Friday, September 6, 2019

ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් සත්වයන් (Gynandromorph animals)


පහත ඡායාරූපයේ වම් කෙලවර සිටින්නේ කාඩිනල් නැමැති පක්ශි විශේෂයක කිරිල්ලියක්. එම ඡායාරූපයේම දකුණු කෙළවර සිටින්නේ කාඩිනල් විශේෂයේ පිරිමි සත්වයෙක්. නමුත් එම ඡායාරූපයේම මැද සිටින්නේ ශරීරයේ හරි මැදින් අඩක් ස්ත්‍රී, අඩක් පුරුශ කාඩිනල් සත්වයෙක්.

කාඩිනල් පක්ෂීන්

මෙලෙස ශරීරය මධ්‍යයෙන් අඩක් ස්ත්‍රී අඩක් පුරුශ ලක්ෂණ දැරීම පමණක් නොවෙයි, මොළය, අවයව ආදිය පිහිටන්නෙත් මෙලෙසින්. මේ තත්වය හඳුන්වනවා 'බයිලැටරල් ජිනැන්ඩ්‍රෝමෝර්ෆිස්ම්'. ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් සත්වයන් පක්ශින්, ක්‍රස්ටේසියාවන් සහ කෘමීන්ගෙ වාර්තා වෙනවා.  පහත දැක්වෙන්නෙ ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් සමනළයෙක් සහ ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් පොකිරිස්සෙක්.

ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් සමනළයෙක්

ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් පොකිරිස්සෙක්

ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර වලට ප්‍රජනන කිරීමට නොහැකි නිසා වර්ගයා බෝ කරන්නෙ නෑ. එමෙන්ම හැසිරීම් චර්යා තුල ද්වීලිංගික ලක්ෂණ පෙන්නුම් කරනවා. ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර පෙරකී සත්වයන් අතර පමණයි දැනට වාර්තාවී තිබෙන්නෙ. ස්වාභාවික පරිසරය තුල ඉතාමත් දුර්ලභ සිදුවීමක් තමයි මෙලෙස ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර ඇතිවීම. මාතෘ සෛල තුලින් දුහීතෘ සෛල නිපදවීමේ අනුන විභාජන කොටසේදි සිදුවන ක්රෝමෝසෝම බෙදී යෑමේ විෂමතාවන් නිසයි මෙලෙස ජිනැන්ඩ්‍රෝමෝර්ෆ් ආකාර හට ගන්නෙ.

ස්වාභාවධර්මය තුල දුර්ලභ මෙන්ම අපුරු සිදුවීමක්.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




සාගර විලෝපිකයන් (Predators of Ocean)


මෙහි දැක්වෙන්නෙ වසර මිලියන 419 පෙර සිට වර්තමානය දක්වා විවිධ යුගවල සාගරය තුල අණසක පැතිරවු සුපිරි විලෝපිකයන්.



අස්ථිමය මත්ස්‍යන්, කාටිලේජමය මත්ස්‍යන්, උරගයන්, ක්ශිරපායින් මේ පින්තූරය තුල ඔබට දකින්න පුළුවන්. මෙහි A, B, F සහ J අක්ෂර වලින් දැක්වෙන ලිව්යටන් මෙල්විලි, මොසෙසොර්, කාචරෝක්ලස් මෙගලඩොන්, ඩන්ක්ලිඔස්ටියස්  සත්වයන් ගැන පසුගිය වසර තුල පරිණාමික දිනපොත තුලින් සටහන් ඉදිරිපත් කර තිබෙනවා. පිටුව සමඟ මුල සිටම සිටි අය දැනටමත් මේවා කියවා ඇති, අලුතෙන් එක් වු අයට කියවන්න ඒ සිටහන් වලට ලින්ක් පහතින්.

මොසැසෝර්

ඩන්ක්ලිඔස්ටියස්

මෙගලොඩොන් 01
මෙගලොඩොන් 02

ලිව්යටන් මෙල්විලි


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




පිහිනා යන පිනි මුවන් (Swimming Reindeer)


ඉහල පැලියොලිතිකයට අයත් වර්තමාන ප්‍රංශය ලෙස හඳුන්වන ප්‍රදේශය තුල මීට වසර 17000 - 12000 අතර ජීවත් වු මානවයන්ගෙ සංස්කෘතිය හඳුන්වන්නෙ මැඩලීනියන්/මැග්ඩලීනියන් සංස්කෘතිය ලෙස. මේ මැඩලීනියානු සංස්කෘතියට අයත් හෝමෝ සේපියානුවන් ඉතාමත් විචිත්‍රවත් කලා නිර්මාණ සිදුකල ජනතාවක්. වර්තමානයේදි වඳව ගොස් ඇති ප්ලයස්ටොසීන යුගයේ සිටි සත්ව සන්තතිය මේ මැග්ඩලීනියානු ජනතාව ජීවත් වු යුගයේම ජීවත්වු නිසා මේ සත්වයන්ගෙ චිත්‍ර මැග්ඩලනීයානු ලෙන් සිතුවම් තුල දකින්න පුළුවන්.

මැග්ඩලීනියානුවන්ගෙ කලා හැකියාව ඉතාමත් හොඳින් පෙන්වන උදාහරණයක් තමයි පිහිනන පිනි මුවන්ගෙ කැටයම. 1866 දි සොයාගන්නා මේ සියුම් නිර්මාණය එවිට පවතින්නෙ කොටස් දෙකකට කැඩී. නමුත් පසුව මේ කොටස් දෙක එකම නිර්මාණයක් බව වටහාගෙන නැවත ප්‍රතිසංස්කරණ සිදුකරනවා.

මේ කැටයම කපා තිබෙන්නෙ මැමත් දලයක කෙලවර. මැග්ඩලීනියානුවන් නිරන්තරයෙන්ම මැමත් සත්වයන් සමඟ ගැටෙන්න ඇති බවට හොඳ නිදසුනක් එය. කැටයමේ දැක්වෙන්නෙ පිහිනා යන පිනි මුවන් යුවලක්. ගැහැණු සත්වයා ඉදිරියෙන් පිහිනා යන අතරේ පිරිමි සත්වයා පසුපසින් දැක්වෙනවා. වැඩුණු අංතට්ටුව පැවතීමත්, ඟඟක් හරහා පිහිනා යෑමත් දකින්න පුළුවන් වෙන්නෙ ශරත් සෘතුවෙදි පමණයි. ඒ පිනි මුවන්ට අං ලැබෙන්නෙ ශරත් සෘතුවේදි, එමෙන්ම පිනි මුවන් සංචරණය ආරම්භ වෙන්නෙත් අදාල සෘතුවෙදි.




(ඡායාරූපයේ වර්තමානයේදි දකින්න පුළුවන් පිනිමුවන් පිහිනා යෑමේ ඡායාරූපයක් සහ මැග්ඩලීනියානු කැටයම ඉදිරිපත් කර තිබෙන්නෙ කැටයම කොතරම් යථාර්ථවාදී ලෙස ඉදිරිපත් කර ඇද්ද යන්න ඔබට සංසන්දනාත්මකව බැලීමට.)

මේ කැටයම් වසර 13000 පමණ පැරණි කැටයමක්. මීට වසර 13000 පමණ පෙර මැග්ඩලීනියානුවෙක් සරත් සෘතුවෙ සංචරණයේ යෙදෙන පිනි මුවන් මැමත් දලයක කෙලවර රූපයට නගන්නෙ අප මානව ශිෂ්ඨාචාර ලෙස හඳුන්වන ඒවායේ ආදිතමය ලෙස ගත හැකි මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය බිහිවීමටත් වසර 8000 පමණ පෙර. ප්‍රාග් ඓතිහාසික යුගයට ගැනෙන මැග්ඩලීනියානු සංස්කෘතිය තුල මානවයා  එදිනෙදා පරිසරය ඉතාමත් සියුම් ලෙස රූපයට නැගීමට තරම් සංකීර්ණ හැකියාවලින් යුත් වූවෙක්ද යන්න ඔබට සිතීමට ඉඩ..


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ඇම්බොප්ටෙරික්ස් ලොන්ගිබ්‍රැකියුම් (Ambopteryx longibrachium)


2019 මැයි මසදී, ෆොසිල විද්‍යා ලෝකය තුල සිදුවු තවත් විශාලතම හඳුන්වා දීමක් තමයි ඇම්බොප්ටෙරික්ස් ලොන්ගිබ්‍රැකියුම් (Ambopteryx longibrachium) නැමැති ඩයිනෝසර විශේෂය. වස⁣ර මිලියන 163 කට පමණ පෙර ජුරැසික් අවධියේ චීනයේ විසු මේ සත්වයා ඉතාමත් කුඩා ඩයිනෝසර විශේෂයක්. මේ ෆොසිලයේ වැදගත්කම තමයි ඉදිරි ගාත්‍රා අතර බැඳි පටලයක පිහිටීම පෙන්නුම් කිරීම.

ඇම්බොප්ටෙරික්ස් ලොන්ගිබ්‍රැකියුම් ෆොසිලය

ඉදිරි ගාත්‍රා අතර බැඳි පටලයක පිහිටීම

ෆොසිල විද්‍යාඥයන් මෙවැනි ඩයිනෝසර ආකාරයන් හඳුන්වන්නේ 'බැට් වින්ග්ඩ්' ඩයිනෝසරයන් ලෙසයි. ඒ කියන්නෙ වවුලන්ට සමාන පියාපත් ඇති. දැන් මේක පටලවාගන්න එපා, මේ කතා කරන්නෙ ඩයිනෝසරයෙක් ගැන මිසක් ටෙරොසාර් සත්වයෙක් ගැන නෙමේ. ටෙරෝසෝරයන් ගැන දීර්ඝ පැහැදිලි කිරීම් පිටුව තුලින් මම කලින් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රාග්ඓතිහාසික යුගවල සිටි පියාඹන උරගයන්වත් පොදුවේ ඩයිනෝසරයන් ලෙස හැඳින්වුවාට එය සම්පූර්ණයෙන්ම වැරදි භාවිතයක් බවත් ඔවුන් ටෙරෝසෝරයන් මිස ඩයිනෝසරයන් නොවන බවත් කලින් පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ ඇම්බොප්ටෙරික්ස් කියන සත්ව විශේෂය වවුළන්ට මෙන් පියාපත් පිහිටියාට ටෙරෝසෝර් කාණ්ඩයට අයත් සත්වයෙක් නෙමෙයි. ඇම්බොප්ටෙරික්ස් කියන්නෙ ඩයිනෝසරයෙක්.

බැට් වින්ග්ඩ් - වවුලන්ට සමාන පියාපත් ඇති

දැන් මේ සොයාගැනීමත් සමඟම බැට් වින්ග්ඩ් ඩයිනෝසරයන් ගනන දෙකක් දක්වා ඉහල යනවා. කලිනුත් 'යී කී' විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බැට් වින්ග්ඩ් ඩයිනෝසරයෙක් හඳුනාගෙන තිබුනා. මේ බැට් වින්ග්ඩ් එහෙම නැත්තන් වවුල් පියාපත් ඇති ඩයිනෝසරයන් ස්කැන්සොරියොප්ටෙරිජිඩ් (Scansoriopterygidae) නැමැති කුලයට තමයි අයත් වන්නෙ. මේ අනුව විද්‍යාඥයන් විශ්වාස කරනවා, අවස්ථා කිහිපයකදිම ඩයිනෝසරයන් පියාසැරිය අත්කරගත් බව. (ආකිඔප්ටෙරෙික්ස් ගනය කියන්නෙ පියාසැරිය අත් කරගත් තවත් ඩයිනෝසර ගනයක් නමුත් ඔවුන්ට තිබුනෙ වවුල් පියාපත් නෙමෙයි පිහාටු)

ඇම්බොප්ටෙරික්ස් ගැන ඉදිරිපත් වන මතය තමයි මේ වවුල් පියාපත් පියෑඹීට වඩා ග්ලයිඩ් (සර්පණය) කිරීමට යොදාගත් බව. එක් උස් ස්ථානයක සිට තවත් ස්ථානයකට පියාපත් විහිදා ගමන් කිරීම තමයි ග්ලයිඩ් කිරීම කියන්නෙ. වර්තමානයේදි ලංකාවේ ජීවත් වන හම්බාවන් විශේෂ දෙක මේ ප්‍රචාරණය යොදා ගන්නවා.




ඇම්බොප්ටෙරික්ස් කියන්නෙ ඩයිනෝසර පියාසැරි පරිණාමික ගමන් මඟ තුල ඉතාමත් සුවිසේශි සංධිස්ථානයක්. ඉදිරියේදි ඇම්බොප්⁣ටෙරික්ස් අයත් ස්කැන්සොරියොප්ටෙරිජිඩ් කුලය ගැනය විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Thursday, September 5, 2019

සයි⁣මතෝආ එක්සිග්වා (Cymothoa exigua)


ප්‍රාග්ඓතිහාසික සත්වයෙකු නොවුනත් පරපෝශි දාරක සත්ව පරිණාමය තුල ඉතාමත් විශේෂිත අවස්ථාවක් නිසා මේ සිද්ධිය ගැන මම වෙනත් තැනක සටහන් කරපු කෙටි සඳහනක් මෙහිත් සටහන් කරනවා.

කැලිෆෝර්නියො බොක්ක ආශ්‍රිතව ජීවත් වන සයි⁣මතෝආ එක්සිග්වා (Cymothoa exigua) නැමැති මේ පරපෝශිතයා තමයි මේ පින්තූරයේ දැක්වෙන මත්ස්‍යාගෙ මුඛය තුල සිටින්නේ.මේ පරපෝශි ආකාරයන් මත්ස්‍යන්ගෙ කරමල් තුලින් ඇතුල් වෙලා දිවේ රැධිර නාලිකා හානිකර දිව වැටීමට සලස්වනවා. ඉන්පස්සේ දිව වෙනුවට තමාව ඒ ස්ථානයට සවි කරගන්නා මේ සත්වයන් මත්ස්‍යාගෙ දිව ලෙස ක්‍රි⁣යාත්මක වෙනවා. මත්ස්‍යයා මුව තුලට රුවාගන්නා ආහාර දත්වල ගැටීමට සැලැස්වීම වගේ දිවේ කාර්යභාරය මේ පරපෝෂිතයා විසින් සිදුකරනු ලබනවා.

මත්ස්‍යන්ගෙ ඛේටය හා රුධිරය තමයි මොවුන් ආහාරයට ගන්නෙ. ලෝකයේ ජීවත්වන පරපෝශිතයන් අතරින් දාරක සත්වයාගෙ යම්කිසි අවයවයක් (Organ) ලෙස ක්‍රියාකරන එකම පරපෝෂිතයා වන්නෙ C.exigua.

මේ පින්තූරයෙත් දකින්න පුළුවන් C.exigua සත්වයෙක් මත්ස්‍යාගෙ දිව කොටසට සවි වී සිටින ආකාරය. 



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ප්‍ලයස්ටොසීන වෘක හිස (Pleistocene wolf head)


2019 ජුනි මාසය තුලදී සිදුවු විශේෂිතම සොයාගැනීමක් තමයි රුසියාවේ යාකුටියා ප්‍රදේශයෙන් ⁣සොයාගත් වසර 40000 පමණ පැරණි වෘක හිස.

සොයාගනු ලැබූ පැරණි වෘක හිස

ඉතාමත් හොඳින් හිම මඟින් සංරක්ෂණයවු මේ හිස අයත් වෙන්නෙ ප්ලයස්ටොසීන යුගයෙදි ජීවත්වුන යෝධ වෘකයන්ට. මේ හිස වර්තමාන වෘකයන්ට වඩා ප්‍රමාණයෙන් දෙගුණයක් පමණ විශාලයි. සම, මාංශ පේශින් ඉතාමත් හොඳින් සංරක්ෂණය වු මේ හිස මේ වන විට ස්වීඩනයේ DNA පර්යේෂණයන්ට යොමුකොට තිබෙනවා. වූලි මැමත්, වූලී රයිනෝසිරස් වැනි සතුන් ජීවත් වු යුගයේ ඔවුන්ට සමකාලීනව ජීවත් වු මේ වෘකයාගෙ හිස මෙලෙස සංරක්ෂිත තත්වයෙන් ලැබීම වර්තමානයේදි සිදුකරගෙන යනු ලබන ප්ලයස්ටොසීන සත්ව සන්තතියේ ජීනෝම නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිවලටත් මහඟ පිටුවහලක් වෙනවා.

වර්තමාන වෘකයෙකු සහ සොයාගත් වෘක හිස අතර ප්‍රමාණාත්මක සංසන්දනය

ගෝලීය උණුසුම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් යද්දි ආර්ක්ටික් හිම වැස්ම සීග්‍ර ලෙස පහත බසිනවා. මේ බැස්මත් එක්කම ප්‍රාග්ඓතිහාසික යුගවල ජීවත්ව මිය ගිය සතුන්ගෙ අවශේෂ සඟවා සිටින හිම ආවරණයන් පහව යද්දි ඒවා නැවත මතු වෙනවා. ඉදිරි කාලයේදි මෙවැනි තවත් සොයාගැනීම් ගනනාවක් සිදුවෙයි.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




සොබාදහමේ ඝාතන යන්ත්‍ර (Killing machines)


වසර මිලියන ගණනක පරිණාමික ක්‍රියාවලිය තුල බිහිවු අනභිභවනීය ඝාතන යන්ත්‍රයක් තමන්ගේ කාර්යේ නිරත වෙනවා. මන් හිතන්නෙ මේ ඡායාරූපය ගැන ඊ⁣ට වඩා හැඳින්වීම් අවශ්‍ය නෑ.



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




හයිරකොයිඩියාවන් (Hyracoideans)


හයිරකොයිඩියාවන් (Hyracoideans), එහෙම නැත්තන් හයිරැක්සයන් (Hyrax) පැතිරිලා ඉන්නෙ අප්‍රිකානු සබ්සහරා කලාපවල. 

වර්තමානයේදි මේ හයිරකොයිඩියා ගෝත්‍රයේ විශේෂ පහක් ජීවත් වෙනවා.
  1. Rock hyrax
  2. Yellow spotted rock hyrax
  3. Western tree hyrax
  4. Southern tree hyrax
  5. Eastern tree hyrax



වර්තමානයේදි ජීවත්වන ප්‍රොබොසිඩියා(අලි විශේෂ), සිරිනියා (ඩුගොන්ග්, මැනටී) වැනි ගෝත්‍රවලට පරිණාමික සබඳතා දක්වන්නෙ මේ හයිරකොයිඩියාවන්.


අමතර කරුණක් විදියට වර්තමානයේ ජීවත්වන අලි විශේෂ ත්‍රිත්වය ගැන කතා කලොත්, අලි විශේෂ දෙකක් විදිහට තමයි තිබුනෙ.

  1. ආසියානු අලියා (Elephas maximus)
  2. අප්‍රිකානු අලියා (Loxodonta Africana)

නමුත් පසුව මේ අප්‍රිකානු විශේෂය දෙකට කඩනවා;

  • අප්‍රිකානු සැවනා අලියා (Loxodonta africana)
  • අප්‍රිකානු වනාන්තර අලියා (Loxodonta cyclotis)

Africana විශේෂය සැවනා සහ විවෘත භූමි තුල පැතිරිලා ඉන්න ප්‍රමාණයෙන් විශාල විශේෂය. cyclotis කියන්නෙ කොංගො නිම්නය ආශ්‍රිතව ගන වනාන්තර තුල සිටින කුඩා විශේෂය. මේ දෙක අතර පැහැදිලි ව්‍යූහීය වෙනස්කම් පවතිනවා. දල පිහිටන විදිහ, පාද, ප්‍රමාණය, ආදී වෙනස්කම්. දෙහිවල සත්වෝද්‍යානයේ ආර්කයිව්ස් බැලුවොත් දකින්න පුළුවන් ඉස්සර මේ cyclotis අලියෙක් ඉඳලා තියෙනවා. දැන් ඉන්නෙ africana සත්වයෙක්.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. නිර්මාණ අයිතිය #DOE)



#DOE




ටයිටැනොබෝවා (Titanoboa)


කොළොම්බියා රාජ්‍යයේ ලා ගුවායීරා ප්‍රදේශයෙන් හමුවන සෙරෙහොන් භූ සංකීර්ණය තුලින් දකුණු ඇමරිකානු වැසි වනාන්තර වල ආදීතම ෆොසිල සාධක හමුවනවා. 2009 වර්ශයේදි මේ සෙරෙහොන් සංකීර්ණය තුලින් සොයාගනු ලබනවා වසර මිලියන 58 -60 අතර කාලනීර්නය වන සර්ප ගනයකට අයත් ෆොසිල ගනනාවක්. මෙි ගනයේ සර්පයන් 28 කට අයත් ෆොසිල සොයාගැනීමත් සමඟම නම ලබා දෙනවා 'ටයිටැනොබෝවා' ලෙස.

ටයිටන්, ටයිටැනික් වැනි නාමයන්ගෙන් අර්ථවත් වෙන්නෙ අතිශයින්ම විශාල යන්න. සර්පයන්ගෙ තක්සෝන ධුරාවලියෙ කුලයක් වන බොයිඩේ කුලයට අදාල බැවින් (boa) බොවා යන කොටසත් එකතු වීමෙන් 'ටයිටැනොබෝවා' (Titanoboa) යන නාමය සකස්වෙනවා.

ටයිටැනොබෝවා ප්‍රතිනිර්මාණයක් 

වසර මිලියන 58 කට පමණ පෙර ජීවත්වූ මේ සත්වයා වචනයේ පරිසමාප්තියෙන්ම යෝධ සර්පයෙක්. දැනට හමුව ඇති ෆොසිල සාධක මත පෘථෘවිය තුල සැරිසැරූ විශාලතම සර්පයා බවට පත්වන්නෙ ටයිටැනොබෝවා ගනය. දිගින් මීටර 12.8 (අඩි 48) පමණ දිගු, බරින් ටොන් එකකට වඩා මඳක් වැඩි මේ සර්පයා ජීවත්වන්නේ එකල කොළොම්බියානු වැසි වනාන්තර තුල. ටයිටැනෝබෝවා ගනයේ දැනට නම් කර ඇති එකම විශේෂය ටයිටැනොබෝවා සෙරෙහොනෙන්සිස් (Titanoboa cerrejonensis).

ටයිටැනොබෝවා ප්‍රමාණාත්මක සංසන්දනය

බොයිඩේ කුලයේ සාමාන්‍ය ලක්ෂණයක් තමයි ගොදුර ඩැහැගත් පසු තදින් වෙලා ගනිමින් ගොදුර අඩපණ කිරීම. ටයිටැනොබෝවා මේ ක්‍රමයම යොදාගත් බවයි ෆොසිල විද්‍යාඥයන් සඳහන් කරන්නෙ. ආහාර රටාව පිලිබඳ විවිධ මත පවතිනවා. එක් මතයක් තමයි ටයිටැනෝබෝවා එකල ජීවත් වු සදාහරිත වනාන්තර ආශ්‍රිත වගුරු තුල ජීවත් වු විශාල කිඹුලන් ආහාරයට ගන්නට ඇති බව, දෙවන මතය තමයි ටයිටැනොබෝවා දන්ත සැකැස්ම සහ මුඛයේ මාංශපේෂි පිහිටීම අනුව මත්ස්‍ය භක්ෂක සර්පයෙකු බව. (බොයිඩේ කුලයේ මත්ස්‍ය භක්ෂක රටාවක් පෙන්නුම් කරන එකම ගනය ටයිටැනොබෝවා පමණයි). කෙසේ නමුත් මේ විශාල සර්පයා එකල දකුණු ඇමරිකානු වනාන්තර තුල බොහා් සත්ව විශේෂ වලට භීතිය ගෙන එන්නට ඇති.


ටයිටැනොබෝවාගේ දඩයම් විලාශය 

ටයිටැනොබෝවා සත්වයන්ගෙ වඳව යෑම පිලිබඳවත් මත කිහිපයක් පවතිනවා. ඉන් ප්‍රධානම මත ලෙස;

  1. එකල තිබු දේශගුණික තත්වය අදට වඩා උණුසුම්. ටයිටැනොබෝවා වැනි චලතාපී සත්වයන්ට මේ නිසා උණුසුම් දේශගුණය තුල විශාල සිරුරු දැරීමට හැකි වුනත් ක්‍රමයෙන් ඇතිවු දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන උණුසුම පහල යෑම තුල එවැනි විශාල චලතාපී සිරුරු පවත්වා ගැනීමට අපහසු වූ නිසා ක්‍රමයෙන් නශ්ඨ යෑම
  2. ටයිටැනොබෝවා ජීවත් වූ වගුරු සහිත පරිසර පද්ධතිය දේශගුණික විපර්යාස හේතුවෙන් ක්‍රමයෙන් වෙනස් වන විට ආහාර නොමැති වීමෙන් ටයිටැනොබෝවා සත්වයන් වඳව ගිය බව.

කෙසේ නමුත් වර්තමානයේදි ජීවත්වන විශාලතම සර්පයින් පවා මේ යෝධ සර්ප විශේෂය හමුවේ ලිලිපුට්ටන්. ක්‍රිටැසියස් නශ්ඨවීමෙන් පසු එළඹෙන යුගය තුල නියෝට්‍රොපික්ස් ලෙස හඳුන්වන ජෛව භූගෝලීය කලාපය තුල භීතිය පැතිරවු මේ විශේෂයේ පරිණාමික පරිඡ්ඡේදය පැලියොසීන අවධියේදි අහවර වෙනවා. යම් දේශගුණික කලාපයකට පමණක් පරිණාමිකව සුහුරු වී සීටි පමණින් හෝ යෝධ ප්‍රමාණයන්ට එළඹුනු පමණින් වර්ගයාගෙ පැවැත්ම තහවුරු නොවන බවට පවතින සාධක ගොන්න අතරින් ටයිටැනොබෝවා යනු තවත් එක් සාධකයක් පමණයි. ඒ අනුව පරිණාමික දිනපොත තුල ටයිටැනොබෝවා පරිඡ්ඡේදය අවසන්.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




කොළොම්බියානු මැමත් රංචුවක් සහ කෘපාන දන්තී ව්‍යාඝ්‍රයන් රංචුවක් අතර ගැටුමක් (A fight between Colombian Mammoths and Saber tooth Cats)


මැමත් කිව්වම බොහෝ දෙනාට මතක් වෙන්නෙ ලොම් පිරුණු හස්ථියෙක්. නමුත් මැමත් විශේෂ දුසිම් ගනනක් ප්ලයස්ටොසීන යුගයෙදි මිහිමත සැරිසැරුවා. කොළොම්බියානු මැමත්, ස්ටෙප් මැමත්, ක්‍රීට මැමත් සහ ඔබ කවුරුත් දන්න වූලී මැමත් ඒ අතරින් වි⁣ශේෂ කිහිපයක්. මෙහි දැක්වෙන්නෙ කොළොම්බියානු මැමත් වි⁣⁣ශේෂය. කොළොම්බියානු මැමත් වූලී මැමත්ලාට වඩා ප්‍රමාණයෙන් විශාලයි, උස්ව පිහිටන ලාලාටාස්ථිය මොවුන්ගෙ විශේෂ ලක්ෂණයක්. ඒ වගේම මොවුන්ට ලොම් ආවරණයක් පිහිටන්නෙ නැහැ.

කෘපාන දන්තී ව්‍යාඝ්‍රයන් කිව්වට මෙහි දැක්වෙන බිළාලයන් ප්‍රසිද්ධ සේබර්ටුත් කැට්ස් එහෙම නැත්තන් 'ස්මයිලඩොන්' ලෙස. දිගුව පිහිටන උඩු හනුවෙ රදනක දත් දෙක මොවුන්ගෙ තිබෙන විශේෂ ලක්ෂණයක්. S.fatalis , S.gracilis, S.populater කියන ⁣සේබර් ටුත් බිළාලයන් ත්‍රිත්වය ගැන මීට කලින් මම මේ පිටුව තුලින් සාකච්ඡා කර තිබෙනවා.

සේබර්ටුත් පහරදීම් වලින් මැමත් පැටවුන් නිරන්තර ගොදුරු බවට පත්වු බවට ෆොසිල සාධක හමුවෙනවා. මේ නිර්මාණය තුලත් තිබෙන්නේ එවැනි මැමත් පැටවකුට පහරදීම.



(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




වඳව ගිය විශේෂයක රුධිර සාම්පලය (A blood sample from an extinct species)


2019 අප්‍රේල් තුන්වන සතිය තුලදි පරිණාමික ජීව විද්‍යාව සහ ජාන ඉංජිනේරු තාක්ෂණය තවත් එක් පියවරක් ඉදිරියට යමින් වසර 42000 කට වඩා පැරණි ප්ලයස්ටොසීන අවසන් හිම යුගය තුල ජීවත්ව වඳවී ගිය අශ්ව විශේෂක මළසිරුරකින් ද්‍රවමය තත්වයේ රුධිර සාම්පලයක් ලබා ගත්තා.

ද්‍රවමය තත්වයේ රුධිර සාම්පලය

සයීබීරියානු හිම බිම් තුල වාසය කල මේ අශ්ව විශේෂයට අයත් පැටවකුගෙ සංරක්ෂණ වු මළසිරුරක් සොයාගැනීමට හැකිවුනෙ 2018 වසරේ අගෝස්තු මාසයේදි.

ලෙන්ස්කායා අශ්ව පැටවාගේ සංරක්ෂණය වූ මළ සිරුර

සයීබීරියානු කලාපයේ බටගයිකා අවපාතය නමින් හඳුන්වන ප්‍රදේශයෙන් තමයි මේ අශ්ව පැටවා සොයාගැනීමට හැකිවන්නෙ. ලෙන්ස්කායා නමින් හඳුන්වන මේ වඳව ගිය අශ්ව විශේෂය අවසන් හිම යුගය තුල මේ ප්‍රදේශ ආශ්‍රිතව බහුලව ජීවත් වු විශේෂයක්. මේ විද්‍යාඥ කණ්ඩායම සඳහන් කරන්නෙ අධික හිම හේතුවෙන් වසර 42000 ක් මෙම සිරුර ඉතාමත් අනර්ඝ තත්වයෙන් ආරක්ෂාව පැවති බවයි.අවසන් හිම යුගය තුල ජීවත්වු සතුන් අතරින් හමුවු හොඳම සිරුර බවට මෙය පත්වනවා.

ලෙන්ස්කායා අශ්වයන් ප්ලයස්ටොසීනය තුල ප්‍රතිනිර්මාණයක්

මේ විද්‍යාඥ කණ්ඩායම ලෙන්ස්කායා අශ්ව විශේෂයේ ක්ලෝනයක් නැවත බිහිකිරීමට සුදානම් වෙනවා. වඳව ගිය තවත් සත්ව විශේෂ කිහිපයක් මෙලෙස නැවත රැගෙන ඒම මොවන්ගෙ අරමුණයි. වූලී මැමත් ඇතුන්ගෙ ජීනෝමය සම්පූර්ණ කිරීමට මොවුන් සමත් වෙලා තිබෙනවා. මැමත්ව නැවත ගෙන ඒමට ප්‍රථම ලෙන්ස්කායා අශ්වයන් බොහෝ දුරට නැවත සජීවි වනු ඇති.




ලෙන්ස්කායා අශ්වයන් පිළිබඳ පර්යේෂණගාර කටයතු


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




හඳ එලියෙ දඩයම (Hunt in the moonlight)


මේ පහත දැක්වෙන CGI ප්‍රතිනිර්මාණය ඉතාමත් හොඳට පෙන්නුම් කරනවා විශාල තේරොපොඩ් විලෝපිකයෙක් රාත්‍රියෙ දඩයම් කරන ආකාරය. දඩයමට ලක්වන සත්වයා ට්‍රයිසරටොප්ස් සත්වයෙක් නිසා සහ පෙනුමෙන් අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ තේරොපොඩ් සත්වයා ටිරනොසොරිඩ් කාණ්ඩයේ සත්වයෙකු බව. ට්‍රයිසරැටොපස් සත්වයන් ඉතාමත් ප්‍රමුඛ වන්නෙ ක්‍රිටැසියස් පසු අවධියේදි. ඒ නිසා මේ ටිරනොසෝරිඩ් විශේෂය ටිරොනෝසෝරස් රෙක්ස් හෝ උතුරු ඇමරිකාවේ බටහිර පෙදෙස් වලට වෙන්නට ජීවත් වු ටිරොනෝසෝරස්ගෙ ලඟම ඤාතී ගෝර්ගෝසෝරස් සත්වයෙකු වෙන්නට පුළුවන්.

මේකේ විශේෂ කාරණා දෙකක් පෙන්වන්න පුළුවන්. එකක් තමයි තේරොපොඩ් සත්වයාගෙ පිහාටු ආවරණය. නූතන ෆොසිල විද්‍යාවෙ පිලිගත් මතය තමයි තේරෝපොඩ් සත්වයන් බොහෝමයක් පිහාටු දරන්නට ඇති බව. (තෙරොපොඩ් පරම්පරාවෙන් තමයි පසුකාලීනව පක්ශි පරිණාමය සිදුවන්නෙත්)

අනෙක් කාරණය තමයි මේකෙදි නිරීක්ෂණය කරන්න පුළුවන් මේ සත්වයා මෙතරම් විශාල සත්වයකු වෙලත් හඬ නො⁣නැගෙන පරිදි ගමන් කරන ආකාරය. ඒකට හේතු වෙන්නෙ උකුල් ප්‍රදේශයේ ඇති වන විශාල පැද්දීම. ඒක හරියට ක්‍රියාත්මක වන්නෙ වාහනය ශොක් ඇබ්සෝබරයක් විදිහට. මන් හිතන්නෙ පාඩු නෑ ඒ විනාඩි දෙක අරන් බැලුවට. 😊





Video credit - JDOG



#DOE




කාලය සහ අවකාශය (Time and Space)


ආලෝකය වසරක් තුල ගමන් කරනා දුර ප්‍රමාණයට අපි කියනවා ආලෝක වර්ෂයක් (light years) කියලා.

එසේ නම් ආලෝක වර්ෂ මිලියන 65 කට ඈතින් තිබෙන ග්‍රහ වස්තුවකට පෘථෘවි දර්ශන ලැබෙන්න යන කාලය වසර මිලියන 65 ක්. ආලෝක වර්ෂ මිලියන 65 ක් ඈතින් තිබෙන වස්තුවක සිට මේ මොහොතේ පෘථෘවිය නිරීක්ෂණය කලොත් ඔහු හෝ ඇය දකින්නෙ මීට වසර මිලියන 65 කට පෙර පෘථිවියේ දර්ශන. වසර මිලියන 65 කට පෙර පෘථිවිය කියන්නෙ ටිරනෝසෝරස්, ට්‍රයිසරටොප්ස් ආදී ඉතාමත් ප්‍රචලිත ඩයිනෝසරයන් මිහිමත ජීවත් වූ අවධිය. මේ කාලෙදි ලංකාව තියෙන්නෙ ඇන්ටාක්ටික් මහද්වීපය අසලින්ම.


සරල උදාහරණයක් ලෙස ඔබට රාත්‍රී අහසේ දිස්වන සිරියස් තාරකාව දෙස බලන්න. සිරියස් තාරකාව පිහිටන්නෙ අපට වඩා ආලෝක වර්ෂ 8 කට පමණ ඈතින්. සිරියස් තුලින් නික්මෙන ආලෝක කදම්බයක් ඔබේ නෙත ගැටෙන්න වසර 8 කාලයක් ගමන් කල යුතුයි. ඔබ සිරියස් නිරීක්ෂණය කරන විට දකින්නෙ මීට වසර 8 කට පෙර නිකුත් වු ආලෝකය. එනම් මීට වසර 8 කට පෙර සිරියස් දර්ශන තමයි ඔබ දකින්නෙ.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ගොර්ගොන්ස් (Gorgonopsians)


ආදිකල්පික සත්ව විශේෂ අතරින් ඩයිනෝසරයන් ඉතාමත් ප්‍රචලිත වෙන්නෙ චිත්‍රපට හේතුවෙන්. නමුත් මේ ඩයිනෝසරයන් මිහිමත ආධිපත්‍ය පතුරවන්න කලින් පෘථිවිය අයිති කරගෙන සිටි සත්ව වර්ග ගනනාවක් තිබෙනවා.

වසර මිලියන 250 කට පමණ පෙර පර්මියන් අවධියෙදි ලෝකය අයිති කරගෙන තිබුනෙ ගෝර්ගොනොප්සියාවන්. එවක සුපිරි විලෝපිකයන් වුනේ මේ සත්ව කාණ්ඩය. ගෝර්ගොනොප්සියාවන් සහ පර්මියන් යුගයේ ජීවත් වු අනෙක් සත්ව විශේෂයන්ගේ කතාන්තරයත් ඉතාමත් අපූරුයි. ගොර්ගොන් විශේෂ එවක තනි මහද්වීපයක්ව තිබු ගොඩබිම් පුරා පැතිර යමින් අනෙක් සියළු සත්ව කාණ්ඩ අභිබවමින් ඉතාමත් සාර්ථක පරිණාමයක් අත්කරගත්තා. එවක පසුකාලීනව ඩයිනෝසරයන් සහ ක්ශීරපායි බවට පත්වන්නන්ගෙ පූර්වජයන් ගත කරේ සැඟවුනු දිවියක්.  ඒ වගේම ඔවුන් කුඩා සතුන්. ගොර්ගොනොප්සියන්ස්, ඩයිසයනොඩොන්ට්ස් වැනි සත්ව ආකාර පර්මියන් අවසානයත් සමඟ සයිබීරියානු යවහල් විදාරණයෙන් ඇතිවන මහා නශ්ඨවීමෙන් මියැදෙනවා. එවක පටන් පෘථිවි ආධිපත්‍යයේ බලතුලනය වාසිදායක වන්නෙ ඩයිනෝසරයන්ට.

මේ ගොර්ගොනොප්සියන්ලා පිලිබඳව තවත් විශේෂ කාරණයක් තමයි මොවුන් පරිණාමිකව වඩාත් සමීප වන්නෙ උරගයන්ට නොව ක්ශිරපායින්ට වීම. තෙරැප්සිඩාවන් ලෙස හඳුන්වන ධුරාවලියෙ ඉහල කාණ්ඩයකට තමයි මොවුන් අයත් වන්නෙ. තෙරැප්සිඩාවන් කලකදි හැඳින්වුවේ mammal like reptiles (ක්ශිරපායින් වැනි උරගාකාර) ලෙස. නමුත් මේ වෙද්ද තෙරැප්සිඩාවන් පිලිබඳ චිත්‍රය සෑහෙන දුරට සම්පූර්ණයි.

බොහෝ වෙලාවට ඔබ හමුවට මම අරන් එන්නෙ ට්‍රිැයැසික් යුගයෙන් පසු සත්වාකාර. මේ කවුද, කින්ද මන්ද යන්න විස්තර කිරීමට ඇති කම්මැලි කමත්, ⁣සීමිත වෙලාවත් නිසා ගෝර්ගොනොප්සියාවන් වැනි සත්වාකාර පිලිබඳව වැඩිමනත් ඉදිරිපත් කිරීමට නොහැකිව තිබෙනවා. නමුත් ඉදිරියේදි ගෝර්ගොන්ස්, ඩයිසයිනොඩොන්ට්ස්, ලිස්ට්‍රෝසෝරයන් වැනි සත්ව කාණ්ඩ ගැන ලිවීමට බලාපොරොත්තු වෙනවා. මේ කෙටි සටහන තැබුවෙත් ට්‍රියැසික යුගයෙන් එහා අපූරු පෘථිවියක් තිබුනු බව පමණක් සඳහන් කිරීමට.

පහත පින්තූරයේ පහර දෙන්නෙ ඉනොස්ට්‍රැන්සිවියා සත්වයෙක්. ඉනොස්ට්‍රැන්සිවියා කියන්නෙ ගොර්ගොනොප්සියාවෙක්. ගොදුර බවට පත්වන්නේ ස්කූටොසෝරස් සත්වයෙක්.



(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE





Wednesday, September 4, 2019

සිම්බාකුබ්වා කුටොකෑෆ්‍රිකා (Simbakubwa kutokaafrika)


ඇතැම්විට නව විශේෂ සොයාගනු ලබන්නේ ක්ෂේත්‍ර ගවේෂණ තුලදීම නොවෙයි. ඇතැම් විශේෂ නිසායාකාරව හඳුනා නොගෙන කෞතුකාගාර නිදර්ශක එකතු තුල වසර ගනනාවක් නිසි අවධානය නොලැබී පවතිනවා. මේ වසරේ (2019) අප්‍රේල් 18 වන දිනත් එවන් නව සත්ව විශේෂයක් නම් කරනු ලැබුවා කෙන්යාවෙදි.

'සිම්බාකුබ්වා කුටොකෑෆ්‍රිකා' (Simbakubwa kutokaafrika) නැමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ විශේෂය මීට වසර මිලියන 22 පමණ පෙර මිහිමත සැරිසැරු විලෝපිකයෙක්. හිම වලසෙකුගෙ ප්‍රමාණයටත් වඩා විශාල සිරුරකින් හෙබි සත්වයෙක්. සිම්බාකුබ්වා නාමයේ තේරුම ස්වාහීලී බසින් 'විශාල සිංහයා' යන්නයි නමුත් මේ සත්වා සිංහයන්ට හෝ බිළාල කුලයේ සමාජිකයන්ට ඤාතීත්වයක් දක්වන සත්වයෙක් නොවෙයි. හයිනඩොන්ට්ස් (hyaenodonts) නැමැති සහමුලින්ම වඳව ගොස් ඇති කාණ්ඩයට අයත් සත්වයෙක්.

සිම්බාකුබ්වා ප්‍රතිනිර්මාණයක්, මිනිසකු සමඟ ප්‍රමාණාත්මක සංසන්දනය සහ ෆොසිලභවනය වූ හනු

අප්‍රිකා මහද්වීපය තුල පහලවල ප්‍රථම ක්ශිරපායි විලෝපික කාණ්ඩය තමයි මේ හයිනඩොන්ටාවුන්. ඩයිනෝසරයන්ගෙ පෘථිවි පරිඡ්ඡේදය අහවර වන විට වසර මිලියන 45 ක් පමණ අප්‍රිකා ගොඩබිම තුල අණසක පතුරවන්නෙ හයිනඩොන්ටාවන්. ඒ කාලය අතරතුර අප්‍රිකානු මහද්වීපය ක්‍රමයෙන් තල්ලු වෙමින් ගොස් උතුරු ගොඩබිම් සමඟ සම්බන්ධ වනවා. මේ සටහනේ කතානායක සිම්බාකුබ්වා ජීවත්වු සමයෙදි මෙලෙස සම්බන්ධ වන අප්‍රිකාව තුලට උතුරු මහද්වීප තුලින් නව සත්ව කණ්ඩායම් ඇතුල් වීම ඇරඹෙනවා. බිළාලයන්, හයිනාවන්, සුනඛ පවුලේ සාමාජිකයන් යුරේසියාවේ සිට අප්‍රිකාවට සංක්‍රමණය වන්නෙ මේ කාලයේදි. අප්‍රිකාව තුල සම්භවය වු හයිනඩොන්ටාවුන් මේ අතරෙදි උතුරට සංක්‍රමණය වනවා. යුරේසියාවට හයිනඩොන්ටාවුන් සංක්‍රමණය වන්නෙ එලෙසින්. කෙසේ නමුත් මීට වසර මිලියන 15 -18 පෙර කාළගුණ විපර්යාස හේතුවෙන් පරිසර පද්ධති වෙනස් වීම සිදුවෙනවා. මේ වෙනස්වීම හේතුවෙන් හයිනඩොන්ටාවන් මිහිමතින් නශ්ඨවීම් සිදුවෙනවා. සිම්බාකුබ්වා විශේෂයේ ඤාතීන් මේ අවසන් හයිනඩොන්ට් පෙලපතේ සාමාජිකයන්.

කෙසේ නමුත් සිම්බාකුබ්වා කුටොකෑෆ්‍රිකා විශේෂ සොයා ගැනීමත් සමඟ හයිනඩොන්ට පරිණාමික වෘක්ෂය තුල තවත් ස්ථරයක් සම්පූර්ණ වෙනවා. සොයාගනු ලබන නව ෆොසිලයක් පාසා පෘථිවිය පිලිබඳව විද්‍යාත්මක දැනුම සම්පූර්ණ වෙනවා. ඉදිරියේදි මේ පිළිබඳව සවිස්තරාත්මකව දැනගැනීමට හැකිවෙයි.

සිම්බාකුබ්වා කුටොකෑෆ්රිකා විශේෂයේ යටි හනුවක් සමඟ වර්තමානයේදි ජීවත්වන සිංහයෙකුගෙ කපාලය ප්‍රමාණාත්මක සංසන්දනයක්

ඉහත දැක්වෙන්නේ සිම්බාකුබ්වා කුටොකෑෆ්‍රිකා විශේෂයේ යටි හනුවක් සමඟ වර්තමානයේදි ජීවත්වන සිංහයෙකුගෙ කපාලය ප්‍රමාණාත්මක සංසන්දනයක්. මේ සත්වයාගෙ ප්‍රමාණය මේ සංසන්දනයෙන් හිතාගන්න පුළුවන් වෙයි.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

ගොබිහැඩ්රෝස් මොංගෝලියෙන්සිස් (Gobihadros mongoliensis)


පිටුව නැවතත් යාවත්කාලීන කරපු මොහොතේ සිට මේ වනතෙක් සටහන් කරමින් සිටියෙ විරාමයක් ගත් කාලය අතරතුර සිදුවු ෆොසිල විද්‍යාවේ නව සොයාගැනීම් පිලිබඳව. මේ විෂය ගතවන විනාඩියක් පාසා යාවත්කාලීන වන අලුත්වන විෂයක්ද කියන්න ඒ ටිකම ප්‍රමාණවත්, ඒ සියල්ල එසේ තිබියදි මේ අප්‍රේල් (2019) තෙවන සතිය තුල තවත් නව ඩයිනෝසර විශේෂයක් හඳුන්වා දෙනු ලැබුවා.

හැඩ්රොසෝර් කාණ්ඩය කියන්නෙ ලෝකයේ බොහෝ ප්‍රදේශවල පැහැදිලි ව්‍යප්තියක් පෙන්වු ඩයිනෝසරයන් කාණ්ඩයක්. විවිධ රටවලින් මේ කාණ්ඩයට අයත් විවිධ විශේෂ වල ෆොසිල වාර්තා වෙනවා. මේ නව විශේෂය වාර්තා වන්නෙ මොංගෝලියානු ගෝබි කාන්තාරය තුලාන්. ගොබිහැඩ්රෝස් මොංගොලියෙන්සිස් (Gobihadros mongoliensis) විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ විශේෂයට අයත් සම්පූර්ණ සැකිල්ලක් ගෝබි කාන්තාරයෙන් නිරාවරණය කරගැනීමට විද්‍යාඤයන් සමත්ව තිබෙනවා. මේ ගෝබි ප්‍රදේශයෙන්ම තමයි Velociraptor mongoliensis විශේෂත් සොයාගනු ලැබුවෙ.

හැඩ්රොසෝර් ප්‍රතිනිර්මාණයක්

සොයාගත් නව විශේෂයෙ සැකලි පද්ධතිය

හැඩ්රොසෝර් ප්‍රතිනිර්මාණයක්


හැඩ්රොසෝර් කාණ්ඩය සමස්ථයක් වශයෙන් ගත්තම පූර්ණ ශාඛ භක්ෂකයන්.

හැඩ්රොසෝර් වර්ග

අඩි 10 පමණ දිගු ගොබිහැඩ්රෝස් විශේෂය මේ හැඩ්රොසෝරයන්ගෙ පරිණාමික වෘක්ෂය අධ්‍යනය කිරීම සඳහා ඉතාමත් වැදගත් මෙහෙයක් ඉටු කරනු ඇති බවට විද්‍යාඥයන්ගේ මතයයි.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE