Saturday, August 10, 2019

ලක්දිව ප්ලයස්ටොසීන සත්ව සන්තතිය (Pleistocene Fauna in Srilanka) - 01


රයිනොසෙරොටිඩේ (Rhinocerotidae)


රයිනෝසෙරොටිඩේ කියන ක්ශීරපායි කුලයට අයත් මේ සත්වයන් පරිණාමිකව බැලුවම ඉතාමත් දක්ෂ අනුවර්තකයො. ඕනෑම පරිසර තත්වයකට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාවට හොඳම නිදසුන තමයි දැන් ලෝකෙ පැතිරිලා ඉන්න රයිනෝ විශේෂ. සුදු සහ කළු රයිනෝ විශේෂ අප්රිකා මහද්වීපයෙත්, ඉන්දියාව, සුමාත්රාව සහ බෝර්නියො ආශ්රිත අනෙකුත් විශේෂත් සැලකිල්ලට ගත්තම මේ කුලයෙ පැතිරීම තිබෙන රේන්ජ් එක එහෙම නැත්තන් පරාසය ගැන අදහසක් ගන්න පුළුවන්. මීට අවුරදු ගනනාවකට කලින් මේ සත්වයන්ගෙ තවත් විශේෂ ලෝකය පුරාම තවත් ස්ථානවල හිටියා.

රයිනෝසිරස් සත්වයන් වර්තමානයේදි ශ්රි ලාංකිකයන් වන අපිට ආගන්තුක සතෙක් වුනාට මීට අවුරුදු දහස් ගානකට කලින් මේ කුඩා දුපතෙත් මේ සත්වයන් වාසය කලා. 1936 වර්ශයේදි පලමුවරට මේ පිලිබඳව අනාවරණය කරන්නෙ පී.ඊ.පී දැරණියගල මහත්මයා. රත්නපුර අවටින් ලැබෙන ප්ලයස්ටොසීන යුගයට අයත් ෆොසිල තැනපතු වලින් තමයි මේ සාධක ලැබෙන්නේ. චාර්වක දත් කිහිපයක් මඟින් තමයි මේ විශේෂය දැරණියගල මහත්මයා නම් කරන්නෙ. මේ සත්වයට විද්යාත්මක නම දෙන්නෙ Rhinoceros sinhaleyus (රයිනෝසිරස් සින්හලේයුස්) කියන නම. දැන් රත්නපුර සයිඩ් එකෙන් මේ සත්වයන්ට අයත් සාධක ලැබුනට පසු අවස්ථාවකදි ඔය දකුණු වෙරළ තීරයට ආසන්න කලමැටිය ප්රදේශයෙනුත් මේ සත්ව විශේෂයටම අයත් ෆොසිල ලැබෙනවා. R.sinhaleyus රූපීය වශයෙන් ඉන්දියානු රයිනෝට ටිකක් සමීපයි නමුත් ඊට වඩා කූඩා විශේෂයක් විදිහටයි සැලකෙන්නේ.

Rhinoceros sinhaleyus (රයිනෝසිරස් සින්හලේයුස්)

දැන් එහෙම කතාව තියෙද්දි ෆාස්ට් ෆෝවඩ් කරමු 1958 වර්ෂයට. මේ අවුරුද්දෙදිත් පී.ඊ.පී දැරණියගල මහත්මයා නැවත හොයාගන්නවා චාර්වක දතක්. මේ දන්ත සැකැස්මත් රයිනෝ විශේෂයක්. මේ අර මුලින් කියපු හාදයට වඩා වෙනස්ම විශේෂයක්. මේ අලුත් විශේෂයට විද්යාත්මක නම දෙන්නෙ Rhinoceros kangavena කියලා. මේ විශේෂය සින්හලේයුස්ට වඩා විශාල විශේෂයක්. රත්නපුර අවටින්ම තමයි මේ ෆොසිලත් ලැබෙන්නේ.

Rhinoceros kangavena (රයිනෝසිරස් කඟවේනා)

Rhinoceros sinhaleyus ගේ දත් තාපසංද්වීප්තතා දින නීර්ණයට යොමු කලාට පස්සෙ (කාබන් 14 කරන්න බෑනෙ ⁣ෆොසිල නිසා කබනික පදාර්ථයෙන් තොරයි) ඩේටින් එන්නෙ 80,000Bp . එ් කියන්නෙ මේ සත්වයන් ජීවත් වෙලා තියෙන්නෙ අදින් වසර 80000 කට තරම් ඉහත කාල වකවානුවකදි. මේ කාලෙදි රත්නපුර ප්රදේශය වගුරු බිම් ප්රදේශයක් කියන මතය තමයි පිලිගත් මතය.

මේ කතාවෙ ඉන්ට්රෙස්ටින් කෑල්ලට එන්න කලින් ඔය ප්ලයස්ටොසීන යුගයේ ජීවත් වෙච්ච මහා පරිමාණයේ ක්ශීරපායින්ට වෙච්ච හදියත් කියන්න ඕන. ඒ තමයි ඒකාලෙ වෙද්දි සීඝ්ර ලෙස හෝමෝ සේපියන්ස්ලා අතින් දඩයමට ලක්වීමට සිදුවීම. දැන් ඔය උතුරු ඇමරිකාවෙ යෝධ වූලී මැමත්ලා සහ සමකාලීන මැස්ටඩොන් වගේ අලි විශේෂ , ජයන්ට් ස්ලොත්ස්ලා,ගොම්පෝතීරියම්ස්, ඉලැස්මෝතිරියම්ස්, පැලියෝලාමාස්, වූලී රයිනෝසිරස්, මස්ක් ඔක්ස්ලා එහෙම ඉතාමත් කෙටිකලකින් මිහිමතින් අතුගා දාන්න සේපියන්ස්ලා සමත් වුනාය කියන මතය තමයි සාමාන්යයෙන් පිලිගත් මතය. ලෝකය පුරාම විශාල ක්ශිරපායින්ගෙ ස්වර්ණමය යුගය එහෙම අහවර වෙද්දි ඒ හා සමකාලීනව ලංකාවෙ හිටපු විශාල ක්ශිරපායින්ගෙ දෛවය වෙනස් වුනේ කොහොමද..?

මේක තාමත් නිසි පිලිතුරක් නැති ගැටලුවක්. ආසන්න සිද්ධි වශයෙන් දේශගුණික විපර්යාස සහ වන වැස්මෙ සිදුවුන විපර්යාස ගැන සඳහන් වෙද්දි ලෝක ප්රවණතාවන් එක්ක ගැලපුවම ටිකක් ඉන්ට්රෙස්ටින් සිද්ධියක් මතුවෙනවා, ඒ 2010 වර්ශයේදි ෆාහියන් ලෙන කැණිමෙන් මතුවෙන අවශේෂ එක්ක. (දැන් මේ ෆාහියන් ලෙනේ විශේෂත්වය තමයි අවුරුදු දස දහස්ගානක ඉඳන් මේ ලෙන ආදි මානවයන් අඛණ්ඩව භාවිතා කිරීම) ඒ තමයි සිරාන් දැරණියගල මහත්මයට මේ අවශේෂ අතරින් ලැබෙන Rhinoceros sinhaleyus චාර්වක දත. මේ හමුවීමත් එක්කම පෙර කිව්ව ලෝක ප්රවණතාවන් එක්ක සමපාත කලහැකි මතයක් ගොඩනැගෙනවා. ඒ තමයි ලංකාවේ හිටපු සමකාලීන සේපියන්වරු මේ රයිනෝලව දඩයම් කලාද ? කියන මතය. මේකට නිසි පිලිතුරක් දෙන්නනන් ලංකාවෙන් තව ෆොසිල සාධක ලැබිය යුතු අතරම ලංකාවෙ ෆොසිල විද්යාව තව දියුණු විය යුතුයි.

(දැන් හිතෙන්න පුළුවන් ලෝක ප්රවණතාවන් දුපතට එන්නෙ කොහොමද කියලා.. ඒක ග්ලැසියර් අන්තර් ග්ලැසියර් යුග වලදි මුහුදු මට්ටම් ඉහල පහල යෑම තුල ගොඩබිම් මාර්ග විවෘත වෙනවා මහද්වීපික ගොඩබිම් වලට. එහෙම වෙද්දි මේන් ලෑන්ඩ් එකෙන් සංස්කෘතිය වහනය වෙනවා දූපත් සමූහයන් වලටත්. ඔය වගේ දූපත් වාසී ප්ලයස්ටොසීන සත්වයන් මිනිස් ආක්රමණ නිසා නැති වුන අවස්ථා ගැන තොග පිටින් උදාහරණ දෙන්න පුළුවන්. ව්රැන්ගල් සහ සාන්ත පෝල් දුපත්වල මැමත් සංහතිය, නවසීලන්තයෙ මෝවා සහ හාර්පගනීස් කියන යෝධ පක්ශීන්, මැඩගැස්කර් දූපතේ යෝධ ලීමරයන්, නව කැලිඩෝනියාවෙ යෝධ ඉබ්බන් සහ කිඹුලන්, මධ්යධරණීය දූපත්වල කුරු අලි සහ කුරු හිපෝ, කැනරි දූපතේ ප්ලයස්ටොසීන සත්ව සන්තතිය මේ සඳහා උදාහරණ)

කතාව එහෙම තියෙද්දි දැන් පැහැදිලි ඇති ලංකාවෙ හිටපු රයිනෝලා දෙන්නා ගැන. දැන් මේ  ඉහත තිබෙන ඡායාරූප දෙක, වර්තමානයේදි මේ ෆොසිල ගැන අධ්යනයට ලක්කරන විශේෂඥයෙක් වෙන කැලුම් මනමේන්ද්රාරච්චි මහත්මයා විසින් රීකන්ස්ට්රක්ට් කරපු සින්හලේයුස් සහ කඟවේනාගෙ සිතුවම් දෙකක්. පහතින් තිබෙන්නේ ඔවුන්ට අයත් චාර්වක දත්වල ෆොසිල.

සින්හලේයුස් ෆොසිල දතක්

කඟවෙනා ෆොසිල දතක්

නශ්ඨවීම් ලෝකේ පුරාම සියළු කාලවලදි සිදුවන අඛණ්ඩ ක්රියාවලියක්. මේකට කියනවා ඉරවර්සිබල් ඉෆෙක්ට් (irreversible effect) කියලා. ඒ කියන්නෙ නැවත හැරවිය නොහැකි සිද්ධි දාමයක්. එක් වරක් සත්ව විශේෂයක් මිහිතලයෙන් නශ්ඨ වෙනවා කියන්නෙ සමස්ථ ලෝක ඉතිහාසයෙන්ම ඒ සත්වගෙ පරිච්ඡේදය අවසන් කියන එක...


(ඡායාරූප සහ ප්‍රතිනිර්මාණ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE



No comments:

Post a Comment