Wednesday, August 7, 2019

භීතියේ පක්ශියා (Terror Bird)


මීට පෙර ලිපියක ඉයෝසීන අවධිය තුල යුරේසියාව තුල අණසක පැතිරවු සුපිරි විලෝපික එන්ටීලඩොන්ටයන් ගැන මා සඳහන් කලා. මේ කතා කරන්නෙ සෙනොසොයික අවධිය තුල දකුණු ඇමරිකානු කලාපය සිය අණසකට නතුකරගෙන සිටි භීතියේ පක්ශීන්, එසේත් නැත්තම් 'ටෙරර් බර්ඩ්ස්' සත්වයන් ගැනයි.

සෙනෝසොයික අවධිය යනු ක්ශීරපායින්ගෙ කූටප්රාප්තිය සිදුවු අවධිය. ක්රිටැසියස් නශ්ඨවීමෙන් පසුව යෝධ සත්වයන්ගෙන් හිස් වෙන පෘථෘවිය වසර මිලියන ගනනකින් පසු ඇතිවෙන සෙනොසොයිකයේදි නැවත යෝධයන්ගෙන් පිරෙනවා. මෙවර එය පෙර මෙන් උරගයන් නොව ක්ශිරපායි යෝධයන්ගෙ ලෝකයක්. ටෙරර් බර්ඩ්ස්ලා ඇතිවෙන්නෙ මේ ක්ශිරපායින්ගෙන් පිරි ඉතිරී යන පෘථෘවිය තුල.

ටෙරර් බර්ඩ්ස් කියන පොදු නමක් භාවිතා කරාට මොවුන් අයත් වන්නෙ ෆොරස්රැසිඩ්ස් කියන කුලයට. මීටර් 1 සිට මීටර් 4 පමණ උස පරාසයක වැඩෙන ශක්තිමත් ⁣විශාල හොටක් සහ වේගයෙන් දිවීම සඳහා සකස්වු ගාත්රා සහිත මේ පක්ශීන් වසර මිලියන 62 කට එපිටින් වු සෙනොසොයික අවධියේ සිට වසර මිලියන 1.8 පෙර පහලවු ප්ලයස්ටොසීන යුගය දක්වාම විශේෂනය වෙමින් පැවත ඉන්පසුව නශ්ඨව යනවා.

ෆොරැසිඩ් ප්‍රතිනිර්මාණයක්

දකුණු අමරිකානු කලාපයේ ජීවත් වු මේ ෆොරැසිඩ්ස් විශේෂ වලින් එකම එක් විශේෂයක් දකුණු හා උතුරු අමරිකානු කලාප යා කරමින් බිහිවෙන පැනමා භූ තැටිය ඔස්සේ උතුරු ඇමරිකාව තරණය කරනවා. ඒ තමයි ටයිටැනිස් වොලරි කියන ෆොරැසිඩ් විශේෂය.

මේ සත්වයන්ගෙ හමුවී ඇති ෆොසිල සාධක මත සිදුකර ඇති පර්යේෂණවලට අනුව මොවුන්ට පැයට කිලෝමීටර 48 දක්වා වේගයක් ජනනය කිරීමට හැකියාව තිබු සත්ව කොට්ඨාසයක්. සෙනොසොයිකයෙ පැතිර ගිය අශ්ව විශේෂ පවා හඹා ගොස් දඩයම් කිරීමට මෙමගින් ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.


ෆොරැසිඩ් ප්‍රතිනිර්මාණයක් 

ඉතාමත් මෑතකදි සිදුකල පර්යේෂණ මඟින් ෆොසිල විද්‍යාඥයන් සඳහන් කරන්නෙ මේ පක්ශින් හඹා ගොස් ග්රහණය කරගත් ගොදුර පොළවේ ගැසීම මඟින් අඩපණ කල බවයි. වර්තමානයේදි අප්රිකාව තුල ජීවත්වන Sagittarius serpentarius පක්ශියා මේ උපක්රමය යොදාගන්නවා ගොදුරු සෙවීමේදි. ඒ වගේම මොවුන්ගෙ ශක්තිමත් පාද මඟින් පහරදීමේ හැකියාව මොවුන්ට තිබී ඇත. වර්තමානයේදි ජීවත්වන කැසොවරි , පැස්බරුන් වැනි විශේෂ වලට මේ පා පහර එල්ල කිරීමේ හැකියාව පවතිනවා.

මොවුන්ගෙ වඳ වීමට ප්රධානම හේතුව ලෙස දක්වන්නේ පැනමා භු තැටිය මඟින් වසර මිලියන දෙකකට පමණ පෙර උතුරු හා දකුණු අමරිකානු මහද්වීප යා වීම. මේ හේතුවෙන් උතුරු ප්රදේශවල සිට මාංශභක්ෂක කාර්නිවෝරාවන් (වලසුන්, සුනඛ සහ බිළාල පවුලට අයත් සතුන්) දකුණට සංක්රමණය වීම නිසා ෆොරැසිඩ්ස් විශේෂවලට ඇතිවු තරඟය ජය ගැනීමට නොහැකිව නශ්ඨව ගිය බව.

සුපිරි විලෝපික ෆොරැසිඩ්ස් එහෙම නැත්තන් භීතියේ පක්ශීන්ගෙ මිහිමත කාලය එලෙස අවසන් වෙන්නෙ පරිණාමික දිනපොතේ තවත් පරිච්ඡේදයක් සම්පූර්ණ කරමින්.


ෆොරැසිඩ් කපාලයක ෆොසිලයක්

ෆොරැසිඩ් සැකිල්ලක්

(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE


No comments:

Post a Comment