සත්ව පරිණාමික වංශකථාවෙ ඉහල ආකාසයට අවස්ථා හතරකදි ජීවය ඉහලට එසවෙනවා. ප්රාථමීක ඩෙවෝනියන් අවධියේදි කෘමීන් තමයි පලමු පියාපත් ඇති බල පියැසැරියකට හිමිකම් කියන්නේ. ඊට සෑහෙන කලකට පසුව මීසෝසොයික අවධියේදි ටෙරෝසෝරයන් අහසට නගිනවා. ඉන්පසුව ජුරාසික යුගය අවසානයත් සමඟම ප්රථම පක්ශීන් බල පියාසැරියට එළඹෙනවා... අවසාන වශයෙන් මේ බල පියාසැරියට එළඹෙන්නෙ ඉහල ඉයෝසීන යුගයෙදි ක්ශීරපායින්ගෙ කයිරොප්ටෙරාවන්. කයිරොප්ටෙරාවන් කියන්නෙ වවුල් විශේෂ අයත් ක්ශීරපායී ගෝත්රය...
දැන් මේ විවිධ කාණ්ඩ පියාසැරිය සිය පරිණාමය තුලදි අත්පත් කරගත් විදි හරි අපූරු කතාන්දර. විශේෂයෙන්ම පක්ෂි පරිණාමය අංග සම්පූර්ණ ලෙස විස්තර කර ඇති පරිණාමික ක්රියාවලියක්.
මේකෙ මේ ඔය කතා ලිව්වට ලියන්න අදහස් කලේ ටෙරෝසෝරයන් ගැන. මීසෝසොයික අවධියේදි මිහිමත පහලවෙලා ක්රිටසියස් මහා වඳවීමත් සමඟම ටෙරෝසෝරයන් මිහිමතින් තුරන් වෙනවා. ටෙරෝසෝරස් කියන නමේ ග්රීක අර්ථය 'පියාඹන උරගයා'. උරගයා කිව්වට විද්යාත්මක වර්ගීකරණය අනුව ටෙරෝසෝරයන් උරගයන් නෙවෙයි, ඔවුන් වෙනම කණ්ඩායමක්.
දැන් සමහර තැන්වලදි මේ ටෙරෝසෝරයන්ට 'ටෙරෝඩැක්ටිල්' කියලත් භාවිතා වෙනවා. ඒ භාවිතාව ටෙක්නිකලි දෝශ සහිතයි. ඒක වෙන්නෙ මෙහෙම. ටෙරෝසෝරයන් කියන්නෙ සමස්ථ ගෝත්රයට. ටෙරෝඩැක්ටිලයන් කියන්නෙ ටෙරෝසෝරස් ගෝත්රයේ එක් ගනයක්. ආතර් කොනන් ඩොයිල්ගෙ ලොස්ට් වර්ල්ඩ් පොතේ නිල් මැටි සහිත බිමක දියමන්ති සොයන්න කූඩයකින් ආවරණය වෙලා යන රොක්ස්ටන් සාමි ගැන මතක අයට ටෙරෝඩැක්ටිල්ලා අමතක වෙන්න විදිහක් නෑ.. හරි දැන් පැටලැවිල්ලා ලිහුනා කියලා හිතෙනවා.
දැන් මේ ටෙරෝසෝරයන් විවිධ ප්රමාණ, විශේෂ, බරින් යුක්ත හාදයො. අල්ලක් තරම් පොඩි 'ටෙරෝඩැක්ටිලස් කොචී' විශේෂයේ සිට මීටර් දහයක පමණ වින්ග්ස්පෑන් එකක් තිබ්බ එතෙක් මෙතෙක් පියාසැරිය ලැබු විශාලතම සත්වයා විරුදාවලිය ලත් ක්වේට්සල්කෝට්ලස් විශේෂය වෙනකන් අධි විවිධත්වයක් තිබු සත්ව කාණ්ඩයක්.
මොවුන්ගෙ පියාපත් සමෙන් සැදුම්ලත් බැඳි පටලයක් ආකාරයෙන් පිහිටන්නෙ. (වවුලන්ගෙ වගේ) මුල් මීසෝසොයික නිදර්ශක වල සිට පසුව ක්රිටසියස් නිදර්ශක දක්වා අධ්යනය කරද්දි බලන්න පුළුවන් මුල් කාලීනව දත් පිහිටි මුඛයන් සහ දිගු වල්ගා පිහිටියත් ක්රිටසියස් අවධිය වෙනකොට දත් අවම වෙලා වල්ගා ක්ශීනව යනවා. ඒ පියාසැරිය සඳහා වඩාත් හොඳින් අනුවර්තනය වීමට.
දැන් මේ පහත පිලිවෙලින් තියෙන්නෙ;
- රැම්ෆොරින්කස් මුඑන්සටරී
- රැම්ෆොරින්කස් ලොන්ගිකූඩස්ටෙ
- රොඩැක්ටිලස් කොචී
කියන විශේෂ තුනේ බර්ලින් කෞතුකාගාරයේ මට මුණගැහුන ෆොසිල නිදර්ශක තුනක් සහ ආර්ටිස්ටික් රීකන්ස්ට්රක්ශන් සහ ක්වෙට්සකෝට්ලස් කියන විශේෂයේ සංසන්දනාත්මක ප්රමාණය. මේකෙන් යම් අදහසක් ගන්න පුළුවන් වෙයි, මීසෝසොයික මහා අවධියට අයත් ට්රියාසික් අවසාන වකවානුවෙ සිට ක්රිටසියස් යුගය දක්වා අහස කොතරම් කාර්යබහුල, ජනාකීර්ණ තැනක් වන්නට ඇද්ද යන්න..
රැම්ෆොරින්කස් මුඑන්සටරී ෆොසිල නිදර්ශකය |
රැම්ෆොරින්කස් මුඑන්සටරී ප්‍රතිනිර්මාණය |
රැම්ෆොරින්කස් ලොන්ගිකූඩස්ටෙ ෆොසිල නිදර්ශකය |
රැම්ෆොරින්කස් ලොන්ගිකූඩස්ටෙ ප්‍රතිනිර්මාණය |
රොඩැක්ටිලස් කොචී ෆොසිල නිදර්ශකය |
රොඩැක්ටිලස් කොචී ප්‍රතිනිර්මාණය |
ක්වෙට්සකෝට්ලස් විශේෂයේ ප්‍රමාණාත්මක සංසන්දනය |
අවසාන වශයෙන් මතක තබාගන්න ටෙරෝසෝරයන්ට ඩයිනෝසර යන නම භාවිතා කිරීම වැරදි බව. බොහෝ දෙනා ටෙරෝසෝරයන් යනු පියාඹන ඩයිනෝසරයන් ලෙස හැඳින්වුවාට ඔවුන් ඩයිනෝසරයන් නෙවෙයි. ඩයිනෝසරයන්ට ඩයිනෝසරයන් ලෙස භාවිතා කරනවා වගේ ටෙරෝසෝරයන් සඳහා භාවිතා කරන නිවැරදි නම 'ටෙරෝසොර්'. ටෙරෝසෝරයන් ඩයිනෝසරයන් සමඟ සමකාලීනව විසු තවත් සත්ව කාණ්ඩයක් බව දැන සිටීම මේ විෂයෙදි වැදගත්.
ඉදිරියේදි ටෙරෝසෝරයන්ගෙ විවිධත්වය ගැන ලිපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ටැපැයෙරා, රැම්ෆොරින්කස්, ක්වෙට්සල්කෝට්ලස් , ඇන්හැන්ග්වෙරා, ඇලමොඩැක්ටීලස්, කැයුආරා ආදී සිය ගනනක් අපුරු නම් සහති ටෙරෙසෝ්ර ගනයන් පිලිබඳව අධ්‍යනය අපුරු විශයක්. මීසෝසොයිකය මුල් කාලයේ දත් සහ වල්ගයක් පිහිටි විශේෂ ජුරාසිකය අවසාන වන විට දත් නොමැති හනු බවට පරිවර්තනය වීම, වල්ගය නශ්ඨවීම ආදී පරිණාමික කරුණු සිත්ගන්නා සුළුයි. ඉදිරියේදි ටෙරෝසෝරයන් ගැන තවදුරටත් කතා කරමු.
(ෆොසිල නිදර්ශකයන්හි ඡායාරූප අයිතිය #DOE සතු වේ)
(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
#DOE
No comments:
Post a Comment