Saturday, October 24, 2020

ළදරු ඝාතනය (Infanticide)

 
බාලඝාතය එහෙමත් නැත්තම් පැටවුන් මරා දැමීම කියන්නෙ බොහෝ සත්ව විශේෂ වලට තිබෙන ලක්ෂණයක්. පරිණාමිකව මේ ලක්ෂණය ශක්තිවන්තයාගේ ඉදිරි පැවැත්ම තහවුරු කිරීමට උපකාරී වන ලක්ෂණයක්. මාතෘ සත්වයා සතු පැටවුන් ඝාතනය කිරීම තුලින් නැවත ලිංගික සංසර්ගය සඳහා තත්වය ඇති කිරීම වගේම ආහාර, වාසස්ථාන ආදී වූ අවශ්යතා සඳහා වූ තරඟය අවම කිරීම සඳහා මේ ක්රියාවලිය සත්ව ලෝකය තුල නිරන්තරයෙන්ම සිදුවෙනවා. 
 

මේ ඡායාරූපයේ දැක්වෙන්නෙත් සිම්බාබ්විහි කරීබා නදියේ වෙසෙන හිපොපොටේමස් සත්වයෙක් කුඩා පැටවකුට පහර දීම. මව් සත්වයාව පලවා හැර කුඩා පැටවාට පහර දෙන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් මේක. ස්විට්සර්ලන්ත ජාතික ඡායාරූප ශිල්පියකු වන Adrian Hirschi විසින් ඡායාරූපගත කරන ලද සිද්ධියක්.
 
ඒ වගේම මෙහිදි සඳහන් කරන්න ඕන බොහෝ දෙනා නොදන්න කාරණයක් තමයි ගොඩබිම වෙසෙන විශාල ක්ශිරපායී සතුන් අතරින් දරුණුම සත්වයෙක් වන්නෙ හිපොපොටේමස් සත්වයන් බව. වසරකට අප්රිකානුවන් 500 පමණ මරු කැඳවීමට සමත් මේ සත්වයන්. හිපොපොටේමස් සතුන් ජීවත්වන ගංගා විල් ආශ්රිතව ගමන් කරන බෝට්ටු ආදියට නිරන්තර පහර දීම් සිදුවෙනවා. 2014 වර්ශයේදි කුඩා පාසැල් දරුවන් රැගත් බෝට්ටුවකට පහරදී කුඩා දරුවන් 12 දෙනකු පමණ ඝාතනය කල ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුනා. 
 
ලංකාවේ ප්රාග්ඓතිහාසික යුගවල මේ සතුන් ජීවත් වුනත් වර්තමානයේදි මොවුන් දැකගැනීමට නොහැකි නිසා මොවුන්ගෙ රෞද්ර ස්වාභාවය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නෑ.



(Image credit - Adrian Hirschi)

 

 

#DOE

 

Link to Facebook post --->

මී මැස්සන්, පිළිකා සහ ත්‍රස්තවාදය වැලැක්වීම (Bees; to detect Cancers, Drugs and Explosives)


මී මැස්සන් ආධාරයෙන් පිළිකා තත්වයන් වගේම වෙනත් රෝග තත්වයන් සහ ඉව තුලින් හඳුනාගත හැකි තවත් බොහෝ ක්‍රියාකාරකම් සඳහා නියමු ව්‍යාපෘති ලෝකයේ විවිධ රටවල සිදු වෙනවා. පෘතුගාලයේ සුසෑනා සොආරේස් විසින් මී මැස්සන් මඟින් පිළිකා හඳුනා ගැනීම සඳහා උපකරණයක් නිපදවීම සිදු කෙරුනා. වීදුරුවලින් නිපදවු මේ උපකරණය තුලට ආශ්වාස කිරීමෙන් පිළිකා තත්වයක් වැළඳුනු අයෙකු නම් වීදුරු උපකරණය තුල වු තවත් කුඩා කාමරයකට මී මැස්සන් ගමන් කිරීම සිදුවෙනවා.
 



මී මැස්සන් මඟින් පිළිකා හඳුනා ගැනීම සඳහා උපකරණය

මෙහිදි ඇත්තටම සිදුවන්නෙ ආශ්වාස වාතයේ ඇතැම් ඉතා සියුම් ගන්ධයන් හඳුනා ගැනීමට මී මැස්සන් පෙර පුහුණු කර තිබීම. Apis millifera වැනි මී මැසි විශේෂ මේ සඳහා පුහුණු කිරීම සිදුකල හැකි බව විද්‍යඥයන් ප්‍රකාශ කරනවා. ක්ශය රෝගය, පෙනහලු පිළිකා, චර්ම පිළිකා වැනි තත්වයන්ට අදාල ජෛව සංවේදි රසායනික තත්වයන් හඳුනා ගැනීමට මී මැස්සන් පුහුණු කිරීමේ හැකියාව පවතිනවා.

රෝග පමණක් නොව පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ආදිය හඳුනා ගැනීම සඳහාත් මී මැස්සන් උපයෝගි කරගැනීමේ පර්යේෂණ සිදුවෙමින් පවතිනවා. විනාඩි 10 වැනි කාලයක් තුල මී මැස්සක් ඕනෑම ගන්ධයක් හඳුනා ගැනීම සඳහා පුහුණු කිරීමේ හැකියාව පවතිනවා. අදාල ගන්ධය සමඟ සීනි සහ ජලය සහිත ද්‍රාවණයක් ලබා දීම තුල මී මැස්සන් මෙලෙස පුහුණු කිරීමේ කාර්ය සිදුවෙනවා.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


ටීරා (Tira)


2019 සැප්තැම්බරයේදී අප්‍රිකානු මසායි මාරාවෙන් වාර්තා වුන අපූරු සිද්ධියක් තමයි ටීරා. ටීරා කියන්නෙ ස්‍රීබ්‍රාවෙක්. නමුත් ඔබ සාමාන්‍යයෙන් දකින සුදු සහ කළු පටි ආකාර වර්ණ රටාවන් වෙනුවට අඳුරු පැහැති පසුබිමක සුදු තිත් තිබෙන සීබ්‍රාවෙක්. 



ටීරා

ටීරාගෙ මේ තත්වයට හේතුවෙන්නෙත් මෙලනින් වර්ණකය හා සබැඳි ජානවල හැසිරීම. අතිශයින්ම දුර්ලභ සංසිද්ධියක් වගේම අධ්‍යනය සඳහා නව මානයක් මේ සමඟ විවෘතවී තිබෙනවා. විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා පිහිටන වර්ණ රටාවක් ලෙස සාමාන්‍යය සුදු සහ කළු රටාව බහුතර විද්වතුන් පිලිගත්තත් ටීරා සාමාන්‍යය සීබ්‍රාවන් අතර කොපමණ කාලයක් දිවි රැකගනීද යන්නට ගැටලුවක්.

ටීරා සාමාන්‍යය සීබ්‍රාවන් අතර
 
කාඩ් කූට්ටමක් ඇනීම තුලින් විවිධ සංකලන ලැබෙන්නෙ යම් සේද, ස්වභාවධර්මය නිරන්තරයෙන්ම ජාන කිටුව විවිධ සංකලන තුලින් අත්හදා බැලීම් සිදු කරනවා. මේ එවන් පරිණාමික අත්හදා බැලීමක්. ටීරා බිහිසුණු අප්‍රිකානු විලෝපිකයන්ගෙන් ගැලවී ඉදිරි පරම්පරාවනට සිය ජාන ලබා දෙයිද ? නැතිනම් කෙස් පොදක් හෝ ඉතුරු නොවන ලෙස සැවනා බිම් තුල විලෝපිකයන්ට ගොදුරු වෙයිද ? මේ ස්වභාවධර්මයේ අත්හදා බැලීම් පසුගිය වසර මිලියන ගනනක සිටම මසායි මාරාව දකින්න ඇති. එළඹෙන සෘතු විපර්යාස සමයන්, සීබ්‍රා සංක්‍රමණික රටාවන් ටීරාගෙ දෛවය තීරණය කරනු ඇති.
 
 
 
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


පිටසක්වල ජීවීන් විසින් තැනු ප්‍රතිමා ? (Who built these statues? Aliens?)


ඊස්ටර් දුපත කියන්නෙ චිලී රාජ්‍යට අයත් පාලන ප්‍රදේශයක්. වර්තමානයේදි ඊස්ටර් දූපත ලෙස හැඳින්වුවාට ස්වදේශික භාෂාවෙන් හඳුන්වන්නේ රැපානූයි ලෙස. ඊස්ටර් දූපතේ සිට ඈත සාගරය දෙසට නෙත් යොමා සිටින ප්‍රතිමා ඉතාමත් අභිරහස් නිර්මාණ ලෙස බොහෝ දෙනෙක් හඳුන්වනවා. ටොන් ගනනාවක් බරැති මේ ප්‍රතිමා මනුශ්‍යන් විසින් තැනකින් තවත් තැනකට ගෙන යා නොහැක බවත් ඒවා පිටසක්වල ජීවීන්ගෙ තාක්ෂණය තුලින් ප්‍රවාහනය කල ඒවා බවටත් සඳහන් යූටුබ් නාලිකා, වැඩ සටහන් සිය ගනනක් ඔබ අන්තර්ජාලය තුල සැරිසැරුවොත්, සොයා බැලුවොත් දකින්න පුළුවන්.

මිනිස් වර්ගයාගෙ දහඩිය මහන්සියෙන් චිත්ත ධෛර්ය සහ සිතීමේ හැකියාව තුලින් බිහිවන විශ්වකර්ම නිර්මාණ පිටසක්වල ජීවයකට ඈඳිමෙන් සිදුකරන හානිය සුළුපටු නෑ. මේ නිර්මාණ මිනිස් ශ්‍රමය තුලින් බිහිවුන ආකාරය සොයා බලනවා වෙනුවට බොහෝ දෙනා යොමුවන්නේ ඒවාට අභිරහස් මුහුණුවරක් ලබාදී ප්‍රචලිත කිරීමට.

රැපානූයි ජනතාව පලමු වරට බටහිර විද්‍යාඥයන්ට නිරාවරණය වන විට මේ ප්‍රතිමාවල ඉතිහාසය ඔවුන්ගෙන් විමසු විට ඔවුන් ප්‍රකාශ කරන්නෙ මේ ප්‍රතිමා ඔවුන් ඇවිද්දවු බවයි. පරම්පරා ගනනාවන සිට යටගිය දැනුම තුලින් ඔවුන්ගෙ නුතන පරම්පරා දැන සිටින්නේ ඒ කතාව පමණයි. "අපේ මුතුන් මිත්තන් මේ ප්‍රතිමා ඇවිද්දෙව්වා" යැයි පැවසිම තුල ගුප්ත බවක් රැඳි තිබෙන නිසාම ඒවා පසෙක දැමීමට බොහෝ දෙනා එකල යුහුසුළු වූවත් ඇවිද්දවීමෙන් මොආයි මොඩලයේ ප්‍රතිමාවක් තැනින් තැනට ගෙන යා හැකි ආකාරය ඔබට පහත වීඩියොවෙන් නරඹන්න පුළුවන්.
 

ඉතාමත් සරළ තාක්ෂණයක් සහ මිනිස් බලය උපයෝගි කරගනිමින් ටොන් ගනනක ප්‍රතිමාවක් ඇවිද්දවන ආකාරය තුල තිබෙන්නෙ පිටසක්වල තාක්ෂණයක් නොව මිනිස් වර්ගයා සතුව පවතින බුද්ධියයි.

වර්තමාන පරම්පරා අතිශයින්ම තාක්ෂණික ලෙස දියුණු උපකරන මත යැපෙමින් සියළු කාරණා ඉතාමත් පහසුවෙන් කරගත්තාට අනාදිමත් කාලයක සිට බොහෝ දේ සිදු කිරීමට විකල්ප ක්‍රමවේද සහ දැනුම සතු ගුරු පරම්පරාවන් සෑම ජාතියක් සතුවම පැවත තිබෙනවා. ඒ නිසා තමන් සතු බුද්ධියට ග්‍රහණය කර ගැනීමට නොහැකි යමක් පැවතුන පලියට ඒවාට පිටසක්වල තාක්ෂණයන් ඈඳිමේ මන්දබුද්ධික ක්‍රියාව සිදු නොකරන්න. මේක ලංකාවේ බොහෝ පෞරාණික නිර්මාණ සම්බන්දයෙනුත් පොදු කාරණයක්. පිටසක්වල ජීවය නොව තමන්ගෙම ආදීතමයන්ගෙ බුද්ධි මහිමයට ලැබිය යුතු ගෞරවය ලබා දීමට වග බලාගන්න.


(වීඩියෝව අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
 #DOE
 
 

ග්‍රිස්ලී පාදය (Grizzly Bear foot)


ග්‍රිස්ලී වලසුන් කියන්නෙ වර්තමානයේදි ගොඩබිම ජීවත්ව විශාලතම විලෝපික සත්වයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. පහත ඡායාරූපයේ තිබෙන්නේ එක් වනෝද්‍යානයක සිට තවත් වනෝද්‍යානයකට මාරු කර යවන ග්‍රිස්ලී වලසකුගෙ පාදයක්. මිනිස් අත් සමඟ තිබෙන නිසා ප්‍රමාණය සංසන්දනය කිරීමට පහසුයි. ඒ වගේම පාදය බැඳ ඇති යකඩ කේබලයේ ප්‍රමාණයට සාපේක්ෂව නියවල ප්‍රමාණය සහ ඝණකම දකින්න පුළුවන්.
 
ග්‍රිස්ලී පාදය

ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩා ප්‍රදේශවල කෑම්පින්, හයිකින් වැනි ක්‍රියාකාරකම්වල යෙදෙන්නන් නිරන්තරයෙන් ග්‍රිස්ලී වලස් ප්‍රහාරවලට නතු වෙනවා. මේ ප්‍රහාර වලින් 70% පමණ සිදුවෙන්නෙ වසන්ත සෘතුව තුල පැටවුන් සමඟ සංක්‍රමණය වන මව් වලසුන් මුණගැසීම සහ මිනිසුන් ගෙන යන ආහාර වලට වලසුන් ආකර්ශනය වීම. කෙසේ වෙතත් ග්‍රිස්ලී වලස් ප්‍රහාරයක් කියන්නෙ දැඩි ජීවිතාවදානමක් ඇති දෙයක් බව ඔබට මේ ඡායාරූපයෙන්ම වටහාගන්න පුළුවන්.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
#DOE
 
 

Thursday, October 22, 2020

ඇල්බට්‍රොස්ලා හැමදාම පියාඹනවාද? (Do Albatross fly for 6 years?)


ඇල්බට්‍රොස්ලා ගැන ප්‍රශ්න රාශියකින් #DOE ඉන්බොක්ස් එක පිරිලා තියෙන නිසා සහ ස්ථාන කිහිපයකම බොහෝ දෙනා මෙන්ශන් කරලා ප්‍රශ්න අහලා තියෙන නිසා ඇල්බට්‍රොස් කුරුල්ලන් සම්බන්ධ ප්‍රශ්න කිහිපයකට පිළිතුර සපයා නොහැකි තැනට වැඩ සිද්ධ වෙලා තියෙනවා. බහුතර මතයට හිස නමමින් අද ඇල්බට්‍රොස්ලා ගැන.

ඇල්බට්‍රොස් කියන පොදු නමින් හැඳින්වූවාට මේ ඇල්බට්‍රොස් කියන නමින් ඩයොමිඩියඩායි පක්ශි කුලයේ සමස්ථ සමාජිකයන්ව තමයි හඳුන්වන්නෙ. ඩයොමිඩියඩායි කුලය තුල ඇල්බට්‍රොස් ගනයන් හතරක් දකින්න පුළුවන්. ඩයොමිඩා, තැලැස්සාර්කි, ෆීබැස්ට්‍රියා, ෆිබිට්‍රියා නැමැති ඇල්බට්‍රොස් ගනයන් වලට අයත් විශේෂ 20 කට අධික ප්‍රමාණයක් ලෝකයේ විවිධ ස්ථාන තුල ජීවත් වෙනවා. මේ විශේෂ ගනන ඇතැම් විද්‍යාඥයන්ට අනුව 21, 22,23 අතර දෝලනය වෙනවා.

මේ සියළුම විශේෂ ඇල්බට්‍රොස් පක්ශින්. විවිධ ප්‍රමාණ, විවිධ වර්ණ, විවිධ චර්යා අනුගමනය කරත් ඔවුන් සියල්ලම පරිණාමිකව ඉතාමත් සමීප ඥාතීන්. මොවුන් අතර කොපමණ වෙනස්කම් තිබුනත් සියල්ලන්ටම පොදු කාරණය තමයි ඇල්බට්‍රොස් විශේෂ අති දක්ෂ පියාසරන්නන් වීම. 

ඇල්බට්‍රොස්ලා අතර වොන්ඩරින් ඇල්බට්‍රොස් (Diomedea exulans) විශේෂ ලොව විශාලතම පියාපත් විහිදුම (wingspan) විරුදාවලිය සඳහා යෝජනා වෙන පක්ශියෙක්. නමුත් මේ සඳහා ඇන්ඩියන් කොන්ඩෝර් ඇතැම් සමාජිකයනුත් ඇතැම් පාර්ශව තුලින් යෝජනා වෙනවා. මෙතනදි මතක තියාගන්න ඕන කාරණාය තමයි දිගුම පියාපත් විහිදුම කියන්නෙ විශාලතම පක්ෂියා කියන එක නෙමෙයි. වොන්ඩරින් ඇල්බට්‍රොස්ලාට වැඩිය බරින් ඉතාමත් වැඩි පියාසැරිය සහිත පක්ශින් තව ඉන්නවා. අප්‍රිකානු මහද්වීපයේ හමුවන කෝරි බස්ටර්ඩ් වැනි විශේෂ එලෙස බරින් වැඩි පක්ශින්. 

දෙවනි කාරණය තමයි ඇල්බට්‍රොස්ලාගෙ මුල් අවුරුදු 6 කිසිම විටෙක ගොඩබිමට නොපැමිණ පියාසර කරමින් සිටිනවා කියන කතාව. මේ කතාවේ කොටසක් නිවැරදි. ඔවුන්ට ගොඩබිමට පැමිණීමට තරම් හේතුවක් නැහැ. නමුත් ඔවුන් මේ අවුරුදු 6 ම අහසේ ඉන්නෙ නෑ. ලෑන්ඩ් නොකරනවා කියන අදහස හයිලයිට් වුනාට පිහිනන්නෙ නැත්තෙ නෑ. ඔවුන් මුහුදට අනුවර්තනය වු පක්ශින්. ඒ නිසා මුහුදු මතුපිට ඔවුන් විවේක ගන්නවා. 

මුහුද මත සිටින වොන්ඩරින් ඇල්බට්‍රොස් පක්ශියෙක්

සැතපුම් 10000 වඩා පියාඹන්න පුළුවන්ද ඇල්බට්‍රොස්ලාට ? පිළිතුර ඔව් සහ නෑ. ඇල්බට්‍රොස්ලාට සැතපුම් 10000 හෝ ඊටත් වඩා ගමන් කරන්න පුළුවන් නමුත් මේ තටු සැලීමෙන් කරන පියෑඹීකින් නෙමෙයි. ඔවුන් පරිණාමිකව දියුණු වෙලා තියෙන්නෙ සුළං ධාරා වල ආධාරයෙන් සර්පණය වීමට (glide). වෙහෙසකින් තොරව මේ ක්‍රමය Dynamic soaring ලෙස හඳුන්වන්නෙ. මුහුද මතුපිට සිට මීටර් 20 පමණ උසින් යුත් ප්‍රදේශයේ සුළඟේ හැසිරීම ඉතාමත් වෙනස්. ඝර්ෂණය හේතුවෙන් ඇතිවන පීඩන වෙනස්කම් සහ ඉහළ පහළ යන සුළං ධාරා තුල ආයාසයකින් තොරව කිසිඳු තටු සැලීමකින් තොරව ඇල්බට්‍රොස්ලා ගමන් කරනවා. මේ හෙතුව නිසා අහසේ රැඳී සිටීමට ඇල්බට්‍රොස්ලාට ශක්තිය වැය වන්නෙ නැති තරම්. පියාපත් එකම ආකාරයකින් සකස් කරගැනීමට හැකි කන්ඩරාවන් (tendons) පිහිටීම මේ සඳහා ඔවුන්ට ආධාරයක් වෙනවා. ඒ නිසා අනෙක් පක්ශීන්ගෙ පියෑඹීම සහ ඇල්බට්‍රොස් පියෑඹීම වෙනස්. (Dynamic soaring ක්‍රමය උපයෝගී කරගන් තවත් පක්ශි විශේෂ සිටිනවා). 

Dynamic soaring සිදුවන සුළං රටාවන්

දීර්ඝ පියාසැරියන්වල යෙදීමට හැකි වුනත් ඇල්බට්‍රොස් පක්ශින් ගොඩබාන්නෙ නැති කතාව අදාල වන්නෙ ගොඩබිමට පමණයි. ඔවුන් මුහුදු මතුපිට ගොඩබානවා. පිහිනීමට උපකාරීවන බැඳි පාද (webbed feet ) ඇල්බට්‍රොස්ලට පිහිටන්නෙ ඒ නිසා. පහත ඡායාරූප වල ඒවා දකින්න පුළුවන්. ඒ නිසා ඇල්බට්‍රොස්ලා ගොඩබාන්නෙ නැති කතාව වැරදියි. ඔවුන් විවේක ගන්නවා. 


ඇල්බට්‍රොස්ලාගෙ බැඳි පාද

ඇල්බට්‍රොස්ලා කියන්නෙ ඉතාමත් අපූරු පක්ශි විශේෂයක්. පැරණි යාත්‍රිකයන් ඇල්බට්‍රොස්ලාව වාසනාවේ සංඛෙත විදිහට තමයි දැක්කෙ. හර්මන් මෙල්විල් , සැමුවෙල් ටේලර් කෝල්රිජ් වැනි රචකයන්ගෙ සාහිත්‍ය කෘතී, කවි තුල ඇල්බට්‍රොස් පක්ශින් ගැන සඳහන් වෙනවා. ඇල්බට්‍රොස් දීර්ඝ ආයු ඇති පක්ශින්. වසර 50 -60 පමණ ආයු කාලයක් ඇති මේ පක්ශින් මන්දගාමී ප්‍රජනකයන්. මේ නිසාම ඇතැම් ඇල්බට්‍රොස් විශේෂ වඳව යෑමේ තර්ජනයට ලක්වෙලා තියෙන්නෙ. 

මන් හිතන්නෙ අහපු ප්‍රශ්න වලට යම්තාක් දුරකට උත්තර ලැබුනා කියලා හිතනවා 😊

 
 
(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


කින්ග් චීටා (King cheetah)


පැන්තර්ස් ගැන මීට පෙර දීර්ඝ සටහනකින් මම විස්තර කරා. කළු කොටි කියන්නෙ වෙනත් අමුතු විශේෂයක් නොව කොටින්ගේම ජානමය හේතවකින් බිහිවන වර්ණ විපර්යාසයක් බව එහිදි පැහැදිලි කරා ඔබට මතක ඇති. අද කතා කරන්නෙ 'කින්ග් චීටා' සතුන් ගැන.

චීටා, විද්‍යාත්මකව Acinonyx jubatus ලෙස හඳුන්වන මේ බීළාලයා ගැන ඔබ දන්නවා ඇති, අහලා ඇති, දැකලා ඇති නමුත් කින්ග් චීටා යනු දුර්ලභ සංසිද්ධියක්. කින්ග් චීටා ලෙස හඳුන්වන්නෙත් Acinonyx jubatus විශේෂයටම අයත් සත්වයෙක් නමුත් විශේෂත්වය තමයි සාමාන්‍යය චීටාවන්ගෙ දක්නට ලැබෙන පුල්ලි රටාව වෙනුවට මේ සතුන් ඉතාමත් තද පැහැ විශාල පුල්ලි සහ පිට මැදින් යන ඉරි ත්‍රිත්වයකින් යුක්ත වීම. මේ සංසිද්ධියට හේතුවන්නෙ නිලීන ඇලීලයක්. සාමාන්‍යය පුල්ලි රටා දරන මාතෘ සත්වයන්ට දාව මෙවැනි වර්ණ රටා සහිත කින්ග් චීටාවකු බිහිවන්න පුළුවන්. නමුත් මේ සිද්ධිය පැන්තර් සත්වයන් ඇතිවීමටත් වඩා ඉතාමත් දුර්ලභ අවස්ථාවක්.
 
කින්ග් චීටාගේ තද පැහැ විශාල පුල්ලි

සිම්බාබ්වේ, බොට්ස්වානා, උතුරු ට්‍රැන්ස්වාලය ආදි පෙදෙස්වල මේ කින්ග් චීටාවන් වාර්තා වී තිබෙනවා. දුර්ලභ වගේම අලංකාර සත්වයෙක් තමයි කින්ග් චීටාවන්.

පහත ඡායාරූපවලින් දකින්න පුළුවන් ඔබට සාමාන්‍ය චීටාවකු සහ කින්ග් චීටාවකුගෙ වර්ණ රටාවල වෙනස.
 
සාමාන්‍ය චීටා

කින්ග් චීටා


 (ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
#DOE
 
 
Link to Facebook post --->

Wednesday, October 21, 2020

කාටුන් චරිත? (Cartoon Characters?)

 
කාටුන් චරිත කිහිපයක් වගේ දැක්කට මේ තියෙන්නෙ විවිධ මකුළු විශේෂ කිහිපයක මැක්රො ඡායාරූප කිහිපයක්. 
 
 
Javier Ruperez මැක්රෝ ඡායාරූප ශිල්පියා විසින් ගෙන ඇති මේ ඡායාරූප තුලින් මකුළුවන්ගෙ ඇස් සහ වර්ණ ඉතාමත් පැහැදිලිව දක්වනවා. මැක්රෝ ලෝකය ඉතාමත් සුන්දරයි. දකින දේ තුල නොදකින පැතිකඩ මැක්රෝ කාච තුලින් දැකගන්න පුළුවන්. මහා ජීවීන් දෙස අපේ අවධානය නිතරම යොමු වුනාට මේ කුඩා ජීවීන්ගෙ ලෝකයත් ඉතාමත් විචිත්ර, වෛවර්ණ ලෝකයක්. ඒවායේ අපූරු කතාන්දර, පරිණාමික මං පෙත් සොයා බැලීම, හැසිරීම් රටා නිරීක්ෂණය තුලින් එදිනෙදා දකින දේවල් තුල නොදකින ලෝකයක් දකින්න පුළුවන්. විචිත්රවත් ලෙස මැක්රෝ ජීවිත අපට සමීප කරන සජීවිකරන කාටූන, චිත්රපට වලට වඩා මේ සැබෑ ලෝකය අතිශයින්ම අලංකාරයි.
 

(Image copyrights Javier Ruperez)
 
 
 
#DOE

Link to Facebook post --->

ශාඛභක්ෂක මාංශභක්ෂකයන් (Opportunistic feeding)


ඇතැම් සත්ව විශේෂ අප විසින් මාංශභක්ෂක , ශාඛ භක්ෂක ලෙස වර්ගීකරණය සිදු කලාට සත්ව ලෝකය තුලදි මේ දැඩි අර්ථනිරූපනය අතික්‍රමණය කරමින් හැසිරීම් රටා පෙන්වනවා. මනුශ්‍යාගෙ භාවිතය සහ පහසුව සඳහා මේ බෙදීම් යොදාගෙන තිබුනාට ඒවා හුදෙක් කෘතිම බෙදීම් බව සනාථ වන අවස්ථා සත්ව ලෝකය තුල දකින්න පුළුවන්.
 

මේ ඡායාරූපයේ තිබෙන්නෙත් පොදුවේ ශාඛභක්ෂක ලෙස හඳුන්වන ඉබ්බන් විශේෂයක් මාංශ අනුභව කරන ආකාරය. මේ විදිහේ ආහාර රටාවන් opportunistic feeding ලෙස හඳුන්වනවා. එනම් සරලව අවස්ථාව ලද විට ආහාරයට ගැනීම. හාවාගෙ මළකුණ ලැබුන නිසා ආහාරය ගැනීමක් තමයි මෙතනදි සිදුවෙන්නේ නමුත් මේ ඉබ්බන් විශේෂ කෘමීන් , දළඹුවන් ආදියත් ආහාරයට ගන්න අවස්ථා තිබෙනවා.

ඉබ්බන් පමණක් නොව මුවන් විශේෂ මස් ආහාරයට ගන්න අවස්ථාව නිරන්තරයෙන්ම වාර්තා වෙනවා. ගවයන් විසින් පිටේ ලගින කුරුල්ලන් ආහාරය ගැනීම තවත් එවැනි සුලබ සිදුවීමක්. ඇතැම් අවස්ථාවල පක්ශි විද්‍යාඤයන් ගවයන් ලඟින තෘණබිම් ආසන්නයේ පක්ශින් දැල් දමා අල්වා ගත් විට ගවයන් දැල වෙත පැමිණ පක්ශින් ආහාරයට ගත් අවස්ථා වාර්තා වී තිබෙනවා. ඉත්තෑවන් විටමින් සහ ඛණිජ  අවශ්‍යතා සඳහා මිය ගිය සතුන්ගෙ අස්ථි කොටස් දත් ගෑම, ආහාරයට ගැනීම සිදුකරනවා. ශිත සෘතුවේදි උතුරු අර්ධගෝලයේ හාවුන් මාංශ අනුභව කිරීම තවත් සුලභ සිදුවීමක්.

මේ වගේම තමයි දැඩි මාංශභක්ෂකයන් ලෙස අප හඳුනාගෙන තිබෙන සත්ව විශේෂත් ශාඛමය ආහාර ගැනීම. 'තණකොළ නුබුදිති සිංහ පැටව්" කියලා ගීත වල රචනා වුනාට සිංහයන් වගේම බිළාල කුළයේ ඇතැම් සතුන් තණකොල ආහාරයට ගන්න අවස්ථා තියෙනවා. කේමන් කිඹුලන් මාංශභක්ෂක වුනාට පළතුරු ආහාරයට ගන්නවා ඇතැම් අවස්ථාවලදි.

ඉහත උදාහරණ වලින් ඔබට පේනවා ඇති මාංශභක්ෂක, ශාඛභක්ෂක, සර්වභක්ෂක යන යෙදුම් ස්වාභාවික ලෝකය තුල ඇතැම්විට භාවිතය නිරර්ථක බව. මේ සියල්ල මනුශ්‍යාගෙ පහසුව තකා ඇතිකරගත් අර්ථනිරූපන පමණයි. නමුත් ස්වාභාවික ලෝකය තුල මේ අර්ථනිරූපනය අතික්‍රමණය කරන සංසිද්ධීන් හුදෙකලා සිද්ධීන් හෝ ව්‍යතිරේකයන් නෙවෙයි. අවස්ථාව පැමිණි විට සිදුවෙන සංසිද්ධීන්. මේ හැසිරීම් රටා සියල්ලක්ම පසුපස පැහැදිලි කිරීමක් තිබෙනවා. අධ්‍යනය කිරීම පමණයි අවශ්‍ය වන්නෙ එකී පැහැදිලි කිරීම ලබා ගැනීමට.
 
 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී) 
 


#DOE
 
 

කැල්පියා (Neolithic woman, Calpeia)

 
ජිබ්රොල්ටාවෙ දකුණු කෙළවරට වෙන්නට පිහිටි යුරෝපා තුඩුවේ ගල් ගුහාවක වසර 7500 පමණ පෙර නියෝලිතික අවධියේදි මිහිදන් වෙනවා කාන්තාවක්. වර්තමාන විද්‍යාව විසින් අැයගේ කපාල අස්ථි උපයෝගි කරගනිමින් නැවත ඇයගේ ජීවමාන රූපයට පණ දෙනවා. DNA සහ වෝහාරික විද්‍යාව උපයෝගි කරගනිමින්.විද්‍යාව ආධාරයෙන් නැවත ගොඩනැගූ වසර 7500 පමණ පැරණි කාන්තාවකගෙ සැබෑ ස්වරූපය තමයි ඔබ මේ දකින්නෙ. කැල්පියා ලෙස නම් ලැබූ ඇයව අද මීට සුළු මොහොතකට කලින් නිරාවරණය කරනු ලැබුවා.
කැල්පියා

කැල්පියා ප්‍රතිනිර්මාණය කල අයුරු

 
කැල්පියා ප්‍රතිනිර්මාණය ගැන විවිධ ගැටලු අහලා තිබ්බ නිසා පොදුවේ ඒ සියල්ලටම පිළිතුරක් විදිහට මේ සටහන.

මීට වසර 7500 පමණ පෙර ජිබ්රොල්ටාවෙ යුරෝපා තුඩුව අසල ලෙන් භූමදානයකින් තමයි කැල්පියාට අයත් අස්ථි හමුවන්නෙ. මේ අවධිය හඳුන්වන්නේ නියෝලිතික අවධිය එහෙම නැත්තන් නව ශිලා යුගය ලෙස. කැල්පියාගෙ කපාලය වසර ගනනාවක් ගතවීම නිසා යම් කොටස් හානි වී තිබුනත් නවීන ස්කෑන් ක්‍රම භාවිතයෙන් එම කොටස් නැවත සැකසීමට හැකියාව නවීන විද්‍යාව තුල පවතිනවා. කැල්පියා කියන්නෙ ඇත්තටම නූතන විද්‍යාවට කපාල ප්‍රතිසංස්කරණ කිරීමේදි පැන නගින අනෙක් අභියෝග හා සැසඳීමේදි ඉතාමත් පහසු අභියෝගයක්. උදාහරණයකට වසර මිලියන 3.5 කට පමණ පෙර මිය ගිය, කැබලි වී විකෘති වී පවතින ඔස්ට්‍රලෝපිතෙකස් ගනයට අයත් කපාලයක් පවා නැවත සකස් කිරීමේ හැකියාව මේ තාක්ෂණය සතුව තිබෙනවා.

මේ ස්කෑන් තාක්ෂණික ක්‍රමවේදයන් තුලින් කපාලය ප්‍රතිසංස්කරණය කර සම්පූර්ණ කරගත් පසුව සිදුකරන පියවර තමයි වෝහාරික විද්‍යාවේ තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් කපාලයට ජීවමාන ස්වරූපය නැවත ලබා ගැනීම. මිනිස් කපාලයක පේශි පටක පිහිටන ආකාරය , ඒවා තුනීව, සියුම්ව, ගනව කපාලය වටා පිහිටන ආකාරය පිළිබඳව විවිධ නියමයන් පවතිනවා වෝහාරික වෛද්‍ය විද්‍යාව තුල. මේ නියමයන් අනුසාරයෙන් තමයි මුහුණු ප්‍රතිනිර්මාණය කරන්නෙ. මුල් අවස්ථාවේදි නැවත ප්‍රතිසංස්කරණ කරන ලද කපාලයේ 3D ප්‍රින්ට් (ත්‍රිමාණ මුද්‍රණයක්) බොහෝ විට කාස්ට් එක වශයෙන් යොදාගන්නවා.
 
ත්‍රිමාණකරනයෙන් කපාල ප්‍රතිසංස්කරණය

මේ මුද්‍රිත කපාලයේ ලෑන්ඩ්මාර්ක් පොයින්ට්ස් ලෙස හඳුන්වන ස්ථාන සටහන් කරගැනීම ඉන්පසු සිදුවෙනවා. පහත ඡායාරූප වල ඔබට පේනවා ඇති ත්‍රිමාණකරන කල කපාලයට චෝක් කෑලි වැනි යමක් තැනින් තැන අලවා ඇති ආකාරය. ඒ ලෑන්ඩ් මාර්ක් පොයින්ට්ස් සටහන් කරගැනීමක්.
 
මුහුණ ප්‍රතිනිර්මාණය කරගැනීමේ ලෑන්ඩ්මාර්ක් පොයින්ට්ස් සහිතව

ලෑන්ඩ්මාර්ක් පොයින්ට්ස් වලට අදාලව මාංශපේශින් ප්‍රතිනිර්මාණය තමයි ඊලඟ පියවර. මෙතැන් පටන් වෛද්‍ය විද්‍යාව, භෞතික මානව විද්‍යාව, මානව වංශ විද්‍යාව සහ මූර්ති ශිල්පයේ හවුලක් ලෙස තමයි මේ වැඩේ ඉදිරියට යන්නෙ. අක්ශි කුහර තුලට සාදාගත් අක්ශි සවි කිරීමෙන් පසු ක්‍රමයෙන් මාංශ පේශින් ඇඹීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් ශංඛක අස්ථිය (temporal bone) ආශ්‍රයෙන් තමයි මේක ආරම්භ කරන්නෙ නමුත් විවිධ ශිල්පීන් අනුව වෙනස් වෙන්න පුළුවන්.
 
කාස්ට් එක
ඇස් සහ මාංශපේශින් නිමවා ගත් මූර්තිය

මාංශපේශින් ප්‍රතිනිර්මාණය කරගත් පසුව තිබෙන්නෙ සමේ එකතු කර ගැනීම. කැල්පියාගෙ සමේ වර්ණය කල්පිතයක් ලෙස නොව DNA අනුසාරයෙන් යෙදුණු වර්ණයක්. කැල්පියාට අයත් අස්ථි තුලින් ලබාගත් DNA සාම්පල විශ්ලේෂණය තුලින් සොයාගන්නවා ඇයගෙ ජානමය අතීතය (genetic ancestry). පර්යේෂණ අනුව 10% පමණ ඇය ජිබ්රොල්ටාව ආශ්‍රිත හන්ටර් ගැදරර් ගෝත්‍ර වල උරුමයත් 90% පමණ අනටෝලියානු නියෝලිතික පූර්උවජ රුමයත් ලද තැනැත්තියක්.

අනටෝලියන් කියන්නෙ වර්තමාන තුර්කිය ආශ්‍රීත ප්‍රදේශය. නැගෙනහිර මධ්‍යධරණීය නියෝලිතික් සංස්කෘතිය ක්‍රමයෙන් යුරෝපයට සංක්‍රමණය වීමක් තමයි මෙහිදි පෙන්නුම් කරන්නෙ. සරලවම කැල්පියාගෙ ආසන්නතම මුතුන් මිත්තන් ජිබ්රොල්ටාවට සංක්‍රමණය වූවන්. මෙතනදි ඉතාමත් වැදගත් කාරණා තමයි මේ DNA වලින් හෙලිවන මේ කාලය තුල යුරෝපයට සිදුවන මධ්‍යධරණීය තාක්ෂණික සහ සංස්කෘතික හුවමාරුව. මේ කාලයේදි තමයි කැල්පියා ජීවත් වෙන්නෙ.

මේ DNA සංයුතිය තුලින් තමයි ඇයගෙ සමේ වර්ණය ලබා දී තිබෙන්නේ. මධ්‍යධරණීය පෙදෙස්වල වෙසෙන ජනතාවට අයත් වර්ණයක් ඒක.
 
ප්‍රතිනිර්මාණය නිමවූ කැල්පියා

මේ ආකාරයෙන් මුහුණු නිර්මාණය කරගනිද්දි අස්ථි කොටස්,කපාලය ආශ්‍රිතව වයස නිවැරදිව ගනනය කරන්න පුළුවන්. අදාල වයසට අනුව සිදුවන මාංශපේෂි පුළුල් වීම්, ඇකිලීම් ආදය ලෑන්ඩ්මාර්ක් පොයින්ට්ස් වලදි සටහන් වන බවත් සඳහන් කල යුතුයි.

බොහෝ දෙනෙක් පෙර පෝස්ට් එකේ ප්‍රශ්න කර තිබුනා කැල්පියාගෙ ඇඳුම පිළිබඳව. ඒක මොඩර්න් වගේ කතාවක් එක්ක. ඇඳුම් පිළිබඳව සාධක හමුවන්නේ කැල්පියා ඉන්න කාලෙටත් වඩා වසර 45000 කට පමණ පෙරදි. කැල්පියාගෙ කාලය වන විට අනටෝලියානු නියෝලිතික සම්ප්‍රදායන් ෆ්ලැක්ස් හණ යොදා ගනිමින් ඇඳුම් විවීම ප්‍රගුණ කර තිබු සංස්කෘතියක්. අනටෝලියානු මුතුන් මිත්තන්ටගන් පැවත එන කැල්පියා ප්‍රාථමික ඇඳුම් භාවිතා කරන්නට ඇති බව හිතන්න අමාරුයි. ඇයගේ කාලයට වඩා වසර 2000 පමණ පැරණි වියන ලද රෙදි පිළිබඳව සාධක මේ නියෝලිතික සම්ප්‍රදායෙන් හමුවනවා.
 
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ DNA පිළිබඳව පර්යේෂණ පත්‍රිකාව මේ වසරේ සයන්ස් ජර්නලය තුල පලවුවක්. ඒ වගේම මේ ප්‍රතිනිර්මාණය හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයත් ජිබ්රොල්ටා කෞතුකාගාරයත් අනුබද්ධිත ව්‍යායාමයක් ලෙස තමයි එලි දකින්නෙ. ඉතින් ඔබට වැටහෙන්න ඕන සෑම සූක්ෂම ලක්ෂණයක්ම ඉතාමත් පරික්ෂාවෙන් යුතුව, විද්‍යාත්මක විනයක අනුකූලව ප්‍රතිනිර්මාණය කල දෙයක් මිස ආවාට ගියාට , හිතළු ආකාරයට සිදුකල දේවල් නොවන බව. ලංකාව වගේ රටවල් තුල දේශපාලනය විසින් රෝගියේකුටවත් CT ස්කෑන් එකක් දීමට නොහැකි තැනට ඇද දමා තිබුනට අනෙක් බොහෝ රටවල පුරාවිද්‍යාව, ෆොසිල විද්‍යාව වැනි ක්ශේත්‍ර ගනනාවකට පවා CT ස්කෑන් සුලබ ලෙස යොදාගන්න යුගයක් මේක. විද්‍යාවේ දියුණුවත් එක්ක අපි ගොඩක් පසුපසින් ඉන්නෙ. නමුත් අප පසුපසින් සිටින පලියට අනෙක් බොහෝ ක්ශේත්‍රයන් තවත් බොහෝ රටවල සීග්‍රයෙන් ඉදිරියට යන බව අප වටහාගත යුතුයි.


(Images via Gibraltar NM)
 


#DOE

Link to Facebook post --->

Link to Facebook post ---> 

උතුරු සුලඟේ ශිත මකරා (Frozen Dragon of the North winds)


ටෙරෝසෝරයන්  ගැන අපි #DOE තුලින් කලින් කීප වතාවක් කතා කලා. 2019 සැප්තැම්බර් 10 නව ටෙරෝසෝර් විශේෂයක් ලෝකයට හඳුන්වා දුන්නා. මේ අලුත් ටෙරෝසෝර් විශේෂය ගැන සටහනක්.

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශය කියන්නෙ ඩයිනෝසර අවශේෂ බහුලව හමුවන භූ සංකීර්ණ සහිත ප්‍රදේශයයක්. මේ භූ සංකීර්ණය තුලින් කලකට පෙර සොයාගනු ලැබූ ටෙරෝසෝර් ෆොසිල කාණ්ඩයක් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබුනෙ "ක්වෙට්සල්කෝට්ලස් නෝත්‍රෝපි' ලෙස හඳුන්වන එතෙක් මෙතෙක් පියාසැරිය ලැබු විශාලතම සත්වයා ලෙස විරුදාවලිය ලබන ටෙරෝසෝර් විශේෂයට අයත් ෆොසිල ලෙස. නමුත් ලැබෙන නව ෆොසිල සාධකත් පෙර වර්ගීකරණය කර තිබු සාධකත් නැවත විශ්ලේෂණය කිරීමෙන් පසු විද්‍යාඥයන් මේ ෆොසිල සාධක අයත් වන්නෙ නෝත්‍රෝපි විශේෂට නොව මෙතෙක් හඳුනාගෙන නොමැති නව විශේෂයක් බව සඳහන් කරනවා.

ටෙරෝසෝරයන් ගැන #DOE තුලින් පෙර ඉදිරිපත් කර ඇති ලිපි තුල සඳහන් කලා මේ සත්ව කාණ්ඩය ඩයිනෝසරයන් ජීවත් වු යුගවල අධි විවිධත්වයක් සහිතව පරිණාමය වු සත්ව කාණ්ඩයක් බව. මෙලෙස පැතිරී ගිය එක් ටෙරෝසෝර් කුලයක් තමයි 'ඇස්ඩාකිඩේ' (azhdarchidae) කුලය. ඇස්ඩකිඩ්ස්ලාගෙ තිබෙන විශේෂත්ව තමයි මේ සත්වයන් යෝධ ප්‍රමාණයන්ට වර්ධනය වීම, දිගු ගෙල, විශාල හිස, විශාල පාද ආදිය. ඇස්ඩාකිඩේ කුලයට අයත් ටෙරෝසෝරයන් ඇන්ටාක්ටික් සහ ඔස්ට්‍රේලියානු මහද්වීප හැර ඉතිරි සියලු මහද්වීප තුල පැතිරී තිබෙනවා.

ඇස්ඩාකිඩේ කුලයට තමයි මෙි නම් කර තිබෙන නව ටෙරෝසෝරයා අයත් වන්නෙ. ග්‍රීක භාෂාවෙන් "උතුරු සුලඟේ ශිත මකරා" නැමැති අර්ථය ඇතිව මේ සත්වයාට ලබාදී ඇති විද්‍යත්මක නාමය 'ක්‍රයෝඩ්‍රෑකන් බෝරියාස්' (Cryodrakon boreas).
 
ක්‍රයෝඩ්‍රෑකන් බෝරියාස් ව්‍යුහයක රූපයක්

ඇල්බර්ටාවට වඩා පහල අක්ෂාංශ වල ජීවත්වන සිය ඥාතී ක්වෙට්සල්කෝට්ලස් නෝත්‍රෝපි මෙන්ම අඩි 33 පමණ පියාපත් විහිදුමක් සහිත බෝරියාස් විශේෂය මීට වසර මිලියන 77 -74 අතර ක්‍රිටැසියස් යුගයේ අවසාන භාගයට වන්නට ජීවත් වු යෝධ ටෙරෝසෝර් විශේෂයක්.
 

බෝරියාස් විශේෂයේ ප්‍රතිනිර්මාණ

ඉහත බෝරියාස් විශේෂයේ ප්‍රතිනිර්මාණ තුල වර්ණ රටා මනකල්පිත වුවත් සත්වයාගෙ ප්‍රමාණය සහ හැඩරුව නියමාකාරයෙන් දක්වා තිබෙනවා. එක් ප්‍රතිනිර්මාණයක උතුරු එලි (අවුරෝරා) දකින්න පුළුවන් පසුතලයේ. ඒකට හේතුව තමයි බෝරියාස් විශේෂය ඉහල අක්ෂාංශ වල ඇල්බර්ටා වැනි ප්‍රදේශ තුල ජීවත් වීම. ආක්ටික් කවයට ඉතාමත් සමීප මේ ප්‍රදේශ තුල තමයි උතුරු එලි දකින්න පුළුවන් වෙන්නෙ.


(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)

 


#DOE


Tuesday, October 20, 2020

වසර මෙච්චරක් එකට සිටි ඇනකොන්ඩා යුවල (We were in love for a long time)


ෆෙස්බුක් එකට පිවිසුන අවස්ථාවකදී දැක්ක පෝස්ට් එකක් මේක. වීඩියො එකේ මූලාශ්‍රය BBC news Sinhala.
පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක පුවත් වාර්තාකරණයේ ලාංකීය වර්ශන් එක තමයි මේ ඔබ දකින්නෙ. පුවතට අදාල කරුණු කාරණා වෙන් වෙන් වශයෙන් සොයා නොබලා පුවත් රොමාන්තිකකරණය කියන ලංකාවේ තියෙන ⁣පොදු ලෙඩේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වුනාට මෙයටත් වැළඳිලා.
 

උදෘතය තියෙන්නෙ 'වසර මෙච්චරක් එකට සිටි ඇනකොන්ඩා යුවල' ගැන. ඇනකොන්ඩා සත්වයන් යුවල් ලෙස ජීවත් වෙන්නෙ නෑ.  ඇනකොන්ඩාවන් කියන්නෙ තනි තනිව ජීවත් වෙන සත්ව විශේෂයක්. දෙහිවල සත්වෝද්‍යාන බළධාරීන් එක කූඩුවේ දාලා තිබුනට ඇනකොන්ඩාවන් යුවල් ලෙස ජීවත් වන්නෙ නෑ. අවස්ථාව ලැබුනු සැනින් වර්ගයා අහාරයට ගැනීම (cannibalistic behaviour) පෙන්නුම් කරන සත්වයන්.

ඊලඟට මේ වීඩියොවෙන් මේ සතුන්ට මානව හැසිරීම් රටා ප්‍රක්ශේපනය කිරීමක් සිදුවෙනවා. "වසර මෙපමණ ඉඳ, දරුවන් මෙච්චරක් සැදු". ඇනකොන්ඩා සත්වයන් එලෙස හැසිරෙන්න එයාකාර හැඟීම් රටා දක්වන්නෙ නෑ. තරඟකාරී ලෙස ජයගන්න ඕනෑම පිරිසි සත්වයතු සමඟ ලිංගිකව එක් වීමෙන් පැටවුන් බිහිකිරීම සිදුවෙනවා. ඇතැම් අවස්ථාවල ලිංගික එක්වීමෙන් පසු පිරිමි සත්වයාව ආහාරයට ගන්න අවස්ථා වාර්තා වී තිබෙනවා. මේක හඳුන්වන්නෙ (sexual cannibalism) ලෙස.

ඊලඟට මේකෙ කියනවා ඇනකොන්ඩා ගැහණු සත්වයාව ශිහාන් මිහිරංගගෙ සිංදුවක වගේ 'අද තනිවෙලාලු'. ඇනකොන්ඩා සත්වයන් කියන්නෙ ⁣සර්පයන්ට පොදු (solitary species) තනියෙන් ජීවත්වක ලක්ෂණය දරන සතුන්. ඒ නිසා ඒ ඇනකොන්ඩා ගැහැණු සත්වයාට එලෙස තනි නොතනිය ගැටලුවක් නෙමෙයි. මේ නිසි කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට විවිස් බලන් සිදුකරන පුවත් රොමාන්තිකකරණය.

BBC එක පැත්තකින් තිබ්බම මේ කරුණු ගැන දැනුවත් කමක් නොමැති බව සහ මෙකී සිද්ධියෙන් දෙහිවල සත්වෝද්‍යාන භාරකරුවන් විශ්මයට පත්වුනා කියන්නෙම ගැටලුවක්. විෂය කරුණු ගැන හැදෑරීමක් නොමැති කම.

අවසාන වශයෙන් පොඩි අනාවැකියකුත් කියන්නන් #DOE එකෙන්. ඊලඟට පුවත්පත් වල වැටෙන්න ඉඩ තියෙනවා දෙහිවල සත්වෝද්‍යානයේ ඇනකොන්ඩා ගැහැණු සත්වයා විශ්මිත ලෙස සහකරුවකු නොමැතිව පැටවුන් බිහිකරයි කියලත්.

අන්න ඒ ප්‍රවෘත්තිය ආවොත් මේක කියවලා තියෙන ඔබ විශ්මයට පත්වෙන්න එපා. කන්‍යා උපත (virgin birth) සංසිද්ධිය ඇතැම් උරග විශේෂ , මත්ස්‍යන් තුල දකින්න පුළුවන් සංසිද්ධියක්. ඒකට විද්‍යාත්මකව කියන්නෙ parthenogenesis කියලා. සහකරුවකු නොමැතිව තමන් විසින්ම පැටවුන් බිහිකිරීම එයින් ගම්‍ය වන්නෙ.

ජුරැසික් පාර්ක් පළමු චිත්‍රපටය ඔබ නරඹා ඇත්නම් මතක ඇති එහි මුලින්ම ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවන්නේ ගැහැණු ඩයිනෝසරයන් පමණක් බව. ඔවුන් ඒ නිසා අභිජනනය ගැන ගැටලුවක් තියාගන්නෙ නෑ. නමුත් පසුව දැනගන්නවා මේ ගැහැණු සතුන් බිත්තර දමා ඇති බව. ඒ මෙන්න මේ කියන parthenogenesis සංසිද්ධිය. චිත්‍රපටයේ ආචාර්ය මැල්කම්ගෙ චරිතය රඟදක්වන ජෙෆ් ඉතාමත් අපුරු සඳහනක් කරනවා මේ සංසිද්ධිය සොයාගන්න අවස්ථාවෙදි. ඒ 'life will find a way'.. මේ අපූරු වාඛයේ සිංහල අර්ථය 'ජීවය ක්‍රමයක් සොයා ගනු ලබනවා' යන්න. #DOE කියවන අය විදිහට දැන් ඔබට මේ ගැන දැනුමක් තිබෙනවා. ඒ නිසා එහෙම දෙයක් දැක්කොත් BBC වගේ අටපට්ටමට දාන්න යන්න එපා. 😊❤️
 
 
(Video copyrights - BBC news Sinhala)



#DOE

 

ඩයිනෝසර පාදයට යටවු කැස්බෑවා (Turtle under the Dinosaur foot)


2019 සැප්තැම්බරයේදී ස්විට්සර්ලන්ත ෆොසිල විද්‍යාඥයන් ඉතාමත් සිත්ගන්නාසුළු ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. ස්විට්සර්ලන්තයේ ජූරා කඳුවැටිය කියන්නෙ ඩයිනෝසරයන්ගෙ ෆොසිල, පාසටහන් ආදිය විශාල වශයෙන් හමුවන ප්‍රදේශයක්. ජුරැසික් අවධිය යන නම ඇති වීමටත් හේතුව මේ ජූරා කඳුවැටිය.

ජුරා කඳුවැටිය වර්තමානයේ පිහිටීමට වඩා හාත්පසින්ම වෙනස් පිහිටීමක් තමයි ජුරැසික් අවධිය තුල තිබුනෙ. එකල එය මුහුදු වෙරළට ඉතාමත් සමීප ප්‍රදේශයක්. ජුරැසික් අවධියේ අවසාන භාගයට වන්නට මේ වෙරළ සමීපයට වඩදිය බාදිය සමඟ පැමිණෙන කැස්බෑවෙක් නැවත මුහුදුට යෑමට නොහැකිව සිරවීම සිදුවෙනවා. මේ කැස්බෑවාගෙ ඉරණම විසඳෙන්නෙ යෝධ සෝරපොඩ් ඩයිනෝසරයකුගෙ පාදයට යටවීමෙන්. Plesiochelys bigleri නැමැති විශේෂට අයත් මේ කැස්බෑවාගෙ තැලී පොඩී වී ගිය ෆොසිලය සමඟ හමුවන සෝරොපොඩ් පාසටහන අනුසාරයෙන් තමයි මේ ප්‍රකාශනය විද්‍යඥයන් විසින් ඉඳරිපත් කරන්නෙ.
 



හමුවූ ෆොසිල කොටස්

2000 වර්ශයේදි මේ ජූරා කඳුවැටිය හරහා සෑදීමට නියමිත අධිවේගි මාර්ගයක් හේතුවෙන් සිදුකරන කැණීම් වලින් ඩයිනෝසර අවශේෂ විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වෙනවා. මෙහි එක් ස්ථානයක කැණීමකදි රෝම යුගයට අයත් මහාමාර්ගයක් හමුවන අතර ඒ ස්ථරයට පහතින් සිදුකරන කැණීම් වලදි ජුරාසික් යුගයට අයත් ෆොසිල සහ සළකුණු හමුවෙනවා. ජූරා කඳුවැයිට ඓතිහාසික සහ ප්‍රාගඓතිහාසික වටිනාකමකින් යුත් උරුමයක් වන්නෙ මෙවැනි හේතුන් නිසා.
 

(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE
 

Link to Facebook post --->

සැබෑ නිල් පැහැය ? (True blue pigment in nature)


නීල වර්ණය කියන්නෙ ස්වභාවධර්මය තුල තිබෙන දුර්ලභම වර්ණයක්. කැසෝවරි පක්ශීන්, ඇතැම් වානර විශේෂ, සමනල් විශේෂ, බූවල්ලන්, මත්ස්‍යන් ආදීන්ගෙ නිල් වර්ණය ඔබ දැක ඇතුවාට සැකයක් නෑ. නමුත් මේ බොහෝ අවස්ථාවල ඔබ දකින්නෙ සැබෑ නිල් පැහැය නෙමෙයි. ඔබ ඇත්තටම දකින්නෙ දෘශ්ඨි මායාවක්. මේ සතුන් බොහෝ දෙනෙකුගෙ තිබෙන්නෙ නිල් වර්ණය නෙවෙයි නමුත් මේ සතුන් තුල තිබෙන ඉතාමත් ක්ශුද්‍ර සැකැස්මන් සූර්යාලෝකය පරාවර්තනය කරන ආකාරය නිසා තමයි ඔබ නිල් පැහැය දකින්නේ. තවත් සරලව කිව්වොත් මේ සතුන් මත පතිත වන සූර්යාලෝකය පරාවර්තනය වන ආකාරය හේතුවෙන් තමයි නිල් වර්ණය ඔබ දකින්න.

පෘශ්ඨවංශිකයන්, ඒ කියන්නෙ කොඳු ඇට පෙළක් සහිත සත්ව විශේෂ සියල්ල අතරින් සැබෑ නිල් වර්ණය තිබෙන්නෙ සත්ව විශේෂ තුනකට පමණයි. ඔබ නිල් පැහැය දකින අනෙක් සියළුම විශේෂ නිල් පැහැය නොදරන්නන්. සැබෑ නිල් පැහැයට හේතු වන්නෙ සයනෝෆොර්ස් (Cynophores) නැමැති වර්ණකය. මේ වර්ණකය පිහිටන පෘශ්ඨවංශී සත්ව විශේෂ තුන තමයි Blue poison arrow frog නැමැති ගෙම්බන් විශේෂය (Dendrobates tinctorious) සහා කැලියොනිමිඩේ (Callionimydae) කුලයට අයත් මැන්ඩරින් ෆිශ් (Synchiropus splendidus) සහ පික්චරෙස්ක් ඩ්‍රැගනට් ( Synchiropus picturatus) නැමැති මත්ස්‍ය විශේෂය.

Blue poison arrow frog නැමැති ගෙම්බන් විශේෂය (Dendrobates tinctorious)

කැලියොනිමිඩේ (Callionimydae) කුලයට අයත් මැන්ඩරින් ෆිශ් (Synchiropus splendidus)

පික්චරෙස්ක් ඩ්‍රැගනට් ( Synchiropus picturatus) නැමැති මත්ස්‍ය විශේෂය

සමස්ථ පෘශ්ඨවංශික ලෝකය තුල සයනොෆෝර්ස් නැමැති නිල් පැහැයට හේතුවන වර්ණකය දරන්නෙ මේ විශේෂ ත්‍රිත්වය පමණයි. අනෙක් නිල් පැහැ සතුන් නිල් පැහැ නොවෙයි, ඒ ඔබ දකින විදිහ පමණයි.

මෙතනදි සැබෑ වර්ණය කියලා අදහස් කරලා තියෙන්නෙ තරංග ආයාම අවශෝෂණය කරගැනීමේ සංසිද්ධිය. ඇපල් ගෙඩියක් ගත්තොත් ඇහැට රතුපාට පේන්නේ වර්ණාවලියේ අනෙක් හැම ආලෝකයක්ම අවශෝෂණය කරගැනීම නිසා. ඒකට කියන්නෙ Absorption. නමුත් Structural colours කියන සංසිද්ධිය වෙනස්. එතනදි වෙන්නෙ වර්ණාවලියේ කොටසක් අවශෝෂණය කරගැනීමේ නෙවෙයි. අදාල ප්‍රදේශයේ ක්ශුද්‍ර සැකැස්ම මත ආලෝකය වර්තනයට ලක් කිරීම. උරා ගැනීමේ සංසිද්ධිය structural colours වලදි සිදුවෙන්නේ නෑ. මේකෙ කියලා තියෙන පෘශ්ඨවංශීන්ගෙ වර්ණක ආලෝකය අවශෝෂණය කරගනිමින් තමයි නිල් වර්ණය ලබා දෙන්නෙ. අනෙක් නිල් පැහැති පෘශ්ඨවංශීන්ගෙ සිදුවන්නෙ Structural colours ඇතිවීම. ඒවා වෙනත් වර්ණක සහ ක්ශුද්‍ර සැකැස්මන් හේතුවෙන් ආලෝකය වර්තනය වීමෙන් පසු පෙනෙන නිල් පැහැයක්. සාමාන්‍යයෙන් true colours එහෙම නැත්තන් සැබෑ වර්ණ ලෙස හඳුන්වන්නේ පෙර පැවසු අවශෝෂණ ක්‍රියාවලිය. වර්තන ක්‍රියාවලියෙන් නිපදවෙන වර්ණ වලට කියන්නෙ structural colours කියලා.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
 
 

#DOE


Link to Facebook post --->

කියවන්න.., සිතන්න... (Keep calm and Read carefully)



මේ පිටුව තුල කතා කරන විෂයන් එකකටවත් සම්බන්ධයක් නැති දෙයක් ගැන තමයි මේ කතාව. ඔබ සමහර විට දැකලත් ඇති ඇතැම් පුද්ගලයන් (ඔබත්, මමත් ඇතුළුව) යම් කිසි කාරණයක් සඳහන් කර ඇති පෝස්ට් තුල නැවත ඒ කාරණයම ප්‍රශ්න කරනවා. උදාහරණයකට අපි හිතමුකො යම්කිසි භාණ්ඩයක් මේ ෆේස්බුක් තුල මිල සඳහන් වීමක් සමඟ තිබෙනවා කියා. ඉතාමත් පැහැදිලිව මිල සඳහන් කර ඇති විටත් ඔබට දකින්න පුළුවන් ඊට යටින් ප්‍රතිචාර වල නැවත මිල විමසා සිටින අයුරු.

#DOE තුලත් පෝස්ට් තුල මේ වගේ කාරණා දකින්න පුළුවන්. කොතරම් හයිලයිට් කර යම් කාරණයක් සඳහන් කර තිබුනත් නැවතත් ඒ දත්තය විමසීම. මේකට හේතුව තමයි සමාජ මාධ්‍යජාල ඇතුළු සමස්ථ අන්තර්ජාලයම භාවිතයේදි ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව උඩට පහලට ස්ක්‍රොල් කිරීමේ පුරුද්ද. ප්‍රතිඵලය තමයි ඔබ මොළයට අවශ්‍ය යැයි විධාන දෙන නියෝගයක් පවා ක්‍රමානුකූලව සිදුකිරීමට මොළය අසමත් වීම. කුඩා කාලයේදි අප බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමයි අවධානය එක් තැනක රඳවා ගැනීමේ අපහසුතාව. නමුත් ක්‍රමයෙන් මේ තත්වයන්ගෙන් මිදුනත් වර්තමාන තොරතුරු තාක්ෂණික ලෝකය තුල මේ අවධානය, ක්‍රමානුකූලව ධාරණය කරගැනීමේ හැකියාව, විචාර බුද්ධියකින් විමසා බැලීම ආදී කාරණා අපගෙන් ගිලිහෙමින් පවතිනවා.

මේක ඉතාමත් සුළු කාරණයක් වගේ පේන්න තිබුනට සාමාජීය වශයෙන ඉතාමත් විශාල ගැටලුවක් බවට පත්වීමේ ප්‍රවණතාව වැඩී. ඔබ දෙයක් ගැන නියමාකාරයෙන් නොකියවා, තොරතුරු සොයා නොබලා, තහවුරු කර නොගෙන, ධාරණය නොකරගන්නාතාක් අසත්‍ය තොරතුරු , නිරවද්‍යතාවකින් තොර තොරතුරු ඔබ අතින් නැවත ප්‍රතිසංසරණය වීමේ හැකියාවකින් යුක්තයි. විවිධ අවර ගනයේ ප්‍රචාරණ ක්‍රමවේදයන්ට, විවිධ දේශපාලනික හස්ථයන් විසින් බෙදා හරින අසත්‍ය තොරතුරු වලට ඔබ හසුවෙන්න තියෙන ඉඩ කඩ ඉතාමත් විශාලයි. කියවන දෙයක් ජීර්ණය නොවන්නෙත්, අන්තර්ජාලයෙන් කියවන යමක් පොතක සඳහන් යමකට වඩා ධාරණය නොවන්නත් හේතුව මේ කියවන්නන් වාලේ කියවීම. මේ තත්වයනට ඇබ්බැහි නොවී තේරුමක් ඇතිව, සනාථ කරගත් තොරතුරු ලබාගන්න යුහුසුළු වෙන්න. නැතිනම් මේ තොරතුරු තාක්ෂණික ලෝකය තුල අනාථයන් බවට පත්වීමේ හැකියාව ඉතාමත් ඉහලයි.
 
 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 


#DOE
 
 

Monday, October 19, 2020

හාර්පි දඩයම් (Huntings of Harpy)


හාර්පි රාජාලියා ගැන දිනකට පෙර පරිණාමික දිනපොතෙන් සටහනක් ඉදිරිපත් කරා.

මේ විශාල රැප්ටර් පක්ශියා ප්‍රමාණයෙන් විශාල දඩයම් සිදුකරන බව ඔබ දැන් දන්නවා. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නෙ හාර්පි ඊගල් කූඩුවක තිබුන අස්ථි කොටස්.


ඡායාරූපයේ විස්තර තිබුනේ හාර්පි ඊගල් කූඩුවකින් ලැබුන අස්ථි ලෙස. මෙහි තිබෙන ඇතැම් අස්ථි සහ කොටස් අයත් විශේෂ කිහිපයක් හඳුනා ගැනීමට මම උත්සහා කරා. හවුලර් මන්කි විශේෂයක්, ස්ලොත් විශේෂයක්, නයින් බෑන්ඩඩ් ආර්මඩිලො විශේෂට අයත් පිට අාවරණයක්, සහ තවත් හඳුනාගත නොහැකි වඳුරන් විශේෂයකට අයක් කපාලයක් මෙහි දකින්න පුළුවන්. ඒ අතර හාර්පි ඊගල් නිසරු බිත්තරයකුත් දකින්න පුළුවන්.

රාජාලියෙකුගෙ කූඩුවක් අධ්‍යනය කිරීමෙන් සමස්ථ ආහාර රටාව ගැන ඉතාමත් නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. භෞමික වාසී විශේෂද එසේත් නැත්තන් වියන් ස්ථරය තුල විශේෂද වැඩියෙන් දඩයම් කර ඇත්තේ යන්නට මෙයින් දැනගන්න පුළුවන්.

හාර්පි රාජාලියාන් කොතරම් දක්ෂ දඩයක්කරුවන්ද යන්න මින් ඔබට නිගමනය කරන්න හැකියි.

(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

 

Link to Facebook post ---> 

බෙන්ජමින් (Benjamin Tasmanian tiger)


2020 සැප්තැම්බර් මාසේ 6 වෙනිදාට හරියටම වසර 84 කට පෙර 1936 වර්ශයේ සැප්තැම්බර් 6 වෙනිදාවක බෙන්ජමින් අවසන් හුස්ම හෙලනවා. හෝබාර්ට් සත්වෝද්‍යානය තුලදි මියැදෙන බෙන්ජමින් සමඟ මියැදෙන්නෙ සමස්ථ තයිලසීන් වර්ගයා.

බෙන්ජමින්
 
බෙන්ජමින් සංකේතාත්මක වශයෙන් පෙන්නුම් කරන්නෙ මානව ප්‍රජාවේ ව්‍යප්තිය හේතුවෙන් අසාධාරණයට ලක්වන මිහිමත ජීවත්වන සමස්ථ ජෛව විවිධත්වය. ඇතැම් යුරෝපීය කෞතුකාගාර තුල තයිලසීනයන්ගෙ ටැක්සිඩර්මීඩ් නිදර්ශක දෙස මඳ වෙලාවක් බලාසිටින විට ඔබ පරිසරයට ආදරය කරන්නෙකු නම් දැඩි කණගාටුවක් දැනෙනු නියතයි. වසර සීයකට මෙපිටින් හුස්ම ගත් මිහිමත සැරිසැරූ මේ අපූරු සත්වයා සහමුලින්ම වඳ කර දැමීමට හේතුව මානව වර්ගයා බව ඔබට පසක් වු විට කණගාටුව යටපත් කරමින් ඉදිරියට පැමිණෙන්නෙ කෝපයක්. නැවතත් මේ සත්වයා මිහිමත දැකීමට නොහැකි බව පසක් වු විට ඔබට දැනෙන්නෙ කෝපය මැඬගෙන ඉදිරියට එන කිසිවක් කරකියා ගත නොහැකි හැඟීමක්.

තයිලසීනයන්, තස්මේනියානු ව්‍යාඝ්‍රයා, තස්මේනියානු වෘකයා නමින් හඳුන්වන බෙන්ජමින්ගෙ වර්ගයා 19 වන සියවස තෙක් පැමිණි ගමන් මඟ දෙස නැවත හැරී බැලුවොත් ඔවුන් පසුගිය වසර 40000 කාල පරිඡ්ඡේදය තුල විවිධ බාධක ජයගෙන පැමිණි සත්ව කොට්ඨාසයක්. ඔස්ට්‍රේලියානු මහද්වීපයට මීට වසර 40000 පමණ පෙර ප්‍රථම මිනිස් වර්ගයා ඇතුල් වීමෙන් පසු එවත ජීවත්වූ ඔස්ට්‍රේලියානු ප්ලයස්ටොසීන සත්ව සන්තතිය වඳව යෑම ඇරඹෙනවා. තයලකලියො කාර්නිෆැක්ස් නැමැති විශාල පැසිපොව් විලෝපිකයන්, ඩයිප්‍රොටොඩොන් නැමැති යෝධ වොම්බැට් විශේෂ, ප්‍රොකොප්ටොඩොන් නැමැති යෝධ කැන්ගරුවන්, ජෙනියෝර්නිස් නැමැති පක්ශි ගනය ආදී සමස්ථ සත්ව සන්තතියක් මේ යුගය තුල මිහිමතින් නශ්ඨවන විට තයිලසීනයන් මේ නශ්ඨවීම් දාමයෙන් ගැලවී ඉදිරියට පැමිණෙනවා.

ඔස්ට්‍රේලියානු ප්‍රධාන මහද්වීපයට ඩින්ගෝ සතුන් හඳුන්වාදීමත් සමඟ මීට වසර 3000 පෙර ඔස්ට්‍රේලියානු ප්‍රධාන ගොඩ බිමෙන් ඉවත්ව තයිලසීනයන් තස්මේනියානු දූපතට පමණක් සීමා වෙනවා. නමුත් පසුකාලීන මානව සංක්‍රමණය සමඟ මේ සත්වයන් සීග්‍ර ලෙස දඩයම් කිරීමෙන් ඔවුන්ගෙ අවසානය සනිටුහන් වෙනවා. බෙන්ජමින් කියන්නෙ ඒ තයිලසීන් පරපුරෙ අවසන් පුරුක.

බෙන්ජමින්ගෙ වර්ගයාගෙ අපූර්වත්වය මොනතරම්ද කියන්න ඔවුන්ගෙ ස්වාභාවය තේරුම්ගත යුතුයි. තයිලසීනයන්, තස්මේනියානු වෘකයන්, තස්මේනියානු ව්‍යාඝ්‍රයන් ආදී නම් වලින් හැඳින්වූවාට මොවුන් කිසිසේත් වෘකයන්ට, ව්‍යාඝ්‍රයන්ට සමාන කමක් නැති සතුන්. සමාන්තර පරිණාමය නැමැති ක්‍රියාවලිය ඔස්සේ වෘකයෙකුගෙ පෙනුම තිබුනාට මේ සත්වයාගෙ අස්ථි පද්ධතිය පවා වෘකයන්ට කිසිසේත් සමාන කමක් නැති අස්ථි සැකැස්මක්. තයිලසීනයන් වඩාත් සමීප කැන්ගරුවන්ට. එනම් මොවුන් පැසිපොව්වන්. තවත් විදිහකින් කිව්වොත් පැටවුන් ගෙන යෑමට පැසක් තිබෙන සතුන්. හිතන්න එහෙම පැටවු ගෙන යන පැසක් සහිත වෘකයෙක් වගේ සත්වයෙක්. ඒ තමයි තයිලසීන්. මේ සත්වයන්ගෙ හිස්කබල පවා සම්පූර්ණ වෙනස් සැකැස්මක් තිබෙන සත්ව විශේෂයක්.

එවැනි අපූරු සත්ව විශේෂයක් තමයි මානවයන් විසින් 20 වෙනි සියවස මත්තේදී මිහිමතින් අතුගා දමන්නෙ. තයිලසීනයන් වඳවන බව මිනිසුන් වටහා ගන්නා විට ඔවුන් ප්‍රමාද වැඩී. ආරක්ශිත විශේෂයක් ලෙස තයිලසීනයන් නම් කර ගතවන 59 වන දින තමයි බෙන්ජමින් මිය යන්නෙ.

කළු සුදු ඡායාරූපයක ඔබ මේ දකින බෙන්ජමින් සිය වර්ගයාගෙ ඛේදාන්තය මැනවින් පෙන්නුම් කරනවා. ඔස්ට්‍රේලියානු තැනි සහ නිම්න තුල අණසක පැතිරවු මේ අපූරු සත්වයන්ගෙ අවසාන සාමාජිකයා සත්වෝද්‍යානයක යකඩ කම්බි පිටුපසට වී සිටින්නේ තමන්ගෙ වර්ගයාගෙ අවසාන සළකුණ ලෙස.
 
 
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE
 
 

කමුයිසෝරස් ජැපොනිකස් (Kamuysaurus japonicus)


2019 වසර තුල ෆොසිල විද්‍යාවේ නව සොයාගැනීම් අතරට එක්වන නවතම ඩයිනෝසර විශේෂය වාර්තා වන්නෙ ජපානයෙන්. සැප්තැම්බර් මස 5 වනදින හඳුන්වාදෙන මේ නව හැඩ්‍රොසෝරිඩ් කාණ්ඩයට අයත් නව ගනය සහා විශේෂය සොයාගනු ලබන්නෙ ජපානයේ හොකයිඩෝ දූපතෙන්.

ජැපොනිකස් ෆොසිලය

කමුයිසෝරස් ජැපොනිකස් (Kamuysaurus japonicus) ලෙස නම් කර ඇති මේ හැඩ්‍රොසෝරියාවන්ගේ නමෙහි අර්ථය සැළකුවොත්, 'Kamuy' අර්ථය ජපානයේ ස්වදේශික අයිනු ජනතාවගේ භාෂාවෙන් 'දේවතාවා'. කමුයිසෝරස් නාමය ලැබෙන්නෙ මේ අයිනු පදයෙන්. සෝරස් යනු උරගයා. ජැපොනිකස් පදය ජපානයට. මේ නව විශේෂය හැඩ්‍රොසෝරිඩ් කාණ්ඩය තුල එඩ්මන්ටෝසෝරිනි නැමැති ක්ලේඩයට අයත් ගනයක් ලෙස සලකනු ලබනවා. හොකයිඩෝ විශ්වි විද්‍යලයේ මහාචාර්ය යොශිට්සුගු කොබයාශි විසින් හැඩ්‍රොසෝරියාවන් විශේෂ 70 පමණ අයත් ෆොසිල හා සංසදනය කිරීමෙන් පසු සුවිශේෂී ව්‍යුහ විද්‍යාත්මක වෙනස්කම් කිහිපයක් මත මේ නව ගනය සහ විශේෂය නම්කර තිබෙනවා.

ජැපොනිකස් ප්‍රතිනිර්මාණයක්

ජැපොනිකස් නිදර්ශකය අයත් සත්වයා මිය යන විට වයස 9 පමණ සත්වයෙකු බවත්. බරින් ටොන් 5.3 පමණ වන්නට ඇති බවත් සඳහන් වෙනවා. හැඩ්‍රොසොරියා කාණ්ඩයේ පරිණාමයත් , ඔවුන් ක්‍රමිකව ආසියාව සහ උතුරු ඇමරිකානු කලාපයනට සංක්‍රමණය වී ඇති ආකාරයත් ගැන නව දැනුම් සම්භාරයක් මේ සොයාගැනීම් සමඟින් ආලෝකමත් වෙනවා. විද්‍යාඥයන්ට අනුව හැඩ්‍රොසෝරියාවන් උතුරු ඇමරිකානු කලාපය තුල සම්භවය වි ආසියානු කලාපය තුලට සංක්‍රමණය වීමෙන් පසු අධි විවිධත්වයක් සහිතව පැතිරීම සිදුව තිබෙනවා. හැඩ්‍රොසෝරියාවන් ක්‍රිටැසියස් යුගය අවසාන කාලය වන තෙක්ම මෙලෙස විවිධත්වයක් පෙන්වු විශේෂයක්. එමෙන්ම වඩාත් සාර්ථක ශාඛ භක්ෂක කාණ්ඩයක් වශයෙන් හැඩ්‍රොසෝරියාවන් නම් කරන්න පුළුවන්.

හැඩ්‍රෝසෝරියාවන් විවිධ පාරිසරික නිකේත තුලට අනුවර්තනය වීමට කොතරම් සුහුරු කාණ්ඩයක්ද යන්න ඔවුන්ගෙ විශේෂ විවිධත්වය පෙන්නුම් කරනවා. උදාහරණයකට මේ වසර තුල හැඩ්‍රෝසෝරියාවන් නව විශේෂ තුනක් ෆොසිල විද්‍යාවෙන් හඳුන්වා දී තිබෙනවා. පරිණාමික දිනපොතින් මේ හැඩ්‍රොසොරිය විශේෂ ගැන මීට පෙර සටහන් ඔබ වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ වසරේ මොංගෝලියානු කලාපයෙන් සොයාගනු ලැබු 'ගොබිහැඩ්රෝස් මොංගෝලියෙන්සිස්' විශේෂය වගේම ඔස්ට්‍රේලියානු මහද්වීපයෙන් මාස කිහිපයක පෙර සොයාගනු ලැබු 'ෆොස්ටෝරියා ඩිම්බාන්ගුන්මල්' විශේෂ ගැන ඔබට මතක නම් ඔවුන්ද හැඩ්‍රෝසෝරියාවන් බව ඔබට මතක් වනු ඇති.

කෙසේ නමුත් ජැපොනිකස් විශේෂය මීට වසර මිලියන 77 පමණ පෙර ක්‍රිටැසියස් යුගයේ අවසාන භාගයට වන්නට ජීවත් වු හැඩ්‍රොසොරියාවෙක්. සොයාගනු ලැබු ෆොසිලය ක්‍රිටැසියස් යුගයට අයත් සාගර ස්ථර මතින් වෙනත් මුහුදු ජීවීන් සමඟ සොයාගැනීම නිසා විද්‍යඥයන් විශ්වාස කරනවා මේ විශේෂය වෙරළ ආශ්‍රිතව ආහාර සොයා ගිය විශේෂයක් බවට.

ජැපොනිකස් නිදර්ශකය ක්‍රිටැසියස් සාගරය තුල තැන්පත් වු ආකාරය චිත්‍ර ශිල්පියෙකුගෙ ඇසින්

මීට වසර මිලියන 100 - 66 අතර කාලය විවිධ හැඩ්‍රොසෝරියා විශේෂ වර්තමානයේදි අප්‍රිකානු සැවනා තුල විල්ඩබීස්ට් , සීබ්‍රාවන් වැනි ශාඛ භක්ෂකයන් පැතිරී සිටින්නාක් මෙන් පෘථෘවිය පුරාම පැතිරී තිබු කාලයක්. සම්පූර්ණ ශාඛ භක්ෂකයන් වන මොවුන් විශාල කන්ඩායම් විවිධ කලාප තුල සංක්‍රමණික රටා දක්වමින් විවිධ නිකේතන තුලට අනුවර්තනය වෙමින් අති සාර්ථක ලෙස පැතිර ගියත් ඔවුන්ගෙ පරිණාමික පරිඡ්ඡේදය ක්‍රිටැසියස් නශ්ඨවීමෙන් පසු අහවර වෙනවා.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE


යාල සුනඛ සිදුවීමේ ඇත්ත නැත්ත (The truth of Yala incident)


මේ පහත තියෙන්නෙ 2019 වසරේ අග භාගයේදී විවිධ පිටු කිහිපයක් සහ පුද්ගලයන් කිහිප දෙනෙක් ශෙයාර් කරලා තිබ්බ පෝස්ට් එකක්. ඒවාට අනුව යාල සංචාරකයන්ට කොටින් පෙන්වීම සඳහා සුනඛයන් යාලට ගෙනත් දැමීම උපක්‍රමයක් බවයි සඳහන් කරන්න
 

ප්‍රථමයෙන්ම සඳහන් කල යුතුයි මේ ඡායාරූප හතරෙන් පහල තිබෙන ඡායාරූප ද්විත්වය ඉන්දියාවේ සිදුව සිද්ධියකට අයත් ඡායාරූප. උඩ තිබෙන සුදු පැහැති සුනඛයා පිළිබඳ සිද්ධිය ලංකාවේ සිද්ධියක්. නමුත් කවුරුන් විසින් හෝ යාලට සුනඛයන් අතහැරීමෙන් සිදුවුන දෙයක් නෙමෙයි. අදාල සිද්ධි වසරකට වඩා පැරණි සිදුවීමක්. යාල ගැන නොදැනීමත්, පේජ් රීච් වැඩි කර ගැනීමටත් මෙවැනි අසත්‍ය ප්‍රවෘති සංසරණය සිදු කලාට යාල අවට පටනංගල, දූව ආදී ධීවර වාඩි වලත් කුමන ආදී ප්‍රදේශවලිනුත් යාල වනෝද්‍යානයට නිරන්තරයෙන් සුනඛයන් ඇතුළු වීම සිදුවෙනවා. මේ සතුන් වෙරළ ඔස්සේ පැමිණ යාලට ඇතුල් වීමෙන් පසු කොටින්ට දඩයම බවට පත්වීම සුලබ සිදුවීමක්. සුනඛයන් කියන්නෙ කොටින් ඉතාමත් ප්‍රිය කරන පහසු ගොදුරක්.

ඒ වගේම සංචාරක ආකර්ශනය සඳහා සුනඛයන් ගෙනැවිත් අතහැරීමට තරම් කොටි අහේනියක් යාලට නැති බවත් සඳහන් කල යුතුයි. මේ ඡායාරූප වල තිබෙන සිද්ධියෙදි කොටියා පහර දී පසුබසිනවා. ඒ අවස්ථාවෙදි අදාල සුනඛයා දිවි රැකගත් විට ඒ සත්වයා ඉවතට කැඳවීමට ජීප් රථ රියදුරෙක් උත්සහා ගත්තත් ඒ සත්වයා නොපැමිණෙනවා. පැයකට පමණ පසු අදාල සුනඛයා නැවතත් ගොදුරු කර ගැනීමට කොටියා සමත් වුන බව පෞද්ගලිකවම ඒ දිනවලදි සොයා බැලීමෙන් පසු තහවුරු කරගත් කාරණා. මේ අවසන් කොටස වර්තමානයේදි සංසරණය වන පෝස්ට් සමඟ නොතිබුනත් මේ සිද්ධියේ සත්‍ය එයයි. යාල සංචාරක කර්මාන්තය පිළිබඳව පෞද්ගලිකව මා හටත් විවේචන පැවතුනත් මෙවන් අසත්‍ය ප්‍රචාරයන් තුලින් කළු පැල්ලමක් ඇති වන්නෙ සමස්ථ සංචාරක කර්මාන්තයට බැවින් තොරතුරු තහවුරු කර නොගෙන මෙවන් ප්‍රචාර ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිනවා.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE