Sunday, August 4, 2019

භූ කාල රාමුව (Geologic Time Scale) - 01


භූ කාල රාමුව, එහෙමත් නැත්තන් Geologic Time Scale (GTS) එක ගැන පැහැදිලි කිරීමක් ලබාදෙන්න කියලා ගිය වසරේ ඉඳන්ම ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය නිසා අද ඉඳන් වෙලාව ලැබෙන විදිහට එය ලිපි පෙලකින් ඉදිරිපත් කරනවා. ට්‍රියැසික් , ජුරාසික් , ක්‍රිටැසියස් , ප්ලයස්ටොසීන් වගේ වචන වල තේරුම සහ ඉන් හඳුන්වන්නේ කුමක්ද කියන දේ පැහැදිලි වෙන්න භූ කාල රාමුව පිළිබඳව අදහසක් ලබාගත යුතුයි. මේ ලිපි පෙල අවසානයේදි එය ඔබට තරමක් හෝ අර්ථවත් දෙයක් බවට පත් කිරීම තමයි අරමුණ.

භූ කාල රාමුව කියන්නෙ කුමක්ද කියලා ඉතා සරල හැඳින්වීමක් කරොත් පෘථිවිය නැමැති ග්‍රහලෝකය නිර්මාණය වූ දා සිට වර්තමානය දක්වා කාලය විවිධ යුග, අවධි, උප අවධි ආදී කාල රාමුවලට බෙදා හැදෑරීම තමයි මෙයින් සිදුකරන්නෙ. විවිධ පාෂාණ වර්ග, ෆොසිල වර්ග, භූ කලාප නිර්මාණය වීම් ආදිය ගැන හැදෑරීමේදි මේ භූ කාල රාමුව අතිශයින්ම තීරණාත්මක සාධකයක්.

අපි ජීවත්වෙන පෘථිවිය නැමැති ග්‍රහලෝකය දැනට වසර බිලියන 4.6 පැරණි බවට තමයි සාධක හමුවන්නේ. කොහොමද බිලියන 4.6 ක් කියන්නෙ ? දැනට පෘථෘවිය මත හමුව ඇති පැරණිතම පාෂාණ කාල නීර්ණය වන්නෙ වසර බිලියන 4. 6 කට. එහෙමනම් දැන් පෘථෘවියේ වයස වසර බිලියන 4.6 . මේ වසර බිලියන 4.6 තමයි විවිධ උප කොටස් වලට බෙදා වෙන් කරන්නෙ.

භූ කාල රාමුව

පෘථිවියේ සමස්ථ වසර බිලියන 4.6 ක කාලය Eons නමින් හඳුන්වන යුග දෙකකට බෙදා වෙන් කරනවා. ඒ තමයි;
  1. ප්‍රීකේම්බ්‍රියන් (Precambrian)
  2. ෆැනරසොයික් (Phanerozoic)

ප්‍රීකේම්බ්‍රියන් කියන්නෙ මුල්ම යුගය. ඒ කියන්නෙ වසර බිලියන 4.6 සිට වසර මිලියන 545 දක්වා ඉතාමත් දීර්ඝතම යුගය.

ප්‍රීකේම්බ්‍රියන් යුගය නැවතත් අවධි තුනකට බෙදීමකට ලක් කරනවා. පිලිවෙලින්;
  1. හේඩියන් (Hadean)
  2. ආර්කියන් (Archaen)
  3. ප්‍රොටෙරොසොයික් (Proterozoic)

ප්‍රීකේම්බ්‍රියන් කියන දීර්ඝ අවධිය තමයි පෘථිවි කාලයෙන් 85% පමණ ගන්න කාලය.

දැන් ප්‍රීකේම්බ්‍රියන් යුගය බෙදා ඇති අවධිවල සිදුවුන ක්‍රියාවලි සලකා බලමු.

Hadean (හේඩියන්)


හේඩියන් කියන නමට හේතු වෙන්නෙ ග්‍රීක දේව පැන්තියමේ පාතාලයට (පාතාලය කියන්නෙ මැරයො ඉන්න පාතාලය නෙමෙයි) අධිපති දෙවියන් වන හේඩිස්ගෙ නම. මේ කාලය විහිදෙන්නෙ වසර බිලියන 4.6 සිට වසර බිලියන 3.8 දක්වා කාල පරාසයට. මේ කාලයේදි පෘථිවිය ජීවයෙන් තොර ඉතාමත් අධික උශ්ණත්වයකින් හෙබි යවහල් ග්‍රහලොවක්. නිරන්තර උල්කා ප්‍රහාර පෘථිවිය සමඟ ගැටීම සිදුවෙනවා. පාතාලය බඳු යවහල් ග්‍රහලොවක් ලෙස පෘථිවිය පැවතීම තමයි ග්‍රීක දෙවි හේඩිස්ගෙ නමෙන් හේඩියන් නාමය සම්භවය වන්නෙ.


Archaen (ආර්කියන්)


වසර බිලියන 3.8 සිට වසර බිලියන 2.5 තෙක් තමයි ආර්කියන් අවධිය දිවෙන්නෙ. උල්කා ගැටීම අහවර වී පෘථිවිය සිසිල් වු පසු ප්‍රථම ජීවයට සුදුසු පාරිසරික තත්වයන් ඇතිවෙන්නෙ ආර්කියන් අවධියේදි. බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන ලාක්ෂණික ෆොසිල වලට අපි කියනවා ස්ට්‍රොමැටොලයිට්ස් කියලා. පැරණිතම ස්ට්‍රොමැටොලයිට කාල නීර්ණය වන්නෙ වසර බිලියන 3.5 කට ආසන්න කාලයට. මේ අති පැරණි ස්ට්‍රොමැටොලයිට්ස් ලෝකයේ විවිධ රටවලින් ලැබෙනවා. ඒ වගේම ආර්කියන් අවධියේදි තමයි මුල් ප්‍රභාසංස්ලේශි බැක්ටීරියාවන් වායුගෝලයට ඔක්සිජන් මුදාහැරීම අරඹන්නෙ. මෙමඟින් වායුගෝලීය ඔක්සිජන් මුලය සකස් වෙනවා.


To be continued...



#DOE


Link to Facebook post --->


No comments:

Post a Comment