Thursday, August 29, 2019

පැසිෆික් මැස්ටඩොන් (Pacific Mastodon)


මැස්ටඩොන් හස්ථීන් ගැන මීට පෙර පරිණාමික දිනපොත තුලින් ඉදිරිපත්කර තිබෙනවා. මැමත් හස්ථීන් උතුරු ඇමරිකාව තුල ජීවත් වු සමයේම ජීවත්වු තවත් හස්ථි විශේෂයක් තමයි මැස්ටඩොන්. මැස්ටඩොන්ලා මැමත් හස්ථින්ට වඩා රූපීයව වෙනස් වගේම වෙනස් වූ පාරිසරික නිකේතනයට තමයි හැඩගැසී තිබුනෙ. වැරදිලාවත් මේ හස්ථි විශේෂ දෙක එකම පාරිසරික නිකේතනයකට අනුවර්තනය වී තිබුනානම් ආහාර සඳහා විශාලා තරඟයක් ඇතිවෙනවා. නමුත් එකම ප්‍රදේශයේ එකම කාලයක ජීවත් වුවාට ඔවුන්ගෙ ආහාර රටා අතිශයින්ම වෙනස්.

මේ වන තෙක් හඳුනාගෙන තිබුනෙ මැමුට් ඇමරිකානුම් (Mammut americanum) නැමැති මැස්ටඩොන් විශේෂය පමණයි. නමුත් සති කිහිපයකට ඉහතදි ෆොසිල විද්‍යාඥ කණ්ඩායමක් ඔවුන්ගෙ නවතම පර්යේෂණ පත්‍රිකාව එලිදැක්වුවා උතුරු ඇමරිකාවෙ බටහිර ප්‍රදේශවල ජීවත් වු වෙනස් මැස්ටඩොන් විශේෂයක් පිලිබඳව. මේ නව විශේෂය හඳුන්වන්නේ මැමුට් පැසිෆිකුස් (Mammut pacificus) විද්‍යාත්මක නාමයෙන්.

ඇමරිකානුම් සහ පැසිෆිකුස් විශේෂ අතර කැපී පෙනෙන වෙනස්කම් රාශියක් ෆොසිල සාධක මත හඳුනාගෙන තිබෙනවා. ත්‍රිකාස්ථිය සහ ඌර්වාස්ථිය හැඩය සහ ප්‍රමාණයන් ඒ අතරින් විශේෂයි.

පැසිෆික් මැස්ටඩොන් ප්‍රතිනිර්මාණයක්

ඇමරිකානුම් සහ පැසිෆිකුස් විශේෂවල පැතිරීම

ඇමරිකානුම් සහ පැසිෆිකුස් විශේෂ වල ඌර්වාස්ථි සංසන්දනාත්මක ප්‍රමාණයන් (වම් පස දැක්වෙන්නෙ ඝණකමින් වැඩි පැසිෆිකුස් ඌර්වාස්ථියක් දකුණු  පසින් දැක්වෙන්නෙ ඇමරිකානුම් විශේෂයේ ඌර්වාස්ථියක්)


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




සෙරටොමිර්මෙක්ස් එලන්බර්ගි (Ceratomyrmex ellenbergi)


විශාල සතුන් ගැන හැමවිටම පාහේ ලියවෙන නිසා වෙනසකටත් එක්ක කුහුඹු විශේෂයක් ගැන මේ සටහන.

සෙරටොමිර්මෙක්ස් එලන්බර්ගි (Ceratomyrmex ellenbergi) නැමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ කුහුඹු විශේෂය මීට වසර මිලියන 65 කට පමණ පෙර අවසන් ක්‍රිටැසියස් යුගයෙදි ආසියාව තුල ජීවත් වු කුහුඹු විශේෂයක්.

එලන්බර්ගි ප්‍රතිනිර්මාණයක්

අවසන් ක්‍රිටැසියස් යුගය කියන්නෙ මේ කුහුඹුවන් හා සමාන්තරව තමයි යෝධ ඩයිනෝසර විශේෂ ජීවත් වන්නෙත්. මේ වගේ කුඩා කුහුඹුවන්, කෘමි සතුන්ගෙ ෆොසිල සංරක්ෂණය වී නොතිබුනත් ඇම්බර් තුල ඒවා ඉතා හොඳින් සංරක්ෂණ වී තිබෙනවා. ඇම්බර් කියන්නෙ ශාඛ වලින් වෑස්සෙන ලාටු විශේෂයක්. යම් සත්වයෙක් මේවායින් වැසුනු පසු වසර මිලියන ගනනක් යනතෙක් ඉතාමත් හොඳින් සංරක්ෂණ වී තිබෙන්න පුළුවන්. ක්‍රිටැසියස් යුගයට අයත් මෙවැනි ඇම්බර් ෆොසිල හමුවන්නෙ බුරුමයෙන්. එලන්බර්ගි නැමැති කුහුඹු විශේෂයත් එලෙස ඇම්බර් ලාටු තුල සංරක්ෂණය වී හමුවු විශේෂයක්.

එලන්බර්ගි සංරක්ෂණය වී ⁣තිබෙන ඇම්බර් ෆොසිලයක්

ඉහත ඡායාරූප දෙකේ, කුහුඹුවන්ගේ ප්‍රමාණය ඉතා කුඩා නිසා පරිමාණයට වඩා විශාල කරලයි දක්වා තිබෙන්නේ.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




වවුල් දිනය (Bat Appreciation Day)


අප්‍රේල් 17 වවුලන් සඳහා වෙන් කල දිනය. ඒ වෙනුවෙන් කෙටි සටහනක්.



මිහිමත ජීවය ආරම්භ වු දින සිට වෙනස් පරිණාමික මංපෙත් ඔස්සෙ අහසට ජීවය එසවෙනවා සිව් වතාවක්. ප්‍රථමයෙන්ම මීට වසර මිලියන 400 පමණ පෙර ඩෙවෝනියන් අවධියේදි කෘමි සත්වයන් පියාසැරිය අත්කර ගනු ලබනවා. ඉන්පසුව දෙවන වතාවට මීට වසර මිලියන 228 කට පමණ පෙර ට්‍රියැසික් අවධියේදි ටෙරෝසෝරයන් පියාසැරිය අත්කර ගනු ලබනවා. තෙවන වතාවට පියාසැරිය අත්කර ගනු ලබන්නෙ පක්ශින්. ඒ මීට වසර මිලියන 60 කට පමණ පෙර ක්‍රිටැසියස් අවධියේදි. අවසන් වතාවට ජීවය ඉහලට එසවෙන්නෙ මීට වසර මිලියන 50 කට පමණ පෙර ඉයෝසීනයේදි. මේ සත්ව ගෝත්‍රව අපි වර්තමානයේදි හඳුන්වනු ලබන්නේ කයිරොප්ටෙරාවන් ලෙස. කයිරොප්ටෙරාවන් යනු වවුලන්.

පියාසැරිය අත්කරගත් එකම ක්ශීරපායි ගෝත්‍රය බවට පත්වන්නෙ කයිරොප්ටෙරාවන්. වර්තමාන පෘථෘවිය තුල ඉතාමත් විවිධත්වයකින් හෙබි ලොව පවතින සියළුම පාරිසරික නිකේතන ජයගත් කයිරොප්ටෙරාවන් විශේෂ 1200 ක් පමණ ජීවත් වෙනවා. අපි ජීවත් වෙන ඉන්දියන් සාගරයේ මේ කුඩා දූපතේ පමණක් විශේෂ 30 පමණ සිටිනවා.

නිශාචර, දිවාචර, මාංශභක්ෂක, පලතුරු භක්ෂක, මත්ස්‍ය භක්ෂක, කෘමි භක්ෂක ආදී විවිධාකාර වලින් මොවුන් දැක ගන්න පුළුවන්. බොහෝ විශේෂ නිශාචර නිසා රාත්‍රි අන්ධකාරයත් සමඟ ඔවුන් ඉහලට එසවෙනවා. පාරිසරික පද්ධති වල තුලනය සඳහා අතිමහත් දායකත්වයක් දක්වන මේ අපූර සත්ව කාණ්ඩයෙන් සිදුවන මෙහෙය අමිලයි. පරාගනය, බීජ ප්‍රරෝහනය සඳහා දායකත්වය, කෘමි භක්ෂකනය තුලින් කෘමින් පාලනය, වනාන්තර ස්වාභාවික ප්‍රසාරණය උදෙසා බීජ රැගෙන යාම ආදී දහසක් කාරණා මේ සත්ව කාණ්ඩය අතින් සිදුවෙනවා.

වානාන්තර විනාශය, වවුලන් ලගින ගස් විශේෂ කපා දැමීම, හඳුනාගත නොහැකි රෙඩ රෝග ආදී කාරණා නිසා මේ සත්වයන් අඩු වීමෙන් පාරිසරික ප්‍රශ්න ගනනාවක් වර්තමානයේදි උද්ගත වෙමින් පවතිනවා.

වවුලන් කියන්නෙ අපූරු සත්ව කාණ්ඩයක්, ඔවුන්ගෙ හැසිරීම් රටා, සන්නිවේදන ක්‍රම, පියාසැරි ක්‍රම, ගොදුරු සොයාගැනීමේ උපක්‍රම ආදිය ගැන ඔබ මඳක් සොයා බැලුවොත් මේ අපූරු බව දකින්න පුළුවන්. අප අයත් ප්‍රයිමේටාවන් ලොව බිහිවන යුගයේදිම පරිණාමය වූ කයිරොප්ටෙරාවන් අපේ පැවැත්මටත් වැදගත් වන්නෙ ඒ නිසා.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




පැරගොසීටස් පැසිෆිකුස් (Peregocetus pacificus)


2019 අප්‍රේල් මස 4 වන දින පේරූ රාජ්‍යයෙන් ප්‍රාග් ඓතිහාසික තල්මස් විශේෂයක් සොයා ගනු ලැබුවා. වසර මිලියන 43 කට පමණ පෙර ජීවත් වු මෙම සත්වයා මීටර් 4 ක් පමණ දිගින් යුතු සත්වයෙක්.

තල්මසුන්ගෙ පරිණාමික වෘක්ෂය ගැන පරිණාමික දිනපොත පිටුව තුලින් දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබෙනවා මීට පෙර පලකරපු ලිපි එකතුවක. එහි ලින්ක් එක මෙහි සඳහන් කරනවා පිටුව සමඟ අලුතෙන් එක්වු අයට කියවන්න.

සිටසියා පරිණාමය (Cetacea Evolution) - 01
සිටසියා පරිණාමය (Cetacea Evolution) - 02
සිටසියා පරිණාමය (Cetacea Evolution) - 03 (අවසන් කොටස)

එය දැනටමත් කියවා ඇති අය මේ වන විට දන්නවා තල්මසුන් කියන්නෙ මීටර වසර මිලියන 40 කට පමණ එපිටදි මුහුදේ ජීවත් වූ සත්වයන් නොව පූර්ණ ගොඩබිම් වාසීන් බව. පේරූ රාජ්‍යයෙන් සොයාගත් මේ නව තල්මස් විශේෂයත් ගොඩබිම් වාසි සංක්‍රාන්තික අවස්ථාවක්. පෙරෙගොසීටස් පැසිෆිකුස් ( Peregocetus pacificus) නමින් හඳුන්වන මොවුන් ගොඩබිම සහ ජලය යන දෙකේම ජීවත් වූ සත්ව කාණ්ඩයක්. වර්තමානයේදි ජීවත් වන දිය බල්ලන්ට සමාන අනුවර්තන දැරූ පැරගොසීටස් සත්වයන් බැඳි පටල සහිත අත්පා දැරූ සත්වයෙක්. ගොදුරු සෙවීමට මුහුද කරා ඇදුනු මේ සත්වයින් ජලය තුල සුහුරු දඩයම්කරුවන් බව පිහිනීමට හැඩගැසුනු ශරීරයත්, උල් දත් පිහිටීමත් පෙන්නුම් කරනවා.

පැරගොසීටස් පැසිෆිකුස් ප්‍රතිනිර්මාණය

සිවුපා තල්මස් ආදීතමයන්ගෙ ෆොසිල සාධක මෙතෙක් කල් හමුවුනෙ ඉන්දියාව, පාකිස්තානයේ සුලෛමාන් කඳුවැටිය වැනි ප්‍රදේශ ආශ්‍රිතව. නමුත් පැරගොසීටස් ෆොසිලයත් සමඟ එකී ප්‍රදේශයන්ගෙන් පිටතදි සොයාගත් පලමු සිවුපා තල්මස් පූර්වජයා බවට පැරගොසීටස් පත්වනවා. එමෙන්ම දකුණු අර්ධගෝලයෙන් සොයාගත් ප්‍රථමයාද මෙම විශේෂයයි. මේ විශේෂ සොයාගැනීමත් සමඟම නූතන ෆොසිල විද්‍යාව සහ පරිණාමික ජීව විද්‍යාව තුල තල්මස් පරිණාමික වෘක්ෂය පැතිරීම මෙතෙක් කල් විස්තර කර තිබූ ආකාරයේ නිරවද්‍යතාව තවත් සනාථ වනවා


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




කළගුණ සැළකීම (How we show our gratitude)


පරිණාමය...




(නිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී) 



#DOE


Link to Facebook post --->


භූමිකම්පා සහ භූ තැටි සීමා (Earthquakes and Plate bounderies)


පහලින් තියෙන්නෙ US NWS පැසිපික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන ලද වීඩියෝවක්. මෙහි තිබෙන්නේ 1901 වර්ශයේ සිට 2000 වර්ශය වන තෙක් සිදුවු භූමිකම්පා දත්ත. මුල් කාලයේදි තාක්ෂණයේ අඩුපාඩු නිසා ඉතා සුළු දත්ත ප්‍රමාණයකින් ඇරඹුනත් කාලයත් සමඟ තාක්ෂණයේ දියුණුව හේතුවෙන් දත්ත ප්‍රමාණය වැඩි වීමත් එක්කම වාර්තාගත භූමිකම්පා ප්‍රමාණයේ වැඩිවීම බලන්න පුළුවන්.



අවසන් වර්ශයෙන් පස්සෙ මේ භූමිකම්පා ක්ලස්ටර් වෙන විදිහ අනුව ඔබට රටාවක් පේනවා ඇති මේවා වැඩියෙන් සිදුවන සීමාවන්. මේ සීමාවන් තමයි ලෝකයේ භූ තැටි ඝට්ටනය වන සීමාවන්, එහෙම නැත්තන් ප්ලේට් බවුන්ඩරීස්. මහද්වීප චලනය වන්නෙ මේ ආකාරයේන්, නව ගොඩ බිම් ඇතිවන්නේ , තිබෙන ගොඩබිම් නැති වන්නෙ මේ ආකාරයෙන්.  වසර සීයක දත්ත මෙසේ එක් රොක් වන විට ඔබට හිතන්න පුළුවන් වසර ලක්ෂයක්, වසර මිලියනයක්, වසර මිලියන දහයක්, වසර මිලියන සීයක් වැනි අති දීර්ඝ කාලයන් තුලදි පෘතුවියේ ගොඩබිම් වල කොපමණ වෙනසක් සිදුවනවාද කියා.

මේ ආකාරයෙන් තමයි පැන්ජියා, ගොන්ඩ්වානා, ලොරේසියා ආදී සුපිරි මහද්වීප එකල තිබු ආකාරයෙන් කාලයත් සමඟ වෙනස් වී වත්මන පවතින ආකාරයට පැමිණෙන්නෙ. මේ ගොඩබිම් වෙනස්වන ආකාරය අනුව කෙතරම් ෆොසිල සාධක අහිමිව යන්න ඇද්ද? එකල ජීවත්වු සත්ව විශේෂ කොපමණ සංඛ්‍යාවකයේ සාධක අහිමි වන්නට ඇද්ද යන්න හිතාගන්න පුළුවන්.

ඔබ මම ජීවත් වන ලෝකය වෙනස් වෙමින් පවතින්නේ. එය සෑම තත්පරයකදිම වෙනස් ⁣වීම් වලට බඳුන් වෙනවා. ඒ වෙනස්වීම් මත ජීවයේ පැවැත්ම තීරණය වීම තමයි අපි පරිණාමය ලෙස හඳුන්වන්නේ.




#DOE




Wednesday, August 28, 2019

යැන්ග්චුආනෝසෝරස් ෂැන්ගියුනෙන්සිස් සහ ජයිගැන්ටොස්පිනෝසෝරස් සීචුවානෙන්සිස් (Yangchunaosaurus shangyounensis and Gigantospinosaurus sichuanensis)


ජුරාසික්, ක්‍රිටැසියස් යුග ගැන කතා කරද්දි බොහෝ දෙනාගෙ මතකයට එන්නෙ උතුරු සහ දකුණු ඇමරිකානු කලාප. චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් සියල්ලම පවා මේ ප්‍රදේශවල ප්‍රාග් ඉතිහාසය කේන්ද්‍රකොට නිර්මාණය වුනාට මේ ⁣අපූරු ජෛව විවිධත්වය ලොව අනෙක් ප්‍රදේශවලත් පැතිර තිබුනෙ ඊ⁣ටත් වඩා අපූර්ව ලෙස.

විශේෂයෙන්ම චීනය කියන්නෙ ජුරාසික්, ක්‍රිටැසියස් යුගවලට අයත් ඉතාමත් අනර්ඝ ෆොසිල සාධක වි⁣ශාල වශයෙන් හමුවන ප්‍රදේශයක්.  පහත ප්‍රතිනිර්මාණයේ දැක්වෙන්නෙත් මීට වසර මිලියන 165 - 162 ත් අතර කාලය තුල චීනය පැවති ප්‍රදේශ තුල ජීවත් වු ඩයිනෝසර විශේෂ ද්විත්වයයක්.


ද්වීපාදික විශේෂය - යැන්ග්චුආනෝසෝරස් ෂැන්ගියුනෙන්සිස්
(Yangchunaosaurus shangyounensis)
පරිණාමිකව ගත්තම ප්‍රසිද්ධියක් උසුලන ඇලෝසෝරස් විශේෂයට ඤාතී සබඳතා දක්වන ඇලෝසෝරිඩේ ඝනයට අයත් විශේෂයක්.

සිව්පා විශේෂය - ජයිගැන්ටොස්පිනෝසෝරස් සීචුවානෙන්සිස් (සීචුවානයේ යෝධ උල් සහිත උරගයා) (Gigantospinosaurus sichuanensis)
මේ විශේෂය ස්ටෙගොසෝරියා කාණ්ඩයට අයත් විශේෂයක්. ස්ටෙගොසෝරියාවන් ගැන මීට පෙර ලිපියක් පලකරලා තිබෙනවා.

මේ විශේෂ ද්විත්වයම හමුවන්නෙ චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ඩසාන්පු සංකීර්ණයෙන්.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




සෙනොසොයික මෘගයන් (Cenozoic Beasts)


සෙනොසොයික අවධිය තුල මිහිමත සැරිසැරූ වර්තමානයේදි නශ්ඨව ඇති සත්ව විශේෂ කිහිපයක සාපේක්ෂ ප්‍රමාණයන් තමයි මෙහි දැක්වෙන්නෙ. මේ සත්ව විශේෂ අනුපිලිවෙල පහතින් දක්වනවා. 

මෙතෙක් පරිණාමික දිනපොත තුල සාකච්ඡාවට ලක්කල විශේෂ ඉදිරියෙන් ✔️ ලකුණ යොදා තිබෙනවා. පිටුව සමඟ මුල සිටම රැඳි සිටි සාමාජිකයන් මේ සත්ව විශේෂ දැනටමත් හඳුනනවා ඇති. ඉදිරියේදි මෙහි දැක්වෙන අනෙක් විශේෂ ගැනත් සටහන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.



Epigaulus / Horned Gopher
Eohippus
Leptictidium
Thylacine / Tasmanian Tiger ✔️
Pakicetus ✔️
Moeritherium
Great Auk ✔️
Dodo
Castoroides / Giant Beaver
Thylacosmilus ✔️
Thylacoleo / Marsupial Lion ✔️
Dire Wolf
Homotherium / Scimitar Cat
Cave Lion
Amphicyon
Kubanochoerus
Synthetoceras
Nothritheriops / Shasta Ground Sloth
Australopithecus
Glyptodon ✔️
Quagga
Toxodon
Dinopithecus
Cave Bear
Doedicurus
Gastornis ✔️
Hyaenadon
Short-Faced Bear
Arsinoitherium
Uintatherium
Andrewsarchus
Megalania
Aurochs
Daeodon
Platybelodon ✔️
Dinornis / Giant Moa
Diprotodon ✔️
Long-Horned Bison
Aepyornis / Elephant Bird
Titanoboa ✔ 
Megacerops
Aepycamelus
Embolotherium
Elasmotherium ✔️
Megaloceros / Giant Irish Elk
Moropus
Sivatherium
Procoptodon / Short-Faced Kangaroo
Woolly Mammoth
Columbian Mammoth
Deinotherium ✔️


(Credit - Dane Pavitt
Industrial Cinematic - Kevin McLeoud)



#DOE




Tuesday, August 27, 2019

හෝමෝ ලූසොනෙන්සිස් (Homo luzonensis)


විරාමයක් ගත් කාලය අතරතුර ප්‍රාග් ඉතිහාසයට සබැඳි ක්ෂේත්‍ර ගනනාවක නව සොයාගැනීම් රාශියක් සිදුවුනා. ඒ සොයාගැනීම් එක්ක ආපහු පිටුපසට යන්න කලින් අප්‍රේල් 11 දිනය ගැන සඳහන් කල යුතුයි. විද්‍යා ලෝකය තුල කළු කුහරය ලෝකයට නිරාවරණය කිරීමෙන් පැය තුනක් ගතවීමට පෙර මානව පරිණාමීක වෘක්ෂයේ නව මානව විශේෂයක් පිලිපීනයෙන් සොයාගනු ලැබුවා. පිලිපීන ජාතික ආචාර්ය ආර්මාන්ද සැල්වදොර් මිහාරේස් ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායම තමයි මේ සොයාගැනීම කරන්නෙ.

උතුරු පිලිපීනයට අයත් ලූසෝන් දූපතේ පිහිටි කලාවො නැමැති ගුහාවෙන් තමයි මේ නව මානව විශේෂයට අයත් සාධක නිරාවරණය වෙන්නෙ. ලූසෝන් දූපතෙන් සොයාගත් මානවයා අර්ථයෙන් Homo luzonensis (හෝමෝ ලූසෝනෙන්සිස්) විශේෂ නාමය ලබාදී තිබෙනවා.

ලූසෝන් දූපතේ පිහිටි කලාවො ගුහාව

ලූසොනෙන්සිස් කියන්නෙ මේ සියවස තුල සොයාගනු ලැබු හෝමෝ ගනයට අයත් සිව්වන මානව විශේෂය. පිලිවෙලින් ගත්තොත් 2004 වර්ශයේදි ඉන්දුනිසියාවෙ ෆ්ලෝරන්ස් දූපතෙන් හමුව Homo floresiensis , 2010 දි නම් කරනු ලබන ඩෙනිසෝවන් මානවයා, 2013 දී රයිසින්ග් ස්ටාර් ගුහා සංකීර්ණයෙන් සොයාගනු ලබන Homo naledi යන මානව ත්‍රිත්වයට පසුව සොයාගනු ලබන විශේෂ වන්නෙ ලූසොනෙන්සිස්.

ලූසෝන් සහ ෆ්ලෝරෙස් පිහිටීම

වසර 50000 - 67000 අතර කාලයකට කාලනීර්නය වන මේ නව මානව විශේෂය ප්‍රමාණයෙන් ඉතා කුඩා විශේෂයක්.අඩි 3 පමණ උසට වැඩුනු මේ විශේෂය ඉන්දුනිසියාවේ ෆ්ලෝරස් දූපතෙන් සොයාගත් ෆ්ලොරෙසියෙන්සිස් (floresiensis) මානවයාගෙ ප්‍රමාණයට සමානකම් දරනවා නමුත් ලැබී ඇති ෆොසිල සාධක මත ව්‍යූහීය වෙනස්කම් රාශියක් දැරීම හේතුවෙන් නව විශේෂයක් ලෙස නම් කර තිබෙනවා. මේ වෙනස්කම් අතර ප්‍රධාන සාධකයක් වන්නෙ ෆ්ලොරෙසියෙන්සිස් මානව විශේෂට වඩා නූතන ලක්ෂණ දැරීම. ෆ්ලොරෙසියෙන්සිස් මානවයන් පිලිබඳව තිබෙන ප්‍රසිද්ධ මතය තමයි ඔවුන් පරිණාමය වන්නෙ හෝමෝ ඉරෙක්ටස් විශේෂයෙන් බව, නමුත් මේ නව මානව විශේෂය ඉරෙක්ටස් ලක්ෂණ වලට වඩා හොමෝ සේපියන් ලක්ෂණ දරන බව තමයි සඳහන් වෙන්නෙ. දන්තමය සාධක මෙහිදි ඉතාමත් වැදගත්.

ලූසෝනෙන්සිස් ප්‍රතිනිර්මාණයක්

හෝමෝ ඉරෙක්ටස් හෝ හෝමෝ සේපියන් මානව වර්ගයාගෙන් පරිණාමය වූ විශේෂයක්ද නැතිනම් අප්‍රිකාවෙන් පිටවු වෙනත් හොමිනිඩ් විශේෂයකින් පරිණාමය වූ විශේෂයක්ද යන්න තවම කිව නොහැකියි. ඒ සඳහා ඉදිරියේදි සිදුකරනු ලබන පර්යේෂණ ඉතාමත් වැදගත්. කෙසේ නමුත් ඉරෙක්ටස් හෝ සේපියන් විශේෂ දෙකෙන් එකකින් පරිණාමය වු මානවයෙකුනම් මේ නව විශේෂ insular dwarfism/island dwarfism තත්වය පත්වු මානව විශේෂයක්. Insular dwarfism/island dwarfism කියන්නෙ යම් විශේෂයක් සංක්‍රමණයේදි දූපතකට කොටු වීමකට ලක්වුනොත් කාලයත් සමඟ දූපත් පරිසරයට හා සම්පත් උපයෝගීතාවන් සඳහා ක්‍රම ක්‍රමයෙන් කුරු බවට පත්වීම. Insular dwarfism සංසිද්ධිය පිලිබඳව මීට පෙර කිහිප වතාවක්ම මේ පිටුවෙ සටහන් වලින් ඉදිරිපත් කර තිබෙනවා. ක්‍රීට මැමත් පිලිබඳ ලිපිය තුලින් මේ ගැන වඩාත් හොඳට කියවන්න පුළුවන්.

කෙසේ නමුත් ගිණිකොණදිග ආසියාව තුල නව මානව විශේෂ මතුවීම තුලින් ඉතාමත් ආකර්ශනීය මානව පරිණාමික කතාන්දරයක් ඒ ප්‍රදේශයයන් තුල ගොඩනැගෙමින් පවතිනවා. භෞතික මානව විද්‍යාව තුල අවධානය ඉදිරියේදි ගිණිකොණදිග ආසියාව තුලට වැඩියෙන් කේන්ද්‍රගත වීමට නියමිතයි. අප්‍රිකාවෙන් පිට වු විවිධ හෝමෝ විශේෂ ආසියාව පුරා පැතිර ගිය ආකාරයත් ඔවුන්ගෙන් ඇතැමුන් කුඩා දූපත් තුල සිරවී මහද්වීප තුල ඔවුන්ගෙ වර්ගයා අත්කරගනිමින් සිටින පරිණාමික වෙනස්කම් වලින් අපගමනය වු වෙනස්කම් දූපත් තුල ඔවුන් අත්කරගත් ආකාරය පිලිබඳව එළඹෙන දශක කිහිපය තුල ඉතා ප්‍රබල පර්යේෂණ මාතෘකා බවට පත්වනු ඇත.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ස්ටෙගෝසෝර්ස් (Stegosaurus)


සාමාන්‍යයෙන් ප්‍රාග්ඓතිහාසික සතුන් ගැන යම් අවබෝධයක් තිබෙන අයෙකුට 'ස්ටෙගෝසෝරස්' නම එතරම් අලුත් නමක් නෙවෙයි. හිසේ සිට වල්ග අග්‍රය දක්වා කියත් දැති මෙන් පිහිටන අස්ථිමය නෙරුම් පිහිටන මේ රූපකාය ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාව තුලත් කිහිප වරක් පෙන්නුම් කරනවා. නමුත් ස්ටේගෝසෝරස් යනු එක් සත්වයෙකු පමණක් නොවෙයි. ස්ටෙගෝසෝර්ස් යන නාමයෙන් හඳුන්වන්නේ සම්පූර්ණ සත්ව කාණ්ඩයක්.

ප්‍රධාන වශයෙන් ස්ටෙගොසෝරස් සත්වයන් ක්ලේඩ්ස් දෙකකට බෙදනවා.
  1. ස්ටෙගොසෝරිඩේ
  2. හ්වැයොන්ගොසෝරිඩේ

පොදුවේ මේ ක්ලේඩ් දෙකට අයත්වන සියළු විශේෂ වලට ෆොසිල විද්‍යාව තුල 'ස්ටෙගොසෝරයන්' යන නම භාවිතා කරනු ලබනවා. උතුරු ඇමරිකාව, යුරෝපය, ආසියාව, අප්‍රිකාව ආදී පෘථෘවියේ බොහෝ ප්‍රදේශ තුල සාර්ථකව ඉතාමත් දීර්ඝ කාලයක් සිය පැවැත්ම තහවුරු කරගත් ශාඛ භක්ෂකයන් පිරිසක් තමයි මේ ස්ටෙගොසෝරස් සත්වයන්. මධ්‍ය ජුරාසික යුගයේ සිට ක්‍රිටැසියස් නශ්ඨවීම දක්වාම මොවුන්ගෙ පැතිරීම ෆොසිල වාර්තා තුලින් ලැබෙනවා.

දැන් මේ පහත ප්‍රතිනිර්මාණය තුල තිබෙන්නෙ ස්ටෙගෝසෝරස් විශේෂ ගනනාවක් තුලින් තෝරාගත් විවිධ ප්‍රමාණ සහ විවිධ කලාප තුල ජීවත් වු ස්ටෙගොසෝරියාවන් කිහිප දෙනෙක්.



වමේ සිට දකුණට පිලිවෙලින්;
  1. මිරගියා ලොන්ගිකොලුම් (Miragaia longicollum) - පෘතුගාලය
  2. ස්ටෙගෝසෝරස් ගනයට අයත් සමාජිකයයෙක්, මේ ගනයේ විශේෂ 4 පමණ සිටිනවා
  3. හ්වැයොන්ගොසෝරස් ටයිබායි (Huayangosaurus taibaii) - චීනය
  4. කෙන්ට්‍රොසෝරස් එයිතොපිකස් (Kentrosaurus aethopicus) - ටැන්සානියාවේ ටෙන්ඩගුරු සංකීර්ණයෙන් හමුවන ප්‍රමාණයෙන් මඳක් කුඩා විශේෂයක්.
  5. ජයිගැන්ටොස්පිනෝසෝරස් සීචුවානෙන්සිස් (Gigantospinosaurus sichuanensis) - චීනය
  6. ටුවොජියැන්ගෝසෝරස් මල්ටිස්පයිනුස් (Tuojiangosaurus multispinus) - චීනය.

මේ ඩයිනෝසර කාණ්ඩයේ අධි විවිධත්වය ගැන ඔබට යම් අදහසක් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




රාවණා පාලමේ ඇත්ත නැත්ත කුමක්ද? (Myth and reality of Ravana Bridge)


පරිණාමික දිනපොත තුලින් මිථ්‍ය විශ්වාස සඳහා පිලිතුරු සැපයීමට කාලය වෙන් නොකරන නමුත් දිගින් දිගටම කිහිප දෙනෙකු විසින් ප්‍රශ්න කර තිබෙනවා මන්නාරම, ඇඩම්ස් බ්‍රිජ් දූපත සහ දනුශ්කොඩි කෙලවර යා කරමින් දිවෙන භූගෝලීය පිහිටීම කුමක්ද ? එය මිනිසුන් විසින් තැනූවක්ද ? යන ගැටලු කිහිපය.

රාවණා පාලම

භූ ගෝලීය පිහිටීම, ඒවායේ කාල නීර්ණයන් සහ ප්‍රාග්ඉතිහාසය මේ පිටුවට අදාල විෂය පථය තුල දිවෙන්නක් බැවින් ඒ ගැන කරුණු සැපයීමක් සිදු කල යුතු නිසා මේ කෙටි සටහන ඉදිරිපත් කරනවා. මේ සඳහා මම භාවිතා කරන්නෙ 2018 මාර්තු 19 දින ප්‍රශ්න අංක 2610 යටතේ ඉන්දීය භූ විද්‍යා අමාත්‍යංශයට රාජ්‍ය සභාව තුලදි ගොනු කල ගැටලුව සහ ඊට ලබා දී ඇති පිලිතුරු.



ප්‍රශ්න අංක 2610 යටතේ ශ්‍රී සම්බජී චත්‍රපතී ගැටලු තුනක් ඉදිරිපත් කරනවා.
  1. ඇමරිකානු මාධ්‍ය ආයතන කිහිපයක් ඔස්සේ ප්‍රචාරය කරන ආදම් පාලම හෝ රාම් සේතු නමින් හඳුන්වන මන්නාරම් බොක්ක සහ පොක් සමුද්‍ර සන්ධිය වෙන් කරන පිහිටීම මනුශ්‍යන් අතින් ඉදිවූවක් යන ප්‍රචාරය පිලිබඳව ඉන්දීය රජය දැනුවත්ද ?
  2. ඉන්දියානු රජය විසින් පෙරකී පිහිටීම සම්බන්දව කරුණු එකලස් කිරීම සඳහා පර්යේෂණ කිරීමට බලාපොරොත්තුවක්/ සූදානමක් තිබෙනවාද ?
  3. එසේනම් ඒවායේ තොරතුරු මොනවාද ?


පිලිතුරු ලබාදෙන්නෙ විද්‍යාව හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය හර්ශ් වර්ධන්
  1. පතල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ කාර්යංශය (Geological survey of India) සමාජ මාධ්‍ය ජාල තුල සංසරණය වන එයාකාර ප්‍රවෘත්තිය ගැන දැනුවත්.
  2. භූ විද්‍යා සමීක්ෂණ කාර්යංශයේ සාගර හා වෙරළ සමීක්ෂණ ඒකකය විසින් මේ වන විටත් මන්දාපම්, රාමේශ්වරම්, දනුශ්කොඩි, සහ ආදම් පාලම දූපත් ආශ්‍රිතව 2003 - 2004 සහ 2004 - 2005 වර්ශයන් වලදී පර්යේෂණ සිදු කර ඇති අතර එකී පර්යේෂණ වලින් සොයාගත් කරුණු අනුසාරයෙන්;
  • (1) රාමේස්වරම් යනු වසර 125,000 පැරණි 27 km දිගු කොරල් පර දූපතක් බව (කොරල් දූපතක් කියන්නෙ මියගිය කොරල් පර ආශ්‍රිතව ඇතිවන දූපත්)
  • (2) ඉන්දීය සාගර සීමාව තුල වැලිපර දූපත් පහක් පිහිටන අතර ඉතා සිනිඳු සහ ඊට මදක් මැදි ප්‍රමාණයේ වැල්ලකින් සහ සිප්පි ආශ්‍රයෙන් මේ දූපත් නිර්මාණය වී ඇති බව.
  • (3) ධනුෂ්කොඩි දූපත මීටර් 205 ගැඹුරට හාරා නිරීක්ෂණය කල බවත්, එකී නිරීක්ෂණය තුල වසර මිලියන 5 භූ යුග ස්ථරායනය අනුසාරයෙන් ප්‍රතිනිර්මාණය කල බවත්.
  • (4) වර්තමානයේදි ආදම් පාලම ආශ්‍රිත ගැඹුර මීටර් 2 -7 ත් අතර බවත්, ගැඹුරට හාරා ලබාගත් සාම්පල කාබන් 14 කාල නීර්ණය අනුව අදින් වසර 20000 පෙර මුහුදු මට්ටම වර්තමාන මුහුදු මට්ටමට වඩා මීටර 118 පහල තිබු බවත්, මීට වසර 10000 කට පෙර එය අදට වඩා මීටර 60 පහලට තිබු බවත් , මීට වසර 6000 කට ප්‍රථම එය මීටර 17 පහලින් තිබු බවත් එකී කාල වලදි ලංකාව සහ ඉන්දියාව විශාල භූමි ප්‍රමාණයකින් ගොඩබිමින් සමබ්නදව තිබු බවත්.
  • (5) ධනුෂ්කොඩි සහ ආදම් පාලම අතර සිදුකල පර්යේෂණ තුලදි වර්තමාන ගොඩබිම් මට්ටම, මුහුදු පතුල සහ ගැඹුරට හාරා සිදු කල පර්යේෂණ කිසිවකින් ""මිනිසුන් විසින් නිර්මාණය කල කිසිවක් පිලිබඳ සාක්ශි කිසිවක් නොලැබුනු බවත්"" 


එකී පර්යේෂණ වාර්තා තොරතුරු ජනගත කිරීම සඳහා වර්තමානයේදි අවසර නැති බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අංක SLP(c) No: 20758/2005 යටතේ ගොනුකර ඇති නඩුවට අගතියක් සිදුවන බැවින් දැනට එය ජනගත නොකරන බවත්.

===================


දැන් මේ දීලා තියෙන තොරතුර විතරක් මම විශේෂයෙන්ම තෝරාගත්තෙ ලංකාවට වඩා රාම රාවණා ගැන විශ්වාස කරන මිනිස්සු ඉන්න ඉන්දියාවෙ මේ සම්බන්දව දරන විද්‍යාත්මක සාක්ශි ඔබ හමුවේ තැබීමට. මේ පිලිබඳව ලංකාවේ වියතුන් කල ශාස්ත්‍රීය ප්‍රකාශනත් තිබෙන නමුත් ඒවා ඉදිරිපත් කරොත් විවිධ විශ්වාස (ඉතිහාසයකට ගරහනවා) වගේ චෝදනාත් එන්න පුළුවන් නිසයි මේ තොරතුරු මුලින් ඉදිරිපත් කලේ.

ඉහත පිලිතුරු වලින් සනාථ වෙනවා ඇති මීට දින කිහිපයකට කලින් ග්ලැසියර් අවධි ගැන මම ඉදිරිපත් කල සටහනේ මුහුදු මට්ටම් පහල බැසීම ගැන තත්වය ගැන. මීට වසර 20000 කලින් මීටර් 118 පහතින් තිබුනෙ මුහුද අදට වඩා. මීටර් 118 කියන්නෙ අඩි 354 පමණ. මේ වැලිපර ගොඩ නැගෙන්නෙ මුහුදු රළ සහ භූ විෂමතාව සමඟ එකතුවුන සාධක නිසා මිසක් කවුරුන් හෝ ඉදිකල නිසා නෙමෙයි. තම තමන්ගෙ මාධ්‍ය ආයතන වල ප්‍රසිද්ධිය සඳහා විද්‍යාඥයන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් යොදාගෙන වාර්තා වැඩ සටහන් එහෙම නිර්මාණය කරන එක අද ඊයේ ඉඳන් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා හැමතිස්සෙම මූලාශ්‍ර හොයන් යන්න. නැත්තන් හොඳ ලණු, ගොතපු බොරු වලට අහුවෙන්න සිදුවෙන්නෙ.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




ටපෙජාරා (Tapejara)


මීට දිනකට කලින් බ්‍රසීලියානු ටෙරෝසෝර් ගනයක් වන තැලැසඩ්‍රොමියුස් ගැන කෙටි සටහනක් පරිණාමික දිනපොත තුලින් ඉදිරිපත් කලා. මේ කෙටි සටහනත් තවත් බ්‍රසීලියානු ටෙරෝසෝර් ගනයක් ගැනයි.

වර්තමාන බ්‍රසීලය තුලින් විවිධත්වය අධික ටෙරෝසෝර් පැතිරීමක් පෙන්නුම් කරන ෆොසිල වාර්තාවක් තමයි ලැබෙන්නෙ. විශේෂයෙන්ම ක්‍රිටැසියස් අවධිය තුල වර්තමාන බ්‍රසීලය පැතිර තිබෙන ප්‍රදේශය ටෙරෝසෝර් පාරාදීසයක්. විවිධ වර්ණ, විවිධ හැඩ තල, විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් මේ ටෙරෝසෝරයන්ගෙ ෆොසිල බ්‍රසීලය තුලින් හමුවෙනවා. ඒ අතරින් විශේෂිත ටෙරෝසෝර් ගනයක් තමයි 'ටපෙජාරා' ගනය.

ස්වදේශීය ටූපි භාෂාවෙන් ලබා දී තිබෙන 'ටපෙජාරා' නාමයෙහි අර්ථය වන්නෙ 'පැරණි ජීවීයා'. වසර මිලියන 112 කට පෙර ක්‍රිටැසියස් අවධිය තුල ජීවත් වූ ටපෙජාරා සත්වයින්ගෙ විශේෂිතම ලක්ෂණය තමයි උඩු හනුවෙන් උඩට නෙරා යන කොටසක් පැවතීම. මීට පෙර සටහන් කරපු තැලැසඩ්‍රොමියුස් ගනයටත් මෙලෙස අස්ථිමය නෙරීමක් පැවති බව ඔබට මතක ඇති.

ටපෙජාරා

මත්ස්‍යන්, කුඩා සතුන් දඩයෙමේ යෙදුනු ටපෙජාරා සත්වයින් වර්තමාන පක්ශින් මෙන් දිනකට වාර කිහිපයක් දඩයමේ යෙදී ඇති බව විද්‍යාඥයන් සඳහන් කරනවා.

ටපෙජාරා ප්‍රතිනිර්මාණයක් 

ක්‍රිටැසියස් නශ්ඨවීමත් සමඟම ටපේජාර, තැලැසඩ්‍රොමියුස් ඇතුළු ටෙරෝසෝර් විශේෂ සියල්ලම මිහිමතින් වඳව යනවා. ඉන්පසු කාලය තුල ටෙරෝසෝරයන් වාර්තා වීමක් දක්නට නැහැ.

අවාසනාවකට ටපෙජාරා ඇතුළු ටෙරෝසෝර් නිදර්ශක විශාල ප්‍රමාණයක් තිබුනෙ බ්‍රසීල ජාතික කෞතුකාගාරය තුල. පසුගිය වසරෙදි ඇතිවුනු ගින්න නිසා මේ කෞතුකාගාරය සහමුලින්ම විනාශව ගියා. ඒත් එක්කම බ්‍රසීල් ටෙරෝසෝර් නිදර්ශක ගනනාවක් ලෝකයට සදහටම අහිමි වුනා.


(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




අවසන් හිම යුගය (The last Ice age)




චාතුර්තක අවධියේ අවසන් ග්ලැසියර සමයේ භූමි දර්ශනයක්. ඈතින් තෘණ අනුභව කරමින් සිටින වූලි රයිනෝසිරස් සත්වයකු දෙස හෝමෝ⁣ සේපියන්වරු බලා සිටිනවා..

මේ අවසන් ග්ලැසියර සමය තමයි පෘථිවිය මත ඇතිවු අවසන් හිම යුගය. පෘථිවියේ භ්‍රමණය වන අංශක 23.5 ඇලයේ යම් ගැස්සීමක් ඇතිවනවා. මේක සමාන කරන්න පුළුවන් බමරයක් කරකවා මුදා හැරිය වි⁣ට එහි වේගය ක්‍රමයෙන් අඩුවන විට භ්‍රමණ අක්ෂයේ සිදුවන ගැස්සීමට. පෘථිවියේ මේ භ්‍රමණ අක්ෂයේ හටගන්නා ගැස්ම තුලින් පෘථිවි දේශගුණික තත්වයන්ට අති විශාල බලපෑම් ඇතිවනවා. ග්ලැසියර් යුගයන් සහ අන්තර් ග්ලැසියර යුගයන් ඇතිවන්නෙ ප්‍රධාන වශයෙන් මේ හේතුව මත. චක්‍රයක් ලෙස මේ ග්ලැසියර් අන්තර් ග්ලැසියර් සමයන් පෘථිවි ඉතිහාසය පුරාවටම දකින්න පුළුවන්.

මේ ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් නමුත් අතිශයින්ම සරලව පැහැදිලි කලොත් ග්ලැසියර් සමයෙදි සිදුවන්නෙ ධ්‍රැවාසන්න කලාප කේන්ද්‍රකොට ගනිමින් හිම වැස්ම පැතිරීම. අන්තර් ග්ලැසියර සමයේදි සිදුවන්නෙ මෙලෙස එක්වු හිම වැස්ම ක්‍රමයෙන් දියව යෑම. සරල කතාවක් වගේ පෙනුනට සමස්ථ ජෛව භූගෝලිය ව්‍යප්තියට මෙහි බලපෑම ඉමහත්.

පෘථිවිය නම් වු අප ජීවත්වන ග්‍රහලොව තිබෙන සාගර ජලය තමයි මෙලෙස ධ්‍රැවාසන්න කලාප තුල අයිස් බවට පත්වන්නේ. ජලය අයිස් බවට පරිවර්තනය වනවානම් ද්‍රව ජලය අඩු විය යුතුයි. ග්ලැසියර් සමයන් තුලදි සිදුවන්නෙ ධ්‍රැවාසන්න අයිස් වැඩි වීම. එසේනම් සාගර ජලය ක්‍රමයෙන් අඩුවීම ඇරඹෙනවා. අන්තර් ග්ලැසියර් සමයන් තුලදි සිදුවන්නෙ ධ්‍රැවාසන්න හිම දිය වීම. එසේනම් සාගර ජල මට්ටම ඉහල යනවා. ඔබට දැන් යම් රටාවක් තේරුම්ගන්න පුළුවන්. වසර 25000 - 30000 අතර කලකට වරක් මේ චක්‍රය ක්‍රියාත්මක වනවා. චාතුර්තක අවධියේ අවසන් ග්ලැසියර් සමයේ ඇතිවු හිම තමයි අදටත් ධ්‍රැවාසන්න කලාප තුල පවතින්නේ.මේ ග්ලැසියර සමය අවසන් වුනේ මීට වසර 15000 පමණ පෙර. අප දැන් ගමන් කරමින් තිබෙන්නේ අන්තර් ග්ලැසියර් සමයකට. ක්‍රමයෙන් ධ්‍රැවාසන්න හිම දියව යමින් මුහුදු මට්ටම් ඉහල යනවා.

ග්ලැසියර් සමයන් තුලදි මුහුදු මට්ටම පහත බැසීම නිසා විවිධ ගොඩබිම් යා කරමින් නව ගොඩබිම් මතුවෙනවා. උදාහරණයකට ආසියාව සහ උතුරු ඇමරිකාව යා කරන බෙරින්ජියානු සමුද්‍ර සංධිය, ලංකාව සහ ඉන්දියාව යා කරන ගොඩබිම. මෙලෙස මතුවන නව ගොඩබිම් හරහා ප්‍රධාන මහද්වීප තුල සිට දුපත් සහ වෙනත් ගොඩබිම් තුලට ජීවී කාණ්ඩ සංක්‍රමණය සිදුවනවා. ආසියානු ඇතුන්, මිනිසුන්, සිංහයන් ආදිය ලංකාවට පැමිණියෙ එලෙසින්.

දැන් ගැටලුවක් එන්න පුළුවන් ග්ලැසියර් සහ අන්තර් ග්ලැසියර සමයන් හුදෙක් ස්වාභාවික ක්‍රියාවලියක් නම්, චක්‍රයක් නම් මිනිසා විසින් ඇතිකල ගෝලීය උණුසුම මේ ක්‍රියාවලියකට අදාල නෑ නේද කියලා. ස්වාභාවික ක්‍රියාවලියට යම් කාල රාමුවක් තිබෙනවා. එය ක්‍රමයෙන් සිදුවන දෙයක්. නමුත් හෝමෝ සේපියානුවන් විසින් පෘථෘවිය කාර්මීක විප්ලව වකවානුවෙ සිට ඉතා සීඝ්‍රයෙන් වෙනස් කිරීම හේතුවෙන් මේ ස්වාභාවික චක්‍රයේ ක්‍රමික බව බිඳ වැටී ගෝලීය උණුසුම කඩිනම් වී තිබෙනවා. හරිතාගාර වායුන් විමෝචනය, හරිත ආවරණ බිඳ දැමීම වැනි ක්‍රියාවන් උදාහරණ. මේ හේතුවෙන් සිදුවන කඩිනම් දේශගුණික විපර්යාස හමුවේ  විශාල ජෛව හායනයක් සිදුවෙමින් පවතින්නේ. අප දේශගුණික විපර්යාස වලට උත්ප්‍රේරකයක් බවට පත්ව තිබෙනවා..


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE





ටයිකෝ ආවාටය සහ තැලැසඩ්‍රොමියුස් (Tycho crater and Thalassodromeus)


මීට වසර මිලියන අටකට පෙර දිනක සඳ මතට උල්කාවක් ගැටෙනවා. ඒ ඝට්ටනයේ ප්‍රතිඵලයක් ලෙස අදටත් දකින්න පුළුවන් සඳ මත ඇති ටයිකෝ ආවාටය. ටයිකෝ ඝට්ටනය වසර මිලියන 108 පෙර සිටි පෘථෘවි වාසීන් කෙසේ දකින්නට ඇත්ද ?

වසර මිලියන 108 කට ප්‍රථම ගතවන්නෙ ක්‍රිටැසියස් යුගයේ මුල් භාගය. එකල වර්තමාන බ්‍රසීලය පැවති භූමිභාගයෙහි ගුවන සිසාරා යමින් තම ආහාර කිස නිමවා පැමිණෙන තැලැසඩ්‍රොමියුස් ටෙරෝසෝරයෙක් තමයි මේ ප්‍රතිනිර්මාණය තුලින් ඔබ දකින්න. ඈතින් දකින්න පුළුවන් ටයිකෝ ඝට්ටනය සිදුවන අයුරු.


තැලැසඩ්‍රොමියුස් ගනය ගැන සඳහන් කරොත් ටෙරෝසෝරයන් අතරින් විශාලතම කපාලයට හිමිකම් කියන්නෙ තැලැසඩ්‍රොමියුස් සත්වයන්. මීටර් 1.42 පමණ දිගුවට වැඩුනු මේ කපාලය තමයි පෘශ්ඨවංශිකයෙක් සතු විශාලතම කපාල නෙරුමක් පැවතී තිබෙන්නෙත්. පියාපත් දිගු කල විට අඩි 15 පමණ විශාල පියාපත් සතුවු මේ සත්වයන් ගුවනට අරක්ගත් යෝධයන්.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




රැම්ෆොරින්කස් දඩයම (Rhamphorhynchus hunt)


රැම්ෆොරින්කස් (Rhamphorhynchus) කියන්නෙ ටෙරෝසොර් ගනයක්.

වසර මිලියන 150 පමණ පෙර ජුරාසික් යුගයේ අවසාන භාගයට වන්නට ජීවත් වු මේ පියාඹන උරග විශේෂයන් මත්ස්‍යන් ආහාරයට ගත් බවට සාධක හමුව තිබෙනවා. පසුකාලීනව පරිණාමය වන ටෙරෝඩැක්ටීල් වැනි ටෙරෝසෝරයන් විශේෂ තුල දක්නට නොලැබෙන වල්ගය රැම්ෆොරින්කස් මුඑන්සටරී වැනි විශේෂ තුල දකින්න පුළුවන්. වර්තමානයේදි දක්නට ලැබෙන ෆ්‍රිගෙට් පක්ශීන්, දියකාවන් කිමිද ගොදුරු ඩැහැගන්නා ආකාරයට රැම්ෆොරින්කස් සත්වයන් ගොදුරු ඩැහැගන්නට ඇති බවට විශ්වාස කරනවා.

පහල ඡායාරූපය රැම්ෆොරින්කස් සත්වයන් ගොදුරු සොයන ආකාරයේ ප්‍රතිනිර්මාණයක්.

රැම්ෆොරින්කස් දඩයම

(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE





ඩොලොකැරිස් ඉන්ජෙන්ස් (Dollocaris ingens)


ජුරාසික් අවධිය තුල සාගරය තුල විසූ ඉතාමත් විශේෂිත සත්වයෙකුගෙ ප්‍රතිනිර්මාණ තමයි පහත ඡායාරූපවල තිබෙන්නෙ. 2016 වර්ශයේදි ප්‍රකාශයට පත්කල මේ විශේෂ ඩොලොකැරිස් ඉන්ජෙන්ස් (Dollocaris ingens) නැමැති විද්‍යාත්මක නාමයෙන් තමයි හඳුන්වනු ලබන්නෙ.

ඩොලොකැරිස් ඉන්ජෙන්ස්

තයිලකොසෙෆලා නැමැති කාණ්ඩයට අයත් වන මේ සත්වයන් වඩාත් සමීප වන්නෙ ක්‍රස්ටේසියාවන්ට. ක්‍රස්ටේසියාවන් යනු ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් වැනි සත්වයන් අයත් තක්සෝන කාණ්ඩය. 'caris' නැමැති ප්‍රථ්‍ය විද්‍යාත්මක නාමයකට එක් වන විට එහි අර්ථය 'ඉස්සෙකු වැනි'. මීට පෙර පරිණාමික දිනපොත තුලින් ඉදිරිපත්කල 'ඇනමලොකැරිස්' සත්වයන්ගෙ නාමයටත් මේ ප්‍රථ්‍ය එක්වනවා. ඔබට මතක ඇති එම සත්වයාත් ඉස්සන් කාණ්ඩයට සමීපතාවක් දක්වන බව.

ඩොලොකැරිස් සත්වයන් 20 cm පමණ ප්‍රමාණයකට වැඩුන සත්ව විශේෂයක්. විලෝපික සත්ව කාණ්ඩයක් වන මොවුන්ගෙ විශේෂතම ලක්ෂණය තමයි ඉතා විශාල සංයුක්ත ඇස් පිහිටීම. කාච 18000 කින් පමණ සමන්විත මේ අක්ශි තුලින් ඩොලොකැරිස් සත්වයන් තියුණු දෘශ්ඨියකට හිමිකම් කී බවත්, එමඟින් ගොදුරු දඩයමේ යෙදී ඇති බවත් විද්‍යාඥයන් සඳහන් කරනවා. ඩොලොකැරිස් සත්වයන්ගෙ සමස්ථ ශරීර ප්‍රමාණයෙන් 1/4 ප්‍රමාණයකට හිමිකම් කියන්නෙ මේ සංයුක්ත ඇස්.

ඩොලොකැරිස් සත්වයන්ගේ සංයුක්ත ඇස්

වසර මිලියන 163 පමණ ඉහත පැවති මධ්‍ය ජුරාසික යුගයට අයත් ප්‍රංශයෙන් හමුවන ෆොසිල සාධක තුල තමයි ඩොලොකැරිස් ෆොසිල හමුවන්නෙ. ජුරාසික යුගය අවසානයත් සමඟම ඩොලොකැරිස් ෆොසිල වාර්තාවලින් ඉවත් වනවා. ඒ කියන්නෙ ඔවුන් නශ්ඨවීමට ලක්ව ඇති බව. ඩොලොකැරිස් සත්වයන්ගෙ ස්වරූපය සැබවින්ම ගුප්ත ස්වරූපයක් දරන ශරීරාකාරයක්. මෙවන් සත්ව විශේෂ මිලියන ගනනක් මිහිමත ජීවත්ව නශ්ඨවීම සිදුව තිබෙනවා.

ගුප්ත ස්වරූපයක් දරන ශරීරාකාරය

ඩොලොකැරිස් ඉන්ජෙන්ස් සහ ඔවුන් අයත් වන තයිලකකොසෙෆලා කාණ්ඩය විද්‍යාවට තවමත් නව කාණ්ඩයක්. ඉදිරියෙදි සිදුවන පර්යේෂණ මඟින් මෙම සත්වයන් ගැන තොරතුරු වඩාත් පැහැදිලි වනු ඇත.


(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




චැලිකොතිරිඩේ (Chalicothere)


පහුගිය දවස් කිහිපයේදිම ජුරැසික්, ක්‍රිටැසියස් යුගවල ජීවත්වුන ඩයිනෝසර විශේෂ කිහිපයක් ගැන කතා කල නිසා ක්ශිරපායි විශේෂයක් ගැන සටහනක් මේ ලිපිය.

මීට වසර මිලිය 46.2 පමණ පෙර තිබු මධ්‍ය ඉයෝසීන අවධියේදි පරිණාමය වන ක්ශිරපායි උපරි කුලයක් තමයි චැලිකොතිරිඩේ උපරි කුලය.

ප්‍රවිශ්ඨයක් ලෙස පසුබිම් සටහනක් ඉදිරිපත් කලොත් ක්ශීරපායි විශේෂ ගෝත්‍ර ගනනාවකට බෙදෙනවා. තල්මසුන් අයත් සිටසියාවන්, වඳුරන් උණහපුළුවන්, මානවයන් අයත් ප්‍රයිමේටා ගෝත්‍රය උදාහරණය. මේ අතරින් කුර සහිත සත්වයන් බෙදෙනවා ගෝත්‍ර දෙකකට. ඒ ගෝත්‍ර දෙක තමයි පෙරිසෝඩැක්ටිල් සහ ආර්ටියොඩැක්ටිල් ගෝත්‍ර. පෙරිසොඩැක්ටිල් කියන්නෙ කුර නොබෙදුනු සත්වයන්. කුර නොබෙදුනු යනු මොවුන්ගෙ ශරීරයේ බර දරාගන්නෙ ගාත්‍රාවල එක් ඇඟිල්ලකින්. ආර්ටියොඩැක්ටිල් කියන්නෙ කුර බෙදුනු සත්වයන්. මොවුන්ගෙ බර පිහිටන්නෙ ඇඟිලි දෙකක් මත. ආර්ටියොඩැක්ටිල් සත්වයින්ට උදාහරණ තමයි ජිරාෆයන්, ඇන්ටිලෝපයන්, ඔටුවන් ආදිය. පෙරිසොඩැක්ටිලාවන්ට උදාහරණතමයි අශ්වයන්, රයිනෝසිරස් සහ ටැපියර් සත්වයන් අයත් කාණ්ඩ.

දැන් මේ කතා කරන සත්ව කාණ්ඩය අයත් වන්නෙ පෙරිසොඩැක්ටිලා ගෝත්‍රයට. ඒ කියන්නෙ කුර නොබෙදුනු සත්ව කාණ්ඩයක්. ඉයෝසීන මධ්‍ය අවධියේදි පරිණාමය වන මේ පෙරිසොඩැක්ටිල් උපරි කුලය හඳුන්වන්නේ චැලිකොතිරිඩේ ලෙස. මේ සත්වයන් වර්තමානයේදි දක්නට ලැබෙන පෙරිසොඩැක්ටිල් සත්වයින්ගෙන් වෙනස්. දීර්ඝ ඉදිරි ගාත්‍රා සහ කෙටි පසුපස ගාත්‍රා වලින් හෙබී චැලිකොතියර් සත්වයින් කුඩා ප්‍රමාණයන්ගෙ සිට විශාල ප්‍රමාණයන් දක්වා විශේෂ ගනනාවක් ජීවත්ව තිබෙනවා. මොවුන් ශාඛභක්ෂක සත්වයන්.

උතුරු ඇමරිකාව , යුරේසියාව, අප්‍රිකාව ආදී කලාප ගනනාවකම මේ සත්වයන් පැතිර තිබෙනවා. පසුකාලීනව විවෘත භූමි වලට අනුවර්තනය වූ කොටසක් මෙන්ම ඝන වනාන්තර සඳහා අනුවර්තනය වූ විශේෂද දකින්න පුළුවන්.




චැලිකොතිරිඩේ උපරි කුලය සමන්විත වූ විවිධ විශේෂ කිහිපයක ප්‍රතිනිර්මාණයන්


ඉයෝසීන අවධියෙ සිට ප්ලයස්ටොසීනය දක්වාම මේ සතුන් පැවතුනත් ප්ලයස්ටොසීන අවධිය තුල සිදුවන පාරිසරික විපර්යාස සමඟ චැලිකොතිරිඩේ උපරි කුලකය සමන්විත වූ සියළු විශේෂ මිහිමතින් නශ්ඨවීම සිදුවෙනවා.

චැලිකොතිරිඩේ උපරි කුලය සමන්විත වූ විවිධ විශේෂ කිහිපයක ප්‍රමාණාත්මක සංසන්දනය


(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Monday, August 26, 2019

ජෝන් ඔස්ට්‍රම් (John Ostrom)


පෙබරවාරී මස 18 දිනට තමයි යෙදී තිබෙන්නේ ෆොසිල විද්‍යඥ ජෝන් හැරල්ඩ් ඔස්ට්‍රම්ගේ උපන් දිනය.

ජෝන් ඔස්ට්‍රම්

1928 දී උපත ලබන මෙතුමා තමයි 1960 දශකයට පෙර ඩයිනෝසරයන් පිලිබඳව තිබුනු බොහෝ වැරදි මතයන් නිවැරදි මාවතට යොමු කරේ. ඔස්ට්‍රම්ව හඳුන්වන්නේ 'ඩයිනෝසරයන්ගෙ ගැලවුම්කරු' ලෙස. නූතන සිද්ධාන්ත බොහෝමයකට මඟ පෑදීම සිදුකල මේ හැරවුම් ලක්ෂය අද වෙද්දි ඉතාමත් නිවැරදි ලෙස සනාථව තිබෙනවා.

1960 දශකයට පෙර තිබුනු මතය තමයි ඩයිනෝසරයන් යනු ඉතාමත් මන්දගාමී, උරගයන් බඳු සත්ව කොට්ඨාසයක් බව. නමුත් ඔස්ට්‍රම් ඔහුට වඩා සියවසකට පමණ පෙර ජීවත්වු තෝමස් හෙන්රි හක්ස්ලිගෙ මතයන් තවදුරටත් දියුණු කරමින් ප්‍රසාරිත මතයක් ඉදිරිපත් කරනවා ඩයිනෝසරයන් වඩාත් සමාන වන්නෙ උරගාකාරයන්ට නොව පක්ශීන්ට බව. සරලවම ඩයිනෝසරයන් යනු පියාසැරිය රහිත පක්ශින්ට සමාන සත්වයන් බව ඔස්ට්‍රම් ප්‍රකාශ කරනවා.

1960 දශකයට පෙර ඩයිනෝසරයන් පිළිබඳව නිපදවා තිබෙන චිත්‍රපට ඔබ නැරඹුවොත් දකින්නට ලැබෙන්නෙ ඉතාමත් මන්දගාමී,අලස මෘගයන් ලෙස නිර්මිත ඩයිනෝසරයන්. ඒ ඔස්ට්‍රම්ට පෙර තිබු මතයන් සමාජගත වු ආකාරය. ඔස්ට්‍රම්ගෙ නව යොමු කිරීමත් සමඟ මේ සංදර්භය වෙනස් වීමකට ලක්වෙනවා. ඔස්ට්‍රම් විසින් එකල ප්‍රතිනිර්මාණය කරන ඉතාමත් වේගවත්, රුදුරු, විලෝපික ඩ්‍රොමසෝරස් ප්‍රතිනිර්මාණය උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

ඒ වගේම ඔබ අද ජුරාසික් පාර්ක් චිත්‍රපට තුල දකින වෙලෝසිරැප්ටර් විශේෂ සත්‍ය වශයෙන්ම පදනම් වන්නෙ වෙලෝසිරැප්ටර් නැමැති විශේෂය මත නොවෙයි. ඩයිනෝනිකස් නැමැති රැප්ටර් විශේෂය මත තමයි මේ නිර්මාණය පදනම් වන්නෙ. ඩයිනොනිකස් , ආර්කිඔප්ටරික්ස් සහ පියාසැරි වැනි ශාස්ත්‍රීය ප්‍රකාශන විශාල ප්‍රමාණයක් බැර වන්නෙ ඔස්ට්‍රම්ගෙ නමින්. ඩ්‍රොමොසෝරිඩේ කුලයට අයත් ඩයිනොනිකස්  වෙලෝසිරැප්ටර් , මයික්‍රොරැප්ටර්, යූටා රැප්ටර් වැනි රැප්ටර් විශේෂ ගනනාවක පසුකාලීන සංචරණ රටාවන් පදනම් වන්නෙ ඔස්ට්‍රම්ගෙ සොයාගැනීම් මත. ඔස්ට්‍රම් සමඟ ඇතිවන මේ වෙනස 1960 දශකයෙන් පසු නිපදවු චිත්‍රපට තුල දැකගන්න පුළුවන්. ජුරාසික් පාර්ක් වැනි බොක්ස්ඔෆිස් වාර්තා තබන චිත්‍රපටවල සිටින වේගවත් මෘගයන් උපත ලබන්නේ ඔස්ට්‍රම්ගෙ සිද්ධාන්ත තුලින්. 2005 ජූලි 16 දින මෙලොව හැර යන ඔස්ට්‍රම් මිය යන විට වයස 77.

එන්ටර්ටේන්මන්ට් එහෙම නැත්තන් විනෝදාස්වාදය තුල අප දකින ඩයිනෝසර චිත්‍රපට තුල ඇති විද්‍යාත්මක යථාර්ථයන් පසුපස සිටින මිනිසුන් ඒකි සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට ගන්නා වෙහෙස අතිමහත්. පෘථිවිය නැමැති අප ජීවත්වන කුඩා ග්‍රහලොව ජෛව ඉතිහාසය තේරුම් ගැනීමේ කාර්යභාරයට දායක වන්නන් පිලිබඳව මතකය අවදිකල යුත්තේ එබැවින්.

පහත ඡායාරූපයෙ තිබෙන්නෙ 1967 වර්ශයේදි ඔස්ට්‍රම්ගෙ ශිෂ්‍ය රොබර්ට් බැකර් විසින් ප්‍රතිනිර්මිත ඩයිනොනිකස් චිත්‍රයක්. (බැකර් ඔස්ට්‍රම්ගෙ සිද්ධාන්ත ඉදිරියට ගෙන ගිය තවත් විද්‍යාඳයෙක්) මේ ශාස්ත්‍රීය පත්‍රිකාව පලවන්නෙ 1969 වර්ශයේදි. ඩයිනොනිකස් ලොවට හඳුන්වාදෙන්නෙ එමඟින්.

ඩයිනොනිකස් චිත්‍රය


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ඩයිනොකයිරස් (Deinocheirus)


ඩයිනොකයිරස් (Deinocheirus) නැමැති මෙම ඩයිනෝසර විශේෂ අයත් වන්නෙ ඕර්නිකොමිමෝසොර් නැමැති ක්ලේඩ් එකට. ඩයිනොකයිරස් ගන නාමයේ අර්ථය ග්‍රීක බසින් 'භයංකර අත'. වසර මිලියන 70 පමණ පෙර වර්තමාන මොංගෝලියානු ප්‍රදේශ තුල ජීවත් වු මෙම විශේෂයේ ෆොසිල හමුවන්නෙ 'නෙමෙට් සංකීර්ණය' තුලින්.

අඩි 36 පමණ දිගු, ටොන් 6 පමණ බැරැති මෙම විශේෂය අසාමාන්‍ය රූපකායකට හිමිකම් කී සත්ව විශේෂයක්. ඉදිරි ගාත්‍රාවල අති විශාල නිය පිහිටා තිබු අතර කොඳුඇට පෙර පුරාම උස්ව විහිදෙන කශේරුක නෙරීම් පිහිටා තිබී ඇත (කශේරුක නෙරීම් "නියුරල් ස්පයින්ස්" පිලිබඳව පරිණාමික දිනපොත තුලින් කිහිප වරක් පෙර ලිපි වලදි පැහැදිලි කිරීම් කර තිබෙනවා")


පහත තිබෙන්නෙ ඩයිනොකයිරස් සංචරනය පිලිබඳව කෙටි වීඩියොපටයක්.




ඉදිරිපස ගාත්‍රාවල ෆොසිලයක්  (ඉදිරියෙ ඉන්න පුද්ගලයා සමඟ ප්‍රමාණය සසඳන්න පුළුවන්)

ඩයිනොකයිරස් ප්‍රතිනිර්මාණයක්

(ඡායාරූපය, ප්‍රතිනිර්මාණය සහ වීඩියෝව අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE





මොරිසන් සංකීර්ණය තුල ජුරාසික් අවධියේ ජෛව විවිධත්වය (Paleobiodiversity of Morrison formation during Jurrassic period)


එක්සත් ජනපදයේ පිහිටි මොරිසන් සංකීර්ණය කියන්නෙ ඩයිනෝසර ෆොසිල අතිශයින්ම බහුල කලාපයක්. ෆොසිල විද්‍යව තුල මේ ප්‍රදේශය හඳුන්වන්නෙ ජුරාසික් පසු අවධිය තුල වර්තමාන අප්‍රිකානු සැරන්ගැටී රක්ශිතය තරම් ජෛව විවිධත්වයකින් බහුලව තිබූ ප්‍රදේශයක් ලෙස. මොරිසන් සංකීර්ණය කේන්ද්‍ර වන්නෙ වයෝමින්ග් සහ කොලරාඩෝ ප්‍රාන්තවලට නමුත් මෙහි සීමාවන් මොන්ටෑනා, නෝර්ත් ඩැකොටා, සවුත් ඩැකොටා, නෙබ්‍රස්කා, කැන්සස්, ඕක්ලහෝමා, ටෙක්සස්, නිව් මෙක්සිකෝ, යූටා, ඇරිසෝනා, ඉඩඔ වැනි විශාල ප්‍රාන්ත රැසක් තුලින් දිවෙනවා. වර්ග කිලෝමීටර මිලියන 1.5 පුරා මොරිසන් සංකීර්ණය විහිදී යනවා (ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610) එමඟින් මෙහි භූමි වපසරියෙ විශාලත්වය ගැන ඔබට යම් අදහසක් ගන්න පුළුවන්.

මොරිසන් සංකීර්ණය පිටතට නිරාවරණය වෙලා තිබෙන්නෙ 25% පමණ.ඉතිරි 75% තවමත් පවතින්නෙ භූගතව.

මොරිසන් සංකීර්ණය තුල ජුරාසික් පසු අවධියේ ජෛව විවිධත්වය ප්‍රතිනිර්මාණයක් තමයි පහල ඡායාරූපය. මෙහි විශාල භූමි වපසරිය තුල ඩයිනෝසරයන් සංක්‍රමණික රටා පෙන්වන බවට විද්‍යාඥයන් පවසනවා. මේ ඡායාරූපය තුල ඩයිනෝසර ගන කිහිපයක එකම කාලය තුල ජීවත් වු විශේෂ දකින්න පුළුවන්.



ප්‍රතිනිර්මාණය තුල දැකගන්න පුළුවන් විශේෂ නාමිකව ගත්තොත්;

  • බ්‍රැකියෝසෝරස් ඇල්ටිතෝරැක්ස් (Brachiosaurus altithorax)
  • කැමරසෝරස් ගනයේ C.grandis සහ C.lentus විශේෂ ද්විත්වය 
  • කැම්ප්ටොසොර් ඩිස්පාර් (Camptosaurus dispar)
  • ඩිප්ලොඩොකස් ගනයේ D.longus, D.carnegii, D.hallorum විශේෂ 
  • ඩ්‍රයෝසෝරස් ගනයේ D.altus සහ D.elderae
  • ෆෘටැඩන්ස් හේගොරොරුම් (Fruitadens haagororum)
  • ගාර්ගොයිලියෝසෝරස් පාර්ක්පිනෝරුම් (Gargoyleosaurus parkpinorum)
  • ඔත්නීලෝසෝරස් කොන්සොර්ස් (Othnielosaurus consors)
  • ස්ටෙගෝසෝරස් ගනයේ S stenops, S ungulatus, S sulcatus විශේෂ ත්‍රිත්වය
  • අවසාන වශයෙන් රැම්ෆොරින්කොයිඩ් ක්ලේඩ් එකට අයත් ටෙරෝසෝරයන් පියාසැරියෙ.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ජොර්දානෝ බෲනෝ (Giordano Bruno)


විද්‍යාවට එරෙහිව ලෝකය තුල පවතින සියළු ආගම්, ධර්මයන් අවි ඔසවන්නෙ මිනිස් ශිෂ්ඨාචාරයන් බිහිවීමටත් පෙර සිට. එය එදත් අදත් එක ලෙසම පවතිනවා පමණක් නොව මිනිස් බුද්ධිය යටපත් කිරීමට මේ බලවේග එකාවන්ව පොදි ගැසෙනවා. මේ මිථ්‍යාවන්, ධාර්මීක වෙස්මුහුණු පැළඳගත් මිසදිටු අදහස් හේතුවෙන් ලෝකයට අහිමි වූ විශිෂ්ට මිනිසුන් ප්‍රමාණය ගිනිය නොහැකි තරම්. මිනිස් වර්ගයාගෙ ප්‍රගමනයට අසහාය දායකත්වයක් දැක්වු මෙවන් මිනිසුන් සෑම විටම උදාර මිනිසුන් වන්නෙ තමන්ට එරෙහිව මතවාදයන්, බල කේන්ද්‍රයන් කොපමණ ක්‍රියාත්මක වූවත් මරණය දැක දැක එය වැළඳ ගැනීමට නොබියව තමන්ගෙ සොයාගැනීම් තම වර්ගයා හමුවේ තැබූ නිසයි.

අදින් හරියටම වසර 419 කට පෙර පෙබරවාරි 17 වන දිනයක එවන් විශිෂ්ට මිනිසකු මරණය වැළඳගත්තා. කොපර්නිකස් සිද්ධාන්ත තව දුරටත් ප්‍රසාරණය කල, තාරකා යනු තවත් සෞරග්‍රහ මණ්ඩල මැදි කරගත් සූර්යන් බව ඉදිරිපත් කල, විශ්වයේ අසීමිත බව ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කල, අප්‍රමාණ විශ්වය තුල තවත් ජීවයන් පැවතිය හැකි බව මුල්ම අදහස් ඉදිරිපත් කල ජෝර්දානෝ බෲනෝ නැමැති විද්‍යාඤයාව අදවැනි දිනයක තමයි ඝාතනය කරන්නෙ. අටවන ක්ලෙමන්ට් පාප්වරයා විසින් නිකුත් කරන ආඤාවක් අනුව බෲනෝගෙ දිව ගැටගසා, උල තබා ඝාතනය කර, සිරුර පුළුස්සා අළු ටයිබර් නදියට මුදාහැර අදට හරියටම වසර 419 ක්.

ජෝර්ඩානෝ බෲනෝ නැමැති ඒ විශිෂ්ට, නිර්භීත විද්‍යඥයාගෙ මතකයට ගෞරවයක් පිණිස පරිණාමික දිනපොත තුලින් මේ සටහන සයිබර් අවකාශයට මුදා හරිමි.

ඡායාරූපයේ දැක්වෙන්නෙ බෲනෝ වෙනුවෙන් රෝමයේ ඉදිකර ඇති ප්‍රතිමාව.

ජෝර්ඩානෝ බෲනෝ


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




ෆොසිල පුරුක් (Fossil links)


එකම ප්‍රශ්නය වරින් වර පිටුවට යොමු වෙන නිසා නැවත නැවතත් කමෙන්ට් කරන්න අපහසු බැවින් ඒ අහලා තිබ්බ ගැටලුවක් සමඟම පිලිතුර පෝස්ට් එකක් විදිහට තබනවා. අතුරු ප්‍රශ්න යොමු වුනොත් කාලය ලැබෙන පරිදි පිලිතුරු සපයන්න පුළුවන්.

පහල ඡායාරූපයේ තියෙන්නෙ ගැටලුව.




පිළිතුර


විශේෂ දෙකක් සම්බන්ධ කරන ෆොසිල පුරුක් කියලා දෙයක් නැහැ. ඒ සංකල්පය මීට දශක දෙකකට විතර කලින් තිබ්බ දෙයක්. ⁣ජීවී විශේෂයක සමස්ථ පරිණාමික ක්‍රියාවලිය තුලදිම ඇතිවන සියළුම තනි ජීවීන් පුරුක් ලෙස හඳුන්වන්න පුළුවන්. මාතෘ සෛල තුලින් දුහිතෘ සෛල බිහිවන හැම අවස්ථාවකදීම පෙර තිබුනු ජීවියා නෙවෙයි ඉන්නෙ, ජානමය වශයෙන් නව ජීවියෙක්. ඒ අර්ථයෙන් ගත්තම හැම ජීවියෙකුම එක් එක් වශයෙන් 'පරිණාමික පුරුක්'.

භූගර්භ විද්‍යාව හදාරනවනන් දැනගන්න ලැබෙයි අවාසනාවකට ෆොසිලභවනය වන්නෙ ජීවීන් මිලියනයකින් එකක් පමණ අති සීමිත , අති දුර්ලභ අවස්ථාවක් බව. මොකද මිය යන හැම ජීවියාම ෆොසිලභවනය වෙන්නෙ නෑ. එනයින් පරිණාමික වෘක්ෂය ප්‍රතිනිර්මාණය කරද්දි ලැබෙන ෆොසිල සාධක අතිශයින්ම අවමයි. ඒ නිසයි ජානමය සාධක දෙස බලන්නෙ. ජෙනිටික් ක්ලොකින් (Genetic clocking)  කියන ක්‍රියාවලිය ගැන හදාරන්න, ඒ ගැන මට දීර්ඝ ලෙස පැහැදිලි කරන්න වෙලා නෑ.

ෆොසිල විද්‍යාවෙ නව විශේෂයක් සොයාගන්න හැම අවස්ථාවකදිම ප්‍රශ්න දෙකක් මතුවෙනවා;

  1. මේ ලැබුන ජීවියාට පෙර සිටි විශේෂය කුමක්ද ? 
  2. මේ ලැබුන ජීවියාට පසු සිටි විශේෂය කුමක්ද ? 

එතකොට වැටහෙන්න ඕන ෆොසිල සාධක ලැබෙන ඕනම අවස්ථාවක ඊට පෙර සිටි ඉමීඩියට් පූර්වජයගෙ ෆොසිලයක් ලැබෙනකන් බලාසිටීම පිදුරු ගොඩේ ඉඳිකටුවක් හොයනවා වගේ වැඩක් කියලා. නමුත් ජානමය සාධක දෙස නොබලා ⁣රූපීය සාධක දෙස බලනවානන් සංක්‍රාන්තික අවස්ථා සියල්ලගේම ෆොසිල නොමැති වුනාට ලැබී තිබෙන සාධක අනුව ක්‍රියාවලිය විස්තර කරන්න පුළුවන්. උදාහරණයකට සිටසියන් පරිණාමය ,ප්‍රයිමේට් පරිණාමය, ඉහල ප්‍රයිමේටාවන්ගෙ මහා ජිද්‍රයේ පිහිටීම ද්වීපාද සංචාරණ හැකියාව ලබන විට හොමිනිඩ් වරුන්ගෙ මහා ජිද්‍රයේ පිහිටීම දක්වා වෙනස්වන ආකාරය.

දෙවනි ප්‍රශ්නෙට, පරිණාමය මොනම අවස්ථාවකවත් ජීවීන් ⁣බේරගන්න පරිණාමයක් කරන්නෙ ⁣නෑ. පරිණාමය කියන්නෙ අරමුණක් නැති ක්‍රියාවලියක්. ගැටලුව තියෙන්නෙ දේවවාදී, මානවකේන්ද්‍රීය මිනිස්සු පරිණාමය අර්ථ නිරූපනය කරන්න හදන එක අරමුණක් ඇති ක්‍රියාවලියක් ලෙස. පාරිසරික පීඩනයන් හමුවේ නොනැසි සිටිය හැකි යම් ජීවියෙකු ඇත්නම් නොනැසී සිටීමට දායක වු වාසිදායක ලක්ෂණ දුහීතෘ පරම්පරා වලට දායාද වීම මත තමයි පරිණාමය සිදුවන්නෙ. මේ පෘථිවියට මොනම ජීවියකුවත් අත්‍යාවශ්‍ය නැහැ. නමුත් නොනැසි සිටිය හැකිනම් ඔවුන් නොනැසි සිටිය හැකි සමස්ථ කාලයම ජීවය රැකගන්නවා.

ඒ ප්‍රශ්නෙ දෙවනි කොටසට පිලිතුර තමයි ඇතැම් මුල් විශේෂ තවමත් දිවි රැකගෙන ඇත්තෙ ඔවුන් ජීවත් වන පාරිසරික තත්වයන්ට දක්වන අනුවර්තන හැකියාව නිසා. හැබැයි පාරිසරික තත්වයන් තුල දැඩි විචලනයක් නොවු පමණින් පරිණාමය නැවතිලා නෑ. ඔවුන්ගෙ වෙනස්කම් සිදුවෙනවා නමුත් සීමිත වශයෙන්. වසර මිලියන සිය ගනනකට පෙර ජීවත් වුන මෙගනියුරා බත්කූරු විශේෂය වර්තමාන බත්කූරන්ට සමානයි නමුත් වෙනස්. විෂය ගැන අල්පමාත්‍රිකයකු හට මෙගනියුරා රූපීයව වර්තමාන විශේෂ වලට සර්ව සමවුනත් ජාන විවිධත්වය අතින් සලකා බැලු විට බත්කූරු විශේෂ පරිණාමය වී තිබෙනවා.

මෙතනදි නැවතත් කැරකෙන්නෙ එකම දෘෂ්ටිපථයක හිරවුන අදහස "පරිණාමය යනු දියුණු ජීවීන් බිහිකල යුතු ක්‍රියාවලියක්, පරිණාමය යනු බුද්ධිමත් ජීවීන් බිහිකල යුතු ක්‍රියාවලියක්, පරිණාමය යනු සෑම විටම සංකීර්ණ ජීවීන් බිහිකල යුතු ක්‍රියාවලියක්" වැනි අදහස් බොහෝ දෙනෙකුගෙ හිස් තුලට කිඳා බැහැලා තියෙන්නෙ. පෙර කිව්වා වගේම පරිණාමය කියන්නෙ අරමුණක් රහිත ක්‍රියාවලියක්.. දියුණු ජීවීන් බිහිවීම හෝ බිහි නොවීම ගැන එයට වගක් නෑ. වගක් ඇති එකම දේ වන්නෙ පැවැත්ම තහවුරු කරගත හැකි ජෛව ඒකක පෙරහන් කිරීමයි. ඒ සංකල්පය හිතට ගත්තනන් ඇතැම් පූර්වජ විශේෂ වසර මිලියන ගනනක් තිස්සේ නොනැසී සිටින්නේ ඇයි කියන ගැටලුවට පිලිතුරු ලැබෙයි.



#DOE




වැලන්ටයින් සෝරොපොඩ් (Valentine Sauropod)


පෙර ලිපියෙන් මෑත කාලයේ ෆොසිල විද්‍යාවෙ නව සොයාගැනීම් කිහිපයක් ගැන මම සඳහන් කරා. මේ තවත් එවැන්නක්. ඔහායෝ විශ්ව විද්‍යාලය ටැන්සානියාව තුලින් ස්වභාව විද්‍යා ලෝකය තුලට තවත් නව ඩයිනෝසර විශේෂයක් හඳුන්වා දී තිබෙනවා.

මේ නව විශේෂයට දීලා තියෙන විද්‍යත්මක නාමය උච්චාරනය කරන්න ලේසි නමක් නෙමෙයි

"ම්න්යාමාවහ්ම්ටුකා ම්මොයොවම්කියා" (Mnyamawamtuka moyowamkia)

නැමැති විද්‍යාත්මක නාමය තමයි මේ නව විශේෂයට ලබා දීලා තිබෙන්නෙ. අප්‍රිකානු භාෂාවක් වන ස්වාහීලී භාෂාවෙන් තමයි මේ නම ලබා දීලා තිබෙන්නෙ.ස්වාහීලියෙන් මෙහි අර්ථය "හෘදය හැඩැති වල්ගයක් සහිත ම්ටුකාහී මෘගයා". ම්ටුකා කියන්නෙ මේ සත්වයාට අයත් ෆොසිල ලැබී තිබෙන ම්ටුකා ගං ඉවුර.

ම්න්යාමාවහ්ම්ටුකා ම්මොයොවම්කියා

මේ සත්ව විශේෂයේ තිබෙන විශේෂත්වය තමයි මොවුන්ගෙ වල්ගයේ හැඩය හෘදයක් ආකාරයෙන් පිහිටා තිබීම. ස්වාහීලි නමට පදනම වන්නෙ එය. ඔහායෝ විශ්වවිද්‍යාලයෙන් මේ සොයාගැනීම වැලන්ටයින් දිනයට පැය ගනනක් තිබියදී සිදු කිරීමටත් එය හේතුවක් වන්නට ඇති.


ම්මොයොවම්කියා ෆොසිල

මේ විශේෂත් පෙර ලිපියෙන් මම සඳහන් කරපු පැටගෝනියාවේ නව විශේෂය අයත් වන කාණ්ඩයේම සෝරොපොඩ් සත්වයෙක්. නැගෙනහිර අප්‍රිකානු රිෆ්ට් සිස්ටම් එකෙන් තමයි මේ ෆොසිල ලැබෙන්නෙ. නිරිතදිග ටැන්සානියාවෙන් සොයාගනු ලැබු තෙවන ඩයිනෝසර විශේෂය බවට 'ම්මොයොවම්කියා' විශේෂය පත් වෙනවා. ටයිටැනොසෝර් ගනයට අයත් විශේෂයක් බැවින් ඉතා විශාල ප්‍රමාණවලට ම්මොයොවම්කියා විශේෂය වැඩෙන්නට ඇති බවට විද්‍යාඥයන් සඳහන් කරනවා.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


ටෙරොනෝඩෝන් ලොන්ගිසෙප්ස් (Pteronodon longiceps)


මීසෝසොයික යුගයේ භෞමික පරිසරය තුල ඩයිනෝසරයන් සිය අණසක පතුරුවන විට මීසෝසොයික යුගයේ අහස අයිති වුනේ ටෙරොසෝරයන්ට.

පෙර ලිපියකත් වරක් සඳහන් කල පරිදි ටෙරොසෝරයන් යනු ඩයිනෝසරයන් නෙවෙයි. මොවුන්ට ඩයිනෝසර යන නාමය භාවිතය වැරදි භාවිතයක්. ආවේමෙටාටාර්සැලියා නැමැති කාණ්ඩය දෙබෙදුමකට ලක්වෙලා එක් කාණ්ඩයක් ඩයිනෝසරයන් බවට පත්වෙද්දි අනෙක් කාණ්ඩය තමයි ටෙරෝසෝරයන් බවට පත්වන්නෙ. ක්‍රිටැසියස් නශ්ඨවීමේදි ඩයිනෝසරයන් සහ ටෙරෝසෝරයන් යන කාණ්ඩ දෙකම මිහිමතින් නශ්ඨවීම සිදුවෙනවා.

ටෙරෝසෝරයන් ගැන කතා කරද්දි ඉතාමත් ප්‍රසිද්ධ විශේෂයක් තමයි මේ ටෙරොනෝඩෝන් ලොන්ගිසෙප්ස් (Pteronodon longiceps) කියන විශේෂය. ඉතාමත් ප්‍රසිද්ධ ෆොසිල සොයන්නකු වු ඔත්නීල් චාර්ල්ස් මාර්ශ් විසින් 1870 වර්ශයේදි සොයාගනු ලබන මේ විශේෂය තමයි යුරෝපයෙන් පිටත ප්‍රදේශයක හමුවු ප්‍රථම ටෙරෝසෝර් විශේෂය.

මීටර් 6-7 අතර පියාපත් දිගුවකට හිමිකම් කී මේ සත්වයා ටෙරෝසෝරයන් අතර විශාල විශේෂයක්. ඒ වගේම දැනට අධ්‍යනය කර ඇති ටෙරෝසොර් විශේෂ අතරින් වඩාත් පැහැදිලි මෙන්ම නිදර්ශක බහුල විශේෂයක්. මේ වෙද්දි ඉතාමත් පැහැදිලි නිදර්ශක 1100 පමණ ලැබී තිබෙනවා නොයෙක් ප්‍රදේශ වලින්. කැන්සාස්, සවුත් ඩැකොටා, වයෝමින්ග් වැනි එක්සත් ජනපද ප්‍රාන්ත තුලින් මේ නිදර්ශක බහුලව ලැබී තිබෙනවා.

පහල තිබෙන ප්‍රතිනිර්මාණය තුල සාගර මතින් පියඹා යන ලොන්ගිසෙප්ස් සත්වයන් දෙදෙනෙකු දැක්වෙනවා. මොවුන් මත්ස්‍යන් ආහාරයට ගත් බවට පැහැදිලි සාක්ශි ලැබී තිබීම සහ මේ යුගයේ ජීවත් වු සාගරවාසී උරග විශේෂ ටෙරෝසෝරයන් ආහාරයට ගෙන තිබීම නැමැති සාක්ෂි පදනම් කරගෙන මේ නිර්මාණය සිදු කර තිබෙනවා.

ටෙරොනෝඩෝන් ලොන්ගිසෙප්ස්


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE