Sunday, August 4, 2019

ක්‍රිටැසියස් මහා නශ්ඨවීම (Cretaceous Mass Extinction) - Part 1





පෘථිවිය මත ජීවය බිහිවු දා ඉඳන් මේ වෙනකන් මහා නශ්ඨවීම් සිදුවීම් පහක් සිදුවෙලා තියෙන බව පෙර ලියපු සටහන් ෆලෝ කරානන් දකින්න ඇති. මේ නශ්ඨවීම් සිද්ධි අතරින් සෑහෙන ප්‍රසිද්ධම සිදුවීම තමයි ඩයිනෝසරයන් මිහිමතින් අතුගා දැමීමට හේතුපාදක වූ ක්‍රිටැසියස් නශ්ඨ වීම.

දැන් උල්කාපාත කතාව සෑහෙන ප්‍රසිද්ධ වුනාට මේ සිද්ධිය හරියටම මොකද්ද සහ වුනේ කොහොමද කියන එක ගැන ගැටලු තියෙන්න පුළුවන්. සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමා එක් තැනකට ගැටෙන උල්කාවකින් කොහොමද සමස්ථ පෘථිවියේ ජීවයටම බලපෑම් කරන්නෙ කියන එක. මේ සටහන ඒක ටිකක් සරල කරලා පැහැදිලි කිරීමක්.

දැන් ඔය භූ විද්‍යාවෙදි පොලව කැණීම් කරද්දි පස්, මඩ, වැලි ආදිය අවසාධිත එහෙම නැත්තන් ලෙයර්ස් වලින් තමයි අපිට හම්බවෙන්නේ. කාලෙන් කාලෙට විවිධ පස් තට්ටු එක මත එක තැන්පත් වීම නිසා මේ ලෙයර්ස් හැදිලා තියෙනවා. මෙහෙම කැණීම් කරගෙන යද්දි මතුවෙන ලේයර් එකක මුණ ගැහෙනවා රේඛාමය සටහනක්. මේ රේඛාව ටිකක් විශේෂයි. හේතුව තමයි ප්‍රත්ශතයක් විදිහට ඉරිඩියම් කියන මූලද්‍රව්‍ය සංයුතිය මේ රේඛාවේ අධිකයි. මොකද්ද මේ හරුපේ ? ඉරිඩියම් කියන්නෙ පෘථිවි මතුපිට පෘෂ්ඨය තුල ඉතාමත් දුර්ලභ මූලද්‍රව්‍යක්. එතකොට ඉරිඩියම් කොහොමද මේ රේඛාවට ඇතුල් වුනේ?

කැනඩාවෙ ඇල්බර්ටාවල දකින්න පුළුවන් K-pg රේඛාව (ඉරිඩියම් වැඩි ස්ථරය)

නෙදර්ලන්තයේ K-pg රේඛාව

මේ ගැටලුව විසඳන්න තියරියක් ඉදිරිපත් කරනවා ලුවී අල්වාරේස් කියන භෞතික විද්‍යාඥයා සහ භූ විද්‍යාඥයෙක් වන ඔහුගෙ පුත්‍රයා වෝල්ටර් අල්වාරේස්. සාමාන්‍යයෙන් ඉරිඩියම් බහුලව තිබෙන මූලාශ්‍රයක් තමයි උල්කාවන්. අල්වාරේස්ලගෙ තියරියට අනුව මේ ඉරිඩියම් පෙරකී භූ ස්ථරයට ලැබෙන්නෙ පෘථිවිය සමඟ සිදුවන උල්කාශ්ම ඝට්ටණයක් හේතුවෙන්. දැන් මේ ඉරිඩියම් බහුල භූ ස්ථරය කාළ නීර්ණයකට ලක් කලාම ලැබෙන දින වකවානු වෙන්නෙ වසර මිලියන 66 පමණ ප්‍රථම ඇතිවු සිදුවීම්ක් ලෙසයි.

දැන් ඒ කතාව පැත්තකින් තියලා මෙක්සිකොවේ යුකටාන් අර්ධද්වීපය දිහාට ගියොත් මේ ප්‍රදේශයෙන් හොයාගන්නවා ඉතාමත් විශාල ආවාටයක් (impact crater). මේ ආවාටය ඇතිවෙලා තියෙන්නෙ ඉතාමත් විශාල උල්කාවක ඝට්ටණය නිසයි. දැන් මේකයි අර කලින් කිව්ව ඉරිඩියම් කතාවයි සම්බන්ධ වෙන්නෙ මෙහෙමයි. ඉරිඩියම් අධික භූ ස්ථරයෙන් එන කාළ නීර්ණයට සර්ව සමපාත කාළ නීරණයක් ලැබෙනවා යුකටාන් අර්ධද්වීපයේ හමුවෙන ආවාටයත් සමඟ. එයත් වසර මිලියන 66 ක් පැරණියි. අහඹුවක්ද ? 

චික්සුලුබ් ආවාටය තිබෙන ප්රදේශය

දැන් මේ වසර මිලියන 66 කට පෙර වකවානුවෙ විශේෂත්වය මොකද්ද ? ඒ තමයි ක්‍රිටසියස් යුගයේ අවසානය සනිටුහන්වුන කාල සීමාව. ඒ කියන්නෙ මිහිමත වාසය කරපු දැවැන්තම සතුන්ගෙ අවසන් කාලය.


To be continued...


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


#DOE


No comments:

Post a Comment