Saturday, October 17, 2020

ලංකාවේ නව දිවිමකුළු විශේෂය (New species of Tarantulas in Sri Lanka)


19 වෙනි සියවසට පසු Chilobrachys නැමැති ගනයට අයත් මකුළු විශේෂයක් දකුණු ආසියාතික රටකින් සොයාගත් අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යා ලෝකයට Chilobrachys jonitriantisvansicklei නැමැති විශේෂය 2019 වර්ෂයේදී ලාංකීක පර්යේකයන් කණ්ඩායමක් විසින් හඳුන්වා දෙනු ලැබුවා. 

භෞමික වාසී මේ දිවි මකුළු විශේෂය ඉතාමත් වේගවත් විලෝපිකයෙකු ලෙස සටහන් වෙනවා. ජීවත්වන ගුල සමීපයට පැමිණෙන කෘමී සතුන් ඉතාමත් වේගයෙන් ඩැහැ ගැනීමේ හැකියාවෙන් යුත් මේ මකුළුවන්ගෙ ගැහැණු සත්වයින් අලංකාර නිල් වර්ණයකින් යුක්ත වන අතර පිරිමි සත්වයන් දුඹුරු පැහැයකින් යුක්තයි. Chilobrachys ගනයේ තවත් එක් විශේෂයක් ලංකාව තුල ජීවත් වෙනවා. ඇරක්නීඩාවන් සම්බන්දයෙන් සිදුකෙරෙන පර්යේෂණ ඉතාමත් සීමිත වුනත් ලංකාව තුල ජීවත්වන දැනට හඳුනාගෙන ඇති මකුළු විශේෂ 593 අතරින් විශේෂ 108 ක්ම හඳුනාගෙන අැත්තෙ පසුගිය විසි වසර තුල. 
 


නව දිවිමකුළු විශේෂය
 
Joni Triantis Van Sickle නැමැති සංරක්ෂණවේදියාට උපහාර පිනිස තමයි මේ විශේෂ නාමය දිලා තියෙන්නෙ. මේ නව විශේෂ හඳුන්වා දුන් පර්යේෂණ කණ්ඩායමට #DOE තුලින් සුභ පැතුම් එක් කරන අතර තවත් නව විශේෂ හඳුන්වාදීමට ඔවුන්ට හැකිවේවා යයි පතමි.

 
(ඡායාරූප අයිතිය Nanayakkara, Sumanapala and Kirk)
 
 
 
 
 #DOE
 
 
 
 

හාර්පීන්ගෙ මිථ්‍යාව සහ සත්‍ය (Myth and truth of Harpies)


ආදී ග්‍රීක සහ රෝම වෘතාන්තයන් තුල හමුවන එක් සත්ව ආකාරයක් තමයි 'හාර්පීස්' නැමැති සත්ව ආකාරය. හාර්පි කියන්නෙ කාන්තා හිසකුත් පක්ශි සිරුරක් සහ විශාල නිය සහිත සත්ව කොටසක්. හෙසියොඩ්, වර්ජිල් වැනි ග්‍රීක , රෝම රචකයන් තියොජිනි, එනීයඩ් වැනි කාව්‍යයන් තුල හාර්පීන් ගැන සඳහන් කරනවා. එක් වෘතාන්තයකට අනුව ෆීනියුස් නැමැති ත්‍රේසයේ රජුට සියුස් විසින් අනාගතය දැකීමේ වරම ලබා දෙනවා. ෆීනියුස් එය භාවිතා කර දෙවියන්ගෙ සැලසුම් දකිනවා. මින් කිපෙන සියුස් ,ෆීනියුස්ගෙ ඇස් අන්ධ කර දූපතක තනි කරනවා. දූපතේ ආහාර සියල්ල නොඅඩුව තිබුනත් කුසගින්නේ සිටින ෆිනියුස් හට ආහාර ගැනීමට කිසි විටෙක අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒ හාර්පීන් පැමිණ ඒවා ඩැහැගනු ලබන නිසා. වසර ගනනකට පසු කොල්චිස් බලා පිටත් වන ජේසන් ප්‍රමුඛ ආර්ගොනෝට්වරුන් විසින් හාර්පීන් පලවා හැර දෑස් අඳ ෆීනුයුස්ව සියුස්ගෙ ශාපයෙන් ගලවාගනු ලබනවා. හාර්පීන් නැවතත් ක්‍රීටයේ ලෙනකට පසු බසින බව වෘතාන්තයේ සඳහන් වෙනවා.

ග්‍රීක රෝම කතාවල හාර්පීන්ගෙ නම සහිත සැබෑ ලෝකයේ හාර්පීන් ගැන කතා කරන්නයි ඒ ප්‍රවිශ්ඨය ලබා ගත්තෙ. පහල ඡායාරූපයේ ඔබ දකින්නෙ හාර්පී රාජාලි විශේෂයට අයත් පක්ශියෙක්. විද්‍යාත්මකව Harpia harpyja ලෙස හඳුන්වන මේ විශේෂය ජීවත් වන්නෙ මධ්‍යම සහ දකුණු ඇමරිකානු කලාපය තුල. හාර්පී රාජාලියන් වර්තමානයේ ජීවත්වන විශාලතම රාජාලි විශේෂයක්. දකුණු ඇමරිකානු වැසි වනාන්තරවල වියන් ස්ථර තුල ජීවත්වන වඳුරන්, මන්දයන් ආදී සතුන් දඩයම් කරමින් ඔවුන් ආහාර සපයා ගන්නවා. දැනට ජීවත්වන රැප්ටර් පක්ශි විශේෂ අතරින් විශාලම නකර දරන්නෙ හාර්පී රාජාලියන්.
 
හාර්පී රාජාලි විශේෂයට අයත් පක්ශියෙක්
 
සාමාන්‍යයෙන් බර 7 kg දක්වා පෙන්නුම් කරත් මිනිස් ඇසුරේ ඇතිවුන ඇතැම් නිදර්ශන 12 kg පමණ විශාලව වැඩුන අවස්ථා පවතිනවා. අඩි 7 පමණ පියාපත් විහිදුවාලීමක් ඇති මේ පක්ශින් ඉතාමත් දැකුම්කළු තේජාන්විත පක්ශි විශේෂයක්.

පුරාණ ග්‍රීක සහ රෝම වෘතාන්ත වලට වර්තමානයේදි පණ පොවන මේ පක්ශින් වනාන්තර වැස්ම අඩුවීමත් සමඟ වඳවී යාමේ අවදානමට ලක්වු විශේෂයක්. හාර්පී රාජාලියන්ගෙ ඡායාරූප වරින් වර සමාජ මාධ්‍යජාල තුල සංසරණය වන විට ඒවා නිර්මිත ඡායාරූප ලෙස ඇතැමුන් හැඳින්වුවත් හාර්පි රාජාලීන් යනු සත්‍ය වශයෙන්ම ජීවත්වන අලංකාර පක්ශියෙක්. පරිණාමික දිනපොතේ මේ පරිඡ්ඡේදය වෙන් කලේ ඔවුන් වෙනුවෙන්.
 
 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)




#DOE
 
 
 
 
 

හාර්ලික්වීන් කුරුමිණියන් සහ ගුවන් මගීන් (Harlequin beetle and air passengers)


පහත ඡායාරූපවල පෙන්නුම් කරන්නෙ මෙක්සිකෝ සහ උරුගුවේ රාජ්‍යන් තුල ජීවත් වෙන හාර්ලික්වීන් කුරුමිණියෙකුගෙ හිසේ ඉතාමත් සමීප ඡායාරූප. අඟල් තුනකට ආසන්න ප්‍රමාණයකට වැඩෙන හාර්ලික්වීන් කුරුමිණියන්ගෙ ශරීරය කියන්නෙත් ඉතාමත් ක්ශුද්‍ර පරිසර පද්ධතියක්. 

හාර්ලික්වීන් මත සිටින මයිටාවන්

හාර්ලික්වීන් මත සිටින pseudoscorpion

ඔබට මෙ ඡායාරූපයේ පෙනෙනවා ඇති හාර්ලික්වීන් කුරුමිණියා මත සිටින කුඩා මයිටාවන්. මේ මයිටාවන් ආදී කුඩා ප්‍රමාණයේ කෘමින් (mites, pseudoscorpions (ඇරක්නීඩාවන් විශේෂයක්) etc) ජීවත් වීම සඳහා අවශ්‍ය ස්ථාන කුරුමිණි ශරීරය තුල තිබෙනවා. පියාපත් ආවරණ (elytra) හී ඇති කුඩා සිදුරු ආදියේ මේ සත්වයින් වාසය කරනවා.

මේ එක් එක් විශේෂය කුරුමිණියා මත සිටීමෙන් බලාපොරොත්තු වෙන්න වෙනස් ප්‍රතිලාභ. උදාහරණයකට ගොනුස්සන්ට සමාන pseudoscorpion විශේෂ ජීවත් වීම සඳහා මැරුණ ෆයිකස් ශාඛ කඳන් අවශ්‍ය වෙනවා. වාසනාවකට හාර්ලික්වීන් කුරුමිණියන් ප්‍රිය කරන්නෙත් මැරුණ ෆයිකස් ශාඛ කඳන්. නමුත් මධ්‍යම ඇමරිකාවේ ඉතාමත් ගන වන වැස්ම නිසා pseudoscorpions ලාට තැනින් තැන පිහිටන ෆයිකස් ශාඛ වලට ගමන් කිරීමට හැකියාවක් නෑ. නමුත් පරිණාමිකව ඔවුන් ඒ සඳහා භාවිතා කරන විකල්පය තමයි ප්‍රවාහන මාධ්‍යක් ලෙස හාර්ලික්වීන් කුරුමිණියන් උපයෝගි කරගැනීම.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)




#DOE




ඔස්ට්‍රලෝපිතෙකස් අනාමෙන්සිස් සුවිශේෂී සොයාගැනීම (The great discover of Australopithecus anamensis complete skull)


2019 අගෝස්තු 29 දින භෞතික මානව විද්‍යා ක්ශේත්‍රය තුලින් ඉතාමත් සුවිශේෂී සොයාගැනීමක් ලෝකයා හමුවේ තැබුවා. ඒ තමයි මානව පරිණාමික වෘක්ෂය තුල අතුරු ශාඛාවකට අයත් යැයි මෙතෙක් හඳුනාගෙන තිබු ඔස්ට්‍රලෝපිතෙකස් අනාමෙන්සිස් විශේෂයට අයත් සම්පූර්ණ කපාල ෆොසිලයක් ප්‍රථම වතාවට සොයාගැනීම ප්‍රකාශයට පත් කිරීම.

අනාමෙන්සිස් කපාල ෆොසිලය

අදින් වසර මිලියන 3.2 - 4.2 අතර කාලය තුල ජීවත් වූ ඔස්ට්‍රලෝපිතෙකස් ගනය කියන්නෙ මානව පරිණාමයේ ඉතාමත් සුවිශේෂී සංධිස්ථානයක්. ඔස්ට්‍රලෝපිතෙකස් ගනයට අයත් විශේෂ කිහිපයක් මේ කාල වකවානුව තුල අප්‍රිකානු ග්‍රෙට් රිෆ්ට් නිම්න භුමිය තුල ජීවත්ව තිබෙනවා. ඒ අතරින් ඔස්ට්‍රලෝපිතෙකස් අෆාරෙන්සිස් , ඔස්ට්‍රලෝපිතෙකස් ඇෆ්රිකානස්, ඔස්ට්‍රලෝපිතෙකස් අනාමෙන්සිස්, ඔස්ට්‍රලෝපිතෙකස් බාරෙල්ගේසලි, ඔස්ට්‍රලෝපිතෙකස් ගාරි භෞතික මානව විද්‍යාව තුල පිලිගත් විශේෂයන්. ඒ වගේම ඔස්ට්‍රලෝපිතෙකස් ඩෙරිමිඩා නැමැති විශේෂයක් මේ වන විට පර්යේෂණ මට්ටමේ අප්‍රකාශිත විශේෂයක් වශයෙන් හඳුන්වනු ලබනවා.


අනාමෙන්සිස් ප්‍රතිනිර්මාණ

ඔස්ට්‍රලෝපිතෙකස් ගනයේ පෙර සඳහන් කල සාමාජිකයන් අතරින් ඔස්ට්‍රලෝපිතෙකස් අනාමෙන්සිස් විශේෂයට අයත් සම්පූර්ණ කපාලයක් මෙතෙක් හමුව තිබුනේ නෑ. මේ ඉතාමත් විරල ෆොසිලය එවන් සම්පූර්ණ අනාමෙන්සිස් කපාලයක්. MRD ලෙස කේතගත කර ඇති මේ කපාලය අයත් අනාමෙන්සිස් විශේෂය ඉතාමත් ප්‍රසිද්ධ ලූසී ෆොසිලය අයත් ඔස්ට්‍රලෝපිතෙකස් අෆාරෙන්සිස් විශේෂයේ පූර්වජයෙකු ලෙස සලකනු ලබනවා. මේ පසුව එළඹෙන අෆාරෙන්සිස් විශේෂය තමයි තවත් පසුකාලීනව අප අයත් හෝමෝ ගනය ඇති වීමට මුල් වු පූර්වජ විශේෂ ලෙස සලකනු ලබන්නෙ.

ෆොසිලය ආශ්‍රයෙන් සිදුවූ ප්‍රතිනිර්මාණය

මේ සොයාගත් කපාලය අයත් වන්නෙ පිරිමි සමාජිකයකු බවට තමයි සඳහන් වෙන්නෙ. මරණයෙන් පසු මේ කපාලය එවක පැවති ගංගාවක් මඟින් ගසාගෙන අවුත් තැන්පත් වී ෆොසිලගතව ඇතිබව මේ විද්‍යාඥ කණ්ඩායම සිය ප්‍රකාශනයේ සඳහන් කරනවා. 

අනාමෙන්සිස් කපාල ෆොසිලය

ඔස්ට්‍රලෝපිතෙකස් ගනයේත් මුල් සාමාජිකයෙක් වන අනාමෙන්සිස් පසු අවස්ථාවක එළැඹුනු අෆාරෙන්සිස් ගනය ජීවත්වු සමය වසර 100000 පමණ අතිඡ්ඡාදනය කරනු ලබනවා. ඒ අනුව රේඛීය පරිණාමයක් නොව අතු බෙදී විහිදී යන ප්‍රසාරිත පරිණාමය පිළිබඳව මතය මෙම සොයාගැනීම තුලින් තවත් තහවුරු වෙනවා. සරලව එක් විශේෂයක් සම්පූර්ණයෙන් නැතිවු පසු එළඹෙන විශේෂක් ලෙස නොව පූර්වජ විශේෂයත්, දුහිතෘ විශේෂයත් එක් සමයක් තුල ජීවත්වන සමාන්තර සමයක පැවැතීම මේ පරිණාමික ක්‍රියාවලිය තුල දකින්න පුළුවන් ලක්ෂණයයක්. 

2019 වසරේ භෞතික මානව විද්‍යා ක්ශේත්‍රය තුල මෙතෙක් සිදුවු දෙවන විශාලතම සොයාගැනීම ලෙස මෙය සඳහන් කරන්න පුළුවන්. හෝමෝ ලුසොනෙන්සිස් ප්‍රකාශනය මාස කිහිපයකට පෙර එලිදැක්වු පසු අනාමෙන්සිස් සොයාගැනීම ඉතාමත් වැදගත් සංධිස්ථානයක්.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)




#DOE




රතු පැන්ඩා (Red Panda)


නැගෙනහිර හිමාල ප්‍රදේශයේ සහ නිරිතදිග චීන ප්‍රදේශ තුල ජීවත්වන මේ අපූරු සත්වයන්ව හඳුන්වන්නේ Red panda ලෙස. විද්‍යාත්මක නාමය Ailurus fulgens.

රතු පැන්ඩා

රතු පැන්ඩාවන් ලෙස නම ලබා දී තිබුනට මේ සත්වයින් පැන්ඩා සත්වයන් හෝ වලසුන් අයත් Ursidae කුලයට අයත් සත්ව විශේෂයක් නෙවෙයි. කලකට පෙර මොවුන් පරිණාමිකව වඩාත් සමීප වන්නෙ රැකූන් (Raccoon) සත්වයන්ට යන මතය පැවතුනත් වර්තමානයේදි ජාන විද්‍යාත්මක සාධක ඇසුරෙන් ඔවුන්ටම අයත් සුවිශේෂී උප කුලයකට මේ සත්වයින් ගොනුකර තිබෙනවා. Ailuridae නැමැති මේ උපකුලය අයත් වන්නෙ රැකූන් , ස්කන්ක් සහ වීසල් විශේෂ අයත් Musteloidea කුලයට. 

රතු පැන්ඩාවන් රුක්වාසී ක්ශිරපායින් විශේෂයක්. ප්‍රධාන වශයෙන් උණ ආහාරයට ගත්තත් කුඩා කෘමි සතුන්, පක්ශි බිත්තර ආදිය ආහාරයට ගන්නා සර්වභක්ෂකයෙක්. 

රතු පැන්ඩාවන් කියන්නෙ වඳවීමේ තර්ජනයට ලක්වු විශේෂයක්. වනාන්තර අහිමි වීම වගේම සුරතල් පෙනුම නිසා සුරතල් සත්ව වෙළඳාමට යොදා ගැනීම මොවුන්ට ඇති වී තිබෙන විශාලතම තර්ජනයන්. 

වර්තමානයේදි රතු පැන්ඩාවන් සංරක්ෂණය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම චීන රජය සහ යාබද රාජ්‍යන් සිදුකර තිබෙනවා. කෙසේ නමුත් තවමක් රතු පැන්ඩාවන්ට තිබෙන්නේ අවිනිශ්චිත අනාගතයක්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Friday, October 16, 2020

මලබාර් ලේනා (Malabar giant squirrel)


පහත ඡායාරූප වල සිටින්නේ මලබාර් දඬුලේනා




තීන්ත බාල්දියකට වැටුනු දඬුලේනෙක් වගේ දිස්වුනාට ස්වාභාවික වර්ණ රටා පිහිටන ඉතාමත් අලංකාර විශේෂයක්. ලංකාවේ ඉන්න දඬුලේන් විශේෂයට ලඟම ඤාතීත්වයක් දක්වන මොවුන් ජීවත් වන්නෙ ඉන්දියාවෙ. Ratufa macroura විද්‍යාත්මක නාමයෙන් තමයි ලංකාවේ ඉන්න දඬුලේනන් හඳුන්වන්නේ. මේ විශේෂය Ratufa ගනයේම Ratufa indica ලෙස හඳුන්වනවා. වසර දහස් ගනනකට පෙර මොවුන්ගෙ පූර්වජයා එක් අයෙක්. නමුත් භූගෝලිය ලෙස වෙන්ව යෑම, වෙනස් පාරිසරික තත්වයන් ඇතිවීම තුල ඔවුන් වෙනස් විශේෂ බවට පරිවර්තනය වී තිබෙනවා.
 
 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)



#DOE




නවතම ස්පයිනොසෝරිඩ් විශේෂය (The newest species of Spinosauridae family)


ස්පයිනොසෝරිඩ් කුලය ගැන මම මීට පෙර පරිණාමික දිනපොත තුලින් කිහිප වරක්ම සඳහන් කර තිබෙනවා වගේම සටහන් ඉදිරිපත් කර තිබෙනවා. ස්පයිනෝසෝරස් ඒජියේප්ටිකස් විශේෂය ලෝකය පුරාම ප්‍රසිද්ධ විශේෂයක් වෙන්නෙ ජුරැසික් පාර්ක් චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය තුලින් මේ විශේෂය දකින්න පුළුවන් වෙන නිසා. ස්පයිනෝසෝරස් ඒජියේප්ටිකස් විශේෂය අයත් කුලය තමයි ස්පයිනොසෝරිඩේ කුලය. මේ කුලයට අයත් විශේෂ ලෝකයේ විවිධ ප්‍රදේශ තුලින් හමුවෙනවා. බැරියොනික්ස් වෝකරි යුරෝපයෙනුත්, ආසියානු ප්‍රදේශයෙන් ඉක්තියෝවනේටර් විශේෂයත්, ඉරිටේටර් චැලෙන්ජරි විශේෂය බ්‍රසීලය ආශ්‍රිතවත් පැතිරි තිබීමෙන් ඔබට යම්කිසි අදහසක් ලැබෙන්නට ඇති ස්පයිනොසෝරිඩේ කුලයේ පැතිරීම හා විවිධත්වය ගැන.

මේ කතා කරන්නෙ ලෝකයට අලුතින්ම හඳුන්වා දුන් ස්පයිනොසෝරිඩ් විශේෂයක් ගැන. 2019 අගෝස්තු මාසයේ පලමුවරට හඳුන්වාදෙන මේ විශේෂය නම් කරලා තියෙන්නෙ වෙලිබොනවෙනට්‍රික්ස් කැනී (Vallibonavenatrix cani) ලෙස. 
 
සොයාගත් ෆොසිල

කැනී විශේෂයේ ප්‍රතිනිර්මාණයක්
 
සිත්ගන්නාසුළු කාරණය තමයි ස්පාඤ්ඤයෙන් හමුව ඇති මේ නව ස්පයිනොසෝරිඩ් විශේෂය යුරෝපයේ හමුවන ස්පයිනොසෝරිඩ් විශේෂනට වඩා ඤාතීත්වයක් දක්වන්නෙ අප්‍රිකානු සහ ආසියානු විශේෂ වලට වීම. මේකට හේතුව ලෙස දක්වන්නෙ මෙම සත්වයින් ජීවත්වු යුගය තුල යුරෝපානු, ආසියානු සහ උතුරු අප්‍රිකානු කලාප අතර සමාන ජෛවභූගෝලීය ව්‍යප්තියක් පැවතීම.

ෆොසිල සොයාගත් ප්‍රදේශය

ක්‍රිටැසියස් අවධිය තුල ජීවත්වු කැනී විශේෂය අයත් ස්පයිනොසෝරිඩේ කුලය ඉතාමත් විශාල සත්වයින් දැකිය හැකි විලෝපික කුලයක්. ඇතැම් විශේෂ අර්ධ ජලජ පාරිසරික තත්වයන් තුල ගොදුරු සෙවීම සඳහා අනුවර්තන දැක්වු සත්වයන්. 

(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)




#DOE




ඇඩ්‍රටික්ලිට් බුලාෆා (Adratiklit boulahfa)


ගතවන සෑම පැයක් පාසාම ෆොසිල විද්‍යාවේ යාවත්කාලීන වීම් වලට එක්වන නවතම විශේෂ අතරට එකතු වෙන්නෙ ස්ටෙගොසෝරියා උප ගෝත්‍රයට අයත්වන නව විශේෂයක්. ස්ටෙගොසෝරයා උප ගෝත්‍රවයට අයත් ඩයිනෝසරයන් ජීවත් වන්නෙ ජුරැසික් අවධිය තුල. බ්‍රිතාන්‍යය ස්වභාව විද්‍යා කෞතුකාගාරයට අයත් ෆොසිල විද්‍යාඥයන් කණ්ඩායමක් මෙම සොයාගැනීම සිදු කරන්නෙ මොරොක්කෝ රාජ්‍ය තුලින්. ඔවුන් මේ ස්ටෙගොසෝරියා උප ගෝත්‍රයට අයත් නව ගනයක් සහ විශේෂයක් නම් කරනු ලබනවා සොයාගනු ලබන ෆොසිල ආධාරයෙන්. 
 
ෆොසිල සොයාගත් ප්‍රදේශය
 
Adratiklit boulahfa (ඇඩ්‍රටික්ලිට් බුලාෆා) ලෙස තමයි විශේෂය නම් කරන්නෙ, අර්ථය 'කඳුකර උරගයා'. එනයින් ස්ටෙගොසෝරියා උප ගෝත්‍රය තුලට එකතුවන නව ගනය වන්නෙ Adratiklit ගනයයි. මේ නව සොයා ගැනීමේ විශේෂත්වයන් දෙකක් තිබෙනවා. පලවෙනි එක තමයි මේ විශේෂය තමයි උතුරු අප්‍රිකාවෙන් සොයාගනු ලබන පලමු ස්ටෙසෝරියා උප ගෝත්‍රයට අයත් ඩයිනෝසර විශේෂය. දෙවන කරුණ තමයි දැනට ලෝකයේ විවිධ ප්‍රදේශ තුලින් හමුව ඇති ස්ටෙගොසෝරියාවන් අතරින් පැරණිතම විශේෂ මෙය වීම. 
 
නව විශේෂයේ ප්‍රතිනිර්මාණයක්

ෆොසිල විද්‍යාව තුල මෙතෙක් ස්ටෙගෝසෝරියාවන් හමුව ඇති කාල පාසය වසර මිලියන කිහිපයක් පිටුපසට ඇදීමට සමත් වෙනවා මේ නව සොයා ගැනීම. වසර මිලියන 168 පමණ පෙර තමයි මේ විශේෂය මිහිමත ජීවත් වන්නෙ. 
 

ෆොසිලයේ කොටස්
 
වසර මිලියන 168 පෙර පෘථෘවිය තුල තිබුනෙ මහද්වීප දෙකයි. එකක් ගොන්ඩ්වානා මහද්වීපය, අනෙක ලොරේශියාව. සාමාන්‍යයෙන් ස්ටෙසෝරියාවන් අයත් තයරියාෆොරන් ඩයිනෝසරයන් වැඩි වශයෙන් හමුවන්නෙ ලොරේශියාව තුලින්. නමුත් ඇඩ්රටික්ලිට් හමුව තිබෙන භූ සංකීර්ණය අයත් වන්නෙ ගොන්ඩ්වානා සම්භවයට. ඒ නිසා තයරියාෆොරන් ඩයිනෝසරයන්ගේ පැතිරීම පිළිබඳව මෙතෙක් තිබුනු මත යම්කිසි අපගමනයකට ලක්වීමක් සිදුවෙනවා මේත් සමඟම. ඒකට හේතුවක් විදිහට සලකන්න පුළුවන් කාරණයක් තමයි ෆොසිල විද්‍යාව තුල වර්තමානය තෙක් වැඩි වශයෙන් ගවේශනයට ලක්ව තිබෙන්නෙ ලොරේශියන් සම්භවය සහිත භූ සංකීර්ණ වීම. ගොන්ඩ්වානා භූ සංකීර්ණ තවමත් ගවේශනය වී ඇත්තෙ ඊට සාපේක්ෂව අඩු වශයෙන්.

කෙසේ නමුත් මේ ගතවන්නෙ ෆොසිල විද්‍යාවේ ස්වර්ණමය අවධිය. ඉදිරියේදි තවත් නව ඩයිනෝසර විශේෂ ගනනාවක් එලිදැක්වෙනු ඇති. 

(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)




#DOE




නාමකරණය සහ ප්‍රසිද්ධ චරිත (Nomenclature and famous figures)


නාමකරණ විද්‍යාවේ ඉතිහාස පිටු කිහිපයක් පෙරලද්දි ඉතාමත් සිත්ගන්නාසුළු නම් සහිත ජීවී විශේෂ කිහිපයක් (එවැනි නම් සිය ගනනක් තිබෙනවා නමුත් තෝරාගත් කිහිපයක්) ගැන ඔබ හමුවේ තැබිය යුතු යැයි සිතුනා. ලෝක ඉතිහාසයේ නායකයන්, ආගමික ශාස්තෘවරුන් වැනි චරිත කිහිපයක් සහ නාමකරණය සැකෙවින්.

1. වර්තමාන තායිලන්ත රජ පෙළපතේ ආරම්භකයා වන මහිදෝල් අඩුල්යාඩෙජ් කුමරා වෙනුවෙන් 1932 දි නම් කරනවා ගෝබී මත්ස්‍යයෙක් Mahidolia ලෙස.

2. 1992 දි දකුණු අප්‍රිකානු නිදහස් සටනේ පතාකයකු වන නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් මුහුදු ගොළුබෙලි ගනයක් සහ විශේෂයක් පිලිවෙලින් Mandeliidae සහ Mandelia ලෙස.

Anelosimus nelsoni (මකුළුවෙක්)
Australopicus nelsonmandelai (කොට්ටෝරුවෙක්)
Garjainia mandiba (නශ්ඨව ගිය පර්මියන් ආර්කෝසෝරයෙක්)
Munidopsis mandelai (පොකිරිස්සෙක්)
Singafrotypa mandela (මකුළුවෙක්)

යන සත්ව විශේෂ සියල්ලම නාමකරණය කර ඇත්තෙ මැන්ඩෙලාට ගෞරව පිණිස.

3. ඇස්ටෙක් අධිරාජ්‍ය මොන්ටෙසුමා වෙනුවෙන්

Parides montezuma (ලිහිණියෙක්)
Pinus montezumae (ශාඛයක්)
Xiphophorus montezumae (පක්ශියෙක්)

4. තායිලන්ත රාජකීය කුමරකු වන මහා චක්‍රී සිරින්ධෝන් වෙනුවෙන් Sirindhorn thailandiensis (සලබයා)

5. ඇරිස්ටෝටල් - Aristotelia Hü (සලබයෙක්)

6. ආකිමිඩීස් Archimedes Lesueur (බ්‍රයෝසෝවෙක්) 

7. දෙවන ජුවාම් පාවුලු පාප්වරයා වෙනුවෙන් Aegomorphus wojtylai කුරුමිණියා

8. සාන්ත ඇල්බර්ටුස් මැග්නුස් Alberta magna (natal flame bush)

9. කොන්ෆියුසියස් තුමා වෙනුවෙන්

Confucius Distant (කුරුමිණියෙකු)
Confuciusornis sanctus (වඳව ගිය පිහාටු සහිත ඩයිනෝසරයකු)

10. දලෙයි ලාමා තුමාට Dalailama Staudinger (ටිබෙටයේ සලබයකු)

Dalai-Lama (ඩයටම් විශේෂයක්)

11. බුදු රජාණන් වහන්සේට

Buddhaites නැමැති සමස්ථ ඇමෝනිටා ගනය (ක්‍රිටැසියස් නශ්ඨවීමෙන් වඳව ගිය මොලුස්කා ගනයක්)

Barilius buddhae (සිප්රිනිඩේ කුලයේ මත්ස්‍ය විශේෂයක්)

12. ඉන්දීය නිදහස් සටනේ අසහාය නායක මහත්මා ගාන්ධි වෙනුවෙන් Colletes gandhi  (මී මැසි විශේෂයක්)

13. Basiliscus basiliscus උරග විශේෂය ව්‍යවහාරිකව හඳුන්වන්නෙ ජේසුස් ක්‍රිස්තුස් උරගයා ලෙස (Jesus christ lizard)

මේ නාමකරණ ඉතිහාස පිටුවලින් දශමයක් පමණයි. කියවා තේරුම් ගැනීම සඳහාත් තවදුරටත් සෙවීමටත් ඔබට හැකියාව තිබෙනවා. 

නොදන්න අයට දැනගන්න පහත ප්‍රතිනිර්මාණයේ සිටින්නේ ඇමොනිටාවෙක්.

ඇමොනිටාවෙකුගේ ප්‍රතිනිර්මාණක්


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)




#DOE




ෆයිටෝප්ලෑන්ක්ටොන්ස් (Phytoplanktons)


ෆයිටොප්ලෑන්ක්ටන්ස් (ශාඛ ප්ලවාංග)
 
නිල්පාටට පේන්නෙ ෆයිටොප්ලෑන්ක්ටන්ස් එහෙම නැත්තන් ශාඛ ප්ලවාංග රාත්‍රියේදි ජෛවසන්දීප්තතාව දක්වන අයුරු. අප හුස්ම ගන්න ඔක්සිජන් ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් නිපදවන්නේ මේ ශාඛ ප්ලවාංග. පෘථීවිය උණුසම් වීමත් සමඟම ඉහල යන CO2 ප්‍රමාණයත් එක්ක සාගරවාසීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව තමයි 'සාගර ආම්ලීකරණය'. ඒ කියන්නෙ සාගර ජලයේ තිබෙන ආම්ලිකතාව ඉහල යෑම. මේකෙන් සිදුවන ප්‍රධාන පහරදීම තමයි සාගර ආහාර ජාලවන මුල් පුරුක්වාසී විශේෂ නශ්ඨවීම. කවචධාරී ක්ශුද්‍ර ජෛව ඒකක වලට ඒ නිසා නොහැකි වෙනවා කැල්සියම් කාබනේට් කවචයන් නිර්මාණය කරගන්න. ඒ වගේම කැල්සියම් කාබනේට් සැකිලි දැනටමත් පවතින විශේෂ වලින් මේ කැල්සියම් කාබනේට් හායනය වීම සිදුවෙනවා.

සාගර ආම්ලීකරණය කියන ගැටලුව ගැන ලංකාව තුල කතා කරන්නෙ නැති තරම්. නමුත් මේ ගැටලුව අතිශයින්ම බරපතල ගැටලුවක්. ඒ නිසාම මේ ගැටලුව හඳුන්වන්නේ ගෝලීය උණුසුමේ නපුරු නිවුන් සොහොයුරිය ලෙස. ඉහතින් සඳහන් කලා වගේ සාගර ආහාර ජාලවල මුල් පුරුක් බිඳ වැටීම ඇරඹෙන විට සමස්ථ ජාලයම බිඳවැටීමේ අවදානම තියෙනවා. ප්‍රතිඵලය තමයි ජීවයෙන් තොර මළ සාගර. ජීවයෙන් තොර සාගර කියන්නෙ ක්‍රමිකව භෞමික පරිසර පද්ධතිවල තුලනයත් බිඳ වැටීම. මේ ක්‍රියාදාමයට වසර මිලියන 250 කට පමණ පෙරදි පෘථෘවිය මුහුණ දෙනවා. ප්‍රතිඵලය තමයි පෘථෘවියේ සමස්ථ ජීවයෙන් 90% නශ්ඨවීම. ඒක අපි හඳුන්වනවා පර්මියන්-ට්‍රියැසික් මහා නශ්ඨවීම් දාමය ලෙස. දැන් ගැටලුවක් එන්න පුළුවන් මිනිස්සු ජීවත් නොවු එතරම් ඈත යුගයක කොහොමද CO2 ප්‍රතිශතය ඉහල යන්නෙ කියන එක. පිලිතුර තමයි ගිනිකඳු හා යවහල් ක්‍රියාකාරීත්වයෙන් විමෝචිත කාබන් ඩයොක්සයිඩ් පරිමාව ඒ කාලය තුලදි ඉතාමත් අධික වීම.

නැවතත් ශාඛ ප්ලවාංග වෙතට ආවොත් ඔබට වැටහෙනවා ඇති මේ ජීවීන් යම් හෙයකින් නශ්ඨවීමට ලක්වුවහොත් ඔබත් මමත් ඇතුළු භෞමිකවාසී ජීවී ආකාර විශාල ප්‍රමාණයක් ආශ්වාස කරන ඔක්සිජන් ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් අහිමිවන බව. මේ ප්‍රාථමික නිශ්පාදකයන් ඉතාමත් ආදි සම්භවයක් ඇති පෘථෘවි වාසීන්. ජෛවසන්දීප්තතාවයෙන් ආලෝකමත් වු වෙරළත් සමඟ ඈතින් දිස්වන ක්ශිරපථය අපට මතක් කරන්නෙ මේ මන්දාකිණිය තුල ජීවය ඇති බවට අප දන්නා එකම ග්‍රහායාගේ නොගිනිය හැකි තරම් කුඩා ජෛව ඒකකයක් පවා සමස්ථ ජීවී පද්ධතියේම පැවැත්ම සඳහා සිදුකරන කාර්යභාරයේ වටිනාකම.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)




#DOE




Thursday, October 15, 2020

නාමකරණය සහ හූනන් (Nomenclature and Geckos)


දිවාසැරි හූනන් ගැන තව යමක් කිව යුතුයි. ලතින් විද්‍යාත්මක නාමකරණය තුලදි අපි උදාහරණයකට ගමු Jayawardena කියන නම යම්කිසි නව ජීවී විශේෂයකට ලබා දුන්නා කියලා, ගෙඹි විශේෂකට දුන්නා කියලා හිතමුකො.. ඒ නම ලතින් ආරෙන් Jayawadenei ලෙස ලියවෙද්දි, ei/ai සහ තවත් ආකාර ලෙස, ලතින් භාෂාවෙන් එහි අර්ථය 'ජයවර්ධන ගෙම්බා' නෙවෙයි. එහි අර්ථය 'ජයවර්ධනගේ ගෙම්බා'. මේ විශේෂ ප්‍රථ්‍ය යෙදීම ක්ශේත්‍රයේ නියුතු පුද්ගලයන් දුටු විට අවබෝධ වෙනවා යම්කිසි පුද්ගලයකු අනුස්මරණය කිරීමට, ගෞරව කිරීමට යොදා ඇති නමක් බව.

දිවාසැරි හූනන් හය දෙනාගෙ නම් වැරදි ආකාරයකින් වැරදි ජනතාවකට සංසරණය කරන මාධ්‍යත්, මේ කිසිවක් නොදැන කුලප්පු වෙ ජනතාවත් වාද කිරීමට, කියවන්නන් වාලේ කියවා ගැනීමට හෝ දේශපාලනික අර්ථයකින් මේක බාරගත්තට නින්දෙන් ඇහැරිලා වගේ මේ නම් දෙන්නෙ සෑහෙන කාලෙක ඉඳන්. ජෛව විද්‍යඥයකුට ජීවීන් අතර වෙනසක් කියලා දෙයක් නැහැ. ජෛව පද්ධතීන් තුල ඉතාමත් ක්ශුද්‍ර ජෛව ඒකකයන්ගෙ සිට මහා ජීවීන් දක්වා ඉටුකරන කාර්යභාරය එක හා සමාන වටිනාකමකින් යුක්ත දෙයක්. 

මීට සෑහෙන කාලෙකට කලින් දිවාසැරි හූනන් විශේෂක්ම දුටුගැමුණු රජතුමාට ගෞරව පිණිස නම් කරනවා Cnesmaspis gamunu ලෙස. වීර පුරන් අප්පු වෙනුවෙන් නම් කරලා තියෙනවා ගෙම්බන් විශේෂයක් මීට පෙර Pseudophilautus puranappu ලෙස. මේ උදාහරණ දෙකක් පමණයි, මේ වගේ විවිධ ගෞරවනීය මිනිස්සුන් අනුස්මරණය උදොසා ලංකාවේ ජීවි විශේෂ සිය ගනනක් නම් කරලා තියෙනවා. ක්ශේත්‍රය තුල මේක අලුත් හෝ අගෞරවනීය දෙයක් නෙවෙයි, ඒකෙ ප්‍රතිවිරුද්ධ පැත්ත. මේ ප්‍රකාශන අදටත් තවත් චිරාත් කාලයකටත් විද්‍ය ලෝකය තුල භාවිතා වෙනවා. මේ ගැන සාමාන්‍ය ජනතාව එපමණ කලක් ගිහිනුත් නොදන්නෙ විද්‍යාත්මක නාමකරණය ශාස්ත්‍රීය ප්‍රකාශන හා විද්‍යා ක්ශේත්‍රය තුල සිටින්නන් අතර භාවිතයේ පවතින දෙයක් නිසා. එකවරම පත්තර හෙඩිමකින් වර්තමාන අවස්ථාව ජනගත කරන්නෙ වෙනත්ම කාණ්ඩයකට. අර්ථයවත්, භාවිතයවත්, එහි ඇති ගෞරවාත්මක බව හෝ නොදන්න සෙවීමට කාලයක් ගත නොකරන අවම තරමින් කිවුලේගෙදර මොහොට්ටාල, බූටෑවේ, හිටිහාමි වැනි ජාතික විරුවන් ගැනවත් වාඛ්‍ය පහක් කියාගන්න බැරි මිනිස්සු තමයි බුරාගෙන පනින්නෙ. 

මේක ලිව්වෙ ඒ වගේ නොදරුවන්ගේ පහන් සංවේගය උදෙසා නෙවෙයි. මෙහි අරුත්, යෙදීම, භාවිතාව ගැන උනන්දුවක් දක්වන සබුද්ධික මිනිසුන් උදෙසා.



නව දිවාසැරි හූනන් සහ ජාතික වීරයන් (New day gecko species and National heroes)


2019, අගෝස්තු මාසයෙදී පර්යේෂණ කණ්ඩායමක් එලිදැක්වුවා නව හූනන් විශේෂ 6 ක්. මේ හූනන් විශේෂ 6 ට ජාතික වීරයින් සිහිවීම පිණිස නාමකරණය ලබා දී තිබෙනවා. විද්‍යාව, සොයාගැනීමක තිබෙන වටිනාකම හෝ අර්ථාන්විත බව ගැන නොදත් අඳබාලයන් තැනින් තැන මේ නාමකරණය ගැන විකාරරූපී අදහස් පලකර ඇති බව දැක්ක නිසා (ජාතික වීරයින්ට අගෞරව කිරීමක්ය, ජාතික වීරයන් හූනන්ට සමාන කරය ආදී) මේ සම්බන්දයෙන් සටහනක් තැබීම යුතුකමක් ලෙස සලකා මෙලෙස සටහන් කරමි.

යම් පරීක්ෂයකු හෝ පර්යේෂණ කණ්ඩායමක් මාස, ඇතැම් විට වසර ගනනක දහඩිය මහන්සිය හෙලා යම් සොය ගැනීමක් ලෝකය හමුවේ තැබීම කොතරම් අපහසු කාරණයක්ද යන්න දන්නෙ ඒ ක්ශේත්‍රය තුල නියුතු පුද්ගලයන්ම පමණයි. නව ජීවී විශේෂ ලොවට ප්‍රථමයෙන්ම හඳුන්වා දීමේදි ඒ අදාල ජීවීයා නාමකරණය කිරීමට පර්යේෂකයන් හට අයිතිය ලැබෙනවා. තක්සෝන විද්‍යාවේ, වර්ගීකරණය විද්‍යාවේ නියැලී සිටින්නකු හට ඒ අවස්ථාව ඉතාමත් වටිනා අවස්ථාවක්, ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. ඒ අවස්ථාවේදි තමන් ආදරය කරන යමෙකුට ගෞරව දැක්වීම වර්ගීකරණය ක්ශේත්‍රය තුල ලොව පුරා දකින්න පුළුවන් සංසිද්ධියක්. 

සොයා ගැනීම හූනකුද, ගෙම්බෙකුද, පරපෝශිතයකුද, ලේ උරා බොන්නකුද යන වග නොව නාමකරණයට යොදන නාමය තුලින් එකී නාමය අමරණීයත්වයට පත්වෙනවා. මේ පිටුව තුල ඔබ දැක ඇති අැතැම්විට විවිධ ජීවි විශේෂ වල විද්‍යාත්මක නාමයට තුඩු දී ඇති පසුබිම් කතාව, සාහිත්‍ය මා වරින්වර සටහන් කරන අයුරු. එලෙසම මේ තබන නාමයන්ද විද්‍යාව තුල අමරණීය තත්වයක් උසුලනවා. මේ පර්යේෂක කන්ඩායමත් තමන් දහඩිය මහන්සියෙන් සොයාගෙන නව ජීවී විශේෂ හයක් ලෝකය හමුවේ තබන්නේ තමන් ගරු කරන ජාතික වීරවරයින්ගෙ නම් විද්‍යාත්මක නාමයට ලබා දෙමින්. Cnemaspis ගනයට අයත් මේ නව දිවාසැරි හූනන් විශේෂ හය එවක් පටන් ලංකාවෙන් ලෝකයේ ජෛව විවිධත්ව නාම ලේඛනයට දායාද කරන අමිල වටිනාකමක් ඇති සොයාගැනීම්.

ලෝකයේ ගෞරවනීය චරිත, රාජකීයයන්, වීරයන්, දෙවිවරුන්, නළු නිලියන් ආදී චරිත සිය ගනනගෙ නම් මෙලෙස නව ජීවී ප්‍රභේදයනට ලබාදෙන සම්ප්‍රදාය තුල එකී චරිත පහත හෙලීමක් නොව ඒවාට ගෞරවයක් ලබාදීම සිදුවෙනවා. පහත තියෙන්නෙ උදාහරණ කිහිපයක්.

* ලංකාවේ මත්ස්‍ය විද්‍යාඥයෙක් වෙන රෝහණ පෙතියාගොඩ හොයාගන්න මත්ස්‍ය විශේෂයක් නම් කරනවා ලොව සුපතල විද්‍යඥයා වන රිචර්ඩ් ඩෝකින්ස්ගෙ නමින් Dawkinsia ලෙස.

* කැරිබියන් දූපත්වල පරපෝශිතයකු නම් කරනවා බොබ් මාලිට ගෞරවයක් ලෙස Gnathia marleyi කියලා.

* සුප්‍රසිද්ධ ගායිකා බියොන්සේ වෙනුවෙන් නම් කරලා තියෙනවා Scaptia beyonceae ලෙස

* සුප්‍රසිද්ධ නිලියක් වන කේට් වින්ස්ලෙට ගෞරව පිණිස Agra katewinsletae 

* චාර්ල්ස් කුමාරයා වෙනුවෙන් ගෙඹි විශේෂයක් නම් කරනවා Hyloscirtus princecharlesi ලෙස.

එමෙන්ම විද්‍යාත්මක නාමය මෙලෙස දුන් පමණින් ගෝඨයිම්බර හුනා කියා මොවුන් ආමන්ත්‍රණය නොකරයි. ඒවාට වෙනම ව්‍යවහාරික නාමයන් පවතී.

අනෙක් කරුණ තමයි මේ ඇතැම් ජාතික වීරවරයන් නැසීමට ලක්කල රාජකීය අනුග්‍රහය ලබන ආයතන වලම මේ වීරයින්ගෙ නම් මෙමඟින් සඳහන් වනු ඇත. එයම ඔවුනට ගෞරවයකි.

තමන්ගෙ රටේ සිදුවන විශිෂ්ට සොයා ගැනීමක හරය තේරුම් ගැනීමට නොහැකි, උදේ හවස ග්‍රහ තාරකා දෙස බලමින් ජීවීතය හැඩගස්වා ගන්නට වෙර දරන, සෑම දෙයකම වැරදි කොනෙන් අල්වා ගන්නා, ප්‍රාථමික ජීවී කොට්ඨාසයක් තවමත් මේ රටේ ජීවත් වෙනවා. වසර මිලියන 8 හෝමෝ සේපියානු පරිණාමික ගමන් මඟින් අැති වී තිබෙන්නේ මෙවන් කපාල ධාරිතාවක් ඇති කුණප බුදින්නන්ද යන ගැටලුව මොවුන් දෙස බලන විට ඉතිරිවන ගැටලුවක්.

පහත තිබෙන්නේ මේ නව දිවාසැරි හූනන් පිළිබඳව පර්යේෂණ පත්‍රිකාව බාගත කල හැකි සබැඳිය. පෝස්ටුව ශෙයාර් නොකලත් කමක් නෑ මේ සොයාගැනීම ශෙයාර් කරන්න.


අවසාන වශයෙන්.. මේ පර්යේෂණය සිදුකල පර්යේෂක කණ්ඩායමට පරිණාමික දිනපොතින් හෘදයාංගම සුභ පැතුම් ! මෙවන් නව සොයාගැනීම් අනාගතයේදි වැඩි වැඩියෙන් ලොවට දායාද කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

පහතින් උපුටාගත් ඒ පර්යේෂණයේ කොටස් සහ නව විශේෂ හය ගැන කෙටි විස්තර ඇතුලත් ඡායාරූප කිහිපයක්. 
 



 
(අයිතිය පර්යේෂක කණ්ඩායම සතුයි)




#DOE




පියාඹන සුනඛයෙක් (A flying Dog)


 

 
පියාඹන සුනඛයෙක් වගේ පෙනුනට මේ ඉන්නෙ වවුල් විශේෂයක්. අයිවරි කෝස්ට්, ගානා, ලයිබිරියා, සියෙරා ලියෝන් වගේ රටවල් කිහිපයක ජීවත් වෙන මේ පළතුරු වවුලන් විශේෂය විද්‍යාත්මකව හඳුන්වන්නේ Epomops buettikoferi ලෙස. ටෙරොපොඩිඩේ කුලයට අයත් මේ වවුල් විශේෂය ක්‍රමයෙන් පරිණත අවධියට වැඩෙන විට නාසය සහ දිව මෙලෙස පලල් ස්වරූපයක් ගන්නවා. බැලූ බැල්මට පේන්නෙ සුනඛ ආකාරයක්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)



#DOE


Link to Facebook post --->


පරිණාමයේ සජීවී දර්ශන (Live feeds of Evolution)


'පරිණාමය' ඉතාමත් බරපතල සංකල්පයක්, ඔප්පු කිරීමට නොහැකි වාදයක්, තේරුම් කිරීමට නොහැකි විද්‍යාත්මක මතයක් ආදී විවිධ මතිමතාන්තර තුල පවතින්නේ ස්වභාවධර්මය තේරුම් ගැනීමට අපෝහසත් වීමත් එය නිසියාකාරව විස්තර කිරීමට ක්ශේත්‍රයේ නියැලී සිටින්නන් අපෝහොසත් වීමත් යන කරුණු බව මම විශ්වාස කරනවා. 

'වෙනස්වීම/ගතික බව' යන කරුණ ගැන සුළු අවබෝධයක් පැවතීමත් පරිණාමය තේරුම් ගැනීමට ප්‍රමාණවත්. ඒ ප්‍රවේශය ගත්තෙ ලියන්නට යන උදාහරණය ඔස්සේ මේ කාරණාව ගෙනහැර දැක්වීමට.

ඔබ දැනටමත් දන්නවා ඇති අප ජීවත්වන පෘථෘවිය නැවතත් ක්‍රමිකව ඇදෙමින් පවතින්නෙ උණුසුම් දේශගුණික තත්වයනට බව (ඒ ගැනත් දන්නෙ නැත්තන් විවිධ දේශපාලකයින්ට කඩේ යන එකට වගේ දෙන කාලයෙන් විනාඩි කිහිපයක් අරන් ඒ සම්බන්දයෙන් කියවන්න). මීට වසර 11650 පමණ පෙරදි ප්ලයස්ටොසීන යුගය නිමාවට පත්වෙනවා. ප්ලයස්ටොසීන යුගයෙදි ලෝකය පැවතුනෙ අවසන් හිම යුගය තුල. ධ්‍රැවාසන්න ග්ලැසියර කලාප සිය ධවල වර්ණ හිම වැස්මන් ප්‍රසාරිත කරමින් ඔබ අද දකින ආර්ක්ටික් වෘත්තය අභිබවමින් මධ්‍ය අක්ෂාංශ වලට සමීප වන තෙක්ම පෘථෘවිය හිම කලාප බවට පත් කරනවා. අපි මේකට කියනවා හිම යුගයක් කියලා. විද්‍යාත්මකව හඳුන්වන්නේ ග්ලැසියර යුගයක් කියලා. 

ප්ලයස්ටොසීනය අවසන් වනවාත් සමඟම නැවත පෘථෘවිය ක්‍රමයෙන් උණුසුම් දේශගුණික තත්වයනට සීරුමාරු වෙනවා. ඒ සම්පූර්ණ ක්‍රියාවලියේ මධ්‍ය කොටසක තමයි ඔබත් මමත්, ඔබේ පෙර පරම්පරාවනුත් ජීවත් වුනේ , ජීවත් වෙන්නෙ. ඉදිරි පරම්පරා මීටත් වඩා උණුසුම් තත්වයන් වෙත ගමන් කරනවා. පාථෘවිය නැවත උණුසුම් වෙද්දි හිම යුගයන් තුල විහදාලු ග්ලැසියර වැස්මන් නැවත උතුරු අර්ධගෝලයේ අවසන් කෙලවර දක්වා පසුබැසීම ඇරඹෙනවා. ඔබ ඇතැම්විට දකින්නට ඇති අයිස්ලන්තය ඔවුනට සම්පූර්ණයෙන් අහිමිවු පළමු ග්ලැසියරයට අවසන් බුහුමන් දක්වන අයුරු. ඒ තමයි නැවත උණුසුම් වෙන පෘථෘවිය.

මේ විදිහට නැවත පාථෘවිය උණුසුම් වෙනවා කියන්නෙ පසුගිය වසර මිලියනක පමණ කාලය තුල පරිණාමය වු සත්ව සන්තතීන්ගෙන් ඇතැමුන්ගෙ නශ්ඨවීම. වෙනස්වන පරිසරයට අනුවර්තනය වෙන්න ඔවුනට හැකිනම් ඔවුන් ජයග්‍රාහකයින්, තවත් කාලයකට ඔවුනට පෘථෘවි තලය මත දිවි ගෙවිය හැකියි. මේ ජීවන අරගලය වැඩි වශයෙන් දැනෙන්ට ගන්නෙ හිම කලාපයන් තුල ජීවත් වූ සතුන්ට. 

මේ කතාවේ කතා නායකයා තමයි හිම වලසුන්. හිම වලසුන් කියන්නෙ ආර්ක්ටික් පරිසර පද්ධතීන් තුල විශේෂඥයන්. ද්විත්ව වැස්මක් සහිත ලොම් ආවරණය, පිහිනීමට ඇති හැකියාව, පිහිනීමට අනුවර්තනය වු බැඳි පාද, හිම සමඟ වේශාන්තරණය වීම සඳහා ධවල වර්ණය ආදී විවිධ අනුවර්තන සහිත මේ සත්වයන් ආර්ක්ටික් කලාපවලට අනුවර්තිත ආවේණික විශේෂයක්. ග්ලැසියර දියවීමත් සමඟම මොවුන්ගෙ නිජබිම් අහිමි වීම සිදුවෙනවා.
 
හිම වලසා
 
මේ ග්ලැසියර් කලාපයනට යාබදව පිහිටන සෞම්‍ය කලාප තුල ජීවත් වෙනවා හිම වලසුන්ගේ පරිණාමිකව ලඟම ඥාතියා වන ග්‍රිස්ලී වලසුන්. ග්‍රිස්ලී වලසුන් ලඟම ඥතියා වුනාට ස්වාභාවය වෙනස්. වර්ණයෙන් දුඹුරු වර්ණය, ප්‍රමාණය හිම වලසුන්ට වඩා මඳක් විශාලයි. ලොම් ආවරණය වෙනස්. හිම වැස්ම පසුබසිද්දි ග්‍රිස්ලී වලසුන්ට සැරිසැරිය හැකි බිම් ප්‍රමාණයන් ප්‍රසාරණය වෙනවා. පෙර හිම බාධකයක් වූවත් මේ වෙද්දි ඒ බාධකය පසු බැහැලා සෞම්‍ය කලාපික බිම්කඩවල් නිරාවරණය වෙමින් පවතිනවා. 
 
ග්‍රිස්ලී වලසා

මේ වෙද්දි සිදුවන්නෙ ආක්‍රමණ සහ සංක්‍රමණ. නිජබිම් අහිමි වුවාට දඩයම් සොයාගැනීමට හිම රහිත කලාපයන් තුල සැරිසරන හිම වලසුන් සහ නව බිම් නිරාවරණය වීමත් සමඟ නව පාරිසරික නිකේතන ලැබුනු ග්‍රිස්ලී වලසුන් යන කාණ්ඩ දෙකම එකම බිම් කඩක් තුල සැරිසැරීම.

සිත්ගන්නාසුළු කාරණය තමයි මේ විශේෂ ද්විත්වය ස්වාභාවික පරිසර තත්ව තුල මුහුම්කරණයට ලක්වීම. ප්‍රතිඵලය තමයි අර්ධ හිමවලස් ජාන සහ අර්ධ ග්‍රිස්ලී ජාන සහිත වලසුන්. ඔවුන් හඳුන්වන්නේ 'ග්‍රොලාර් බෙයාර්ස්' ලෙස. පොලාර් බෙයාර් + ග්‍රිස්ලි = ග්‍රොලාර් බෙයාර්. 
 

ග්‍රෝලාර් වලසුන්

ස්වාභාවධර්මය නැවත නැවතත් සිදුකරන පර්යේෂණයක් තමයි මේ වෙන්නෙ. පාරිසරික තත්වයන් ද්විත්වයටම ඔරොත්තු දිය හැකි ග්‍රොලාර් වලසුන් සාර්ථක අඛණ්ඩව පැතිරීමක් සිදුවෙයිද? ඔවුන් නිකේතන ද්විත්යම අයිති කරගනිද ? ග්‍රිස්ලී සහ පෝලාර් යුග්මයට නොමැති කාය ශක්තියක් සහ දිවි රැකගැනීමට හැකි නව ප්‍රභේදයක් බවට ග්‍රෝලාර්වන් පරිවර්තනය වෙයිද ? මේවා තවමත් පිළිතුර නොමැති ප්‍රශ්න. නමුත් එළඹෙන සියවස තුල මේවාට පිළිතුර ලැබෙනු අැති. ස්වාභාවධර්මයේ පර්යේෂණය සාර්ථක වූවත් සාර්ථක නොවූවත් ඔබ මේ දකින්නෙ වෙනස්වන පෘථෘවිය සමඟ වෙනස් වීමට වෙර දරන ජීවය. මේ තමයි අතිශයින්ම සරලව පරිණාමය ලෙස හඳුන්වන්නේ.

 (ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)



#DOE




කුරු අලි (Dwarf Elephants)


කුරු අලි ගැන බොහෝ දෙනෙක් විමසා සිටින නිසා ඒ ගැන සටහනක්.

'වලව කොටා' ගෙ නව ඡායාරූප කිහිපයක් නැවත සංසරණය වෙනවා දැක්ක නිසා පොඩි සටහනක් ලියන්න ඕන කියලා හිතුනා. 'කුරු අලි' ගැන ලංකාවෙ කතා ගොඩක් තියෙනවා. සිරිපාදෙ කුරු අලි ඉන්නවය, උන් පේන්ට එන්නෙ නෑය වගෙ කතා එක්ක හැදුන වෘතාන්ත නිසා කුරු අලි බලන්න සමනල රක්ශිතයට ගිහින් අතරමං වුන අවස්ථාත් අපි පහුගිය කාලෙදි දැක්කා.
 
"වලව කොටා"
 
මුලින්ම කියන්න ඕන දේ තමයි කුරු අලි කියලා අලි විශේෂයක් ලංකාවෙ නෑ. ලංකාවෙ ඉන්නෙ ආසියානු අලි වන Elephas maximus විශේෂයේම ලංකාවට පමණක් ආවේණික උප විශේෂය වන Elephas maximus maximus. ලංකාව පුරාම පැතිරිලා ඉන්නෙ මේ උප විශේෂය. සිරිපාදෙ කුරු අලි ඉන්න කතාවට නම් පදනමක් නෑ. සිරිපාදය අවට ඉන්නෙත් සාමාන්‍ය අලි. රජරට ප්‍රදේශයට වන්නට සිටින්නෙ විල්ලු අලි සහ තෙත් කලාපයේත් රුහුණු ප්‍රදේශයෙත් දක්නට ඇත්තෙ කුරු අලි / රුහුණු ගැටව් ආදී බෙදීම් අහන්න ලැබෙනවා. නමුත් වර්තමානයේදි එහෙම බෙදීමක් නෑ. මහවැලි ගඟෙන් උතුරට වන්නට පිහිටි ප්‍රදේශය සාරවත් විල්ලු පරිසර පද්ධති තිබෙන ප්‍රදේශයක්. ගල්ඔය, සෝමාවතිය, ජලගැලුම් නිම්නය වගේ වනෝද්‍යාන ආශ්‍රිතව සිටින අලි සහ තෙත් කලාපීය අලී ඒ ඒ ප්‍රදේශවලට කලකට ඉහත ආහාර රටාවන්වල වෙනස ආශ්‍රිතව සුළු අනුවර්තන ඇතිව ජීවත් වන්නට ඇතිමුත් දැන් එහෙම බෙදීමක් සිදු කරන්නෙ නැහැ. ඒ වගේම හෝර්ටන් තැන්නෙ කුරු අලි සිටි බව වාර්තා වුනත් එහි තිබෙන අස්ථිමය සාධක නිරීක්ෂණය කරාම ඔවුන්ගෙ කුරු බවක් දකින්නට නැහැ. කුරු අලි කියලා වෙනම ජාතියක් නැති බව කොතරම් ප්‍රකාශ කරත් විවිධ කණ්ඩායම් ඒවා විශ්වාස කරන්නෙත් නැහැ.

දැන් මේ වලව කොටාගෙ පින්තූරෙත් එක්ක කුරු අලි ගැන කතාව ලියවිලා තිබුනා. වලව කොටා කියන්නෙ ජාන විකෘතිතාවක් නිසා ඇතිවුන කුරු අලියෙක් පමණයි. දැනට ලෝකෙ ඉන්න එකම ආසියානු කුරු අලියා මේ වලව කොටා. වලව කොටාගෙ කුරු තත්වයට කියනවා disproportionate dwarfism කියලා. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් බැලු බැල්මට අවයව අතර අසමාන බවක් පේනවා. ශරීරයේ පපුව, බඩ ප්‍රදේශය සාමාන්‍ය ප්‍රමාණයෙන් පිහිටලා තිබුනට ඒ කොටස් වලට සාපේක්ෂව අත් පා කෙටි ලෙසයි පිහිටන්නේ. වලව කොටාව දැක්ක ගමන් මේ ලක්ෂණ හඳුනගන්න පුළුවන්. හැබැයි කොටා අයිති වෙන්නෙත් E.m maximus විශේෂයට මිසක් වෙන අමුතු කොටසක් නෑ.

කුරු බවේ තවත් ප්‍රධාන ආකාරයක් තමයි Proportionate dwarfism. මේකෙදි අර පෙරකී අවයව අතර අසමානතාවන් නෑ. සාමාන්‍ය සත්වයාම ප්‍රමාණය පමණක් කුඩා වෙලා තියෙනවා. Proportionate dwarfism කුරු බවට ගොඩක් වෙලාවට හේතු වෙන්නෙ ප්‍රධාන මහද්වීපයට සම්බන්ධ වෙලා තිබුන ගොඩබිම් දූපත් ලෙස වෙන් වෙලා යද්දි ඒ සමඟ වෙන්වෙන සත්ව කාණ්ඩ දූපත් ජීවිතයට අනුවර්තනය වෙමින් කුඩා ප්‍රමාණයන්ට පරිණාමිකව විශේෂනය වීම. මධ්‍යධරණීය කලාපයේ දුපත් වල ක්‍රීටය, සයිප්‍රසය , මෝල්ටාව, සිසිලිය, සාර්ඩීනියාව, ඩොඩෙකනීස් දූපත් ආදියෙන් ප්ලයස්ටොසීන යුගයට අයත් කුරු අලින්ගෙ ෆොසිල වාර්තා ලැබිලා තිබෙනවා. ඔවුන් මම දැන් සඳහන් කරපු Proportionate dwarfism වලට උදාහරණ. මේ අතරින් ක්‍රීට දුපත්වල විසු වඳව ගිය කුරු ක්‍රීට මැමත් ගැන මීට පෙර පරිණාමික දිනපොත තුලින් කතා කරලා තියෙනවා. (ප්ලයස්ටොසීන යුගයෙන් පසු ඔවුන් නශ්ඨව ගොස් තිබෙනවා). 

වලව කොටා සහ කුරු අලි කතාව පටලවගන්න එපා. කොටා කියන්නෙ මිලියන ගනනකින් එක් අහඹුතාවක්. ඉතාමත් මෑතකදි කොටා වගේම තත්වයකින් පෙලෙන තවත් ගැහැණු සත්වයෙකුත් වලව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
 
සිරිපාදෙ අලින්
 
මේ ඡායාරූපයෙ ඉන්නෙ අනිල් විතානගෙ මහත්මයා කාලෙකට කලින් සිරිපාදෙ අලින්ගෙ ගත්ත ඡායාරූපයක් (පලාබද්දල රූට් එකේ ධර්මරාජ ගල හරියේ ) සාමාන්‍යයෙන් පේන්න තියෙනවා ඔවුන්ගෙ කුරු බවක් නැති බව.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)



#DOE




Wednesday, October 14, 2020

යුධ හස්ථීන් (War Elephants)


අලින්ව යුධ කටයුතු සඳහා යොදා ගත්තා දෙවන ලෝක සංග්‍රාමය වෙනකන්ම. සාපේක්ෂව නවීන කැනන් තුවක්කු එහෙම අලින්ගෙ පිටේ මවුන්ට් කරපු අවස්ථාත් තියෙනවා පලමු සහ දෙවන ලෝක සංග්‍රාම වලදි. ආවේගශීලි බව, පුහුණු කිරීමට ඇති පහසුව, බුද්ධිමත් බව එහෙම එක් එක් රටවල්, ප්‍රදේශ අනුව අලින්ගෙ වෙනස් වෙනවා. ඒ ඔවුන් ජීවත් වන පරිසරය අනුව ඔවුන්ට ලැබෙන විවිධ පුහුණුව. නිකන් උදාහරණයකට අපි අප්‍රිකානු විශේෂ දෙකයි ආසියානු විශේෂයයි සැසඳුවොත් අප්‍රිකානු හාදයො ඉතාමත් ආවේගශීලියි. හේතුව තමයි ආසියාව වගේ නෙමෙයි ඔවුන් ජීවත්වන පරිසරය තුල ඔවුන්ව ගොදුරු කරගන්න ඉන්න විලෝපිකයො වැඩී. ලංකාවේ ඉන්න අලි ගත්තොත් වසර දහස් ගානක්ම විලෝපික උවදුරු වලින් තොරව පරිණාමය වුන විශේෂයක්. ඉතින් ඔය වගේ ලක්ෂණ අනුව යුද්ධ වලට වැඩියෙන් තෝරගත්ත අලි කාණ්ඩ ඉන්නවා.

ක්‍රි.පූ 264 දි විතර ආරම්භ වුන පියුනික් යුද්ධ වලදි වොර් එලිෆන්ටස් එහෙම නැත්තන් යුධ හස්ථීන් සෑහෙන තීරණාත්මක සාධකයක් වෙලා තිබුනා. පියුනික් යුද්ධ වලදි කාර්තේජියන්වරු භාවිතා කරපු සබ් සහරා උප විශේෂයක් (Loxodonta africana pharohensis) හිටියා කියලත් මතයක් තියෙනවා,. ඒ උප විශේෂව වර්තමානයේදි වඳ වෙලා ගිය විශේෂක් ලෙස සඳහන් වෙනවා. ක්‍රි.පූ 218 දි හැනිබල් බර්කා දෙවන පියුනික් යුද්ධයේදි මේ සන්නද්ධ යුධ ඇතුන් සමඟ ඇල්ප්ස් කඳු වැටිය තරණය කර රෝමයට පහර දීමට පැමිණීම අදටත් යුධ ඉතිහාසය තුල විශ්මයක් ලෙස සැලකෙනවා. හැනිබල්ගෙ පියා හැමිල්කාර් බර්කා ඊට පෙර පැවති පලමු පියුනික් යුද්ධයේදිත් මේ යුධ ඇතුන්ගෙන් තම සේනාවන් සන්නද්ධ කරනවා. නමුත් කාර්තේජියන්වරු පියුනික් යුද්ධ පරාජය වනවාත් එක්කම මේ දියුණු අප්‍රිකානු ශිෂ්ඨාචාරය බිඳ වැටෙනවා.

ඩේරියස්, සර්ක්සීස් (300 චිත්‍රපටයේ තර්මොපයිලි සටනේ පර්ශියානු සේනාව මෙහෙයවන අධිරාජ්‍යයා) වොර් එලිෆන්ට්ස්ලා නියමාකාරයෙන් යොදාගත් පාලකයන්. ඒ වගේම ඇලෙක්සැන්ඩර්ගෙ සේනාවට ලංකාවෙන් අලි ඇතුන් ලබාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න අලි මේ යුද්ධ කටයුතු වලට පුහුණු කිරීම සහ මෙහෙයවීමේ පහසුවත්, බුද්ධිමත් බවත් නිසා විවිධ රටවලින් රැගෙන ගොස් තිබෙනවා.

යුධ හස්ථින්ව මුලින්ම භාවිතා කරේ ඉන්දියාව තුල බවයි පුරාවිද්‍යාවෙ පිලිගැනීම. සෘග්වේදයේ සඳහන් වෙන පරිදි දේව සභාවේ නායක ඉන්ද්‍රගේ එක් වාහනයක් තමයි ඓරාවණ හස්ථියා. මහාභාරතය කියවලා තියෙනවනන් මතක් වෙයි කෞරව සේනාවේ ධෛර්ය වැඩි කිරීමට දුර්යෝධන අැතෙකු පිට නැගී සටනට පිවිසෙන ආකාරය. සේනාවක හස්ථින් තැබිය යුතු ආකාරය ගැන නිකාය සහ විනය පිටක තුලත් ඇතුලත් වෙනවා. සංයුක්ත නිකායේ සඳහන් වෙනවා හතාරෝහ ගාමණි නැමැති ප්‍රධානියකු බුදුන් හමුවීමට පැමිණෙන අයුරු ගැන. හතාරෝහ ගාමණී කියන්නෙ සේනාවන්ට සන්නාහක හස්ථි සැපයීම වෘත්තිය කරගත් කුලයකට අයත් ගමක ප්‍රධානියාට.

මඝධ අධිරාජ්‍ය ප්‍රසාරණ කල බිම්බිසාර සේනාවන්ගෙ ඉතා විශාල මෙහෙයක් ඉටුකලේ හස්ථි සේනාවන්. නන්ද අධිරාජ්‍ය පැවති අවධියේ මහාපද්ම නන්ද සතු දෙලක්ෂකට වඩා වැඩි පිරිස් බලයෙන් යුතු මහා සේනිවේ හස්ථි බලඝනය 6000 පමණ වු බව ග්‍රීක ඉතිහාසඥ ප්ලූටාර්ක් සහ රෝම ඉතිහාසඥ ප්ලීනි සඳහන් කරනවා. හිමාචල් ප්‍රදේශ්හි බියාස් නදිය අසබඩදි නන්ද සේනාවන්ට ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ සේනාවන් හමුවෙනවා. නමුත් දෛව්‍ය හරස් වීම නිසා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා හෝ නන්ද අධිරාජ්‍යන් ගැටීම වෙනුවට ඇලෙක්සැන්ඩර් හමුදාවන් නැවත පසුබසිනවා. ඒ ගැටීම සිදුවුනානම් සිදුවන විපර්යාසය මත අද පවතින ලෝක භූ දේශපාලනික සිතියම මීටත් වඩා සෑහෙන වෙනස් වීමට තිබුනා.

චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජය්‍යාගෙ ලක්ෂ 6 කට අධික පිරිස් බලයකින් යුතු සේනාව තුල හස්ථි බලඝනය ඇතුන් 9000 පමණ සමන්විත වු බව ප්‍රකාශ වෙනවා. චන්ද්‍රගුප්තගෙ ආරක්ෂක කමිටුව 30 දෙනෙකුගෙන් සමක්විතයි. එය කොටස් හයකින් යුක්තයි. සවැනි කොටසට කියන්නෙ ගජාධ්‍යක්ෂ. ගජාධ්‍යක්ෂ කියන්නෙ ඇත් සේනාවේ නායක.
 
සන්නද්ධ කරවූ ඇතෙකුගේ අනුරුවක්
 
මේ ඉහල ඡායාරූපයේ තියෙන්නෙ දිල්ලි කෞතුකාගාර⁣යේ ප්‍රදර්ශනය කරන සන්නද්ධ ඇතෙක්. මේක කොච්චර දරුණු අවියක්ද කියලා හිතාගන්න පුළුවන් එකම ක්‍රමය මේ වගේ සන්නද්ධ හස්ථියෙක් චාර්ජ් කරගෙන එන හැටි නැරඹීමෙන්. ඒ වගේ අධි වේගයකින් සිදුකරන චාර්ජ් එකකදි මේ වගේ අලියෙක් මවුන්ට් කරලා ඉන්න ගමන් දුනු, ඊතල, තුවක්කු භාවිතයත් වෙනම සෙල්ලමක්. විජිතපුර සටන යන අවස්ථාවෙදි එළාර උදව් ඉල්ලන්නෙ දීඝජන්තු සෙනවියාගෙ බෑණා වන භල්ලුකගෙන්. භල්ලුක ලක්දිවට ගොඩබැස ඇරඹෙන සටනෙදි කණ්ඩුල පිට සිටින්නේ ගැමුණු රජ සහ ථුස්සදේව. ථුස්සදේව කණ්ඩුල පිට සිට යවන හී සැරයකින් භල්ලුක මරණයට පත්වන බව සඳහන් වනවා. හී පහර වදින භල්ලුක ව⁣ටෙන්නෙ රජු දෙසට පයලා බව දකින ථුස්සදේව දෙවන හී පහරක් විද රජු දෙසට හිසලා වැටෙන ලෙස භල්ලුකව මරණයට ලත් කල බව සඳහන් වෙනවා. මේකෙදිම කියනවා ථුස්සදේවගෙ හී සැරය ගැමුණුගෙ කන තුවාල කරමින් ගමන් කල බවත් යුද්ධයෙන් පසුව ථුස්සදේව තමන්ගෙ කන කපා ගනිමින් රජුගෙන් සමාව ගත් බවත්. අතිශයෝක්තීන් පසෙකලු විට වේගයෙන් ගමන් කරන යුධ හස්තියෙකුගෙ පිට සිට නිවැරදි ඉලක්කය ගැනීම කොතරම් අපහසුද යන්න මේ රජතුමාගේ කන තුවාල වු කතාවෙන් තේරුම්ගන්න පුළුවන්.

කණ්ඩුල විසින් විජිතපුර සටනෙදි එළාර රජුගෙ හස්ථියා වන පර්වතට ඇන බිම හෙලද්දිම ගැමුණු විසින් එළාර ඝාතනය කල බව වංශ කතාවල සඳහන් වෙනවා.

පහත ඉන්න යුධ හස්ථියාව දැක්කම ඉතිහාස පිටු වලින් තැනින් තැන මතක් වුන උදාහරණ කිහිපයක් පමණක් ගෙන කතා කරත් දින ගනනක් කතා කරන්න පුළුවන් මාතෘකාවක් තමයි අලි කියන්නෙ. සංවිධිත ආකාරයෙන් රචනා නොකල සටහනක් වුනත් ඔබ මෙයින් යමක් ඉගෙන ගන්නට ඇති කියා හිතනවා.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ටූකන් (Toucan)


Chestnut mandibled toucan (චෙස්ට්නට් මැන්ඩිබ්ල්ඩ් ටූකන්) විද්‍යාත්මකව Ramphastos ambiguus swansonii නැමැති ටූකන් පක්ශි විශේෂයට අයත් පක්ශියෙක් වවුලෙක්ව ආහාරයට ගන්න ඡායාරූප ද්විත්වයක්. 
 

චෙස්ට්නට් මැන්ඩිබ්ල්ඩ් ටූකන්

සාමාන්‍යයෙන් ටූකන් පක්ශින් ප්‍රසිද්ධ පලතුරු, ශාඛමය ආහාර ලබා ගන්න පක්ශි විශේෂ විදිහට නමුත් මොවුන් කුඩා පක්ශින්, ක්ශිරපායින් ආහාරයට ගන්නා අවස්ථාත් තිබෙනවා.

තව කාරණයක් තමයි බොහෝ දෙනා හිතනවා ටූකන් පක්ශින් කෑඳැත්තන්ට සමීප සබඳතාවක් ඇති පක්ශින් කියලා නමුත් එහෙම නෑ. මොවුන් වෙනමම කාණ්ඩයකින් පරිණාමය වෙච්ච කොටසක්. හැබැයි කෑඳැත්තන්ට පිහටන හොට මෙන්ම හොටක් ටූකන් පක්ශින්ටත් පිහිටනවා. මෙය සමාන්තර පරිණාමයට (Convergent evolution) උදාහරණයක්. කෑඳැත්තො පැතිරිලා ඉන්නෙ ආසියාව අප්‍රිකාව වගේ පැරණි ලෝකයට අයත් ප්‍රදේශ තුල. ටූකන්ලා පැතිරිලා ඉන්නෙ ඇමරිකානු කලාපය තුල. මේ චෙස්ට්නට් විශේෂය ඉන්නෙ කොලොම්බියා, හොන්ඩ්‍යුරාස්, ඉක්වොදොර් කලාප තුල.

Image credit - Sergey Pisarevskiy



#DOE




ඇල්ෆා පසු විපරම (A review for Alpha)


ඇල්ෆා චිත්‍රලටයේ විද්‍යාත්මක හා ඓතිහාසික නිරවද්‍යතාව ගැන බොහෝ අය අහපු නිසා ඒක ගැන චිත්‍රපටයආපු දවස්වල වෙනත් තැනක මම ලියපු රිවිව් එකක් මේ පිටුවෙත් අලවනවා. චිත්‍රපටයක් විදිහට ඇල්ෆා බලපු අය මේක කියවන්න එපා, නිරවද්‍යතාව හොයන අය ඉන්නවනන් කියවන්න. 
 
ඇල්ෆා චිත්‍රපටයේ පෝස්ටරයක්

ඇල්ෆා කියන්නෙ ඇත්තටම හොඳ චිත්‍රපටයක්. හැබැයි විද්‍යාත්මක නිරවද්‍යතාවන් සලකා බැලුවම ගැටලු සහගත තැන් කිහිපයක් තියෙනවා.

සාරංශ කරලා කරුණු වශයෙන් හොඳ පැති සහ නරක පැති දැම්මොත්

* ඇල්ෆා එකේ සොලුට්ට්රියන් සංස්කෘතිය සෑහෙන දුරකට නිරවද්‍යතාවකින් ඉදිරිපත් කර තිබෙනවා. ඇඳුම් ආයිත්තම් එහෙම පොඩි නිදහසකින් නිර්මාණය කරලා තිබ්බ⁣ට වසර 20000 කට කලින් විතර ඉහල පැලියෝලිතික යුගයේ යුරෝපයේ තිබුන සොලුට්ට්රියන් සංස්කෘතිය ඒ හා සමාන අයුරකින් තමයි  පුරාවිද්‍යාවෙදි ප්‍රතිනිර්මාණය කරන්නෙ. 

* චිත්‍රපටයේ පෙන්වන ගල් ආයුධ නිපදවීමේ තාක්ෂණය සොලුට්ට්රියන් තාක්ෂණය සෑහෙන නිරවද්‍යතාවකින් ඉදිරිපත් කරනවා.

*  CGIs ඉතාමත් ඉහල තත්වයක තියෙනවා.

* සොලුට්ට්රියන් සංස්කෘතියේ කාල රාමුව වසර 20000 - 15000 අතර. හැබැයි මේකෙ පෙන්වනවා එක අවස්ථාවකදි "කෘපාන දන්තී බිළාලයෙකුගෙ" (sabre toothed cat) ප්‍රහාරයක්. මේකෙ විශේෂය ගොඩක් අය sabre toothed tiger එහෙම නැත්තන් කෘපාන දන්තී ව්‍යාඝ්‍රයෙකු (smilodon) ලෙස පැවසුවත් කෘ.ද ව්‍යාඝ්‍රයන් යුරෝපයේ හිටියෙ නෑ, S.fatalis/ S.populator / S.gracilis විශේෂ හිටියෙ උතුරු ඇමරිකාවේ. එයාලා බෙරින්ගියාව හරහා සංක්‍රමණය වූ බවට සාධක නෑ. ඒ නිසා මේ ස්මයිලඩොන් කෙනෙක් නෙවෙයි. ආසන්නතම අනුමානය තමයි වෙනත් කෘපාන දන්තී බිළාලයෙකු වෙන හෝමෝතීරියම් (scimitar toothed cat) විශේෂයක් වෙන්න පුළුවන් කියන එක. හෝමෝතීරියම්ලා යුරෝපයේ හිටියා හැබැයි සොලුට්ට්රියන් සංස්කෘතිය තිබෙන අවධිය වෙනකොට ඔවුන් වඳවෙලා ගිහින් ඉවරයි (28000 Ybp) , එතන වසර 8000 ක ගැප් එකක් කිබෙනවා. ඒ නිසා චිත්‍රපටයේ ඒ රූපරාමුව මට අනුව විය නොහැක්කක්.

* සුනඛයන්ගෙ පූර්වජයා අලු වෘකයා ( පිලිගත් ප්‍රසිද්ධ මතය, වෙනත් මත ඇත) කියන කොටස නිවැරදි , හැබැයි ඒක වුනේ ඔහොම නෙවෙයි. ඒක වසර දහස් ගානක ක්‍රියාවලියක්. ඒ නිසා dog domestication = Alpha වැරදී. 

* ඒකෙ තියෙනවා කෝට්ටක් විසි කරාම ගේන එක, කමාන්ඩ්ස් වලට අවනත වෙන කෑලි වගේ එව්වා. ඒවා සත්ව විද්‍යාත්මකව වැරදී. බල්ලෙක්ට කමාන්ඩ්ස් වලට අවනත වෙන්න පුළුවන් වුනාට වෘකයෙක්ට ඒක කරන්න බෑ. ඒ සරලවම ඒ කමාන්ඩ් එක තේරුම්ගන්න එයාලට බැරි නිසා. උතුරු අර්ධගෝලයේ කොනටම වෙන්න තියෙන වෘක සංරක්ෂණ මධ්‍යස්ථානයකදි මම අධ්‍යනය කරලා තියෙන දෙයක් තමයි අතින් යමක් පෙන්නුවම ඒ දිහා බලන්න සුනඛයන්ට හැකියාව තිබුනට වෘකයන්ට එසේ නොමැති බව. එහෙම කරන්න එයාලා හැදිලා නෑ. වෙන විදිහකින් කිව්වොත් ඒ වගේ දේවල් කරන්න හැකියාව ලැබෙන විද්‍යුත් පරිපථය සුනඛයා කියන යන්ත්‍රය තුල තිබ්බට වෘකයා කියන යන්ත්‍රය තුල එහෙම පරිපථයක් නැහැ. දීර්ඝකාලීන ගෘහස්ථකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි සුනඛයාට එහෙම හැකියාවක් ලැබෙන්නෙ. ( දැන් යුටුබ් එකෙන් වෘකයො අවනත වෙන කෑලි ගෙනත් අලවන්න එපා, ඒවා තියෙනවා කියලා මම දන්නවා, ඒ සෑහෙක කාලයක් ප්‍රැක්ටිස් කරවීම නිසා ලැබෙන අවනත වීමක් හෝ ව්‍යතිරේකයන්)

* බයිසන් දඩයමේ තාක්ෂණය වැරදී.  ඒ මෙතඩ් එක භාවිතා කරලා තියෙන්නෙ එහෙම නෙවෙයි වෙනස් විදිහකට. 

* වනගත වෘකයෙක් කවදාවත් මිනිහෙක්ට අත තියන්න ඉඩ දෙන්නෙ නෑ මොනම හේතුවකටවත් සහා අබාධිත වෘකයෙක්ව රැළ තනිකරලා යන්නෙ නෑ. (වෘකයන් සමඟ තිබෙන අත්දැකීම් වලින් ඒ කෑල්ල දන්නවා.)

හැබැයි එකක්, අර ඔයිට කලින් ආපු 10000 BC කියන තනිකරම විකාරරූපී චිත්‍රපටයට වඩා යම්කිසි නිරවද්‍යතාවක් තියෙන චිත්‍රපටයක් තමයි ඇල්ෆා.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



ඊ හිස සහ මුව අස්ථි (Deer bones with an arrow head)


මේ තියෙන්නෙ එක්සත් ජනපදයෙ දඩයම් කරනු ලැබු මුවෙකුට අයත් අස්ථි පද්ධතියෙ ඉල ඇට කිහිපයක්. ඔබට පේනවා ඇති මේ සත්වයා අවසන් වතාවට දඩයම් වීමට ප්‍රථම අවස්ථාවකදි ඊ හිසක් ඉල ඇට අතුරින් ගමන් කර ඇති බව. කලකට පෙර සිදුවු මේ හී පහර පසුව ඉල ඇට තුලට ශරීරය විසින් බද්ධ කරගෙන ඇති බව. මරණීය තුවාලයක් නොවුන නිසා (අභ්‍යන්තර අවයව වලට හානි වී නොමැති බැවින්) ඊ හිස සහ කඳ මතින් අස්ථිය වැඩී ඇති සැටි ඔබට දකින්න පුළුවන්. 
 
ඊ හිසක් සහිත මුව අස්ථි පද්ධතියෙ ඉල ඇට කිහිපයක්
 
මේ ඊ හිස ප්‍රාග්ඓතිහාසික හෝ පුරාවිද්‍යාවට අයත් යුගවලට අයත් එකක් නෙමෙයි ඉතාමත් මෑත කාලීන එකක්. මේ වගේ අවස්ථා අධ්‍යානයන් Osteopathology විශය, සත්වපුරාවිද්‍යාව සහ ෆොසිල විද්‍යා අතිඡ්ඡාදනය වන අවස්ථාවක්. පෞද්ගලිකව ම⁣ම සෑහෙන නිරීක්ෂණය කරලා තියෙනවා ලංකාවෙ විවිධ ප්‍රදේශවල වෙඩි වැදී මියගිය හස්ථින්ට එහෙම අයත් හිස්කබල් තුල තිබෙන මෙවැනි පෙර සුව වූ තුවාල සමඟ දකින්න පුළුවන් පතුරම් සහ මූනිස්සම් සමඟ වැඩුනු අස්ථි. අදටත් ඔබ උඩවලව ජාතික වනෝද්‍යානයට ගියොත් ප්‍රතිනිර්මාණය කර ඇති සඳගිරියාගෙ අස්ථි පද්ධතිය තුල තැන්පත්වු පතුරම් දකින්න පුළුවන්. (වෙන අවස්ථාවක අලි සහ අලින්ට වැදෙන වෙඩි උණ්ඩ ගැන සටහනක් තබන්නම්)

ප්‍රාග්ඓතිහාසික යුගවලට අයත් මැමත් සතුන්ගෙ අස්ථි සමඟ හමුවන ක්ලෝවිස් ගල් ආයුධ තුඩවල් අප්‍රමාණ සංඛ්‍යාවක් එක්සත් ජනපදයෙන් සොයාගෙන තිබෙනවා. මේ පශ්චාත් මරණ පරීක්ෂණ තුලින් සත්වයා ජීවත්ව සිටි කාලය තුල මුහුණ දුන් අකරතැබ්බයන්, අනතුරු ගැන ප්‍රමාණාත්මක අවබෝධයක් ලබාගන්න පුළුවන්. 


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




සොම්බි ගොළුබෙල්ලන් (Zombie Snails)


පහත දැක්වෙන වීඩියොවෙ පලමු කොටසින් ඔබට දකින්න පුළුවන් ඉතාමත් අලංකාර ගොළුබෙලි විශේෂයක්. අලංකාර වර්ණ රටා දක්වමින් ස්පන්දනය වන ඇස් දෙකක් මේ ගොළුබෙලි විශේෂය තුල ඔබට පේනවා ඇති.





මේ අලංකාර බව තුල සැඟව තිබෙන්නේ ඉතාමත් දරුණු කථාවක්. ගොළුබෙල්ලාගෙ ස්පන්දනය වන ඇස් ලෙස ඔබ දකින්නෙ ගොළු බෙල්ලාට අයත් කොටසක් නෙවෙයි. Leucochloridium paradoxum නැමැති ප්ලැටිහෙල්මින්තෙස් වංශයට අයත් ට්‍රෙමටෝඩ් පණු විශේෂයක්.Succinea නැමැති ගනයට අයත් ගොළුබෙලි විශේෂ තුල ජීවත් වෙන මේ ට්‍රෙමටෝඩාවන් දාරක ගොළුබෙල්ලන්ව පණ ඇති රූකඩ බවට පත් කරනවා.

Paradoxum ගේ ජීවන චක්‍රය ආරම්භ වන්නෙ පක්ශි වසුරු පිඩක් තුල. ඒවා ආහාරයට ගන්න Succinea ගනයේ ගොළුබෙල්ලන්ගෙ ශරීර තුලට Pardoxum ගමන් කරනවා. ගොළුබෙල්ලාගෙ ආහාර ජීර්ණ පද්ධතිය තුල වැඩෙන මේ පරපෝශිතයා ක්‍රමයෙන් ගොළුබෙල්ලාගෙ සංවේදක දෙක තුලට ගමන් කරනවා.

සාමාන්‍යයෙන් මේ ගොළුබෙල්ලන් ප්‍රිය කරන්නෙ අඳුර. නමුත් අඳුරු ශීත වටපිටාව සංවේදනය කිරීමේ හැකියාව ගොළුබෙල්ලාට අහිමි වෙනවා Paradoxum සංවේදක තුලට ගමන් කිරීමත් සමඟ. ප්‍රතිඵලය වෙන්නෙ පරපෝෂිතයන් සහිත ගොළුබෙල්ලන් ආලෝකය සහිත, නිරාවරණය නොවූ ස්ථාන තුල වැඩි වශයෙන් ගැවසීම. මේ ස්ථානයකට පැමිණි ගමන් paradoxum පරපෝශිතයන් සංවේදක තුල ස්පන්දනය වීමට පටන් ගන්නවා (අඳුරු පරිසර තුලදි ස්පන්දනය වෙන්නෙ නෑ). මේ ස්පන්දනය වීම පිටතට පෙනෙන්නෙ දළඹුවන් ලෙස. ප්‍රතිඵලය තමයි පක්ශියෙකු පැමිණ ඩැහැගනීම.

pardoxum ජීවන චක්‍රය සම්පූර්ණ කිරීම සඳහා පක්ශි අන්ත්‍රයකට පිවිසීම අවශ්‍යතාවක්. ඒ සඳහා දාරක ගොළුබෙල්ලාව රූකඩයක් ලෙස යොදා ගනිමින් ගොළුබෙල්ලා වෙත විලෝපික පක්ශින් ආකර්ශනය කරගැනීමේ උපක්‍රමය තමයි ඔබ ඒ දැක්ක ස්පන්දනය වන අලංකාර සංවේදක සහිත ගෝ‍ළුබෙල්ලා. Paradoxum ශරීරගත වීම කියන්නෙ ගොළුබෙල්ලාගෙ නියත මරණය.

වීඩියො එකේ මුල් කොටසෙ තියෙන්නෙ pardoxum සහිත ගෝ‍ළුබෙල්ලෙක්. දෙවන කොටසෙ තිබෙන්නෙ ගොළුබෙල්ලාගෙන් පිටතට ගත් paradoxum.


Vedio credit to - Gilles san martin and another unknown source. Edited by #DOE



#DOE