Showing posts with label සිටසියා / Cetacea. Show all posts
Showing posts with label සිටසියා / Cetacea. Show all posts

Sunday, October 20, 2019

තල්මසුන්ගේ නින්ද (How whales sleep)


මේ පහත ඡායාරූපයේ තිබෙන්නෙ නිදා සිටින තෙල්මන්ද තල්මසුන් කණ්ඩායමක්. ඉතාමත් මෑතක් වෙනකන් විද්‍යාඥයන් නිරීක්ෂණය කල තල්මස් විශේෂ දැක්වු හැසිරීම් රටාව තමයි අඩක් නිද්‍රාශීලි චර්යාව. නමුත් 2017 වර්ශයේදි තමයි තෙල්මන්ද තල්මසුන්ගෙ නිදා ගැනීමේ රටාවන් ගැන නිරීක්ෂණය වෙන්නෙ.

නිදා සිටින තෙල්මන්ද තල්මසුන්

අපි දන්නවා ⁣තල්මසුන් කියන්නෙ ක්ෂීරපායි සත්ව කොට්ඨාසයක් බව. ඒ නිසා වරින් වර ඔවුන් මුහුද මතුපිටට මතු විය යුතුයි හුස්ම ගැනීම සඳහා. වෙනත් ඩොල්ෆින් සහ තල්මස් විශේෂ වල නිදා ගැනීමේ ක්‍රමෝපාය සකස් වෙන්නෙ පිහිනා යන අතරතුර ලබාගන්න අඩ නින්දක් ආකාරයට. ⁣මේ විශේෂ වල මොළයේ අර්ධයක් ක්‍රියාත්මක වන අතරතුර ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙ ඇස විවරව පවතිනවා මේ පිහනා යෑමේදි. ඒක එහෙම වෙන්නෙ හුස්ම ගැනීම සඳහා වරින් වර මතුපිටට පැමිණිමත්, නින්ද ලබාගන්නා අවස්ථාවේදි සතුරු උවදුරක් පැමිණියොත් එය වටහා ගැනීමටත්.

ඩොල්ෆින් විශේෂයන්, බෙලූගාස්, බොහෝ තල්මස් විශේෂ පෙරකී ආකාරයේ නින්දක් ලබාගන්නා විට තෙල්මන්ද තල්මසුන් මීට හාත්පස වෙනස් ක්‍රමයක් තමයි භාවිතා කරන්නෙ. ඒ තමයි මීටර් 10 - 15 ගැඹුරෙ කෙලින් අතට නිදා ගැනීම. අනෙක් විශේෂ අඩ නින්දක් ලැබුවත් තෙල්මන්ද තල්මසුන් නම් සම්පූර්ණ නින්දක් ලබන්නෙ. අවට පරිසරය ගැන අවධානයකින් තොරව ලබන මේ සම්පූර්ණ නින්ද පවතින්නේ විනාඩි 10 - 15 පමණ. මේ කාලයේදි හුස්ම ගන්න මතුපිටට පැමිණීමක් සිදුවෙන්නෙ නෑ. තෙල්මන්ද තලමසුන් ගැඹුරු මුහුදේ විශාල කාලයක් එක් හුස්මකින් රැඳී සිිටීමේ හැකියාව තිබෙන නිසා විනාඩි 10 -15 කියන්නෙ ඔවුන්ට එතරම් කාලයක් නෙමෙයි. මේ වගේ දිනකට සය වතාවක් පමණ මොවුන් නිදාගන්නවා. 

නිරීක්ෂකයන්ට අනුව දිනක කාලයෙන් 7% පමණ නින්දක් තමයි තෙල්මන්ද තල්මසුන් ලබාගන්නෙ. මේ නින්ද තමයි සත්වයෙකු ලබන අවම නින්ද. මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ ජිරාෆ් සත්වයන්. එය 8% පමණ.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Thursday, August 29, 2019

පැරගොසීටස් පැසිෆිකුස් (Peregocetus pacificus)


2019 අප්‍රේල් මස 4 වන දින පේරූ රාජ්‍යයෙන් ප්‍රාග් ඓතිහාසික තල්මස් විශේෂයක් සොයා ගනු ලැබුවා. වසර මිලියන 43 කට පමණ පෙර ජීවත් වු මෙම සත්වයා මීටර් 4 ක් පමණ දිගින් යුතු සත්වයෙක්.

තල්මසුන්ගෙ පරිණාමික වෘක්ෂය ගැන පරිණාමික දිනපොත පිටුව තුලින් දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබෙනවා මීට පෙර පලකරපු ලිපි එකතුවක. එහි ලින්ක් එක මෙහි සඳහන් කරනවා පිටුව සමඟ අලුතෙන් එක්වු අයට කියවන්න.

සිටසියා පරිණාමය (Cetacea Evolution) - 01
සිටසියා පරිණාමය (Cetacea Evolution) - 02
සිටසියා පරිණාමය (Cetacea Evolution) - 03 (අවසන් කොටස)

එය දැනටමත් කියවා ඇති අය මේ වන විට දන්නවා තල්මසුන් කියන්නෙ මීටර වසර මිලියන 40 කට පමණ එපිටදි මුහුදේ ජීවත් වූ සත්වයන් නොව පූර්ණ ගොඩබිම් වාසීන් බව. පේරූ රාජ්‍යයෙන් සොයාගත් මේ නව තල්මස් විශේෂයත් ගොඩබිම් වාසි සංක්‍රාන්තික අවස්ථාවක්. පෙරෙගොසීටස් පැසිෆිකුස් ( Peregocetus pacificus) නමින් හඳුන්වන මොවුන් ගොඩබිම සහ ජලය යන දෙකේම ජීවත් වූ සත්ව කාණ්ඩයක්. වර්තමානයේදි ජීවත් වන දිය බල්ලන්ට සමාන අනුවර්තන දැරූ පැරගොසීටස් සත්වයන් බැඳි පටල සහිත අත්පා දැරූ සත්වයෙක්. ගොදුරු සෙවීමට මුහුද කරා ඇදුනු මේ සත්වයින් ජලය තුල සුහුරු දඩයම්කරුවන් බව පිහිනීමට හැඩගැසුනු ශරීරයත්, උල් දත් පිහිටීමත් පෙන්නුම් කරනවා.

පැරගොසීටස් පැසිෆිකුස් ප්‍රතිනිර්මාණය

සිවුපා තල්මස් ආදීතමයන්ගෙ ෆොසිල සාධක මෙතෙක් කල් හමුවුනෙ ඉන්දියාව, පාකිස්තානයේ සුලෛමාන් කඳුවැටිය වැනි ප්‍රදේශ ආශ්‍රිතව. නමුත් පැරගොසීටස් ෆොසිලයත් සමඟ එකී ප්‍රදේශයන්ගෙන් පිටතදි සොයාගත් පලමු සිවුපා තල්මස් පූර්වජයා බවට පැරගොසීටස් පත්වනවා. එමෙන්ම දකුණු අර්ධගෝලයෙන් සොයාගත් ප්‍රථමයාද මෙම විශේෂයයි. මේ විශේෂ සොයාගැනීමත් සමඟම නූතන ෆොසිල විද්‍යාව සහ පරිණාමික ජීව විද්‍යාව තුල තල්මස් පරිණාමික වෘක්ෂය පැතිරීම මෙතෙක් කල් විස්තර කර තිබූ ආකාරයේ නිරවද්‍යතාව තවත් සනාථ වනවා


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




#DOE




Tuesday, August 20, 2019

නිල් තල්මස් හදවත (Heart of a Blue whale)




රාත්තල් 440 පමණ බරැති මේ හදවත අයිති වෙන්නෙ නිල් තල්මසෙක්ට. 

මෙහි කුටීර තුල මිනිසෙකුට සිටිය හැකි තරම් විශාලයි. 

විශාල සෝරොපොඩ් ඩයිනෝසරයන් වන ආර්ජන්ටිනෝසෝරස්, ටැයිටැනෝසෝරස් වැනි කාණ්ඩයන් සතුවත් මෙතරම්ම විශාල හදවත් පැවති බවට විද්‍යාඥයන් විශ්වාස කරනවා.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




Tuesday, August 6, 2019

සිටසියා පරිණාමය (Cetacea Evolution) - 03 (අවසන් කොටස)


ඇම්බියුලෝසීටාවන් වසර මිලියන 49කට පෙර ෆොසිල වාර්තා වලින් ඉවත් වෙන්නෙ සිටසියා පරිණාමය තුල ප්රධානතම ගැටලුව ඉතිරි කර. කවදා කොහෙදි කොහොමද සිටසියාවන් ලවණ ජලයට පූර්ණ අනුවර්තන ලබා ගත්තෙ..?


එතැන් සිට...

1994 වර්ශයේදිම වසරේදි මහාචාර්ය පිලිප් ගින්ග්රිච් නැවතත් සුලෛයිමාන් කඳුවැටිය අවට පර්යේෂණ මෙහෙය වීමේන් තවත් නව ක්ශීරපායි විශේෂයක ෆොසිල මතුකර ගනු ලබනවා. ඒ තවත් තල්මස් පරිණාමයේ සංක්රාන්ති අවධියක්. ඇම්බියුලෝසීටාවන්ට වඩා දියුණු පිහිනීමේ අනුවර්තන වලින් සන්නද්ධ මේ නව විශේෂය සතු ප්රධාන ලක්ෂණ කිහිපයක් මෙසේයි.
  • කෙටි, ශක්තිමත් බෙල්ලක් සතු වීම.. කිමිදීමට වඩා ප්රයෝජනවත්
  • පසු ගාත්ර තවත් කෙටි වී හබල් මෙන් සැකැස්ම
  • වල්ගය තවත් මාංශපේෂිමය වීම
  • විශේෂිත දන්ත සැකැස්ම

අඩි දහයක පමණ දිගින් යුත් මේ සත්ව විශේෂය "රෝඩෝසීටස්" නමින් නම් කරනු ලබනවා.

රෝඩෝසීටස්

තල්මසුන් පරිණාමයේ මුහුදු ජලය සඳහා පූර්ණ අනුවර්තන දක්වන පලමු සාමාජිකයා තමයි වසර මිලියන 46කට ප්‍රථම පරිණාමය වන රෝඩෝසීටස්. රෝඩෝසීටස් කොහොමද විලෝපිකයන්ගෙන් ආරක්ෂා වුනේ ? මේ ගැටලුවට පිලිතුර තිබෙන්නේ මේ සත්ව⁣යගෙ කර්ණ ශංඛයේ සමබරතාව රකින අවයවය මත. රෝඩෝසීටස් සමබරතාව අතින් ඉහලයි. වේගයෙන් පිහිනා යන ගමන් ඉතාමත් ඉක්මනින් දිශා මාරු කිරීමටත්, හැරවීමටත් ඇති හැකියාව රෝඩොසීටාවන් සතුයි. එමගින් ඔවුන්ගෙ මුල් පූර්වජයන් මුහුන දුන් විලෝපිකයන්ගෙන් බේරි යාමට රෝඩෝසීටාවන් සමත් වුනා. ඔවුන් සාගර කලාප විශාල ප්රමාණයක සුලබව පැතිරුනා..

නමුත් රෝඩෝසීටාවන් නැවතත් වෙනස්වන දේශගුණය නිසා ගැටලුවලට මුහුණ දෙනවා. පැවැත්ම සඳහා ඔවුන් සටන් කල යුතුයි, වෙනස් විය යුතුයි.. වෙනස් නොවුනොත් පැවැත්ම අවසානයි. වසර මිලියන 46 කට පෙර අවසාන රෝඩෝසිටාවන් ෆොසිල වාර්තා වලින් ඉවත් වෙනවා....


ඊජිප්තුවෙ බටහිර කාන්තාරය.. කයිරෝ නුවරට කිලෝමිටර් සීයක් පමණ නිරිතදිගට වන්නට පිහිටි 'වාඩි අල් හිට⁣ාන්" ප්රදේශය කියන්නෙත් ප්රාග්⁣ෛඑතිහාසික ටීතිස් සාගරය පැතිරී පැවති කොටසක්. වසර මිලියන ගනනක් පැරණි ⁣සාගර සත්ව විශේෂ වල ෆොසිල මෙහෙදි පොලව මතුපිට දැකගන්න පුළුවන්. මේ ප්රදේශයෙන් හමුවෙනවා අඩි 50 ක් පමණ දිගු තල්මස් පූර්වජයෙක්. එවක පැවතී සාගරයේ සුපිරි විලෝපිකයා තමයි මේ බැසිලෝසෝරස්.

රෝඩෝසීටාවන් ඉදිරියට පැමිණිලා, වෙනත් ස්වරූපයන්ගෙන්.. බැසිලෝසෝරස් රෝඩෝසීටාවන්ට නොතිබුන තවත් ජලචර අනුවර්තනයන්ගෙන් සන්නද්ධ වෙනවා.
  • ජලය තුල හොඳින් පෙනීම සඳහා දියුණු ඇස්
  • ජලය තුල ඉතාමත් තියුණු කන් ඇසීමෙ හැකියාව
  • ආඳකු මෙන් දිගු හැඩයක් සතුවීම, නොගැඹුරු දියේ දඩයමට

මේ අනුවර්තන සියල්ලත් සමඟ බැසිලෝසෝරස්ට අතීතයෙ හිමිවු දැන් ප්රයෝජනයක් නැති අවයවයකුත් එලෙසම පවතිනවා. ඒ තමයි පසුගාත්රාවල ඉතිරිව ගිය ශේෂයන්.

බැසිලෝසෝරස්

මිලියන 39 කට පෙර සාගර ආධිපත්යය අචලතාපී සත්වයන් අතට ගැනීමට බැසිලසෝරයන්ට හැකි වෙනවා. පෙර තම පූර්වජයන් ආහාරයට ගත් විලෝපිකයන් මේ වෙද්දි බැසිලෝසෝරයන්ගෙ ආහාර බවට පත්ව හමාරයි..

මධ්යකාලීන ඊයෝසීන අවධියේ බැසිලෝසෝරයන් සමඟ මුහුදේ සරනවා තවත් අපූරු සත්වයෙක්. බැසිලෝසෝරයන් තරම් මහේශාක්ය නොවුන, ඉතාමත් සැඟවුනු දිවියක් ගෙවු කුඩා සිටසියාවන් විශේෂයක් වන මොවුන් හඳුන්වන්නෙ "ඩොරුඩොන්ට්ස්" නමින්. ඩොරුඩොන්ට්ස්ලා ප්රමාණයෙන් සහ හැඩහුරුකමෙන් වත්මන් ඩොල්ෆිනයන් වගේ.

ඩොරුඩොන්

ෆොසිල සාධක අනුව බැසිලෝසෝරයන් තමන්ගෙ ඤාාතීන්වන කුඩා ඩොරුඩොන්ට්ස්ලව ආහාරයට ගත් බව තහවුරුයි. බැසිලෝසෝරයන් මෙන් විශාල විලෝපිකයන්ගෙන් මිදෙන්න ඩොරුඩොන්ට්ස්ලා රංචු ආකාරයෙන් ගැවසුන බවට විද්‍යාඥයන් අදහස් පලකරනවා.

වසර මිලියන 35 කට පොරොතුව නැවතත් දේශගුණික විපර්යාස. මුල් කාලීන ඉයෝසිනයේදි රත්වුන ලෝකය නැවත සිසිල් වෙනවා. සාගර සිසිල් වෙන අතරේ දකුණු ඇමරිකානු භූ තැටියෙන් වෙන්වෙන ඇන්ටාර්ක්ටික් භූ තැටිය ධ්රැවාසන්න හිම වැස්මක් බවට තහවුරු වෙනවා. ධ්රැවාසන්න හිම තහවුරු වෙන්න ජලය අවශ්යයි.. පෘථිවිය මත පවතින ජලය ධ්රැවාසන්නයේදි ඝනීභවනය වෙද්දි ගෝලීය සාගර ජලමට්ටම් පහත බසිනවා.

බැසිලෝසෝරයන් දෙසට හැරෙමු.. ඔවුන් ශරීරය ප්රමාණය විශාලයි දිගටියි. හැඩගැහිලා තියෙන්නෙ නොගැඹුරු ජලයේ පිහිනා ගොස් දඩයම් කරන්න. සාගර ජලමට්ටම් අවම වෙද්දි බැසිලෝසෝරයන් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙනවා. ඔවුන්ට ගැඹුරු ජලයට අනුවර්තනය වෙන්න කාල වේලාව මදී.... මධ්ය ඉයෝසීනයේදි බැසිලෝසෝරයන් පෘථිවියෙන් සමුගන්නවා. ඔවුන්ගෙ ඉදිරි පැවැත්මක් නෑ.

එ්ත් එතරම් අණසක නොපැතිරු ඩොරුඩොන්ට්ස්ලා මේ අභියෝගය ජයගන්නවා. කුඩා, සමානුපාතික, මෙහෙයවිය හැකි සිරුරින් යුත් ඩොරුඩොන්ට් සත්වයන් ගැඹුරු දියට සංක්රමණය වෙනවා. ඩොරුඩොන්ට්ස්ලා වර්තමානයෙ ඔබ දකින සියළු තල්මසුන් සහ ඩොල්ෆිනයන්ගෙ පූර්වජයා..පරිණාමය විශාල මෙන්ම මහේශාක්ය බැසිලෝසෝරයන්ට වඩා කාරුණික වෙන්නෙ ඩොරුඩොන්ට්ස්ලට..

ඩොරුඩොන්ට්ස්ලගෙ පසුකාලීනයන්ට නැවත විලෝපික තර්ජන ඇතිවෙනවා. ප්රාග්⁣ෛඑතිහාසික සාගරවල දරුණුම දඩයක්කරුගෙන්.. ඒ තමයි එතෙක් මෙතෙක් සිටි සුවිසල්ම මෝර විශේෂය වන මෙග⁣ලඩොන් මෝර විශේෂයන්ගෙන්.. ඔවුන්ගෙන් ගැලවෙන්නනම් නව සිටසියාවුන් තමන්ගෙ නිජබිම් වලින් ඈතට යා යුතුයි.

මෝරුන් කියන්නෙ චලතාපි සත්වයන්. ඔවුන්ගෙ ශරිර උණුසම පරිසර උෂ්ණත්වයත් සමඟ ඒ තත්වයට පත්වෙනවා. සිටසියාවන් අචලතාපින්, ඔවුන්ට පුළුවන් වෙනස් පරිසර උශ්ණත්වයන්ගෙදි තමන්ගෙ ශරීර උශ්ණත්වය පාලනය කරගන්න. එහෙනම් ඉතිරි එක් තාර්කික විකල්පයයි..... ඒ ධ්රැවාසන්න පෙදෙස් වලට සංක්රමණය. මෝරුන්ට බෑ එතකොට සිටසියාවන් එලවන්න. සීතල සාගර ජලය ඔවුන්ට මාරාන්තිකයි. නමුත් සිටසියාවන්ට පුළුවන් උශ්ණත්වය පාලනය කරගන්න.

ෆ්ලෝයන් වලදි මම ලිව්ව ලිපියෙ සඳහන් කලා තල්මස් වර්ගයා ආර්ක්ටික් සාගරවලට සංක්රමණය විමේ පරිණාමික ක්රියාවලිය සිත්ගන්නාසුළු කතාවක් බව. මෙතෙක් ඔබ කියෙව්වෙ ඒ කතාව...

ඩොරුඩොන්ට්ස්ලාගෙ මුණුපුරු මිණිබිරියන් අදත් සීතල ආර්ක්ටික් සාගර තුල සරන්නෙ ජීවය කෙරෙහි පරිසරය ඇතිකරන පීඩන වල ආන්තික ඵලයක් ලෙස. අද ඔවුන් විශේෂ අසුවක පමණ විහිද ගිය සිටසියා ගෝත්රය. නිල්තල්මසුන් , තෙල්මන්ද තල්මසුන් , ඔර්කා, බෙලුගා, ඩොල්ෆින්ස්, පොර්පොයිස් වැනි විශාල පරාසයක ඔවුන් විවිධත්වය පෙන්නුම් කරනවා. එමෙන්ම දියුණු බුද්ධියක් සතු, හැගීම් දැනීම් සතු දියුනු ජීවින් ඔවුන්.

වසර මිලියන 50 කින් එපිට වෘකයෙක් වැනි සත්ව විශේෂයක් නැවත සාගරයට හැරෙනවා.. ඒ ගමන බියකරු මෙන්ම වාසනාව මත රඳා පැවති සමස්ථ ක්රියාවලියක්. නැවත මුහුදට අනුවර්තනය වීම අපි හඳුන්වනවා රිවර්ස් එවලුශන් කියලා... අන්න ඒ විශේෂ ජීවින් කොටස ලංකාව අවට අපත් සමඟ ඉන්නවා කියන එකත් මතක තියාගන්න කියලා ඉල්ලමින් මේ කතා⁣ව හමාර කරනවා.


(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


#DOE




සිටසියා පරිණාමය (Cetacea Evolution) - 02


ඔවුන් ජීවත් වීම සඳහා අරගලයක යෙදුනා.. වෙනස්වන දේශගුණය සහ වියෑකි යන ගොඩබිම් ආහාර හේතුවෙන් නොගැඹුරු දිය අසලට පැමිණෙන පැකිසිටාවුන් තමන්ගෙ ආහාර ප්රශ්නය විසඳගන්නවා. නමුත් ජීවය මත පරිසරය ඇතිකරන නිරන්තර පීඩනය වෙනත් ආකාරයකින් ඔවුන්ව හසුකරගන්නවා. පැකිසිටාවන් ගොඩබිම ජීවත් වීමට හුරු සත්වයන්. නොගැඹුරු දිය මත ඇවිදීමටත් යාන්තන් පිහිනීමටත් සමත් වුනාට ඔවුන් ජලචර සතුන් නෙවෙයි. ඒ සඳහා ඔවුන්ට අනුවර්තන තිබුනෙ නෑ. පැකිසිටාවුන් වසර මිලියන පනහකට ඉහත ෆොසිල වාර්තා වලින් අතුරුදන් වෙනවා. ඒ ජීවි ලෝකය තුල ඔවුන්ට තිබුනු කාලය අවසන්....


එතැන් සිට...

ඒ වර්ෂ 1994.. මහාචාර්ය පිලිප් ගින්ග්රිච් සුලෛයිමාන් කඳු පන්තියෙන් පැකිසිටස් ෆොසිල සොයාගෙන ගතවන 16 වන වසර. මහාචාර්ය හාන්ස් තීව්සන්, ග්රින්ගිච් ගෙ ප්රධානම ගෝලයෙක්. තීව්සන් විසින් සුලෛයිමාන් කඳු පන්තිය ආසන්නයෙ සිදුකරන පර්යේෂණ වලින් තවත් හඳුනා නොගත් ක්ශීරපායි විශේෂයක සැකිල්ලක් සොයාගනු ලබනවා. ප්රතිනිර්මිත සැකිල්ල පෙන්වන්නෙ අමුතු ආකාරයක ක්ශීරපායියෙක්. ගොඩබිම සංචරණය කරන ක්ශිරපායියෙකු සතු පාද ඇතිමුත් පතුල් පිහිටන්නෙ තාරාවකු මෙන් බැඳි පාද සහිතව (webbed feet)..

ඒ තවත් පරිණාමිකව සංක්රාන්ති අවධියක පසුවන ප්රාථමික තල්මස් පූර්ව⁣ජයෙක්. අපි මුලින්ම හඳුනගත්ත පැකිසිටස් ෆොසිල වාර්තා වලින් අතුරුදන් වෙන්නෙ මේ නිසයි. මේ අලුත් සමාජිකයා පැකිසිටාවුන්ට වඩා ජලජ පරිසර වලට යෝග්ය ලෙස හැඩගැසුනු ශරීරයක් ඇති අයෙක්.

ඒ ප්රධාන ලක්ෂණ තුනකින්,
  1. වර්තමානයේ දක්නට ලැබෙන දියබල්ලන් මෙන් මාංශපේශි සහිත පැතලි වල්ගයක්.
  2. අපර ගාත්රා කෙටි සහ පලල් ආකාරයෙන් පිහිටීම, පිහිනීම පහසුවනු පිනිස.
  3. ශරීරය අනාකූල හැඩයක් දැරීම.

මේ අලුත් සාමාජිකයට තීව්සන් නම දෙනවා "ඇම්බියුලෝසීටස් නාටන්ස්".. නමේ අර්ථය 'ඇවිදින සහ පිහිනන තල්මසා'...

ඇම්බියුලෝසීටස් නාටන්ස්

ඇම්බියුලෝසීටස් සැකිල්ලක්

දැන් තිබෙනවා ගැටලුවක්... ඇම්බියුලෝසීටස්ට පූර්ණ කාලීනව ජලයේ ඉන්න පුළුවන්ද?

ඒක මෙහෙම විස්තර කරන්නන්. ගොඩබිම් ක්ශිරපායියෙකුගෙ පානීය ජල අවශ්යතා පවතිනවා. එහෙම ගොඩබිම් සත්වයෙක් මුහුදු ජලය පානය කරොත් එය විස වෙනවා. දැන් ප්රශ්නය ඇම්බියුලෝසීටස් බිව්වෙ මුහුදු ජලයද නැත්තම් ගොඩබිම් ජලයද ?

ඇම්බියුලෝසීටස් බිව්වෙ ගොඩබිම් ජලය. කොහොමද හරියටම ඒක කියන්නෙ වසර මිලියන 49 පැරණි ෆොසිලයක් බලලා ? දන්ත සැකැස්ම මත තැන්පත්වල ඛණිජ ආදිය පරීක්ෂණයට ලක් කිරීමෙන් ඒ වගේ දේවල් හරියටම කියන්න පුළුවන්. ඇම්බියුලෝසීටස් ජීවත් වුනේ ගොඩබිම ආසන්නයේ. ජලය තුල කිමිදිලා ආහාර සොයා ගියත් ඇම්බියුලෝසීටස් ජලය සොයා ආවේ ගොඩ බිමට. මේ සත්වයා ජලයේ ආහාර හඹා ගිය සත්වයෙක් නෙවෙයි, මන්දගාමී ශරීරයක් සහිත බැවින් සැඟව සිට පහරදී ගොදුරු ඩැහැගත්තෙක් (Ambush predator).






පැකිසීටස්ට තිබ්බ ගැටලු ඇම්බියුලෝසීටස්ටත් එලෙසමයි. නොගැඹුරු ටීතීස් මුහුදේ ඔවුන්ට වඩා විශාල මෝරුන් සහ ජලජ විලෝපිකයන් ඒමට. ඒ බව ඇම්බියුලෝසීටස් ෆොසිල ලැබෙන සෙඩිමන්ට් ලේයර්ස් වලම මතුවන විශාල මෝර සහ කිඹුල් ෆොසිල මඟින් පැහැදිලියි. පැකිසිටස්ට තිබ්බෙ නැති ප්රශ්නයකුත් ඇම්බියුලෝසීටස්ට.. ඒ තමයි මන්දගාමී අඩක් ජලයට හැඩගැසුනු සිරුර දැන් ගොඩබිමදි තවත් මන්දගාමී. ඒ හේතුවෙන් ගොඩබිම් විලෝපිකයන්ට ඔවුන් පහසු ගොදුරක්...

වර්ශ මිලියන 49 කට පෙර ඇම්බියුලෝසීටස් ෆොසිල් වාර්තා වලින් ඉවත් වෙනවා... ඒ ඇම්බියුලෝසීටාවන්ගෙ කාලය අවසන්.

ගැටලුව තාමත් ඉතිරියි. කවදා කොහෙදි කොහොමද සිටසියා පූර්වජයන් ලවණ ජලයට පූර්ණ අනුවර්තන ගෙනාවේ...?


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE



සිටසියා පරිණාමය (Cetacea Evolution) - 01


තල්මසුන් සහ ඩොල්ෆින් ( Whales and Dolphins)



පැලියෝජීන් මහා අවධිය බෙදෙනවා උප අවධි තුනකට. ඔලිගොසීනය, ඉයොසීනය සහ පැලියොසීනය.. මේකෙන් ඉයෝසීනය කියන්නෙ සෑහෙන ඉන්ට්රෙස්ටින් අවධියක්. ඉයෝසින් (ඉයොස්+කයිනොස්) යන ග්රීක පද ද්විත්වයේ සබැඳියක්. ඒකෙන් එන තේරුමට සිංහලෙන් දෙන්න පුළුවන් ආසන්නතම අර්ථය තමයි "නව සත්ව සන්තතියක උදාව"



ඒ කතාව එහෙම තියෙද්දි අපි යමු 1978 ට. 1978 දි මියුනිච් සරසවියේ මහාචාර්යවරයකු වනු මහාචාර්ය පිලිප් ගින්ග්රිච් සංචාරයක යෙදෙනවා පාකිස්තානය සු⁣ලෙයිමාන් කඳු වැටියට. මේ සුලෙයිමාන් කඳුවැටිය කියන්නෙ වසර මිලියන ගනනාවකට කලින් පැවතී මහා සාගරයක් වන ටීතීස් සාගරය පැවති සාගර පතුල. ඉතින් අදට වුනත් සුලෛයිමාන් කඳු වැටිය මත ඇවිද්දොත් ෆොසිලකරණයට ලක්වු ප්රාග්⁣ෛඑතිහාසික මුහුදු ජීවින් බලාගන්න පුළුවන්.

දැන් මම ඔය කිව්ව මහාචාර්යතුමාට සුලෛමාන් කඳුවැටියෙදි හම්බෙනවා ක්ශීරපායි සත්වයෙකුට අයිති හිස්කබලක කුඩා කොටසක්. මේ හිස්කබල් කොටස කාලනීර්ණයට ලක් කලාම ලැබෙන දත්ත අනුව එය වසර මිලියන 50 කට වඩා පැරණියි. සාමාන්යයෙන් මෙහෙම අර්ධ සැකිල්ලක් ලැබුනම සම්පූර්ණ සැකිල්ල ප්රතිනිර්මාණය කරන්න පුළුවන්. එහෙම ප්රතිනිර්මාණය කරපු මේ හිස්කබලට අනුව මේක අයිති සත්වයා වෘකයෙක්ගෙ හැඩරුව දැරු ක්ශීරපායි සත්වයෙක්. සැකිල්ල නැවත ප්රතිනිර්මාණය කලත් ෆොසිල විද්යාඤයන්ට මේ සත්ව විශේෂය හෝ අවම තරමින් ඔවුන් අයත් ගෝත්රයවත් නීර්ණය කිරීමේ හැකියාව තිබ්බෙ නෑ..

තවදුරටත් පර්යේෂණයට ලක් කරන හිස්කබල් කොටසෙ කන ආසන්නයේ පිහිටන අස්ථිමය නෙරීමක් ඔවුන්ට දකින්න ලැබෙනවා. මේ අස්ථිමය නෙරීම හඳුන්වන්නෙ 'සිග්මොයිඩ් ප්රොසෙස්' කියලා. මේකෙ තියෙන විශේෂත්වය තමයි සිග්මොයිඩ් ප්රොසෙසය පිහිටන්නෙ ඉතාමත් විශේශිතව වූ ක්ශීරපායි ගෝත්රයකට.... ඒ වෙන කවුරුත් නෙවෙයි තල්මසුන්, ඩොල්ෆිනයන් අයත් සිටසියා ගෝත්රයට. දැන් එතකොට සිටසියාවන්ට අයත් අවයවයක් කොහොමද වෘකයෙක් වගේ සත්වයෙක්ට ලැබුණේ..? ඔව් මිත්රවරුනි ඒ තමයි අද ලෝකයෙ සියළු සාගරවල සැරිසරන සිටසියාවන්ගෙ පූර්වජයා. පාකිස්තානයෙන් සොයාගත් සිටසියාවාට නම දෙනවා 'පැකිසීටස්'.මේ සත්වයා ජලයේ නොව ගොඩබිම්වාසි සත්වයෙක්.. එහෙම කොහොමද වුනේ ?

වසර මිලියන 50 කට කලින් ඉයෝසීනයේදි පෘථිවිය කියන්නෙ උශ්ණත්වය වැඩි තැනක්. විශේෂයෙන්ම අද සුලෛයිමාන් කඳුවැටිය එදා කඩිනම් ශුෂ්ක පරිසරයකට හැරෙමින් පැවතුන යුගයක්. පැකිසීටස්ලා ගොඩබිම හැසිරුන වෘකයන් වගේ. එයාලට මුහුණ දෙන්න වෙනවා ආහාර සඳහා සටනකට. කඩිනමින් වෙනස් වන පරිසරයත් එක්ක ජීවත් වෙන්න සටන් කල යුතුයි. පැකිසීටස්ලා ආහාර සොයාගෙන තල්ලු වෙනවා ජලාශ්රිත පෙදෙස්වලට. කොහොමද එහෙම වෙන්නෙ ?

වසර මිලියන 50 කට කලින් ⁣පෘථෘවියෙ ගොඩබිම් එකිනෙක ඈත් වෙමින් ප්රසාරණය වෙනවා. ඈත් වීම වැඩිවෙන්න වැඩිවෙන්න නව සාගර රළ තරංග රටාවන් ගොඩනැගෙනවා. මේ රළ සමකාසන්නයේ සිට ධ්රැව වෙතට උණුසුම් රළ සහ සුළං ධාරා රැගෙන යනවා. මේකෙන් ධ්රැවාසන්න පෙදෙස් උණුසුම ඉහල යනවා. උණුසුම් ධ්රැවාශ්රිත පෙදෙස් කියන්නෙ උණුසුම් පෘථිවියක්, උණුසුම් පෘථිවියක් කියන්නෙ ප්රභාසංස්ලේෂණ සීග්රතාව ඉහල යනවා.. ප්රභාසංස්ලේෂණ සීග්රතාව ඉහල යනවා කියන්නෙ සාගර ජීවි මට්ටම් ඉහල යනවා.... ඒ කියන්නෙ නොගැඹුරු ජලයේ අපේ කතා නායක පැකිසීටස්ලට පහසුවෙන් ⁣සොයාගත හැකි ආහාර ඉහලයි... දැන් මේ සංසිද්ධියේදි විද්යාඤයන් පවසන ආකාරයට පැකිසීටස්ලා මුලින්ම ⁣නොගැඹුරු ජලය අසලට එන්නෙ මැරුණු මාළුන්, ජලජ ජීවින් වගේ ආහාරයට ගන්න කුණප බුදින්නන් ලෙස (scavengers)... මෙහෙම කාලයක් ගතවෙද්දි ඊලඟ තාර්කික පියවර වෙන්නෙ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න සතුන් ආහාරයට ගැනීම. මේ ක්රියාවලිය වර්ධනය වෙනවා දඩයම් කිරීම දක්වාම.

දැන් මේක වසර මිලියන පනහකට කලින් වුන සිද්ධියක්. මුන් කෝමද මෙහෙම හරියටම කියන්නෙ ? ඒහෙම වෙන්න බෑ වගේ හිතෙනවනම් මම මේ කියන දේත් හොයලා බලන්න. වැන්කූවර් දුපතෙ අද ජීවත්වන අළු වෘකයන් මේ පැකිසීටස්ලා වගේම මුහුදට අනුවර්තනය වෙමින් ඉන්නෙ. 😊

රයිට්, ආයෙ එමු කතාවට. දැන් ඊටපස්සෙ පැකිසීටස්ලාට මොකද වුනේ... ? මුකුත් වුනේ නෑ.. පැකිසීටස්ලා අතුරුදන් වෙනවා ෆොසිල වාර්තාවලින් වසර මිලියන පනහකට කලින්...

P.s - මුලින්ම අර හිස්කබල් කොටස විතරක් හමුවුනාට පසුව සෑහෙන ෆොසිල ප්රමාණයක් හමුව තිබෙනවා.


පැකිසීටස් සැකිල්ලක් 


පැකිසීටස් ප්‍රතිනිර්මාණයක් 

(ඡායාරූපය සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE 

සිටසියා බුද්ධිය (Cetacea Intelligence)


සිටසියාවන්ගෙ බුද්ධිය පිළිබඳව මීට පෙර පලකරපු ලිපියට සමගාමීව මේ වීඩියෝ එකත් ශෙයාර් කරනවා. 




මේ පිහිනා යන්නෙ වර්තමාන සාගර තුල දකින්න ලැබෙන විශාලතම මෙන්ම අනුකම්පා විරහිතව ගොදුරු වලට පහර දෙනා ඔර්කාවන් (killer whale, මිනී තල්මසුන් ) දෙදෙනෙක්. සුපිරි විලෝපිකයන් වන මොවුන්ව මිනිස් ඇසුරට පුරුදු පුහුණු කල සත්වයන් නොවෙයි. නමුත් හොඳින් නරඹන්න ඔවුන් ⁣තමන්ගෙ ගොදුරු මොනවාද මිනිසුන් මොනවාද යන්නට හඳුනන විදිහ ගැන. කුඩා අවදියේදිම ඔවුන්ගෙ මව විසින් මේ වෙනස ඔවුන්ට කියා දෙනවා.


වීඩියෝව උපුටාගැනීම - https://youtu.be/qSw4B3ObPR0




#DOE


Link to Facebook post --->


බුද්ධිය සහ පරිණාමය - මානව බුද්ධිය සහ සිටසියා බුද්ධිය (Intelligence and Evolution - Human Intelligence & Cetacea Intelligence)


පරිණාමය සම්බන්දව කතාබහ සිදුකරන විට නොයෙක් වාද විවාදයන් තුල මා දැක ඇති ඉතාමත් ප්රසිද්ධ ගැටලුවක් තමයි "පරිණාමය සත්යක් නම් හෝමෝ සේපියන්වරු පමණක් බුද්ධිමත්ව ඇත්තේ කෙසේද?" යන ගැටලුව. 

මේ ගැටලුවට පිලිතුරු දීමට තනි සටහනකින් සිදු කල නොහැක්කක්. නමුත් අති සරල ලෙස මෙයට පිලිතුරක් ලෙස කිවහැක්කෙ ඔබ බුද්ධිය මනින මිම්ම හෝමෝ සේපියානුවන් කරගෙන තිබීම නිසා එකී ගැටලුව ඉස්මතුව ඇති බවයි. පරිණාමය නැමැති ක්රියාවලියට අරමුණක් නැති බව වටහාගත යුතුයි. පරිණාමික ක්රියාවලිය තුල බිහිවන්නේ පරිසර තුල නොනැසී ජීවත් වීමට හැකි ජීවින්. ඔවුන් බුද්ධිමත්ද නැතිද යන්නට පරිණාමික ක්රියාවලිය තුල අර්ථ විරහිත ඉසව්වක්. නමුත් ඔබ බුද්ධිය කියන මිම්ම තුලින් ජීවය මැනීමට තැත් කරන්නෙකු නම් මේ ක්රියාවලිය වටහා ගැනීමට ඔබට අපහසු දෙයක් බවට පත්වනු ඇති.

මේ ගැටලුවට අදාල දෙයක් යැයි හැඟුන නිසා මානව බුද්ධිය සහ තවත් ජීවි විශේෂයක බුද්ධිය අලලා මා වෙනත් තැනක සටහන් කල ලිපියක් මෙහි පලකරනවා.


මානව බුද්ධිය සහ සිටසියා බුද්ධිය (Human Intelligence and Cetacea Intelligence)




අට්ඨක නිපාතයේ පහාරාද සූත්රයේ එන තිමිර තිමිංගලයන් පිළිබඳව දැනගත් පසු යොදුන් ගනනාවක් දිග බියකරු මුහුදු සත්වයන් පිළිබඳව සිතන්නට පටන් ගත්තේ ඉතාමත් කුඩා අවදියෙදිය. යොදුන් ගනනක් වු මේ භයංකර සතුන්ට වු බිය මැඬගෙන උත්සන්න වුයේ ඔවුන් දැක ගැනීමේ කුතුහලයයි. බයිබලයේ එන දෙවියන් විසින් නිනීවේ යෑමට අණකල පසුව දෙවියන්ට අකීකරුව ටාර්ශීෂ් නගරයට යන ජෝනාව ගිලගත් තල්මසාත්, කාර්ලෝ කොලොඩි ලියු පිනෝකියෝ කතාවේ පිනෝකියෝගේ පියා ජෙපෙටෝව ගිලගත් තල්මසාත් මා මනසින් නිර්මාණය කරගත් අයුරින්ම තවමත් මනසෙයි ගබඩාව ඇත. පාසැල් අවධියේදි යාන්තම් ඉංගිරිසි ගැටගසා ගැනීමට හැකිවු කල හර්මන් මෙල්විල් ගෙ මොබිඩික්හී ඊශ්මායෙල් ඇතුළු නාවුකයන් පිකෝඩ් නැවෙන් තෙල්මන්ද තල්මසුන් හඹා යෑමත් අවසානයේදි පිකෝඩ් නැවෙහි කපිතාන් අහබ්, ⁣මොබිඩික් නම්වූ ධවල තෙල්මන්ද තල්මසාට බිලිවන ආකාරයේත් චිත්ත රූප මනසින් වින්දෙමි. රොජ්ර් සහ හල් දෙසොහොයුරන්ගෙ චරිතයන්ට පණ පෙවු විලාර්ඩ් ප්රයිස් සිය 'whale adventure' කෘතිය තුල රොජර් හරහා මරණාසන්න තල්මසෙකු නැවක් කරා මෙහෙයවන ආකාරය කුතුහලයෙන් කියවීමි.

තල්මසුන් ගැන කියවන නිසාත්, වන සතුන් කෙරෙහි වූ ඇල්මත් නිසා ප්රථම වතාවට කොළඹ කෞතුකාගාරයට මාව රැගෙන ගියේ පියා විසිනි. තාත්තගෙ අතේ එල්ලී කෞතුකාගාරයට තුලට පියනැගූ වහාම කෞතුකාගාරයේ පියස්ස මත සිට පහතට එල්වා තිබූ නිල් තල්මස් ඇටසැකිල්ල දෙස සෑහෙන වෙලා බලා සිටියා මතකය. වයස පහකට හයකට වැඩි නොවු කුඩා දරුවෙකුට කෞතුකාගාර පියස්සේ සිට එල්ලා ඇති තල්මස් ඇටසැකිල්ල අතිවිශාල වස්තුවක් ලෙස දිස්වේ. එතෙක් කල් කතා තුලින් දුටු බියජනක සත්වයා පිළිබඳව වු බිය එදින සිට අතුරුදහන් වූවා මෙන්ම එදවස පටන් බිය වෙනුවට කුතුහලයත් ඔවුන් කෙරෙහි ආදරයත් වැඩෙමින් පවතී. කුඩා කල චිත්ත රූප මවාගත් ඒ බියකරු සතුන් ලංකාව අවට සැරිසරන බව දැනගත් වහාම ඔවුන් සොයා ගියෙමි. මේ වන විට දකුණු මුහුදින් නාවුක සැතපුම් 15 - 20 කට පමණ එපිට මුහුද තෙක් නිල් තල්මසුන් ⁣මුණ ගැසීමට සෑහෙන වතාවක් යාත්රා කර ඇත්තෙමි. වයඹට වන්නට කල්පිටියෙ සිට ගැඹුරු මුහුදට යාත්රා කර ඇත්තෙමි, ත්රිකුණාමලයේ සිට ගැඹුරු මුහුදට යාත්රා කර ඇත්තෙමි, බොල්ටික් මුහුදේ සැරිසරන බොව් හෙඩ් තල්මසුන් නිරීක්ෂණය කර ඇත්තෙමි, ස්කැන්ඩිනේවියානු ෆියොර තුල වාරයකට පැමිණ කැරිබියානු දූපත් කරා සංක්රමණය වන විවිධාකාර තල්මසුන් නිරීක්ෂණය කර ඇත්තෙමි. එබැවින් ඔවුන් ගැන සහ ඔවුන් වෙනුවෙන් මේ ලිපිය සටහන් කරමි.


ලොව සුපිරිම ජීවියා මනුෂ්යාය යන්නට මානවකේන්ද්රවාදී දැක්ම තුල කාලයක සිට පැලපදියම් අදහසකි. බයිබලය තුල දෙවියන් අන් සියළු සත්වයන් මනුශ්යයා කේන්ද්රකොට මවා ඇත යන කියමන මත වැඩිදියුණු වී ඇති එකී දැක්ම යල්පැන ගිය දැක්මක් මෙන්ම දෑස් වසා පවතින් කඩතුරාවකි. පෘථිවිය තුල බුද්ධි මහිමයෙන් අගතැන්පත් එකම ජීවියා හෝ හොඳම ජීවියා මනුශ්යා නොවේ, ඔවුන් බොහෝ දෙනෙක් නොදැන සිටියාට පෘථිවිය මත තවත් බුද්ධිමත් ශ්රෙෂ්ඨ ජීවි කොඨ්ඨාසයක් වාසය කරයි. ඉතිහාසයෙන්, සාහිත්යයෙන් මෙන්ම සංස්කෘතිය තුලින් මානවයාව රැගෙන ඔසවා තබා ඇති ස්ථානය ඔවුන්ට සැබැවින්ම උරුමද යන්නට නැවත ප්රශ්න කල යුතු කාලයක් දැන් පැමිණ ඇත. ඒ අප හා පෘථිවිය මත වසන තවත් අපූරු ජීවි කොඨ්ඨාසක් සමඟ අදහස් හුවමාරුව දියුණු කර ගැනීමට වෙර දරන විද්යාවෙ නව කඩඉම් හරහාය.

"බුද්ධිය" මැනීමේ මානව සාපේක්ෂ මිම්ම හේතුකොටගෙන මානවයන් වන අප පෘථිවිය අමතක කොට දමා සෑහෙන කලක සිට පිටසක්වලින් බුද්ධිමත් ජීවීන් සෙවීමු. SETI (Search for extraterrestrial intelligence) වැනි ව්යාපෘති හරහා ඩොලර් බිලයන ගනන් වැය කොට පිටසක්වල බුද්ධිය සෙවීමු. නමුත් ඒ සොයනා අතරතුරු කිසිම විටෙක පෘථිවියේ පවතින ජීවය කෙරෙහි සංවේදි නොවීමු. මේ වන විට SETI මෙන් ජීව විද්යාවෙ ATI ව්යාපෘති දියත් කොට ඇත. ATI යනු (Searching for Alternative terrestrial intelligence) එනම් පෘථිවිය මත විකල්ප බුද්ධිය සොයා යෑමයි. සීටොලොජි විෂය (තල්මසුන්, ඩොල්ෆින් විශේෂ පිළිබඳව අධ්යන විෂය) පිළිබඳව විද්වතුන්ගෙ අදහසට අනුව ප්රයිමේටා බුද්ධිය සම්භවය වීමට වසර මිලියන ගනනකට මත්තෙන් සාගරය තුල සම්භවය වූ සිටසියා බුද්ධිය මෙයින් එක් විකල්ප බුද්ධියකි. සිටසියා ගෝත්රය තුල ඇතැම් විශේෂ ඇත්තෙන්ම මානවයාට වඩා දියුණු සමාජීය, භාෂාමය සහ නොනැසි ජීවත් වීමේ හැකියාවන් දරයි. බ්රිටිශ් කොළොම්බියා සරසවියේ සත්ව විද්ය සහ චර්යා රටා පිලිබඳව ශාස්ත්රීය ගවේෂණ සිදුකරන ආචාර්ය ජෝන් ෆෝර්ඩ්ට අනුව ඔර්කාස් (killer whales) නමින් හඳුන්වන සිටසියාවන් විශේෂයේ විවිධ ගහනයන් තුල භාවිතාවන භාෂාව හැසිරවීමේ ඌරුව එකිනෙකට වෙනස්ය. ඔවුන් රංචු වලට ආවේණික උපභාෂා භාවිතා කරයි. එසේ ඔවුන් තනාගෙන ඇති උපභාෂාවන් කෙතරම් අදාල රංචුවලට ආවේණිකද යත් අදාල රංචුවකින් වසර ගනනාවකට පෙර අතරමංව මිනිස් ඇසුරේ ඇතිදැඩි වු ඔර්කාවකු නැවත රංචුවට සම්බන්ධ කිරීමට හැකි තරම් විශේෂත්වයක්, ආවේණිකත්වයක් උසුලයි. එමෙන්ම පැටගෝනියාව තුල සිදුවන හම්ප්බැක් තල්මසුන්ගෙ භාෂා විලාශයන් අපූරු තොරතුරු හෙලි වෙමින් පවතී.

සත්ව විද්යා විශය තුල සිටසියා අධ්යනය තරම් විශාල ලෙස සිදුවන වෙනත් කිසිඳු සත්ව කොට්ඨාසයක් නැති තරම්ය. නමුත් ලංකාව තුල සිටසියා අධ්යනය පසුගාමීම ක්ශේත්රයයි. සිටසියා අධ්යනය කොතරම් සංකීර්ණ මෙන්ම ගුප්ත විෂයක්ද කියතොත් මේ පිළිබඳව ගවේෂණය කල විද්යාඤයන් ගනනාවක්ම සිටසියාවන් හේතුවෙන් තමුන්ගෙ ජීවිතයේ අරමුණු පවා වෙනස් කර ඇත. ඩොල්ෆින් විශේෂ වසර 12 කට වඩා අධ්යනය කල ආචාර්ය ජෝන් ලිලී පවසන්නේ බුද්ධිය නැමැති සංකල්පයේ සීමාව ඇත්තෙ මානවයන්ට බැවින් සිටසියා බුද්ධිය තේරුම් ගැනීමට ඔවුන් අසමත්ව ඇති බවයි.. සිටසියාවන් පසෙකලා තමන් කවුද සෙවීමේ මෙහෙයුමක ආචාර්ය ලිලී මේ වන විට නිමග්නව ඇත. ආචාර්ය ස්පොන්ග් එසේ සිදුකල තව අයෙක්. මනෝවිද්ය ක්ශේත්රය තුලින් සිටසියා අධ්යානයට පැමිණි ඔහු සිටසියා අධ්යානයන් තුල දැකගත් බුද්ධිය හේතුවෙන් සියළු හැදෑරීම් පසෙකලා මනුශ්ය වාසයේ සිටින සිටසියාවන්ට නිදහස ලබාදීම සඳහා ව්යාපෘති මෙහෙයවයි. මොවුන් සියළු දෙනාගෙම පොදු සාධකය නම් ඔවුන් අධ්යානය කිරීමට ගිය සත්ව විශේෂය ඔවුන්ව අධ්යනය කොට ඔවුන්ගෙ හැසිරීම් වෙනස් කරවීමයි.

සියවස් ගනනාවක සිට මානවකේන්ද්රීය කැඩපත තුලින් තමන් දෙස බලා බුද්ධිය නැමැති ඔටුන්න තම හිස මතම රුවාගන්නා මානවයා කිසිම විටෙක ඩොල්ෆින් සත්වයෙකු හෝ තල්මසෙකු බුද්ධිමත් බව පිලිගැනීමට මැලිවේ. පියාඹන පීරිසයකින් පැමිණෙන හෝ දියුණු අභ්යවකාශ ගමනකින් පසු මුණ ගැසෙන ජෙලි තට්ටුවකට වූවද බුද්ධිමත් ජීවියෙකු යැයි කීමට මැලි නොවන මානවයා තමන් සමඟ පෘථිවිය තුල වාසය කරන සාගරය තුල පිහිනා යන ක්ශිරපායියකුගෙ බුද්ධිමත් බව පිලිනොගැනීමට තරම් කුහක වේ.

මේ කුහක කමට හේතුව වන්නේ වසර මිලියන අටක මානව පරිණාමය තුල බුද්ධිය මනින හොඳම සහ එකම සාධකය ලෙස මානවයා දකින 'තාක්ෂණයයි'. මස් ඉරා කෑමටත්, තමන්ව ආරක්ෂා කර ගැනීමටත් ස්වභාවධර්මය තුලින් උල් දත් සහ නිය නොලද හොමිනිඩ්වරුන් එකී අවශ්යතා සංතෘප්ත කරගත්තේ ගල් ආයුධ නිපැයුමෙනි. එදවස පටන් තාක්ෂණය සහ බුද්ධිය මිතුරන් වු අතර තාක්ෂණය නොමැති තැන බුද්ධියක් නැත යන්නත්, බුද්ධිය ඇති තැන තාක්ෂණය අනිවාර්යයෙන්ම පැවතිය යුතුය යන්නත් වන සූත්රය මානව කපාල තුල ජානගතව ඇත. එබැවින් ප්ලාස්මා තුවක්කුවක්වත්, ලැප්ටොප් එකක් හෝ ස්මාර්ට් දුරකථනයක් තියා ගල් ආයුධයක්වත් අත නැති ඩොල්ෆිනයකුගෙ බුද්ධිය මානවයාටනම් නොගිනිය හැකි සාධකයකි.

තාක්ෂණය සංකලනය වු දැක්ම තුල බුද්ධිය යනු පටු අර්ථ නිරූපනයකි. එකී පටු අර්ථ නිරූපනය නැමැති උගුල තුල මානවයන් වන අප සිරව සිටිමු. එකී පටු අර්ථ නිරූපනයෙන් ඔබ්බට පිහිටි පුළුල් අර්ථයනට හසුවන සිටසියා බුද්ධිය එබැවින් අපට ග්රහණය කර ගැනීමට අසීරුය.

ප්රාග්ඉතිහාසය විශය තුල හැදෑරීම් වලදි මා සැම විටම සිතනා එක් කරුණක් ව⁣න්නෙ හෝමෝ නියැන්ඩර්තාල්වරු අද ජීවත්ව සිටියා නම් කුමකින් කුමක් වෙයිද යන ගැටළුවයි. මානව කපාල ධාරිතාවට වඩා ඉහල කපාල ධාරිතාවක් දැරූ යුරේසියානු හිම බිම් තුල ජීවත්වු නියැන්ඩර්තාලයන් සේපියන්වරුනට වඩා බුද්ධිමත් බවට ව්යුහීය මෙන්ම සංස්කෘතිමය සාධක සාක්ෂි දරයි. ගල් ආයුධයේ සිට නියැන්ඩර් නිම්නයේ ලෙන් බිත්ති තුල ඔවුන්ගෙ දෑතින් බිහිවු ලෙන් චිත්ර සහ වැඩ දැමු කැටයම් සේපියන් ඉතිහාසයට වඩා නිර්මාණාත්මකය. නියැන්ඩර්තාල්වරු අද ජීවත්ව සිටියානම් "බුද්ධිය" අර්ථ නිරූපනයේ දැවැන්ත සංවාද පෘථිවිය තුල ඇතිවන්නට ඉඩ තිබුණි. ඒ ඔවුන් සහ අප අතර ඇතිවන බුද්ධිමය වෙනස මතය.

සැබැවින්ම ව්යුහීයව සලකා බැලු කල මානවයන්වන අපට දියුණුම මස්තිෂ්කය පිහිටයිද ? ක්ශිරපායි මස්තිශ්කය තුල පදනම් ව්යුහය වන්නෙ Paleocortex කොටසයි. 'Paleo' යන වදනින්ම ගත්කල මේ කොටස පූර්වජ උභය ජීවි/ උරග සම්භවය පෙන්නුම් කරයි. Rhinic lobe ලෙස හඳුන්වන මේ කොටස පෙර හඳුනාගෙන තිබුනෙ ගන්ධයන්ට සංවේදි කොටස ලෙසයි (ග්රීක බසින් Rhinos = නාසය), මීට උඩින් පවතින ස්ථරය Limbic lobe ලෙසත්, තෙවන කොටස supralimbic lobe ලෙසත් හඳුන්වයි. මේ කොටස් ත්රිත්වයටම ඉහලින් ඒවා වසා පවතින් සෛල ස්ථරය neocortex ලෙස හඳුන්වයි. Neocortex කියන වචනාර්ථය ගත්තොත් 'නව මොළය' කියන අර්ථය තමයි තියෙන්නෙ. මේ කොටස තුල සංකීර්ණ අක්සන සෛල, උපාගමයන් සහ අනුශාඛා මුලීක් සෛල ස්ථර පිහිටයි.

ක්ශීරපායි මොළය සහ මානව මොළය වෙනස්වන්නෙ neocortex ප්රදේශයේ ආස්තරණ මත. Neocortex ප්රදේශය වර්ධනය ඉදිරිපසට සිදුවෙන අතර මෙය බුද්ධිය පිළිඹිබු කරන අවස්ථාවක් ලෙස සලකනු ලබනවා. අන්තර් විශේෂ අතර බුද්ධිය සංසන්දනයෙදි neocortex ස්කන්ධය, cortical ප්රදේශයේ වර්ගඵලය, සහ neocortex නැමුම් වල ගැඹුර වැනි දෑ සැලකිල්ලට ගනු ලබනවා. ඊට අමතරව ගැටලු විසඳීමේ හැකියාවන්, සාංගමික හැකියාවන් සලකනු ලබනවා. උදාහරණයකට මීයකු වැනි කුඩා සත්වයෙකුගෙ සාංගමික හැකියා අනුපාතය 1:9 ඒ අනුව මොලයෙන් 90% ක් ප්රාථමික හැඟීම් දැනීම්වලටත් 10% සාංගමික හැකියාවලටත් වැය වනවා. පූසෙකුගෙ මේ අනුපාතය 1:1 යි. ඒ අනුව 50% බැගින් එය බෙදී යනවා. මානවයන් වන අප ප්රාථමික හැඟීම්, දැනීම් වැනි දෑ සඳහා යොදන ප්රතිශතය 10%. ඒඅනුව සාංගමික හැකියාවන් සඳහා වැඩිම ප්රතිශතය මානවයන්ගෙ. නමුත් සිටසියාවන් ගත් විට මේ ප්රතිශතය 1:25. ඒ අනුව සාංගමික හැකියාවන් සඳහා වැඩිම ප්රතිශතයක් මොලයෙන් වෙන් කරනු ලබන්නේ සිටසියාවන්.

අනුශාඛා සෛල, උපාගමයන්, සෛල සම්බන්ධීකරණය වැනි කාර්යන් අනුව සිටසියා මොලය මානවයන්ට වඩා ගව් ගනනාවක් ඉදිරියෙන්. ජීව විද්යවෙහි මොළයට සිරුර දක්වන අනුපාතය මත හා neocortex නැමුම් මත අප බොහෝ විට බුද්ධිය තීරණය කරනවා. මීයකු,බල්ලකු, පුසෙකු, චිම්පන්සියෙකු සහ මානවයකුගෙ මොළයන්ට අදාප සමීකරණය යෙදු විට අප ඉදිරියෙන්. නමුත් අදාල සමීකරණය ඔර්කාවකුගෙ මොළයට අදාල කල විට අප ඔර්කාවාට වඩා පසුපසින්.

ක්ශීරපායින්ට තිබෙන Rhinic, limbic, supralibic ස්ථර තුන සහ ඒ වසා පවතින Neocortex ස්ථරය වෙනුවට සිටසියාවන්ට Rhinic, lombic ,supralimbic ස්ථරවලට අමතර හතරවන ස්ථරයක් පිහිටයි. සිටසියාවන්ට හැර වෙනත් කිසිඳු ක්ශිරපායියෙකු හට මෙය නොපිහිටයි. Limbic සහ supralimbic ස්ථර අතර පිහටන මේ ස්ථරය paralimbic ස්ථරය ලෙස හඳුන්වයි.

මෙයින් සිදුවන්නෙ තවත් සීඝ්ර ලෙස සංවේදන ග්රහණය කිරීම. උදාහරණයකට කුණු බිත්තරයකින් ඔබට දමා ගැසුවොත් එය වැදීම, රිදීම, ගන්ධය සියල්ල සම්බන්ධීකරණ වී මොළයෙන් හඳුනා ගැනීමට යම්කිසි කාලයක් ගතවේ. නමුත් සිටසියාවකුට මේ සඳහා ගතවන කාලය මානවයන්ට සහ අනෙක් ක්ශිරපායින්ට සාපේක්ෂව අතිශයින්ම කෙටියි. මේ හතරවෙනි ස්ථරයත්, neocortex නැමුම් නිසාත් සිටසියා මස්තිෂ්කය අපට වඩා අතිශයින්ම දියුණුයි. තෙල්මන්ද තල්මසෙකුගෙ කපාල ධාරිතාව 9000cc ද , ඔර්කාවකුගෙ 6000 cc ද වන විට අපේ එය 1300 cc පමණ වේ, එමෙන්ම නියැන්ඩර්තාල් කපාල ධාරිතාව 1600cc පමණ වේ.

එසේ විශාල මොළයන්ට හිමිකම් කියන මේ සතුන් තාක්ෂණිකව කිසිත් නිපදවන්නෙ නැත. ඔවුනට රූපවාහිනී , රේඩියෝ, රේඩාර්, න්යෂ්ටික අවි නැත. නමුත් ඔවුන්තුල විවිධ කාර්යන් සඳහා පරිණාමිකව ලැබී ඇති දායාද පවතී. තෙල්මන්ද තල්මසෙකුට අතිධ්වනි තරංග විදීමේ හැකියාව පවතී. Clicks ලෙස නිකුත් කරන මේ තරංග මගින් ගොදුර අඩපණ කිරීමට ඔවුන් සමත්ය. සිටසියාවන් සියල්ලටම ශරිරයෙිම පවතින සෝනාර් පද්ධති පිහිටයි. එමඟින් ඔවුන් සාගරය පුරා විවිධ ස්ථාන සොයා පිහිනා යයි.
අප සබ්මැරීන තනමු. නමුත් සිටසියාවන්ට එය අවශ්ය නැත. ඔවුන් ස්වභාවධර්මය විසින් සැදි සබ්මැරීනයන් වේ. අප මානව කපාල ධාරිතාව අනුව බුද්ධි පරීක්ෂණ ඒකකයක් සත්ව විශේෂ වලට ලබා දුන්නොත් මානව කපාලය අනුව මානවයා ලකුණු 100 ලබා ගනී නම් බල්ලෙකු ලබාගන්නා ලකුණු මට්ටම 15 කි. මේ සූත්රය සිටසියාවන්ට ආදේශ කලහොත් එය 2000 කි.

අප සිටසියාවන් ගැන තවමත් දන්නෙ ඉතා සුළු ප්රමාණයකි. ඔවුන්ගෙ සංඛාත, භාෂාව ග්රහණය කරගැනීම සඳහා අප අසමත් වන්නෙ අප මොලයන් ඔවුනට වඩා ප්රාථමික බැවින්. අපට ඔවුන්ගෙ තරංග ග්රහණය කර ගැනීමට තරම් මානව මොළය සුක්ෂම නැත. එබැවින් අප කියනා දෙය ඔවුන්ට නොතේරේ, ඔවුන් කියනා දෙය අපට නොතේරේ. නමුත් අපේ සංඛාත තව දුරටත් මන්දගාමී කොට ඔවුනට ලබාදුන් විට ඔවුන් ඒවාට ප්රතිචාර දක්වයි. උදාහරණයක් ලෙස සිටසියාවන් මානව සංගීතයට ප්රතිචාර දක්වයි.

ඔබ සිටසියා සංවේදන පිලිබඳව නොදන්නා තරම්, විද්යාව තවමත් සිටසියා සංවේදන ගැන නොදන්නා තරම්. සිතන්න ඔබට තව කෙනෙකුගෙ ශරීරය හරහා නැරඹිමේ හැකියාව තිබුනාය කියා. හෘද වස්තුවට රුධිරය ගමන් කරන හැටිත්, වාතයෙන් පෙනහළු ඉහිල්වෙන හැකිලෙන සැටිත් නරඹන්න තිබුනාය කියා. සිටසියාවන්ට මේ හැකියාව පවතී. අතිධ්වනි තරංග හරහා සිටසියාවන්ට මෙය සිදු කල හැකිවේ. ඩොල්ෆිනයකුට තවත් ඩොල්ෆිනයකුගෙ ශරීරයේ පවතින පිලිකාවක් හඳුනාගත හැකිවේ. තවත් සත්වයෙකු ජලයේ ගිලීම සහ පාවීම අතර වෙනස සිටසියාවන් හඳුනාගන්නෙ පෙනහලු තුල වතුර පිරෙන ආකාරයෙනි.

ඉතින් මේ සතුන් බුද්ධිමත් නැද්ද ? කවදාක හෝ ඔවුන්ගෙ සංඛ්යාත කියවීමේ හැකියාව විද්යාව සොයාගනු ඇත. එදිනට මානව වර්ගයා ලෙස සිටසියාවන් වෙනුවෙන් උත්තර බැඳීම පහසු කාරයක් නොවනු ඇත.



(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE