Sunday, August 4, 2019

ක්‍රිටැසියස් මහා නශ්ඨවීම (Cretaceous Mass Extinction) - Part 4




[Part 4 එකට පොඩි පෙරවදනක් -
දැන් ඔය ක්‍රිටැසියස් නශ්ඨවීමට හේතුවුන ඇස්ටරොයිඩය නිසා ඉහල නගින ඉජෙක්ටර් ක්ලවුඩ් එක ගැන විද්‍යා ගුරුකුල තුල දරුණු මත ගැටුම් තියෙනවා. සමහර ගුරුකුල වලට අනුව මේ දුවිලි වලාව වසර 9 ක් පැවතියා. තවත් සමහර ගුරුකුල වලට අනුව මේක වසර 100 කට ආසන්න කාලයක් පැවතියා. මේ මත දෙකම ඔලුවෙ තියාගෙන අපි ඉස්සරහට යන්...]


ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටී අවසන්. ගැටීමෙන් පසු වහා සිදුවන බලපෑම් දැන් හමාරයි. පෘථිවිය මත ජීවය දැඩි ලෙස විනාශ වෙලා. මධ්‍යම, උතුරු, දකුණු අමරිකානු භූ තැටි මත පැවති ජීවය ගැන දැන් බලාපොරොත්තු තියන්න හැකියාවක් නැහැ. ඒ ඝට්ටනයෙ අපිකේන්ද්‍රයේ සිට ආසන්න පෙදෙස් නිසා.

නමුත් තාමත් ජීවය පවතිනවා. ලෝකයේ අනෙක් පස සයිබීරියානු, මොංගෝලියානු භූමි අවට ජීවීන් සැරිසරනවා. ඉජෙක්ටර් වලාව ඔවුන් වෙලාගෙන තිබෙන්නේ. බොහෝ ජීවීන් දුර්වලයි. නමුත් පෘථිවියේ අනෙක් අන්තයෙන් ඇරඹි ඉජෙක්ටරය මේ කෙලවරල ලඟා වන විට අපිකේන්ද්‍රයේ තරම් විනාශකාරී බවක් නැහැ. නමුත් තාමත් ජීවයට අහිතකරයි.



කඩින් කඩ පොද වැසි සමඟ ඉහලට ගිය දුහුවිලි අංශුන් සමඟ වායුගෝලයේ පැවතී සල්ෆර් වැනි ජීවයට අහිතකර මූලද්‍රව්‍ය H2O අණු සමඟ සංයෝග වෙමින් සල්ෆියරික්, සල්ෆියුරස් වැනි ආම්ලික සංයෝග නැවත පෘථිවි පෘෂ්ඨය මතට ගෙන එනවා.

ජීවයේ මුලීක අවශ්‍යතාවන් ආහාර සහ ජලය. එයිනුත් ජලය ඉතාමත් වැදගත්. පෘථිවි ජීවය ඊලඟට මුහුණ දෙන ගැටලුව පෙරැකී ආම්ලික සංයෝග අඩංගු විෂ ජලය පානය කිරීමට සිදුවීම. ප්‍රතිඵලය නොවැලැක්විය හැකියි...

අපි ඝට්ටනයෙන් මාස කිහිපයක් ඉදිරියට යමු. තාමත් ඉජෙක්ටර් වලාව පෘථිවිය වෙලාගෙන. දැන් මාස ගානකින් පෘථිවි ජීවය හිරු එළිය දැකලා නැහැ. ඝට්ටනයෙන් පසු අන්ධකාරය පවතිනවා ඝන දුහුවිලි වලාවෙන් හිරු එලිය වලක්වක නිසා.

හිරු එලිය නැහැ කියන්නෙ ප්‍රභාසංස්ලේෂණ දාමයන් බිඳ වැටෙනවා. ප්‍රභාසංස්ලේෂණ දාමයන් බිඳ වැටෙනවා කියන්නෙ පරිසර පද්ධතියක ප්‍රාථමික නිෂ්පාදකයන් අඩාල වෙනවා. දැන් පෘථිවිය තුල ආහාර නිපදවීම බිඳ වැටිලා.

ඉන්පසු ගැටලුව 'ආහාර'. මේ ගැටලුව විස්තර කරන්න කලින් ආහාර දාම පිලිබඳව දැන ගත යුතුයි. ආහාර දාමයක මුල් පුරුක් වන්නේ ශාඛභක්ෂකයන්. ක්‍රමයෙන් දාමයේ ඉහලට යද්දි සර්ව භක්ෂකයන් සහ මාංශ භක්ෂක විලෝපිකයන් ස්ථානගත වෙනවා.

ඩයිනෝසරයන්ගෙ ආහාර දාම ගත්තම ශාඛ භක්ෂක සත්වයන් සියල්ලක්ම පාහේ අති දැවැන්ත සතුන්. සෝරෝපොඩ්ස් වැනි අති දැවැන්තයන් පසෙකලා උදාහරණයකට ඊට වඩා සාපේක්ෂව කුඩා ට්‍රයිසරැටොප්ස්, ඇන්කයිලෝසෝර්, ඉගුවානෝඩොන්, ස්ටේගොසෝරියා වගේ ගනයන් සැලකුවත් ඔවුන් ශාඛමය ආහාර විශාල ප්‍රමාණයක් ගිල දමන්නවුන්. මේ වෙද්දි හරිත ආවරණය ලැව් ගිනි වලින් විනාශ වෙලා. එපමණක් නොව ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාදාමය ඇණහිට ඇති බැවින් ආහාර නිශ්පාදනය බිඳ වැටිලා. වෙනදා ආහාරයට ගත් ආහාර ස්කන්ධය ඔවුන්ට සොයාගැනීමට බැහැ. පරිණාමිකව ඔවුන්ට උරුම අතිවිශාල සිරුරු දැරීමේ පාඩුව ඔවුන් දැන් විඳිමින් පවතිනවා. ඉතිරි වී සිටින ශාඛභක්ෂක ගනයන් හාමතින් මියැදෙනවා.



තවත් මාස කිහිපයක් ඉදිරියට. මැරී වැටුන ශෘඛ භක්ෂකයන් ආහාරයට ගනිමින් කුණප බුදින්නන් සහ විලෝපිකයන් දිවි රැක ගත්තත් දැන් ඒ ආහාර ප්‍රභවය අවසන්. ඔවුන් මිය යන්නෙත් හාමතින්.

මේ භෞමික සිද්ධින් වන අතරේ මුහුදේ හිටපු සත්වයන් මිය ගියේ කොහොමද ?

සාගරයේ පවතින ආහාර දාමත් රඳා පවතින්නෙ ප්‍රභාසංස්ලේෂණය මත. සාගර ජලයෙ නීල හරිත ඇල්ගාවන් ප්‍රාථමික නිශ්පාදකයන් ලෙස නිපදවන ආහාර දාමාකාරව විලෝපිකයන් දක්වා යනවා. හිරු එලිය නැහැ කියන්නේ සාගරික ආහාර දාම රටාවන් බිඳ වැටීම. ඔවුන්ගෙ ඉරණමත් භෞමික වාසීන්ට වඩා වෙනසක් නැහැ.

පරිණාමික ගමන් මගේ පෘථිවි ආධිපත්‍යයේ හිනිපෙත්තටම ඩයිනෝසරයන් ලඟාවීමට වැය වුන කාලය වසර මිලියන 126 ක්. (ප්‍රයිමේටාවන්ගෙ මනුශ්‍ය පරිණාමයට තාම වසර මිලියන 8 යි. සංසන්දනය කරලා බලන්න කාලයේ දීර්ඝ බව) වසර මිලියන 126 ක පෘථිවියේ කාලපරිච්ඡේදය අවසන් වීමට බලපෑවෙ එක් ඇස්ටරොයිඩයක්.

පෘථිවිය මතුපිට මේ සිද්ධි වෙන අතරේ පොලවට යටින් වූ ගුල්, බෙන, ගස් බෙන තුල බියෙන් වාසය කරන නිශාචර ක්ශීරපායින් සහ ඉන්සෙක්ටාවන් (කෘමි සතුන්) මේ දැඩි ව්‍යසනකාරී තත්වයන් තුල නිහඬව තමන්ගෙ සුපුරුදු චර්යාවන් වල. ඉතාමත් කුඩා ශරීර ප්‍රමාණයන් නිසා ඔවුන්ට අවශ්‍ය ආහාර ස්කන්ධය සීමිතයි. කුඩා ආහාර ප්‍රමාණයකින් සංතෘප්ත වන මොවුන් තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්නවා. (ඉන්සෙක්ටාවන් කියන්නෙ අති විශිෂ්ට දිවි රැකගන්නන්.වසර මිලියන 400 පෙර ඩෙවෝනියන් යුගයේ ඉඳන් මහා නශ්ඨවීම් වලින් දිවි රැකගත් අති විශිෂ්ට පරිණාමික නිපදවීමක් ඔවුන්)
ඉජෙක්ටර් වලාවෙන් නැගුනු දුහුවිලි නැවත තැන්පත්ව පෘථිවි වායුගෝලය පිරිසිදු වන තෙක් කල් මැරීමට ඔවුන් සමත්. විශාල උරගයන් හමුවෙ කුලෑටි ජීවිතයක් ඔවුන්ට ප්‍රධානය කල පරිණාමය තවදුරටත් ඔවුන්ට අකාරුණික නැහැ. කුඩා ශරීර ඔවුන්ට වාසියක් වුනා, නිශාචර බව තුලින් අඳුරු කාලපරිච්ඡේදයන් තුල නොනැසී සිටින්නට හැකි වුනා. මියගිය සතුන්, ශාඛ ආහාරයට ගනිමින් ඔවුන්ගෙ ආහාර ගැටලුව විසඳගත්තා. දැන් තියෙන්නෙ අලුත් පෘථිවියක්. ඩයිනෝසරයන් පැවත නික්ම ගොස් රික්තයක් ඉතිරි වූ පෘථිවියක්...


To be continued...


(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


No comments:

Post a Comment