Saturday, August 10, 2019

මිනීමරු වානරයා (The killer ape) - 01


භෞතික මානව විද්යා විශය තුලදි මානව පරිණාමික වෘක්ෂය නැවත ප්රතිනිර්මාණය කිරීමේදි හෝමෝ සේපියානුවන් වන අපේ හැසිරීම් රටා ගැනත් අප නැවත සිතන්න පටන් ගන්නවා. සේපියානුවන් නෛසර්ගිකවම දරුණු විශේෂයක්ද ? මේ ගැටලුව කාලාන්තරයක් තිස්සේ පිලිතුරු සෙවීමට , පිලිතුරු යෝජනා වීමට ලක්වු ගැටලුවක්. මේ ගැන පෙර වෙනත් තැන් වලදි මම ලියපු සටහන් කිහිපයක් කෙටි සටහන් ලෙස පල කරනවා නැවත මේ පිලිබඳව ඔබටත් යම් අදහසක් ලබා ගැනීමට.


මිනීමරු වානරයා (The killer ape)


1924 වර්ශයේදි රේමන්ඩ් ආතර් ඩාර්ට් හට ලැබෙන වාර්තාගත පලමු හොමිනිඩ් ෆොසිලය ඔස්ට්රලොපිතකස් ඇෆරෙන්සිස්... ඇෆරෙන්සිස් ෆොසිලයත් එක්කම ඩාර්ට් තමන් පුද්ගලිකවම ලබපු පලමු ලෝක යුද්ධයේ අත්දැකීමුත්, මානව ඉතිහාසය තුල එතෙක් මෙතෙක් සිදුව ඇති බියකරු යුද්ධයනුත් සැලකිල්ලට ගෙන නිර්මාණය කරනවා මතයක්... මේකට නම දෙන්නෙ "මිනීමරු වානරයා" (killer ape).

මේකෙන් ඩාර්⁣ට් කියන්න උත්සහා කරන්නෙ අපේ හැසිරීම් රටා සහ වර්ගයක් ලෙස ඇති යුදකාමී බවට හේතු වෙන්නට ඇත්තෙ අපේ මුල් පූර්වජයන් (දෙපයින් සිටගත්) ඉතාමත් කලහාකාරි, රුධිර පිපාසිත සත්ව කොට්ඨාසයක් නිසා බවත් එබැවින් එකී කලහාකාරී, රුධිර පිපාසිත බව අප හටත් පරම්පරා ගනනාවක් ඔස්සේ ලැබී ඇති බවත්..

රේමන්ඩ් ඩාර්ට්ගෙන් සමාජගත කෙරුණු මිනිමරු වානරයා කෙතරම් සාර්ථකදයත් පසුකාලීනව කරලියට පිවිසි ආතර් සී ක්ලාක්ගෙ "2001 ස්පේස් ඔඩිසි" ⁣ප්රබන්ධයේ moon - watcher චරිතය (මට මතක විදිහට පරිවර්තනේදි මේ චරිතයට නම දීලා තිබ්බෙ 'හඳයා' කියලා) මුල් පරිඡ්ඡේදවල විස්තර කෙරෙන හොමිනිඩ් වානරයන්ට අහසින් පැමිණි පාෂානයක් නිසා ලද නව දැනුමින් නිර්මාණය කරගන්නා ආයුධවලින් ඔවුන් අති බිහිසුණු වී තමන්ගෙ ප්රතිවාදීන් ඝාතනය කිරීමටත් පෙළඹෙනවා.

ඩාර්ට්, ආතර් සී ක්ලාක් නික්ම ගොස් දැන් බොහෝ කල්... ඔස්ට්රෙලොපිතසින් ගනයට අයත් පූර්වජයන්ගෙන් ලද දන්ත සාම්පල් නිරීක්ෂණය කිරීමේදි ඔවුන් බොහෝමයක් මාංශ භක්ෂක නොව ශාඛ භක්ෂක බවට ඔප්පු වී හමාරයි...

ඇත්තෙන්ම ඔවුන් දරුණු වී සිටින්නට ඇත්ද ? මා ලිපි කිහිපයක් හුවමාරු කරගැනීමට සමත් වූ නෙදර්ලන්ත ජාතික, ප්රයිමේටාවන් පිළිබඳ මහාචාර්යවරයකු මා හට කියා සිටියේ ඔහු ඒ කතාවට එකඟ නොවන බවයි. වර්තමානයේ ජීවත්වන අපට ජානමය වශයෙන් ආසන්නතම අග්ර ප්රයිමේටාවන් විශේෂ දෙක වන චිම්ප් සහ බොනොබො චර්යාවන් නැවත කියවීමේදි ඔවුන්ගෙ ස්වාභාවික චර්යාවන්හි ඇති එකිනෙකා පිලිබඳ දක්වන සැලකිල්ල සහ ස්නේහය පෙන්වා දෙමින් ඔහු සඳහන් කලේ මාතෘ මූලික සමාජ සංස්කෘතියකට උරුමකම් කියන බොනොබෝවන් රැල තුල ගැටුම් නිරාකරණයේදි පවා බිහිසුණු බව සහ ශක්තිය වෙනුවට ආදරය සහ කරුණාව උපයෝගි කරගන්නා බවයි..

අපි ස්වභාවයෙන්ම බිහිසුණුද ? මේක විද්යාවටත් වඩා දාර්ශනික ගැටලුවක්... නමුත් ස්වභාව විද්යා මුලධර්ම වලින් ආලෝකමත් වෙමින් පවතින දාර්ශනික ගැටලුවක්...


(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


To be continued...



#DOE



No comments:

Post a Comment