Monday, August 19, 2019

සැබෑ පෙන්ග්වින් (True Penguin) - 02




ඕකයන් ඉතිහාසයේ එක් කාලපරිච්ඡේදයක් තුල උතුරු අත්ලාන්තිකය අවට ජීවත් වු බවට පෙර ලිපියේ මා සඳහන් කලා. වාර්තාවල සඳහන් වෙන පරිදි අඩි දෙකකට මඳක් උස මේ පක්ශීන් (මා දුටු නිදර්ශකය ඊට වඩා කුඩා නිදර්ශකයක්, සම්පූර්ණයෙන් නොවැඩුනු සත්වයෙක්) වර්තමාන පෙන්ග්වින් කුරුල්ලන්ට මඳක් සමාන ශරීරයක් තිබු විශේෂයක්. පෙන්ග්වින් කුරුල්ලන්ටත් වඩා අධික වේගයකින් පිහිනා යෑමේ හැකියාව ඕකයන්ට තිබු බවයි වාර්තාවල සඳහන් වන්නෙ. සම්පූර්ණ කාලයම පාහේ සාගරයේ ගතකල ඕකයන් මැයි සහ ජූනි සමයන් තුලදී ප්රජනන කාර්ය සඳහා ගොඩබිමට පැමිණෙනවා.

ඕකයන් පියාසැරියක් රහිත කුරුලු විශේෂක්. ඔවුන්ට පියාඹීමේ හැකියාව පෙන්ග්වින් කුරුල්ලන්ට මෙන්ම පිහිටා නෑ. මැයි, ජුනි සමයන් තුලදී ගොඩබිමට පැමිණෙන ඕකයන් සතුරු උවදුරුවලට ලෙහෙසියෙන්ම ලක්වුන සමයක්. මේ ප්රජනන සමයෙදි ඕකයන් විශාල වශයෙන් දඩයම් කිරීමට රතු ඉන්දියානුවන්ට හැකිව තිබෙනවා. කැනඩාවෙන් හමුවන එක් ඉපැරැණි රතු ඉන්දයානු සොහොනක් තුල ග්රෙට් ඕකයන් සීයකගෙ පමණ හොට හමුව තිබෙනවා. පැලියොලිතික සමයට අයත් යුරෝපියයන් ඕකයන් දඩයමේ යෙදුන බවට සාක්ෂි උතුරු අත්ලාන්තිකය අවටින් සොයාගැනීමට පුළුවන්. ඩෙන්මාර්කය, ස්වීඩනය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ ජිබ්රොල්ටානු පුරාවිද්යා ස්ථාන තුලින් ග්රෙට් ඕක් අවශේෂයන් හමුව තිබෙනවා. එබැවින් අපට උපකල්පනයකට පැමිණෙන්න පුළුවන් 16 වන සියවස් එළැඹෙන විට ඕකයන්ගෙ මුල් නිජබිම් ක්රමක්රමයෙන් අඩුව තිබී ඇති බවට.

කාරණා මෙසේ පැවතියදි 16 වෙනි සියවසෙන් පසු යුරෝපියයන් අවතීර්ණ වන කොඩ් මත්ස්ය ව්යාපාරය නිසා ඕකයන්ගෙ ඉතිරි නිජබිම් තුලින් ඔවුන් සමූලඝාතන කිරීම ඇරඹෙනවා. කොඩ් මත්ස්යන් හඹායන යුරෝපිය යාත්රිකයන් අඛණ්ඩව පැමිණෙන ස්ථානයක් තමයි නිව්ෆවුන්ඩ්ලන්තය. නිව්ෆවුන්ඩ්ලන්තයට ඊසාන දිගින් මයිල හතලිහක් පමණ ඈත මුහුදින් ඉහලට එසවෙන පර්වතයක් පවතිනවා. මේ පර්වතය අද හඳුන්වන්නේ Isle of birds (කුරුලු දිවයින) නමින්, නමුත් ඇතැම් සටහන්වල penguin island (පෙන්ග්වින් දූපත) ලෙසත් සටහන් වෙනවා. මේ කුඩා දූව පිරි ඉතිරී යන්නට එකල ග්රේට් ඕකයන් එහි වසා සිටිබව සඳහන්. 1534 දි පමණ සටහනක් ලියන ප්රංශ ගවේශක යේකස් කාර්ටියේ සඳහන් කරන්නෙ වරක් ඔවුන් යාත්රා කරන විට දූව ලඟින් යාත්රාව නවතා බෝට්ටු දෙකක් පිරෙන්නට ඕකයන් දමාගත් බවත්, ඔවුන් මහත නිසා සහ ගොඩබිම ගමන් කිරීමට අපහසු නිසා ඉතා ඉක්මනින් දඩයම් කිරීමට සමත් වු බවත්ය.

යාත්රිකයන්ගෙ ආහාර අවශ්යතාව සැපිරීම සඳහා අලුත් මස් ලබා ගැනීමේ කාර්ය සඳහා ඉතාමත් කදිම විකල්පයක් වුනේ ඕකයන් දඩයමයි. 1622 දි සටහනක් තබන කපිතාන් රිචර්ඩ් විට්බි සඳහන් කරන්නෙ ඕකයන්ගෙ අසරණබාවයත් අහිංසක බවත් මනුශ්යාගෙ පැවැත්ම සඳහා දෙවියන් විසින් දායාද කල ආශිර්වාදයක් බවයි. ඒ හේතුවෙන් ඕකයන් සියගනන් නැව් වලට පටවා ගැනීමට ඔවුන් සමත් වු බවයි.

ඉන්පසු එළඹෙන දශක කිහිපය විසින් මාංශ පිනිස ඕකයන් භාවිතාව ඊටත් වඩා ආන්තික භාවිතාවන් බවට පරිවර්තනය වෙනවා. මනුශ්ය චින්තනය විසින් හැඩගැස්විය හැකි සියළුම ආකාර වලින් ඕකයන් භාවිතය ඇරඹෙන්නෙ එලෙසින්. මාළුන්ට දමන ඇමට ඕකයන්ගෙ කොටස් භාවිතා කිරීමේ සිට, පිහාටු මෙට්ට සඳහා, හින්දවු තෙලින් පහන් දැල්වීමට ආදී සියළු කාරණා සඳහා ඕකයන් දඩයමට ලක් කරනවා. නොමිලේ ලැබෙන ඕනෑම දෙයක් අවභාවිතා කරන හෝමෝ සේපියානු ගතිගුන නැවත ප්රචලිත වන එක් අවස්ථාවක් එය. ඕකයන් දසදහස් ගනනික් ඝාතනය කිරීම එලෙස ඇරඹෙනවා. ගල් හෝ ඉනි යොදා වටකල භූමියකට ඕකයන් එලවා තබා කාට හෝ ඔවුන් ඝාතනය කිරීමට වෙලාවක් ලැබෙන තෙක් ඕකයන් කොටුකර තැබීම එලෙස සිදුවෙනවා.

ඒරන් තෝමස් නැමැති ධීවරයාගේ සටහනකින් පැවසෙන්නෙ "ඔබ ඕකයන්ගෙ පිහාටු ගැනීමට පැමිණෙනවානම් ඔවුන් ඝාතනය කිරීම සඳහා කාලය අපතේ නොහරින ලෙසයි." ඔහුගේ උපදෙස් අනුව හොඳින් පිහාටු ඇති සත්වයෙකුගෙන් පිහාටු ගලවා මුහුදට විසිකිරීමෙන් ඝාතනය කිරීමෙන් රුධිරය ගෑවි විනාශවන පිහාටු බේරාගත හැකිවනු බවයි.

තෝමස්ගෙම තවත් සටහනක් දැක්වෙන්නෙ පෙර සඳහන් කල පෙන්ග්වින් දුපත තුල ගස් නොමැති බැවින් දුපතේ වතුර උණු කරගැනීමට දර සොයාගැනීමට විකල්පයක් ලෙස ඕකයන් දෙදෙනෙකු අල්වා දල්වන ලෙසයි. වතුර භාජනයක් උණු කරගැනීමට එය ප්රමාණවත් බව ඔහු සඳහන් කරනවා.

ඕක් දඩයම


To be continued...


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

No comments:

Post a Comment