Wednesday, October 23, 2019

ලක්දිව ප්ලයස්ටොසීන සත්ව සන්තතිය (Pleistocene fauna in Sri Lanka) - 04


ලක්දිව ප්ලයස්ටොසීන සත්ව සන්තතිය (Pleistocene fauna in Sri Lanka) - 03


ලංකාවේ ප්‍රාග්ඓතිහාසික සිංහයන්


ප්ලයස්ටොසීන යුගය කියන්නෙ අදින් වසර මිලියන 2.58 කට පෙර ආරම්භ වෙලා අදින වසර 11650 දි පමණ අවසන් වෙන භූ යුගය. මේ භු යුගය තුල පෘථෘවිය මත පාරිසරික, දේශගුණික විචලනය වීම් අතිමහත් ප්‍රමාණයක් සිදුවුනා. ඔබ හොඳින් අහලා තියෙන අවසන් හිම යුගය ඇති වුනෙත් මේ කාලයේදිම තමයි. මේ යුගය තුල ලෝකයේ විවිධ පාරිසරික නිකේතන තුලට අනුවර්තනය වු විලෝපික බිළාලයෙක් තමයි සිංහයා. සිංහ විශේෂ ගනනාවක් මේ යුගය තුල ලෝකයේ විවිධ ප්‍රදේශවල ජීවත් වුනා.

මේ පැතිරීම ගැන අවබෝධයක් එන්න ඔබට කුඩා උදාහරණයක් දෙන්නම්. අද ඇමරිකාව හෝ යුරෝපය තුල සිංහයන් ස්වාභාවිකව ජිවත් වෙනවා කියලා ඇහුවම එය ඇතැම්විට විහිළුවට කාරණයක් වෙන්න පුළුවන්. සිංහයන් කිව්වම එකපාරම මතක් වෙන්නෙ අප්‍රිකා මහද්වීපය. නමුත් ප්ලයස්ටොසීන යුගයෙදි ඇමරිකානු තෘන භූමි තුලත්, යුරෝපා තෘන භූමි තුලත් දඩයම් කල විශාල සිංහ විශේෂ ජීවත් වුනා. ඒ විතරක් නෙමෙයි වර්තමානයේදි සිංහයන් ජීවත් වෙන්නෙ සැවනා තෘණ භූමි ආශ්‍රිතව නමුත් ප්ලයස්ටොසීන යුගයේදි ඇතැම් සිංහ විශේෂ හිම බිම් තුල පවා ජීවත් වුනා. Cave lions, ගුහා සිංහයන් කියන්නෙ එවැනි විශේෂයක්. මීට අමතරව ස්ටෙප් තෘණ භූමි, වනාන්තර ආදියේ මේ අපූරු සත්ව කාණ්ඩය අඛණ්ඩ පැතිරීමක් පෙන්වුවා ප්ලයස්ටොසීන අවධියේදි.

ප්ලයස්ටොසීන සිංහ විශේෂයක ප්‍රතිනිර්මාණයක් 

ප්ලයස්ටොසීන යුගයේදි අප්‍රිකානු සැවනා බිම් ලෝකයේ මධ්‍ය අක්ෂාංශ පුරාම පැතිරෙන්න හේතුවක් තියෙනවා. ග්ලැසියර් අවධියක්, එහෙහ නැත්තන් හිම යුගයක් ඇතිවෙන විට සාමාන්‍යයෙන් උතුරු අර්ධගෝලයේ හිම වැස්ම අද දකින සීමාවන්ට වඩා පහතට ඇදෙනවා. ග්ලැසියර වැස්ම මෙහෙම පහතට දිග හැරෙද්දි ඉතාමත් දරුණු ශීත දේශගුණයකින් උතුරු අර්ධගෝලය වෙලාගන්නවා. මේකෙ අතුරු ප්‍රතිඵලය වෙන්නේ මධ්‍ය අක්ෂාංශ තිබෙන පෘථෘවිය වටා පටිය (ආසන්න වශයෙන් කිව්වොත් මකර සහ කර්කටක නිවර්තන පටිය) ආසන්නයේ තිබෙන ආර්ද්‍රතාව, තෙත ගතිය ඉහළ අක්ෂාංශ වලට ඇදලා ගන්නවා. ප්‍රතිඵලය තමයි මධ්‍ය අක්ෂාංශ වල වියලි කාළගුණය. බොහෝ වෙලාවට මේ පැතිවල ශුෂ්ක, අර්ධ ශුෂ්ක , කාන්තාර රටා පැතිරෙනවා. තෘණ භූමි, සැවනා පැතිරෙන්න සාධනීය තත්වයන් පෘථෘවිය පුරා පැතිරෙන්නෙ එහෙම. (මේක මීට වඩා සංකීර්ණ කතාවක් නමුත් සාරාංශය මෙහෙමයි)

දැන් උතුරු අර්ධගෝලයේ හිම වැස්ම වැඩි වෙද්දි තවත් එක් ප්‍රධාන අතුරු ඵලයක් දකින්න පුළුවන්. ඒ තමයි පෘථෘවියේ සාගර මට්ටම් සීඝ්‍ර ලෙස පහත බැසීම. ලෝකයේ සාගර ජල පරිමාවෙන්ම කොටසක්නෙ උතුරු දකුණු අර්ධගෝල තුල හිම බවට පත්වෙන්නෙ. එහෙමනම් සාගර ජලය වැඩි වශයෙන් හිම බවට පත්වෙද්දි සාගර ජලය ප්‍රමාණය පහත බසිනවා. ග්ලැසියර් සමයන් තුලදි මේ පහත බැසිම වර්තමාන සාගර මට්ටම් වලට වඩා අඩි 300 එපිටින් යන බැස්මක්. 

දැන් හිතන්න අද තිබෙන සාගර මට්ටමට වඩා අඩි තුන්සීයක් පමණ ජල මට්ටම බැස ගියොත් කුමක්ද සිදුවන්නෙ? විශලෙ ගොඩබිම් ප්‍රමාණයයක් නිරාවරණය වෙන්න පටන් ගන්නවා. ලංකාව ගත්තොත් ඉන්දියාව සමඟ කිලෝමීටර 100 පමණ භූ කලාපයකින් සම්බන්ධ වීම සිදුවෙනවා. ඉන්දියාවේ ඉඳන් ලංකාවට පයින් ඇවිදගෙන එන්න පුළුවන්. දැනට සිදුකර ඇති පර්යේෂණ තුලින් පෙන්වන්නේ ලංකාව සහ ඉන්දියාව අතර ප්ලයස්ටොසීන යුගයේදි පමණක් 17 වතාවක් පමණ වරින් වර මේ ගොඩබිම් සම්බන්ධය ඇතිවී නැතිවී තිබෙනවා. අවසන් වතාවට සම්බන්ධ වෙන්නෙ වසර 7000 පමණ පෙරදි.

මේ සම්බන්ධය හේතුවෙන් තමයි ලංකාවට මහද්වීපික සත්ව සන්තතිය වරින් වර සංක්‍රමණය වෙන්නෙ (මිනිසුන් ඇතුළුව). මෙහෙම ලංකාවට ඇතුළු වුන සත්වයින් අතරේ සිංහ විශේෂයක් සිටි බවට තහවුරු වෙන සාධක දෙකක් ලැබෙනවා රත්නපුර , කුරුවිට ප්‍රදේශයෙන්. ඒ තමයි සිංහ රදනක දතක් සහ චාර්වක දතක්. මේ ෆොසිල සොයාගනු ලබන්නේ P.E.P දැරණියගල මහත්මයා විසින්. එතුමා ලංකාවේ පුරාජෛව විවිධත්වය අධ්‍යනය තුල පුරෝගාමියා විදිහට හඳුන්වන බව පසුගිය ලිපි වලදි සඳහන් කරා.

දැරණියගල මහත්මයා විසින් සොයාගත් සිංහ චාර්වක දත

දැන් මේ ලැබෙන සිංහ දත් සාපෙක්ෂ වශයෙන් කාලනීර්ණය කරන්නෙ වසර 120,000 පෙර යුගයකට අයත් ලෙස. මේ සිංහ විශේෂයට Leo sinhaleyus විද්‍යාත්මක නාමය දැරණියගල මහත්මයා විසින් ලබා දෙනවා. නමුත් මේ විශේෂයේ රූපවිද්‍යාත්මක ආකාරය ගැන සඳහනක් කරන්න තරම් ෆොසිල සාධක අපට තවමත් හමුව නැහැ. ලංකාවේ සිංහයන් යම් කිසි කාලයකදි සිටියා කියන්නට පමණක් මේ සාක්ශි අනුව හැකියාව තිබෙනවා. 

මෙතනදි වටහාගත යුතු අනෙක් කාරණය තමයි මේ සාපේක්ෂ කාලනීර්නයනට අනුව සිංහයන් ජීවත්ව තිබෙන්නේ නූතන මානවයන් ගැන ලංකාවේ හමුවන පැහැදිලි සාක්ශි හමුවීමට බොහෝ කාලයකට කලින්. 

වර්තමානයේදි ආසියානු සිංහයන් ජීවත්වන එකම ප්‍රදේශය වන්නෙ ඉන්දියාවෙ ගීර් රක්ශිතය. ගීර් වල අවසාන වතාවට මම හොයලා බලද්දි සිංහයන් 600 වගෙ ප්‍රමාණයක් සිටියා. මේ ආසියාතික සිංහයන් යම් කාලයකට පෙර ආසියාව පුරාම ව්‍යප්තව සිටියා. ඉන්දියාව, ඉරානය, පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය, ඉරාකය, මැද පෙරදිග කලාපය ආදියේ ජීවත් වු මේ ආසියාතික සිංහයන් අප්‍රිකානු සිංහයන්ට වඩා රූපීයව වෙනස්. මොවුන්ගේ කේශර අඩුවෙන් පිහිටන්නෙ. වැලමිට ප්‍රදේශයේ ලොම් වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ ආසියානු සිංහයන්ගේම කොටසක් භූගෝලීයව තිබෙන ආසන්නතාව නිසා ලංකාවට පැමිණියි කියලා අනුමාන කරන්න පුළුවන්.

කොහොම නමුත් ලංකාවේ සිංහ ඉතිහාසය මෙහෙමයි. ප්ලයස්ටොසීන යුගයේ යම් කිසි කාලයකදි මේ කුඩා දූපතත් වියළි සමයකට මුහුණ දෙනවා. ඒත් එක්කම මේ සුපිරි විලෝපිකයන් මේ දූපතටත් සංක්‍රමණය වෙනවා. නමුත් විශේෂයක් විදිහට ඔවුන් මේ දූපත තුල පැතිරී, වර්ධනය වී නැහැ.

ආසියානු සිංහයන්

(සිංහ චාර්වක දතෙහි ⁣ඡායාරූප අයිතිය - කැලුම් මනමේන්ද්‍රාරච්චි මහත්මා
අනෙක් ඡයාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE

No comments:

Post a Comment