Monday, August 19, 2019

සජීවී පරිණාමයක් (A Live Evolution)


ප්රමාණයෙන් විශාල ජීවීන්ගෙ පරිණාමික ක්රියාවලියට ගතවන කාලය වසර මිලියන ගනනක්. නමුත් ප්රමාණයෙන් කුඩා, ක්ශුද්රජීවී විශේෂවල පරිණාමික ක්රියාවලියට සාපේක්ෂව ගතවන්නෙ ඉතාමත් කුඩා කාල ප්රාන්තරයන්. ක්ශුද්රජීවී කාණ්ඩයට අයත් බැක්ටීරියාවන් පරිණාමය වෙන විදිහ ගැන ඔබට ජීවමාන සාක්ශියක් සපයන්නයි මේ සටහන.

මේ පර්යේෂණය මෙහෙය වන්නෙ හාවඩ් වෛද්ය විද්යාතනය මඟින්. මෙහිදි ප්රථමයෙන්ම ඔවුන් නිර්මාණය කරනවා අඩි 2×4 ප්රමාණයේ විශාල පෙට්රි දීසියක්. මෙහි සම්පූර්ණ පරිමාවටම ඔවුන් යොදනවා බැක්ටීරියාවන් වර්ධනය කරන ඒගාර් මාධ්ය.

ඉන්පසු මෙහි සම්පූර්ණ පරිමාව ඔවුන් බෙදනවා සමාන ප්රමාණයේ කොටස් 9 කට. දෙපස කෙලවරම අංක 0 කොටස් දෙකට ඔවුන් කිසිම දෙයක් යොදන්නේ නැහැ. එහි පවතින්නෙ බැක්ටීරියා වර්ධනය වන ඒගාර් මාධ්ය පමණයි.
අංක 1 දැක්වෙන කොටස් දෙකට ඔවුන් යොදනවා බැක්ටීරියාවන්ට සාමාන්යයෙන් ජීවත් වීමට නොහැකි ඔරොත්තු දීමට නොහැකි ප්රතිජීවක ප්රමාණයක්.
අංක 10 කොටස් වලට පෙර අංක එක කොටසෙ යෙදු ප්රතිජීවක ප්රමාණය මෙන් දස ගුණයක ඔවුන් යොදනවා
අංක 100 කොටස් වලට පලමු ප්රතිජීවක කොටස් ප්රමාණය මෙන් ප්රතිජීවක 100 ගුණයක්
මැද තිබෙන තීරුවට ඔවුන් යොදනවා 1000 ගුණයක ප්රතිජීවක.

ඉන්පසුව ඔවුන් අංක 0 කොටස් වලට බැක්ටීරියා මුදා හරිනවා. ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් ප්රතිජීවක නොමැති අංක 0 කොටස තුල ඉතාමත් ඉක්මනින් බැක්ටීරියා බාධාවකින් තොරව පැතිර යන ආකාරය. අංක 0 කොටස් සම්පූර්ණයෙන් බැක්ටීරියා ග්රහණය කරගත්තට පස්සෙ අංක 1 කොටසෙ ප්රතිජීවක සමඟ ඔවුන් සටන් කරනවා. ඒ අතිරන් පරිණාමය වන විකෘති (mutant) අංක 1කොටසෙ ප්රතිජීවක හා සටන් කරමින් අංක 1 කොටස තම ග්රහණයට නතු කරගන්න තරඟයක යෙදෙනවා. අංක 1 කොටසින් පසු නැවත බිහිවෙන වීකෘතිතා මඟින් දස ගුණයක ප්රබලත්වයක් සහිත ප්රතිජීවක සහිත අංක 10 කොටස් ඔවුන්ගෙ ග්රහණය නතුකරගන්නවා. මෙලෙස සිය ගුණයත් පසුකර අවසානයේදි ඔවුන් 1000 ගුණයක ප්රබලතාවයකින් යුත් ප්රතිජීවක ඇති කොටසත් ආක්රමණය කරනවා.

මෙහිදි ඔබ තේරුගත යුතු කාරණය වන්නෙ ප්රතිරෝධි අවස්ථාවන්වල බිහිවෙන විකෘතිතා මඟින් ප්රතිරෝධතාවන්ට සාර්ථකව මුහුණදිය හැකි නව ජීවීන් බිහිවීම නැමැති කාරණය. සාමාන්ය තත්වයන් යටතෙදි අංක 1 ප්රතිජීවක ප්රමාණය ඉතාමත් ප්රමාණවත් අදාල බැක්ටීරියාව මරා දැමීමට. නමුත් දිගින් දිගටම ප්රතිජීවක ප්රතිරෝධය ලැබීම නිසා ඔවුන් පරිණාමය වෙනවා ඊටත් වඩා දහස් ගුණයක් ප්රබල ප්රතිජීවකවලට පවා අති සාර්ථකව මුහුණ දීමට.

ඔබ තේරුම්ගත යුතු අනේක් කාරණය තමයි ඔබේ එදිනෙදා ජීවිතය තුල රෝගී අවස්ථාවන් වලදීත් අනවශ්ය ලෙස ප්රතිජීවක ඖෂධ භාවිතා කිරීමෙන් බැක්ටීරියා වැනි රෝග කාරකයන් බෙහෙත් වෙත දක්වන ප්රතිරෝධය අධික වී අවසානයේදි ප්රතිජීවක ඖෂධ පවා බල රහිත තත්වයන්ට පත්වීම. මේ පිළිබඳව ලෝක සෞඛ්ය සංවිධානය පවා වර්තමානයේදි දිගින් දිගටම අනතුරු අඟවමින් පවතිනවා.

පරිණාමික දිනපොත තුලින් අද දින ඇතුලත් කල සටහන සජීවී පරිණාමයක්.

ප.ලි - මේ පර්යේෂණය සඳහා යොදාගන්නෙ මිනිස් අන්ත්රය තුල ජීවත් වන E.coli බැක්ටීරියා.





(Video credit - Harvard Medical School)



#DOE




No comments:

Post a Comment