Thursday, October 15, 2020

කුරු අලි (Dwarf Elephants)


කුරු අලි ගැන බොහෝ දෙනෙක් විමසා සිටින නිසා ඒ ගැන සටහනක්.

'වලව කොටා' ගෙ නව ඡායාරූප කිහිපයක් නැවත සංසරණය වෙනවා දැක්ක නිසා පොඩි සටහනක් ලියන්න ඕන කියලා හිතුනා. 'කුරු අලි' ගැන ලංකාවෙ කතා ගොඩක් තියෙනවා. සිරිපාදෙ කුරු අලි ඉන්නවය, උන් පේන්ට එන්නෙ නෑය වගෙ කතා එක්ක හැදුන වෘතාන්ත නිසා කුරු අලි බලන්න සමනල රක්ශිතයට ගිහින් අතරමං වුන අවස්ථාත් අපි පහුගිය කාලෙදි දැක්කා.
 
"වලව කොටා"
 
මුලින්ම කියන්න ඕන දේ තමයි කුරු අලි කියලා අලි විශේෂයක් ලංකාවෙ නෑ. ලංකාවෙ ඉන්නෙ ආසියානු අලි වන Elephas maximus විශේෂයේම ලංකාවට පමණක් ආවේණික උප විශේෂය වන Elephas maximus maximus. ලංකාව පුරාම පැතිරිලා ඉන්නෙ මේ උප විශේෂය. සිරිපාදෙ කුරු අලි ඉන්න කතාවට නම් පදනමක් නෑ. සිරිපාදය අවට ඉන්නෙත් සාමාන්‍ය අලි. රජරට ප්‍රදේශයට වන්නට සිටින්නෙ විල්ලු අලි සහ තෙත් කලාපයේත් රුහුණු ප්‍රදේශයෙත් දක්නට ඇත්තෙ කුරු අලි / රුහුණු ගැටව් ආදී බෙදීම් අහන්න ලැබෙනවා. නමුත් වර්තමානයේදි එහෙම බෙදීමක් නෑ. මහවැලි ගඟෙන් උතුරට වන්නට පිහිටි ප්‍රදේශය සාරවත් විල්ලු පරිසර පද්ධති තිබෙන ප්‍රදේශයක්. ගල්ඔය, සෝමාවතිය, ජලගැලුම් නිම්නය වගේ වනෝද්‍යාන ආශ්‍රිතව සිටින අලි සහ තෙත් කලාපීය අලී ඒ ඒ ප්‍රදේශවලට කලකට ඉහත ආහාර රටාවන්වල වෙනස ආශ්‍රිතව සුළු අනුවර්තන ඇතිව ජීවත් වන්නට ඇතිමුත් දැන් එහෙම බෙදීමක් සිදු කරන්නෙ නැහැ. ඒ වගේම හෝර්ටන් තැන්නෙ කුරු අලි සිටි බව වාර්තා වුනත් එහි තිබෙන අස්ථිමය සාධක නිරීක්ෂණය කරාම ඔවුන්ගෙ කුරු බවක් දකින්නට නැහැ. කුරු අලි කියලා වෙනම ජාතියක් නැති බව කොතරම් ප්‍රකාශ කරත් විවිධ කණ්ඩායම් ඒවා විශ්වාස කරන්නෙත් නැහැ.

දැන් මේ වලව කොටාගෙ පින්තූරෙත් එක්ක කුරු අලි ගැන කතාව ලියවිලා තිබුනා. වලව කොටා කියන්නෙ ජාන විකෘතිතාවක් නිසා ඇතිවුන කුරු අලියෙක් පමණයි. දැනට ලෝකෙ ඉන්න එකම ආසියානු කුරු අලියා මේ වලව කොටා. වලව කොටාගෙ කුරු තත්වයට කියනවා disproportionate dwarfism කියලා. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් බැලු බැල්මට අවයව අතර අසමාන බවක් පේනවා. ශරීරයේ පපුව, බඩ ප්‍රදේශය සාමාන්‍ය ප්‍රමාණයෙන් පිහිටලා තිබුනට ඒ කොටස් වලට සාපේක්ෂව අත් පා කෙටි ලෙසයි පිහිටන්නේ. වලව කොටාව දැක්ක ගමන් මේ ලක්ෂණ හඳුනගන්න පුළුවන්. හැබැයි කොටා අයිති වෙන්නෙත් E.m maximus විශේෂයට මිසක් වෙන අමුතු කොටසක් නෑ.

කුරු බවේ තවත් ප්‍රධාන ආකාරයක් තමයි Proportionate dwarfism. මේකෙදි අර පෙරකී අවයව අතර අසමානතාවන් නෑ. සාමාන්‍ය සත්වයාම ප්‍රමාණය පමණක් කුඩා වෙලා තියෙනවා. Proportionate dwarfism කුරු බවට ගොඩක් වෙලාවට හේතු වෙන්නෙ ප්‍රධාන මහද්වීපයට සම්බන්ධ වෙලා තිබුන ගොඩබිම් දූපත් ලෙස වෙන් වෙලා යද්දි ඒ සමඟ වෙන්වෙන සත්ව කාණ්ඩ දූපත් ජීවිතයට අනුවර්තනය වෙමින් කුඩා ප්‍රමාණයන්ට පරිණාමිකව විශේෂනය වීම. මධ්‍යධරණීය කලාපයේ දුපත් වල ක්‍රීටය, සයිප්‍රසය , මෝල්ටාව, සිසිලිය, සාර්ඩීනියාව, ඩොඩෙකනීස් දූපත් ආදියෙන් ප්ලයස්ටොසීන යුගයට අයත් කුරු අලින්ගෙ ෆොසිල වාර්තා ලැබිලා තිබෙනවා. ඔවුන් මම දැන් සඳහන් කරපු Proportionate dwarfism වලට උදාහරණ. මේ අතරින් ක්‍රීට දුපත්වල විසු වඳව ගිය කුරු ක්‍රීට මැමත් ගැන මීට පෙර පරිණාමික දිනපොත තුලින් කතා කරලා තියෙනවා. (ප්ලයස්ටොසීන යුගයෙන් පසු ඔවුන් නශ්ඨව ගොස් තිබෙනවා). 

වලව කොටා සහ කුරු අලි කතාව පටලවගන්න එපා. කොටා කියන්නෙ මිලියන ගනනකින් එක් අහඹුතාවක්. ඉතාමත් මෑතකදි කොටා වගේම තත්වයකින් පෙලෙන තවත් ගැහැණු සත්වයෙකුත් වලව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
 
සිරිපාදෙ අලින්
 
මේ ඡායාරූපයෙ ඉන්නෙ අනිල් විතානගෙ මහත්මයා කාලෙකට කලින් සිරිපාදෙ අලින්ගෙ ගත්ත ඡායාරූපයක් (පලාබද්දල රූට් එකේ ධර්මරාජ ගල හරියේ ) සාමාන්‍යයෙන් පේන්න තියෙනවා ඔවුන්ගෙ කුරු බවක් නැති බව.


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment