Sunday, August 4, 2019

ක්‍රිටැසියස් මහා නශ්ඨවීම (Cretaceous Mass Extinction) - Part 5 (අවසන් කොටස)




ඇස්ටරොයිඩය ඝට්ටනය සිදුවී සියළු පාරිසරික විපර්යාසයන් අවසන්. ක්‍රිටැසියස් යුගය තුල පෘථිවිය පුරා අණසක පැතිරවු ඩයිනෝසරයන් විශේෂ අති බහුතරය නශ්ඨව ගොස් ඇතැම් කොටස් සිය අවසන් පුරුක් වල.

ක්‍රිටැසියස් යුගය සහ ඊට පෙර අවධිවල ක්ශීරපායි පරිණාමය සිදුවුනත් ඔවුන් ඉතාමත් කුඩා ජීවීන් බවට පත්ව තිබුනෙ ඩයිනෝසරයන් හා තරඟ කිරීමට ඇති නොහැකියාව නිසා. ක්‍රිටැසියස් නශ්ඨ වීමේ සංසිද්ධියේදි ඔවුන් වඩාත් හොඳින් ඊට ප්‍රතිරෝධය දක්වනවා. නමුත් සියළු ක්‍රිටැසියස් ක්ශීරපායින් නශ්ඨ වීමට ප්‍රතිරෝධී වුනේ නැහැ. ට්‍රයිකොනොඩොන්ටිඩාවන්, ස්පැලකොතෙරොයිඩ්ස්, ඩ්‍රයොලෙස්ටිඩ්ස්, මල්ටිටියුබර්කලේටස් වැනි ක්ශීරපායි ගෝත්‍ර සහමුලින්ම ඩයිනෝසරයන් මෙන්ම නශ්ඨව යනවා.

ඇස්ටරොයිඩය ඝට්ටනයෙන් පසු එළැඹෙන වසර මිලියන දහයක පමණ කාලය තුල ඉතිරි ක්ශීරපායින් සීග්‍ර ලෙස පරිණාමය වෙනවා. ඇස්ටරොයිඩය ගැටීමට පෙර වසර මිලියන 160 කාලය තුල නියත ලෙස පරිණාමය දැක්වු ක්ශීරපායින් ඉන්පසු එළැඹෙන වසර මිලියන 10 තුල අධික විශේෂණය වීම් සහ අනුවර්තනය වීම් දක්වමින් පැතිර යනවා. මීට ප්‍රධානම හේතුව වෙන්නෙ ක්‍රිටැසියස් යුගයට පෙර සිටි විලෝපිකයන් සහ තරඟකරුවන් ඒ වන විට නශ්ඨව ගොස් සිටි නිසා.

ක්‍රිටැසියස් යුගයට පෙර ලොව ප්‍රමුඛ වන වැස්ම බවට පත්ව තිබුනෙ අපුශ්ප ශාඛ. කොනිෆෙරාවන්, ගින්කොෆයිටා, සයිකඩෝෆයිටා, නෙටොෆයිටා වැනි අපුශ්ප ශාඛ වලින් ප්‍රමුඛව තිබු පෘථිවිය ක්‍රමයෙන් වෙනස් වීම ඇ⁣රඹෙනවා. නව පෘථිවිය තුල ප්‍රමුඛ වන්නෙ සපුශ්ප ශාඛ (මල් පිපෙන).

සපුශ්ප ශාඛවල ප්‍රමුඛත්වයත් සමඟ පෙර ලිපියෙ සඳහන් කරපු අනෙක් සැඟව ජීවත් වූ සත්ව කාණ්ඩය පරිණාමිකව ප්‍රමුඛ ⁣වීම ඇරඹෙනවා. ඒ ඉන්සෙක්ටාවන්. සපුශ්ප ශාඛ සමඟ සමනල් විශේෂ, මී මැසි විශේෂ වැනි ප්‍රධාන ඉන්සෙක්ටා කොටස්වල පිබිදීම හටගන්නවා.

ක්‍රිටැසියස් යුගයෙ අවසානයත් සමඟම මීසෝසොයික මහා අවධිය අවසන් වෙනවා.එතනින් පසුව ඇරඹෙන්නෙ සෙනොසොයික අවධිය. වසර මිලියන 65 කට පමණ පෙර ඇරඹි සෙනොසොයික මහා අවධිය තමයි අපි දැන් ඉන්නෙ. සෙනොසොයිකය කියන්නෙ ක්ශිරපායීන්ගෙ කූටප්‍රාප්තිය. ක්‍රිටැසියස් අවධියෙන් පසු ඇතිවුන ක්ශීරපායි පිබිදීමේ එක අතුරුඵලයක් තමයි හෝමෝ සේපියන්වරු.

මේ ලිපි කිහිපයෙදිම ඇස්ටරොයිඩ ඝට්ටනය ගැන කතා කරද්දි 'වාසනාවට හෝ අවාසනාවට' යන පද කිහිපය භාවිතා කලා. ඒ ක්‍රිටැසියස් නශ්ඨවීම නොවන්නට ඩයිනෝසරයන් තවමත් මිහිමත සිය අණසකට නතු කරගෙන තිබෙන ලොවක්. එසේ නොවන්නට ක්ශීරපායි පිබිදීම කිසිම ආකාරයකින් සිදු නොවන්නට ඉඩ තිබුනා.

භූ විද්‍යා කාල රාමුව තුල හෝමෝ සේපියන්වරු තවමත් ගත කර ඇති කාලය ඔබ පැය විසි හතරක් තුල එක් ඇස් පියවිල්ලකට ගතකරන කාලය හා සමානයි. ඩයිනෝසරයන්ටත් වඩා ආදිකාලීන නශ්ඨවීම් , ජීවය ගත කල අඳුරු යුග පවතිනවා. මේ සියළු හැදෑරීම් වලින් ගත යුතු කාරණය වෙන්නෙ ජීවත් වන පරිසරයෙ ක්ෂණික විචල්‍යතාවන් හේතුවෙන් නශ්ඨ වූ ජීවීන් සහ මනුෂ්‍යයා අතර එතරම් වෙනසක් නැති බව. පරිසර හා බැඳීම එතරම්ම ප්‍රබලයි. යම් හෙයකින් පරිසරය විනාශ වීම යනු කාබනික පදාර්ථය මත බිහිවු සියළු ජීවයේ අවසානයයි.


ප.ලි -
  1. ට්‍රයිකොනොඩොන්ටිඩාවන්, ස්පැලකොතෙරොයිඩ්ස්, ඩ්‍රයොලෙස්ටිඩ්ස්, මල්ටිටියුබර්කලේටස් වැනි ක්ශිරපායින්න්ගෙ ප්‍රතිනිර්මාණ කිහිපයක් පහල ඡායාරූප
  2. මේ ලිපි පෙල පස්වන කොටසින් අවසන් කිරීමට තීරණය කලා. මුලින් බලාපොරොත්තු වුනේ කොටස් දෙකකට කෙටි කරන්න නමුත් විෂයේ සංකීර්ණත්වය හේතුවෙන් කොටස් පහකට ඇදුනා. මේ ලිව්ව හැම දෙයක්ම සැබෑ සිද්ධිය අතිශයින්ම සරල කිරීමෙන් පසු ඉදිරිපත් කිරීමක්. ඒ නිසා වෙනත් තැන්වල මීට වඩා වෙනස් සටහන් දකින්නත් පුළුවන් වෙයි.
  3. දින කිහිපයක් තුල ඔබ රැඳී සිටි ක්‍රිටැසියස් නශ්ඨවීම් පිළිබඳව ලිපි පෙල ගැන ඔබේ අදහස් අගය කරමි.

ට්‍රයිකොනොඩොන්ටිඩාවන්

ස්පැලකොතෙරොයිඩ්ස්

ඩ්‍රයොලෙස්ටිඩ්ස්

මල්ටිටියුබර්කලේටස්

(ප්‍රතිනිර්මාණයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)


#DOE

No comments:

Post a Comment