Saturday, August 10, 2019

මිනීමරු වානරයා (The killer ape) - 02

අප්රිකානු මහද්වීපයෙන් චිම්පන්සින්ව මුලින්ම බටහිර ලෝකයට හඳුන්වාදීලා පසුකාලීනව විද්යා පර්යේෂණවලට ලක් කරද්දි හැමතිස්සෙම වගේ පර්යේෂකයො උත්සහා කලේ චිම්පන්සි හැසිරීම් රටා එක්ක මානව හැසිරීම් රටා සමපාත කරලා මානව විද්යාත්මක අර්ථනිරූපන ගෙනත් පරිණාමික ගමන් මඟ තව තවත් පාදා ගන්න. 

මේ කාර්යෙදි සමස්ථ පර්යේෂණ ගමන් පථයම මූලීක වෙලා තිබුණු උපකල්පනය තමයි මානව සංහතියම නෛසර්ගිකවම රැගෙන ආ දරුණු ගති ලක්ෂණ රැසකින් හෙබි විශේෂයක් බව. මේ මූලික උපකල්පනය 16 වෙනි සියවස අග තෝමස් හොබ්ස් විසින් රචිත ලෙවියතන් කෘතිය මඟින් උද්දීපනය කරපු අදහස්වල වඩාත් නූතන අවස්ථාව විදිහට හඳුන්වන්න පුළුවන්. හොබීසියානු අර්ථනිරූපන වලට අනුව මිනිසා යනු ස්වාභාවික පරිසරය තුල අතිශයින්ම දරුණු, ම්ලේච්ඡ්ඡ, එකිනෙකා මරා ගැනීමට තරම් සහාසික ජීවි කොටඨාසයක්.

දැන් කතාව එහෙම තියෙද්දි පසුකාලීනව විද්යාවෙ දියුණුවත්, අප්රිකාව බටහිරට විවෘත වීමත් වගේ කරුණු එක්ක චිම්පන්සියො බටහිර විද්යාවට නිරාවරණය වෙනවා. සංස්කෘතිමය වශයෙන් ගත්තම චිම්ප්ස්ලා පීතෘ මූලික සමාජයක්. Aggressive and highly territorial කියලා හඳුන්වනවා. ඒ කියන්නෙ ඔවුන් ඉතාමත් ආක්රමණශිලි මෙන්ම ප්රචණ්ඩ ගති පැවතුම් පෙන්වන සත්ව කාණ්ඩයක්. එ් වගේම චිම්පන්සි කණ්ඩායම් අතර යුධමය තත්වයන් ඇති වෙනවා. මේ යුධමය තත්වයන් මනුශ්ය කණ්ඩායම් තරමටම සංකීර්ණ ගැටුම්.

උදාහරණයකට 1974 - 1978 කාල වකවානුව අතර ටැන්සානියාවෙ ගොම්බේ වනෝද්යානය තුල හටගත් මෙතෙක් වාර්තාගත දීර්ඝතම චිම්පන්සි යුද්ධය සඳහන් කරන්න පුළුවන්. වනෝද්යානයේ උතුරු සහ දකුණු ලෙස දේශසීමා වෙන්කරගත් මේ සත්වයන් වසර හතරක් අඛණ්ඩව සටන් සිදු කරමින් තම වර්ගයා නැසීමේ මෙහෙයුම් දියත් කර තිබෙනවා. කසකේලා සහ කහාම නම් වලින් වෙන්කර හඳුනාගත් මේ චිම්පන්සී යුද්ධය අවසානයේදි කසකේලා පාර්ශවයට තීරණාත්මක ජයග්රහණයක් අත්කර දෙමින් නිමාවට පත්වුනා. (ගොම්බේ චිම්පන්සි යුද්ධය ගැන වෙනම ලිපියක් පසුවට එක් කරන්නම් වෙලාව ලැබෙන විදිහට)

හැත්තෑව දශකය තුල ප්රමුඛතම වානරවිද්යා අධ්යනවේදීනියක් වන ජේන් ගුඩොල් ප්රමුඛ අනෙක් විද්වතුන්ට ගොම්බේ සටන් විශ්මය දනවන්නක් වුනා. එතෙක් කල් චිම්පන්සින් මනුශ්යන් තරම් සහසික නොවන බවට වූ මතය කීතු කරමින් ඉහල ප්රයිමේටාවන්ගෙ දරුණු බවට ජීවමාන සාක්ෂියක් ඉතුරු කරමින් වානර ප්රජාව සහසිකත්වයට ඇද දැමීමට ගොම්බේ චිම්පන්සි යුද්ධය ඉවහල් වුනා.

චිම්පන්සි හැසිරීම් රටා සහ මානව හැසිරීම් රටා සමපාත කරන සාධක ලෙස සහසිකත්වය, පුරුශාධිපත්ය වැනි කරුණු මුල් බැසගෙන යමින් තිබෙන අවධියක තමයි කොංගෝ නිම්නයෙන් බොනෝබෝවන් සොයාගන්නෙ. බොනෝබෝවන් කියන්නෙ චිම්පන්සින්ට සමානකම් දක්වන නමුත් වෙනත් විශේෂයකට අයත් වානරයන්. බොනෝබෝවන් සහ චිම්පන්සින් මුල් කාලීනව එකම විශේෂයක් ලෙස හඳුනා ගැනුනත් පසුව ඔවුන් විශේෂ දෙකකට වෙන් කරන්නෙ ඉතාමත් පැහැදිලි රූපමය, ව්යුහීය සහ ජානමය වෙනස්කම් මත.

බොනෝබෝවන් කරලියට ඒමත් සමඟම "මිනීමරු වානරයා" සිද්ධාන්තය උඩු යටිකුරු වෙනවා. සාමාන්යය භාසාවෙන් කිව්වොත් වලි දාගන්න, ගේම් ඇදගන්න, ප්රචණ්ඩ චිම්පන්සි වෙනුවට බොනොබෝව ඉතාමත් සමෙකාමී පිරිසක්. වලි, දබර, යුද්ධ වෙනුවට බොනෝබෝවන් සාමකාමී හැසිරීම් රටා පෙන්වන වානර විශේෂයක්. අනෙක් විශේෂිතම කරුණ බොනෝබෝ සමාජය මාතෘ මූලික සමාජයක් වීම. චිම්පන්සි සංස්කෘතියය තුල පුරුශාධිපත්ය වෙනුවට බොනොබෝ සමාජයේ මුල් තැන ගැහැණු සතුන්. 

බොනෝබො සංස්කෘතිය තුල අපූරුතම කරුණ වන්නෙ ඔවුන්ගෙ ගැටුම් නිරාකරණ උපක්රමය. චිම්පන්සින් අතර ගැටුමක් සටනකින් බිය වැද්දවීමකින් කෙලවර වන විට බොනෝබෝ ගැටලු නිරාකරණ ක්රමවේදය පදනම් වන්නෙ ලිංගික සංසර්ගය මත... යම් කිසි පිරිමි සතුන් දෙදෙනකු අතර ගැටුමක් ඇතිවීමට යන විටම බොනෝබෝ ගැහැණු සත්වයන් මැදිහත්ව ලිංගිකව එක්වීම මඟින් ප්රචණ්ඩත්වය සමනය කර ගැටුම නිරාකරණය කරනවා.

බොනෝබෝ සංස්කෘතිය තුල ලිංගිකත්වය කොතරම්ද කියතොත් අනුව දශකයේ බීබීසි වාර්තා වැඩ සටහන් නිපදවිමට බොනෝබෝවන් තෝරාගත් විට කැමරා කාචය වැඩි කාලයක් වසා තැබීමට සිදුව ඇත. මේ අපූරු සත්වයන්ව අධ්යනය කල මහාචාර්ය ෆ්රාන්ස් ඩි වාල් පවසන පරිද් 'they make love, not war"..

කෙසේ නමුත් මා මුලින් සඳහන් කල හොබීසියානු අර්ථ නිරූපන සහ මානව විද්යාත්මක සංකල්ප වලට බොනෝබෝවන් මරු පහරක් එල්ල කලා. සහසිකත්වය වෙනුවට සාමකාමීත්වයත්, පීතෘමූලික සමාජය වෙනුවට මාතෘ මූලික සමාජයත්, යුද්ධය වෙනුවට ලිංගිකත්වයත් රැගෙන ආ බොනෝබෝවන් the killer ape theory නැවත කියවීමකට ලක් කිරීමට බලපෑම් කලා. බොනෝබෝ හැසීරීම් රටා හොබිසියානු මතයන්හි එල්බ සිටි විද්‍යාඥයන්ට කොපමණ හිසරදයක් ඇති කලාද යත් ඇතැම් විද්‍යාඥයන් ප්රසිද්දියේ ප්රකාශ කර සිටියේ වඳව යාමට නියමිත සීමිත පිරිසක් බැවින් බොනෝබෝවන් එතරම් ගනන් නොගත යුතු බවයි.

කෙසේ නමුත් මේ වන විට පරිණාමික වෘක්ෂය තුල බොනෝබෝවන් ස්ථාපිත කර හමාරයි. චිම්පන්සීන් සමඟ 97% DNA සමපාතයත්, බොනෝබෝවන් අතර 96% DNA සමපාතයත් අප හා ඔවුන් අතර සමීප බව තහවුරු කරනවා. 

නමුත් ගැටලුව තාමත් එලෙසයි.... මිනිසා නෛසර්ගිකව ප්රචණ්ඩත්වය කරා යොමු වන්නෙක්ද ? අප පරිණාම වෘක්ෂය තුල වර්තමානට රැගෙන පැමිණ අැත්තේ චිම්පන්සි හැසිරිම් රටාද ? එසේ⁣ත් නැතිනම් වික්ටෝරියානු ආකල්ප මඟින් යම් හෙයකින් යටපත් කර ඇති බොනෝබෝ හැසිරීම් රටාද ?





#DOE




මිනීමරු වානරයා (The killer ape) - 01


භෞතික මානව විද්යා විශය තුලදි මානව පරිණාමික වෘක්ෂය නැවත ප්රතිනිර්මාණය කිරීමේදි හෝමෝ සේපියානුවන් වන අපේ හැසිරීම් රටා ගැනත් අප නැවත සිතන්න පටන් ගන්නවා. සේපියානුවන් නෛසර්ගිකවම දරුණු විශේෂයක්ද ? මේ ගැටලුව කාලාන්තරයක් තිස්සේ පිලිතුරු සෙවීමට , පිලිතුරු යෝජනා වීමට ලක්වු ගැටලුවක්. මේ ගැන පෙර වෙනත් තැන් වලදි මම ලියපු සටහන් කිහිපයක් කෙටි සටහන් ලෙස පල කරනවා නැවත මේ පිලිබඳව ඔබටත් යම් අදහසක් ලබා ගැනීමට.


මිනීමරු වානරයා (The killer ape)


1924 වර්ශයේදි රේමන්ඩ් ආතර් ඩාර්ට් හට ලැබෙන වාර්තාගත පලමු හොමිනිඩ් ෆොසිලය ඔස්ට්රලොපිතකස් ඇෆරෙන්සිස්... ඇෆරෙන්සිස් ෆොසිලයත් එක්කම ඩාර්ට් තමන් පුද්ගලිකවම ලබපු පලමු ලෝක යුද්ධයේ අත්දැකීමුත්, මානව ඉතිහාසය තුල එතෙක් මෙතෙක් සිදුව ඇති බියකරු යුද්ධයනුත් සැලකිල්ලට ගෙන නිර්මාණය කරනවා මතයක්... මේකට නම දෙන්නෙ "මිනීමරු වානරයා" (killer ape).

මේකෙන් ඩාර්⁣ට් කියන්න උත්සහා කරන්නෙ අපේ හැසිරීම් රටා සහ වර්ගයක් ලෙස ඇති යුදකාමී බවට හේතු වෙන්නට ඇත්තෙ අපේ මුල් පූර්වජයන් (දෙපයින් සිටගත්) ඉතාමත් කලහාකාරි, රුධිර පිපාසිත සත්ව කොට්ඨාසයක් නිසා බවත් එබැවින් එකී කලහාකාරී, රුධිර පිපාසිත බව අප හටත් පරම්පරා ගනනාවක් ඔස්සේ ලැබී ඇති බවත්..

රේමන්ඩ් ඩාර්ට්ගෙන් සමාජගත කෙරුණු මිනිමරු වානරයා කෙතරම් සාර්ථකදයත් පසුකාලීනව කරලියට පිවිසි ආතර් සී ක්ලාක්ගෙ "2001 ස්පේස් ඔඩිසි" ⁣ප්රබන්ධයේ moon - watcher චරිතය (මට මතක විදිහට පරිවර්තනේදි මේ චරිතයට නම දීලා තිබ්බෙ 'හඳයා' කියලා) මුල් පරිඡ්ඡේදවල විස්තර කෙරෙන හොමිනිඩ් වානරයන්ට අහසින් පැමිණි පාෂානයක් නිසා ලද නව දැනුමින් නිර්මාණය කරගන්නා ආයුධවලින් ඔවුන් අති බිහිසුණු වී තමන්ගෙ ප්රතිවාදීන් ඝාතනය කිරීමටත් පෙළඹෙනවා.

ඩාර්ට්, ආතර් සී ක්ලාක් නික්ම ගොස් දැන් බොහෝ කල්... ඔස්ට්රෙලොපිතසින් ගනයට අයත් පූර්වජයන්ගෙන් ලද දන්ත සාම්පල් නිරීක්ෂණය කිරීමේදි ඔවුන් බොහෝමයක් මාංශ භක්ෂක නොව ශාඛ භක්ෂක බවට ඔප්පු වී හමාරයි...

ඇත්තෙන්ම ඔවුන් දරුණු වී සිටින්නට ඇත්ද ? මා ලිපි කිහිපයක් හුවමාරු කරගැනීමට සමත් වූ නෙදර්ලන්ත ජාතික, ප්රයිමේටාවන් පිළිබඳ මහාචාර්යවරයකු මා හට කියා සිටියේ ඔහු ඒ කතාවට එකඟ නොවන බවයි. වර්තමානයේ ජීවත්වන අපට ජානමය වශයෙන් ආසන්නතම අග්ර ප්රයිමේටාවන් විශේෂ දෙක වන චිම්ප් සහ බොනොබො චර්යාවන් නැවත කියවීමේදි ඔවුන්ගෙ ස්වාභාවික චර්යාවන්හි ඇති එකිනෙකා පිලිබඳ දක්වන සැලකිල්ල සහ ස්නේහය පෙන්වා දෙමින් ඔහු සඳහන් කලේ මාතෘ මූලික සමාජ සංස්කෘතියකට උරුමකම් කියන බොනොබෝවන් රැල තුල ගැටුම් නිරාකරණයේදි පවා බිහිසුණු බව සහ ශක්තිය වෙනුවට ආදරය සහ කරුණාව උපයෝගි කරගන්නා බවයි..

අපි ස්වභාවයෙන්ම බිහිසුණුද ? මේක විද්යාවටත් වඩා දාර්ශනික ගැටලුවක්... නමුත් ස්වභාව විද්යා මුලධර්ම වලින් ආලෝකමත් වෙමින් පවතින දාර්ශනික ගැටලුවක්...


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE



ලක්දිව ප්ලයස්ටොසීන සත්ව සන්තතිය (Pleistocene Fauna in Srilanka) - 03

පැලියොලොක්සොඩොන් නැමැඩිකස් සින්හලේයුස් (Palaeoloxodon namadicus sinhaleyus)


ලෝකයේ එතෙක් මෙතෙක් ජීවත්වු විශාලතම ගොඩබිම් ක්ශීරපායි සත්වයා ලෙස නම් දරන්නෙ එලිෆන්ටිඩේ කුලයට අයත් 'පැලියොලොක්සොඩොන් නැමැඩිකස්' කියන හස්ථි විශේෂය. 

මොවුන් වර්තමානයේදි ඔබ දකින අප්රිකානු හස්ථි විශේෂයනට වඩා ඉතාමත් විශාල හස්ථි විශේෂයක්. ප්ලයස්ටොසීන යුගයෙදි ආසියා කලාපය තුල ඉන්දියාවෙ සිට ජපානය තෙක් මොවුන්ගෙ පැතිරීම පැවතිලා තිබෙනවා. පැලියොලොක්සොඩොන් නැමැඩික්ස් හස්ථින් මීට වසර 24000 පමණ පෙරදි ප්ලයස්ටොසීන යුගයේ අවසානයෙදි ෆොසිල වාර්තාවලින් අතුරුදහන් වෙනවා. ඒ කියන්නෙ ඔවුන් නශ්ඨවීමට ලක්වෙනවා.

අප්රිකානු හස්ථියකු සහ නැමැඩිකස් හස්ථියකු අතර ප්‍රමාණාත්මක සංසන්දනය

නැමැඩික්ස් විශේෂයන්ගෙ ෆොසිල බොහෝමයක් හමුවෙන්නෙ ඉන්ද්යාවෙ නර්මදා ශිවලික් සත්ව සන්තතියට අයත් ෆොසිල සාධක ලැබෙන ෆොසිල තැන්පතුවලින්. දැන් මේ නර්මදා ශිවලික් සත්ව සන්තතිය ලංකාවෙ රත්නපුර සත්ව සන්තතියට බොහො සමානකම් දක්වනවා. රත්නපුර සත්ව සන්තතිය කියලා නම දෙන්නෙ අපි ප්ලයස්ටොසීන යුගයෙදි ජීවත්වු බොහොමයක් සත්ව විශේෂවල අවශේෂ අපට හමුවන්නේ රත්නපුර ප්රදේශයෙන් නිසා.

මේ කාතාව මෙහෙම මඳකට නවත්තලා අපි යමු 1936 වර්ශයට. 1936 වර්ශයේදි ලංකාවෙ ෆොසිල විද්යාවේ පුරෝගාමියා ලෙස හඳුන්වන්න පුළුවන් P.E.P දැරණියගල මහත්මයා කුරුවිට ප්රදේශයෙන් ලැබෙන ෆොසිල සාධක මඟින් ප්ලයස්ටොසීන යුගයට අයත් හස්ථි විශේෂයක් හඳුනාගන්නවා. මේ විශේෂය පැලියොලොක්සොඩොන් නැමැඩිකස් හස්ථියාගෙ උප විශේෂයක්. ලංකාවට ආවේණික වෙච්ච මේ උප විශේෂ නම් කරන්නෙ "පැලියොලොක්සොඩොන් නැමැඩිකස් සින්හලේයුස්" ලෙසයි. මහද්වීපික නැමැඩිකස් හස්ථින්ට වඩා කුඩා ප්රමාණයේ උප විශේෂයක් වන නැමැඩිකස් සින්හලේයුස් උප විශේෂය මධ්ය ප්ලයස්ටොසීන යුගයෙදි ලංකාවෙ පැතිරීම තිබී ඇති උප විශේෂයක්.

රූපීය වශයෙන් ගත්තම නැමැඩිකස් හස්ථීන්ගෙ විශේෂ ලක්ෂණ වෙන්නෙ දිගු සෘජු ලෙස ඉදිරියට නෙරා එන දල යුගල සහ හොඳින් සහ සමව වැඩුන ලලාට පාර්ශව කපාල නෙරීම. සරලව කිව්වොත් සාමාන්ය හස්ථියෙකුට වඩා ඉදිරියට නෙරා එන නලලක් පිහිටීම.

දිගු සෘජු ලෙස ඉදිරියට නෙරා එන දල යුගල සහ හොඳින් සහ සමව වැඩුන ලලාට පාර්ශව කපාල නෙරීම

නැමැඩිකස් අස්ථියක්  

පරිණාමික දිනපොතේ අද දින සටහන තුලින් දැන් ඔබ දන්නවා ගොඩබිම සැරිසැරූ විශාලතම ක්ශිරපායි සත්වයගෙ උප විශේෂක් ලංකාව තුලත් ප්ලයස්ටොසීන යුගයෙදි සැරිසැරූ බව.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE



ලක්දිව ප්ලයස්ටොසීන සත්ව සන්තතිය (Pleistocene Fauna in Srilanka) - 02

ගවරා (Gaur)


ප්ලයස්ටොසීන යුගයේ සිට මෑත ඉතිහාසය දක්වාම ලංකාව තුල ජීවත්ව නශ්ඨව ගිය සත්ව විශේෂයක් තමයි ගවරා. ගවරා නාමයත් සමඟ විවිධ ජනප්රවාද, මිථ්යාවන් බැඳි පවතිනවා. ගවරා මස් ඉරා ආහාරයට ගත් සත්වයෙක්, ගවරුන්ගෙ දිව කටු සහිතයි වැනි ජනප්රවාදයන් තුලින් වැසී ගිය නශ්ඨ වු ප්රාග්ඓතිහාසික සත්ව විශේෂයක් ගැන තමයි මේ සටහන.

ගවර් (Gaur) නැමැති ව්යවහාරික නාමයෙනුත් Bos gaurus නැමැති විද්යාත්මක නාමයෙනුත් හඳුන්වන්නෙ තද කළු පැහැ සමකින් යුත් බොවිනේ කුලයට අයත් සත්වයෙක්. බොවිනේ කුලය යනු ගවයන්, මීගවයන්, යැක් ගවයන් ආදිය අයත් වර්ගීකරණය.

ඉන්දියානු ගවරා

ඉන්දියානු ගවරා

බොවිනේ සාමාජිකයන් අතරින් වඩාත් විශාලම සාමාජිකයන් වන්නෙ ගවරා. එමෙන්ම ගොඩබිම ජීවත්වන සතුන් අතරින් බරින් වැඩිම සත්ව විශේෂයක්. දකුණු ආසියාව තමයි මේ සත්වයන්ගෙ නිජබිම. වර්තමානයේදි ඉන්දියාව සහ අවට කලාපයෙ ගවරුන් ජීවත්ව සිටියත් ලංකාවේ ඔවුන් දක්නට නෑ. 

ගවරාගෙ ප්‍රමාණාත්මක සංසන්දනය

1962 වර්ශයේදි පෝල් ඊ පීරිස් දැරණියගල මහත්මා විසින් අස්ථි කොටස් පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව ලංකාවට ආවේණික ගවරුන් විශේෂයක් ජීවත්ව සිටි බවට ප්රථම වතාවට තහවුරු කරනවා. ලංකාවට ආවේණික වඳව ගිය මෙම ගවරුන් විශේෂය වර්තමානයේදි ඉන්දියාවේ ජීවත්වන ගවර විශේෂයට වඩා ප්රමාණයෙන් කුඩා විශේෂයක්.

ෛඑතිහාසික සටහන් සහ ඇතැම් ග්රාම්ය ව්යවහාර, නාම ආදිය ලංකාවේ ජීවත්ව සිටි ගවරුන් ගැන ඉතිරිව ඇති සාක්ෂි. ගවරම්මන, ගවර එලිය, ගවර විල මෙන්ම ගවරමාන නැමැති පඳුරු විශේෂය (Garnotia exaristata) එවන් ඇතැම් ව්යවහාර නාම.

ගවරුන් ගැන පැරණිතම සටහනක් වන්නෙ 1681 වර්ශයේදි රොබට් නොක්ස් විසින් තම An historical relation of Ceylon ග්රන්ථයෙ තැබු සටහනක්. ඉන්පසුව 1812 දි ජෝන් ඩොයිලි, මේජර් ෆෝබ්ස් විසින් eleven years in ceylon ග්රනථයෙන් 1840 දි, ජේම්ස් එමර්සන් ටෙනට් විසින් Historical and Topographical 1859 දි දිගින් දිගටම සටහන් වෙනවා.

එමෙන්ම එකල කාය ශක්තිය විදහා දැක්වීම පිණිස ගවරුන් හා සටනට පිවීසිම සම්ප්රදායක්ව තිබු බවට සාක්ෂි පවතිනවා. ගවරුන් හා සටන් කර ජයග්රහණය කරන්නන් රජුගෙ ආරක්ෂකයින් ලෙස තෝරාපත් කරගත් ක්රමයක් එකල තිබු බවට තොරතුරු පවතිනවා.

මතක තබා ගතයුතු කාරණය තමයි ගවරා යනු ඉතාමත් විශාල සත්වයෙකු බව. ඉන්දියාවේ වර්තමානයේදි ජීවත්වන ගවර විශේෂය සලකා බැලුවොත් ව්යාඝ්රයන් පවා ඔවුන්ට පහර දීමට පසුබට වෙනවා.

රත්නපුර ප්රදේශයෙන් ගවරුන්ගෙ අස්ථි සහ දන්ත කොටස් ලැබී තිබුණත් P.E.Pදැරණියගල මහත්මා විසින් 1962 වර්ශයේදි ගවර කපාලයක් සොයාගැනිම නිසා ලංකාවේ ගවරුන් වෙනම විශේෂයක් බවට හඳුනා ගැනුනා. ඔවුන්ට ලබා දී ඇති විද්යාත්මක නාමය Bibos sinhaleyus

මෙලෙස ලැබී ඇති සියළු සාක්ෂි මඟින් උපකල්පනය කල හැක්කේ ලංකාවේ ගවරුන් මධ්ය කඳුකරය සිය වාසභූමිය කරගෙන සිටි බවයි. අදික දඩයමට ලක්වීමත්, බ්රිතාන්යන් විසින් මධ්ය කඳුකරයට සිදුකල විනාශත් නිසා මෙි සත්වයන් මිහිමතින් වඳව ගොස් හමාරයි. තව එක් උපකල්පනයක් පවතිනවා ලංකාවෙ ගවරුන් වඳ වීමට හේතුව ගෘහාශ්රිත ගවයන්ගෙන් බෝ වුන රෝගයක් හේතුවෙන් බව. එය පිලිගත හැකි කරුණක්. ඉන්දියාවේ වත්මන් ගවර විශේෂයටත් අවස්ථා කිහිපයකදි එලෙස රෝග සංක්රමණය වීම නිසා ගහණය අවම වුනා.

ඔබ රත්නපුර කෞතුකාගාරයට ගියොත් ජීවමාන ප්රමාණයට සකස්කල ගවර යුවලකගේ ප්රතිනිර්මාණයන් දකින්න පුළුවන්. මා පෙර සඳහන් කල ප්රමාණයේ තරම එවිට ඔබට සිතාගත හැකිවනු ඇත.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE



ලක්දිව ප්ලයස්ටොසීන සත්ව සන්තතිය (Pleistocene Fauna in Srilanka) - 01


රයිනොසෙරොටිඩේ (Rhinocerotidae)


රයිනෝසෙරොටිඩේ කියන ක්ශීරපායි කුලයට අයත් මේ සත්වයන් පරිණාමිකව බැලුවම ඉතාමත් දක්ෂ අනුවර්තකයො. ඕනෑම පරිසර තත්වයකට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාවට හොඳම නිදසුන තමයි දැන් ලෝකෙ පැතිරිලා ඉන්න රයිනෝ විශේෂ. සුදු සහ කළු රයිනෝ විශේෂ අප්රිකා මහද්වීපයෙත්, ඉන්දියාව, සුමාත්රාව සහ බෝර්නියො ආශ්රිත අනෙකුත් විශේෂත් සැලකිල්ලට ගත්තම මේ කුලයෙ පැතිරීම තිබෙන රේන්ජ් එක එහෙම නැත්තන් පරාසය ගැන අදහසක් ගන්න පුළුවන්. මීට අවුරදු ගනනාවකට කලින් මේ සත්වයන්ගෙ තවත් විශේෂ ලෝකය පුරාම තවත් ස්ථානවල හිටියා.

රයිනෝසිරස් සත්වයන් වර්තමානයේදි ශ්රි ලාංකිකයන් වන අපිට ආගන්තුක සතෙක් වුනාට මීට අවුරුදු දහස් ගානකට කලින් මේ කුඩා දුපතෙත් මේ සත්වයන් වාසය කලා. 1936 වර්ශයේදි පලමුවරට මේ පිලිබඳව අනාවරණය කරන්නෙ පී.ඊ.පී දැරණියගල මහත්මයා. රත්නපුර අවටින් ලැබෙන ප්ලයස්ටොසීන යුගයට අයත් ෆොසිල තැනපතු වලින් තමයි මේ සාධක ලැබෙන්නේ. චාර්වක දත් කිහිපයක් මඟින් තමයි මේ විශේෂය දැරණියගල මහත්මයා නම් කරන්නෙ. මේ සත්වයට විද්යාත්මක නම දෙන්නෙ Rhinoceros sinhaleyus (රයිනෝසිරස් සින්හලේයුස්) කියන නම. දැන් රත්නපුර සයිඩ් එකෙන් මේ සත්වයන්ට අයත් සාධක ලැබුනට පසු අවස්ථාවකදි ඔය දකුණු වෙරළ තීරයට ආසන්න කලමැටිය ප්රදේශයෙනුත් මේ සත්ව විශේෂයටම අයත් ෆොසිල ලැබෙනවා. R.sinhaleyus රූපීය වශයෙන් ඉන්දියානු රයිනෝට ටිකක් සමීපයි නමුත් ඊට වඩා කූඩා විශේෂයක් විදිහටයි සැලකෙන්නේ.

Rhinoceros sinhaleyus (රයිනෝසිරස් සින්හලේයුස්)

දැන් එහෙම කතාව තියෙද්දි ෆාස්ට් ෆෝවඩ් කරමු 1958 වර්ෂයට. මේ අවුරුද්දෙදිත් පී.ඊ.පී දැරණියගල මහත්මයා නැවත හොයාගන්නවා චාර්වක දතක්. මේ දන්ත සැකැස්මත් රයිනෝ විශේෂයක්. මේ අර මුලින් කියපු හාදයට වඩා වෙනස්ම විශේෂයක්. මේ අලුත් විශේෂයට විද්යාත්මක නම දෙන්නෙ Rhinoceros kangavena කියලා. මේ විශේෂය සින්හලේයුස්ට වඩා විශාල විශේෂයක්. රත්නපුර අවටින්ම තමයි මේ ෆොසිලත් ලැබෙන්නේ.

Rhinoceros kangavena (රයිනෝසිරස් කඟවේනා)

Rhinoceros sinhaleyus ගේ දත් තාපසංද්වීප්තතා දින නීර්ණයට යොමු කලාට පස්සෙ (කාබන් 14 කරන්න බෑනෙ ⁣ෆොසිල නිසා කබනික පදාර්ථයෙන් තොරයි) ඩේටින් එන්නෙ 80,000Bp . එ් කියන්නෙ මේ සත්වයන් ජීවත් වෙලා තියෙන්නෙ අදින් වසර 80000 කට තරම් ඉහත කාල වකවානුවකදි. මේ කාලෙදි රත්නපුර ප්රදේශය වගුරු බිම් ප්රදේශයක් කියන මතය තමයි පිලිගත් මතය.

මේ කතාවෙ ඉන්ට්රෙස්ටින් කෑල්ලට එන්න කලින් ඔය ප්ලයස්ටොසීන යුගයේ ජීවත් වෙච්ච මහා පරිමාණයේ ක්ශීරපායින්ට වෙච්ච හදියත් කියන්න ඕන. ඒ තමයි ඒකාලෙ වෙද්දි සීඝ්ර ලෙස හෝමෝ සේපියන්ස්ලා අතින් දඩයමට ලක්වීමට සිදුවීම. දැන් ඔය උතුරු ඇමරිකාවෙ යෝධ වූලී මැමත්ලා සහ සමකාලීන මැස්ටඩොන් වගේ අලි විශේෂ , ජයන්ට් ස්ලොත්ස්ලා,ගොම්පෝතීරියම්ස්, ඉලැස්මෝතිරියම්ස්, පැලියෝලාමාස්, වූලී රයිනෝසිරස්, මස්ක් ඔක්ස්ලා එහෙම ඉතාමත් කෙටිකලකින් මිහිමතින් අතුගා දාන්න සේපියන්ස්ලා සමත් වුනාය කියන මතය තමයි සාමාන්යයෙන් පිලිගත් මතය. ලෝකය පුරාම විශාල ක්ශිරපායින්ගෙ ස්වර්ණමය යුගය එහෙම අහවර වෙද්දි ඒ හා සමකාලීනව ලංකාවෙ හිටපු විශාල ක්ශිරපායින්ගෙ දෛවය වෙනස් වුනේ කොහොමද..?

මේක තාමත් නිසි පිලිතුරක් නැති ගැටලුවක්. ආසන්න සිද්ධි වශයෙන් දේශගුණික විපර්යාස සහ වන වැස්මෙ සිදුවුන විපර්යාස ගැන සඳහන් වෙද්දි ලෝක ප්රවණතාවන් එක්ක ගැලපුවම ටිකක් ඉන්ට්රෙස්ටින් සිද්ධියක් මතුවෙනවා, ඒ 2010 වර්ශයේදි ෆාහියන් ලෙන කැණිමෙන් මතුවෙන අවශේෂ එක්ක. (දැන් මේ ෆාහියන් ලෙනේ විශේෂත්වය තමයි අවුරුදු දස දහස්ගානක ඉඳන් මේ ලෙන ආදි මානවයන් අඛණ්ඩව භාවිතා කිරීම) ඒ තමයි සිරාන් දැරණියගල මහත්මයට මේ අවශේෂ අතරින් ලැබෙන Rhinoceros sinhaleyus චාර්වක දත. මේ හමුවීමත් එක්කම පෙර කිව්ව ලෝක ප්රවණතාවන් එක්ක සමපාත කලහැකි මතයක් ගොඩනැගෙනවා. ඒ තමයි ලංකාවේ හිටපු සමකාලීන සේපියන්වරු මේ රයිනෝලව දඩයම් කලාද ? කියන මතය. මේකට නිසි පිලිතුරක් දෙන්නනන් ලංකාවෙන් තව ෆොසිල සාධක ලැබිය යුතු අතරම ලංකාවෙ ෆොසිල විද්යාව තව දියුණු විය යුතුයි.

(දැන් හිතෙන්න පුළුවන් ලෝක ප්රවණතාවන් දුපතට එන්නෙ කොහොමද කියලා.. ඒක ග්ලැසියර් අන්තර් ග්ලැසියර් යුග වලදි මුහුදු මට්ටම් ඉහල පහල යෑම තුල ගොඩබිම් මාර්ග විවෘත වෙනවා මහද්වීපික ගොඩබිම් වලට. එහෙම වෙද්දි මේන් ලෑන්ඩ් එකෙන් සංස්කෘතිය වහනය වෙනවා දූපත් සමූහයන් වලටත්. ඔය වගේ දූපත් වාසී ප්ලයස්ටොසීන සත්වයන් මිනිස් ආක්රමණ නිසා නැති වුන අවස්ථා ගැන තොග පිටින් උදාහරණ දෙන්න පුළුවන්. ව්රැන්ගල් සහ සාන්ත පෝල් දුපත්වල මැමත් සංහතිය, නවසීලන්තයෙ මෝවා සහ හාර්පගනීස් කියන යෝධ පක්ශීන්, මැඩගැස්කර් දූපතේ යෝධ ලීමරයන්, නව කැලිඩෝනියාවෙ යෝධ ඉබ්බන් සහ කිඹුලන්, මධ්යධරණීය දූපත්වල කුරු අලි සහ කුරු හිපෝ, කැනරි දූපතේ ප්ලයස්ටොසීන සත්ව සන්තතිය මේ සඳහා උදාහරණ)

කතාව එහෙම තියෙද්දි දැන් පැහැදිලි ඇති ලංකාවෙ හිටපු රයිනෝලා දෙන්නා ගැන. දැන් මේ  ඉහත තිබෙන ඡායාරූප දෙක, වර්තමානයේදි මේ ෆොසිල ගැන අධ්යනයට ලක්කරන විශේෂඥයෙක් වෙන කැලුම් මනමේන්ද්රාරච්චි මහත්මයා විසින් රීකන්ස්ට්රක්ට් කරපු සින්හලේයුස් සහ කඟවේනාගෙ සිතුවම් දෙකක්. පහතින් තිබෙන්නේ ඔවුන්ට අයත් චාර්වක දත්වල ෆොසිල.

සින්හලේයුස් ෆොසිල දතක්

කඟවෙනා ෆොසිල දතක්

නශ්ඨවීම් ලෝකේ පුරාම සියළු කාලවලදි සිදුවන අඛණ්ඩ ක්රියාවලියක්. මේකට කියනවා ඉරවර්සිබල් ඉෆෙක්ට් (irreversible effect) කියලා. ඒ කියන්නෙ නැවත හැරවිය නොහැකි සිද්ධි දාමයක්. එක් වරක් සත්ව විශේෂයක් මිහිතලයෙන් නශ්ඨ වෙනවා කියන්නෙ සමස්ථ ලෝක ඉතිහාසයෙන්ම ඒ සත්වගෙ පරිච්ඡේදය අවසන් කියන එක...


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE



Friday, August 9, 2019

සුවිශේෂී ෆොසිල (Famous Fossils) - 04

සදාකාලික සටන (Eternal Battle)


1971 වර්ශයේදි ⁣මොංගෝලියානු ගෝබි කාන්තාරයෙන් ලැබෙනවා ඉතාමත් සුවිසේශි ෆොසිලයක්. සතුරන් දෙදෙනෙකු සදාකාලික සටනක. 

පෙර දිනයක සටහනක මම කෙටි විස්තරයක් කරා වෙලෝසිරැප්ටරයන් පිළිබඳව. මේ ෆොසිලයේ එක් චරිතයක් තමයි වෙලෝසිරැප්ටර්. අනෙක් සත්ව විශේෂය තමයි සෙරටොප්සිඩේ කාණ්ඩයට අයත් ප්රොටොසෙරටොප්ස් නැමැති ශාඛභක්ෂක විශේෂය. 

වසර මිලියන 74 කට පමණ එපිටින් ඔබ අද දකින ගෝබි කාන්තාරය වු ප්රදේශය ඩයි⁣නෝසරයන්ගෙ තෝතැන්නක්. ස්වාභාවිකව මාංශභක්ෂක විලෝපිකයෙකු වන වෙලෝසිරැප්ටරයෙකු තමන්ගෙ ප්රියතම ගොදුරක් වන ප්රොටොසෙරටොප්ස් සත්වයෙකුට පහර දෙනවා.

සදාකාලික සටන ප්‍රතිනිර්මාණයක්

මොවුන් දෙ⁣දෙනා ද්වන්ධ සටනක නිමග්න වී සිටින අතරතුර ස්වභාවධර්මය විසින් ඔවුන් දෙදෙනාගෙම ජීවිත අවසන් කරන්නෙ මේ සත්වයන් දෙදෙනාගෙ ද්වන්ධ සටන වසර මිලියන ගනනකට සංරක්ෂණ කරමින්.

සදාකාලික සටනේ ෆොසිලය

රැප්ටර් ප්රහාරය ස්ථානගතව තිබෙන ආකාරයට ප්රොටොසෙරටොප්ස් සත්වයාගෙ ශීර්ෂ පෝශි ධමනියට (Carotid artery) දරුණු ප්රහාරයක් එල්ලව තිබෙනවා. මෙය මාරාන්තික ප්රහාරයක් වන්නට ඇති බව ෆොසිල විද්යාඤයන්ගෙ මතයක්. ප්රොටොසෙරටොප්ස් සත්වයා ප්රතිප්රහාර එල්ල කරමින් රැප්ටර් සත්වයා බිමට පතිත කර රැප්ටරයාගෙ දකුණු අත සිය ශක්තිමත් හකුපාඩා වලින් සපාකෑමට ලක්කර තිබෙනවා. සපාකෑමෙ දරුණු බව නිසා රැප්ටර් අත බිඳි ගොස් තිබෙන බවට සලකුණු පවතිනවා.

සදාකාලික සටන

මොවුන් දෙදෙනාම මිය ගොස් ඇත්තෙ කෙසේද ? මේ ගැන මත කිහිපයක් පවතිනවා. එයින් ප්රධානම මත ද්විත්වය තමයි
  1. ප්රොටොසෙරටොප්ස් සත්වය⁣ගෙ ශිර්ශපෝශි ධමනියට ඇතිවු මාරාන්තික ප්රහාරයෙන් ඇද වැටෙන සත්වයා රැප්ටර්ගෙ සිරුර මත පතිතව දෙදෙනාම මරණයට පත්වු බව.
  2. ද්වන්ධ සටන යන අතරතුර අසල තිබු පස් කන්දකට දෙදෙනාම යටවු බව.

කෙසේ නමුත් මේ ප්රාග්ඓතිහාසික සතුරන් දෙදෙනාගෙ ගැටුම වසර මිලියන ගනනක කාලයේ වැලිතලාවෙන් යටව සංරක්ෂණය වී ඇත. 

ඌලාන් බතොර් හී මොංගෝලියානු ඩයිනෝසර් කෞතුකාගාරය තුල ඔවුන් දෙදෙනාව අද ඔබට දකින්න පුළුවන්. ෆොසිල විද්යාවේ අපූර්වත්වය ත්රීව් කරන මේ සුවිසේශි ෆොසිලය ඉතාමත් අග්රගන්ය සොයා ගැනීමක්. පරිණාමික දිනපොත තුල සතුරන් දෙනෙකුගෙ සදාකාලික සටන සටහන් වන්නෙ එලෙස.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE



Thursday, August 8, 2019

සුවිශේෂී ෆොසිල (Famous Fossils) - 03

බ්‍රැකියෝසෝරස් බ්‍රැන්කායි (Brachiosaurus brancai)


ටැන්සානි⁣යාවේ ටෙන්ඩගුරු සංකීර්ණයෙන් තමයි ලේට් ජුරාසික් අවධියට අයත් හොඳම ෆොසිල ලැබෙන්නෙ. ඒක දෙවනි වෙන්නෙ අමරිකාවේ මොරිසන් සංකීර්ණයට පමණයි. 

19 සියවසේ මුල් අවධියේදි ජර්මානුවන් මේ භූ කලාපය ගවේශනය කිරීම සඳහා ව්යාපෘතියක් දියත් කරනවා. වසර හතරක් පමණ ක්රියාත්මක වන මේ ව්යාපෘතිය තුලින් ඔවුන් සොයාගන්න ෆොසිල ප්රමාණය විශාලයි. මේ තියෙන්නෙ ටෙන්ඩගුරු ප්රදේශයෙන් ලැබුණු දැනට බර්ලින් කෞතුකාගාරයේ තබා ඇති Brachiosaurus brancai විශේෂයට අයත් සෝරෝපොඩ් ඩයිනෝසරයෙක්ට අයත් ඇටසැකිල්ල. මේක තමයි ලෝකේ දැනට තිබෙන සෘජු ලෙස ප්රතිනිර්මිත විශාලතම ඩයිනෝසරයා.



මේ ෆොසිලය පොලවෙන් මතු කරගන්න වසර දෙකක් පමණ ගතව තිබෙනවා. ඒ වගේම මේකෙ හිස ඔරිජිනල් හිස නෙමෙයි කාස්ට් එකක්. ඔරිජිනල් හිස ප්රදර්ශන තත්වයේ නෑ.

බ්රැකියෝසෝරස් ගනයෙ ශාඛ භක්ෂකයන් වැඩි ප්රමාණයක් හම්බෙන්නෙ මොරිසන් ෆොර්මේශන් එකෙන්. නමුත් මේ විශේෂය ටැන්සානි⁣යාවෙ ටෙන්ඩගුරු වලින්. රුක් මුදුන් වල දළු කොල කන්න තමයි දිගු ගෙලක් පිහිටන්නෙ. ආහාර හා තරඟය අඩු කරන්න පරිණාමිකව විශේෂනය වුන අනෙක් ශාඛ භක්ෂක විශේෂයනය වීම් ගැන පසු ලිපියකන් ලියන්නම් (මතක් වුනොත්). 

එ් වගේම අනිත් දේ තමයි මේ බ්රැන්කායි විශේෂය බ්රැකියෝසෝරස් ගනයේ විශාලතමයා නෙවෙයි. මීට වඩා විශාල විශේෂ තව ඉන්නවා. කොපමණ විශාල වුනත් ශාඛ භක්ෂකයන්ට පොදුවේ පරිණාමිකව උරුම ප්රමාණයෙන් කුඩා කපාල ධාරිතාවක් තමයි මොවුන්ට පිහිටන්නෙ.

ඒ වගේම මේ සැකිල්ල ප්රතිනිර්මාණය පිලිබඳව විවිද මතගැටුම් තිබෙනවා. කාලෙකට කලින් බර්ලින් කෞතුකාගාරයේ මේ නිදර්ශකය මීට වඩා වෙනස් විදිහකට තමයි ප්රතිනිර්මාණය කරලා තිබ්බෙ. නමුත් නවතම විද්යාත්මක මත අනුව දැන් තියෙන්නෙ මෙහෙම.



(ඡායාරූප අයිතිය #DOE සතු වේ)



#DOE



සුවිශේෂී ෆොසිල (Famous Fossils) - 02

ඩාවීනියස් මාසිලායි - ඊදා (Darwinius masillae - Ida)


වරක් දණහිසක් පමණ එරෙන හිමෙන් වැසී ගිය ඔස්ලෝ විශ්ව විද්යාල භූමියට මා ගමන් කලේ අධික ශීතල නිසා ජන ශුන්යව ගිය දෙසැම්බරයක. දරාගැනීමට මඳක් අපහසු ශිතලේ වුනත් එහි යෑමට ඉටා ගත්තේ කාලයක් තිස්සේ මුණගැසීමට සිතා සිටි අමුත්තෙකු දැකීමට. 

නිවර්තන කලාපිකයෙක් වු මට ආගන්තුක පරිසරයක් වූවත් අධික ශිත දේශගුණික කලාප වලට මා ප්රියතාවයක් දක්වනවා. කුමක් හෝ හේතුවක් මත මේ කටුක පරිසර තත්වයන් තුල දිවි රැක ගැනීමට හැඩ ගැසුන වන ජීවය තුල ඇති දරා ගැනීමේ හැකියාවත් නොනැසී පැවැත්ම තහවුරු කර ගැනීමේ හැකියාවටත් මා අතිශයින්ම ගරු කරනවා. හිමෙන් බරව ඇති බර්ච් අතු සහ ඊට යටින් විදුලි වේගයෙන් පැනයන හාවුන්, රාත්රියේදි කුඩා කෘන්තකයන් හසුකර ගැනීමට අල්පෙනෙත්තක හඬක් නොනඟා පියඹා යන හිම බස්සන්, හිම ආවරණය යටින් ඇති ලයිකන, පෙඳ පාසී ආහාරයට ගැනීමට හුරුවු පිනි මුවන්, අවානක් බඳු පැතලි අඩි තබමින් වාහන එලියෙන් සැඟවී යන ලින්ක්ස් බිළාලයන් සහ මා කාලය ගත කිරීමට අතිශයින්ම ප්රිය කල අළු වෘකයන් නිතැතින්ම මතක් කර දෙන්නෙ පරිණාමයේ අපූර්වත්වය. නමුත් මේ සියල්ල රැඳි හිම භූමි තුල මා දැකීමට ගිය අමුත්තාත් නිවර්තන කලාපිකයෙකු මිස ශිත කලාපයක අයෙකු නොවෙයි.

1974 වර්ශයේදි ඉතියෝපියාවෙ අවාශ් නිම්නයෙන් ඔස්ට්රලෝපිතෙකස් ඇෆ්රිකානස් විශේෂයට අයත් 'ලූසී' ෆොසිලය භෞතික මානව විද්‍යාඥ ඩොනල්ඩ් ජොන්සන් විසින් සොයාගත්තාට පසුව භෞතික මානව විද්යා ලෝකය තුල විශාලතම කැළඹීම ඇතිකල ෆොසිලය විදිහට හඳුන්වන්න පුළුවන් සිදුවීම වෙන්නෙ 2007 වර්ශයේදි. 1983 වර්ශයේදි ජර්මනියෙ මෙසල් නැමැති ග්රාමය අවටින් හමුවන ෆොසිල අතරින් මතුවන එක්තරා ෆොසිලයක් දශක තුනකට ආසන්න කාලයක් නිහඬව විවිධ ස්ථාන වලට මාරුවෙමින් පැමිණ අවසානයේදි 2007 වර්ශයේදි කරලියට පැමිණෙනවා. 

මෙසල් ප්රදේශය වර්තමානයේදි ශිත දේශගුණික කලාපයක දක්නට ලැබෙන පාරිසරික ලක්ෂණ දැරුවත් මීට වසර මිලියන 47 කට පෙර ඉයෝසීන අවධියේදි උණුසුම් දේශගුණික කලාපයක්. ගංගා, විල්, වනාන්තරවලින් ගහනව තිබු මේ ප්රදේශය එකල ඝර්ම කලාපික වන වැස්මක් සහ දේශගුණික ලක්ෂණ දැරුවක්. මෙසල් ප්රදේශයෙන් ලැබෙන ෆොසිල ඉතාමත් අග්රගන්ය ෆොසිල ලෙස සලකනු ලබනවා. ඒවායේ සංරක්ෂිත තත්වයන් ඉතාමත් හොඳින් පවතින අතර එකල තිබු වනාන්තර පද්ධති තුල විසූ අපූරු සත්ව සන්තතියක් මේ ෆොසිල තුල සුරක්ෂිතව පවතිනවා.

2007 දි කලඑලි බසින 'ඊදා' නම් ෆොසිලය අයත්ව තිබූ සත්වයාත් වසර මිලියන 47 කට පෙර තිබු මෙසල්හී වනාන්තර තුල විසුවෙක්. ඊදා නමින් ෆොසිලය හැඳින්වුවාට මේ සත්ව විශේෂයේ විද්යාත්මක නාමය ඩාවීනියස් මාසිලායි. චාර්ල්ස් ඩාවින් ස්වභාව විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස ඩාවීනියස් ගන නාමයත්, මෙසල් ප්රාද්ශය සිහිවීම පිණිස 'මාසිලායි' විශේෂ නාමයත් මේ සත්වයාට දී තිබෙනවා. මේ සුවිසේශි ෆොසිලය වර්තමානයේදි තිබෙන්නේ ඔස්ලෝ විශ්ව විද්යාලයට අනුබද්ධිත ඔස්ලෝ ස්වභාව විද්යා ඒකකයේ. මා ශීතල දේශගුණයත් සමඟම හමුවන්න ගියේ මේ 'ඊදා' ව. 'ඊදා' යනු ස්කැන්ඩික් රටවල අහන්න ලැබෙන කාන්තා නාමයක්.

ඊදා සුවිසේශි ෆොසිලයක් ලෙස සලකන්නෙ ප්රයිමේටා පරිණාමික වෘක්ෂය තුල ප්රොසිමියානුවන් සහ සිමියානුවන් අතර සංක්රාන්තික පුරුකක් ලෙස සලකනු ලබන නිසා. ප්රොසිමියන් කියන්නෙ ලීමර්, උණහපුළුවන්, බුශ් බේබි, ටාර්සියර් සත්වයන් අයත් ප්රාථමික ප්රයිමේටා කාණ්ඩය. සිමියන්ස් ලෙස හඳුන්වන්නේ වඳුරන්, චිම්පන්සීන්, ගොරිල්ලන්, ඔරන්ග් උටන් සහ අප අයත් උසස් ප්රයිමේටා කාණ්ඩය. පෙර පැවසු පරිදි 'ඊදා' යනු ප්රාථමික ප්රයිමේටාවන් වන ප්රොසිමියානුවන් සහ ඉහල ප්රයිමේටාවන් වන සිමියානුවන් අතර පරිණාමික පුරුකක් ලෙස හඳුන්වනු ලබන විශේෂයක්.

ඊදා ෆොසිලය

ඊදා ප්‍රතිනිර්මාණයක්  

ඊදා ඉතාමත් අලංකාර ෆොසිලයක්. සියළු අංග ඉතාමත් සංරක්ෂිත තත්වයේ පවතින අතරේ ඊදා ජීවත්ව සිටි සමයේ දැරූ ලොම් ආවරණයේ ඡායාව පවා විශිෂ්ට ලෙස සංරක්ෂණයව පවතිනවා. සමස්ථ ෆොසිලයම සාමාන්ය ප්රමාණයේ ගෘහස්ථ පුසෙකුගෙ ප්රමාණය. නමුත් ප්රයිමේටා ලක්ෂණ සහිත ඇඟිලි ඉතාමත් පැහැදිලිව දකින්න පුළුවන් ඊදා ෆොසිලය තුල.

ඊදා ෆොසිලය තුල ප්රයිමේටා ලක්ෂණ සහිත ඇඟිලි

වසර මිලියන 47 කට එපිට උණුසුම් පෘථෘවිය, මධ්යම යුරෝපය දක්වා වැසිවනාන්තර වැස්ම දිගහැර තිබුනු සමයක විසු ඊදා, ප්රයිමේටා පරිණාමික වෘක්ෂය තුල වැදගත් සංධිස්ථානයක්. වර්තමාන සිමියානුවන් දිගහැරුනු ප්රොසිමියන් පූර්වජයන්ගෙ එක් පුරුකක්. එදා ජීවත්ව සිටි පරිසරයට හාත්පස වෙනස් වර්තමාන හොලෝසීන අවධිය තුල ඈ හිමෙන් වැසුනු ප්රදේශයක නවාතැන් ගෙන තිබෙනවා. වර්ගයාගෙන් වර්ගයාට ඉඩක් දිගහැරෙන පරිණාමික දිනපොත තුල ඩාවීනියස් මාසිලායි පරිඡ්ඡේදය සටහන් වන්නෙ එලෙස. 

ජීවයේ අඛණ්ඩතාව ඉතාමත් සිත්ගන්නා සුළු දෙයක්. වසර මිලියන 47 කට එපිටින් විසු ඊදාට ලඟම ඤාති සබඳතා දක්වන්නන් අදටත් ජීවත් වනවා. බුශ් බේබි සත්වයන් අප්රිකාව තුලත්, ටාර්සියර් සත්වයන් ඉන්දුනිසියාව,පිලිපීනය හා මැලේසියාව තුලත්, උණහපුළුවන් අප වැනි දකුණු ආසියාතික රටවලත්, ලීමර විශේෂ මැඩගස්කරය තුලත් ජීවත් වෙනවා. මේ සත්ව චර්යා සියුම් ලෙස නිරීක්ෂණය තුලින් වසර මිලියන ගනනක අතීතයට නැවත යා හැකියි. අවශ්ය වන්නෙ දෑස් විවර කර දැකීම පමණයි.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE



සුවිශේෂී ෆොසිල (Famous Fossils) - 01


ආර්කිඔප්ටරික්ස් (Archaeopteryx)


පරිණාමික දිනපොත පිටුවට මම ලියන සටහන් පර්සනල් බ්ලොග් එකක් විදිහට ලියන කරන නිසා පෞද්ගලිකව මට නිරීක්ෂණය කරන්න ලැබුන සුවිසේශි ෆොසිල ගැන කෙටි ලිපි කිහිපයක් පල කරන්න හිතුනා. මේ එහි පලමුවැන්න.

ෆොසිල විද්යාව අපි චිත්ර කලාවට සමාන කරොත් ෆොසිල විද්යාවේ මෝනාලීසා ලෙස හඳුන්වන්න පුළුවන් අතිශයින්ම අග්රගන්ය සොයා ගැනීමක් තමයි ආර්කිඔප්ටරික්ස් ⁣විශේෂයට අයත් බර්ලින් නිදර්ශකය.

වර්ශ 1961 දි ජර්මානු ජාතික ෆොසිල විද්‍යාඥයෙක් වන ක්රිස්ටියන් එරික් හර්මන් වොන් මයර් සොයාගන්නව ෆොසිලකරණයට ලක්වුන තනි පිහාටුවක්. මේ පිහාටුවට තමයි වොන් මයර් මුලින්ම නම ලබා දෙන්නෙ ආර්කිඔප්ටරික්ස් ලිතොග්රැෆිකා කියලා. දැන් මේ නමෙත් තියෙනවා කතාවක්. ග්රීක් භාෂාවෙන් "ආර්කි" පදයේ අර්ථය පුරාණ, "ඔප්ටරික්ස්" අර්ථය පියාපත, 'ලිතොස්' කියන්නෙ 'පාෂාණ'/ ගල්' වැනි අරුතක්. එතකොට 'ලිතොග්රැෆිකා' කියන්නෙ ගලේ කෙටූ වැනි අර්ථයක්. දැන් මේ ඔක්කොම සම්බන්ධ කරාම "ආර්කිඔප්ටරික්ස් ලිතොග්රැෆිකා" කියන්නෙ "ගලේ සටහන්වූ පුරාණ පියාපත" යන්නට සමාන අරුතක්.

පිහාටුව සොයාගෙන පසුකලකදි ආර්කිඔප්ටරික්ස් සම්පූර්ණ ෆොසිල මතුවෙනවා. දැනට ස්පෙසිමන්ස් දහයක් තිබෙනවා. මේ ස්පෙසිමන්ස් දහය අතුරින් පූර්ණ ලෙස රක්ශිත, පැහැදිලිම ස්පෙසිමන් එක තමයි බර්ලින් කෞතුකාගාරය සතු ස්පෙසිමන් එක.

ආර්කිඔප්ටරික්ස් ⁣විශේෂයට අයත් බර්ලින් නිදර්ශකය

ෆොසිලකරණය කියන සංසිද්ධියේදි මැරුන සත්වයන්ගෙන් මිලියන ගානකින් එකක් වගේ තමයි පූර්ණ ෆොසිල බවට පත්වෙන්නෙ. ඒ අතරිනුත් තවත් වසර මිලියන ගනනකින් පසුව සංරක්ශිතව එ ෆොසිලය ලැබෙනවා කියන්නෙ තවත් අහඹුවක්. ඒ අතරිනුත් මෘදු දේහ දරන කුඩා සත්වයෙකුගෙ දර්ශණීය ලෙස සටහන් වූ ෆොසිලයක් ලැබෙනවා කියන්නෙ හිතන්නත් අමාරු සම්භාවිතාවක් ඇති දෙයක්. අන්න එහෙම එකක් තමයි මේ ආර්කිඔප්ටරික්ස් බර්ලින් නිදර්ශකය.

ෆොසිලයේ කෞතුකාගාර වටිනාකම එහෙම පැත්තකින් තියෙද්දි පරිණාමික වැදගත්කම ගත්තොත් ෆොසිල විද්‍යාඥයන්ට අනුව මේ තමයි ලෝකයට පහල වුන ප්රථම පක්ශියා. පක්ශියෙක් කිව්වට පූර්ණ පක්ශියෙක් නෙවෙයි, තේරොපොඩ් ඩයිනෝසරයන්ගෙන් පක්ශි අවස්ථාව සඳහා පරිණාමික සංක්රාන්ති අවස්ථාවක් දක්වන විශේෂයක්. ඒ කියන්නෙ ඩයිනෝසරයන් සහ පක්ශීන් අතර අවස්ථාවක් (නමුත් ආර්කිඔප්ටරික්ස් කියන්නෙ පරිණාමික අන්තයක් "Evolutionary dead end". ඒ කියන්නෙ ඒ පුරුක් සමුහයේ අවසානයා කියන එක, හරියටම නියැන්ඩර්තාල් මානවයන් වගෙ)

ආර්කිඔප්ටරික්ස් ප්‍රතිනිර්මාණයක් 

ආර්කිඔප්ටරික්ස් කියන්නෙ උරග පක්ශි පරිණාමික ගමන් මගේ සුවිසේශි අවස්ථාවක්. ඒකෙත් බර්ලින් නිදර්ශකය ඉතාමත් දැකුම්කළුයි. නියපොතු, පිහාටු සටහන් වගේම හිස ඉතාමත් පැහැදිලිව පේනවා.

මීට අවුරුදු පහලවකට දාහතකට විතර කලින් අන්තර්ජාලය එහෙම නැති කුඩා කාලෙදි මම හිතන් හිටියේ ආර්කිඔප්ටරික්ස් කියන්නෙත් හොඳ හයේ හතරේ ෆොසිලයක් වෙන්න ඇති කියලා. පසු කාලෙකදි ෆොසිලය නිරීක්ෂණය කරන්න අවස්ථාව ලැබුනට පස්සෙ තමයි දැනගත්තෙ ඒ ෆොසිලය සැබෑම ප්රමාණය කාක්කෙක් තරම් කුඩා සත්වයෙකුට අයිතිය කියලා. මට තිබ්බ වැරදි වැටහීම සමහරුන්ට තියෙන්න පුළුවන් නිසයි ඒකත් මෙතන කිව්වෙ.

ආර්කිඔප්ටරික්ස්

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෝනාලීසා චිත්රයට වඩා දැඩි ආරක්ෂාවක් බර්ලින් කෞතුකාගාරයේ ආර්කිඔප්ටරික්ස්ට දීලා තියෙනවා. යකඩ දොරක් ඇතුලෙ තවත් ඝන වීදුරු කුටීරයක තමයි මේක තියෙන්නෙ. විද්‍යාඥයන් පරික්ශාවට ලක් කරද්දි යකඩ දොර වැහිලා වීදුරුව ඇතුලෙ ෆොසිලය ඉවතට එනවා. ඒ නිසා විද්යාඥයෙකුටවත් හොරකම් කරන්න බැහැ.


(ෆොසිල නිදර්ශකයන්හි ඡායාරූප අයිතිය #DOE සතු වේ)
(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE



වෙලෝසිරැප්ටර් (Velociraptor)


1923 වර්ශයේදි විද්‍යාවට මුලින්ම හඳුන්වාදෙන මේ ඩයිනෝසර විශේෂය සොයාගනු ලබන්නේ මොන්ගෝලියානු ගෝබි කාන්තාරයෙන්. 

දැනට මෙහි හඳුනාගත් විශේෂ ද්විත්වයක් සිටිනවා. 
  1. වෙලෝසිරැප්ටර් මොන්ගෝලියෙන්සිස් 
  2. වෙලෝසිරැප්ටර් ඔස්මොල්ස්කි 

ජුරාසික් පාර්ක් චිත්රපටය හේතුවෙන් ප්රසිද්ධියට පත්වෙන මේ වෙලෝසිරැප්ටරයන් පිලිබඳ ඇතිවී තිබෙන දුර්මත බොහෝමයි. 

පලමුවෙන්ම ඔවුන් ඔබ චිත්රපටය තුල දකින රැප්ටරයන් තරම් විශාල සත්වයන් නෙවෙයි.

ප්‍රමාණාත්මක සංසන්දනය


දෙවනුව ඔවුන් එතරම්ම බුද්ධිමත් සත්ව විශේෂයන් නෙවෙයි.

චිත්‍රපටයේ වෙලෝසිරැප්ටරයන්


තෙවෙනුව සැබෑ රැප්ටරයන් පිහාටු සහිත ජීවි කාණ්ඩයක් බවයි සැලකෙන්නේ. (පිහාටු පැවතියාට ඔවුන් පක්ශින් නොවෙයි).

වෙලෝසිරැප්ටර් මොන්ගෝලියෙන්සිස් ප්‍රතිනිර්මාණයක්

වර්තමානයේදි ස්වාභාව විද්යා කෞතුකාගාර බොහෝමයක රැප්ටර ප්‍රතිනිර්මාණවල මේ පිහාටු සහිත සිරුර ඔවුන් නිර්මාණය කර තිබෙනවා.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




ආර්ජන්ටිනෝසෝරස් (Argentinosaurus)


ටයිටැනොසෝර් (Titanosaur) ගනයට අයත් ⁣ලොව මෙතෙක් ජීවත්ව ඇති ඩයිනෝසර විශේෂ වලින් විශාලතම විශේෂයක්. 

ක්රිටැසියස් මුල් අවධියේදි දකුණු ඇමරිකානු කලාපය අයත්ව තිබු ගොඩබිම් සමූහයේ ජීවත්වු මේ යෝධයන් ශාඛ භක්ෂකයන්. ආර්ජින්ටිනාවෙන් ලැබුනු ෆොසිල නිදර්ශක වලින් 1993 දි හෝසේ ඒෆ් බොනපාර්ට් සහ රොඩොල්ෆෝ කොරියා කියන ෆොසිල විද්‍යාඥයන් දෙපල තමයි මේ විශේෂය හඳුනාගෙන නම් කරන්නෙ.

ආර්ජන්ටිනෝසෝරස් උරස් කශේරුකාවක් (thoracic vertebrae) සාමාන්යයෙන් වැඩුණු මිනිසෙකුට වඩා විශාලයි.




(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


Link to Facebook page --->


හොමිනින් මූලයන් (Hominin Origins)


භෞතික මානව විද්යා විශය තුලදි අධ්යනයට ලක්වෙන්නෙ ප්රයිමේටා අක්මුල් තුලින් පැන නැගුනු හොමිනිඩ්වරුන්ගෙ පරිණාමික වංශකතාව. 

මේ විශයෙදි හොමිනින්වරු (Hominin), තවත් සරලව කිව්වොත් වානරරූපී ආකාරයට වඩා මානවරූපී ආකාරයට වඩාත් සමීපතමයන් ගැන අධ්යනය කරද්දි මුලින්ම මූණගැසෙන නමක් වෙන්නෙ සහෙලැන්ත්රෝපස් ට්චාඩෙන්සිස් විශේෂය. (සහෙලැන්ත්රෝපස් වානරයෙක්ද මානවයෙක්ද යන්නට තවමත් විද්යාත්මක තර්ක විතරක් පවතී). 

සහෙලැන්ත්රෝපස් විශේෂය සිට වර්තමාන හෝමෝ සේපියානුවන් වන තෙක් පරිණාමික වංශකතාව ඉදිරියෙදි කොටස් වශයෙන් මෙහි පලකිරීමට මා බලාපොරොත්තුව වෙනවා. ඒ කතාවෙදි අපිට මුණගැසෙන ප්රධානතම මානවරූපී ආකාර බොහෝමයක් මේ ඡායාරූපයයෙන් බලාගන්න පුළුවන්. මේ ඡායාරූපයෙ තිබෙන ප්රතිනිර්මාණයන් ආචාර්ය ඇලිස් රොබර්ට් විසින් රචිත 'Evolution the Human Story' ග්රන්ථය සඳහා ඇඩ්රි සහ කෙනිස් ⁣දෙසොහොයුරන් විසින් විද්යාත්මක සාධක පදනම් ⁣කොට සිදුකල ප්රතිනිර්මාණ.




(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




මොසේසොර් (Mosasaur)


ජුරාසික් සහ ක්රිටැසියස් අවධි වල උරගයන් පරිණාමික උච්චස්ථානයකට පැමිණි බව හැමෝම වගේ දන්න කාරණයක්. ඩයිනෝසරයන් ලෙස විකරණය වෙමින් ඔවුන් පෘථෘවිය පුරාම ප්රමුඛ සත්ව වර්ගයට පත්වුනා. ඒ කාලේදිම ඔවුන්ගෙ වර්ගයා ඉහල ආකාසයත් තමන්ගෙ අණසකට නතු කරගත්තා. මීට කලින් ලිපියක ඉහල ආකාසය ජයගත් ටෙරොනෝඩෝන් සත්ව කොට්ඨාසය ගැන මම විස්තර කරා. මේ සියල්ලම ගොඩබිම තුල වෙද්දි සාගර කලාපයන් තුල තවත් සත්ව කාණ්ඩයක් ප්රමුඛයන් වීමේ ගමන අරඹලයි තිබුනේ. මේ සටහන ඔවුන් ගැන.

1764 වර්ශයේදි නෙදර්ලන්තයේ මස්ත්රිහ්ට් (Maastricht) ප්රදේශයේ මියුස් නදිය අසබඩ හුණුගල් පතලකින් ප්රථම වතාවට ලෝකයට නිරාවරණය වෙනවා දැවැන්ත සත්වයෙකුගෙ ෆොසිල. මියුස් නදියට ලතින් භාෂාවෙන් භාවිතාවන වදනය 'මොසා'. 'සෝරස්' කියන්නෙ ග්රීක භාෂාවෙන් 'උරගයා'. මොසා නදිය අසබඩ උරගයා ලෙස භෞතීස්මය ලබනවා "මොසෙසෝර්".

මුල්කාලීන ක්රිටැසියස් අවධියෙදි ජීවත් වුන අර්ධ ජලජ වාසී උරගයෙක් වෙන ඒයිජියලෝසෝරිඩේ කියන උරග කාණ්ඩය පසුකාලීනව පරිණාමය වෙනවා සම්පූර්ණ ජලචර ජීවින් බවට. මේ නව ජීවින් තමයි මොසේසෝරයන්. දැන් ටෙක්නිකලි මේ සතුන් උරගයන්, හැබැයි පූර්ණ ජලජ ජීවිතයකට කොතරම් අනුවර්තනය වෙනවද කිව්වොත් සාමාන්යයෙන් උරගයන් සතු බිත්තර දැමීමේ හැකියාව පවා මොසේසෝරයන්ගෙ වෙනස්වීමකට ලක්වෙනවා. ඔවුන් වැඩුණු පැටවුන් බිහිකිරීමක් දක්වා අනුවර්තනයන් දක්වනවා.

ඒයිජියලෝසෝරිඩේ

මොසෙසොර්යෙකුගෙ ප්‍රතිනිර්මාණයක් 

දැන් අමතක නොකල යුතයි මේ 'මොසේසෝර්'/ 'මොසේසෝරස්' වගේ නම් වලින් හැඳින්වුවට මොවුන් සමස්ථ සත්ව කාණ්ඩයක්. මේ කාණ්ඩය යටතෙ උපරි වර්ගම 40 ක් පමණ මේ වන විට හඳුනගෙන නම් කරලා තියෙන්නෙ. විශේෂ ප්රමාණය ඊට සෑහෙන වැඩී. මොවුන් අඩි 3 ක් පමණ වන Dallasaurus turneri විශේෂයෙ සිට දැවැන්ත අඩි 60 ක් පමණ වන Mosasaurus hoffmannii විශේෂය දක්වා විවිධත්වයක් තිබුණ සත්ව කොට්ඨාසයක්.

මොසෙසොර් සම්පූර්ණ ෆොසිලයක්

බැඳි පටල සහිත අත් පා, ශරීරය අනාකූල හැඩයක් දැරීම, වල්ගය ප්රදේශය හබලක් ආකාරයෙන් පරිණාමය වීම ආදී ජලචර ජීවිතයකට ඔබින අනුවර්තන රාශියක් මොවුන්ගෙ පිහිටනවා. මොවුන්ට ඉතා වේගයෙන් හඹා ගොස් පහර දීමේ හැකියාව පැවති බවයි වර්තමානයේදි පවතින විද්යාත්මක මතය.

දැන් මේ මොසෙසොර්ලගෙ ප්රධානම ආහාරය තමයි ඇමොනිටාවන් (ඇමොනිටාවන් ක්රිටැසියස් යුගයෙන් බහුලව ලැබෙන ෆොසිලගත සත්වයෙක්). මීට අමතරව විශාල මෝරුන් වගේම තමන්ගෙ විශේෂයෙම සාමාජිකයන්ව පවා ආහාරයට ගෙන තිබෙනවා. වර්තමානයේදි ලැබෙන ෆොසිල සටහන් වල ඇතැම් මොසෙසෝරයන්ගෙ කපාලය හා අස්ථි ⁣ෆොසිල මත තිබෙන දත් පහරවල් හඳුනගන්න පුළුවන් වෙනත් මොසේසෝරයෙකුගෙ බවට.

මොසේසෝරයෙක් ඇමොනිටාවෙක් ආහාරයට ගන්න ආකාරය

මේ ප්රාග්ඓතිහාසික සත්වයගෙ ෆොසිල ලෝකයේ බොහෝ ප්රදේශවලින් හමුවෙනවා. ඒකට හේතුව ගොඩබිම ජීවත්වුන සතුන් එක් එක් ස්ථාන වලට සීමා වෙද්දි මොසේසෝරයන් සාගරය පුරාම සීමාවීමකින් තොරව පිහිනා යෑමට හැකි වු නිසා. ක්රිටැසියස් යුගයෙ අවසාන වසර මිලියන විස්සක පමණ කාල පරිච්ඡේදය ගත්තම සාගරය තමන්ගෙ සම්පූර්ණ අණසකට නතු කරගන්න මොසේසෝරයන්ට හැකිවුනා. ඒ වෙද්දි සාගර ආහාර ජාල වල ඉහල පුරුක්වග ස්ථානගත වෙලා හිටපු ඉක්තියෝසෝර්, ප්ලෙසියොසෝර් වැනි ජලජ උරගයන් කෙමෙන් නශ්ඨව යද්දි සාගරයේ බිහිසුණුම විලෝපිකයා බවට පත්වුනේ මොවුන්.

ජුරාසික් වර්ල්ඩ් චිත්රපටයෙ ඉන්න ජලජ ඩයිනෝසරයත් මේ මොසේසෝරයෙක්. ඒකෙදි සැබෑ සත්වයාව මඳක් විකෘති කරලා තිබ්බට නියම ස්වරූපයට සෑහෙන සමානයි. හැබැයි චිත්රපටයෙ වගේ අහසට පැනීමේ හැකියාවනන් ඔවුන්ට තිබීමට හැකියාවක් නෑ. ඒ පෘශ්ඨීය සහ උදරීය වරල්වල තිබෙන යම් යම් වෙනස්කම් සහ බර වැනි හේතුන් නිසා. කෙසේ නමුත් ක්රිටැසියස් යුගයෙ ජීවත්වුන බිහිසුණු විලෝපිකයෙක් බවනම් සත්යක්. 

මහා ක්රිටැසියස් නශ්ඨවීමත් සමඟම පෘථෘවියෙ මොසෙසොර් පරිච්ඡේදය නිමා වෙනවා (ක්රිටැසියස් නශ්ඨවීමෙ සාගර විපර්යාස ගැන පෙර ලිපි පෙලේ සඳහන් කරා). යුරෝපා සහ ඇමරිකානු කෞතුකාගාර සෑම එකකම පාහේ මේ සත්වයන්ට අයත් ඉතාමත් පැහැදිලි ෆොසිල නරඹන්න පුළුවන්.

මස්ත්රිහ්ට් ප්රදේශයෙන්ම මා ලබාගත් මොසේසෝර් දතක්

(පළමු ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ 4 අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
(මොසේසෝර් දතෙහි ෆොසිල නිදර්ශකයේ  ඡායාරූප අයිතිය #DOE සතු වේ)



#DOE




Wednesday, August 7, 2019

ක්‍රෝනෝපියො ඩෙන්ටියාකියුටස් (Cronopio dentiacutus)


අයිස් ඒජ් චිත්රපටය තුල අමතක නොවන චරිතයක් තමයි ස්ක්රැට්. චිත්රපටයට අනුවනම් මහද්වීප ප්ලාවිතය, ග්ලැසියර් දියවීම ආදී කාරණා වලට බලපාන්නෙ ස්ක්රැට්ගෙ ක්රියාකාරකම්.

ස්ක්රැට්

ස්ක්රැට්ව නිර්මාණය වු පසුබිම සලකා බලද්දි අයිස් ඒජ් පලමු චිත්රපටය බිහිවන විට ස්ක්රැට් සිත්තරුන්ගෙ හුදෙක් මනඃකල්පිත නිර්මාණයක් ලෙස තමයි එලිදකින්නෙ. චිත්රපටයට අනුව ස්ක්රැට් "සේබර් ටූත් ලේනෙක්". ඉතාමත් දිගුව වැඩෙන උඩුහනුවෙ රදනක දත් යුවල තමයි කැපී පෙනෙන ලක්ෂණය. මේ සේබර්ටුත් ලක්ෂණය ප්ලයස්ටොසීන යුගයේ ජීවත් වු සත්ව විශේෂ බොහෝමයකට පවතිනවා. උදාහරණයකට අයිස් ඒජ් චිත්රපටය තුල සිටින ඩියේගෝ සේබර්ටුත් කොටියෙක්. ඩියේගෝ නිර්මාණය වෙන්නෙ සත්ය සත්වයෙකු පදනම් කරගෙන නමුත් ඒ වනවිට ස්ක්රැට් මනඃකල්පිතයි.

2005 වර්ශයේදි ආර්ජින්ටිනාවෙන් ෆොසිල විද්‍යාඥයන්ට කුඩා ක්ශිරපායියෙකුට අයත් කපාලයක ෆොසිලයක් ලැබෙනවා. මේ නව සත්ව විශේෂයට විද්යාත්මක නම දෙන්නෙ ක්රෝනෝපියො ඩෙන්ටියාකියුටස් (Cronopio dentiacutus) ලෙස. මේ කුඩා සත්වයාගෙ තියෙන විශේෂත්වය තමයි ඩයිනෝසරයන් ජීවත්වු ක්රිටැසියස් යුගයේ ජීවත් වු ක්ශිරපායි සත්වයෙකු වීම. සාමාන්යයෙන් එතරම් පැරණි කුඩා ක්ශිරපායින්ගෙ ෆොසිල සාධක අති දුර්ලභයි. ක්ශිරපායින් ට්රියැසික් යුගයෙදි මුලින්ම කරලියට පැමිණියත් ක්රිටැසියස් මහා නශ්ඨවීම සිදුවනතෙක්ම ඉතාමත් කුලෑටි ජීවිත තමයි ගත කරෙ. ලේනුන්, මීයන් තරම් කුඩා ක්ශිරපායි කුල සහ විශේෂ බොහෝ ගනනක් ක්රිටැසියස් යුගයෙදි හමුවෙනවා.

ඩෙන්ටියාකියුටස් විශේෂයේ සම්පූර්ණ කපාලයක් ලැබීම නිසා පරිණාමයේ හිඩැස් පවතින ක්රිටැසියස් ක්ශිරපායි කතාන්දරයෙ හිස්තැන් පිරවීමට ෆොසිල විද්‍යාඥයන්ට අවස්ථාව ලැබුනා. මනඃකල්පිත ස්ක්රැට් නැමැති චිත්රපට චරිතයට සර්වසම සේබර් ටූත්, එහෙම නැත්තන් දිගු රදනක යුවලක් සහිත ලේනෙක් වැනි සත්වයෙක් වසර මිලියන 60 කට පමණ එපිටින් මිහිතලය මත වාසය කල බව දැන් අපි දන්නවා.


ඩෙන්ටියාකියුටස් ප්‍රතිනිර්මාණය 


ඩෙන්ටියාකියුටස් කපාලයෙ ෆොසිලය


ප.ලි - ක්රිටැසියස් නශ්ඨවීමෙන් පසු ඩයිනෝසරයන් අභිබවා ක්ශිරපායින් පරිණාමය වු හැටි ක්රිටැසියස් නශ්ඨවීම පිළිබඳව යන ලිපි පෙලෙන් බලන්න පුළුවන්.



#DOE




ක්වෙට්සල්කෝට්ලස් නෝත්‍රෝපි (Quetzalcoatlus northropi)


එතෙක් මෙතෙක් ගුවනට නැගි විශාලතම සත්වයා 'ක්වෙට්සල්කෝට්ලස් නෝත්රෝපි' සංසන්දනාත්මක ප්රමාණය.



මේ සත්වයා ටෙරොනෝඩන් විශේෂක්. ඒ කියන්නෙ උර⁣ග කාණ්ඩයට අයත් සත්වයෙක්.

ටෙරොනෝඩෝන් සත්වයන් ගැන පෙර ලිපියක වැඩි විස්තර සඳහන් වෙනවා.



#DOE




ටෙරෝසෝරයන් (Pterosaurs)


සත්ව පරිණාමික වංශකථාවෙ ඉහල ආකාසයට අවස්ථා හතරකදි ජීවය ඉහලට එසවෙනවා. ප්රාථමීක ඩෙවෝනියන් අවධියේදි කෘමීන් තමයි පලමු පියාපත් ඇති බල පියැසැරියකට හිමිකම් කියන්නේ. ඊට සෑහෙන කලකට පසුව මීසෝසොයික අවධියේදි ටෙරෝසෝරයන් අහසට නගිනවා. ඉන්පසුව ජුරාසික යුගය අවසානයත් සමඟම ප්රථම පක්ශීන් බල පියාසැරියට එළඹෙනවා... අවසාන වශයෙන් මේ බල පියාසැරියට එළඹෙන්නෙ ඉහල ඉයෝසීන යුගයෙදි ක්ශීරපායින්ගෙ කයිරොප්ටෙරාවන්. කයිරොප්ටෙරාවන් කියන්නෙ වවුල් විශේෂ අයත් ⁣ක්ශීරපායී ගෝත්රය...

දැන් මේ විවිධ කාණ්ඩ පියාසැරිය සිය පරිණාමය තුලදි අත්පත් කරගත් විදි හරි අපූරු කතාන්දර. විශේෂයෙන්ම පක්ෂි පරිණාමය අංග සම්පූර්ණ ලෙස විස්තර කර ඇති පරිණාමික ක්රියාවලියක්.

මේකෙ මේ ඔය කතා ලිව්වට ලියන්න අදහස් කලේ ටෙරෝසෝරයන් ගැන. මීසෝසොයික අවධියේදි මිහිමත පහලවෙලා ක්රිටසියස් මහා වඳවීමත් සමඟම ටෙරෝසෝරයන් මිහිමතින් තුරන් වෙනවා. ටෙරෝසෝරස් කියන නමේ ග්රීක අර්ථය 'පියාඹන උරගයා'. උරගයා කිව්වට විද්යාත්මක වර්ගීකරණය අනුව ටෙරෝසෝරයන් උරගයන් නෙවෙයි, ඔවුන් වෙනම කණ්ඩායමක්.

දැන් සමහර තැන්වලදි මේ ටෙරෝසෝරයන්ට 'ටෙරෝඩැක්ටිල්' කියලත් භාවිතා වෙනවා. ඒ භාවිතාව ටෙක්නිකලි දෝශ සහිතයි. ඒක වෙන්නෙ මෙහෙම. ටෙරෝසෝරයන් කියන්නෙ සමස්ථ ගෝත්රයට. ටෙරෝඩැක්ටිලයන් කියන්නෙ ටෙරෝසෝරස් ගෝත්රයේ එක් ගනයක්. ආතර් කොනන් ඩොයිල්ගෙ ලොස්ට් වර්ල්ඩ් පොතේ නිල් මැටි සහිත බිමක දියමන්ති සොයන්න කූඩයකින් ආවරණය වෙලා යන රොක්ස්ටන් සාමි ගැන මතක අයට ටෙරෝඩැක්ටිල්ලා අමතක වෙන්න විදිහක් නෑ.. හරි දැන් පැටලැවිල්ලා ලිහුනා කියලා හිතෙනවා.

දැන් මේ ටෙරෝසෝරයන් විවිධ ප්රමාණ, විශේෂ, බරින් යුක්ත හාදයො. අල්ලක් තරම් පොඩි 'ටෙරෝඩැක්ටිලස් කොචී' විශේෂයේ සිට මීටර් දහයක පමණ වින්ග්ස්පෑන් එකක් තිබ්බ එතෙක් මෙතෙක් පියාසැරිය ලැබු විශාලතම සත්වයා විරුදාවලිය ලත් ක්වේට්සල්කෝට්ලස් විශේෂය වෙනකන් අධි විවිධත්වයක් තිබු සත්ව කාණ්ඩයක්.

මොවුන්ගෙ පියාපත් සමෙන් සැදුම්ලත් බැඳි පටලයක් ආකාරයෙන් පිහිටන්නෙ. (වවුලන්ගෙ වගේ) මුල් මීසෝසොයික නිදර්ශක වල සිට පසුව ක්රිටසියස් නිදර්ශක දක්වා අධ්යනය කරද්දි බලන්න පුළුවන් මුල් කාලීනව දත් පිහිටි මුඛයන් සහ දිගු වල්ගා පිහිටියත් ක්රිටසියස් අවධිය වෙනකොට දත් අවම වෙලා වල්ගා ක්ශීනව යනවා. ඒ පියාසැරිය සඳහා වඩාත් හොඳින් අනුවර්තනය වීමට.

දැන් මේ පහත පිලිවෙලින් තියෙන්නෙ; 
  • රැම්ෆොරින්කස් මුඑන්සටරී
  • රැම්ෆොරින්කස් ලොන්ගිකූඩස්ටෙ
  • රොඩැක්ටිලස් කොචී
කියන විශේෂ තුනේ බර්ලින් කෞතුකාගාරයේ මට මුණගැහුන ෆොසිල නිදර්ශක තුනක් සහ ආර්ටිස්ටික් රීකන්ස්ට්රක්ශන් සහ ක්වෙට්සකෝට්ලස් කියන විශේෂයේ සංසන්දනාත්මක ප්රමාණය. මේකෙන් යම් අදහසක් ගන්න පුළුවන් වෙයි, මීසෝසොයික මහා අවධියට අයත් ට්රියාසික් අවසාන වකවානුවෙ සිට ක්රිටසියස් යුගය දක්වා අහස කොතරම් කාර්යබහුල, ජනාකීර්ණ තැනක් වන්නට ඇද්ද යන්න..

රැම්ෆොරින්කස් මුඑන්සටරී ෆොසිල නිදර්ශකය
රැම්ෆොරින්කස් මුඑන්සටරී ප්‍රතිනිර්මාණය

රැම්ෆොරින්කස් ලොන්ගිකූඩස්ටෙ ෆොසිල නිදර්ශකය
රැම්ෆොරින්කස් ලොන්ගිකූඩස්ටෙ ප්‍රතිනිර්මාණය

රොඩැක්ටිලස් කොචී ෆොසිල නිදර්ශකය
රොඩැක්ටිලස් කොචී ප්‍රතිනිර්මාණය


ක්වෙට්සකෝට්ලස් විශේෂයේ ප්‍රමාණාත්මක සංසන්දනය

අවසාන වශයෙන් මතක තබාගන්න ටෙරෝසෝරයන්ට ඩයිනෝසර යන නම භාවිතා කිරීම වැරදි බව. බොහෝ දෙනා ටෙරෝසෝරයන් යනු පියාඹන ඩයිනෝසරයන් ලෙස හැඳින්වුවාට ඔවුන් ඩයිනෝසරයන් නෙවෙයි. ඩයිනෝසරයන්ට ඩයිනෝසරයන් ලෙස භාවිතා කරනවා වගේ ටෙරෝසෝරයන් සඳහා භාවිතා කරන නිවැරදි නම 'ටෙරෝසොර්'.  ටෙරෝසෝරයන් ඩයිනෝසරයන් සමඟ සමකාලීනව විසු තවත් සත්ව කාණ්ඩයක් බව දැන සිටීම මේ විෂයෙදි වැදගත්. 

ඉදිරියේදි ටෙරෝසෝරයන්ගෙ විවිධත්වය ගැන ලිපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ටැපැයෙරා, රැම්ෆොරින්කස්, ක්වෙට්සල්කෝට්ලස් , ඇන්හැන්ග්වෙරා, ඇලමොඩැක්ටීලස්, කැයුආරා ආදී සිය ගනනක් අපුරු නම් සහති ටෙරෙසෝ්ර ගනයන් පිලිබඳව අධ්‍යනය අපුරු විශයක්. මීසෝසොයිකය මුල් කාලයේ දත් සහ වල්ගයක් පිහිටි විශේෂ ජුරාසිකය අවසාන වන විට දත් නොමැති හනු බවට පරිවර්තනය වීම, වල්ගය නශ්ඨවීම ආදී පරිණාමික කරුණු සිත්ගන්නා සුළුයි. ඉදිරියේදි ටෙරෝසෝරයන් ගැන තවදුරටත් කතා කරමු.


(ෆොසිල නිදර්ශකයන්හි ඡායාරූප අයිතිය #DOE සතු වේ)
(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE