Tuesday, August 20, 2019

ලිව්යටන් මෙල්විලි (Livyatan melvillei)


හීබෲ බයිබලයේ ඉසයියාහ් සහ ආමෝස් නැමැති චරිත ගැන කියැවෙන කොටස් සමඟ සාගරයේ ජීවත් වන සුවිශාල මෙන්ම භයානක සත්වයෙකු ගැන සඳහනක් තිබෙනවා. 

හීබෲ බයිබලයේ මේ සුවිශාල සතුන් ගැන තිබෙන කියැවීම හුදෙකලා කියැවීමක් නෙවෙයි. ලෝකයෙ දැනුම සහ සංස්කෘතිය ගලනයට භාෂාව වාහකයෙකු ලෙස ක්රියා කිරීමට පටන්ගත් දා සිට සෑම සංස්කෘතියකම සමාන කතාන්දර වල මූල බීජයන් දැක ගන්න පුළුවන්. මේ සාගරවාසී මෘගයන්ව විවිධාකාරයෙන් විවිධ සංස්කෘතින් තුල සාමාන්ය ජනතාවට ඉදිරිපත් කර ඇති ආකාරය අපුරුයි. කානයිට් වෘතාන්තවල එන ලෝටන් නැමැති මෘගයා, මෙසොපොතේමීයානු වෘතාන්ත වල ටියැමට්, හින්දු ප්රභවයක් සහිත ව්රත්ර, නෝර්ස් සම්භවයක් සහිත ජොර්මුන්ගැන්ඩර් ඉන් කිහිපයක් පමණයි. මේ සැමට වගේම බුදු දහම තුල අට්ඨක නිපාතයේ පහාරද සූත්රයේ කියැවෙනවා යොදුන් ගනනක තිමිර තිමිංගලයන් ගැන. (ප්රාග් ඉතිහාසයට කිසිඳු සම්බන්ධයක් නොමැති වුනත් විෂයක් තිබෙනවා comparative mythology කියලා, ලෝකයේ විවිධ සංස්කෘතීන් තුල වෘතාන්ත වල සමානත්වතාවයන් විශ්ලේෂණය කරන)

දැන් මේ බණත් එක්ක හීබෲ බයිබලයක් ඇදලා ගත්තෙ ඇයි මම ? හීබෲ බයිබලයේ මේ මුලින් කිව්වා වගේම ඉසයියාහ් සහ ආමෝස් ගැන කියවෙද්දි එන විශාල මෘගයට දෙන නම තමයි 'ලෙවායතන්'.

'ලෙවායතන්' පැත්තකින් තියලා ලෝක සාහිත්ය තුල 18 වෙනි සියවසේ මැද භාගයට ගියාම අපිට හමුවෙනවා පොතක් "මොබි ඩික්" කියලා. මොබි ඩික් පොතේ කියවෙන්නේ තෙල් සඳහා තල්මසුන් හඹා යන රුවල් යාත්රාවක සහ සුදු පැහැති තෙල් මන්ද තල්මසෙකු ගැන කතාවක්. මොබි ඩික් පොත ලියන්නෙ හර්මන් මෙල්විල් කියන රචකයා.

දැන් මේ දිගට ප්රවේශයක් ගත්තෙ ප්රාග්ඓතිහාසික සත්වයෙක් ගැන ලියන්න. 2008 වර්ශයෙදි පේරූ රාජ්යයේ පිස්කො සංකීර්ණයයෙන් සොයා ගන්නවා ප්රාග්ඓතිහාසික සත්වයෙකුගෙ කපාලයක ෆොසිලයක්. මේ විශේෂයට නම දේන්නෙ "ලිව්යටන් මෙල්විලි" කියලා. ලිව්යටන් යනු හීබෲ බයිබලයෙන් ගත්ත ලෙවායතන්, මෙල්විලි කියන්නෙ 'හර්මන් මෙල්විල්' නැමැති මොබි ඩික්හී රචකයාගෙ නමෙන් ගත්ත කොටස. ලිව්යටන් මෙල්විලි කියන්නෙ ප්රාග්ඓතිහාසික තල්මස් විශේෂයක්. මීට වසර මිලියන 9.9 - 8.9 අතර මයෝසීන යුගයෙදි ජීවත් වුන මේ විශේෂය තෙල් මන්ද තල්මසුන් විශේෂක්. මොවුන් 44- 57 අතර ප්රමාණයට වැඩෙන අතරේ මොවුන්ගෙ තිබෙන විශේෂත්වය තමයි සුපිරි විලෝපිකයන් කොටසක් වීම.

සුපිරි විලෝපිකයන් කියන්නෙ ආහාර දාම වල උඩම පුරුක් වල ආධිපත්ය රඳවගෙන ඉන්න සත්වයන්. මෙල්විලිගෙ තිබෙන අනෙක් විශේෂත්වය තමයි ලොව එතෙක් මෙතෙක් බිහිවු විශාලතම හනු තෙරපුම සහිත සත්වයාට හිමි ස්ථානයට සිටින එක් තරඟකරුවෙක් වීම (අනෙක් සත්වාත් ප්රාග්ඓතිහාසික මෝර විශේෂයක් වන කාචරඩොන් මෙගලඩොන්, මෙගලොඩොන් ගැන පසුව ලිපියක් එක් කරන්නම්). 

මෙල්විලි විශාල මොරුන් වගේම තල්මසුන්ව තමන්ගෙ ආහාරයට එකතු කරගෙන තිබෙනවා. මෙල්විලි දතක් 36 cm පමණ දිගුයි. ඒ කියන්නෙ අඩි කෝදුවටත් වඩා තවත් සෙන්ටිමීටර හයක දිගුවක්. මයෝසීන යුගයේ සාගර තුල අණසක පැතිර වුයේ මෙල්විලිද නැතිනම් මෙගලොඩොන්ද යන විවාදය වර්තමානයේදි ෆොසිල විද්යාව තුල පවතින තවත් එක් උණුසුම් විවාදයක්. මේ විශේෂ දෙකම මයොසීන යුගයෙදි ජීවත්ව තිබෙනවා. පරිකල්පන හැකියාව තවත් එක් පියවරක් ඉදිරියට ගෙනගොස් මෙල්විලී සහ මෙගලොඩොන් සාගරය තුල මුණ ගැසීම් සිදුවුනාද ? සිදු වුනානනම් ජයග්රහාකයා කවුද ? මේවාට නිශ්චිත පිලිතුරු ලැබීමට තිබෙන හැකියාව අවමයි.


මිනී තල්මසුන් (killer whale/orca) සමඟ මෙල්විලි ප්‍රමාණාත්මක සංසන්දනය


ඩොල්ෆිනයන් සමඟ මෙල්විලි ප්‍රමාණාත්මක සංසන්දනය

වසර මිලියන 8.9 පෙරදී මෙල්විලි ෆොසිල වාර්තා වලින් ඉවත් වෙනවා. ඔස්ට්රේලියානු ප්රදේශයෙන් වසර මිලියන 5 පැරණි මෙල්විලිට සමීප ඤාතියෙකුගෙ ෆොසිල ලැබුනත් වසර මිලියන 8.9 පෙර කාලය සටහන් වෙද්දි මෙල්විලී පරිණාමික දිනපොත තුල තම පරිච්ඡේදය ලියා අවසන්. වසර මිලියන 8.9 පෙර මයෝසීනයේදි පෘථෘවිය නැවත ශීත දෙශගුණික තත්වකට වෙනස් වෙනවා. උණුසුම් පෘථෘවිය තුල ප්රභාසංස්ලේෂණය ඉහල යෑම නිසා සාගර ජීවයෙන් පිරී පැවතුනත් ශීත දේශගුණයෙදි ප්රභාසංස්ලේෂණ සීග්රතාව පහතයි. මේ නිසා ආහාර දාමයන් හරහා අවසානයෙදි බලපෑම සිදුවන්නෙ සුපිරි විලෝපිකයන්ට. සරලව පැවසුවොත් මෙල්විලි වඳ වීමට හේතුව ආහාර රටාවන් වල සිදුවු වෙනස.

මානවයන් සමඟ මෙල්විලි ප්‍රමාණාත්මක සංසන්දනය

මෙල්විලි ෆොසිල වාර්තා වලින් ඉවත් වුනාට මෙගලොඩොන් තවත් වසර මිලියන හයක් පමණ ඉදිරියට පැමිණෙනවා. ඒ කතාව පසුවට. විවිධ සංස්කෘතීන් තුල මිථ්යාවන් තුලින් බිහිවු වෘතාන්ත තුල අරක්ගත් ලෙවායතන් නැමැති මෘගයන්ට 'ලිව්යටන් මෙල්විලි' නම දුන් සත්ව විශේෂය සර්ව සාධාරණයක් සිදු කරන බවයි රචකයාගෙ අදහස.

මෙල්විලි ෆොසිලය ප්‍රතිනිර්මාණයක් 

(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment