Sunday, August 4, 2019

පරිණාමය හා සබැඳි වැරදි මත (Misleading theories/ judgements about Evolution)


1. මිනිසා පරිණාමය වූයේ වඳුරන්ගෙනි



වඳුරන් ලෙස ඔබ සරලව වර්ගීකරණය සිදුකරන චිම්පන්සීන්, ගෝරිල්ලන් වැනි සත්වයන්ගෙන් මිනිස් පරිණාමය සිදුවී නැත. මේ වැරදි අර්ථකථන නිසා පරිණාමයට විරුද්ධව හඬනගන මතධාරීන් විසින් 'මිනිසා පරිණාමය වූයේ වඳුරන්ගෙන් නම්, තවමත් වඳුරන් සිටින්නේ ඇයි ?' යන ගැටලුව සමාජගත කරයි.

මේ ගැටලුව අපි නැවත ප්‍රතිනිර්මාණය කරමු සරල උදාහරණයකින්. "ඔබ ඔබේ ඤාති සොහොයුරාගෙන් පැවත එන්නේ නම්, තවමත් ඔබගේ ඥාති සොහොහුරා ජීවත්ව සිටින්නේ කෙසේද ?"

මේ ප්‍රතිනිර්මාණය කල ගැටලුව ඔබට විකාරයක් ලෙස පෙනෙනු ඇත. නමුත් පෙර සඳහන් කල මිනිසා සහ වඳුරා පිලිබඳ ගැටලුවද මේ ගැටලුවද අතර එතරම් වෙනසක් නැත.  ඔබ දන්නවා ඔබ පැවත එන්නෙ ඔබේ ඤාති සොහොයුරාගෙන් නොවන බව. ඔබත් ඔබේ ඤාති සොහොයුරත් අතර සම්බන්ධය තමයි ඔබ දෙපලගේම සීයා එක් අයකු වීම. ඔබේ සීයාට දරුවන් කිහිප දෙනෙක් සිටියා නම් ඔවුන් පසු කලකදී තම තමන්ගෙ පවුල් සාදාගෙන ඔබේ පවුල් ගස තවත් අතුශාඛා වලට ප්‍රසාරණය කරමින් විහිද යයි. ඒ හෙතුවෙන් ඔබ සහ ඔබේ ඤාති සොහොයුරා ඇතුලු නව පරම්පරා වර්තමානයේදි ඔබට දකින්න පුළුවන්.

දැන් එමු මානව පරිණාමික කතාවට. මේ කතාවෙදි චිම්පන්සීන් සහ අප අතර ජානමය DNA සමානතාව 96%. මෙහිදි චිම්පන්සීන් සහ හෝමෝ සේපියානුවන් යනු පෙර කතාවෙ ඔබ සහා ඔබේ ඤාති සහෝදරයා වැනි සබඳතාවක්. අතීතයේ (DNA සාධක මඟින් සොයාගෙන ඇති ආකාරයට) වසර මිලියන 6 කට පමණ පෙර චිම්පන්සීන් සහ අපට පොදු පූර්වජයෙකු ජීවත්ව තිබෙනවා. මේ පොදු පූර්වජයා සමාන වෙන්නෙ හරියට ඔබත් ඔබේ ඤාති සොහොයුරාගෙත් සීයාට.

පොදු පූර්වජ අවස්ථාවෙන් පරිණාමය වූ විවිධ අවස්ථා අතු බෙදී ගොස් එක් ශාඛාවකින් චිම්පන්සීන්, ගෝරිල්ලන් වැනි විශේෂ පරිණාමයට මඟ පෑදෙන විට අනෙක් පසින් පරිණාමය වූ ශාඛාව මානව පරිණාමයට මඟ පෑදුවා.

දැන් ඔබට වැටහෙන්න ඕන චිම්පන්සීන් හෝ ගෝරිල්ලන්ගෙන් අප පරිණාමය නොවූ බව. නමුත් ඔවුන් සහ අපට පොදු පූර්වජයෙකු සිටින බව. 

මේ කතාවෙදි මිනිස් පරිණාමයේ වසර මිලියන 6 පමණ කාලයකට එහා පරිණාමික පුරුක් සලකා බලද්දි 'ආරඩිපිතෙකස් රැමිඩස්' , 'ආරඩිපිතෙකස් කඩබ්බා' වැනි වානර ආකාර සලකා බැලුවම ඔවුන් සහ චිම්පන්සීන් අතර රූපීය වශයෙන් ඉතාමත් සමීප සමානතා බලන්න පුළුවන්. ඊට හේතු වෙන්නෙ පොදු පූර්වජයගෙන් අතු බෙදී යන මුල් අවස්ථා වල ඇතිවු විශේෂ රූපිය වශයෙන් ඉතාමත් සමීප වීම.

මේක හරියට ඔබේ පියාත්, ඔබගේ ඤාති සොහොයුරාගෙ පියාත් සහෝදරයන් නම්, ඔවුන් අතර තිබෙන සමීප රූප ලක්ෂණ වගේ.




2. පරිණාමය සරල රේඛීයයි


පරිණාමික ක්‍රියාවලිය සරල රේඛීය නැහැ. එක් විශේෂයක් ජීවත්ව තව විශේෂයක් ඔවුන්ගෙන් පරිණාමය වී පෙර විශේෂය නශ්ඨවී යන ක්‍රියාවලියක් නෙවෙයි පරිණාමය කියන්නෙ.  පරිණාමික ක්‍රියාවලිය අතු බෙදී යන පඳුරක්. බෙදී යන ශාඛා නැවත හමුවීම පවා සිදුවිය හැකි දෙයක්.




ඉහත ඡායාරූප දෙක මඟින් පොදු පූර්වජයන්ගෙන් අතු බෙදී යන අකාරයත්, එහි දෙවන ඡායාරූපයෙන් මානව පරිණාමික පුරුක් බෙදී යාම සහ ඇතැම් අවස්ථා වලදි බෙදී ගිය පුරුක් නැවත මුණගැසෙන ආකාරයත් බලන්න පුළුවන්.

පෙර සඳහන් කල රේඛීය ආකාරය නොව, පඳුරක් මෙන් දිවෙන මානව පරිණාමික වෘක්ෂයයි ඒ.




3. පරිණාමය යනු කල්පිතයක් පමණී


මෙය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මානව පරණාමය යනු ෆොසිල සාධක මෙන්ම ජානමය සාධක මඟින් ඔප්පු කල ක්‍රියාවලියක්. ෆොසිල වාර්තා වල ඇති හිදැස් ජානමය කේතය ඇසුරින් සම්පූර්ණ කිරීමට හැකිව තිබෙනවා. ඔබේ පුර්වජයන්ගෙන් ඔබ වෙන් වුයේ කුමන කාලයේදිද  පවා දැක්වීමට ජාන කේතයට හැකියාව තිබෙනවා.

(පරිණාමික ක්‍රියාවලිය යමෙකු අධ්‍යනය නොකර බොරු හෝ කල්පිතයක් බව පවසයි නම් එහි ඇත්තෙ ඔහුගෙ හෝ ඇයගේ නොදැනුවත්කම මිස පරිණාමයේ අසත්‍ය නොවේ.)


(ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



#DOE




No comments:

Post a Comment