Wednesday, August 21, 2019

පැරාසෙරතීරියම් (Paraceratherium)


පෘථෘවිය මත එතෙක් මෙතක් සැරිසැරූ විශාලතම ගොඩබිම් ක්ශිරපායීයා යන විරුදාවලියට තරඟ කරන සත්ව විශේෂ දෙකක් තිබෙනවා. මේ එක් සත්ව විශේෂයක් තමයි පැලියොලොක්සොඩොන් නැමැති සෘජු දල හස්ති විශේෂය. 

පැලියොලොක්සොඩොන්ලා ගැන මීට පෙර පරිණාමික දිනපොත තුලින් සඳහන් කිරීමක් මම සිදු කලා. පැලියොලොක්සොඩොන් හස්ථීන්ගෙ ලංකාවෙ සිට වඳව ගිය බවට සැලකෙරෙන ලංකාවට ආවේණික උප විශේෂයක් වෙන පැලියොලොක්සොඩොන් නැමැඩිකස් ගැනත් එහිදී සඳහන් කලා මතක ඇති පරිණාමික දිනපොත පිටුව ආරම්භ කල දින සිට මෙහි පලවන ලිපි කියවන්නන්ට. අලුතෙන් එකතු වුන අයට බලාගන්න එහි ලින්ක් එක මේ තියෙන්නෙ.



පැලියොලොක්සොඩොන් හස්ථීන් සමඟ කරට කර සිටින (ඇත්තටම හැබැයි පැලියොලොක්සොඩොන්ලට වඩා සෑහෙන උසයි) ඇතැම් ෆොසිල විද්යා ගුරුකුල වලට අනුව පැලියොලොක්සොඩොන්ටත් වඩා විශාලව සහ බරින් වැඩුනු පැරාසෙරතීරියම් සත්වයන් ගැන තමයි මේ කෙටි ලිපිය.

පැරාසෙරතීරියම්

පැරාසෙරතීරියම් ප්රතිනිර්මාණයක් ඔබ නිරීක්ෂණය කලොත් දක්නට ලැබෙන්නේ අශ්වයකු සහ ජිරාෆ් සතෙකුට අයත් ලක්ෂණ. නමුත් සැබෑ ලෙසම පැරාසෙරතීරියම් සත්ව ගනය ඤාතීත්වයක් දක්වන්නෙ වත්මන් රයිනෝසිරස් සතුන්ට. මීට වසර මිලියන 34 -23 අතර පැවති ඔලිගෝසීනය නම් වු භු කාල පරිඡ්ඡේදයේදි යුරේසියාව තුල, තවත් නිශ්චිත ලෙසම පැවසුවොත් චීනය සහ බෝල්කන් අර්ධද්වීපය අතර ප්රදේශය තුල තමයි මේ අති දැවැන්තයන් ජීවත් වුනේ.

ටොන් 15 -20 අතර බරකින් (රාත්තල් 33000 -45000) හෙබි. උරහිසට උස අඩි පහලවකින් පමණ සහ දිගින් අඩි 25 කින පමණ යුත් මේ ක්ශීරපායී සත්වයා වචනයේ පරිසමාප්තියෙන්ම අති දැවැන්තයෙක්. ඔවුන්ගෙ ප්රමාණය නිසාම විලෝපිකයන් අවම වන්නට ඇති බවට විද්‍යාඥයන් අදහස් පල කරනවා. ප්රමාණයෙන් විශාල වීමේදි සිදුවන අනෙක් වෙනස තමයි මන්දගාමී ප්රජනන රටාව. උදාහරණයකට වර්තමානයෙදි ජීවත්වන හස්ථියකු සලකා බැලුවොත් මාස 22 ක පමණ ගැබ් සමයක් ගත කරනවා, ඉන් පසු තවත් වසර කිහිපයක් යන තෙක් පැටවාට කිරි දීමට ගත කරන නිසා ඔවුන්ගෙ පැටවුන් බිහි කිරීම අතර කාල පරතරය අධිකය. මේ සිද්ධාන්තයම පැරාසෙරතීරියම් සත්වයිනටත් අදාල වන්නට ඇති බවට තමයි අදහස් පල වෙන්නෙ.

පැරාසෙරතීරියම් සත්වයින් පූර්ණ ශාඛ භක්ෂකයන්. මේ හේතුව නිසා ඔවුන් සංක්රමණික රටාවන් දක්වන්නට ඇති බවටයි දැනට පිලිගත් මතය. මේකට හේතුව තමයි පැරාසෙරතීරියම් වැනි විශාල සත්වයින්ගේ ජෛව ස්කන්ධයට පාරිසරික නිකේතනය තුලින් ලබාදෙන ආහාර ප්රමාණය සීමිත නිසා ඔවුන් ආහාර සොයමින් විශාල ප්රදේශ හරහා සංක්රමණය වීමට පෙළඹීම. මේ සිද්ධියත් වර්තමාන හස්ථින් සමඟ සන්සන්දනය කරන්න පුළුවන්.

වසර මිලියන 11 පමණ දීර්ඝ කාලයක් මේ සතුන් ජීවත් වෙනවා. නමුත් ඔලිගෝසීන යුගයේ අවසාන භාගයට පැමිණෙන විට මේ සතුන් ෆොසිල වාර්තා වලින් ඉවත් වෙනවා. ඒ කියන්නෙ ඔලිගෝසීනය අවසානයේදි මේ සතුන් නශ්ඨවීම සිදුවෙලා. එසේ වීමට හේතුව කුමක්ද ?

නශ්ඨවීම සම්බන්දයෙන් මත කිහිපයක් පවතිනවා. නමුත් මතක තබාගත යුතු කාරණය තමයි නශ්ඨවීම් සිද්ධි සඳහා එක් හේතුවක් පමණක් බල නොපාන බව. දාමාකාර ප්රතික්රියාවක් මෙන් හේතු කිහිපයක් සංගත වීමෙන් මේ සිද්ධි ඇති වෙනවා. ප්රධානම චූදිතයා තමයි දේශගුණික විපර්යාස. දේශගුණික විපර්යාස සමඟ ඇතිවන වන වැස්මෙ විචලනයන් සමඟ මේ සත්වයින්ට ආහාර නොමැති වීම.

ඒ වගේම ඔලිගෝසීනය අවසානයේදි යුරේසියාව ආක්රමණය කරනවා ගොම්ෆොතීර් හස්ථීන්. ගොම්ෆොතීරියම් කියන්නෙ ප්රාග්ඓතිහාසික හස්ථීන් කුලයක්. ගොම්පෝතීරියම්ස්ලා ඔලිගෝසීනය අවසානයේදි අප්රිකානු නිජබිම් තුලින් යුරේසියාවට ක්රමිකව සංක්රමණය වෙනවා. මේකෙ අතුරුඵලය තමයි යුරේසියානු පාරිසරික නිකේතන සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට මේ සතුන් දායක වීම. ඒ කොහොමද ? ගොම්පෝතීරියම් සතුන්ගෙ හැසිරීම වර්තමාන අප්රිකානු සැවානා හස්ථීන්ට සම කරන්න පුළුවන්. ඔවුන් විශාල ගස් බිම පෙරලා දමමින්, කඳන් වලට හානි කරමින් වන වැස්ම සැවානා තෘණ භූමී තත්වයේ පවත්වා ගැනීමට දායක වෙනවා. ගොම්පෝතීරියම් සතුන් මෙයම සිදුකරන්නට ඇති බවට තමයි සාධක ලැබෙන්නෙ. මෙහි ප්රතිඵලය වෙන්නෙ පැරාසෙරතීරියම් ප්රිය කරන වන වැස්ම අහවර වීම සහ ඔවුන් උඝ්ර ආහාර ප්රශ්නයකට මුහුණ පෑම.

තවත් එක් කාරණයක් විදිහට සලකන්න පුළුවන් ඔලිගෝසීනය අවසානයත් සමඟම අප්රිකානු නිජබිම් තුලින් යුරේසියාවට ඇතුල් වන විශාල විලෝපිකයන්. හයිනේයිලියුරුස් (විශාල හයීනා ගනයක්), ඇම්ෆිසියොන් ( සුනඛයෙකු සහ වලසෙකු අතර පෙනුමක් ඇති විශාල ක්ශිරපායි විලෝපිකයෙක්) වැනි සත්ව විශේෂ පැරාසෙරතීරියම් පැටවුන් ආහාරයට ගත් බවට සාධක පවතිනවා. දීර්ඝ ප්රජනන රටාවක් පෙන්වන පැරාසෙරතීරියම් ගහනයට මෙය දරාගත නොහැකි පාඩුවක්. ආහාර අඩුවීම, නව ජනිතයින් අවම වීම වගේ කාරණා එක්ව ගත්තම නැවතත් හිස එසවිය නොහැකි ලෙස අවම වුන පැරාසෙරතීරියම් ගහනයක් ඔලිගෝසීනය අවසානයත් සමඟ ක්රමිකව නශ්ඨවීම සිදුව තිබෙනවා.

පරිණාමික දිනපොත තුල පැරාසෙරතීරියම් පරිඡ්ඡේදය වසර මිලියන 11 ක්, වසර ලක්ෂ එකසිය දහයක්. අප, එසේත් නැත්නන් හෝමෝ සේපියන්වරු තවමත් ගත කර තිබෙන්නෙ විශේෂයක් ලෙස ගත්තම ආසන්න ලෙස වසර ලක්ෂ තුනක් පමණයි. භු කාල රාමුව කොතරම් දීර්ඝද.. ස්වභාවධර්මය තුල ජීවී විශේෂයක රඳා පැවැත්ම කොතරම් අවිනිශ්චිතද යන කාරණා සේපියන්වරු තවමත් අවබෝධ කරගෙන නැහැ. ඒ ගැන සිතීමට ඉඩ තබා පරිණාමික දිනපොත තුල පැරාසෙරතීරියම් පරිඡ්ඡේදය අවසන් කරනවා.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment