Wednesday, November 4, 2020

ලස්කෝ (Lascaux, complex of caves)


1940 වර්ශයේ සැප්තැම්බර් 12 වෙනදාවක ප්‍රංශයේ ලස්කෝ ගුහා සංකීර්ණය සොයාගනු ලබනවා තරණයන් සිව්දෙනෙකු විසින්. ඉතාමත් කුඩා ගුහා විවරයක් තුලට ඔවුන්ගෙ සුරතල් සුනඛයා පසුපස යමින් තමයි මේ සොයාගැනීම සිදු වෙන්නෙ.
 
ඉහල පැලියොලිතික අවධියට අයත් වසර 17000 පමණ පැරණි ගුහා චිත්‍ර 600 පමණ ලස්කෝ අභ්‍යන්තර ගුහා බිත්ති පුරා දැකගන්න පුළුවන්. ප්ලයස්ටොසීන යුගය අවසාන භාගයට වන්නට පුරාණ මානවයන් දඩයම්කල, ඔවුනට මුණගැසෙන සතුන් ආදීය විචිත්‍රවත් ලෙස මේ ගුහා බිත්ති තුල සටහන්ව පවතිනවා. ගුහා බිත්ති තුල ඇති නැමුම් දාර ආදිය චිත්‍රවල ජීවමාන බව සහ විවිධ හැඩතල ඉස්මතු කිරීමට යොදාගෙන තිබෙනවා.
 
පුරාවාද්‍යඥයන් විශ්වාස කරන්නෙ ආදී මානවයන්ගෙ පරම්පරා ගනනාවක් මේ ගුහාව මේ ආකාරයෙන් යොදාගත් බවයි. ඇතැම් මත වලට අනුව ලස්කො යනු පුරාණ මානවයන්ගෙ දෙවොලකට සමාන තැනක්. පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් මේ ස්ථානයේ සිතුවම් නිර්මාණය කර භාවිතා කර ඇති ආකාරය ගැන සාක්ශි මේ ගුහා සංකීර්ණ පුරාම දැකගන්න පුළුවන්. එකල ආලෝකය ලබාගැනීමට භාවිතා කල මූලාශ්‍ර වල දැලි සටහන් පවා මේ ගුහාව තුල සංරක්ෂණය වී පවතිනවා.
 
ලස්කො ගුහා සංකීර්ණය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ස්ථානයක්. සැබවින්ම ඉතාමත් අලංකාර මෙන්ම විශ්මය උපදවන ස්ථානයක්. ලෝකය පුරා 'ශිෂ්ඨාචාර' ලෙස හඳුන්වන සංස්කෘතීන්හී කාල පරාසයන් දිවෙන්නෙ වසර 6000 පමණ අතීතයට. නමුත් ලස්කො සිතුවම් වසර 17000 පැරණියි. අනුරාධපුර යුගයට වඩා වසර 14500 පැරණි නිර්මාණ තමයි මෙහි පවතින්නේ. ප්ලයස්ටොසීනයේ අවසන් භාගයට වන්නට අධික ශිතලත් සමඟ පැතිර ගිය තෘණ භූමි තුල සැරි සැරූ මුවන්, ප්‍රාග්ඓතිහාසික අශ්ව විශේෂ, නූතන ගෘහාශ්‍රිත ගවයන්ගෙ පූර්වජයන් ලෙස සලකන අවුරොක්, අයිබෙක්ස්, බයිසන්, සිංහයන්, වලසුන් මේ චිත්‍ර තුල දකින්න පුළුවන්. වර්තමාන යූරෝපය තුල මේ සත්ව විශේෂ නොමැති වුනත් එකල සිටි බවට ජීවමාන සාක්ශි තමයි ලස්කෝ චිත්‍ර.
 
ලස්කෝහි සිතුවමක්

අවාසනාවකට අද සංචාරකයන් සඳහා ලස්කෝ විවෘත නැහැ. අධික සංචාරකයන් ප්‍රමාණයක් නිසා පිටවන CO2 ප්‍රමාණය ඇතුළු තවත් හේතු ගනනාවක් නිසා මේ චිත්‍රවලට හානි වෙන්න පටන් ගැනීමෙන් මේ ස්ථානය වර්තමානයේදි සංචාරකයන්ට තහනම්. ලස්කො ගුහාවේ ප්‍රතිනිර්මාණයක් තමයි දැකගන්න පුළුවන් වෙන්නෙ. ප්‍රංශ බළධාරීන් මේ ලෝක උරුමයට හානි වෙනවා යැයි වටහාගත් විට "ලංකාවේ බළධාරීන් වගේම" ඉතාමත් ඉක්මන් ක්‍රියාමාර්ග අරන් තියෙනවා ඒක රැකගන්න.


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
 
 
 
#DOE


 
 

No comments:

Post a Comment