Sunday, August 18, 2019

ස්පයිනොසෝරිඩේ කුලය (Spinosauridae family)


නැවතත් මෑතකදි නිකුත් වුන ජුරාසික් වර්ල්ඩ් චිත්රපටය තුලින් උදාහරණයක් සහිත සටහනක් ලබා දිය යුතුයි සිතුනා.

චිත්රපටයේ ඉතාමත් උද්වේගකර අවස්ථාවක් උමඟ තුලින් මතුවන සත්ව විශේෂය තමයි බැරියොනික්ස් (Baryonyx) නමින් හඳුන්වන ඩයිනෝසර විශේෂය. 'බැරියොනික්ස් වැල්කරි' නමින් විද්යාත්මකව හඳුන්වන මොවුන් අයත් වන්නෙ ස්පයිනොසෝරිඩේ කුලයට.

බැරියොනික්ස් (Baryonyx)

ස්පයිනොසෝරිඩේ කුලයට අයත් විශේෂයක් මීට පෙර තිරගත වුන ජුරාසික් පාර්ක් චිත්රපට මාලාවෙ දකින්න ලැබුණා. ඒ තමයි ස්පයිනෝසෝරස් ඒජියේප්ටිකස් විශේෂය. ස්පයිනෝසෝරස් ඒජියේප්ටිකස් එතෙක් මෙතෙක් බිහිවු විශාලතම මාංශභක්ෂක ඩයිනෝසර විශේෂයක්. එමෙන්ම වර්තමානයේදි පවා මතභේදාත්මක විශේෂක්. මේ විශේෂයෙ කොඳු නාරටියෙන් ඉහලට එසවෙන අවානක් බඳු රුවල කුමන කාර්ය සඳහා යොදාගත්තාද ? ස්පයිනෝසෝරස් ශරීරය කුමන ඉරියව්වෙන් පැවතියාද ? ස්පයිනෝසෝරස් ජලජ, අර්ධ ජලජ හෝ ගොඩබිම්වාසී ද ? යන කරුණු බොහෝ ප්රමාණයක් විවාදාත්මක අයුරින් පවතින්නේ. 

ඒ වගේම ඒ චිත්රපටයේදිම ස්පයිනෝසෝරස් විශේෂය වරදවා හඳුනාගන්නවා අචාර්ය ඇලන්ගෙ සහයකයා විසින් 'සූකෝමීමස්' ලෙස. සූකෝමීමස් යනුත් ස්පයිනොසෝරිඩේ කුලයටම අයත් තවත් විශාල මාංශභක්ෂකකයෙක්. සූකෝමීමස් නම ගැන යමක් සඳහන් කල යුතුයි. මෙවන් විශේෂ නාමකරණයේදි "සූකෝ" / "සූකස්" වැනි කොටස් එක් වන්නෙ "කිඹුලෙකුගෙ වැනි" යන අර්ථයෙන්. ස්පයිනෝසෝරිඩේ කුලයටම පොදු ලක්ෂණය තමයි කපාලයේ හනු නෙරීම කිඹුලන්ගෙ ආකාරයෙන් පැවතීම. එලෙස පවතින්නේ ඔවුන් "මත්ස්ය භක්ෂක" කුලයක් නිසා යැයි විද්යාත්මකව පිලිගත් මතයක්.

මීට අමතරව ස්පයිනොසෝරිඩේ කුලයේ "ඉක්තියෝවනේටර්" සහ "ඉරිටේටර් චැලෙන්ජරී" හඳුනාගන්න පුළුවන්. ඉක්තියෝවනේටර් නමේ අර්ථයත් මසුන් දඩයම් කරන්නා. "ඉරිටේටර් චැලෙන්ජරී" නාමයේ සම්භවයත් සිත්ගන්නා සුළුයි. "ඉරිටේටර්" කොටස සම්භවය වෙන්නෙ ඉරිටේශන් නැමැති පදයෙන්. මේ සත්වයාගෙ හොලොටයිප් නිදර්ශකය විද්යඤයන්ට ලැබෙන විට එය රැගෙන පැමිණියවුන්ගෙ නොසැලකිලිමත්කම නිසා හානිවී, විකෘති වී පවතින්නේ. එයින් විද්යාඤයන් කෝපයට පත්වෙනවා. කෝප ගන්වනසුළු = ඉරිටේට් (irritate). ඒ වගේම සුප්රසිද්ධ රචක සර් ආතර් කොනන් ඩොයිලි ලියන ලොස්ට් වර්ල්ඩ් නවකථාවේ මහාචාර්ය චැලෙන්ජර් නැමැති චරිතය සිහිගැන්වීම පිණිස තමයි "චැලෙන්ජරී" කොටස එක්වන්නේ, එනයින් මේ නව විශේෂය 'ඉරිටේටර් චැැලන්ජරී' බවට පත් වෙනවා. ඒ ස්පයිනොසෝරිඩේ තවත් විශේෂයක්.

බොහෝ දෙනා මා වෙත යොමුකරන ගැටලුවක් තමයි මේ නාමකරණය සිදුකරන විට ලබාදෙන පැටලෙන සුළු, අස්වාභාවික නම් වලට හේතු මොනවාද කියා. ද්වීපාද නාමකරණය (වචන දෙකකින් යුත් විද්යාත්මක නම) ලබාදෙන විට ලතින්, ග්රීක වචන භාවිතා කිරීම සාමාන්යයෙන් සිදුකරන දෙයක්. නමුත් මේ සෑම නාමයකටම කතාවක් තිබෙනවා, අර්ථයක් තිබෙනවා. ⁣මේ විෂය ගැන හැදෑරීමේදි මේ නම් සමඟ වෙලී තිබෙන කථාව සොයාගැනීම ඉතාමත් සිත්ගන්නා සුළු කර්තව්යයක්.

නැවතත් මාතෘකාවට පැමිණියොත් (විෂය කරුණු බොහෝමයක් තිබෙන නිසා ඉතා ඉක්මනින් මාතෘකාවෙන් පිට පනිනවා) ස්පයිනොසෝරිඩේ කුලයට අයත් මේ සත්වයන් ලෝකය පුරාම පැතිරි සිටියා. ජුරාසික් අවසාන භාගයේ සිට ක්රිටැසියස් අවසානය දක්වා සිටි මේ සත්වයන් ක්රිටැසියස් නශ්ඨවීමත් සමඟම මිහිමතින් තුරන් වෙනවා. ස්පයිනොසෝරිඩේ කුලය ගැන සටහන් කරන්න හිතුනෙ එකිනෙකට බැඳි පුරුක් මෙන් පවතින මේ විශේෂයන්ගෙ කතාව මෑතකදි තිරගත වුන චිත්රපටයේ සිටි බැරියොනික්ස් සත්වයා හේතුවෙන් මතකයට පැමිණි නිසා.


ස්පයිනොසෝරිඩ්ස්


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment