Saturday, July 20, 2019

මහා නශ්ඨවීම් (Mass Extinctions)



මහා නශ්ඨවීම්, එහෙම නැත්තන් mass extinctions කියන්නෙ යම් කිසි සංසිද්ධියක් හේතුකොටගෙන පෘථෘවිය මත පවතින ජීවයේ වඳව යෑමයි. 

විවිධ හේතුසාධක පදනම් කරගෙන යුග පහකදි සිදුවු මහා නශ්ඨවීම් සිද්ධිදාමයන් පහක් ප්‍රාග් යුගවලදි අපිට මුණගැසෙනවා. දේශගුණික විපර්යාස, උල්කා ගැටීම්, ගිණිකඳු විදාරණයන් ආදී හේතුන් වෙන් වෙන් වශයෙන් වගේම සාමුහික ක්‍රියාකාරිත්වය තුල මේ නශ්ඨවීම් සිද්ධි සඳහා විවිධ අයුරින් දායක වෙනවා. වසර බිලියන 4.6 පමණ පැරණි පෘථෘවි ඉතිහාසය තුල ජීවයේ පරිණාමික ගමන් මඟ විවිධ අයුරින් හැඩගැස්වීමට මේ නශ්ඨවීම් දායක වෙලා තිබෙනවා.


ප්‍රධාන භු යුග පහකදි සිදුවු නශ්ඨවීම් මෙලෙස පෙලගස්වන්න පුළුවන්
  • වසර මිලියන 443 කට පමණ පෙර සිදුවු ඔර්ඩෝවිසියානු පසු අවධියේ මහා නශ්ඨවීම.
  • වසර මිලිය 375 කට පමණ පෙර සිදුවු පශ්චාත් ඩෙවෝනියානු අවධියේ නශ්ඨවීම.
  • වසර මිලියන 251 කට පමණ පෙර සිදුවු පශ්චාත් පර්මියානු අවධියේ මහා නශ්ඨවීම.
  • වසර මිලියන 200 කට පමණ පෙර සිදුවු ට්‍රියැසික් මහා නශ්ඨවීම.
  • වසර මිලියන 66 කට පමණ පෙර සිදුවු ක්‍රිටැසියස් මහා නශ්ඨවීම.

දැන් මේ පෙර කී මහා නශ්ඨවීම් අවධි මහා නශ්ඨවීම් ලෙස හඳුන්වන්නේ පෘථිවිය මත ජීවත්වු ජීවි විශේෂ අති බහුතරයක් මිහිමතින් සදහටම තුරන් වීමට හේතුපාදක වුන නිසා.

ප්‍රතිශත වශයෙන් ගත්තම (ආසන්න දත්තයන්)
  • ඕඩොවිසියානු නශ්ඨවීමෙදි 85%
  • ඩෙවෝනියානු 82%
  • පර්මියානු 96% 
  • ට්‍රියැසික් 76%
  • ක්‍රිටැසියස් 60 -75% අතර

ජීවි විශේෂ ප්‍රමාණයක් මේ අවධිවලදි පෘථිවියෙන් තුරන්ව තිබෙනවා. මහා නශ්ඨවීම යන නම කොතරම් සුදුසුද යන්න සිතා බලන්න. 

උදාහරණයකට පර්මියානු නශ්ඨවීමෙන් පසුව පෘථිවිය තුල ඉතිරිවන්නෙ පර්මියානු අවධිය ආරම්භයේදි සිටි සත්ව විශේෂයන්ගෙන් 4% ක් පමණයි. කොතරම් විනාශකාරී ක්‍රියාවලියක් වන්නට ඇත්දැයි සිතා බැලීමට මේ දත්ත ප්‍රමාණවත්.

පසු ලිපියකින් ක්‍රිටැසියස් නශ්ඨවීමේ ක්‍රියාවලිය විස්තර කිරීමට මා බලාපොරොත්තු වෙනවා.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


ලැටෝලි සහ සඳ මත (From Laetoli to Moon)


අද, ජුලි මාසේ 20 වෙනි දිනය සඳ මතට ලූනා ලෑන්ඩරය ගොඩබස්වා වසර 50 ක්. ගොඩක් අය මන් දැක්කා දාලා තියෙනවා අද තමයි සඳ මත පා තැබුවෙ කියලා. නමුත් ලූනා ලෑන්ඩරය 20 දින සවස 20:17 ට ගොඩබස්වා පැය 6 කුත් විනාඩි 39 ගතවු විට එළඹෙන 21 වන දින පාන්දර 2:56 ට තමයි නීල් ආර්ම්ස්ට්‍රෝන් සඳ මත පා තබන්නේ.

ඉතින් හෙට දින වෙනුවෙන් පරිණාමික දිනපොතේ ලියන සටහන තමයි මේ. 

වම් පස තිබෙන්නෙ ලෝකෙ දෙපා සංචරණය මුළුමනින්ම ලද මානව විශේෂයක පා සලකුණ. මේ සලකුණ තිබෙන්නෙ ටැන්සානියාවේ ලැටෝලීවල. වසර මිලියන 3.7 කට පෙර අසල තිබුනු ගිනිකන්දෙන් පහලට වැටුන අළු උඩින් පා තබමින් ගමන් කල නිරුවත් වානරයා කෙදිනකවත් සිතන්නට නැතුව ඇති තමන්ගෙ ඉදිරි පරම්පරා තුලින් බිහිවෙන්නවුන් ඈතින් පේන රාත්‍රි අහස ආලෝකමත් කරන අපූරු වස්තුව මතට ගමන් කරයි කියලා. මේ වානරයන්ට වනය තුල සටන් කරන්න උල් දත් හෝ නිය පිහිටා තිබුනෙ නෑ. වනය තුල අනෙක් සතුන්ට සාපේක්ෂව ආරක්ෂා වීමට ස්වාභාවිකව ඔවුන් සතුව කිසිත් නැහැ. එවක ජීවත් වූ රුදුරු හයිනඩොන් සත්වයෙක්, හෝමෝතීරියම් ව්‍යාඝ්‍රයෙක් මුණ ගැසුනානනම් නිරුවත් වානරයාගෙ කතාව එතකින් අවසන්.

නමුත් මේ වානරයාට පරිණාමය විසින් උරුම කර තිබු එකම එක් අවියක් තිබුනා. ඒ තමයි බුද්ධිය. රුදුරු වන සතුන් මඟ හැරීමටත්, එදා වේල සොයා ගැනීමටත් ඔහුට තිබුනු එකම අවිය බුද්ධිය. අපි මේ කතා කරන කතා නායකයා ඔස්ට්‍රලෝපිතෙකස් අෆාරෙන්සිස්, ව්‍යවහාරයේදි ඇෆරෙන්සිස් කියලත් කියනවා. නමුත් නම පදනම් වෙන්නෙ අෆාර් නිම්නය මත. ඒ නිසා උච්චාරනයේදි අෆාරෙන්සිස් කියන්නෙත් නිවැරදි භාවිතයක්.

මේ ඔස්ට්‍රලෝපිතෙකස් අෆාරෙන්සිස් කියන්නෙ බේසල් හොමිනිඩ් කෙනෙක්. ඒ කියන්නෙ අපේ හොමිනින් පවුල තුල මුල් අවස්ථාවේ සාමාජිකයෙක්. අෆාරෙන්සිස්ට තිබුන කපාල ධාරිතාව වර්තමාන චිම්ප් කෙනෙක්ට වඩා ලොකු වෙනසක් නැහැ, නමුත් අෆාරෙන්සිස් වෙනස්. ඒ තමයි එයාට පුළුවන් කකුල් දෙකෙන් හිටගෙන ඇවිදින්න. චිම්ප්ස්ලා ගාත්‍රා හතරෙන්ම ඇවිදිනවා. භෞතික මානව විද්‍යවෙදි මේ චිම්ප්ගෙ සංචරණ රටාව හඳුන්වන්නේ නකල් වෝකින් (knuckle walking). හේතුව පිටි අල්ල බිම වදින විදිහට තමයි චිම්ප්ස්ල ඇවිදින්නෙ. අපේ කතා නායකයා එහෙම නෑ.. එයාට පුළුවන් හිටගන්න. හිටගෙන අපි වගේම ඇවිදින්න. එයාට හිටගත්තම ඈත පේනවා. ඈත සතුරන් ඉන්නවද කියලා පේනවා. එයාගෙ ආදී කාලිනයො සහ චිම්ප්ලා අතර ලොකු වෙනසක් තිබුනෙ නැහැ.. 

නමුත් නැගෙනහිර අප්‍රිකානු භූ තැටිය කාලයත් එක්ක වෙනස් වෙද්දි පැන නගින ග්‍රේට් රිෆ්ට් නිම්නයෙන් එයාලගෙ මී මුත්තන්ගෙ වාසභූමි දෙකඩ වෙනවා. පැත්තක් පැරණි භූමි ආකාරයෙන්ම පිහිටද්දි අනිත් පැත්ත තෘණ භූමි සැවනා බවට පරිවර්තනය වෙනවා... ආෆාරෙන්සිස්ලගෙ කාලේ වෙද්දි ගස් වල ඉඳලා බැහැ, තෘන භූමි තුලට අනුවර්තනය වෙන්න ඕන. කඩින් කඩ වුන කැලෑ හොයන් ආහාර සොයා යන්න තෘණ භූමි තුලින් ගමන් කරන්න ඕන. ගස්වල ඉන්දැද්දි වගේ නෙමෙයි.. තෘණ භූමි තුලදි ඈත පෙන්නෙ නෑ.. සතුරන් පහරදෙනව පෙන්නෙ නෑ. මොකක්ද තියෙන විකල්පෙ ? හිටගන්න එක..! හිටගෙන ඈත බලන එක. ඇස් කකියවාගෙන එන චණ්ඩ අව්රශ්මිය හරහා ඈත බලන එක...! 

අෆාරෙන්සිස්ලගෙ කාලෙ වෙද්දි පරම්පරා වලට හිටගන්න පුළුවන්, ඇවිදින්න පුළුවන් විතරක් නෙමෙයි එයාලා ද්වීපාද සංචරණයේ යෙදෙන්නන්. ඒක මිනිස් සංහතියේම මහා පියවරක්. ලැටෝලිය හරහා හෙමින් පිය තැබුව ඒ අෆාරෙන්සිස් ඒක දැනන් ඉන්න නැතුව ඇති... 

වසර මිලියන 3.7 ෆාස්ට් ෆෝවර්ඩ් කරමු වර්තමානෙට. සඳ මත පා තියලා වසර 50. ඒක හෝමෝ සේපියානුවන් ලද අනභිභවනීය ජයක්. කාල රාමුව කෙසේ වෙතත් ⁣වමේ සහ දකුණේ ඇති පා සටහන් මතක තබාගන්න. අපි මෙච්චර දුරක් ඇවිත් තිබෙන්නෙ අපේ ශක්ති අය වැයෙන් (energy budget) 20% හොරාගන්න කපාලය තුල තිබෙන විශාල අවයවය නිසා. 

විහිළුවකින් ඉවර කරන්නන්. ඔබ කරන්න යෑමට නියමිත ඕනෑම මෝඩ වැඩකට කලින් දෙපාරක් හිතන්න. වසර මිලියන 3.7 පරිණාමයේ ප්‍රතිඵලය විසින්ද මෙය කරන්න යන්නෙ කියා...



ලැටෝලි


සඳ මත
















(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE