Sunday, August 4, 2019

පරිණාමයේ අරමුණ බුද්ධිමත් ජීවීන් බිහිකිරීමද...???  (Does Evolution purpose to create intelligent creatures...???)





පරිණාමයේ අරමුණ බුද්ධිමත් ජීවීන් බිහිකිරීම යන්න සම්පූර්ණ වැරදි මතයක්. මතක තබා ගතයුතු පලමු කාරණය වන්නෙ පරිණාමික ක්‍රියාවලියට එලෙස අරමුණක් නැති බව. පරිණාමික ක්‍රියාවලිය තුල විවිධ ජීවි විශේෂ හටගැනීම සිදුවෙනවා. මේ බිහිවෙන විශේෂ තමන් ජීවත්වන පරිසරයට උචිත නොවේනම් ඔවුන් නශ්ඨවීමට ලක්වෙනවා. උචිතයාගෙ පැවැත්ම තමයි පරිණාමයේ ප්‍රතිඵලය.

දැන් මේ ගැටලුවේදි බොහෝ අය විමසන ප්‍රශ්නයක් තමයි ඇයි එහෙනම් හෝමෝ සේපියන්වරු පමණක් බුද්ධිමත් ?

ඉහත මම සඳහන් කරා පරිණාමය කියන්නෙ අරමුණක් ඇති ක්‍රියාවලියක් නොවන බව. එමෙන්ම පරිණාමික ක්‍රියාවලිය තුල උචිතයා ඉතුරු වී අනුචිතයා නශ්ඨවීම සිදුවෙනවා. මෙතනදි උචිතයා ඉතුරු වෙන්නෙ ඇයි ? ඒකට හේතුව තමන් ජීවත්වන පාරිසරික සාධක වලදි තමන්ගෙ රඳා පැවැත්ම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් ලක්ෂණ ඔහු සතු වීම. එසේනම් සමාන පරිසර තත්වයන් තුල ජීවත්වන හැම විශේෂක්ම සමාන විය යුතුද ? නැහැ..! කිසිසේත්ම එසේ විය යුතු නැහැ. මේක අපි උදාහරණ කිහිපයක් ගමු.


උදාහරණ - 01


අප්‍රිකානු සැවනා භූමි තුල ජීවත්වෙන ජිරාෆයන් විශේෂනය වෙලා තිබෙනවා ඇකේශියා පත්‍ර ආහාරයට ගන්න. ඔවුන්ගෙ සමස්ථ පරිණාමික ක්‍රියාවලිය සලකලා බැලුවොත් ඔවුන් ක්‍රම ක්‍රමයෙන් විශේෂනය වෙන්නෙ උස ඇකේශියා තුරු මුදුන්වල පත්‍ර ආහාරයට ගන්න. මේ සඳහා ක්‍රමයෙන් ග්‍රෛවී කශේරුකා දිගු වෙන ගමන් ඊට සරිලන ලෙස ඔවුන්ගෙ ශරීරය වෙනස් වෙනවා. (දැන් මේක මේ අවුරුදු පනහකින් සීයකින් වෙන ක්‍රියාවලියක් නෙවෙයි, ඒ නිසා සත්වෝද්‍යානයක මුව රංචුවකට උස කොස් ගහක් දීලා පරම්පරා දෙකක් තුනක් බැලුවම ග්‍රෛවී කශේරුකා දිගු වෙනවා කියලා හිතනවනම් කරුණාරලා පරිණාමය වැනි විෂයන් අධ්‍යනයෙන් බැහැර වෙන්න). දැන් එතකොට ජිරාෆයන් සතු ප්‍රයෝජනවත් ලක්ෂණය කුමක්ද ? දිගු ගෙලක් සහ උස ශරීරයක් පිහිටීම.

අපි ඒ පාරිසරික නිකේතනයටම අනුගත වර්වට් වඳුරන් සලකා බලමු. වර්වට් වඳුරන් ආහාරයට ගන්නෙත් ජිරාෆයන් ආහාරයට ගන්න ඇකේශියා ශාඛයම තමයි. දැන් එතකොට වර්වට් වඳුරන්ට දිගු ගෙලක් පිහිටනවද ? නැහැ. උස ශරීරයක් පිහිටනවද ? නැහැ. මෙතනදි වර්වට් වඳුරන් ජිරාෆයන් බුදින් රුක් අගට ලඟා වෙන්නෙ තමන්ගෙ රුක්වාසී උචිත වීම් නිසා. ඔවුන් ඉතාමත් සුහුරු ලෙස උස රුක් පතර අතරින් ගමන් කරන්න , එහි ජීවත් වෙන්න අනුවර්තනය වෙලා තියෙන්නෙ.

මේ සත්ව විශේෂ දෙකක්.. එකම නිකේතනයක් තුල ජීවත් වෙන. නමුත් ඔවුන් දක්වන උචිතෝන්නතිය නිසා අදාල නිකේතනය තුල ඔවුන්ට නොනැසි ජීවත් වීමේ හැකියාව තිබෙනවා. දැන් මේ උචිත වීමට එකම පරිණාමික මඟක යා යුතුද ? නැහැ.. ඒ සඳහා වෙනත් වෙනස් ප්‍රයෝජනවත් ලක්ෂණ ඔවුන්ට ක්‍රමික පරිණාමයක් ඔස්සේ ලැබිලා තියෙන්නෙ.


උදාහරණ - 02


ඔබ දන්නවා ඇති අස්ථිමය මසුන්ට (ඔබ එදිනෙදා දකින සාලයාගෙ සිට, බලයා, පරවා ආදී) ජලය තුල නොගිලී සිටීම සඳහා වායු කුටීරයක් පිහිටලා තිබෙනවා. මේ නිසා තමයි ඔවුන් සාගර, ගංගා පතුලට නොගිලී සිටින්නෙ. ඒ ඔවුන් ජීවත්වන පරිසරය තුල නොනැසී ජීවත් වීමට පරිණාමිකව ලද උචිත ලක්ෂණයක්. එය ඔවුන්ට ඉතාමත් ප්‍රයෝජනවත් ලක්ෂණයක්.

දැන් අපි සලකා බලමු අස්ථිමය මසුන් කාණ්ඩයට අයත් නොවන කාටිලේජමය මත්ස්‍යයෙක් වන මෝරුන්ව. මෝරුන් හට පෙර සඳහන් කල වායු කුටීර පිහිටන්නේ නැහැ. එහෙනම් කොහොමද ඔවුන් නොගිලී සිටින්නේ ? මේ සඳහා මෝරුන් දක්වන අනුවර්තනය තමයි ශරීරයේ දෙපසින් පිහිටන පාර්ශ්වීය වරල් ද්විත්වය. මේ මඟින් ඔවුන්ව ගුවන් යානයක හැසිරීමට සමාන ආකාරයකට ජලය තුලදි නොගිලී සිටීමට උපකාරී වෙනවා. ඒ තමයි ඔවුන්ගෙ පරිණාමික ගමන් මඟ තුල ලබාගෙන ඇති උචිත ලක්ෂණය. එය ඔවුන්ට ඉතාමත් ප්‍රයෝජනවත් ලක්ෂණයක්. දැන් මේ පරිසර පද්ධතිය තුලදි අස්ථික මත්ස්‍යයන් සහ මෝරුන් නොනැසී පවතිනවා. අස්ථික මසුන්ට මෝරුන්ට මෙන් පාර්ශ්වීක වරල් නොපිහිටා තිබීමෙන් හෝ මෝරුන්ට අස්ථික මත්ස්‍යයන්ට මෙන් වායු කුටීර නොපිහිටා තිබීමෙන් ඔවුන් නශ්ඨවීම සිදුව නැහැ. ඒ සඳහා ඔවුන් වෙනස් නමුත් උචිත ලක්ෂණ දරනවා.


දැන් ඔබට වැටහෙන්න ඕන පරිණාමික ගමන් මඟ තුල අරමුණක් නැති බවත්, සුදුසු තත්වයන්ට මුහුණ දීමට සමත් ප්‍රයෝජනවත් ලක්ෂණ දරනවුන් අදාල පරිසර තත්වයන් තුල තම පැවැත්ම තහවුරු කරගන්නා බවත්.

මේ ගැටලුවෙ මුලට යමු නැවත. මිනිසා පමණක් එසේ නම් බුද්ධිමත් වුයේ කෙසේද ? මේ ගැටලුව සෛද්ධාන්තිකව ඉතාමත් වැරදි ආකාරයට සකස් වු ගැටලුවක්. මෙතනදි මුලින්ම එල්ලවෙන ප්‍රති ගැටලුව තමයි "බුද්ධිමත්" බව යන්නෙන් ඔබ අදහස් කරන්නෙ කුමක්ද යන්න. (මීට පෙර මා සටහන් කල සිටසියා බුද්ධිය පිළිබඳව ලිපිය කියෙව්වොත් මේ ගැටලුව නිරවුල් වනු ඇති, ඒ නිසා ඒ ගැන නැවත විස්තර කරන්නෙ නැහැ)

විවිධ සත්ව විශේෂ තමන් ජීවත් වන පරිසරයට අධිඋචිතෝන්නතිය දක්වන අවස්ථා කිහිපයක් මම නැවත උදාහරණ ලෙස ගන්නම්...

උදාහරණ 01
කිඹුල් විශේ අයත්වන කාණ්ඩය වසර මිලියන 85 කින් පමණ සැලකිය යුතු පරිණාමයකට ලක්ව නැහැ. ඒ ඔවුන්ගෙ අධිඋචිතෝන්නතිය නිසා.

උදාහරණ 02
බ්‍රැකියොපෝඩාවන් වසර මිලියන 500 කින් පමණ සැලකිය යුතු පරිණාමයකට ලක්ව නැහැ.ඒ ඔවුන්ගෙ අධිඋචිතෝන්නතිය නිසා.

උදාහරණ 03
සීලකැන්ත් මත්ස්‍යයන් වසර මිලියන 400 පමණ සැලකිය යුතු පරිණාමයකට ලක්ව නැහැ. ඒ ඔවුන්ගෙ අධිඋචිතෝන්නතිය නිසා.

දැන් මේ සත්වයන් තමන් ජීවත්වන පරිසරය තුල නොනැසී ජීවත් වීමේ හැකියාව උපරිම තත්වයට ලඟා වී ඇති සත්වයන්. ඒසේ නම් ඔවුන් තවත් වෙනස්කම් වලට භාජනය වීම සිඝ්‍ර ලෙස සිදුවන්නෙ නැහැ. යම් පරිසරයකට තමන් උචිත නම් තවදුරටත් වෙනස් වන්නෙ ඇයි ? එසේ වීම අනවශ්‍යයි.

හොමිනිඩ්වරුන්ට (මිනිසා සහ ආසන්න මානව විශේෂ අයත්) ස්වාභාවිකව උල් දත්, නිය පිහිටන්නෙ නැහැ. ඔබ අද නිරුවත්, නිරායුධ හෝමෝ සේපියානුවකු ඝර්ම කලාපික වැසිවනාන්තරයකට මුදා හැරියොත් ඔහු දිවි රැක ගැනීමෙ සම්භාවිතාව සැලකිය යුතු ලෙස පහල බසින බව ඔබ දන්නවා. පරිණාමික ගමන් මඟ තුල හොමිනිඩ්වරුන් ලද උචිත ලක්ෂණය වන්නෙ බුද්ධිය. අධිඋචිතෝන්නතියට ලක්වන බුද්ධිය තුලින් ඔවුන් විවිධ පාරිසරික නිකේතන ජය ගනිමින් දිවිරැක ගැනීම සිදු කරනවා. උල් දත් නිය වෙනුවට බුද්ධිය භාවිතා කර ඒ සඳහා විකල්ප නිපදවා ගැනීම සිදුකරනවා. මුල් කාලීනව රංචු වශයෙන් ජීවත් වීමට ඇතිවු කථන හැකියාව නිසා මේ අධිඋචිතෝන්නතිය සීඝ්‍ර ලෙස සිදු වෙනවා. නමුත් එය ඔවුන් සතු ඔවුන්ට සුවිසේශි, නොනැසි පැවැත්ම සඳහා ප්‍රයෝජනවත් ලක්ෂණයක් මිස පරිණාමය තුල ඊට වඩා වැඩි දෙයක් බුද්ධිය සඳහා නොලැබෙනවා.

වසර මිලියන 400 පැවැත්ම රැකගැනීම සඳහා අධිඋචිතෝන්නතියට ලක්ව ඇති සීලකැන්තාවෙකුට බුද්ධියේ ඇති වැදගැම්මක් නැහැ. වසර මිලියන ගනනක් දිවි රැකගැනීමට සමත් කිඹුල් විශේෂ වලට බුද්ධිය වැදගත් නැහැ. මේක සමාන වෙන්නෙ මා මුලින් සඳහන් කල වර්වට් වඳුරන් සහ ජිරාෆයන්ට. ගස් නගින්න පුළුවන් වර්වට් වඳුරෙකුට දිගු ගෙලක් අවශ්‍ය නැහැ, දිගු ගෙලක් සහිත ජිරාෆයන්ට ගස් නැගීම සිදුකල යුතු නැහැ. එලෙස බුද්ධිමත් බව යනුත් අපට ප්‍රයෝජනවත් ලක්ෂණයක් මිස එය සෑම වර්ගයකම, විශේෂයකම සත්වයන් හට අවශ්‍ය විශේෂ ලක්ෂණයක් නොවෙයි. එසේනම් ඔබ වටහාගත යුතු වන්නෙ බුද්ධිමත් ජීවීන් බිහිකිරීම යන්න පරිණාමය සතු අරමුණක් නොවන බවයි.



No comments:

Post a Comment