පුළුවන් එක් නිර්නායකයක් තමයි ඩයිනෝසරයන් වඳව ගොස් තවමත් ගතව ඇත්තෙ වසර මිලියන 65 ක් යන්න.



විවිධ ඉක්තියෝසෝර් විශේෂ

ඉක්තියෝසෝරයන්ගෙ පරිණාමික ගමන් මඟ ඇරඹෙන්නෙ භෞමික වාසී උරගයෙකුගෙන්. භෞමික පරිසරයේ සිට ජලජ පාරිසරික නිකේතනය දක්වා පරිණාමය වෙමින් ක්‍රමිකව නැවතත් සාගරයට අනුවර්තනය වීමක් මෙහිදි සිදුවෙන්නෙ. මේක සමාන කරන්න පුළුවන් වසර මිලියන 55 පමණ පෙර සිදුවු තල්මසුන් පරිණාමය වීමේ සිද්ධි දාමයට. මේ සිද්ධි දෙකම සමාන්තර පරිණාමික ක්‍රියාවලි වලට උදාහරණ, ඒ වගේම මෙලෙස නැවත අාපසු සාගරයනට අනුවර්තනය වීම අපි හඳුන්වනවා 'Reverse evolution' සිද්ධියක් ලෙස.

ඉක්තියෝසෝරයන් ට්‍රියැසික් සහ ජුරැසික් මුල් භාගයට වන්නට සාගර ආහාර දාමයන්ගෙ සුපිරි විලෝපිකයන් ලෙස වැජඹුනත් පසුව පරිණාමය වන තවත් ජලජ උරගයන් කාණ්ඩයක් වන ප්ලෙසියොසෝරියාවන් හමුවෙ පසු බැසීමට ලක්වනවා. වසර මිලියන 95 කට පමණ පෙර ක්‍රිටැසියස් සාගරයන්හී ඔක්සිජන් ඌණ වීමේ සංසිද්ධියක් ඇතිවනවා (ඇස්ටරොයිඩ ඝට්ටනයට ප්‍රථම). ඒත් සමඟම විශාල සාගර ජීවීන් ප්‍රමාණයක් නශ්ඨ වීම සිදුවෙනවා. ඉක්තියෝසෝරයන්ගෙ අවසානය සනිටුහන් වන්නෙත් මේ නශ්ඨවීම් සංසිද්ධියේදි.

ඉක්තියෝසෝර් ෆොසිල අධ්‍යනය ඉතාමත් සිත්ගන්නාසුළු ක්‍රියාවලිවක්. පෙනුමෙන් ඩොල්ෆිනයකු මෙන් දිස්වුනාට අභ්‍යන්තර සැකිල්ල, අස්ථි පිහිටීම ආදිය පෙන්නුම් කරන්නෙ ජලජ ජිවිතයට හැඩගැසුනු උරගයෙකුගෙ සැකිල්ල. පාර්ශ්වීක වරල් පෘශ්ඨීය වරල් ආදිය භෞමික පරිසරයෙන් ක්‍රමිකව ජලජ තත්වයනට හැඩ ගැසීමේදි අනුවර්තනය වී ඇති ආකාරය මනා ලෙස පෙන්නුම් කරනවා.

බ්රෙවිෆෙමොරැලිස් ෆොසිලයක්
 
පරිණාමික ක්රියාවලිය තීරණය කරන එක් සාධකයක් වන තරඟකාරීත්වය තුල විවිධ පාරිසරික නිකේතන දික්විජය කිරීමට විවිධාකාර සත්ව විශේෂ දක්වන, දැක්වු උපක්රමයන් පරිණාමික දිනපොත තුලින් නිරන්තරයෙන්ම කතා බහට ලක් කෙරෙන කාරණා. මීසෝසොයික මහා අවධිය තුල සාගරය නමැති පාරිසරික නිකේතනයේ විශිෂ්ට විලෝපික තත්වය නැමැති ඇබෑර්තුව ඉක්තියෝසෝරයන් විසින් ග්රහණය කරගන්නාවා. ඒ පිරවු ඇබෑර්තුව අවසන් වන්නෙ ක්රිටැසියස් නශ්ඨවීමත් සමඟ සනිටුහන් වන මීසෝසොයිකයේ අවසානයෙන්. මීට වසර මිලියන 66 පමණ පෙර මිසෝසොයික යුගය අවසන් වී ඇරඹෙන්නෙ සෙනෝසොයික මහා අවධිය. සෙනෝසොයිකය තමයි වර්තමානයේදිත් ක්රියාත්මක වන්නෙ. 
 
සෙනෝසොයිකය යනු ක්ශීරපායින්ගෙ අවධිය. ඉක්තියෝසෝරයන්, ප්ලෙසියොසෝරයන් ගැවසුනු සාගරය නැමැති පාරිසරික නිකේතනයට එවක් පටන් අයිතිවාසිකම් කියන්නෙ ක්ශිරපායින්. තල්මසුන් , ඩොල්ෆිනයන් අයත් සිටසියා ගෝත්රය ඉක්තියෝසෝරයන්, ප්ලෙසියොසෝරයන්ගෙ ඇබෑර්තුව අද සම්පූර්ණ කරමින් ජීවත් වෙනවා. පෘථෘවිය නැමැති නිල් ග්රහයාගෙ පරිණාමික පරිඡ්ඡේද එකින් එක පිරවෙන්නෙ මෙලෙසින්.
 
මේ සටහනට ආරම්භය ගත් බ්රෙවිෆෙමොරැලිස් විශේෂය අදින් වසර මිලියන ගනනකට පෙර සාගරය තුල පරිණාමික සටන ජයගත් එවන් ඉක්තියෝසෝර් විශේෂයක්. 
 
 
(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
 
 
 
 #DOE
 
 
 
 

අන්දරේ සහ කලු කුකුලන් (Black roosters and Andare, the court jester)


වරක් කුඹුරක් මැද ඇති ගලක් ඉවත් කිරීමටනන් දින ගනනාවක් යනතෙක් කලු කුකුල් මස්, කිනිතයා මැල්ලුම් සමඟ හීනටී හාලේ බත් තමාට ලබාදෙන ලෙස අන්දරේ ඉල්ලීමක් කරනවා. ජනප්‍රවාදයේ එන අන්දරේගෙ මේ කතාව ජගත් ගුණවර්ධන සර් මතක් කරලා දුන්නෙ සර්ගෙන් ලඟදි අහපු ප්‍රශ්නෙකට පිළිතුරක් විදිහට. මේ කතාව ලියලා තියන්න කියලා සර් කියපු නිසා අද සටහන කලු කුකුලන් ගැන.

වර්ණ රටාවෙන් කලු වර්ණයෙන් යුත් පියාපත් ඇති කුකුළන් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. නමුත් මේ පියාපත් වර්ණය අභිබවා යමින් සම, මස්, කරමලය, දිව සහ අස්ථි පවා තද කළු පැහැයෙන් යුත් කුකුළන් ප්‍රභේද ලෝකෙ විවිධ රටවල ජීවත් වෙනවා. ඉතාමත් මෑතකදි ප්‍රකාශයට පත්වුන වාර්තාවක සඳහන් වෙන්නෙ මේ ආකාරයේ ප්‍රභේද හතරක් ජීවත් වන බවයි.

ඉන්දුනිසියාවෙන් වාර්තා වෙන අයාම් සීමානි ප්‍රභේදය මේ අතරින් කළු වර්ණය අධිකම ප්‍රභේදයක්. මේ කුකුලන්ගෙ මාංශය කළු තින්ත භාජනයක දමා ගත්තාක් මෙන් දිස්වෙන බවයි පැවසෙන්නෙ. සිල්කි ප්‍රභේදය, වියට්නාමයේ හ්මොන්ග් ප්‍රභේදය සහ ස්වීඩනයේ ස්වර්තෝනා ප්‍රභේදය තමයි මෙලෙස හඳුනාගෙන තිබෙන ප්‍රභේද හතර. මේ කලු වර්ණයට හේතුවෙන ජානමය තත්වය නම් කරන්නෙ ෆිබ්රෝමෙලනොසිස් (fibromelanosis) ලෙස.

ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ ජාන පිළිබඳ පර්යේෂකයන් සඳහන් කරන්නෙ මේ තත්වය ඇතිවෙන්න ජීනෝමය ඉතාමත් සංකීර්ණ ප්‍රතිසංවිධානයකට ලක්වීම සිදුව ඇති බවයි. ඒ වගේම මේ පර්යේෂකයන් සඳහන් කරන තවත් සිත්ගන්නාසුළු කාරණයක් තමයි මේ ජාන විකෘතිය දරන සියලුම ප්‍රභේද වසර දහස් ගනනකට පෙර එක් තනි පූර්වජයෙකුගෙන් පැවතෙන බව. තවත් සරල කරොත් මේ කතාව වසර දහස් ගනනකට පෙරදි එක්තරා කුකුළෙක් මේ ජාන විකෘතිය සමඟ උපදිනවා. ඒ කුකුළගෙන් තමයි අද ලෝකයේ fibromelanosis තත්වය රැගෙන යන සියළු කුකුළන් ඇතිව තිබෙන්නේ.
 
කලු කුකුළා

සියළුම පෘශ්ඨවංශික විශේෂ සතුව තිබෙනවා ජානයක් Endothelin 3 (EDN3) නමින් හඳුන්වන. EDN 3 ජානයෙන් සිදු වෙන්නෙ තවත් බොහෝ දේවල් එක්ක සමේ වර්ණය තීරණය කිරීම (ජාන කියන්නෙ එක කෘත්‍යක් ඉටු කරන දේවල් නෙමේ, කෘත්‍යන් රාශියකට හේතු පාදක වෙන පැකේජ් එකක් වෙන්න පුළුවන්). කුකුළෙක් ක්‍රමයෙන් වැඩෙද්දි සමේ සහ පිහාටු නිර්මාණයවන ෆොලිකල් ආදියේ තිබෙන මේ EDN 3 විසින් සක්‍රිය කරනවා මෙලනොබ්ලාස්ට් (melanoblast) කළු වර්ණය තීරණය කරන. කළු පාට පිහාටු ආදිය ඇතිවෙන්නෙ එහෙම.

නමුත් fibromelanosis තත්වයේ කුකුළෙක්ගෙ සමේ පමණක් නොව ශරීරයේ සියළු සෛල සතු EDN 3 මඟින් මෙලනෝබ්ලාස්ට් සක්‍රිය කිරීම සිදුවෙනවා. ප්‍රතිඵලය කළු පැහැති මාංශපේෂි, අස්ථි, සහිත කළු කුකුලෙක්.

දැන් මේ ජාන විකෘතිය නිසා කුකුළන්ට කිසිම හානියක් හෝ රෝගී තත්වයක් ඇතිවන්නේ නෑ. එකම වෙනස කලු පැහැය. මේ කලු කුකුළු මස් රසින් සහ ගුණයෙන් වැඩි බවට විශ්වාසයන් පවතිනවා. ඖෂධීය වටිනාකමක් මේවාට ලබා දී තිබෙනවා.

1298 දක්වා පැරණි මාර්කෝ පෝලෝගෙ වාර්තාවල කලු කුකුළන් ගැන සඳහන් වෙනවා. පැරණි චින අධිරාජ්‍ය වාර්තා මේවා ගැන සඳහන් කරනවා. ඈති යුගවල යම් කාලයකදි තනි කුකුලෙකුගෙන් ඇතිවු මේ ජාන විකෘතිය ගිණිකොණදිග ආසියාතික රටවලත්, ස්වීඩනය වැනි ස්කැන්ඩික් ප්‍රදේශවලටත් ගිය ආකාරය ඉතාමත් ආකර්ශනීය ගැටලුවක් වගේම මිනිස් වර්ගයාගෙ සංක්‍රමණ, ආක්‍රමණ, සංස්කෘතික හුවමාරුන් ගැන ඉඟි පලකරන්නක්.

දැන් කතාව මෙහෙම තියෙද්දි කලු කුකුලන් සහ අන්දරේ කතාව එලියට ආවේ කොහොමද ? මීට වසර කිහිපයකට කලින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශනයකදි ජගත් ගුණවර්ධන සර් ලංකාවට ආවේණික ගොවිපල සතුන් ප්‍රභේද කිහිපයක් ගැන කතා කරද්දි නැගෙනහිර පළාතේ සහ ඇතැම් ප්‍රදේශවල කලු කුකුළු මස් ඉතාමත් දුලභ ලෙස දකින්නට ඇති බව සඳහනක් සිදුකලා. ප්‍රභේදයක් ලෙස ප්‍රචලිතව නොතිබුනත් ලංකාවය ආවේණික කලු කුකුලන් සිටිනවා යන්න එයින් දැනගත හැකි වු කාරණයක්. මේ ප්‍රභේද වර්තමානයේදි ඉන්නවාද නැත්තන් සම්පූර්ණයෙන්ම අපට අහිමි වෙලාද කියන්න නොදනිමි. නමුත් fibromelanosis තත්වය ගැන දැනගැනීමෙන් පසු ජගත් සර්ගෙ කලු කුකුලන් කතාව නැවත ආවර්ජන කිරීමේදි ජනප්‍රවාදයේ එන අන්දරේ සහ කලු කුකුලු මස් කතාව සර් මතක් කරා. දේශිය ගොවිපල කර්මාන්තය තුල ආවේණික කලු කුකුලන් ප්‍රභේදයක් අපටත් සිටින්න ඇති බවට මෙය ඉඟි පලකරන්නක්.

ඇත්තටම එහෙම ආවේණික ප්‍රභේදයක් හිටියද ? ඉන්නවද ? ඉන්නවා නම් ලක්ෂණ මොනවාද ? එහෙමනම් ඒත් මේ fibromelanosis ජානමය තත්වයද ? ජාත්‍යන්තර පර්යේෂකයන්ට මඟහැරුන තවත් එක් ප්‍රභේදයක්ද ? මේවා පර්යේෂණ ගැටලු. ශාඛ්‍යතාවක් තිබෙන අයට මේවා ගැන පර්යේෂණ සිදුකරන්න පුළුවන්. විද්‍යාත්මක විනයක් ඇතිව එලෙස පර්යේෂණ සිදුකර ඇත්නම් හෝ ඉදිරියේදි සිදුකරනවානම් ඒවායේ ප්‍රකාශිත ප්‍රතිඵල #DOE එකටත් කියන්න. 😊



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

 

Sunday, October 25, 2020

Battle at Big Rock

 
ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපට තේමාව යටතේ Battle at  Big Rock කෙටි චිත්‍රපටය 2019 සැප්තැම්බර් මැදදී නිකුත් කෙරුනා. මේ තේමාව යටතේ සහ සන්නාමය යටතේ කෙටි චිත්‍රපටයක් පල වුන ප්‍රථම අවස්ථාව. ජුරාසික් වර්ල්ඩ් සහ ජුරාසික් පාර්ක් චිත්‍රපට එකතුවේම දක්නට නොලැබෙන නසුටොසෙරටොප්ස් (සෙරටොප්සියාවන් විශේෂයක්) සහ ඇලෝසෝරස් විශේෂය මෙහිදි දැකගන්න පුළුවන්.

(නසුටොසෙරටොප්ස් සහ ඇලෝසෝරස් ගැන ඉදිරියේදි පිටුව තුලින් කතා කරමු)

පහත තියෙන්නෙ මේ කෙටි චිත්‍රපටය. අවසන් වන තෙක්ම බලන්න. 🦖

 

Directed by #ColinTrevorrow
Written by #EmilyCarmichael

Studio #UniversalStudios & #AmblinEntertainment

 

 

#DOE

 

Link to Facebook post ---> 

Saturday, October 24, 2020

ළදරු ඝාතනය (Infanticide)

 
බාලඝාතය එහෙමත් නැත්තම් පැටවුන් මරා දැමීම කියන්නෙ බොහෝ සත්ව විශේෂ වලට තිබෙන ලක්ෂණයක්. පරිණාමිකව මේ ලක්ෂණය ශක්තිවන්තයාගේ ඉදිරි පැවැත්ම තහවුරු කිරීමට උපකාරී වන ලක්ෂණයක්. මාතෘ සත්වයා සතු පැටවුන් ඝාතනය කිරීම තුලින් නැවත ලිංගික සංසර්ගය සඳහා තත්වය ඇති කිරීම වගේම ආහාර, වාසස්ථාන ආදී වූ අවශ්යතා සඳහා වූ තරඟය අවම කිරීම සඳහා මේ ක්රියාවලිය සත්ව ලෝකය තුල නිරන්තරයෙන්ම සිදුවෙනවා. 
 

මේ ඡායාරූපයේ දැක්වෙන්නෙත් සිම්බාබ්විහි කරීබා නදියේ වෙසෙන හිපොපොටේමස් සත්වයෙක් කුඩා පැටවකුට පහර දීම. මව් සත්වයාව පලවා හැර කුඩා පැටවාට පහර දෙන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් මේක. ස්විට්සර්ලන්ත ජාතික ඡායාරූප ශිල්පියකු වන Adrian Hirschi විසින් ඡායාරූපගත කරන ලද සිද්ධියක්.
 
ඒ වගේම මෙහිදි සඳහන් කරන්න ඕන බොහෝ දෙනා නොදන්න කාරණයක් තමයි ගොඩබිම වෙසෙන විශාල ක්ශිරපායී සතුන් අතරින් දරුණුම සත්වයෙක් වන්නෙ හිපොපොටේමස් සත්වයන් බව. වසරකට අප්රිකානුවන් 500 පමණ මරු කැඳවීමට සමත් මේ සත්වයන්. හිපොපොටේමස් සතුන් ජීවත්වන ගංගා විල් ආශ්රිතව ගමන් කරන බෝට්ටු ආදියට නිරන්තර පහර දීම් සිදුවෙනවා. 2014 වර්ශයේදි කුඩා පාසැල් දරුවන් රැගත් බෝට්ටුවකට පහරදී කුඩා දරුවන් 12 දෙනකු පමණ ඝාතනය කල ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුනා. 
 
ලංකාවේ ප්රාග්ඓතිහාසික යුගවල මේ සතුන් ජීවත් වුනත් වර්තමානයේදි මොවුන් දැකගැනීමට නොහැකි නිසා මොවුන්ගෙ රෞද්ර ස්වාභාවය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නෑ.



(Image credit - Adrian Hirschi)

 

 

#DOE

 

Link to Facebook post --->

මී මැස්සන්, පිළිකා සහ ත්‍රස්තවාදය වැලැක්වීම (Bees; to detect Cancers, Drugs and Explosives)


මී මැස්සන් ආධාරයෙන් පිළිකා තත්වයන් වගේම වෙනත් රෝග තත්වයන් සහ ඉව තුලින් හඳුනාගත හැකි තවත් බොහෝ ක්‍රියාකාරකම් සඳහා නියමු ව්‍යාපෘති ලෝකයේ විවිධ රටවල සිදු වෙනවා. පෘතුගාලයේ සුසෑනා සොආරේස් විසින් මී මැස්සන් මඟින් පිළිකා හඳුනා ගැනීම සඳහා උපකරණයක් නිපදවීම සිදු කෙරුනා. වීදුරුවලින් නිපදවු මේ උපකරණය තුලට ආශ්වාස කිරීමෙන් පිළිකා තත්වයක් වැළඳුනු අයෙකු නම් වීදුරු උපකරණය තුල වු තවත් කුඩා කාමරයකට මී මැස්සන් ගමන් කිරීම සිදුවෙනවා.
 



මී මැස්සන් මඟින් පිළිකා හඳුනා ගැනීම සඳහා උපකරණය

මෙහිදි ඇත්තටම සිදුවන්නෙ ආශ්වාස වාතයේ ඇතැම් ඉතා සියුම් ගන්ධයන් හඳුනා ගැනීමට මී මැස්සන් පෙර පුහුණු කර තිබීම. Apis millifera වැනි මී මැසි විශේෂ මේ සඳහා පුහුණු කිරීම සිදුකල හැකි බව විද්‍යඥයන් ප්‍රකාශ කරනවා. ක්ශය රෝගය, පෙනහලු පිළිකා, චර්ම පිළිකා වැනි තත්වයන්ට අදාල ජෛව සංවේදි රසායනික තත්වයන් හඳුනා ගැනීමට මී මැස්සන් පුහුණු කිරීමේ හැකියාව පවතිනවා.

රෝග පමණක් නොව පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ආදිය හඳුනා ගැනීම සඳහාත් මී මැස්සන් උපයෝගි කරගැනීමේ පර්යේෂණ සිදුවෙමින් පවතිනවා. විනාඩි 10 වැනි කාලයක් තුල මී මැස්සක් ඕනෑම ගන්ධයක් හඳුනා ගැනීම සඳහා පුහුණු කිරීමේ හැකියාව පවතිනවා. අදාල ගන්ධය සමඟ සීනි සහ ජලය සහිත ද්‍රාවණයක් ලබා දීම තුල මී මැස්සන් මෙලෙස පුහුණු කිරීමේ කාර්ය සිදුවෙනවා.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


ටීරා (Tira)


2019 සැප්තැම්බරයේදී අප්‍රිකානු මසායි මාරාවෙන් වාර්තා වුන අපූරු සිද්ධියක් තමයි ටීරා. ටීරා කියන්නෙ ස්‍රීබ්‍රාවෙක්. නමුත් ඔබ සාමාන්‍යයෙන් දකින සුදු සහ කළු පටි ආකාර වර්ණ රටාවන් වෙනුවට අඳුරු පැහැති පසුබිමක සුදු තිත් තිබෙන සීබ්‍රාවෙක්. 



ටීරා

ටීරාගෙ මේ තත්වයට හේතුවෙන්නෙත් මෙලනින් වර්ණකය හා සබැඳි ජානවල හැසිරීම. අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක් වගේම අධ්‍යනය සඳහා නව මානයක් මේ සමඟ විවෘතවී තිබෙනවා. විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා පිහිටන වර්ණ රටාවක් ලෙස සාමාන්‍යය සුදු සහ කළු රටාව බහුතර විද්වතුන් පිලිගත්තත් ටීරා සාමාන්‍යය සීබ්‍රාවන් අතර කොපමණ කාලයක් දිවි රැකගනීද යන්නට ගැටලුවක්.

ටීරා සාමාන්‍යය සීබ්‍රාවන් අතර
 
කාඩ් කූට්ටමක් ඇනීම තුලින් විවිධ සංකලන ලැබෙන්නෙ යම් සේද, ස්වභාවධර්මය නිරන්තරයෙන්ම ජාන කිටුව විවිධ සංකලන තුලින් අත්හදා බැලීම් සිදු කරනවා. මේ එවන් පරිණාමික අත්හදා බැලීමක්. ටීරා බිහිසුණු අප්‍රිකානු විලෝපිකයන්ගෙන් ගැලවී ඉදිරි පරම්පරාවනට සිය ජාන ලබා දෙයිද ? නැතිනම් කෙස් පොදක් හෝ ඉතුරු නොවන ලෙස සැවනා බිම් තුල විලෝපිකයන්ට ගොදුරු වෙයිද ? මේ ස්වභාවධර්මයේ අත්හදා බැලීම් පසුගිය වසර මිලියන ගනනක සිටම මසායි මාරාව දකින්න ඇති. එළඹෙන සෘතු විපර්යාස සමයන්, සීබ්‍රා සංක්‍රමණික රටාවන් ටීරාගෙ දෛවය තීරණය කරනු ඇති.
 
 
 
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


පිටසක්වල ජීවීන් විසින් තැනු ප්‍රතිමා ? (Who built these statues? Aliens?)


ඊස්ටර් දුපත කියන්නෙ චිලී රාජ්‍යට අයත් පාලන ප්‍රදේශයක්. වර්තමානයේදි ඊස්ටර් දූපත ලෙස හැඳින්වුවාට ස්වදේශික භාෂාවෙන් හඳුන්වන්නේ රැපානූයි ලෙස. ඊස්ටර් දූපතේ සිට ඈත සාගරය දෙසට නෙත් යොමා සිටින ප්‍රතිමා ඉතාමත් අභිරහස් නිර්මාණ ලෙස බොහෝ දෙනෙක් හඳුන්වනවා. ටොන් ගනනාවක් බරැති මේ ප්‍රතිමා මනුශ්‍යන් විසින් තැනකින් තවත් තැනකට ගෙන යා නොහැක බවත් ඒවා පිටසක්වල ජීවීන්ගෙ තාක්ෂණය තුලින් ප්‍රවාහනය කල ඒවා බවටත් සඳහන් යූටුබ් නාලිකා, වැඩ සටහන් සිය ගනනක් ඔබ අන්තර්ජාලය තුල සැරිසැරුවොත්, සොයා බැලුවොත් දකින්න පුළුවන්.

මිනිස් වර්ගයාගෙ දහඩිය මහන්සියෙන් චිත්ත ධෛර්ය සහ සිතීමේ හැකියාව තුලින් බිහිවන විශ්වකර්ම නිර්මාණ පිටසක්වල ජීවයකට ඈඳිමෙන් සිදුකරන හානිය සුළුපටු නෑ. මේ නිර්මාණ මිනිස් ශ්‍රමය තුලින් බිහිවුන ආකාරය සොයා බලනවා වෙනුවට බොහෝ දෙනා යොමුවන්නේ ඒවාට අභිරහස් මුහුණුවරක් ලබාදී ප්‍රචලිත කිරීමට.

රැපානූයි ජනතාව පලමු වරට බටහිර විද්‍යාඥයන්ට නිරාවරණය වන විට මේ ප්‍රතිමාවල ඉතිහාසය ඔවුන්ගෙන් විමසු විට ඔවුන් ප්‍රකාශ කරන්නෙ මේ ප්‍රතිමා ඔවුන් ඇවිද්දවු බවයි. පරම්පරා ගනනාවන සිට යටගිය දැනුම තුලින් ඔවුන්ගෙ නුතන පරම්පරා දැන සිටින්නේ ඒ කතාව පමණයි. "අපේ මුතුන් මිත්තන් මේ ප්‍රතිමා ඇවිද්දෙව්වා" යැයි පැවසිම තුල ගුප්ත බවක් රැඳි තිබෙන නිසාම ඒවා පසෙක දැමීමට බොහෝ දෙනා එකල යුහුසුළු වූවත් ඇවිද්දවීමෙන් මොආයි මොඩලයේ ප්‍රතිමාවක් තැනින් තැනට ගෙන යා හැකි ආකාරය ඔබට පහත වීඩියොවෙන් නරඹන්න පුළුවන්.
 

ඉතාමත් සරළ තාක්ෂණයක් සහ මිනිස් බලය උපයෝගි කරගනිමින් ටොන් ගනනක ප්‍රතිමාවක් ඇවිද්දවන ආකාරය තුල තිබෙන්නෙ පිටසක්වල තාක්ෂණයක් නොව මිනිස් වර්ගයා සතුව පවතින බුද්ධියයි.

වර්තමාන පරම්පරා අතිශයින්ම තාක්ෂණික ලෙස දියුණු උපකරන මත යැපෙමින් සියළු කාරණා ඉතාමත් පහසුවෙන් කරගත්තාට අනාදිමත් කාලයක සිට බොහෝ දේ සිදු කිරීමට විකල්ප ක්‍රමවේද සහ දැනුම සතු ගුරු පරම්පරාවන් සෑම ජාතියක් සතුවම පැවත තිබෙනවා. ඒ නිසා තමන් සතු බුද්ධියට ග්‍රහණය කර ගැනීමට නොහැකි යමක් පැවතුන පලියට ඒවාට පිටසක්වල තාක්ෂණයන් ඈඳිමේ මන්දබුද්ධික ක්‍රියාව සිදු නොකරන්න. මේක ලංකාවේ බොහෝ පෞරාණික නිර්මාණ සම්බන්දයෙනුත් පොදු කාරණයක්. පිටසක්වල ජීවය නොව තමන්ගෙම ආදීතමයන්ගෙ බුද්ධි මහිමයට ලැබිය යුතු ගෞරවය ලබා දීමට වග බලාගන්න.


(වීඩියෝව අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
 #DOE
 
 

ග්‍රිස්ලී පාදය (Grizzly Bear foot)


ග්‍රිස්ලී වලසුන් කියන්නෙ වර්තමානයේදි ගොඩබිම ජීවත්ව විශාලතම විලෝපික සත්වයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. පහත ඡායාරූපයේ තිබෙන්නේ එක් වනෝද්‍යානයක සිට තවත් වනෝද්‍යානයකට මාරු කර යවන ග්‍රිස්ලී වලසකුගෙ පාදයක්. මිනිස් අත් සමඟ තිබෙන නිසා ප්‍රමාණය සංසන්දනය කිරීමට පහසුයි. ඒ වගේම පාදය බැඳ ඇති යකඩ කේබලයේ ප්‍රමාණයට සාපේක්ෂව නියවල ප්‍රමාණය සහ ඝණකම දකින්න පුළුවන්.
 
ග්‍රිස්ලී පාදය

ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩා ප්‍රදේශවල කෑම්පින්, හයිකින් වැනි ක්‍රියාකාරකම්වල යෙදෙන්නන් නිරන්තරයෙන් ග්‍රිස්ලී වලස් ප්‍රහාරවලට නතු වෙනවා. මේ ප්‍රහාර වලින් 70% පමණ සිදුවෙන්නෙ වසන්ත සෘතුව තුල පැටවුන් සමඟ සංක්‍රමණය වන මව් වලසුන් මුණගැසීම සහ මිනිසුන් ගෙන යන ආහාර වලට වලසුන් ආකර්ශනය වීම. කෙසේ වෙතත් ග්‍රිස්ලී වලස් ප්‍රහාරයක් කියන්නෙ දැඩි ජීවිතාවදානමක් ඇති දෙයක් බව ඔබට මේ ඡායාරූපයෙන්ම වටහාගන්න පුළුවන්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
#DOE