Sunday, November 3, 2019

බෝදිලිමා සහ තවත් කතා... (Chameleon and other stories)


ලංකාවේ විවිධ ප්‍රදේශවල පැතිරිලා තියෙන යම් යම් මිථ්‍යා මත සහ අද්භූත යැයි පවසන ඇතැම් සංසිද්ධීන් නිරීක්ෂණය කිරීම සහ ඒවා පසුපස තිබෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම් පිළිබඳව දීර්ඝකාලයක් තිස්සේ කරුණු එකතු කිරීම මගේ විනෝදය සඳහා කරන වැඩක්. ඒවා ගැන පැහැදිලි කිරීම් විවිධ අවස්ථාවන් වල මුහුණු පොතේ සටහන් කරත් මිථ්‍යා විශ්වාසයන් තදින් ග්‍රහණය කරගත් සමාජයක් තුල ඒවා පැතිරිවීම උඩුගං බලා පිහිනීමක් වැනි අමාරු වැඩක්. 

උදාහරණයකට 'පානම් පත්තුවෙදී මා දුටු නිට්ටෑවා' උදෘතයෙන් යමක් ලිව්වොත් සමාජ මාධ්‍ය ජාල තුල එය ග්‍රහණය කරගන්නෙ ඉතාමත් ඉක්මනින්. නමුත් 'පානම් පත්තුවේ නිට්ටෑවා යනු චර්ම රෝගයක් ඇති වලසෙක්' උදෘතයෙන් පැහැදිලි කිරීම ඉදිරිපත් කල විට මිනිසුන් අකමැතී එය පිලිගන්න. පැහැදිලි කිරීමක් රහිත සංසිද්ධීන් තුල ඇති ගුප්ත බව තදින් වැලඳ ගැනීම අවිඤාණිකවම සිදුවෙන දෙයක්. පැහැදිලි කිරීමක් රහිත ගුප්ත සංසිද්ධියක් පැහැදිලි කල නොහැක්කෙ ඇයි යන්නට අතින්ද කරුණු දමා වෙනකෙකු හට පැවසීමේදි එය අසනා පුද්ගලයා විශ්මයට පත්වීම තුල කියන්නා යම් තෘප්තියක් අත්විඳිනවා. මේ තොරතුරු දාමය අඛණ්ඩව ක්‍රියාත්මක වන විට කාලාන්තරයක් තිස්සෙ එකී සංසිද්ධිය තුලින් ගොඩනැගෙන චිත්‍රය අතිශයින්ම විචිත්‍රවත් ගුප්ත බාවයෙන් අඩුවක් නැති චිත්‍රයක්.

බෝදිලිමා/බෝදිලියාගෙ කතාවත් එහෙම සිද්ධියක්. බෝදිලියා මිථ්‍යාව කාලෙකින් කනට අහන්න ලැබුනෙ නැති නිසා ඒක අමතක වෙලා තිබුනත් දින කිහිපයකට කලින් මිත්‍රයෙක් යම් ශබ්දයක් ගැන ග්‍රාම්‍ය ප්‍රදේශයකදි ප්‍රශ්න කරාම බෝදිලි අවතාර කතාව නැවත අහන්න ලැබිලා තියෙනවා. වෙනදානම් බෝදිලි අවතාර කතාව අහන්න ලැබුනම මා කෝපයට පත්වන නමුත් (මෙච්චර දියුණු කාලෙකත් මිනිස්සු මේවා විශ්වාස කරන්නෙ ඇයි කියලා) මෙවර ඒ ගැන ඉතාමත් සැහැල්ලුවෙන් ආවර්ජනය කිරීමක් සිදුකලේ බෝදිලි අවතාරය තවමත් ග්‍රාම්‍ය පෙදෙස් තුල යහතින් කල් යවන බව ඇසීමට හැකිවීමම සතුටට කරුණක් නිසා.

ඉතාමත් කෙටියෙන් පැවසුවොත් බෝදිලි අවතාරයේ ආරම්භය සිදුවන්නෙ ප්‍රසව වේදනාවත් සමඟ මිය යන කාන්තාවක් මිය යන අවස්ථාවේදි එකී ප්‍රසව වේදනාවට හේතු කාරණා වන සැමියා සහ මුළු මහත් පිරිමි සංහතියටම වෛර කරමින් මිය යෑමෙන් පසු බෝදිලියෙක්/බෝදිලිමෙක් ලෙස බිහිවීමෙන්. මේ කතාවේ විවිධ අනුවර්තන විවිධ ග්‍රාම්‍ය පෙදෙස් තුල තිබෙනවා. එකින් එක ලියන්න ගියොත් සටහන ඕනවට වඩා දීර්ඝ වෙන නිසා මේ ටික ඇති. බෝදිලියා ඉන්පසු පිරිමින් ඩැහැ ගැනීමට, ලෙඩ කිරීමට පැමිණෙන බවයි සඳහන් වෙන්නෙ. ගොම්මන් අඳුරත් සමඟ ඇඟ කිලිපොල යන ශබ්දයක් නිකුත් කරමින් පැමිණෙන බෝදිලියා ගැහැණුන්ට බියක් දක්වන අතරේ නොසරුප් වචනයෙන් බෝදිලියාට බැණ වැදුනු විට බෝදිලියා වනය දෙවනත් කරමින් පලායන බවත් මේ කතාවේ විවිධ ප්‍රාදේශිය අනුවර්තන වලින් ගන්න පුළුවන් පොදු කරුණු කිහිපයක්.

ගැබ්බර කතුන් යම් හෙයකින් මිය ගියොත් බෝදිලියෙකු බවට පත්වීම වැලැකීම සඳහා කට්ටඬියන් විසින් මෘතදේහයේ බඩ ප්‍රදේශයට ඉහලින් බුලත් මැතිරීම , බුලත් කොල ඉරීම ආදී වතාවත් සිදු කරනවා. මරණය නැමැති සංසිද්ධිය අනාදිමත් කලක පටන් මනුශ්‍ය වර්ගයා කුතුහලයෙන් පිරිවීමට සමත් දෙයක්. ඒ කුතුහලය සමඟ මරණින් මතු බිහිවන අවතාර, යක්ෂයන් ගැන කතා ලෝකය පුරාම විවිධ ශිෂ්ඨාචාර තුලින් දකින්න පුළුවන්. ඒවාත් සමඟ මියගිය පසු අවතාර, යක්ෂයන් බවට පත්වීම වැලැක්වීම සඳහා සිදුකල වතාවත් ක්‍රියාමාර්ගත් දකින්න පුළුවන්. වෛදික හින්දු සම්ප්‍රදායන් තුල මෘතදේහය ගිනි තැබීම, ඊජිප්තු සම්ප්‍රදායන් තුල අභ්‍යන්තර අවයව අතුනු බහන් කැනොපික් බඳුන් තුල තැන්පත් කිරීමේ සිට යුරෝපීයයන් යකඩ කූඩු තුල මෘතදේහ තැන්පත් කිරීම, දේහය මිනිපෙට්ටියට තබා ඇණ ගැසීම වැනි විධිචාරිත්‍ර අභිචාර ක්‍රමයන් බිහිවෙන්නෙ මේ මරණය සමඟ බැඳී ඇති කුතුහලය සහ මරණයෙන් පසු සිදුවේ යැයි සලකන ඇතැම් සිද්ධි වැලැක්වීමට. බෝදිලි වතාවත් වෙන්නෙත් එහෙම. බෝදිලියාගෙ ස්වරූපය ගැනත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට දක්වන විස්තර වෙනස්. ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ගැබ්බර කතක් මෙන් දිස්වෙන අවතාරයක් ලෙස දැක්වූවත් ඇතැම් ප්‍රදේශවල විස්තරය මනුශ්‍යකු නොවන අමනුෂ්‍ය පෙනුමක් ඇති හිස කුඩා, බඩ මහත අවතාරයක්.

බෝදිලි අවතාරය ලෙස සමාජ මාධ්‍යජාල තුල පලවන ඡායාරූපයක්

මිථ්‍යා කතාව එහෙම තියෙද්දි පැහැදිලි කිරීමට හැරුනොත් බෝදිලිමා කියලා හඳුන්වනේ සත්ව විද්‍යාවෙදි උරග ප්‍රභේදයකට. කැමීලියොනිඩේ කුලයේ කැමීලියො ගනයට අයත් සමාජිකයෙක්. ඈතින් සිටින කෘමීන්ට දිවෙන් පහරදී මුව තුලට ඇදගන්න මේ සත්වයා හෙමින් ගමන් යන ඉතාමත් දක්ෂ ලෙස අවට පරිසරයේ වර්ණ රටාවලට අනුගත විය හැකි සමත්කම් දරන සත්වයෙක්. කැමීලියන් එහෙම නැත්තන් සිංහලෙන් බෝදිලිමාට පෙර කී ශබ්දයන් නිකුත් කිරීමේ හැකියාව නැහැ. එහෙනම් ශබ්ද ඇතිවන්නෙ කොහොමද ?

බෝදිලිමා (Chameleon)

ගොම්මන් අඳුරත් සමඟ එලි බසින සත්ව ප්‍රජාව අප දහවලදි දකින සත්වයිනට වඩා චර්යාමය අකාරයෙන් සහමුලින්ම වෙනස් සත්වයන්. උදේ සහ දහවලදි සිය වර්ගයා ආකර්ශනය කරගැනීමට සමත් කන්කළු නාද රටා, වර්ණවත් පියාපත් දරණ පක්ශින් සතු උපක්‍රම රාත්‍රියේදි නිශ්ඵලයි. අඳුරු වර්ණ රටා සහ ඉතාමත් තීව්ර ලෙස අඛණ්ඩව සිදුකල හැකි ශබ්ද රටා තමයි නිශාචරයන්ට තිබෙන්නෙ. මේ වෙනස්වීම් ක්ශීරපායීන් තුලත් දකින්න පුළුවන්. එමෙන්ම රාත්‍රීයේදි විලෝපිකයන් අතින් මිය යන සත්වයන් නිකුත් කරන මරණයේ ශබ්දය රාත්‍රී අඳුරත් එක්ක ලොමුදැහැ ගැන්වෙන අයුරින් පැතිර යන ශබ්දයන්. 

බෝදිලිමාගෙ ශබ්දය ලෙස විවිධ ප්‍රාදේශිය කතා තුල ගැමියන් පෙන්වන ශබ්දයන් අයත් වන්නෙ මේ නිශාචර වාසීනට. අඳුන් දිවියන්, හම්බාවන් , බස්සන් විශේෂ වගේම නිශාචර කොක් විශේෂ වැනි ඇස නොගැටෙන කුලෑටි වන සතුන් මේ ශබ්ද මාලාවේ අයිතිකරුවන්. රාත්‍රී කාලයේදි ගොහොරු ප්‍රදේශ තුල ඇවිදින්න යන එක මගේ එක් පුරුද්දක්. මේ ජලජ පරිසර පද්ධතිය තුල දඩයමේ යෙදෙන පක්ශි විශේෂ 60% ක් පමණ නගන ශබ්දයන් තීව්රතාවයෙන් වැඩි ශබ්දයන්. සුලඟත් සමඟ මේ හඬ මුසුවීම තුල ගොහොරුවෙ අනෙක් කෙලවරට එම ශබ්දයන් ඇසෙන ආකාරය වෙනස්. ස්වභාවධර්මය තුල මේ ධ්වනි ඇතිවෙන මැකී යන ආකාරය සිත්ගන්නාසුළුයි. ගොහොරුවේ නිරීක්ෂණය කල හැකි නිශාචර දඩයම් කරුවන් අන් ප්‍රදේශ තුල වෙල් නියර මත මේ දඩයම දියත් කරනවා. ඒ අවස්ථා තුල ඇතිවන්නෙත් ගැමියාට වඩාත් සමීප ලෙස පෙරකී ධ්වනි තරංග හැසිරීම. 

ශබ්දය ඇතිවන අවස්ථාව මඟහරිනවා හැරෙන්නට එය කුමක්ද යන්න සමීප වී නිරීක්ෂණය කිරීමට ඇති බිය තුල මිථ්‍යාව තව තවත් සමීප වීම මිස පැහැදිලි කිරීමක් නොලැබේ. බෝදිලියා බෝදිලිමා මෙන්ම උලමා/යක් කුරුල්ලාද එවන් මිථ්‍යාවක්. උලමකු හැඬු විට ගමේ මරණයක් යන්නට පැලපදියම් වී තිබෙන කතාවත් නිශාචර පක්ශින් අරබයාම ඇතිවී තිබෙන සංසිද්ධියක්. උලමා හැඬු නිසා මරණය නොව මරණය ඇසු විට උලමා සම්බන්ධ කර ගැනීම නිසා අවිඤාණිකවම මිනිසුන් සමත් වෙලා තිබෙනවා උලමා වැරදිකරුවා කිරීමට. නමුත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ උලමාගෙ 'මූසල හඬ' වෙනස්. හඬේවෙනස නොව ඇසූ විට බිය ගැන්වෙන ශබ්දය දෙස සහ මරණයේ කතාවට අවධානය යොමු කරන ගැමියාට නැවත අතපසු වන්නෙ නිරීක්ෂණය. බොහෝ ප්‍රදේශ තුල උලමා ලෙස හඳුන්වන ශබ්දයේ අයිතිකරුවා Bubo nipalensis. රාත්‍රී සංචාරයේ යෙදෙන තවත් බස්සන් විශේෂයක් වන Strix leptogrammica ගෙ ඇතැම් ශබ්ද රටාවන්ද යක්කුරුල්ලාගෙ මරණයේ ශබ්දය ලෙස ගැමියන් හඳුන්වයි. මීට අමතරව රාජාලි , කොක් විශේෂ, පිළිහුඩුවන් ආදීන්ගෙ ශබ්ද මාලාවක්ම මේ උලමා නැත්තන් යක්කුරුල්ලාගෙ මූසල හඬ ලෙස විවිධ ප්‍රදේශ තුල හඳුන්වනවා.

කවුරුන් හෝ බෝදිලිමෙක්, උලමෙක් ලෙස හඳුන්වන ශබ්දයක් ඇත්නම් සමීපව නිරීක්ෂණය කරන්න. ඒ පිටුපස සිටින වනජීවියා හඳුනාගන්න උත්සහ කරන්න.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment