Thursday, October 10, 2019

සමාන්තර පරිණාමය (Convergent Evolution)


සමාන්තර පරිණාමය (Convergent evolution) කියන මූලධර්මය පරිණාමික ක්‍රියාවලි හැදෑරීමේදි ඉතාමත් වැදගත් මූලධර්මයක්. පහත පින්තූරය බැලුවොත් ඔබට පේනවා මත්ස්‍යන්ගෙ හැඩය තිබෙන සත්ව ආකාර ත්‍රිත්වයක්. පිලිවෙලින් ගත්තොත් ප්‍රාග්ඓතිහාසික යුගවල ජීවත්ව නශ්ඨව ගිය ඉක්තියෝසෝරයෙක්, වර්තමානයේදි ජීවත්වන ඩොල්ෆීනයෙක් (සිංහල භාෂාවෙන් ඩොල්ෆින්ට කියන්නෙ මුල්ලා කියලා), අවසානයේදි ඉන්නෙ මෝරෙක්.


මේ තුන් ආකාරයම ගත්තම රූපීයව බොහෝ සමානකම් දකින්න පුළුවන්. අනාකූල ශරීර හැඩය (Streamline shape) මේ තුන් ආකාරයේම සමාන ආකාරයට පිහිටන්නේ. තරල ගති විද්‍යාව තුලදි මේ අනාකූල හැඩය ජලය තුල ගමන් කිරීමට ඇති පහසුව විස්තර කරනවා.  ඊලඟට මේ තුන් ආකාරයේම තියෙන පෘශ්ඨීය සහ ලය වරල් පිහිටීම (පිට උඩ තියෙන වරල සහ දෙපැත්තෙ වරල්) සමාන ආකාරයට පිහිටන්නේ.

දැන් රූපීයව මේ සත්ව ආකාර කොතරම් සමානතා දැක්වූවත් මොවුන් අතිශයින්ම වෙනස් ජීවි විශේෂ. ඉක්තියෝසෝර් කියන්නෙ ගොඩබිම සිටින උරගයෙකු ක්‍රමයෙන් ජලයට පරිණාමය වී ඇති වූ ජීවියෙක්. ඩොල්ෆින් කියන්නෙ ගොඩබිම ජීවත්වූ වෘකයෙකුගෙ ප්‍රමාණයට සමාන ක්ශිරපායි සත්වයෙකු ජලයට පරිණාමිකව අනුවර්තනය වී ඇතිවූ ජීවි විශේෂයක් (සිටසියා පරිණාමය ලිපි පෙලෙන් මේ ගැන මීට කලින් දීර්ඝ ලෙස විස්තර කර තිබෙනවා). මෝරුන් කියන්නෙ මත්ස්‍ය ආකාරයක්. මෝරුන්ගෙ ආදිතමයන් කිසිසේත්ම ගොඩබිමට අනුවර්තනය වූ අය නෙවෙයි. මෝරුන් ඇතිවන්නෙ මීට වසර මිලියන 450 පමණ පෙර ඕර්ඩෝවීසීයන් අවධියේදි.

ඔබට පේනවා එකිනෙකට හාත්පස වෙනස් පරිසරවල විසු අතිශයින්ම විෂම පූර්වජයන්ගෙන් මේ ජලජ විශේෂ පරිණාමය වී තිබුනත් ඔවුන් අවසානයේදි හැඩ ගැසී තිබෙන්නේ එකම පරිසර තත්වයකට (ජලයට). ඔවුන්ගෙ ආරම්භ කොතනක තිබුනත් සමාන පරිසර තත්වයන් යටතේදී ඔවුන්ගෙ ශරීරයන් ක්‍රමිකව අනුවර්තනය වෙලා තියෙනවා සමාන ලක්ෂණ දැරීමට. මේ සංසිද්ධියට තමයි කියන්නෙ සමාන්තර පරිණාමය කියලා. සමාන්තර පරිණාමය ගැන විවිධ පාරිසරික නිකේතන තුලින් ගත හැකි සිත්ගන්නාසුළු උදාහරණ රාශියක් තිබෙනවා. වෙලාව ලැබෙන විධියට ඉදිරියේදි ඒවා ඉදිරිපත් කරන්නම්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




රඟපෑම (The Artifice)


ස්කෝර්පියන් ෆ්ලයිස් (Scorpion flies) කියන කෘමී කාණ්ඩයට අයත් විශේෂයක් සිටිනවා හයිලොබැටිකස් ඇපිකැලිස් (Hylobittacus apicalis) විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන. මේ කෘමීන්ගෙ ප්‍රජනන ක්‍රියාවලිය ඇරඹෙන්නෙ පිරිමි මැස්සා විසින් ගෙන එන ගොදුරක් ගැහැණු මැස්සාට පිරිනැමීමෙන්. නමුත් පිරිමි මැස්සන්ට දඩයම් කිරීම් කියන්නෙ අසීරු කර්තව්‍යයක්. ගොදුරක් ගෙනාව පලියට ගැහැණු මැස්සා කැමති වෙන්නෙත් නෑ.

පිරිමි මැස්සන් හැමෝටම වගේ හොඳ දඩයම් හැකියාවකුත් නැහැ. මේ තත්වය තුල ඇපිකලිස් ඇතැම් පිරිමි මැස්සන් ක්‍රමයක් හොයාගෙන තියෙනවා මේ නොහැකියාව මඟහරින්න. ඒ තමයි ගැහැණු මැස්සෙකු ලෙස රඟපෑම. ඇතැම් පිරිමි මැස්සන් දඩයමක් ගෙන ආ පසු ගැහැණු සත්වයින්ට කරන ආරාධනයෙදි මේ පිරිමි සත්වයන් කරන්නෙ ගැහැණු සතුන් මෙන් රඟපා දඩයම ගෙන ආ පිරිමි සත්වයාට ලන් වීම. දඩයම රැගෙන ආ මැස්සාත් ගැහැණු සතෙකුයැයි රැවටී දඩයම ප්‍රධානය කරනවා අනෙක් පිරිමි සතාට. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න රඟපාන පිරිමි සත්වයා කරන්නෙ ගොදුරත් රැගෙන පලා ගොස් ගැහැණු සත්වයෙක්ට ප්‍රධානය කර ලිංගිකව එකතු වීම.


හයිලොබැටිකස් ඇපිකැලිස්

සත්ව ලෝකය කියන්නෙ අපුරු තැනක්. තණකොල ගහක අගිස්සෙ ජීවත්වන නොගිනිය හැකි තරම් කුඩා සත්වයෙකුගෙ පවා චර්යා රටා තුල මේ අපූර්වත්ව ගැබ් වී තිබෙනවා. අවශ්‍ය වන්නෙ නිරීක්ෂණය කිරීමට තරම් ඉවසීමත් දෑස් විවිර කර නැරඹීමත් පමණයි.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




සාබී රණශූරයන් (Warriors of Sabi Sand) - Last Part



ඉතිහාසඥ ඒරියල් ඩුරාන්ට් වරක් ප්‍රකාශ කරනවා ශිෂ්ඨාචාරයක් අභ්‍යන්තරයෙන් විනාශ කරගන්නා තෙක් එය දික්විජය කිරීම අපහසු බව..

මජින්ගලානීස් කෝලිශනයේ ප්‍රහාරයෙන් සිය සොහොයුරාත් භූමියත් අහිමිව දැඩි ලෙස තුවාල ලැබු ටී බටහිර මපෝගෝස් කෝලිශනය වෙත පසුබසින විට සිංහ සමාජ ක්‍රමය තුල නොනවතින චක්‍රය නැවත ක්‍රියාත්මක වෙනවා. මජින්ගලානීස් කෝලිශනය විසින් තමන්ගෙ පාලනයට නතුකරගන්න පලමු ප්‍රයිඩය වන්නෙ මපෝගෝස් කෝලිශනය යටතේ පැවති ට්සාලාලා ප්‍රයිඩය. ඒ වන විට ට්සාලාලා ප්‍රයිඩයේ පැටවුන් තරුණ වයස අභියස සිටින්නේ. පැටවුන් 8 දෙනාගෙන් පිරිමි පැටවුන් 4 ඝාතනයට ලක්වෙනවා.

බටහිර දෙසට පසුබසින ටී, මකූළු විසින් නැවත බාර ගැනීම අවිනිශ්චිතයි. ඒ වන විට බටහිර කෝලිශනය යටතේ තිබු ප්‍රයිඩවල පැටවුන් කුඩා වයසේ පසු වූවන්. පිටස්තර සිංහයෙකුගෙ පැමිණීම ඒ පැටවුන්ට තර්ජනයක්. ටී ගෙ පැමිණීම අනෙක් සොහොයුරන් තිදෙනා එතරම් තැකීමක් නොකරන අතර මකූළුගෙ විරෝධයට හේතුවක් බවට පත්වනවා. නමුත් අවස්ථානුකූලව ටීව නැවත බාරගැනීමට මකූළුට සිදුවෙනවා.

ටික දිනකින් නැවත යථා තත්වයට පත්වීමට හැකිවන ටී සිය සුපුරුදු ක්‍රියාකාරකම් නැවත සිදුකරනවා. ටී සතු පෞරුෂය තුල බැඳී තිබෙන්නෙ නොසැඟවිය හැකි බල ලෝභය. නොබෝ දිනක් ගතවන්නට මත්තෙන් ටී විසින් බටහිර මපෝගෝස් භුමිය තුල විසූ ප්‍රයිඩයන් සතු පැටවුන් ඝාතනය කිරීම අරඹනවා. ටී ට අවශ්‍ය වන්නෙ ඇල්ෆා තත්වය. මේ හේතුවෙන් ස්ථාවරව තිබු බටහිර කෝලිශනය නැවත දෙදරා යනවා.

බටහිර කෝලිශනය තුල ගැටුම් උත්සන්න වන විට ඩාර්ක් මේන්, ස්කාර්-නෝස්, හිප්-ස්කාර් සහ ගෝල්ඩන් මේන්ගේ මජින්ගලානීස් කෝලිශනය නැගෙනහිර තම දේශ සීමා ව්‍යප්ත කිරීම අරඹනවා. මන්යෙලාටි රක්ශිතයේ සිට කිසිඳු භූමි උරුමයක් නොමැතිව පැමිණි මජින්ගලානීස්වරු තමන්ගෙ අවධානය මෙවර යොමු කරන්නෙ මන්යෙලාටි නදියෙන් බටහිරට පිහිටන මපෝගෝස් බටහිර භූමි වෙතටයි.

මපෝගෝස් ගැටුම් අතර ඩ්‍රෙඩ්ලොක්ස් සහ ප්‍රිටි බෝයි අතුරුදහන් වීම් සිදුවෙනවා. පර්යේෂකයන්ට අනුව ඔවුන්ගෙ අතුරුදහන් වීම් වලට හේතුව මජින්ගලානීස් පහරදීම් බවටයි සැක කෙරෙන්නේ. සාබී රක්ශිතය තුල නැවත කිසි දිනක ඔවුන් දැකගන්නට ලැබෙන්නේ නෑ. මපෝගෝස් කෝලිශනයේ හැඩකාරයා වු ප්‍රිටි බෝයි ඩ්‍රෙඩ්ගෙ අතුරුදහන් වීමත් සමඟම මපෝගෝස් කෝලිශනය සිංහයන් තුනකට සීමා වෙනවා. දැන් ඉතිරිව ඇත්තෙ මකූළු , ටී, සහ ස්කාර් පමණයි.

වර්ශය 2012.. මේ වන විට මපෝගෝස් කෝලිශනයේ ටීට වයස 10, ස්කාර් 12, මකූළු 14 යි. සිංහයන්ගෙ ජීවන රටාව අනුව සලකා බැලු විට වනගත සිංහයෙකුගෙ උපරිම ආයු අපේක්ෂාව වසර 10 -12 පමණ. ඒ අනුව සලකා බැලූ විට මපෝගෝස් සහෝදරයන් මේ ගත කරන්නෙ මහළු විය අභියස. තරුණ ශක්තිමත් කෝලිශනයක පහර දීමක් මැඩ පැවැත්වීමට ඔවුන්ට හැකියාවත් තිබේද යන්නට විශාල ගැටලුවක්. 

මේ අතර දකුණු සාබි ප්‍රදේශයෙන් නව කෝලිශනයක් මපෝගෝ භූමියට ඇතුල් වෙනවා. නමුත් මේ වන විට භූමි අයිතිය මපෝගෝස්වරුන්ගෙන් ගිලිහී අවසන්. නව අයිතිකරුවන් වන්නෙ මජින්ගලානීස් කෝලිශනය. ඇතුල් වන නව කෝලිශනය සිංහයන් හතරකින් සමන්විත කෝලිශනයක්. 'සෙලාටි' නමින් හඳුන්වන මේ කෝලිශනයේ මුල් සටන් මජින්ගලානීස්වරුන් සමඟ ඇවිලී ගියත් සෙලාටීන් ක්‍රමයෙන් බටහිරට තල්ලු වීම නිසා ඔවුන්ගෙ නව ඉලක්කය වන්නෙ අවසාන මපෝගෝස්වරුන් තිදෙනා. 

සෙලාටි කෝලිශනය මපෝගෝස්වරුන් යන එන මන් ගැන නිසි අවධානය යොමුකර එක්වරම ටී ව කොටුකරගැනීමට සමත් වෙනවා. 4:1 අනුපාතයට තදබල ලෙස අවාසිදායක තත්වයක් යටතේ නිර්භීත ලෙස සටන් වදින ටී සතුරන් සතරදෙනෙකු අතර හැකි උපරිමයෙන් සටන් වදිනවා. දරුණු තුවාල සමඟින් සටන් වදින මේ අසමසම මෘගයාගෙ අවසන් පැය කිහිපය පිට කොන්දට සිදුවෙන හානි හේතුවෙන් පසුපස ගාත්‍රා දෙක ඔසවා ගැනීමට නොහැකිව සිටින විටත් ඉදිරිපස ගාත්‍රා වලින් නැගිට සෙලාටින්ට දැඩි සටනක් ලබා දෙනවා. ඒ ටීගෙ අවසානයයි. මපෝගෝස් සන්ධානය තුලින් සාබී රක්ශිතය දෙවනත් කල රුදුරුම සාමාජිකයා සිංහයෙකු ලෙස ජීවිත්ව වචනයේ පරිසමාප්තියෙන්ම සිංහයෙකු ලෙස මිය යනවා.

ටීගෙ අවසානයත් සමඟ සෙලාටින් සහ මජින්ගලානීස් වරුන්ගෙන් ගැලවීමක් නොමැති බව වටහාගත් මකූළු සහ ස්කාර් පසුබසිනවා. සාබි සෑන්ඩ් රක්ශිතය තුල විශාලතම ආධිපත්‍ය පිහිටුවාගත් සන්ධානයේ අවසන් බලකොටුව වන බටහිර සාබියේ බලය ඔවුන් අතින් ගිලිහෙන්නෙ එලෙසින්. මකූළු සහ ස්කාර් නැවතත් වසර ගනනකට පසු භූමි හිමිකමක් නොමැති පිටුවහලුන්.

මකූළු සහ ස්කාර් ගැටුම් මඟහැර යමින් සාබි නැගෙනහිර පෙදෙසට ගමන් කරනවා. වරින් වර අතුරුදහන් වන මේ සොහොයුරන් ගැන විවිධ වාර්තා තැනින් තැන නිරීක්ෂණය වනවා. සාබියෙන් එපිට කෘගර්හීදි මකූළු, කෘගර් නිවුන්නු ලෙස හඳුන්වන සිංහයන් දෙපලක් අතින් ඝාතනය වු බව සඳහන් වෙනවා. නමුත් නැවතත් මරණයෙන් උත්ථාන වු මකූළු සිය සොහොයුරා සමඟ කෘගර් රක්ශිතයේ පෝල් කෲගර් ප්‍රධාන දොරටුව තුලින් ඇතුලුවන ඡායාරූප සත්වලෝලීන් සහ මපෝගෝස් රසිකයන් අමන්දානන්දයට පත්කල ප්‍රවෘත්තියක් බවට පත්වුනා.

2013 වසර වන විට නැවත අතුරුදන් වන මොවුන්⁣ නැවත වරක් මිනිස් ඇස ගැටෙන විට ඉතිරිව සිටින්නේ මහළු රණකාමියා පමණයි... සාබි වනය දෙවනත් කල සිංහ හවුලේ වඩිමලා මෙන්ම අසමසම නායකයා වූ මකූළු මපෝගෝස් කෝලිශනයේ අවසන් සාමාජිකයා බවට පත්වීමත් දෛවෝපගතයි. කෘගර් මහා වනය තුල සිය සැඳැසමය ගතකරන මේ මහළු රණකාමියා වනගත සිංහයන්ගෙ පරම ආයු අපේක්ෂාවද අභිබවා ආයු විඳ සදහටම නික්ම යනවා.

මහළු රණකාමීයා මකූළු

සිංහයන්ගෙ පමණක් නොව සමස්ථ සත්ව ලෝකය තුලම පවතින්නේ නිරන්තර අරගලයක්. ආහාර, ලිංගිකත්වය, භූමි අයිතිය, සමාජයේ හිමි ස්ථානය සඳහා මේ අරගල අඛණ්ඩව දිගහැරෙනවා. මේ දිගහැරුම තුලින් එලඹෙන අභියෝග ජයග්‍රහණය කරන්නා තමයි ඉදිරි පරම්පරා ඇති කිරීම සඳහා සුදුස්සන් බවට පත්වන්නේ. එවන් කඩයිම් තුලින් ඇතිවන ස්වාභාවික වරණ ක්‍රියාවලිය තුල යම් විශේෂයක දිගුකාලීන පැවැත්ම තහවුරු වීම සිදුවෙනවා. මඳකට සිතන්න වසර දස දහස් ගනනක් මිලියන ගනනක් මෙලෙස අභියෝග තුලින් වරණයට ලක්වන විශේෂයක පරිණාමික සැකැස්ම නිර්මාණය වෙන ආකාරය. ඔවුන් ඔවුන්ගෙ පාරිසරික නිකේතනය සඳහා විශේෂඥයන් බවට පත්වනවා. 

සාබී, කෘගර්, මන්යෙලාටි තුරුගොමු තුල නැවත වේදිකාව විවෘත වන්නෙ දත් නිය සහ කේශර ගැටෙන ප්‍රචණ්ඩත්වයට. මජින්ගලානීස් , සෙලාටි, ශිමුන්ග්වෙ, ස්පාර්ටා, ට්සාලාලා කෝලිශනයන් සහ ප්‍රයිඩයන් වසර මිලියන ගනනක අඛණ්ඩ ලේ උරුමය ඉදිරයටත් ගෙන යමින් සිංහ වර්ගයාගේ පැවැත්ම තහවුරු කරනු ඇත. නමුත් පුරාවෘත්ත බිහිවන්නේ සාමාන්‍ය ක්‍රමය තුල විදහා දක්වන අසාමාන්‍ය ලක්ෂණ තුලිනි. මපෝගෝස්වරු යනු සැබෑ ලෝකය තුල බිහිවු එවැනි පුරාවෘත්තයකි....


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


නිමි෴



ප.ලි - වෙන තැනක කාලෙකට කලින් ලිව්ව මේ ලිපි පෙලත් පේජ් එකේ දාන්න ඕන කියලා තීරණය කරේ ඔබ සිංහයන් ගැන දන්නා කරුණු වලට වඩා යමක් ලබා ගනී කියන අරමුණෙන්. රසවින්දනයත් සමඟ සත්ව චර්යා සහ පරිණාමය ගැන ගතයුතු කරුණු ඔබට ලැබුණානනම් මෙහි අරමුණ සාර්ථකකයි.




#DOE
#Don




සාබී රණශූරයන් (Warriors of Sabi Sand) - Part 7



සිංහයන් පිළිබඳව අධ්‍යනය කරන්නන් එතෙක් නොඇසු විරූ සිද්ධියක් තමයි කෝලිශන් එකක තනි පාලනයක් යටතේ තිබුන භූමියක් ඒ කෝලිශනයම දෙකඩ වී බෙදා වෙන්කර පාලනය කිරීම. විද්‍යාත්මකව මේ ගැන පලමුවරට නිරීක්ෂණය වන්නෙ මපෝගෝස් බටහිර සහ නැගෙනහිර කෝලිශන් වලින්.

ටී සහ කින්කි නැගෙනහිර භූමියට ගමන් කිරීමත් සමඟ නැගෙනහිරින් පිහිටි කෘගර් රක්ශිතයෙන් විවිධ අවස්ථාවන්වල පැමිණෙන සිංහයන් පරාජය කිරීම ටී සහ කින්කි විසින් සිදුකරනු ලබනවා. මේ දෙසොහොයුරන් විශාල භූමි ප්‍රමාණයක් ආරක්ෂා කරන්නෙ ඉතාමත් නිර්භීත අයුරින්. ඔවුන් පරාජය කුමක්ද යන්නට තවමත් නිසියාකාරව හඳුනාගෙන නෑ. පෙර කොටසක සඳහන් කරා මේ වනයන් තුල පැවැත්ම රඳා පැවතීමට බලපාන එක් සාධකයක් වන්නෙ අත්දැකීම් බව. කින්කි සහ ටී සටන් අත්දැකීම් වලින් පරිපුර්ණයි. නමුත් පරාජය නොහැඳිනීම ඔවුන් සතුවු එක් අවාසිදායක තත්වයක්. සිංහයන්ගෙ නිර්භීත බවට වූවද සීමා මායිම් තිබෙනවා, නමුත් මොවුන් දෙපලට එලෙස සීමාවන් නැහැ. 

වරින් වර පැමිණෙන අභියෝග කින්කි සහ ටී මැඩපවත්වන අතරේ බටහිර මපෝගෝස් සන්ධානය එතරම් කරදරයකින් තොරව බටහිර ප්‍රදේශය පාලනය කරනු ලබනවා. මේ වන විට මකුළු යටතේ වූ ප්‍රයිඩයන් කිහිපයකම පැටවුන් බිහිවී තිබෙනු නිරීක්ෂණය වෙනවා. සිය සිමා ලකුණු කරමින් අඩවිය තහවුරු කරගැනීමේ කාර්යභාරය සඳහා සතියක් දෙකක් පමණ රැහෙන් අතුරුදහන් වන මකූළු නැවත පැමිණ ප්‍රයිඩය සමඟ කාලය ගත කරනු ලබනවා.

මෙලෙස කාලය ගතවන අතරතුර කෘගර්හි තවත් බලවත් කෝලිශනයක් බිහිවෙනවා. සිංහයන් පහකින් සමන්විත මේ කෝලිශනය හඳුන්වන්නේ 'මජින්ගලානීස්' කෝලිශනය ලෙස. කෘගර් වලින් පිටමන් වන මේ කෝලිශනය 2009 වර්ශයේදි සාබි රක්ශිතයට උතුරින් වූ මන්යෙලාටි රක්ශිතය දෙසින් ටී සහ කින්කි පාලනය කරන නැගෙනහිර මපෝගෝස් භූමිය තුලට ඇතුල් වෙනවා. රාත්‍රියේ අන්ධකාරයත් සමඟ සාබි තුලට නිහඬවම ඇතුලු වන මේ කෝලිශනය ටී සහ කින්කි වෙත අභියෝගය එල්ල කරන්නෙ ඉන් මාස කිහිපයකට පසුව. 2:5 අනුපාතය යනු සිංහයන් පසුබසින අනුපාතයක්. නමුත් ටී සහ කින්කි යනු පරාජය නොහඳුනන අතිශයින්ම නිර්භීත සිංහයන් දෙදෙනෙක්. ටී සහ කින්කි හවුල මජින්ගලානීස් කෝලිශනය වික්ෂිප්ත කරමින් වෙන් කරගන්නා මජින්ගලානීස් සාමාජිකයෙකු ඝාතනය කිරීමට සමත් වෙනවා. දරුණු සටනකින් අහවර වන මෙය කින්කි සහ ටීගෙ ජයග්‍රහණයෙන් අහවර වුනත් ඔවුන් දෙදෙනාටම දැඩි ලෙස තුවාල සිදුවෙනවා.

කින්කි සහ ටී විසින් මජින්ගලානීස් සාමාජිකයාට පහර දීම

මජින්ගලානීස් කෝලිශනය ඉතුරු සාමාජිකයන් වන ඩාර්ක් මේන්, ස්කාර්-නෝස්, හිප්-ස්කාර් සහ ගෝල්ඩන් මේන් තමන්ට වුන ප්‍රහාරයෙන් පසු දින නැවත ප්‍රතිසංවිධානය වී කින්කි කොටු කර ගැනීමට සමත් වෙනවා. කින්කි සහ ටී සැමවිටම එකට සිටියත් මජින්ගලානීස් කෝලිශනයට නැවත කින්කිව හමුවන විට ඔහු සිටින්නේ තනිවම. මජින්ගලානීස් ප්‍රහාරයට තනිවම මුහුණ දෙන කින්කිගෙ සහයට ටී පැමිණෙන විට කින්කි අතිශයින්ම බරපතල තත්වයක සිටින්නේ. දැඩි ලෙස තුවාල සිදුවු මේ මෘගයාගෙ සිරුර මත මජින්ගලානීස් සිංහයන් සතර දෙනා තැනින් තැන සපා කෑමට ලක්කරනවා. ටී පැමිණ සොහොයුරාව ගලවා ගැනීමට උත්සහ දැරුවත් එවිට ප්‍රමාදවී වැඩියි. අසාර්ථක උත්සහයක නියැලෙන ටී පසුබසින අතර මජින්ගලානීස් කෝලිශනය කින්කිව ඝාතනය කරනු ලබනවා. මේ අවස්ථාව වන විට වන රක්ශකයන්, සත්වවේදින් මේ අසල සිටියත් ස්වාභාවික ක්‍රියාවලියට ඔවුන් බලපෑම් කරන්නෙ නෑ. වීඩියෝගත වන රූප රාමු කිහිපයකම කින්කිගෙ කොඳුඇට පෙල බිඳෙන ශබ්දය පැහැදිලිව ඇසෙන්නේ සිංහයන්ගෙ සමාජ ක්‍රමය තුල බිහිසුණු බව යලිත් සනාථ කරමින්. රාත්‍රීය උදාවී නැවත හිරු නැගෙන විට මපෝගෝස් කෝලිශනයේ එක් මහේශාක්‍ය මෘගයෙකු සිය අවසන් හුස්ම පිටකර හමාරයි. අප්‍රිකානු දඩබිම් තුල දිරාපත් වීමට කිසිත් ඉතිරි නොකරමින් කුණප බුදින්නන් සහ වෙනත් සතුන් කින්කිගෙ ඡායාවක්වත් ඉතිරි නොවන ලෙස ස්වාභාවික චක්‍රයට මුදා හැර අවසන්.

කින්කි
කින්කිගෙ අවසන් ඡායාරුපයක්

සිය සොහොහුරාගේ වියෝවත්, දරුණු ලෙස පාදයට සිදුව තිබෙන හානියත් අනුව ටීට තවදුරටත් සටන් කිරීමට නොහැකි බව තහවුරුයි. ඔහුට තිබෙන්නේ තාර්කික විකල්ප දෙකයි. අහිකුණ්ඨික දිවියක් ගත කරමින් වනයට පසු බැසීම හෝ සිය සහෝදරයන් සිටින බටහිර කෝලිශනයට නැවත ගමන් කිරීම. මකූළුට තර්ජනයක් එල්ල කරමින් පිටමන්ව ගිය ඔහුව බටහිර කෝලිශනය විසින් නැවත බාර ගනීද යන්නට ගැටලුවක්. ටී තෝරාගන්නේ දෙවන විකල්පය. එනම් සිය සහෝදරයන් සිටින බටහිර කෝලිශනයට පසුබැසීම...


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE
#Don




සාබී රණශූරයන් (Warriors of Sabi Sand) - Part 6



ජෛව ලෝකය තුල ශක්තිවන්තයන් තේරීමේ යාන්ත්‍රණය අනුකම්පා විරහිත ලෙස ක්‍රියාත්මක වන විට සහකම්පන හැකියාවෙන් යුත් හෝමෝ සේපියානුවන්ට එදෙස බලා සිටීමට සිදුවන්නෙ තැතිගැන්මෙන්. පරිණාමික ක්‍රියාවලිය තුල නිරන්තර අරගල මගින් ජයග්‍රහකයා ලෙස ඉස්මතු වන්නන් සිය ජාන කිටුව ඉදිරි වර්ගයාට දායාද කරන විට පරාජිතයන් සංදර්භය තුලින් නශ්ඨව යෑම හෝ ඉන් පසු බැසීම ස්වභාවධර්මය තුල පිලිගත් නියාම ධර්මයයි.

මකූළුගෙ නායකත්වයෙන් යුත් සිංහ හවුල සිය වර්ගයාගෙ පොදු හැසිරීම් අභිබවා යමින් අසමසම රාජධානියක් නිර්මාණය කිරීමට සමත්වනවා. කෝලිශනය තුල එකිනෙකට නොදෙවෙනි ලෙස ක්‍රියාත්මක වූ සහෝදරයන් සය දෙනා සිංහ සමාජ ක්‍රමය තුල තමන්ට හිමි ස්ථානය අවබෝධ කරගත යුතුයි. එසේත් නැතිනම් තමන්ට අවශ්‍ය යැයි හැඟෙන ස්ථානය ලබා ගැනීමට සටන් වැදිය යුතුයි. මේ මහේශාක්‍ය මෘගයන්ගෙ සිතීම සහ පැවැත්ම සැකසී තිබෙන්නේ ඒ අනුව ක්‍රියා කිරීමටයි. 

ටී යනු කෝලිශනය තුල අතිශයින්ම රෞද්‍ර ගති පැවතුම් ප්‍රචලිත කල දඩබ්බර සාමාජිකයා. හෝර්මෝන ක්‍රියාකාරීත්වයත් අසාමාන්‍ය නිර්භීත බවකිනුත් හෙබි ටී එළඹෙන මීලඟ තාර්කික පියවර වන්නෙ මකූළුට අභියෝග කිරීම. ටීගෙ සෙවනැල්ල බඳු නිවුන් සොහොයුරු කින්කි මේ බල අරගලයෙදි මකූළුගෙ ඇල්ෆා තත්වය නොසලකා තමන් සමඟ වසර ගනනක් එකට යුධ වැදුන ටී ගේ උපකාරයට පැමිණෙනවා. කෝලිශනය තුල වයසින් ලාබාලම ටී සහ කින්කි දැවැන්ත මකූළු සමඟ සටනට එළඹෙන අතර ඉතිරි මපෝගෝස්වරු මකූළුගෙ නායකත්වය පිලිගනිමින් මකූළුගෙ පාර්ශවයට එක් වෙනවා.

මිස්ටර් ටී


හතරට දෙක අනුපාතයට කෝලිශනය දෙදරා යන අතර නිර්භීත ටී සහ කින්කි තමන්ගෙ වැඩිමහල් සොහොයුරන් සමඟ යුධ වැදීමට ගනු ලබන තීරණය ඔවුන් කුඩා කල දැක්වු නිර්භීතකම නැවත තහවුරු කරන්නක්.

ස්පාර්ටා ප්‍රයිඩය තුල දෙමසක් පමණ වයසින් වූ ටී සහ කින්කි වැඩුනු වෙස්ට් ස්ට්‍රීට් පිරිමි සතුන්ගේ ආහාරය මැදට පැන ඒවා උදුරාගත් සැටි නිරීක්ෂකයන් සටහන් කරනවා. වැඩුනු පිරිමි සිංහයෙකුගෙ ගොදුර වෙත ලඟාවීම දෙමසක් වයස පැටවුන් කිසිසේත් සිදු නොකරන ක්‍රියාවක්. ඒ ඔවුන්ගෙ ජීවිතය අනතුරේ හෙලන්නක්. ටී සහ කින්කි එකල මේ සිදුකල ක්‍රියාවන්ම ඔවුන්ගෙ වර්ධනයට අනුලෝමව පෞරුෂය තුලින් ප්‍රසාරණය වී ඇති අයුරු ගෙනහැර පාන්නෙ විශාල මකූළු සහ අනෙක් සොහොයුරන් තිදෙනාට එරෙහිව ඔවුන් දෙපල සංධානගත වී ඇති අයුරින්.

එකිනෙකාට නොදෙවෙනි කාය ශක්තියකින් යුත් මකූළු කෝලිශනය හා සටනින් ටී සහ කින්කි පරාජයට පත්වනවා. එතැන් පටන් මපෝගෝස් කෝලිශනය දෙකඩ වී නැගෙනහිරට පසුබසින ටී සහ කින්කි මපෝගෝස් නැගෙනහිර කෝලිශනය පිහිටුවා ගන්නා අතර බටහිර තමන් උපන් බිම් සහ අවට කලාපයන් තුල අණසක පතුරවමින් මපෝගෝස් බටහිර කෝලිශනය මකූළු සමඟින් අනෙක් සොහොයුරන් පාලනය කරනු ලබනවා.

මේ දේශපාලනික සිතියම ඉතාමත් වැදගත් කඩයිමක්. මන්යෙලාටි නදියෙන් බටහිර කලාපය මපෝගෝස් බටහිර කෝලිශනය පාලනය කල විට මන්යෙලාටි අතු ශාඛාවෙන් නැගෙනහිර පාලනය කරන්නෙ ටී සහ කින්කිගෙන් යුත් මපෝගෝස් නැගෙනහිර කෝලිශනය. නැගෙනහිර කෝලිශනයේ නැගෙනහිර සීමාව නිමවන්නෙ සාබී සෑන්ඩ් රක්ශිතයේ නැගෙනහිර මායිමෙන්. මේ නැගෙනහිර මායිමෙන් එපිටට පිහිටන්නේ මහා කෘගර් රක්ශිතයයි. මහා කෘගර් රක්ශිතයේ සිට තමයි මපෝගෝස් කෝලිශනය සමාජිකයන් හයකින් යුක්ත වූ සමය තුල පැමිණෙන සතුරු උවදුරු වලට මූලය. කෘගර් සිට සංක්‍රමණය වන සිංහ කෝලිශනයන් මැඩපැවැත්වීමට මුල් මපෝගෝස් සන්ධානයට හැකියාව ලැබුනත් බෙදී වෙන්වී ඇති මපෝගෝස් සන්ධානයේ ටී සහ කින්කි දෙසොහොයුරන් මේ අවදානමට දැන් සෘජුව සහ තනිව මුහුණ දීමට සිදුවනවා.

සාබී සිතියම


අනෙක් පසින් මකූළුගෙ සන්ධානය ඊට වඩා සාපේක්ෂව ආරක්ෂාකාරී තත්වයක් උසුලනවා. ප්‍රථමයෙන්ම ඔවුන් තවමත් සිංහයන් හතරකගෙන් සමන්විත කෝලිශනයක්. දෙවනුව බටහිරට වන්නට පිහිටි කෘගර් දෙසින් පැමිණෙන සතුරන් නැගෙනහිරට ලඟාවීමට මත්තෙන් ටී සහ කින්කි පරාජය කර පැමිණය යුතුයි. එබැවින් මපෝගෝස් බටහිර සන්ධානය නැගෙනහිර සන්ධානයට ආරක්ෂාව සපයන ප්‍රේරණ කලාපයක් බවට පත්ව තිබෙනවා.

මන්යෙලාටි නදිය වසර දහස් ගනනක් පුරාවට සාබී වනපෙත තුලින් ගලා යමින් විවිධ ගැටුම් නරඹා ඇතිබවට සැකයක් නෑ.. නමුත් මපෝගෝස්වරුන් සම්ප්‍රාප්තියත් සමඟ වෙනදා නොදුටු බිහිසුණු සටන් සාබි වනපෙත තුලින් පැන නැගුනු සැටි ඈ දුටු බවනම් ප්‍රත්‍යක්ෂයි.

මපෝගෝස්වරු සිය අණසක පැතිරීම ඇරඹි සමයේ සිට මේ දක්වා ගතකල බිහිසුණු සමය මඳකට නවතාලමින් එළඹෙන වසර සාබි වන පෙත වසර කිහිපයකින් දුටු සාමකාමීම වසර බවට පත්වනවා. නමුත් මේ නිහඬබව පවතින අතරතුර මපෝගෝස්වරුන් නොදැන උතුරින් සහ නැගෙනහිර කෘගර් දෙසින් භයානක සතුරන් සංධානගත වීම ඇරඹෙනවා. 


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE
#Don






සාබී රණශූරයන් (Warriors of Sabi Sand) - Part 5



හෙක්ටෙයාර 70000 ක පමණ තමන්ගෙ අණසකට යටත් කරගන්න හැකිවු මපෝගෝස් කෝලිශනය තමන්ගෙ මවු ප්‍රයිඩය වූ ස්පාර්ටා ප්‍රයිඩය නැවත ලබාගනිද්දි එහි දේශපාලනය වෙනස්ව පවතින්නේ. වෙස්ට් ස්ට්‍රීට් කෝලිශනයේ ග්‍රහනයෙන් වෙනත් සිංහයන්ගෙ අණසකට යටත්ව තිබු ස්පාර්ටා ප්‍රයිඩයට අත්වන්නෙත් එතෙක් අනෙකුත් ප්‍රයිඩයන්ට මපෝගෝස් කෝලිශනය තුලින් අත්වු ඉරණමයි. 

මපෝගෝස් කෝලිශනය තමන් පිටුවහල් කල දින පටන් ක්‍රියාත්මක වන්නෙ වැඩිමහල් සහෝදරයා, එසේත් නැතිනම් අර්ධ සහෝදරයා වන මකූළුගෙ නායකත්වය යටතේ. මකූළුගෙ ප්‍රතාපවත් බව මපෝගෝස් කෝලිශනය තුල නායකත්ව සාධකය මෙහෙය වීමට ප්‍රමාණවත් වූවත් සිංහ දේශපාලනය තුල එය වැඩිකල් රඳා පවතින්නෙ නෑ. ඇල්ෆා තත්වය තහවුරු කරගැනීම යම් අවස්ථාවකදි අත්‍යවශ්‍යය සාධකයක්. කෝලිශනය උපරිම බලයට පැමිණෙන විට මකූළු ඇල්ෆා තත්වය සාධනය කරගන්නවා. මකූළුගෙ බලයට යම් අභියෝගයක් කුඩා දෙසොහොයුරන් වන් ටී සහ කින්කි තුලින් පැන නැගුනත් එය නිශේධනය කිරීමට මකූළු ඒ ඒ අවස්ථාවල සමත් වෙනවා.

මේ වෙද්දි තම අණසකට නතුවු ප්‍රයිඩයන් තුල ගැහැණු සත්වයන් මකූළුට දාව පැටවුන් බිහිකිරීම සිදුවෙනවා. කෝලිශනයේ ඇල්ෆා තමයි සුදුසුකම් ලබන්නේ ඉදිරි පරම්පරාවන්ට තමන්ගෙ ජාන සංසරණය කිරීමට. මකූළු අද්විතීය සිංහයෙකු බවට පත්වන්නේ කෝලිශනය තුල දැක්වු බල අරගල සහා ආක්‍රමණයන් තුල අතිශයින් රෞද්‍ර සහ අනුකම්පා විරහිත ලෙස හැසිරුනත් තමන්ගෙ ප්‍රයිඩවල පැටවුන්ට ඉතාමත් කාරුණික පියකු බවට පත්වීම. මකූළුගෙ ඉතිහාසය සලකා බැලුවම ස්පාර්ටා ප්‍රයිඩය තුලට ඔහු පිටස්තරයෙකු ලෙස පැමිණෙන විට ඔහුව ප්‍රයිඩය තුලට පිලිගත්තත් ඔහුට ප්‍රයිඩය තුල ලැබුනෙ දෙවනි පුරවැසියෙකුගෙ සැලකිලි. සිංහ කණ්ඩායමක පවතින සමාජ ක්‍රමය අනුව මකූළුට ස්පාර්ටා වෙස්ට් ස්ට්‍රීට් හවුල තුලදි කුඩාම පැටියෙකුට ලැබෙන සැලකිල්ලටත් වඩා අඩු තත්වයක් ලැබුනෙ. ආහාර ගැනීමේදි දඩයමේ අවසන් ඵල තමයි මකුළුගෙ කොටස. එමෙන්ම අනෙකුත් පිරිමි සිංහයන්ගෙ පහරදීම් වලින් අඩුවක් තිබුනෙත් නෑ. කුඩා පැටවුන් වැඩුනු පිරිමි සිංහයෙකුට ගරු සරුව සිටීමට සාමාන්‍යයෙන් වගබලාගත්තත් මකූළුගෙ පිට උඩ නැගීමටත් , සෙල්ලම් කිරීමටත් ස්පාර්ටා පැටවුන් ක්‍රියාකල විට මකුළු තමන්ගෙ තත්වය දත් නිසාදෝ ඒ සියල්ල ඉවසා සිටි සිංහයෙක්. ඒ කෙසේ වෙතත් කුඩා මපෝගෝ සහෝදරයන් පස් දෙනා මකුළුගෙ ප්‍රියතමයන්. පිටුවහල් කිරීමේදි සංධානගත වීමට මකුළු සහ සහෝදරයන් පස් දෙනාට හැකිවන්නේ ඒ නිසයි. මකූළු තමන් අයිති කණ්ඩායමෙන් කුඩා කලදිම පිටමං වන්නට ඇත්තේත් මවු ප්‍රයිඩයට බාහිරින් ආ ප්‍රහාරයක් විය හැකි බව උපකල්පන පවතිනවා. ඒ අනුව සලකා බැලු විට මකූළු යනු සිංහ සමාජය තුල පහතම රෑන්ක් එකේ සිට එතෙක් මෙතෙක් බිහිවු බලවත්ම කෝලිශනයේ ඉහලට පැමිණි සිංහයෙක්. මේ අත්දැකීම් සියල්ලගේම එකතුවක් ලෙස මකූළු ඇල්ෆා බවටත්, ඉන්පසු පිය පදවියේ කාර්යභාරයන් මනාව වටහා ගැනීමත් සිදුකල බව නිරීක්ෂකයන් පවසනවා.

මේ සිදුවීම් මෙසේ වනවිට කෝලිශනයේ දඩබ්බරයන් දෙදෙනා වන ටී සහ කිංකි දිගින් දිගටම ඇල්ෆාට තර්ජනයක් බවට පත්වනවා. විටින් විට ඉහල යන ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිශතයත්, නෛසර්ගික ප්‍රචණ්ඩත්වයත්, අසාමාන්‍ය රෞද්‍ර බවත්, ඊටත් අසාමාන්‍ය නිර්භීත බවකිනුත් හෙබි ටී සහ කින්කි මේ අභියෝගය එල්ල කරන්නෙ මකුළු වෙත. ටී ගේ සෙවනැල්ල මෙන් වූ නිවුන් සොහොයුරු කිංකි කිසිදිනක ටී මඟහැර නොයන නිසා මේ දෙසොහොයුරන් ක්‍රියාත්මක වන්නෙ එක් යන්ත්‍රයක් ලෙස. සිංහ දේශපාලනය තුල බල අරගල අඛණ්ඩව පවතිනවා. හෙක්ටයාර 70000 ක භූමි උරුමය සඳහා මපෝගෝස් කෝලිශනය තුල බල අරගල ආරම්භ වන්නෙ එලෙසින්.

ටී සහ කින්කි

(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE
#Don






සාබී රණශූරයන් (Warriors of Sabi Sand) - Part 4



සාබි සෑන්ඩ්ස් රක්ශිතය තුල උතුරු පෙදෙසේ බලය තහවුරු කරගෙන සිටි උතුරු කෝලිශන් එක සුණුවිසුණු වීමත් සමඟම මපෝගෝස් සහෝදරයන් තමන්ගෙ පලමු බිම්කඩ තහවුරු කරගන්නවා. උතුරු කෝලිශන් එක යටතේ තිබුන ප්‍රයිඩ් එකේ සියලු පැටවුන් ඝාතනය කිරීමට මපෝගෝස්වරු වගබලා ගන්නවා. 

එතැන් පටන් ඇරඹෙන්නෙ සාබි සෑන්ඩ් රක්ශිතය තුල බිහිසුණුම කාලපරිච්ඡේදයයි. අසාමාන්‍ය රෞද්‍ර බවකින් හෙබි මපෝගෝස්වරු ක්‍රමයෙන් තමන්ට මුණගැසෙන සියළු සිංහයන් ඝාතනය කිරීම ඇරඹෙනවා. සාමාන්‍යයෙන් ප්‍රයිඩ් එහෙකට අයිතිවාසිකම් කියන පිරිමි සිංහයන් ඝාතනය කිරීම හෝ පලවා හැරීමෙන් පසු ප්‍රයිඩ් එකේ ගැහැණු සතුන්ට පහරදීම සිදු නොවන්නක්. මපෝගෝස්වරු මේ රීතිය බිඳ දමමින් සාබි සෑන්ඩ් රක්ශිතය තුල භීතිය පැතිරවීම ආරම්භ කරනවා.

කැස්ටල්ටන්, ට්සාලාලා, ශිමුන්වන්යානී ප්‍රයිඩ් තුන මපෝගෝස් ආධිපත්‍යට නතුවු ප්‍රයිඩ් කිහිපයක්. මේ ප්‍රයිඩ් වලට හිමිකම් කියු සියළු පිරිමි සිංහයන් ඝාතනය කරන මපෝගෝස්වරු සාමාජිකයන් 22 කින් සමන්විත වූ කැස්ටල්ටන් ප්‍රයිඩ් එක සාමාජිකයන් හයකටත්, සාමාජිකයන් දහයකින් සමන්විත වූ ට්සාලාලා ප්‍රයිඩය සාමාජිකයන් පහකටත්, සමාජිකයන් දයහකින් සමන්විත වූ ශිමුන්වන්යානී ප්‍රයිඩය සමූලඝාතනයටත් ලක්කරනවා. උතුරු කෝලිශන් එක පරාජය කර ඇරඹි සංහාරය සාබි බටහිරටත් , දකුණටත් දියත් කිරීමට මපෝගෝස්වරු සමත් වෙනවා.

සාබි රක්ශිතය තුල මේ සහෝදර සන්ධානය ඇතිකරන භීතිය කොපමණද යත් සාබි සෑන්ඩ් ජෛව විවිධත්වය වෙනස් කිරීමට එය සමත් වෙනවා. අප්‍රිකානු දඩබිම් තුල හිනි පෙත්තෙ සිටින දඩයම්කරුවන් ක්‍රමයෙන් දඩයම බවට පත්වන විට සාබි සිංහ ගහනය 40% කින් පහත දැමීමට මපෝගෝස් කෝලිශන් එක ක්‍රියාත්මක වෙනවා. මපෝගෝස්වරුනට අභියෝගයක් එල්ල කිරීමට කිසිඳු කෝලිශනයකට හැකියාවක් ලැබෙන්නේ නෑ. 2007 වර්ශයේදි සාබි සහ බටහිර කෘගර් සීමාවෙ ආධිපත්‍ය පතුරන ඇල්ෆා සිංහයා වන්නෙ රොකී. විශාල සිංහයෙකු වන රොකී වනසත්ව ලෝලීන්ගෙ ප්‍රියතමයෙක්. ට්සාලාලා ප්‍රයිඩයේ අයිතිකරු වන රොකී මපෝගෝස්වරුන් විසින් බිහිසුණු ලෙස ඝාතනය කරනවා පමණක් නොව සාමාන්‍යයෙන් සිංහයන් සිදු නොකරන වර්ගයා ආහාරයට නොගැනීමේ රීතිය පසෙකලා රොකීව ආහාරයට ගැනීමට මපෝගෝස්වරු කටයුතු කරනවා.

වාර්තා වන අන්දමට වසරක් තුල මපෝගෝස් සිංහ ගොදුරු ප්‍රමාණය 100 ඉක්මවු බව සඳහන්. න්කුහුමා ප්‍රයිඩයේ ඇල්ෆා වන බ්ලොන්ඩි , මපෝගෝස්වරුන්ගෙ තවත් මහේශාක්‍ය ගොදුරක්. පෙර සඳහන් කල ප්‍රයිඩයන්ට අමතරව ඔතාවා, සෑන්ඩ් රිවර් ප්‍රයිඩයන් මපෝගෝස් කෝලිශන් එක යටතට පත්වු තවත් ප්‍රයිඩයන්..

මපෝගෝස් කෝලිශනයේ ඇල්ෆා ලෙස කටයුතු කල මකූළු ඉතාමත් ප්‍රතාපවත් සිංහයෙකු බව පෙර සඳහන් කලා. වරක් මන්යෙලාටී නදිය අසබඩ මියගිය කුළු මීමකු වටකර හයිනා රැලවල් දෙකක් එය බුදින විට තනි ගර්ජනාවකින් හයිනාවන් සීසිකඩ යැවීමට මකුළු සමත් වු බව පැවසෙනවා. කුළුමීම් කුණ සහ මකූළු අතර රැඳී සිටි 25 දෙනෙකුගෙන් පමණ සමන්විත අප්‍රිකානු ඇතුන් සමුහයක් සිංහයා දෙසත්, සිංහයා ඔවුන් දෙසත් මුහුණට මුහුණ බලාසිටීමෙන් අනතුරුව අවසානයේදි ඇත් රංචුව සිංහයාට ඉඩදෙමින් ඉවත්ව ගිය බව වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් ජලය තුලදි කිඹුලකු යනු පරාජය කල නොහැකි සතුරෙක්. මන්යෙලාටි නදිය අසබඩ කිඹුලන් මේ කෝලිශනය පැමිණෙන විට ඉවත්වන බව සඳහන්. (මේ කාරණය අතිශයෝක්තී ගනයට දැමීමට නොහැක්කෙ සිංහ ගර්ජනාවකින් කිඹුලකු පසුබසින අවස්ථාවක් රූපරාමුවට නැගී ඇති බැවින්)

සාබි සෑන්ඩ් කොටසින් කොටස තම අණසකට නතු කරගන්නා මපෝගෝස්වරු බටහිර සීමාවේ සිට මහා කෘගර් වනෝද්‍යානය තෙක් සීමාව දක්වාත් මන්යෙලාටි නදියෙන් දකූණු සීමාවන් දක්වාත් තමන්ගෙ සීමාවන් ප්‍රසාරණය කිරීම සිදුකරනවා. සිංහයන් සතු සීමාවන් සාමාන්‍යයෙන් හෙක්ටෙයාර 20000 - 25000 අතර ප්‍රමාණයක මධ්‍යන අගයකින් සමන්විතයි. අතිශයින්ම අසාමාන්‍ය ලෙස මපෝගෝස් කෝලිශනය තමන්ගෙ ආධිපත්‍ය හෙක්ටෙයාර 70000 කට අධික සීමාවක් පුරා පැතිරවීමට සමත් වෙනවා..

මාපෝගෝ කෝලිශනය

(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE
#Don






සාබී රණශූරයන් (Warriors of Sabi Sand) - Part 3



ස්පාර්ටා ප්‍රයිඩ් එකෙන් පිටුවහල් කල මපෝගෝ සහෝදරයන් දැන් ගතකරන්නෙ අස්ථාවර සමයක්. අප්‍රිකානු තුරු ගොමු තුල රැහැ අහිමිවු සිංහයන්ට ඇති අනතුරු බොහෝමයි. එයින් ප්‍රධානතම අනතුර තමයි වෙනත් කෝලිශන් එහෙක ප්‍රහාරයකට ලක්වීම. තමන්ට කියා වාසභුමියක් නොමැති මේ සිංහයන් ගතකරන්නෙ අහිකුණ්ඨක ජීවිතයක්. එදා වේල සොයා ගැනීමට විවිධ අයිතිකරුවන් සතු දඩබිම් තුල රැඳී සිටීම පවා මරණය අභියසට යෑමක්. මපෝගෝස් සහෝදරයන්ගෙ තරුණ කෝලිශන් එක සිංහයන් හය දෙනෙකුගෙන් සමන්විත වුනාට වර්ගයා සමඟ සටන් වලට ඔවුන් තාමත් හුරු නැහැ එමෙන්ම ඒ සඳහා ඔවුන් තවමත් ශක්තිමත් නැහැ. වැඩුණු සිංහයන් දෙදෙනෙකුගෙ කෝලිශන් එහෙකට පවා මපෝගෝස්වරු දමනය කිරීම එතරම් අසීරු නොවන්නෙ වනයේ බොහෝ නියාමයන් ක්‍රියාත්මක වන්නෙ අත්දැකීම් තුල නිසා.

මේ කාලය අතරතුර ටී සහ කින්කි අනෙක් සහෝදරයන් අභිබවා ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කිරීම අරඹනවා. සෑම දඩයමකම ප්‍රධාන ප්‍රහාරකයන් දෙපල වන මේ දෙසොහොයුරන් සිංහයන් සය දෙනා අතරින් බාලයන් දෙදෙනා වුවත් ඔවුන්ගෙ ප්‍රචන්ඩත්වයට ලඟා වීමට අනෙක් සොහොයුරන් අසමත්. එතරම්ම දරුණු සිංහයන් බවට ටී සහ කින්කි පරිවර්තනය වීම ඇරඹෙනවා. (ප්‍රචණ්ඩත්වය සහ දරුණු බව හෝමෝ සේපියානුවන් ලෙස අපට සාපේක්ෂව අප නිමානය කරත් සිංහයන්ට සාපේක්ෂව එය ඉතාමත් හොඳ දෙයක්... ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් අසමසම වීම යනු ඔවුන් හොඳ සිංහයන් බවට පත්වීමයි). ටී සහ කින්කි එලෙස ප්‍රචණ්ඩ වන අතර වැඩිමහල් මපෝගෝවරයා වන මකුළු ඔවුන්ට හාත්පස වෙනස් චර්යා රටා පෙන්වනවා. මකුළු යනු විශාල සිංහයෙක් (සිංහයන්ගෙ පරිමාණයෙන් ගත්තත්) එ වගේම මකූළු කළු කේශර උරුමයක් ලද්දෙක්. කළු කේශර යනු සිංහන් තුල ටෙස්ටොස්ටෙරෝන් ප්‍රවණතාවන් පෙන්වන රූපීය සාධකයක් බව සත්වවේදීන් අතර පිලිගැනීමක් තිබෙනවා. එහි යාන්ත්‍රණය වන්නෙ ටෙස්ටොස්ටෙරෝන් වැඩියෙන් සතු සිංහයෙකු සටනකදි වාසි තත්වයක් ලබන බවයි. උදාහරණයකට රන්වන් කේශර සතු සිංහයකු සහ කළු කේශර සතු සිංහයෙකු අතර සටනක් පැවතියොත් ලියන්නා වුවද කැට තබන්නේ කළු කේශර ලද සිංහයාගෙ ජයග්‍රහණය මතයි. මකුළු විශාල සිංහයෙක් වූවත් ඉතාමත් විමසිලිමත් සිංහයෙක්. මපෝගෝස් කෝලිශන් එක තුල නිරායාසයෙන්ම මකුළුට මුල් තැන ලැබෙන්නේ මේ නිසා. ප්‍රමාණය, ශක්තිය, සිතීමේ හැකියාව සමඟ අනෙක් සිංහයන්ට නොමැති ආවේග මැඩපවත්වා ගැනීමේ හැකියාවක් මකුළු සතුව තිබුනා. කලකට ඉහතින් වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එක මකුළුව ස්පාර්ටා රැලට ඇතුල් කරගන්නට ඉඩදුන් අවස්ථාවෙත් මකුළු මේ සාමකාමී බව ප්‍රකට කල සිංහයෙක්.

ක්‍රමයෙන් මපෝගෝස් සහෝදරයන් සාමාන්‍ය සිංහ චර්යාවන් අභිබවා යෑම ඇරඹුනා. සිංහයන් දෛනික ආහාර වේලට ඇතුල් කරගැනීමට පසුබටවන කුළුමීමන් මපෝගෝස්වරුන්ගෙ ප්‍රධානම ආහාරය. ඊට අමතරව මාංශ පර්වත මෙන් වූ ජිරාෆයන් , බිහිසුණු හිපොපොටේමස් සතුන්, රයිනෝසිරස් සතුන්, අප්‍රිකානු අලි ක්‍රමයෙන් මපෝගෝස්වරුන්ගෙ දඩයම් බවට පත්වුනා. මේ දඩයම් රටාව සිංහයන්ට සාමාන්‍ය දඩයම් රටාවක් නොවෙයි. විශාල සතුන් එලෙස විශාල අනුවර්තන සමඟ පරිණාමය වී ඇත්තෙ විශාල විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට. නමුත් පරිණාමික සැකැස්ම තමන්ගෙ වාසියට පෙරලා ගැනීමට මපෝගෝස්වරු සමත්වනවා. අදටත් අප්‍රිකානු ට්‍රැකර්වරයෙකු හෝ වන නියාමකයෙකුගෙන් මපෝගෝස්වරු ගැන විමසු විට 'අසාමාන්‍ය' පදය ඔවුන් භාවිතා කරන්නෙ මේ නිසයි.

වර්ශය 2006... මපෝගෝස්වරු ඔවුන්ගෙ දඩබිම් අයිතිය සඳහා සටන් කිරීමට දැන් පරිණතයි. මකූළුගෙ නායකත්ව යටතේ ඔවුන් සාබී සෑන්ඩ් උතුරු දඩබිම් වෙත සිය ගමන අරඹනවා. සාබී උතුරු කෙලවර මන්යෙලාටී නදියේ අතු ශාඛාවකට ඔබ්බෙන් පිහිටන්නේ. මේ කොටස සින්ගිටා ලෙස හඳුන්වන්නේ. සින්ගිටා ඇතුළු සාබි උතුරු පෙදෙස මන්යෙලාටි නදියෙන් පෝෂවන සාරවත් ප්‍රදේශයක්. කුළුමීමුන්, ජිරාෆයන්, ඇන්ටිලෝපයන් ගහන මේ සාරවත් ප්‍රදේශයේ අණසක පතුරාවගෙන සිටියෙ සිංහයන් හතරකගෙන් යුතු උතුරු කෝලිශන් එක.

සාමාන්‍යයෙන් ආගන්තුක සිංහයන් වෙනත් කෝලිශන් එකකට අයත් ප්‍රදේශයකට පැමීණෙන විට නිහඬව පැමිණෙන මුත් මපෝගෝස්වරුන් උතුරු දෙසට කඩා වදින්නෙ ගර්ජනා කරමින්. මන්යෙලාටි නදියෙන් උතුරු පෙදෙස මපෝගෝස් ගර්ජනා වලින් දෙවනත් කරමින් උතුරු කෝලිශන් එකට පහර දෙන මපෝගෝස්වරු උතුරු කෝලිශන් එකේ පලමු සිංහයා මරා දැමීමත් සමඟ ඉතුරු සාමාජිකයන් තිදෙනා සිය දඩබිම් තුලින් පලා යනවා. එක් සාමාජිකයෙක් රහිතව සිංහයන් හයකින් සමන්විත තරුණ මපෝගෝස්වරුනට මුහුණ සීමට ඔවුන් අසමත්. මිය යන උතුරු කෝලිශන් එකේ සාමාජිකයාට දරුණු ප්‍රහාර එල්ල කිරීමට මිස්ට ටී, කින්කි ඇතුලු සාමාජිකයන් වගබලා ගන්නවා. මේ තමයි මපෝගෝස්වරුන් ජයගත් පලමු දඩබිම.

උතුරු කෝලිශන් සිංහයෙකුගෙ හිස දරුණු ලෙස සපා සිටින කින්කි ගෙ ඡායාරූපය ඉතාමත් ප්‍රසිද්ධ ඡායාරූපයක්. ටීගෙ සහෝදරයා කින්⁣කිගෙ බිහිසුණු බව කදිමට කියාපාන මේ ඡායාරූපය මපෝගෝස් ඉතිහාසයේ පලමු සිංහ ගොදුරයි...



(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE
#Don






සාබී රණශූරයන් (Warriors of Sabi Sand) - Part 2



සාබී රක්ශිතය තුල මපෝගෝස් සහෝදරයන් ස්පාර්ටා සහ වෙස්ට් ස්ට්‍රීට් මේල්ස් සිංහයන්ගෙ ආරක්ෂාව යටතේ ඉතාමත් නීරෝගිව වැඩෙනවා. බරැති දඩයම් තම කණ්ඩායමේ සාමාජිකයන් දඩයම් කරන ආකාරය ඔවුන් උද්යෝගයෙන් නරඹනවා. වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එකේ ඇල්ෆා එහෙම නැත්තන් නායකයා වෙන්නෙ 'බ්ලොන්ඩී' නැමැති සිංහයා. ඒ කියන්නෙ මපෝගෝස් සහෝදරයන් පස් දෙනාගෙ පියා වෙන්නෙ බ්ලොන්ඩි.

බ්ලොන්ඩි

මේ අතර මිස්ට ටී සහ කින්කි අතර සහෝදර බැඳීම තවත් පුළුල් වෙනවා. ටී ගෙ සෙවනැල්ල මෙන් නිතරම පසුපසින් සිටින කින්කි , ටීගෙ ක්‍රියාකාරකම් වලදි ඔහුගෙ දකුණත බවට පත්වෙනවා. (මේ හැසිරීම පසුකාලීන ක්‍රියාකාරකම් වලදි ප්‍රකට වෙන කාරණයක්) සරලවම කින්කි නොමැතිව ටී දකින්න ලැබෙන්නේ නෑ.

ස්පාර්ටා, වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එකේ දඩයම් ඉතාමත් බිහිසුණු තත්වයන්ට මඟ පාදනවා. පලවෙනි කොටසේ සඳහන් කරා මපෝගෝස් සහෝදරවරු පහ ඇතුලු තවත් පැටවුන් පස් දෙනෙක් මේ කණ්ඩායමේ සිටි බව. කුළු මීමන් දඩයම වැනි බිහිසුණු අවස්ථාවන් කිහිපයකදි මේ පැටවුන් සියළුම දෙනා වාර කිහිපයක් අනතුරලට ලක් වෙනවා. වරක් පැටවුන් දෙදෙනෙක් කුළුමීමන් රංචුවක් විසින් ඝාතනය කරනු ලබනවා. නමුත් වාසනාවකට මපෝගෝස් සහෝදරයන් දිවි රැකගන්නවා. වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එකෙ පිරිමි සතුන් පහකින් යුත් කෝලිශන් එකක්. බ්ලොන්ඩිගෙ නායකත්වය යටතෙ ක්‍රියාත්මක වන මේ කෝලිශන් එක වෙනත් සතුරු සිංහයන්ට ස්පාර්ටා ප්‍රයිඩ් එකට ලංවෙන්න ඉඩ තියන්නෙ නෑ. යම්හෙයකින් වෙස්ට් ස්ට්‍රීට් සිංහයන් පරදවා වෙනත් කෝලීශන් එකක් ස්පාර්ටාවන්ට ලංවුවොත් සිදුවෙන පලමු කාර්ය සියළු පැටවුන් ඝාතනයට ලක්වීම. ඒ තමයි ස්වාභාවධර්මයේ නීතිය. පරාජිතයන්ගෙ ජාන ඉදිරියට ගමන් කිරීම වලක්වන ක්‍රමය. මේකට කියනවා Infanticide කියලා. ජයග්‍රාහී සිංහයන් විසින් පැටවුන් ඝාතනය කල සැනින් සිංහ ධේනුවන් නැවත අභිජනනය සඳහා ශාරීරිකව ප්‍රතිසංවිධානය වෙනවා. හෝර්මෝන මඟින් සිදුකරන මේ කාර්ය නිසා ජයග්‍රහයකයන්ට නැවත අභිජනනය සිදුකර තමන්ගෙ ජාන ඉදිරියට දායාද කිරීමට තමයි මේ යාන්ත්‍රණය සැකසී තිබෙන්නේ. වාසනාවකට බ්ලොන්ඩිගෙ නායකත්වයෙන් යුත් වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එක අතිශයින්ම ශක්තිමත් කණ්ඩායමක්. සතුරු උවදුරු වලින් මපෝගෝස් සහෝදරයන් ආරක්ෂා වෙන්නෙ ඒ නිසා.

මේ අතරේ මපෝගෝස් සහෝදරයන් නැවත අන්තරායකට ලක්වෙනවා. කණ්ඩායමට අයත් නැති පිටස්තර තරුණ සිංහයෙක් වෙස්ට් ස්ට්‍රීට් ආධිපත්‍ය දැරූ සාබි වන පියසට පැමිණෙනවා. මේ සිංහයා යාන්තන් තරුණ වයස අබියස සිටින සිංහයෙක්. පෙර සඳහන් කල පරිදි මේ පිටස්තරයා මපෝගෝස් සහෝදරයන්ගෙ පැවැත්මට තර්ජනයක්. ස්වාභාවධර්මය ක්‍රියාත්මක විය යුතුයි. සිදුවිය හැකි, සිදුවිය යුතු අවස්ථා දෙකක් පවතිනවා. පිටස්තරයා වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එකෙන් ඝාතනය වියු යුතුයි. නැතිනම් පිටස්තරයා විසින් සිංහයන් පහකින් සමන්විත වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එක පරාජය කල යුතුයි. නමුත් ස්වාභාවික නීතිය අභිබවා ධෛවය ක්‍රියාත්මක වෙන්නෙ මේ අවස්ථාවෙදි. පිටස්තරයාව වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එක මඟින් පිලිගන්නවා, පිටස්තරයාත් කිසිඳු ආවේගයකින් තොරව ස්පාර්ටා ප්‍රයිඩ් එකේ සාමාජිකත්වය පිලිගන්නවා. මහලු වයසේ පසුවන වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එකට තවත් දඩයම් සහයකයෙකු ලැබෙනවා. මපෝගෝස් සහෝදරයන්ට වැඩිමහල් සහෝදරයෙක් විදිහට ක්‍රියාකරන්න මේ අලුත් සිංහයා පටන් ගන්නවා. මේ පිටස්තරයාට ලැබෙන නම 'මකූළු'

මකූළු අනෙක් පැටවුන් පස් දෙනාට වඩා වසර දෙකක් වැඩිමහල්. මකූළු ගැන සත්වවේදින් පවසන්නේ වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එක යටතේ පැවති වෙනත් ප්‍රයිඩ් එහෙක වසර කිහිපයකට කලින් නැතිවුන පැටවෙකු ලෙසයි (කෝලිශන් එකක් යටතෙ තිබෙන්නෙ එක් ප්‍රයිඩ් එකක් පමණක් නෙවෙයි). මකූළුගෙ ඉතිහාසය එතරම් පැහැදිලි නැති වුනත් වෙස්ට් ස්ට්‍රීට් ජාන ඔහුට තිබු නිසා ඔහුව පිලිගත්තාය යන්නටත් සඳහන් වෙනවා. කෙසේ නමුත් මකූළු යනු අද්වීතිය සිංහයෙක්. මපෝගෝස් සහෝදරත්වය සම්පූර්ණ වන්නෙ මකූළුගෙ සම්ප්‍රාප්තියත් සමඟ.

මපෝගෝස් සහෝදරයන් වයසින් වැඩෙත්ම අනෙක් සියළු සිංහ පැටවුන් අතවිඳින රැලෙන් පිටුවහල කිරීම ඔවුන්ටත් උරුම වෙනවා. කාලයත් සමඟ ශක්තිමත්ව වැඩෙන මපෝගෝස්වරු ස්පාර්ටාවන්ගෙන් සහ වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එකෙන් පිටුවහල් වෙන්නෙ එලෙස. දැන් ඔවුන් දඩබිම් රහිත තරුණයන්. ඉබාගාතේ සැරිසරමින් දඩයම් සොයාගැනීමටත් වැඩනු සිංහ ප්‍රාහාර වලින් ගැලවීමටත් ඔවුන්ට සිදුවෙනවා. මකූළු, මිස්ට ටී, ස්කාර්, ප්‍රිටි බෝයි, ඩ්‍රෙඩ්ලොක්ස්, කින්කි සාබි වනපෙත තුල තමන්ගෙ රාජධානියක් සොයා පිටවන්නෙ එලෙස. පිටුවහල් කරන පැටවුන්ට තර්ජන ඒමට, කුසගින්න, සතුරු උවදුරු මේ සියල්ල අතරින් ඔවුන්ගෙන් රැකෙන්නෙ සීමිත පිරිසක් පමණයි. නමුත් මපෝගෝස්වරු ⁣මේ අභියෝග ජයගැනීමට සමත්.

මපෝගෝස් කෝලිශන් එක සාමාජිකයන් හයකින් සමන්විත තරුණ සිංහයන්. ඔවුන් යන්ත්‍රයක් මෙන් ක්‍රියාශිලියි. ලිහිසි තෙල් යෙදුව යන්ත්‍රයක් මෙන් මපෝගෝස්වරු තමන්ගෙ කාර්යභාරයන් දැන සිටියා. මකූළු කණ්ඩායම මෙහෙය වන විට මිස්ට ටී ඔවුන්ගෙ ප්‍රහාරක හිස බවට පත්වෙනවා. ටීගේ දකුණත කින්කි. විශාල කුළුමීමකුගෙ හිසට ටී පහර දෙන විට කින්කි උගුරු දණ්ඩට පහර දෙනවා. බරැති මකුළු විසින් මීමාගෙ පිටකොන්ද විනාශ කරන විට ස්කාර්, ඩ්‍රේඩ්, ප්‍රිටි බෝයි පසුපස ගාත්‍රාවලට පහර දෙනවා. දඩයමට කිසිඳු ගැලවීමක් නෑ.... මපෝගෝස්වරු සාබී වනපෙත තුල විශාල දඩයම් අරඹන්නෙ එලෙස. සිංහයන් හයකින් යුත් තරුණ කෝලිශන් එකක් යනු ඉතාමත් දුර්ලභ සංසිද්ධියක්. ඊටත් නොදෙවෙනි ලෙස ඔවුන් සහෝදරයන්. තමන්ගෙ කාර්යභාරය හොඳින් දැනසිටි සහෝදරයන්.

ප්‍රසිද්ධ ඡායාරූපයක්... මකුළු හැර ඉතිරි මපෝගෝස්වරු වතුර බොන දර්ශනයක්


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE
#Don




සාබී රණශූරයන් (Warriors of Sabi Sand) - Part 1


දකුණු අප්‍රිකාවේ සාබී සෑන්ඩ් රක්ශිතය තුල සිංහ පවුලක් ඉතාමත් ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ සිංහයන් ගැන මගේ පෞද්ගලික ෆේස්බුක් වෝලය තුල හා පරිණාමික දිනපොත ෆේස්බුක් පිටුව තුල කාලයකට කලින් සටහන් කල ලිපි පෙලක් බ්ලොග් අවකාශය තුලත් සටහන් කල යුතු යැයි සිතුනා. සිංහයන් ගැන ඔබ දන්නා කරුණු වලට වඩා යමක් ඉන් එකතු කරගත හැකි වෙයි.

***************************************************

සිංහයන්.... සිංහයන් යනු අප්‍රිකානු මහද්වීපය තුල වසර දහස් ගනනක සිට අණසක පැතිර වු සුපිරි විලෝපිකයන්. අප්‍රිකානු නැගෙනහිර අහස රත්පැහැ ගන්නාවිට ඇකේශියා තුරු මුදුන් තුලින් නික්මෙන කුරුලු විශේෂ නගන හඬත් සමඟ ආතෝරක් නැති ඇන්ටිලෝප්, විල්ඩබීස්ට් ශබ්යන් අතර එක් සිංහ ගර්ජනාවක් කිලෝමීටර ගනනක් සිසාරා පැතිර යන්නෙ පරිණාමය තුලින් තමන්ට හිමිවු අග්‍රස්ථානය නැවත නැවතත් තහවුරු කරන්නට මෙන්.

දකුණු අප්‍රිකානු භූමිය තුල ප්‍රසිද්ධියක් උසුලන රකශිතයක් තමයි 'සාබි සෑන්ඩ්' රක්ශිතය. කෘගර් වනෝද්‍යනයේ බටහිර සීමාව තුල පවතින රක්ශිතයක් තමයි සාබි සෑන්ඩ්. සාබි සෑන්ඩ් හී විවිධ කොටස් තුල අණසක නතුකරගෙන සිටින සිංහ කණ්ඩායම් සිටිනවා. සාමාන්‍යයෙන් දිගින් දිගටම පවතින කණ්ඩායම නිර්මාණය වෙන්නෙ සිංහ ධේනුවන්ගෙන්. මේ කණ්ඩායම් හඳුවන්නෙ 'ප්‍රයිඩ්' කියලා. ප්‍රයිඩ් එහෙක උපදින පිරිමි පැටවුන් තරුණ වයසෙදි රැලේ නායක සිංහයා / සිංහයන් විසින් පලවා හරිනවා. ප්‍රයිඩ් වලට අයිතිවාසිකම් කියන මේ නායක සිංහයා/සිංහයන් තමන්ගෙ බලය පවත්වා ගන්නෙ එලෙසයි.

ප්‍රයිඩ් එහෙකින් පිටමං කරන තරුණ සිංහයන් තමන්ගෙ පැවැත්ම සඳහා කරන උපක්‍රමයක් තමයි එලෙස ප්‍රයිඩ් වලින් පිටමං කල සිංහයන් හා එක්ව 'කෝලිශන්' (coalition) එකක් පිහිටවීම. කෝලිශන් එකක් යනු සංධානගත වීම. තවත් ආකාරයකින් කිව්වොත් තමන්ගෙ පැවැත්ම සඳහා සංධානගත වීම. සාමාන්‍යයෙන් ප්‍රයිඩ් එහෙක සමාජිකයන් ගනන සෑහෙන වැඩි වුනාට කෝලිශන් එකක පිරිමි සාමාජිකයන් 2 - 5 අතර ප්‍රමාණයක් තමයි දකින්න පුළුවන් වෙන්නෙ. නැවත තමන් ප්‍රයිඩ් එහෙකට අයිතිවාසිකම් කියන තෙක් මේ කෝලිශන් පවතිනවා. තමන්ගෙ අණසක තහවුරු කරගත් පසු මේ කෝලිශන් විසිර යෑම හෝ නායකයෙකුගෙ අණසක යටතේ පැවතිම තමයි සිදුවන්නෙ.

මේ කතාව පටන් ගන්නේ 2002 වර්ශයේදි. දශක දෙකක පමණ දීර්ඝ ඉතිහාසයක් තිබුන 'ස්පාර්ටා' නැමැති ප්‍රයිඩ් එක සහ ඒ අවට තිබුන භූමිය තුල තවත් ප්‍රයිඩ් කිහිපයක් පවතින්නෙ 'වෙස්ට් ස්ට්‍රීට් මේල්ස්' නමින් හඳුන්වපු ශක්තිමත් සිංහයන් පස් දෙනෙකුගෙන් සමන්විත කෝලිශන් එකක් යටතේ. ස්පාර්ටා සිංහ ධේනුවන් සහ වෙස්ට් ස්ට්‍රීට් සිංහයන් ඉතාමත් දක්ෂ දඩයම් කරුවන්. සාමාන්‍යයෙන් සිංහයන් කුළුමීමන්, ජිරාෆයන් වැනි ප්‍රමාණයෙන් ඉතාමත් විශාල සතුන් එතරම් දඩයම් නොකරන්නෙ ඔවුන් දඩයම් කිරීම අපහසු නිසාත් , එකී දඩයම් ඉතාමත් බිහිසුණු නිසාත්. උදාහරණයකට කුළුමීමන් දඩයම සිංහයන්ට මාරාන්තික තුවාල ගෙන දෙනවා. ජිරාෆ් සත්වයෙකුගෙ එක් කුර ප්‍රහාරයකින් හිස්කබල පිපිරීයෑමට සමත් පහරක් වදින්න හැකියාව තිබෙනවා. ස්පාර්ටා සහ වෙස්ට් ස්ට්‍රීට් සුසංයෝගය ඉතාමත් යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් කුඩා දඩයම් අතර එවන් විශාල දඩයම් පවා සිදුකිරීම නිසා ඔවුන් ඉතාමත් ශක්තිමත් මෙන්ම නීරෝගී කණ්ඩායමක් බවට පත්වෙනවා.

2002 වර්ශයේදි වෙස්ට් ස්ට්‍රීට් කෝලිශන් එකේ සිංහයන්ට දාව ස්පාර්ටාවන් ලද කුඩා සිංහ පැටවුන් දස දෙනා සාබි තුරු ගොමු තුල කෙලිදෙලෙන් පසුවන්නෙ ඔවුන්ගෙ දෙමව්පියන්ගෙ සාර්ථක දඩයම් කිරීමේ රටාවන් පිලිබඳව කදිම උදාහරණයක් ලෙස. සාමාන්‍යයෙන් කුඩා සිංහ පැටවුන් ලෙඩ රෝග වලට ගොදුරු වීම නිසාත්, සිංහයන්ගෙ ප්‍රහාර නිසාත් වැඩිවියට පැමීණීමේ ප්‍රතිශතය ඉතාම අවමයි. සංඛාත්මකව පැවසුවොත් පිරිමි පැටවෙකු වැඩිවියට පත්වන ප්‍රතිශතය 8 න් 1 යි . නමුත් මේ පැටවුන් ලැබෙන ආහාර නිසාත් ස්පාර්ටාවන් සහ වෙස්ට් ස්ට්‍රීට් පිරිමි සතුන් ඉතාමත් හොඳින් පැටවුන් ආරක්ෂා කිරීම නිසාත් නීරෝගිව වැඩෙනවා.

මේ පැටවුන් දසදෙනා අතරින් පස් දෙනෙකු කැපී පෙනෙන ලක්ෂණ සහිත පිරිමි පැටවුන් පස් දෙනෙක්. වැඩිමහල් තිදෙනා පිලිවෙලින් 'රස්තා' ( පසුකාලීනව වැඩනු කේශර ඩ්‍රෙඩ්ලොක්ස් ආකාරයෙන් ගෙතී තිබුන නිසා) , 'ප්‍රිටි බෝයි' (ඉතාමත් දැකුම්කළු සත්වයෙක් නිසා), 'ස්කාර්' ( පිටේ තිබුන කැලැලක් නිසා). මොවුන් තිදෙනාට වඩා වයසින් බාල කුඩාම පැටවුන් දෙදෙනා 'මිස්ටර් ටී' (හිසේ කේශර පිහිටා තිබු ආකාරය නිසා) , 'කින්කි ටේල්' (නැට්ට අගට වන්නට පිහිටි කුඩා නැම්මක් නිසා).

සහෝදරයන් පස්දෙනා ඉතාමත් ක්‍රියාශීලි මෙන්ම එකිනෙකා අතර අන්තර්සබඳතා තුලින් ශක්තිමත් බැඳීමක් සහිතව වැඩුනු පැටවුන් පස්දෙනෙක්. මේ අතරිනුත් බාලයන් දෙදෙනා ඉතාමත් විශේෂයි. මිස්ටර් ටී කුඩා කල පටන්ම ආවේගශීලි ලක්ෂණ පෙන්නුම් කරන අතරේ ඔහුගෙ දකුණත බවට පත්වෙන්නෙ කින්කි ටේල්. මිස්ට ටී ගෙ සෙවනැල්ල මෙන් හැමවිටම ඔහුගෙ සහයටත් ආරක්ෂාවටත් සෙල්ලමේදිත් එකට සිටින විශ්වාසවන්ත සහයකයා වන්නෙ කින්කි. මේ සහෝදරයන් දෙදෙනා අතර විශේෂිත බැදීම පෙන්නුම් කරන්න පටන් ගන්නෙ ඉතාමත් කුඩා අවධියේ පටන්. මේ තමයි සාබී රණශුරයන්ගෙ ආරම්භය. සූ(z)ලු භාෂාවෙන් මොවුන් පස්දෙනා ප්‍රසිද්ධ වන්නෙ "මපෝගෝස්" නමින්. මපෝගෝස් යන්නට සූ(z)ලු අර්ථය මැරයන්/තක්කඩින්. දකුණු අප්‍රිකානු දඩබිම් තුල පුරාවෘත්තයක් බවට පත්වන මපෝගෝස් සිංහයන් බවට පරිවර්තනය වන පැටවුන් වන්නෙ මොවුන්.

මාපෝගෝස් සිංහයන් කුඩා කල

(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE
#Don




පොළවට ලම්භකව ගමන්කල ඩයිනෝසරයන් ? (Dinosaur tracks)


බොලීවියා රාජ්‍යයේ කැල් ඔර්කො ප්‍රදේශයේ තිබෙනවා ප්‍රපාතාකාර බෑවුමක් සහිත හුණුගල් වැටියක්. මේ වැටිය සහිත ඉඩම අයත් වෙන්නෙ සිමෙන්ති නිශ්පාදනාගාරයකට.


මේකෙ තියෙන විශේෂත්වය තමයි ආසන්න වශයෙන් පොළවට 90° ආනතියකින් පිහිටන මේ වැටිය අඩි 260 පමණ උසකින් සහ අඩි 3900 පමණ දිගින් යුක්ත මේ ප්‍රපාතාකාර මතුපිට තුල ඩයිනෝසර අඩි සටහන් තිබීම.





පොළවට අංශක 90 පමණ වන මතුපිටක කොහොමද ඩයිනෝසර අඩි සටහන් පවතින්නේ ?

මීට වසර මිලියන 65කට පමණ පෙර මේ ප්‍රදේශය මුහුදු ජලයෙන් නිතර තෙත්වන වගුරු සහිත ප්‍රදේශයක්. ක්‍රිටැසියස් යුගයේ අවසාන භාගයට වන්නට මෙහි අධි විවිධත්වයක් සහිත ඩයිනෝසර විශේෂ ගනනාවක් ජීවත්ව තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ඔබට ඉදිරිපත් කල Ichnofossils ගැන ලිපියෙදි මම පැහැදිලි කලා අඩි සටහන් කොහොමද ඇතිවන සහ සංරක්ෂණය වන ආකාරය. ක්‍රිටැසියස් යුගයෙදි තෙත් පරිසරයක ඩයිනෝසර අඩි සටහන් තැබීමත් කාලයත් සමඟ මුහුදු කෙමෙන් මේ ප්‍රදේශයෙන් ඈත් වීමත් නිසා වියළි යාමත් නිසා මේවා සංරක්ෂණ වී තිබෙනවා.

අද කැල් ඔර්කෝවට බොහෝ දුරින් තමයි සාගරය පිහිටන්නෙ. ඒකට හේතු වන්නෙ වසර මිලියන ගනනකට පෙර දකුණු ඇමරිකාව තුලින් ඉහලට එසවෙන ඇන්ඩීස් කඳුකරය නිසා සාගරය මේ ප්‍රදේශවලින් ඈත් වීම.

දැන් මුහුදු මට්ටමෙ පිහිටි සමතල පෘශ්ඨයක් කොහොමද මෙහෙම ආනතියකින් පිහිටන්නෙ ? මහද්වීප ප්ලාවිතය, එහෙම නැත්තන් පෘථෘවිය මත ගොඩබිම් සකස් වීමේ ක්‍රියාවලිය ඉතාමත් දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියක්. භූමිකම්පා , ගිනිකඳු පිපිරීම් ආදියෙන් සමන්විත මේ ක්‍රියාවලිය අදටත් අඛණ්ඩව සිදුවෙනවා නමුත් ඔබ සහ මම ගෙවන ආයු කාලය තුල මේ වෙනස් වීම් අපගේ හැඟීම් දැනීම් වලට ගෝචර නැහැ. උදාහරණයකට මිනිසෙකුගෙ උපරිම ආයු කාලය වසර 75 ලෙස ගත්තොත් වසර මිලියනක් කියන්නෙ මිනිසෙකුගෙ ආයු කාලය මෙන් 13,333 වාරයක්. ක්‍රිටැසියස් යුගය කියන්නෙ මීට වසර මිලියන 65 කට පෙර යුගය. ඒ කියන්නෙ 13,333 නැවතත් ගුණ කල යුතුයි 65 කින්. එහෙනම් මිනිසෙකුගෙ ආයු කාලය මෙන් 866,645 වාරයකට පෙර සිට අද වනතෙක් පෘථෘවිය මත සිදුවු වෙනස්කම් ගත්තොත් කැල් ඔර්කො වල එකල පිහිටි මුහුදු මට්ටමේ වගුරු ප්‍රදේශය අද වන විට පොළවට 90° පමණ ආනතියකින් යුත් කඳු ගැටයක්.

මේ කැල් ඔර්කො කඳු ගැටයෙ පිහිටනවා විවිධ ඩයිනෝසර විශේෂ මඟින් ඇතිකල පිය සටහන් 5000 පමණ. මෙහි විශේෂ 15 ක් පමණ දැක්වෙනවා. මීටර් 345 පමණ දිගට යන සම්පූර්ණ ප්‍රමාණයට නොවැඩුනු ටීරෙක්ස් සත්වයෙකුගෙ අඩි සටහනක්ද මෙහි තිබෙනවා. එය නම් කර තිබෙන්නේ ජොනී වෝකර් ලෙස.






මේත් සමඟම තවත් කරුණක් සඳහන් කල යුතුයි. පරිණාමයට විරුද්ධව අදහස් දක්වන්නන් ඉදිරිපත් කරන අදහසක් තමයි ෆොසිල සාධක එකම විදිහට ස්ථාරයනය නොවී පිහිටීම නිසා ෆොසිල සාධක වල කාල නීර්ණයන් වැරදි බව. නමුත් ඔබට පේනවා ඇති ලෝකයේ විවිධ ස්ථාන වල සිදුව ඇති භූ වෙනස්කම් විවිධාකාර බව. කැල් ඔර්කොවල වෙරළාශ්‍රිත සම බිමක් අද වන විට පොළවෙන් ඉහලට ඉල්පී ආනතව පිහිටන තලයක් බවට පත්ව තිබෙන බව. ඒ නිසා පෘථෘවිය තුල විවිධ ප්‍රදේශ තුල ෆොසිල පිහිටන ආකාර, ඒවා සංරක්ෂණ වී තිබෙන ආකාර වෙනස්. ඒ ඒ සිද්ධිය අනුව සුදුසු තාක්ෂණික ක්‍රමවේද තුලින් තමයි ඒවා අධ්‍යනය කල යුත්තේ.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




සියදිවි නසා ගැනීමට පොළඹවන පරපෝශින් (Parasites which induce the host to commit suicide)


පරපෝශිතයන් විශේෂ ගනනාවක් පෘථිවිය මත ජීවත් වෙනවා. ඒ අතරින් බොහෝ පරපෝෂිතයන් තමන්ගෙ අවශ්‍යතා සඳහා දාරක සත්වයන්ව මිය යෑමට නොදී ප්‍රයේජන ගැනීම සිදුවෙනවා. කලින් ලිපියක සඳහන් කල Cymothoa exigua කියන්නෙ එහෙම විශේෂයක්. නමුත් ඇතැම් පරපෝශිතයන් සිටිනවා දාරක සත්වයාගෙ සිතීමේ රටා, ස්වාභාවික හැසිරීම් රටා පවා, මොළයේ ක්‍රියාකාරීත්වය ආදිය වෙනස් කර ඇතැම්විට දාරකයා සියදිවි නසා ගැනීම දක්වා රැගෙන යන.

යුහැප්ලෝර්කිස් කැලිෆෝර්නෙන්සිස් (Euhaplorchis californiensis) කියන්නෙ පැතලි පණුවන් විශේෂයක්.

යුහැප්ලෝර්කිස් කැලිෆෝර්නෙන්සිස් 

මේ සත්වයාගෙ ජීවන චක්‍රයට අවස්ථා තුනක් තිබෙනවා.
  1. ජලජ පක්ශියකු තුල ගතකරන අවස්ථාව
  2. ජලජ බෙල්ලන් විශේෂයක් තුල ගතකරන අවස්ථාව
  3. මත්ස්‍යකු තුල ගතකරන අවස්ථාව

තවත් සරල කරොත් මේ කියන්නෙ යුහැප්ලෝර්කිස් සත්වයන් සිය ජීවිත කාලය තුල ඉහතකී සත්ව විශේෂ තුන් ආකාරයේම ශරීර තුල ගතකරනවා.

ජලජ බෙල්ලන් තුලදි යූහැප්ලොර්කිස් සූහුඹුල් අවස්ථාව ඇතිවී ජලයට මුදා හැරෙනවා. මේ සුහුඹුල් යූහැප්ලොර්කිස් සත්වයන් පිහිනා ගොස් 'කිල්ෆිශ්' කාණ්ඩයට අයත් මත්ස්‍යකුගෙ කරමල් තුලින් ඇතුළු වී ක්‍රමයෙන් මොළය දක්වා ගමන් කරනවා. නමුත් ජීවන චක්‍රය මාළුවා තුල සම්පූර්ණ කරන්න බැහැ. ප්‍රජනනය සඳහා යූහැප්ලොර්කිස් ජීවන චක්‍රය පරිණාමය වී තිබෙන්නෙ ජලජ පක්ශියෙකුගෙ ආමාශ තුල.

මත්ස්‍යාගෙ මොළය තුල මේවන විට සිටින යූහැප්ලොර්කිස් පක්ශියාගෙ ආමාශයට ගමන් කිරීම සඳහා යොදාගන්නවා උපක්‍රමයක්. ඒ තමයි මාළුාවාගෙ මොළය පාලනය කිරීම. ඔබ දන්නවා ජලජ පක්ශින් මත්ස්‍යන් දඩයම් කරන්නෙ අදාල මත්ස්‍යන් ජලය තුල චලනය වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් කියලා. ඒ නිසා බොහෝ මත්ස්‍යන් ජලය තුල ඉතාමත් සෙමින් ගමන් කිරීමටත්, නිශ්චලව සිටීමටත් පරිණාමිකව දියුණු වී තිබෙනවා.

මත්ස්‍යාගෙ මොළය තුල සිටින යූහැප්ලොර්කිස් මොළයේ රසායනික ක්‍රියාකාරීත්වය වෙනස් කිරිම සිදුකරනවා. එහිදි මත්ස්‍යාගෙ මොළයේ තිබෙන සෙරටොනින් හෝර්මෝන ප්‍රමාණය අවම කර ඩෝපමින් හෝර්මොන ප්‍රමාණය වැඩි කරනවා. ඩෝපමින් හෝර්මෝනය ක්‍රමයෙන් අධික වන විට මත්ස්‍යා නිශ්චලව සිටීම, සෙමින් පිහිනා යෑම වෙනුවට ජලය තුල අධික ලෙස චලනය වෙමින්, ගැස්සෙමින්, ආවේගශීලි හැසිරීමක් පෙන්නුම් කරනවා. මෙහි ප්‍රතිඵලය තමයි ජලජ පක්ශිනට මත්ස්‍යයා පහසු ඉලක්කයක් වීම. ඒත් සමඟම යූහැප්ලොර්කිස් පක්ශි ආමාශයට ලඟාවී ප්‍රජනනය සිදු කරනවා. මින් නිපදවෙන බිත්තර පක්ශි මලද්‍රව්‍ය සමඟ නැවත ජලයට මුසු වෙනවා. මේවා ආහාර බවට පත්වෙනවා ජලජ බෙල්ලන්ගෙ. යූහැප්ලොර්කිස් බෙල්ලන් තුලට යන්නෙ එහෙමයි.

කිල්ෆිශ් මත්ස්‍යයෙක්

මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන, හැසිරීම් රටා වෙනස් කරවන (Mind altering, behaviour altering) සිත්ගන්නාසුළු පරපෝශි ආකාර ගනනාවක් ලොව ජීවත් වෙනවා. පරිණාමික දිනපොත තුලින් එවැනි අවස්ථා ඉදිරියේදි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




අසිපත සහ පළිහ (The Sword and the Shield)


මානව ඉතිහාසය තුල අසිපත හා පළිහ කියන සංකල්පය ඇතැම්විට ඔබ අසා ඇති. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව එළඹෙන ශීත යුධ සමය තුල ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව තමන්ට ලැදි සහ සතුරු රටවල් අතර ආයුධ බෙදා හැරිය ආකාරයත් මේ ගනයේ ක්‍රියාවක්. මෙතනදි වෙන්නෙ ප්‍රහාරක බලයෙන් වැඩි අවි එක් රටකට ලබා දෙන විට තවත් රටක් ඊට බලයෙන් සමවු ආරක්ෂක අවි දැරීම කාලයත් එක්ක ආරක්ෂක අවි වලට වඩා බලවත් පහර දීමේ අවි නැවත පලමු රාජ්‍යට ලැබෙනවා, නැවතත් ඒ හා සම ආරක්ෂක අවි දෙවන රාජ්‍යට ලැබෙනවා.

දැන් මේ අසිපත සහ පළිහ මූලධර්මය ස්වාභාවධර්මය තුලත් ක්‍රියාත්මක වෙනවා. ශාඛ භක්ෂකයන් දඩයම් කිරීමට ඊට වඩා ප්‍රමාණයෙන් විශාල මාංශභක්ෂකයන් පරිණාමය වෙනවා එවිට ක්‍රමයෙන් ශාඛභක්ෂකයන් නැවත ක්‍රමිකව විශාල වීම සිදුවෙනවා, නැවතත් ඊට වඩා විශාල විලෝපිකයන් පරිණාමය වෙනවා.

සෙරටොප්සියන්ස් සහ ටිරනොසෝරිඩ්ස් කියන්නෙ බොහොම ප්‍රචලිත ඩයිනෝසර කාණ්ඩ දෙකක්. ට්‍රයිසරැටොප්ස් සහ ටිරනෝසෝරස් රෙක්ස් කියන විශේෂ ද්විත්වය ජුරාසික් පාර්ක් චිත්‍රපටය ඇසුරින් ඔබ දැනටමත් දන්නා ඩයිනෝසර විශේෂ දෙකක්. නමුත් ට්‍රයිසරැටොපස් අයත් සෙරටොප්සියන් පවුල කියන්නෙ විශේෂ සිය ගනනකින් සහ විවිධ ගන දුසිම් ගනනික් සැදි පවුලක්. ටිරනොසෝරස් රෙක්ස් ප්‍රචලිත වුනාට ටිරනෝසෝරිඩේ කියන පවුලෙත් සාමාජිකයන් ගනනාවක්ම සිටිනවා.

දැන් මේ පහත ඡායාරූපය තුල තිබෙන්නේ ජුරාසික් යුගයේ සිට ක්‍රිටැසියස් යුගය අවසාන වනතෙක් පරිණාමය විසින් අසිපත සහ පළිහ මූලධර්මය ක්‍රියාත්මක කර ඇති ආකාරය. වසර මිලියන 160 පමණ පෙර ඇරඹෙන සෙරටොප්සියන් සහ ටිරොනෝසෝරස් ගැටුම ක්‍රම ක්‍රමයෙන් යෝධ විශේෂ තෙක් පරිණාමය වී ඇති ආකාරය මෙයින් පෙන්නුම් කරනවා.


මේ ප්‍රතිනිර්මාණය තුල දැක්වෙන සෙරටොප්සියාවන් සහ ටිරනෝසෝරයන් විශේෂ උච්චාරනය කරන ආකාරය පහතින්.
  1. ට්‍රයිසෙරටොපස් හොරිඩුස් - ටිරනොසෝරස් රෙක්ස්
  2. සෙන්ට්‍රෝසරස් ඇපර්ටුස් - ඩැස්ප්ලීටෝසෝරස් ටොරෝසුස්
  3. ඩයබ්ලෝසෙරටොපස් ඊටෝනි - ලිත්‍රොනැක්ස් ආර්ගෙස්ටෙස්
  4. ටුරානෝසෙරටොපස් ටාර්ඩබිලිස් - ටිමුලෙන්ජියා යුඔටිකා
  5. යින්ලොන්ග් ඩවුන්සි - ගුවාන්ලොන්ග් වූකායී 


Art work credit - Pgrigor via deviantart



#DOE




පෘථෘවිය මත විශාලතම ශබ්දය නිපදවන සත්වයා (Loudest sound maker)


පෘථෘවිය තුල ජීවත්වන සතුන් අතරින් විශාලතම ශබ්දය නිපදවිය හැකි සත්වයා යන නාමය සඳහා කරට කර සිටින සත්වයන් තිදෙනෙක් සිටිනවා. තෙල්මන්ද තල්මසුන්, බෙලූගා තල්මසුන් සහ තල්මසුන්ගෙ ප්‍රමාණයෙන් 1/100 වත් නොමැති ස්නැපින්ග් ශ්‍රිම්ප්ස් (Snapping shrimp) එහෙම නැත්තන් පිස්ටල් ශ්‍රිම්ප්ස් ලෙස හඳුන්වන ඉස්සන් කාණ්ඩය.



ස්නැපින් ශ්‍රිම්ප් විශේෂ

මේ ඉස්සන් විශේෂ අඬු වලින් ඇති කරනු ලබන පීඩන රික්තක බුබුලක් (cavitation bubble) මඟින් තමයි ශබ්දය ඇතිවන්නෙ. අඬු මඟින් ඇති කරනු ලබන මේ බුබුල 100km/h වේගයකින් මුදා හරිනවා. මේ මුදා හැරුමෙ ප්‍රතිඵලයක් විදිහට ඩෙසිබල් 219 පමණ ශබ්දයක් නිපදවෙනවා. සාමාන්‍යයෙන් තුවක්කුවක ශබ්දය තිබෙන්නෙ ඩෙසිබල් 140 -180 අතර පරාසයක.මිලිතත්පරයක පමණ කාලයක් තිබෙන මේ ක්ලික් එකක් කුඩා මාළුවන්ට මරණය ගෙන ඒමට සමත් වෙනවා.

රික්තක බුබුල නිපදවන ක්‍රමවේදය

මේ රික්තක බුබුලෙ අතුරුඵලයක් තමයි නිපදවෙන උශ්ණත්වය. රික්තක බුබුල බිඳ වැටීමේදි 4700°C පමණ උශ්ණත්වයක් පිටකරනවා. සංසන්දනාත්මකව ගත්තොත් සූර්යා මතුපිට උශ්ණත්වය 5500°C පමණ. මෙහිදි නිපදවෙන ආලෝකය පියවි ඇසට පෙනෙන්නෙ නෑ ඉතාමත් කුඩා කාල පරාසයක පවතින නිසා.

ස්නැපින් ශ්‍රිම්ප්ස්ලා මේ ශබ්දය එහෙම නැත්තන් ක්ලික්ස් උපයෝගී කරගන්නවා දඩයම් කිරීමට සහ සන්නිවේදනය කිරීමට. ස්නැපින් ශ්‍රිම්ප් කොලනි ආශ්‍රිතව නිපදවෙන ශබ්දය නිසා නෞකා, සබ්මැරීන ආදියේ සෝනාර් තරංග, සන්නිවේදන ජාලයන්ට බාධා වීම සිදුවෙනවා. දෙවන ලෝක සංග්‍රාම අවධියේදි සබ්මැරීන් සටන් වලට විශාලතම බාධාව වී ඇත්තෙ මේ ස්නැපින් ශ්‍රිම්ප්ස්ලා.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




නිරීක්ෂණය වෙන පරිණාමය (Observable Evolution)


සාමාන්‍යයෙන් සත්ව විශේෂයන් පරිණාමය වෙන ආකාරය නිරීක්ෂණය කරන්න අසීරු කාරණයක්. රූපීය ලක්ෂණ , ජානමය ලක්ෂණ මොන අවස්ථාවන් වලදි වෙනස් වෙනවද කියන්න නොදන්න නිසා සහ ඒ සඳහා ගතවන කාලය ඉතාමත් වැඩී නිසා මේ කරුණු නිරීක්ෂණය කරන්න ටිකක් අමාරුයි. නමුත් ඇතැම් අවස්ථා තිබෙනවා ඇතැම් සත්ව විශේෂ නිරීක්ෂණය වද්දීම කඩිනම් පරිණාමික ක්‍රියාවලියකට භාජනය වීම.

කැනිඩේ කුලය එහෙමත් නැත්තන් ව්‍යවහාරිකව කැනිඩ්ස් කියලා භාවිතා කරන සත්ව කාණ්ඩයට තමයි වෘකයො, නරි, හිවලුන්, සුනඛයන් ආදිය අයිති වෙන්නෙ. සරලවම කිව්වොත් සුනඛ ඤාතීන්. දැන් මේ කැනීඩ් පවුලට අයත් සමාජිකයන් කිහිප දෙනෙක් ඉන්නවා උතුරු ඇමරිකානු කලාපයේ. එක්කෙනෙක් තමයි ඔබ කවුරුත් හොඳින් දන්න අළු වෘකයන්. තවත් කැනිඩ් සාමාජිකයෙක් තමයි 'කයොටී'. කයෝටී කියන්නෙ වෘකයට වඩා ටිකක් කුඩා ලංකාවේ ඉන්න නරියට වඩා ටිකක් විශාල සත්වයෙක්. රෝඩ් රනර් කාටුන් එක බලලා තියෙනවානන් රෝඩ් රනර් කුරුල්ලව තිස්සෙම එලවන නරියා වගේ සතා කයොටී කෙනෙක් (රෝඩ් රනර් කියන්නෙත් ඇත්තටම ඉන්න කුරුල්ලෙක). මතක තබාගත යුතු කාරණය තමයි වෘකයා සහ කයොටී කියන්නෙ වෙනස් විශේෂ දෙකක් කියන එක.

වෘකයා

කයෝටී

එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශවල ජනපද ව්‍යපතියත් එක්කම වෘකයන්ව ඝාතනය කරනවා මිනිසුන් විසින්. වෘක ගහනයන් පහල යෑමත් සමඟම වෘකයන් අතර සම්පත් හිඟය නිසා තරඟයක් ඇතිවෙනවා. විශේෂයක් මේ විදිහට අධි පීඩනයනයන්ට යටත් වුනාම ඔවුන් විකල්ප සඳහා ඇතැම්විට යොමුවෙනවා. ගහනය අඩුවීමත් එක්කම වෘකයො ප්‍රජනක අවශ්‍යතා සඳහා හැරෙන විකල්පය තමයි කයෝටීන්. වෘකයන් කයෝටීන් එක්ක ප්‍රජනනය සිදුවෙනවා. මේක සාමාන්‍ය පාරිසරික තත්වයන් තුල සිදු නොවන දෙයක්. වෘකයන් සහ කයෝටීන් සාමාන්‍ය පරිසරය තුල මුහුම් වෙන්නෙ නෑ. ඒ වගේම වෘකයන්ට කයෝටීන් මුණ ගැසුනොත් ඝාතනය වීම සිදුවෙනවා. නමුත් වෘක ගහනය වෙත ඇතිවු පීඩනයත් එක්ක මේ මුහුම් වීම සිදුවෙනවා.

කාලයත් එක්කම ජනපදිකයන් විසින් ගෙනාපු සුනඛයනුත් මේ සත්වයින් සමඟ මුහුම් වීම සිදුවෙනවා. වර්තමානය වෙද්දි මේ නැගෙනහිර වෙසෙන කයෝටීට තරමක් සමාන සත්වයා සම්පූර්ණ කයෝටීයෙකුවත්, වෘකයෙකුවත්, සුනඛයෙකුවත් නොවෙයි. ජානමය වශයෙන් 60% - 70% කයෝටියෙක්, 13% පමණ වෘකයෙක්, 10% පමණ සුනඛයෙක්.

නව ප්‍රභේදය

ඒ වගේම මේ සත්වයා කයෝටීන්ට වඩා ප්‍රමාණයෙන් විශාලයි. බර අස්ථි සහිතයි ඒ වගේම රෞද්‍රතාවයෙන් ඉහලයි. කයෝටීන් කිසි දිනෙක මුවන් බිම හෙලීමට තරම් හැකියාවක් නොමැති සත්වයන්. ඔවුන් ප්‍රධාන වශයෙන් කුණප බුදින්නන් (scavengers) නමුත් මේ නව ප්‍රභේදය මුවන්, මූස් සතුන් පවා බිම හෙලීමට සමත් සත්වයෙක්.

ආකර්ශනීයම කාරණය තමයි මේ නව ප්‍රභේදය නාගරික ජීවිතයටත් හුරු වීම. සුනඛ ජාන නිසා මොවුන් මනුශ්‍යන්ට බිය නැහැ. කයෝටීන් සහ වෘකයන් නාගරික පරිසරයට බියයි. මනුශ්‍යන් දුටු විට ඔවුන් මඟ හරිනවා. නමුත් මේ නව ප්‍රභේදය එසේ නැහැ. පාර දෙපැත්ත බලා ආරක්ෂාකාරී ලෙස පාර මාරුවීමට පවා ඔවුන් සමත්. දඩයම වගේම කුණප බුදින්නන්ගෙ චර්යාවනුත් දක්වන නිසා ඕනෑම දෙයක් ආහාරයට ගෙන ජීවත් වීමේ හැකියාව මොවුන් සතුව පවතිනවා.

නාගරික ලෝකය තුලට හුරුවෙමින් පරිණාමය වීම සිදුවෙන සත්ව ප්‍රභේදයක් මේක. වෘකයන්, කයෝටීන්, සුනඛයන්ගෙ ජාන මුහුම් වෙමින් මිනිසා විසින් සීඝ්‍රලෙස වෙනස් කරමින් යන පාරිසරික තත්වයනට අනුවර්තනය වෙමින් යන සමකාලීන පරිණාමික ගමන් මඟක් තමයි ඔබ මේ කියෙව්වෙ. ජාන විවිධත්වය, හැඩගැසීමේ හැකියාව නිසා මේ සත්වයන් දිගින් දිගටම පැතිරෙමින් පරිවර්තනයවනු ඇති.

(ජීව විද්‍යාව හදාරපු අයට දැන් ප්‍රශ්නයක් ඇති වෘකයන්, කයෝටීන් වෙනස් විශේෂයන්නන් කොහොමද සරු ජනිතයින් බිහිවෙන්නෙ කියලා. අන්තර් අභිජනනයෙන් සරු ජනිතයින් බිහිකල හැකි වුවන් විශේෂය ලෙස අර්ථනිරූපනය කරන බව ජීව විද්‍යා විෂය තුල ඔබ ඉගෙන ගෙන තියෙනවානන් ඒ අර්ථනිරූපනය අද සිට ඉවත් කර තබන්න. නූතන විද්‍යාව තුල ඒ අර්ථනිරූපනය තවදුරටත් පිලිගන්නෙ නැහැ)


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE