Thursday, August 8, 2019

සුවිශේෂී ෆොසිල (Famous Fossils) - 02

ඩාවීනියස් මාසිලායි - ඊදා (Darwinius masillae - Ida)


වරක් දණහිසක් පමණ එරෙන හිමෙන් වැසී ගිය ඔස්ලෝ විශ්ව විද්යාල භූමියට මා ගමන් කලේ අධික ශීතල නිසා ජන ශුන්යව ගිය දෙසැම්බරයක. දරාගැනීමට මඳක් අපහසු ශිතලේ වුනත් එහි යෑමට ඉටා ගත්තේ කාලයක් තිස්සේ මුණගැසීමට සිතා සිටි අමුත්තෙකු දැකීමට. 

නිවර්තන කලාපිකයෙක් වු මට ආගන්තුක පරිසරයක් වූවත් අධික ශිත දේශගුණික කලාප වලට මා ප්රියතාවයක් දක්වනවා. කුමක් හෝ හේතුවක් මත මේ කටුක පරිසර තත්වයන් තුල දිවි රැක ගැනීමට හැඩ ගැසුන වන ජීවය තුල ඇති දරා ගැනීමේ හැකියාවත් නොනැසී පැවැත්ම තහවුරු කර ගැනීමේ හැකියාවටත් මා අතිශයින්ම ගරු කරනවා. හිමෙන් බරව ඇති බර්ච් අතු සහ ඊට යටින් විදුලි වේගයෙන් පැනයන හාවුන්, රාත්රියේදි කුඩා කෘන්තකයන් හසුකර ගැනීමට අල්පෙනෙත්තක හඬක් නොනඟා පියඹා යන හිම බස්සන්, හිම ආවරණය යටින් ඇති ලයිකන, පෙඳ පාසී ආහාරයට ගැනීමට හුරුවු පිනි මුවන්, අවානක් බඳු පැතලි අඩි තබමින් වාහන එලියෙන් සැඟවී යන ලින්ක්ස් බිළාලයන් සහ මා කාලය ගත කිරීමට අතිශයින්ම ප්රිය කල අළු වෘකයන් නිතැතින්ම මතක් කර දෙන්නෙ පරිණාමයේ අපූර්වත්වය. නමුත් මේ සියල්ල රැඳි හිම භූමි තුල මා දැකීමට ගිය අමුත්තාත් නිවර්තන කලාපිකයෙකු මිස ශිත කලාපයක අයෙකු නොවෙයි.

1974 වර්ශයේදි ඉතියෝපියාවෙ අවාශ් නිම්නයෙන් ඔස්ට්රලෝපිතෙකස් ඇෆ්රිකානස් විශේෂයට අයත් 'ලූසී' ෆොසිලය භෞතික මානව විද්‍යාඥ ඩොනල්ඩ් ජොන්සන් විසින් සොයාගත්තාට පසුව භෞතික මානව විද්යා ලෝකය තුල විශාලතම කැළඹීම ඇතිකල ෆොසිලය විදිහට හඳුන්වන්න පුළුවන් සිදුවීම වෙන්නෙ 2007 වර්ශයේදි. 1983 වර්ශයේදි ජර්මනියෙ මෙසල් නැමැති ග්රාමය අවටින් හමුවන ෆොසිල අතරින් මතුවන එක්තරා ෆොසිලයක් දශක තුනකට ආසන්න කාලයක් නිහඬව විවිධ ස්ථාන වලට මාරුවෙමින් පැමිණ අවසානයේදි 2007 වර්ශයේදි කරලියට පැමිණෙනවා. 

මෙසල් ප්රදේශය වර්තමානයේදි ශිත දේශගුණික කලාපයක දක්නට ලැබෙන පාරිසරික ලක්ෂණ දැරුවත් මීට වසර මිලියන 47 කට පෙර ඉයෝසීන අවධියේදි උණුසුම් දේශගුණික කලාපයක්. ගංගා, විල්, වනාන්තරවලින් ගහනව තිබු මේ ප්රදේශය එකල ඝර්ම කලාපික වන වැස්මක් සහ දේශගුණික ලක්ෂණ දැරුවක්. මෙසල් ප්රදේශයෙන් ලැබෙන ෆොසිල ඉතාමත් අග්රගන්ය ෆොසිල ලෙස සලකනු ලබනවා. ඒවායේ සංරක්ෂිත තත්වයන් ඉතාමත් හොඳින් පවතින අතර එකල තිබු වනාන්තර පද්ධති තුල විසූ අපූරු සත්ව සන්තතියක් මේ ෆොසිල තුල සුරක්ෂිතව පවතිනවා.

2007 දි කලඑලි බසින 'ඊදා' නම් ෆොසිලය අයත්ව තිබූ සත්වයාත් වසර මිලියන 47 කට පෙර තිබු මෙසල්හී වනාන්තර තුල විසුවෙක්. ඊදා නමින් ෆොසිලය හැඳින්වුවාට මේ සත්ව විශේෂයේ විද්යාත්මක නාමය ඩාවීනියස් මාසිලායි. චාර්ල්ස් ඩාවින් ස්වභාව විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස ඩාවීනියස් ගන නාමයත්, මෙසල් ප්රාද්ශය සිහිවීම පිණිස 'මාසිලායි' විශේෂ නාමයත් මේ සත්වයාට දී තිබෙනවා. මේ සුවිසේශි ෆොසිලය වර්තමානයේදි තිබෙන්නේ ඔස්ලෝ විශ්ව විද්යාලයට අනුබද්ධිත ඔස්ලෝ ස්වභාව විද්යා ඒකකයේ. මා ශීතල දේශගුණයත් සමඟම හමුවන්න ගියේ මේ 'ඊදා' ව. 'ඊදා' යනු ස්කැන්ඩික් රටවල අහන්න ලැබෙන කාන්තා නාමයක්.

ඊදා සුවිසේශි ෆොසිලයක් ලෙස සලකන්නෙ ප්රයිමේටා පරිණාමික වෘක්ෂය තුල ප්රොසිමියානුවන් සහ සිමියානුවන් අතර සංක්රාන්තික පුරුකක් ලෙස සලකනු ලබන නිසා. ප්රොසිමියන් කියන්නෙ ලීමර්, උණහපුළුවන්, බුශ් බේබි, ටාර්සියර් සත්වයන් අයත් ප්රාථමික ප්රයිමේටා කාණ්ඩය. සිමියන්ස් ලෙස හඳුන්වන්නේ වඳුරන්, චිම්පන්සීන්, ගොරිල්ලන්, ඔරන්ග් උටන් සහ අප අයත් උසස් ප්රයිමේටා කාණ්ඩය. පෙර පැවසු පරිදි 'ඊදා' යනු ප්රාථමික ප්රයිමේටාවන් වන ප්රොසිමියානුවන් සහ ඉහල ප්රයිමේටාවන් වන සිමියානුවන් අතර පරිණාමික පුරුකක් ලෙස හඳුන්වනු ලබන විශේෂයක්.

ඊදා ෆොසිලය

ඊදා ප්‍රතිනිර්මාණයක්  

ඊදා ඉතාමත් අලංකාර ෆොසිලයක්. සියළු අංග ඉතාමත් සංරක්ෂිත තත්වයේ පවතින අතරේ ඊදා ජීවත්ව සිටි සමයේ දැරූ ලොම් ආවරණයේ ඡායාව පවා විශිෂ්ට ලෙස සංරක්ෂණයව පවතිනවා. සමස්ථ ෆොසිලයම සාමාන්ය ප්රමාණයේ ගෘහස්ථ පුසෙකුගෙ ප්රමාණය. නමුත් ප්රයිමේටා ලක්ෂණ සහිත ඇඟිලි ඉතාමත් පැහැදිලිව දකින්න පුළුවන් ඊදා ෆොසිලය තුල.

ඊදා ෆොසිලය තුල ප්රයිමේටා ලක්ෂණ සහිත ඇඟිලි

වසර මිලියන 47 කට එපිට උණුසුම් පෘථෘවිය, මධ්යම යුරෝපය දක්වා වැසිවනාන්තර වැස්ම දිගහැර තිබුනු සමයක විසු ඊදා, ප්රයිමේටා පරිණාමික වෘක්ෂය තුල වැදගත් සංධිස්ථානයක්. වර්තමාන සිමියානුවන් දිගහැරුනු ප්රොසිමියන් පූර්වජයන්ගෙ එක් පුරුකක්. එදා ජීවත්ව සිටි පරිසරයට හාත්පස වෙනස් වර්තමාන හොලෝසීන අවධිය තුල ඈ හිමෙන් වැසුනු ප්රදේශයක නවාතැන් ගෙන තිබෙනවා. වර්ගයාගෙන් වර්ගයාට ඉඩක් දිගහැරෙන පරිණාමික දිනපොත තුල ඩාවීනියස් මාසිලායි පරිඡ්ඡේදය සටහන් වන්නෙ එලෙස. 

ජීවයේ අඛණ්ඩතාව ඉතාමත් සිත්ගන්නා සුළු දෙයක්. වසර මිලියන 47 කට එපිටින් විසු ඊදාට ලඟම ඤාති සබඳතා දක්වන්නන් අදටත් ජීවත් වනවා. බුශ් බේබි සත්වයන් අප්රිකාව තුලත්, ටාර්සියර් සත්වයන් ඉන්දුනිසියාව,පිලිපීනය හා මැලේසියාව තුලත්, උණහපුළුවන් අප වැනි දකුණු ආසියාතික රටවලත්, ලීමර විශේෂ මැඩගස්කරය තුලත් ජීවත් වෙනවා. මේ සත්ව චර්යා සියුම් ලෙස නිරීක්ෂණය තුලින් වසර මිලියන ගනනක අතීතයට නැවත යා හැකියි. අවශ්ය වන්නෙ දෑස් විවර කර දැකීම පමණයි.


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE



No comments:

Post a Comment