Wednesday, August 21, 2019

ඔස්ට්‍රේලියානු දඩබිම් තුල භීතිය (The terror of prehistoric Australia)


මහද්වීප ප්ලාවිත සිද්ධාන්ත අනුව ගොන්ඩ්වානා මහද්වීපයෙන් ඔස්ට්රේලියානු භූ තැටිය වෙන් වන්නෙ මීට වසර මිලියන 180 කට පමණ පෙර. එවක් පටන් මහද්වීපය තුල ඉතිරිවන සත්ව වර්ගයා පරිණාමයට ලක්වන්නෙ හුදෙකලා කලාපයක. වර්තමානයේදි පවා ඔස්ට්රේලියානු මහද්වීපය තුල දකින්නට ලැබෙන සත්ව විශේෂ වෙන කිසිඳු කලාපයක් තුලින් දකින්න අපහසුයි. උදාහරණයකට පැසිපොව්වන් (පැටවුන් පැසක් තුල රඳවා ඇතිදැඩි කරන) 99% පමණ දකින්න පුළුවන් ඔස්ට්රේලියානු කලාපය තුල පමණයි.

ලොව ඕනෑම කලාපයක් තුල ජීවී පරිණාමය සිදුවීමට බලපාන එක් කරුණක් තමයි පාරිසරික නිකේතන වල අවශ්යතාවන්. මේ කතාව මෙහෙම සරල කරන්න පුළුවන්. හරිත ආවරණ වැඩිවශයෙන් පවතින විට ශාඛ භක්ෂකයන්ට නිකේතනයක් ඇතිවනවා. එමඟින් ශාඛ භක්ෂක සතුන් අදාල නිකේතනය තුල තහවුරු වෙනවා. ශාඛ භක්ෂකයන්ගෙ වැඩි වීම තුල මාංශ භක්ෂක විලෝපිකයන්ට පාරිසරික නිකේතනයක් විවෘත වෙනවා. ඒ හෙතුවෙන් මාංශ භක්ෂක විලෝපික ප්රජාවක් අදාල පාරිසරික නිකේතනය සඳහා විශේෂනය වෙනවා. මේ සත්වයින් මේ එක් එක් නිකේතන තුල උපරිම ලෙස යැපීම තහවුරු කරගත් නිපුනයින්, එක්ස්පර්ට්ස්ලා.

ඔස්ට්රේලියානු කලාපය තුල පැසිපොව්වන් විශේෂ ගනනාවක් ප්ලයෝසීන යුගයේ සිට වර්තමානය දක්වා පරිණාමය වෙමින් පැවතෙනවා. මේ අතරින් ප්ලයෝසීන යුගයේ සිට ප්ලයස්ටොසීනය දක්වා ප්රොකොප්ටොඩොන් ගනයේ යෝධ ශාඛ භක්ෂක කැන්ගරු විශේෂ ගනනාවක්, ඩයිප්රොටොඩොන් ගනයේ යෝධ වොම්බැට් සතුන් ගනනාවක් පැතිරුනා. මේ සත්වයන් පූර්ණ ශාඛ භක්ෂකයන් වගේම යෝධ සත්වයන්. උදාහරණයකට පෙර සඳහන් කල ප්රොකොප්ටොඩොන් කැන්ගරුවෙක් සලකා බැලුවොත් වර්තමානයේදි ජීවත්වන විශාලතම කැන්ගරු සත්වයා මෙන් තුන් ගුණයක්. වර්තමානයේදි ජීවත් වන වොම්බැට් සතුන් කුඩා සුනඛයෙකුගෙ ප්රමාණය වුවත් ඩයිප්රොටෝඩෝන් ගනයේ වොම්බැට් සතුන් මධ්යම ප්රමාණයේ හස්ථියෙකුගෙ ප්රමාණය.

ඔස්ට්රේලියානු බිම් තුල මෙවැනි යෝධ ශාඛභක්ෂකයන් පැතිරෙන විට වෙනත් භූමි තුලින් කොටි, සිංහයන්, ව්යාඝ්රයන් වැනි මාංශභක්ෂකයන් ඔස්ට්රේලියානු භූමියට ඇතුල් වීමට ඉඩ ඇහිරිලා. හේතුව ගොඩබිම් සබඳතාවක් නොමැති ඔස්ට්රේලියාව හුදෙකලා මහද්වීපයක්. මේ පාරිසරික නිකේතනයේ අැබෑර්තුව පිරවීමට භූමිය තුලින්ම නව සුපිරි විලෝපිකයකු පරිණාමය වෙනවා. 'තයිලකලියෝ කාර්නිෆැක්ස්' නැමැති මේ සත්වයාත් පැසිපොව්වෙක්.. කැන්ගරුවන් මෙන් පැස තුල පැටවුන් තබාගත් සත්වයෙක්. නමුත් තයිලකලීයෝ කාර්නිෆැක්ස් විලෝපිකයෙක්. වෙනත් මහද්වීප තුල සිංහයන් ව්යාඝ්රයන් කල කාර්ය සිදුකරන්නෙ මේ සත්ව විශේෂය. තයිලකලීයෝ නාමයේ අර්ථය පැසක් සහිත සිංහයා.

තයිලකලීයෝ කාර්නිෆැක්ස් මධ්යම ප්රමාණයේ සිංහයකු තරම් වැඩුනු සත්වයෙක්, නමුත් හනු බලය සිංහයන් අභිබවා යන්නක්. එක් හනු තෙරපුමකින් යෝධ කැන්ගරුවකු හෝ වොම්බැට් සත්වයෙකු දඩයම් කල හැකි වූ මේ සත්වයා සමාන්තර පරිණාමය (convergent evolution) සඳහා කදිම උදාහරණයක්. පරිණාමිකව සිංහයන් ව්යාඝ්රයන් වැනි බිළාලයන් සමඟ කිසිඳු සමීප බවක් නොදැක්වුවත් තයිලකලීයෝ පරිණාමය වී තිබෙන්නේ බිළාල විලෝපික ආකාරයට. ශරීර පිහිටීමත් බැලු බැල්මට බිළාලයෙකු ලෙස පෙනීමට තිබීමෙන් ස්වභාවධර්මයේ සැලසුම් හැකියාව මනාව පිලිඹිඹු වෙනවා. නමුත් තයිලකලීයෝ කාර්නිෆැක්ස් සත්වයෙකුගෙ අභ්යන්තර අස්ථි සැකැස්ම සහමුලින්ම වෙනස්. එමෙන්ම දන්ත සැකැස්ම දිහා බැලුවොත් බිළාලයන්ට කිසිඳු සමානකමක් නොදක්වන බව දැකගත හැකයි. සාමාන්යයෙන් පිහිටව කෘන්තක රදනක සැකැස්ම තයිලකලීයෝටම ආවේණික දන්ත සැකැස්මක් බවට පත්ව තිබෙනවා.

තයිලකලීයෝ කාර්නිෆැක්ස්

කෙසේ නමුත් මේ සත්වයන් ප්ලයෝසීන යුගයේ සිට ප්ලයස්ටොසීනය තෙක් කාල වකවානුව තුල ඔස්ට්රේලියානු දඩබිම් බියෙන් සලිත කරන්නට ඇති බවට කිසිඳු සැකයක් නෑ. දරුණු දත් පහරවල් සහිත ඩයිප්රොටොඩොන් , ප්රොකොප්ටොඩොන් අස්ථි ෆොසිල සහ අර්ධ ෆොසිල මේ පිළිබඳව තහවුරු කරනවා. තයිලකලීයෝ ප්ලයස්ටොසීනය අහවර වනවාත් සමඟම වගේ පරිණාමික දිනපොතේ පිටු අතරින් සදහටම සමුගන්නවා.. 

ප්රොකොප්ටොඩොන්ස්, ඩයිප්රොටොඩොන්ස්, ජෙනිඕර්නීස් වැනි ඔස්ට්රේලියානු සත්ව සන්තතියක්ම ප්ලයස්ටොසීනය තුලදි සදහටම වඳව යනවා. ඒකට හේතුව කාළගුණ විපර්යාසද ? නොමැතිනන් ප්ලයස්ටොසීනය අවසන් භාගයේදි ඔස්ට්රේලියානු දඩබිම් ආක්රමණය කරන හෝමෝ සේපියානුවන්ද ? ඒ පරිඡ්ඡේදය වෙනම දවසකට.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment