Sunday, August 4, 2019

ක්‍රිටැසියස් පෘථිවිය (Cretaceous Earth)


ක්‍රිටැසියස් යුගය මුල්, මධ්‍ය සහ පසු ලෙස කොටස් ත්‍රිත්වයකට බෙදන්න පුළුවන්. පිලිවෙලින් මේ අවධි වලදි පෘථිවියේ භූ ගෝලීය ව්‍යප්තිය තමයි පහත ඡායාරූපය තුල ඔබ දකින්නෙ.

ක්‍රිටැසියස් මුල්, මධ්‍ය සහ පසු අවධි ත්‍රිත්වයේදී පෘථිවියේ භූ ගෝලීය ව්‍යාප්තිය

මුල් ක්‍රිටැසියස් අවධියේදි ඉන්දියාව, මැඩගස්කරය, සහ ලංකාව තිබු භූමි ප්‍රදේශය ඇන්ටාර්ක්ටිකාවට ගෑවී නොගෑවී තිබී ක්‍රමයෙන් උතුර⁣ට තල්ලු වෙමින් යන ආකාරයත්, ඉන්දියානු භූ තැටියෙන් මැඩගස්කරය වෙන්වී යන ආකාරයත් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්.

ඔස්ට්‍රේලියානු දූපත නිර්මාණය වන ආකාරයත්, එය ඇන්ටාර්ක්ටිකාවට සම්බන්ධ වන ආකාරයත් ඔබට දැකගන්න පුළුවන්.

ඒ වගේම උතුරු ඇමරිකානු ප්‍රදේශය දෙස හොඳින් නිරීක්ෂණය කරන්න. මුලින් තිබු භූමි ප්‍රදේශය කැබලි වලට ගැලවී යන ආකාරය ඔබට දකින්න පුළුවන්. පසු ක්‍රිටැසියස් අවධියේදි උතුරු ඇමරිකානු කලාපයේ බටහිර කොටස 'ලැරමීඩියාව' ලෙසත්, නැගෙනහිර කොටස 'ඇපලාචීයාව' ලෙසත් නම් කරනු ලබනවා. මේ කොටස් තුලින් හමුවන ඩයිනෝසර, ටෙරෝසොර් ආදී ජීවි විශේෂ වල විවිධත්වය අතිශයින්ම වෙනස්. කොටස් දෙකට ආවේණික සත්ව සන්තතීන් දැකගන්න පුළුවන් ෆොසිල සාධක තුලින්.

ලැරිමීඩියාව සහ ඇපලාචීයාව වෙන් කරමින් තිබෙන්නෙ වෙස්ටර්න් ඉන්ටීරියර් සමුද්‍රය සහ හඩ්සන් සමුද්‍රය. අද මෙම සාගර කලාප ගොඩබිම්.නමුත් එකල සාගර ජීවීන්ගෙ ෆොසිල මෙම භූමි තුලින් හමුවෙනවා.

ඒ වගේම ඔබට දකින්න පුළුවන් මුල් ක්‍රිටැසියස් යුගය තුල උතුරු ඇමරිකාවට සම්බන්දව තිබු ග්‍රීන්ලන්ත දූපත වෙන්ව යන ආකාරය. ග්‍රීන්ලන්තය තුලින් ඩයිනෝසර ෆොසිල මෙන්ම ඊටත් වඩා ඉපැරැණි ජීවීන්ගෙ ෆොසිල හමුවෙන කලාපයක්.

ඔබට පේනවා ඇති භූගර්භ විද්‍යාව, භූගෝලය සහ ෆොසිල විද්‍යාව අතර අන්තර් සබඳතාව.  විශේෂ ව්‍යප්තිය, පරිණාමික සබඳතා තේරුම් ගැනීම සඳහා මෙකී විෂයන් අත්‍යවශ්‍ය විෂයන්. ඒ වගේම ඔබට පැහැදිලි විය යුතුයි ෆොසිල වාර්තාව යනු පස් ලේයර් එකක් මත එකක් පිහිටී පොතක් මෙන් පැහැදිලි වාර්තාවක් නොවන බව. මේවා එකින් එක ගැටෙන තැන් සහ ව්‍යතිරේක පිහටනවා. උදාහරණයකට ලැරිමීඩියාව සහ ඇපලාචියාව අතර ප්‍රදේශයේ ක්‍රිටැසියස් ෆොසිල වෙනස් ආකාරයක් ගන්නෙ එකල එම ප්‍රදේශ මුහුදු පතුලක්ව පැවති නිසයි. ඔස්ට්‍රේලියාව තුල අනෙක් ප්‍රදේශවලට වඩා වෙනස්ම ආකාරයක පරිණාමයක් සිදුවන්නෙ ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ අනෙක් ගොඩබිමි් හා සබඳතාවක් නොමැති හුදෙකලා භූමියක් ලෙස පැවති නිසයි.

හිමවලින් වැසී ගිය උතුරු අර්ධගෝලයට අයත් භූමි තුලින් ඩයිනෝසර ෆොසිල හමුවන්නෙ එකල එම ප්‍රදේශ වෙනත් ස්ථානවල පැවති නිසයි.

ජිග්සෝ ප්‍රෙහෙලිකාවක් බඳු පෘථිවි ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා මේ සියළු සාධක වැදගත්. එකින් එක පරීක්ෂණ , නිරීක්ෂණ, උපකල්පන, ආදී දෑ තුලින් එය නැවත ගොඩනැගිය හැකි අතීතයක්.


(ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment